‘පරපුර’ සමඟ අධ්‍යක්ෂණයට පිවිසි ක්ලීටස් මෙන්ඩිස් කියයි
බොහෝ අධ්‍යක්ෂවරුන්ට මාව පෙනුණේ දුෂ්ටයෙක් විදියට
විටෙක ඔහු අපේ සිනමාවේ ප්‍රබල සටන්කාමියකු වූයේය. ඒ තරමටම වීරයාගේ චරිතයෙන් ද ඔහු ප්‍රේක්ෂක හදවත් දිනාගත් බව රහසක් නොවේ. ඒ සැමටම වඩා ඔහු අපේ සිනමාවේ කැපී පෙනුණේ දුෂ්ටයකු ලෙසිනි. චිත්‍රපට දෙසීයකට අධික සංඛ්‍යාවක එකී, නොකී විවිධ චරිත රඟමින් වරෙක වේදිකාවේ ‘මනමේ’ කුමාරයා වූයේ ද ඔහුය.
තවත් වැඩිදුර යමක් නොකියාම මම ක්ලීටස් මෙන්ඩිස් නමැති ඒ අපූර්ව රංගන ශිල්පියා ඔබේ මතකය අද්දරට කැඳවා එමි. කලෙක පටන් සිත යට ගුලි ගැහුණු හීන අහුරක් සිනමා සිත්තමකට කැටි කර ඔහු මෙවර ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසිනි. ‘පරපුර’ ඔහුගේ ඒ කුලුඳුල් සිනමා සිත්තමයි.
සිය රංගන දිවියේ හතළිස් වසක් සපුරන ක්ලීටස් අද මෙසේ අප හා එක් වන්නේ ‘පරපුර’ ක වගතුග සමඟින් ඔහුගේ සොඳුරු මතකයන් ඔබ වෙනුවෙන් අවදි කිරීමටය.
චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමේ සිහිනය කලක පටන් ඔබේ සිතේ තිබුණ දෙයක්. ඇයි මෙතරම් ප්‍රමාද වුණේ?
නෑ, ඇත්තටම මගේ එහෙම ආසාවක් තිබුණට මෙච්චර ඉක්මන් වෙන්න හිතුවේ නෑ. මීට පෙර ‘වීර උදාර’ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තිබුණා. නමුත් චිත්‍රපට අධ්‍යක්ෂණය ඊට වඩා බැරෑරුම් කාර්යයක්. අවුරුදු හතළිහක් පුරා ක්ෂේත්‍රයේ හිටියත් මම ඒකට ඉක්මන් නොවුණේ ඒ නිසයි. කොහොම වුණත් ‘පරපුර’ නිෂ්පාදක බැසිල් ජයසූරිය මහත්මයා තමයි කිව්වේ මේ වගේ වැඩක් කරමු කියලා. ඊට පස්සේ තමයි වැඩේට අත ගැහුවේ. මගේ අත්දැකීම් එක්ක බලන කොට මේ ගත්ත තීරණය වැරැදි එකක් නෙවෙයි කියා මම හිතනවා.
මේ වැඩේට මෙච්චර ඉක්මන් වෙන්න හිතුවෙත් නෑ කියා ඔබ කිව්වා. ඇයි ඒ?
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළාට ඒකට තවත් අත්දැකිම් අවශ්‍යයි කියලා මට හිතෙනවා. එතැනයි මම ඉන්නේ. මම වාණිජමය චිත්‍රපටයක් තෝරා ගත්තෙත් ඒකයි. මේ වෙන කොට මම චිත්‍රපට දෙසීයක විතර රඟපාලා තියෙනවා. ඒත් එයින් සියයට අධික ප්‍රමාණයක් කොපි චිත්‍රපට. මම වැඩිය කැමැති නෑ කොපි චිත්‍රපටවලට. නමුත් මම වෘත්තිය නළුවකු නිසා එහෙම රඟපාන්න සිද්ධ වුණා. හැබැයි මම එදා ඉඳන්ම හිතපු දෙයක් තමයි කවදාවත් කොපි නිර්මාණයක් නම් කරන්නේ නෑ කියන එක. ඉතින් ඒක නිසා තමයි මගේම තිර පිටපතක් මම ලෑස්ති කර ගත්තේ. රාජසිංහ ලෝලුවාගොඩත් ළඟ තියාගෙන මම මේක ලිව්වේ. අපේ රටේ ලොකුම සම්පත තමයි ‘ගොවිතැන’. ඒක මුල් කරගෙන තමයි මම තිර පිටපත ලිව්වේ.
‘පරපුර’ ආදරය, සෙනෙහස වගේම ත්‍රාසය, භීතිය කැටි කර ගත් චිත්‍රපටයක්?
ඔව්. විශේෂයෙන්ම මවු සෙනෙහස ගැන මේ චිත්‍රපටයේ කියැවෙනවා. ඒ වගේම යොවුන් ප්‍රේමය. ගොවි පවුලක් වටා ගෙතුණ මේ කතාවට මම අද රටේ තියෙන දේශපාලන සංස්කෘතියත් ටිකක් ඈඳා ගත්තා. ඉතින් ප්‍රථම චිත්‍රපටය වුණත් මම සාර්ථකයි කියලා මට හිතෙනවා.
රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, රන්ජන් රාමනායක, නීටා ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක වැනි ප්‍රවීණයන් මෙන්ම නවක නළු නිළි පිරිසකුත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. පරම්පරා තුනක එකතුවක්. ඒ හේතුව නිසාමද ඔබ මෙය ‘පරපුර’ කියා නම් කළේ?
හුඟක් අය හිතන්නේ එහෙම. ඒකත් හරි. නමුත් මුලින් මට අවශ්‍ය වුණේ මේ ‘ගොවි පරපුර’ කියන අර්ථය ඉස්මතු කරන්නයි. නළු, නිළි පරපුරක්ම මේ වැඩේට හවුල් වුණ නිසා ඇත්තටම ඒ අර්ථයත් ගැළපෙනවා. ගොවි පරපුර එහෙන්. නළු නිළි පරපුර මෙහෙන්. ඉතින් ඒ දෙකම මේ කතා තේමාවට හරි කියලා මම හිතුවා.
යාළුකමට, හිතවත්කමට නළු නිළියෝ තෝරා ගත්ත ද කියලත් චිත්‍රපටය නරඹන කොට මට හිතුණා?
නෑ. ඇත්තටම එහෙම එකක් නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මාත් එක්කම වගේ ක්ෂේත්‍රයට ආපු, නැතිනම් මගෙත් එක්ක නිතරම වැඩ කරපු නළු, නිළියෝ චිත්‍රපටයේ ඉන්න නිසා වෙන්නැති. දැන් රවීන්ද්‍ර රන්දෙනිය මට වඩා සීනියර්. නමුත් ඒ හැමෝම මම සලකන්නේ මගේ මිත්‍රයෝ, සහේදරයෝ හැටියට. අද පරපුර වුණත් මට සහෝදර, සහෝදරියන් වගේ තමයි.
කාලයක් එකට රඟපාපු, සහෝදර නළු, නිළියන් හසුරවද්දී මොන වගේ අත්දැකීමක් ද ඔබ ලැබුවේ?
ඔවුන් මට පුදුම සහයෝගයක් ලබා දුන්නා. හැමෝම උපරිම කැපවීමෙන් වැඩ කළා. ඇත්තටම ඒ නිසා මට ලොකු සැහැල්ලුවක් දැනුණා. මොකද මමත් නළුවෙක් නිසා ඔවුන්ගේ උපරිම රංගනය උකහා ගන්න තමයි නිතරම උත්සාහ කළේ. ඒක අතිශයින්ම සාර්ථක වුණා.
කිසියම් අද්භූත බලවේගයක් තිබෙන, නිකං සුපර් මෑන් මොඩලයේ චරිතයක් ඔබ ‘පරපුර’ට සම්බන්ධ කරනවා?
ඔව්, ඔව්.
ඇයි එහෙම දෙයක් කළේ?
හැඩි, දැඩි අපට හිතන්න බැරි දේවල් කරපු මිනිස්සු හිටියා අපේ ඉතිහාසයේ. ඒ සංකල්පය තමයි අද සමාජයට ගැළපෙන විදිහට මොඩිෆයි කරලා, අලුත් තාක්ෂණය යොදාගෙන මම ඒ චරිතය හරහා ගේන්න උත්සාහ කළේ.
මේ ගොවි පවුලේ කොල්ලොම තුන් දෙනයිනේ. ලොකු පුතා ගොවිතැන ආරක්ෂා කරගෙන පියාගේ අඩි පාරෙම යනවා. දෙවැනියාට අවශ්‍යය ගොවිතැන නෙවෙයි. ගායකයෙක් වෙන්න. නමුත් අයියා කියනවා ඒ සේරම අත්හැරලා තාත්තාගේ ගොවිතැන් කරන්න කියලා. එයා ඒවා අහන්නේ නැතුව ගෙදරින් පැනලා ගිහින් ජනප්‍රිය ගායකයෙක් වෙනවා. එයාගේ අධිෂ්ඨානය එයා අවසානයේ ඉෂ්ට කර ගන්නවා. එතකොට බාලම සහෝදරයාට තමයි අර අද්භූත බලවේගය තියෙන්නේ.
රන්ජන් රාමනායක ලොකු අයියා එක්කයි, චිලී පොඩි අයියා එක්කයි හරි හරියට රඟපාන මේ යොවුන් නළුවා ගැනත් විශේෂ දෙයක් තියෙනවා ඔබට කියන්නට?
මගේ අයියාගේ පුතා ඩිලංග මෙන්ඩිස් තමයි ඒ චරිතය රඟපාන්නේ. එයාගේ පොඩි කාලේ චරිතය කළේ කමල් අද්දරආරච්චිගේ පුතා. පුංචි කාලේ ඉඳන්ම මම පෙන්වනවා එයාට තියෙන නොපෙනෙන බලවේග. කරන්ට් එක ඇල්ලුවාම වදින්නේ නෑ. වාහනයකට යට වෙලත් එයා නිරුපද්‍රිතව නැගිටලා එනවා. ඒ වගේ දේවල්.
නමුත් එබඳු අභව්‍ය සිදුවීම්, දර්ශන ඇතුළත් කිරීමෙන් චිත්‍රපටයට යම් හානියක් සිදු වුණා කියා ඔබට සිතෙන්නේ නැතිද?
අද තියෙන තාක්ෂණයත් එක්ක සිනමාව ගිහින් තියෙන දුර බලන කොට ලෝකයේ ඒවා පිළිගන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. දැන් අද ෆයිට් එකක් කළත් කේබල්වලින් උඩ ගිහිල්ලා එහෙම ෂොට්ස්නේ ගන්නේ. ප්‍රේක්ෂකයෝ ඒවා ඉහළින් පිළි අරගෙන තියෙනවනේ. ඉතින් අපිත් ලෝකේ යන හැටියට පොඩ්ඩක් යන්න ඕනෑනේ. ඒක තමයි මම කරන්න උත්සාහ කළේ. මේ සහෝදරයන්ගේ චරිත තුන වෙන වෙනම අරගෙන මට චිත්‍රපට තුනක් කරන්න තිබුණා. ඒත් මට අවශ්‍ය හැමදේම පොඩ්ඩ පොඩ්ඩ හරි අරගෙන මේ චිත්‍රපටය කරන්න මට ඕනෑ වුණා. ඒක එක්තරා විදිහක අත්හදා බැලිමක්.
රන්ජන් රාමනායකත්, ඔබත් එකම පාසලේ. ඔබ අද චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වී ඔහුව මෙහෙයවනවා. කොහොමද රන්ජන් ගැන ඒ අතීත මතකය?
ඔහුත්. මමත් දෙන්නම ඉගෙන ගත්තේ මීගමුව මාරිස්ටෙලා විදුහලේ. රන්ජන් මට වඩා බාලයි. ඒ කාලේ ෆුට්බෝල් ටීම් එකේ මම ඉහළින්ම හිටියා. මැච් එකක් ගහලා දිනුවාම අපි නළුවෝ වගේ තමයි ස්කෝලේ. හැමෝම අපේ පස්සේ. ඉතින් මට මතකයි රන්ජන් හැම වෙලේම අපේ පස්සේ එනවා. එදත් කොන්ඩේ බොකුටුයි, කෙට්ටුයි. අපෙන් අකාලේ සමුගත් චිත්‍රපට නළු රන්ජන් මෙන්ඩිස් මගේ පන්ති සගයා. දවසක් අපි පස්සේ වැටිලා මෙයා එනවා. බෙල් එක ගැහුවා. ඒත් ගාණක් නෑ. පස්සේ මම ටොක්කක් ඇනලා ‘මේ දුවනවා පංතියට’ කිව්වා.
සුන්දර මතකයක්?
අදටත් රන්ජන් ඕක මතක් කරනවා. ‘උඹ ටොක්කක් ඇනලා මාව එලෙව්වා’ කියලා. ඉතින් ඒ කාලේ වුණත් පොඩි ජනප්‍රියත්වයක් තිබුණා මිනිහට. දක්ෂයාට ගරු කරපු, ආදරය කරපු කෙනෙක් රන්ජන්. මම දන්නවා ඔහු මේ ගමන එන්න මොන මහන්සියක් වුණා ද කියලා. ඒ කටුක අතීතය නොසඟවා කියනවනේ ඔහු අදටත්.
හිතුවද කවදා හරි රන්ජන්ව ඩිරෙක්ට් කරන්න ලැබෙයි කියලා?
නෑ. අපෝ නෑ . . . මම රන්ජන්ට මේ චිත්‍රපටය කරන්න කතා කරන කොට කිව්වේ ‘රන්ජන් මට ප්‍රේක්ෂකයන්ගෙන් විසිල්, අත්පොළසන් ඕනෑ නෑ. මේක බලලා යන කොට ෂඞ රන්ජන් මරු චරිතයක් කරලා තියෙනවානේ කියලා කියනවා නම් මට එච්චරයි ඕනෑ’ කියලා.
එදා ටොක්කකුත් ඇනලා අද මඩේ දාලා මඩෝනවා. දුක හිතුණේ නැතිද?
ඒක මාර කැපවීමක්. ඇත්තටම රවි අයියගේ ඉඳලා ඔය ඔක්කොම මඩට බැස්සා. කිසිම දවසක පස්ස ගැහුවේ නෑ. ඒ කුඹුරේ තිබුණ මඩ පරීක්ෂාවට යවලා අලුතින් මඩ කරලා තමයි ඒ කුඹුර මම හැදෙව්වේ. පොඩි පහේ නළු, නිළි පිරිසක් නෙවෙයිනේ. අනෙක කොයිතරම් වටින පිරිසක්ද?
‘මී උණ’ එහෙමත් හැදෙන්න තිබුණනේ?
නැතුව, එහෙම වුණා නම් මාර විනාශයක්නේ. අන්තිමට මඩවලින් වැහිලා ඇස් අර ගන්නවත් බෑ. මාර මඩක් කෑවේ. රන්ජන්, රවි අයියා එක්ක එයාව මඩේ දාපු එක ගැන කියපු දේවල් පත්තරේට කියන්න බෑ. හැබැයි ඒ සේරම විහිළුවට. රවි, සනත්, ජීවන්, මේ හැමෝම මඩට බැස්සා කියන්න කලින්. විශේෂයෙන්ම සනත් ගේ රඟපෑම් ගැනත් කියන්න ඕනෑ.
සනත් ගුණතිලකව මානසික රෝගියෙක් කරනවා ඔබ අන්තිමට?
ඔව්, ඇත්තටම.
රාජමන්ත්‍රී?
එයා වාණිජ සිනමාවේ රඟපෑ විශිෂ්ටතම චරිතයක් මේක. චරිතය පුරාම සනත් ලොකු වෙනසක් කරලා තියෙනවා. මම කියන දේ හරියටම ඔහු කළා. අරක බෑ. මේක බෑ කිව්වේ නැහැ. හැමෝම තමන්ගේ චරිත හොඳට රඟපෑවා. අනෙක මේ කිසිම කෙනෙක් මට ගාණක් කිව්වේ නෑ. ඒ අයගේ නියම ගාන ගෙව්වා නම් මට ෆිල්ම් එක කරන්න හම්බ වෙන්නේ නෑ. ආර්ටිස්ට්ලාට ගණන් ගෙවලා නිකං ඉන්න වෙනවා ඒ හිටපු පරපුරේ හැටියට. හැබැයි මට පුළුවන් සාධාරණයක් මම ඉෂ්ට කළා හැම කෙනාටම. මම දුන්න දේ අරගෙන ගියා මිසක ආයේ ප්‍රශ්න කෙරිල්ලක් නෑ. ඉතින් ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්.
‘චිලී’ ගේ රංගන හැකියාව ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැනත් විශේෂයෙන් කියන්න ඕනෑ. ‘චිලී’ ගායනයට වගේම රංගනයටත් දක්‍ෂයෙක් කියලා මේ චිත්‍රපටයෙන් ඔප්පු කළා. ඉතාමත් කැමැත්තෙන් තමයි ඔහු රංගනයට දායක වුණේ. ඇත්තෙන්ම කිසිම මුදලක් ඔහු බාර ගත්තෙ නෑ. ‘මේ වගේ ප්‍රවීණ නළු නිළියො එක්ක රඟපාන්න අවස්ථාව දීපු එකම ලොකු දෙයක්’ කියලයි චිලී කිව්වේ. ඒත් ඔබ ම දකින්නැති ඔහු කොයි තරම් හොඳට ඒ චරිතය රඟපෑවද කියලා. සටන් ජවනිකාත් ඔහු පළපුරුදුකාරයෙක් විදිහට කළා. ‘පරපුර’ සටන් අධ්‍යක්‍ෂණය කළේ ටෙඩී විද්‍යාලංකාර. ඔහුටත්, මටත් ඕනෑ විදිහට ‘චිලී’ ඒකත් කළා.
සටන් කලාව ඔබට ආගන්තුක දෙයක් නෙවෙයි. ඒත් සටන් අධ්‍යක්‍ෂණය ටෙඩීට පැවරුවේ දැන් ඉස්සර වගේ අඩව් අල්ලන්න බැරි නිසාද?
අනේ නැහැ. මොකද දන්නවද මම ඇත්තටම හිතුවේ මගේම පරපුරේ දක්‍ෂයකුට ඒ අවස්ථාව දෙන්න ඕනෑ කියලයි. ඔය සමහර චිත්‍රපටවල සටන් අධ්‍යක්‍ෂණය කළේ මම. ඒත් කිසිම දවසක මම නම දාගෙන නෑ. ඒකට වෙනම අය ඉන්නවනේ. ටෙඩීට මම මගේ අයිඩියාස් කිව්වා. ඔහු ඔහුට අවශ්‍ය දේ කළේ නෑ. මට ඕනෑ දේ උපරිම විදිහට කරලා දුන්නා.
පිටිපස්සෙ ඉඳන් ඔබත් ඔහුව අධ්‍යක්‍ෂණය කළා?
ඔව්, ඔව්. . . මටත් වැඩේට ටිකක් බහින්න වුණා. මොකද ටෙඩී ඒ වෙනකොට හිටියෙ කකුල් දෙකම කඩාගෙන. මම වාහනේ යවලා ඔහුව දර්ශන තලයට ගෙන්න ගෙන පුටුවක ඉන්දවලා තියාගෙන තමයි වැඩේ කර ගත්තේ. වෙන කිසිම කෙනෙක් එන්නෙ නෑ එහෙම තත්ත්වයක හිටියානම්.
හොඳ වෙලාවට ඔබේ වැඩේට ඇවිත් නෙවේනෙ ඒ දේ වුණේ. ඊට කලින් කකුල් දෙක කැඩිලනේ තිබුණේ?
හඞ හඞ හා... ඔව්. ඊට කලින්.. ඊට කලින්...
දශක හතරක් සිනමාවේ රැඳී සිටියත් මම හිතන්නේ ක්ලීටස් අයියාට වැඩිපුරම පෙම්වතාගේ චරිතය රඟපාන්න ලැබුණෙ නැහැ.?
“වීර උදාර”, එතකොට “චිට්ටි” වගේ චිත්‍රපට කිහිපයකම මම පෙම්වතාගේ චරිතය කළා. පෙම්වතාගේ චරිතය කළාට ඒ හැම එකක්ම මතුවුණේ දුෂ්ට චරිත හරහා. ඒ නිසා ඔබ කියපු දේ හරි කියලා මටත් හිතෙනවා. මොකද සෙට් වුණේම අර විදිහටනේ.
චිත්‍රපට දෙසීයකට වැඩි ප්‍රමාණයක ඔබ රඟපෑවා. සෑහීමකට පත් වෙනවද ඒ කරපු දේවල් එක්ක?
නෑ.. එහෙම සෑහීමකට පත් වෙන්න බෑ. ඇත්තටම වාණිජ සිනමාවේ වැඩිපුර රඟපෑවත් මට අවශ්‍ය වුණේ චරිතාංග නළුවෙක් වෙන්න. ‘විරාගය’ චිත්‍රපටයේ ඒ අවස්ථාව මට ලැබුණා. ඒ වගේම ‘කඩුල්ල’ ටෙලි නාට්‍යයේ මම රඟපෑ චරිතයත් මගේ රංගන දිවියේ සන්ධිස්ථානයක්. අර වගේ චිත්‍රපට සීයක රඟපෑවත් හරි, ඒ වගේ එක චිත්‍රපටයක රඟපෑවත් ඇති.
බොහෝ නළුවන්ට නොලැබුණ අවස්ථා ක්ලීටස් මෙන්ඩිස්ට ලැබුණා. ඒත් ඔබට මීට වඩා යමක් කරන්න පුළුවන්කම තිබුණා කියලා අද හිතෙන්නෙ නැතිද?
මට එහෙම හිතෙනවා. චිත්‍රපට සංඛ්‍යාවෙන් වැඩි වුණාට මට වුණේ දුෂ්ට චරිත වැඩිපුර රඟපාන්න.
බොහෝ අධ්‍යක්‍ෂවරුන් ඔබව එක තැනක කොටු කළා කියලා මම කිව්වොත්?
ඒ අයට බොහෝ විට මාව පෙනුනේ දුෂ්ටයෙක් විදිහට තමයි. ඒකටත් හේතුවක් තිබුණා. සනත්, ජීවන් වගේම රන්ජන්, ශෂී මේ කවුරු රඟපාන්න ආවත් අහන දෙයක් තමයි කවුද ඔපසිට් ඉන්නෙ කියලා. මම ඉන්නවා නම් තමයි ඒ අය කැමැති. එහෙම දෙයක් තිබුණා. මට මතකයි සුනිල් සෝම පීරිස්ට ඒ කාලෙ මම නිතරම කියනවා ඇයි මේ හැමදාම මාව විලන් කරන්නේ කියලා. ‘මමයි රජා’ කරනකොට සුනිල් අයියා මට කිව්වා ‘හරි මම මේ චිත්‍රපටයේ කොල්ලො තුන්දෙනා ගෙන් කෙනෙකුට උඹව ගන්නම් හැබැයි ඔපසිට් යන නළුවෙක් උඹම හොයලා දීපන්’ කියලා.
ඉතින්.....?
පස්සේ, මම තමයි ස්ටැන්ලි වර්ණකුල හොඳට රඟපානවා කියලා ඒ මම කරන්න හිටපු චිරිතයට ඔහුව යෝජනා කළේ. පස්සෙ මම කොල්ලා වුණා. විජය කුමාරණතුංග එක්ක එකට රඟපෑ ඒ චරිතය මට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.
එහෙව් ක්ලීටස් මෙන්ඩිස්ම තමයි වේදිකාවේ ‘මනමේ’ කුමාරයා වුණෙත්?
ඔව්, 1986 දී වගේ තමයි මම මනමේ කුමාරයට එන්නේ. අවුරුදු හතරක් විතර ඒ චරිතය කළා. විජය නන්දසිරි අවුරුදු විසිහතක් රඟපෑ ඒ චරිතය ඊළඟට ලැබුණේ මට.
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඇසුරේ, ඔහුගේ ගුරුහරුකම් මැද ඒ ගෙවුණු කාලයත් ඔබේ ජීවිතයේ සුවිශේෂී අත්දැකීමක් වෙන්නට ඇති?
සරච්චන්ද්‍රයන් හමු වෙනකොට මම ටිකක් දරඳඬු පුද්ගලයෙක්. ඒ කියන්නේ වැරදි වැඩ කරපු පුද්ගලයෙක් කියන එක නෙවෙයි. ටිකක් දඩබ්බරයි.
නාහෙට අහන්නැති කාලේ?
අන්න හරි, හිතුවොත් ආයේ දෙයක් අරින්නේ නෑ වගේ මානසික මට්ටමකනේ හිටියේ. නමුත් මම සරච්චන්ද්‍රයන් සමඟ කතා කරපුවාම මම කොහෙද ඉන්නෙ කියලා මට හිතිලා තියෙනවා. මොකද ඒ තරම් සුන්දර මිනිසෙක් මගේ ජීවිතේ මම දැකලා නෑ. මාව මනමේ කුමාරයට තෝරා ගත්තාම සරච්චන්ද්‍රයන් වටේ හිටපු පිරිස කියලා තියෙනවා ‘මොකක්ද සර් මේ පිච්චර්වල ඇක්ට් කරන කෙනෙක් මනමේ කුමාරයාට ගත්තේ’ කියලා. පස්සෙ මට ආරංචි වුණේ.
ඔබ චිත්‍රපට නළුවකු වග සරච්චන්ද්‍රයන් දැනගෙන හිටියේ නැහැ?
එතුමාට මම හිතන්නේ එතරම් ඒ ගැන අවබෝධයක් තිබුණේ නෑ. හරි අපූරු සිදුවීමක් මට මතක් වෙනවා. කළුතරදී ‘මනමේ’ වේදිකා නාට්‍යය රඟ දක්වන්න අපට සිදු වුණා. කළුතර සිනමාශාලා දෙකකම ඒ වෙනකොට තිරගත වුණේ මම රඟපෑ චිත්‍රපට දෙකක්. එකක් ‘සුර දූතියෝ’ අනෙක මට මතක නෑ. ඉතිං කළුතර ‘මනමේ’ ෂෝ එක බලන්න පුදුම සෙනඟක් ඇවිත් හිටියා. හිටගෙන බලන්නේ. දැන් අන්තිමට මම වැද්දාව මෙල්ල කරගෙන බිසවගෙන් කඩුව ඉල්ලනවනේ ඔහු මරන්න. ඒ වෙලාවෙදී එතන හිටපු කොල්ලො සෙට් එකක් ‘ක්ලීටස් අයියා මොකටද කඩු, දෙන්නකෝ පික්චර් පාරක්’ කියලා කෑ ගැහුවා. ශාලාව දෙදරන්න ගත්තා. සරච්චන්ද්‍රයන් කලබල වුණා.
ඊට පස්සේ මොකද වුණේ?
එතුමා ටිකක් කේන්තියෙන් වගේ ‘මේක මේ නල්ලතම්බි නාට්‍යයක් කියලා හිතුවද’ කියලා කාටදෝ කිව්වා මට මතකයි. මට තේරුණා මේ ඇවිත් ඉන්නේ ෆිල්ම් ක්‍රවුඩ් එකක් කියලා. පස්සේ සංවිධායකවරු ගිහින් ඒ අයට නිශ්ශබ්දව ඉන්න කියපුවාම ‘යනවා ඕයි යන්න බම්බුවේ මනමේ, අපි ආවේ ක්ලීටස් අයියා බලන්න’ කියලා ආයේ කෑ ගහන්න පටන් ගත්තා. පස්සෙ මම මැදිහත් වෙලා ඒ පිරිසට කිව්වා නාට්‍යය තාම ඉවර නෑ, කෑ ගහන්න එපා කියලා. ‘නෑ ක්ලීටස් අයියා අපි කෑ ගහන්නේ නෑ. මේ ඔයාට බකප් එකක් දුන්නේ’ කියලා. ඩොක්ටර්ට මම ඒ ගැන පහදලා දෙන්න ගියහම ඔහු අහක බලාගත්තා. ඒ ෂොක් එකට ආයේ නාට්‍යය පටන් ගන්නකොට මගේ හඬ පිට වුණේ නෑ. සම්පූර්ණයෙන් ගොළු වුණා. මොකද මම එතුමාටත්, එතුමා මටත් ගොඩක් ළඟින් බැඳිලා හිටියා. ඩොක්ටර්ගේ අර විදිහේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවුණ මට ඒක දරා ගන්න බැරිව ගියා. කෝරස් එකෙන් තමයි ඉතුරු හරිය සේරම ගියේ.
මම හිතන්නේ සරච්චන්ද්‍රයන් ඔබව ‘මනමේ’ චරිතයට තෝරා ගන්න ප්‍රධානම හේතුව වුණේ ඔබගේ ගායන කුසලතාව?
ඒක ඇත්ත. විශේෂයෙන්ම සරච්චන්ද්‍රයන් හැමවිටම තමන්ගේ නළු, නිළියෝ තෝරා ගන්නේ ඔවුන් සතු ගායන හැකියාව පරීක්‍ෂා කරලා. එතුමා මුලින්ම හමුවන්න ගිය දවසේ ස්ර්පිනාව ළඟ වාඩිවෙලා ‘දරුවා මනමේ බලලා තියෙනවද’ කියලා ඇහුවා. මම ‘ඔව්, සර්’ කිව්වම ගීතයක් ගායනා කරන්න කිව්වා. ‘ප්‍රේමයෙන් මන රංජිත වේ’ ගීතයයි මම ගැයුවේ. එතුමා ඒ ගැන හොඳටම පැහැදිලා එතන හිටපු දිද්දෙණියටයි, කිසාගෝතමී දියණියටයි කිව්වා ‘මෙයා මනමේ කුමාරයට හොඳයි. රිහසල් කරලා ගන්න’ කියලා. එච්චරයි.
විජය කුමාරණතුංගයන්ගේ අභාවයත් සමඟ ක්ලීටස් මෙන්ඩිස් කියන ගායකයා නැවත ඉපදුණා කියලා මට හිතෙනවා. ඒත් ඒ ගායකයා අද යළි නිහඬයි?
පාසල් යන කාලෙත් මම ඔය ගෲප්වලට සිංග් කරනවා. මගේ පියාට ගායන හැකියාවක් තිබුණා. ඉතින් ඒක මටත් ඇවිත් තිබුණා. නැතිව ප්‍රගුණ කරපු දෙයක් නෙවෙයි. තාත්තා එඩී අංකල්ලා එක්ක පවා වේදිකාවේ රඟ පෑ කෙනෙක්. ඒ හැකියාව උපතින්ම උරුම වුණ දෙයක්. මම විජය අයියට පුදුම ආදරයක් තිබුණේ. නළුවෙක් හා ගායකයෙක් විදිහට. ඉතින් මම හැම තිස්සෙම එයාගේ හඬ දාලා ඒ ගීත ගායනා කරනවා. නැතිව මට උප්පත්තියෙන් විජය අයියා වගේ හඬක් පිහිටලා තිබුණේ නෑ.
කිසියම් විදිහක අනුකරණයක්?
අනුකරණය කිරීමක් කළේ, එහෙම කරගෙන, කරගෙන යනකොට තමයි මට ඒක ඉබේටම පිහිටියේ. නමුත් මම වෘත්තියක් හැටියට ගායනය කළේ නෑ. චිත්‍රපට පහක විතර මම ගීත ගායනා කළා. සී. ඩී. තැටියක් නිකුත් කළා. ඒත් ඒවා ඉස්මතු කරන්න මට අවශ්‍යතාවක් තිබුණේ නෑ. මට අයිති වෘත්තියක් තියෙනවනේ. ඒක කරගෙන ගියා. හැබැයි මම අදටත් ආසාවට විජය අයියගේ ගීත ගායනා කරනවා.
“පරපුර” ප්‍රදර්ශනයට එක්වන්නේ කවදාද?
අගෝස්තු 14 වැනිදා පටන් රිත්ම මණ්ඩලයේ සිනමාහල් තිහක මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. මම හිතන්නේ දැනටමත් මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව සැදී පැහැදී සිටිනවා ‘පරපුර’ නරඹන්න. ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියන විශ්වාසය මා තුළ තිබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ මගේ මිත්‍රයා නිහාල් සංජයව. ඇත්තටම ඔහු දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙලා කටයුතු කළ නිසා තමයි ‘පරපුර’ මේ තරම් ඉක්මනින් ප්‍රදර්ශනයට එක් වුණේ.
පිටපත් ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නය ඔබට දැනෙන්නේ කොහොමද?
මේ මුදාහරින පිටපත් ප්‍රමාණය මටනම් ප්‍රමාණවත්. සිනමාව එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ බූදලයක් නෙවෙයිනේ. හැමෝටම තමන්ගේ නිර්මාණයට සාධාරණයක් ඉටුවෙන්න ඕනෑ. අපි හැමෝම පටු පරමාර්ථවලින් බැහැරව එකාමෙන් අත්වැල් බැඳ ගත්තොත් තමයි මේ සියලු අභියෝග ජය ගන්න පුළුවන් වෙන්නේ. මම ඉන්නේ එතැන.
සංවාදය – අසංක දේවමිත්ර පෙරේරා
http://www.sarasaviya.lk/2014/08/14/?fn=sa14081442