ලොව ඇති පැරණිතම නර්තන සම්ප්‍රදාය ලෙස හැඳින්වෙන 'භරත නාට්‍යම්' දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආරම්භ වී ඇති බව සඳහන්.' භරත 'යන වචනය භාව, රාග සහ තාල යන පදවලින් සකස් වී ඇති අතර මෙය ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරන නර්තන සම්ප්‍රදායක් ලෙස සැලකෙනවා.ලංකාවේ ප්‍රථම භරත නාට්‍යම් ශිෂ්‍යයා සහ ගුරුවරයා ලෙස සැලකෙන්නේ ජයත කරුණාසේකරයි. බෙල්වුඩ් ගම්මානයෙන් බිහිවූ මුල්ම පරපුරේ නර්තන ශිල්පියකු වන ඔහු රබන් කරකැවීමේ සුවිශේෂී හැකියාවක් ඇත්තෙකි.
අපි මුලින් ම ඔහුගේ ළමා විය ගැන කතා කළා.
“ මං තුන වසරෙ ඉගෙනගන්න කාලෙ ප්‍රසංගයකට යන්න අයියල දෙන්නට නැටුමක් උගන්නකොට මාවත් පුරුදු කරන්න කියල ඇඬුවා. ඒ කාලෙ මගෙ පෙරැත්තය නිසාම පඩිවෙළ හෙළ කලායතනයට මාව යොමුකළේ උඩරට නර්තනය හදාරන්න. ඒ එඩ්වින් චාල්ස් ගුරුතුමා යටතේ. ඉන්පසුව මට ඕන වුණේ රබන් කරකවන්න. මුලින් ම ගෙදර තිබුණ තේ බන්දේසියක් කරකවල තමයි පුරුදු වුණේ. ඒ ගැන දැනගත්ත ප්‍රේමා විජිතසේන ගුරුතුමිය ඇය ළඟ තිබ්බ කැඩිච්ච රබානක් මට ලබා දුන්නා. කොහොම හරි දෙමව්පියන්ගේ එතරම් කැමැත්තක් නැතුව වුවත් මම පුංචි කාලෙ සිටම නර්තනයේ යෙදුණා.කුලියාපිටිය මහ විද්‍යාලයේ සිට උසස් පෙළ සඳහා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණායින් පසුවත් විද්‍යා විෂයයන් හදාරන අතරතුරේ වුණත් මගේ වැඩි කාලයක් වෙන් වුණේ නර්තනය සඳහායි.”
උසස් පෙළින් අනතුරුව තරුණ සේවා සභාවෙ බෙල්වුඩ් ආයතනයේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වු 9000ක් පමණ පිරිසෙන් තෝරාගත් පිරිමි ළමුන් පස් දෙනා අතරට සුදුසුකම් ලැබීමට භාග්‍යවන්ත වූ ජයත කරුණාසේකර වසර පහක් බෙල්වුඩ් ආයතනයෙන් ලබාගත් දැනුමත් දේශීය සහ විදේශීය අත්දැකීම් ඔහුගේ නර්තන ලෝකය වර්ණවත් කරගැනීම පිණිස ඉවහල් කරගත්තා. දකුණු ඉන්දීය නර්තන සම්ප්‍රදාය අතර ලංකාවෙ වැඩිපුරම ප්‍රචලිත වී තිබෙන්නේ භරත නාට්‍යම් වන අතර කතක් , කතකලි සහ මණිපුරි සම්ප්‍රදායන් ද දකින්න පුළුවන්. පොළොන්නරුව යුගයේ පටන් ලංකාවේ භරත නාට්‍යයම් පැවති බවට සාක්ෂි සහිතව තහවුරු වී ඇති පසුබිමක භරත නාට්‍යම් කලාව වෙනුවෙන් ඔහුගේ කැපවීම අගය කළ යුතුයි.
"භරත නාට්‍යම් හි පළමු ශ්‍රී ලාංකේය ගුරුවරිය වන්නේ පද්මිණී දහනායකයි.පළමු පිරිමි නර්තන ශිල්පියා සහ ගුරුවරයා වන්න මට හැකියාව ලැබුණා.ලාෆීර් සහීර් කියන මුස්ලිම් ගුරුවරයාගෙන් මම භරත නාට්‍යයම් අත් පොත් තැබුවා.පසුව මහනුවර භරත ක්ෂේත්‍ර නාට්‍යාලයම් ආයතනයේත් ඉන්දියාවේ භරත චූඩාමණී ආයතනෙයදිත් වැඩිදුර හැදෑරීම් කළ පසුව 1991 වසරේ මහරගම යොවුන් රඟහලේ දී මගේ අරංගේත්‍රම් ප්‍රසංගය සිදු කළා. ඒ වගේ ම ලංකාවේ රබන් කැරකවීම තුළින් වාර්තාවක් පිහිටුවීමට මට හැකියාව ලැබුණා. ඒ 14 ක් වන වැඩිම රබන් ගණනක් කැරකවීමෙන්. රජයේ උඩරට නැටුම් ගුරු පත්වීමක් ලැබීමත් සමඟ පාසල් කීපයක රාජකාරී කළත් කාර්යබහුලත්වය මත මම ඊට සමුදුන් නමුත් නර්තන පන්ති පැවැත්වීම අඛණ්ඩව සිදු කළා.”
ඔහු පවත්වන නර්තන පන්ති පිළිබඳව විමසන්නත් අපි අමතක කළේ නැහැ.
“ලංකාවෙ ප්‍රවීණ කලාකරුවන් රැසක් නැටුම් ,සංගීතය සහ නාට්‍යය කලාව පිළිබඳව උගන්වන සරසවි පායේ නර්තන පන්ති දිගු නිහැඬියාවකින් පසුව ජනවාරි මස අග ආරම්භ කළා. මගේ කුලියාපිටිය නිවසේ පවත්වාගෙන එන ජයසංඛ රංග කලා පදනමට දැන් වසර තිස් පහක් සම්පූර්ණයි. දැනට කොළඹ, කුරුණෑගල, ගම්පහ, නුවර යන නගරයන්හිත් භරත නැටුම් පන්ති පැවැත් වෙනවා. ඉන්දියාවෙ ශාන්ති නිකේතනය වැනි ගුරු ගෙදර ක්‍රමවේදයේ අධ්‍යාපන ආයතනයක් අජන්තා නිකේතනය යන නමින් මා විසින් පවත්වාගෙන යනවා. එහි දී මාස තුනක් නේවාසිකව සිටිමින් නර්තනය හැදෑරිය හැකියි.”
මේ සුවිශේෂී කලාකරුවාගේ සේවාව අගයමින් වයඹ පළාත් සභාවෙන් භරත චූඩාමණී ගෞරව නාමයත් ඉන්දියාවෙන් නාට්‍ය කලා චූඩාමණී ගෞරව නාමයත් පුද කෙරුණා. ජයත කරුණසේකරගේ නර්තන දිවියට වසර 25ක් සපිරීම නිමිත්තෙන් 2015 වසරේ දී පැවැත්වූ ඉන්ද්‍රාභානී ප්‍රසංගයේ මතකය ඔහු ආවර්ජනය කළේ මෙලෙසයි.
”මෙහි දී අමරදේවයන්ගේ ගීත දොළහකට විවිධ ශෛලියේ නර්තන හා රංගනයන් ඉදිරිපත් කළා. ජනප්‍රිය නිළියන් වන උමයංගනා වික්‍රමසිංහ, දිලිනි ලක්මාලි, වොල්ගා කල්පනී යන තිදෙනාද මට සහය වුණා.”
ලෝකයේ පළමු වරට ශ්‍රව්‍යාබාධිත දැරිය අරංගේත්‍රම් ප්‍රසංගයක් කළ ජයත් ලංකාවේ වැඩිම භරත නාට්‍යම් අරංගේත්‍රම් ප්‍රමාණයක් සිදු කර ඇති නර්තන ගුරුවරයා ද වනවා. ඔහු දැන් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයටත් පිවිස තිබෙනවා. ඒ ‘ මහේසිකා ‘ ටෙලි නාට්‍යයෙන්.
ප්‍රියානන්ද විජේසුන්දරගෙ කතාවක් ඇසුරින් රත්නසිරි මුණසිංහ විසින් දසුන පත්තරේට ඇන්ද චිත්‍ර කතාවක හිටපු රබන් වාදනය කරන්නාගේ චරිතය එදා ඉඳන් මගෙ හිතේ කොනක හිටියා. ඒ කතාව තමයි දැන් මම අධ්‍යක්ෂවරයෙක් ලෙස ටෙලි නාට්‍යකරණයට පිවිසෙන්න යොදා ගත්තේ. තිර රචනයත්, රංග වස්ත්‍රාභරණත් මා විසින් ම නිර්මාණය කළා. එහි රබන්කරු ලෙස මමත් තාරුකා වන්නිආරච්චි, ක්ලීටස් මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්, මොරින් චාරුණී ,උමයංගනා වික්‍රමසිංහ මංජුල මොරගහ හා රිචඩ් මානමුදලි වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියනුත් රඟපානවා.
එම ටෙලි නාට්‍යය ඉදිරියේ දී රූපවාහිනියේ ප්‍රදර්ශනය කිරීම ඔහුගේ මීළඟ බලාපොරොත්තුවයි.
ටෙලි නාට්‍යයෙන් අනතුරුව නර්තනය සම්බන්ධ චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා. මගේ අම්මාගේ ජීවිත කතාව 'මුතු මැණිකේ' නමින් එළි දක්වන්නත් කවි පොතක් ලියන්නත් බලාපොරොත්තු වෙනවා. මේ දිනවල මායා දමයන්ති යටතේ මම ගායනය හදාරනවා. කලා හැකියාව අපි හැමෝටම තිළිණ කළ මගේ පියාණන් වන නැසීගිය ඩී. එම්. කරුණාසේකරත් නැසීගිය මෑණියන්වත් සෙනෙහසින් සිහිපත් කරනවා. ඔවුන් දෙදෙනාගේ අවසන් කාලයේ ඔවුන් වෙනුවෙන් කාලය වැය කරන්න ලැබීම විශාල සතුටක්. චිත්‍ර ශිල්පී දීගොඩ කුමාර, මාධ්‍යවේදීන් වන තිස්ස කරුණාසේකර සහ සමන්ත කරුණාසේකර සොහොයුරන් ඇතුළු පවුලේ සියලු දෙනාත, මගේ ගුරුවරුන්වත් මං ඉතාම ගෞරවයෙන් මතක් කරන්න කැමතියි.
නිසංසලා-සංගීතා-සමරතුංග
Silumina 2022-02-19