ප්‍රසාදිනි සරසවි සිසුවියක ලෙස කොළඹ ඇවිත් නාට්‍ය හා රංග කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
කැලණි සරසවියේදී හැදෑරුවේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධියයි. නාට්‍ය හා රංග කලාවට ප්‍රායෝගිකව අවතීර්ණ වුණේ මේ කාලයේදීමයි.
ජනේලයෙන් පනින්නද? නාට්‍යය ඔබ රඟපෑ කීවැනි නාට්‍යයද?
ධනුෂිකා නයන කුමාරි (ශාන්ති පාවුළු බාලිකාවේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය) අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යයට පෙර මෙම උළෙලේදී සම්මාන ලැබූ ප්‍රියංකර රත්නායක මහතාගේ 'ඇන්ටිගනී' නාට්‍යයෙත් ප්‍රධාන චරිතය රඟපෑවා. ඊට පෙර 'ඊඩිපස්', 'තටු ඇවිත්', 'සඳ ගිනි අරන්', 'ට්‍රෝජන් කාන්තාවෝ', 'යෙර්මා', 'සිංදු පහයි/කෝල්ස් පහයි' සහ පෙම් යුවළක් ඒ වගේ නාට්‍ය ගණනාවක රඟපෑවා.
නාට්‍යය වටා ගොනු වූ ඔබ ගැන හරියටම කතා කරන්න පටන් ගන්නෙ මේ සම්මානයත් සමගයි. එහෙම නේද?
ඔව්, ඒක හරි.
ඇයි මීට පෙර ඔබ ගැන කතාබහක් නොවුණේ?
වේදිකා නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් අතර යම්තාක් දුරකට කතාබහ වෙන්න ඇති. වේදිකා නාට්‍ය නරඹන්නෙ සීමිත පිරිසක් වීම ඊට හේතුව වෙන්න ඇති.
වැඩි පිරිසක් නොහඳුනන ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවී වැඩි පිරිසකගේ ජනප්‍රියත්වය ලබන අංශයකට යොමුවෙන්න අකමැතිද? ඒ ජනප්‍රිය කියන මානසිකත්වය ඔබට නැද්ද?
නැහැ. කවදාවත් එහෙම ඇතිවෙලා නැහැ.
ඇයි ජනප්‍රියත්වයට අකමැතිද?
හොඳ දෙයක් සමග මට යා හැකි දුරක් තියෙනවා. දායකවන නිර්මාණයේ ගුණය මත සුළු පිරිසක් දැන සිටියත් මට ප්‍රශ්නයක් නැහැ. මම සියල්ල කරන්නේ මගේ ගුරු වෘත්තියට ඇති ගෞරවය රුක ගනිමින්.
ඒ සීමාව හඳුනාගෙනයි. හොඳ රංග ශිල්පිනියක කියන තැන සිට කටයුතු කිරීම මගේ අරමුණයි.
ලාංකීය සමාජයේ රංග ශිල්පිනියකට කටයුතු කරන්න වෙන්නෙ සීමාවක් ඇතුළෙ ඉඳලද? එහෙම සීමාවක් තිබිය යුතුද?
එහෙම සීමාවක් තුළ ඉඳගෙන රඟපාන්න ඕන කියා මම කියන්නෙ නැහැ. මගේ වටපිටාව මගේ සීමාව මම හඳුනාගෙන තමයි දායක වෙන්නෙ.
මොකක්ද ඒ සීමාව?
මම වෘත්තියෙන් ගුරුවරියක්ග එය විශාල වගකීමක්. ඇවතුම් පැවතුම් සියල්ල ඊට බලපානවා. මොකද අපි අනාගත පරපුරකට පාර කියන අය. ඒ සියල්ල වටහාගෙන කටයුතු කිරීම වැදගත්. ඊට අමතරව මගේ පවුලේ කටයුතුවලටත් සාපේක්ෂ වෙන්න ඕන. ළඟදීම යුග දිවියට එළැඹීමටත් සුදානම්. ඒ නිසා කරළිය මතම ජීවිතය ගෙවා දමන්න බැහැ. ජීවිතේ සියලුදේට සමබරව අර්ථවත්ව මුහුණදීම තමයි වඩා වැදගත්. නාට්‍යයක් කිරීමේදී කැපවීම කියන දේ අත්‍යවශ්‍යයි. ඒ කැපවීම කළ හැකි නම් පමණයි ඊට දායකවෙන්න ඕනෑ.
ලංකා සමාජයේ නිදහසේ තමුන්ගේ රටාවකට ජීවත් වෙන්න බැරිද? ලංකාවට විතරක් සීමාවූ දෙයක්ද මේ රාමුව?
ලංකා සමාජයේ වෘත්තියක් ලෙස රංගනය තෝරා ගැනීම අපහසු මාර්ගයක්. ජීවත්වීම සහ තමුන් අධ්‍යාපනය ලද විෂය පථයන් හරහා වෘත්තීමය අංශය තෝරාගතයුතු වෙනවා. ලංකා සමාජය වෘත්තීය නිළියල ශිල්පිනිය කියනදේ තබා ගැනීමේ අසීරුව සහ ඉඩකඩ මදි නිසා නියැළෙන වෘත්තියට මුල්තැන දීම කළ යුතුමයි.
මෙතැනින් එහාට, ඔබගේ භූමිකාව කොහොම වේවිද?
මේ සම්මානය නිසා මම ලංකාවේ දක්ෂතම නිළිය කියලා හිතන්නෙ නැහැ. මෙය රංගන ශෛලියේ එක් පියවරක් විතරයි. මෙතැනින් එහාට මීටත් වඩා හොඳම රංගනය කිරීම සහ චරිත තෝරා ගැනීම කළයුතු වෙනවා. මිනිස්සු එය බලාපොරොත්තුවන දෙයක්. පසුගිය දිනවල මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ 'බහුචිතවාදියා' චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ විදියට නිර්මාණවලට දායක වේවි.
මේ විදියට සම්මාන ලැබීමත් සමග ටෙලිනාට්‍ය සහ සිනමාවේ චරිත සඳහාත් දොරටු විවෘත වෙනවා. එහිදී ඔබ වඩා කැමති මොන අංශයටද?
සිනමාවට මම කැමතියි.
ඒ කියන්නෙ ටෙලි නාට්‍යය බැහැර කරනවාද?
නැහැ. නමුත් වර්තමානයේ නිර්මාණය වන ටෙලිනාට්‍ය දීර්ඝ ඒවා. එවැනි දීර්ඝ ටෙලිනාට්‍ය මාලා සඳහා කැපකිරීමට තරම් කාලයක් නැහැ. සිනමාව සහ වේදිකාවට මගේ ඉඩ ලැබෙන කාලය වෙන්කරාවි. කොහොමටත් වේදිකාවේ රඟපා ලබන ආත්ම තෘප්තිය හරි ඉහළයි. මේ සම්මාන ලැබීම පිටුපස මගේ දෙමාපියන් සිටිනවා. ඔවුන් මේ ගමන එන්න ආර්ථික අතිනුත් උදව් කළා. වේදිකාව කියන්නෙ මුදල් උපයන තැනක් නෙමෙයි. සමහර විට අපටම වියදම් දරන්නත් වෙනවා. එවැනි අංශයක නියැලෙන්න ගෙදරින් ලැබුණ දායකත්වය අගය කළ යුතුමයි.
කුරුණෑගලින් කොළඹට පැමිණ අද සිටින තැන ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?
කොළඹ සමාජය මුලින්ම ඔබට දැනුණේ කොහොමද?
කොහොමටත් මුල් කාලයේදී සියල්ල අපට අලුත් සහ අමුතුයි. සරසවිය කියන්නෙ විවිධ පළාත්වල විවිධ පුද්ගල එකතුවක්. බොහෝ අත්දැකීම් ලබන්න ඒ පරිසරයම ඇති. කොහොම වුණත් මේ සියල්ල නිසා මට ජීවිතය හොඳට හුරු බව හැඟෙනවා. බොහෝ දේ ගැන වැටහීමක් ඇති බව දැනෙනවා. ඇත්තටම අත්දැකීම් මගින් ජීවිතය දැනුවත්වීම ඉතා වැදගත්.