අබේ නැති අඩුව කාටවත් පුරවන්න බෑ
- නිරංජලා සරෝජිනී
ඇත්තටම’ ‘අප ගැයූ පේ‍්‍රම් ගේ ගී’ CD තැටිය එළිදක්වන්න හිටියේ දැනට වසරකට පෙරාතුවයි. මේ CD තැටියේ වැඩ කටයුතු හැම දේම අබේ මිය යන්න පෙරාතුව නිම කරලා තිබුණේ. CD එක එළිදක්වන්න ඔන්න මෙන්න කියල තියෙද්දී තමයි අබේ අසනීප වුණේ. එදා එයාගෙ හිතේ තිබුණු අරමුණ තමයි මම ඉදිරිපත්වෙලා මේ විදිහට ඉටු කරන්නේ. මේ CD එකේ එන හැම සින්දුවක් ම ප්‍රේමකීර්තිම අප දෙන්න වෙනුවෙන් අපිටම ලියපු ගීත. ඔහු අපිට ලියපු ගීත අතුරින් ජනප්‍රිය වුණු ගීත 20 ක් තමයි මෙහි ඇතුළත් වෙන්නේ. අබේගේ හිතේ තිබුණු මේ අදහස මේ විදිහට ප්‍රසංගයක් පවත්වල මට ඉෂ්ට කරන්න ලැබීම ගැන මට සතුටුයි. අබේ ගෙ ජීවිතේ පුරාම තිබුණ දෙයක් තමයි සැලසුම් සහගත බව. ඒක එයාගෙ මම දැකපු විශේෂ ලක්ෂණයක්. ඕනම දෙයකට එයා හරිම පිළිවෙළයි. මගෙ ජීවිතේ හැම දේම මම ඉගෙන ගත්තෙ එයාගෙන්. මං අබේ එක්ක විවාහ වෙද්දී මට වයස අවුරුදු 26 යි. මං ඊට වැඩි කාලයක් අබේ එක්ක ජීවත් වුණා. අවුරුදු 29 ක් විතර. ඒ කාලය තුළ මට හැම දෙයක් ගැන ම පවුල් ජීවිතේ වුණත් කලා ක්ෂේත්රයේ වුණත් හැම දේම ගැන හොඳ අවබෝධයක් ඔහු ලබා දුන්නා. එයා මට ජීවිතේ කියල දුන්න විදිහට ඉදිරි කාලය ගෙවා දමන්න මට ශක්තිය තියෙනවා. 2008 දී තමයි අබේට ස්නායු දුර්වලතාවයක් තියෙනවා කියල අපි දැනගත්තේ. එයා කතා කරන කොට පොඩි ගොත ගැසීමක් ආවා. කටහඬ වෙනස් වෙන්න පටන් ගත්තා. එතකොට තමයි අපි වෛද්‍ය පරීක්ෂණවලට යොමු වුණේ. ඒ වෛද්‍ය පරීක්ෂණවලින් කිව්වේ අබේගෙ ඇඟ ඇතුළෙ ස්නායු දුර්වලවීමක් තිබෙනවා කියලයි. මේකට කියන්නේ ‘මෝටර් නියුරෝන් ඩිසීස්’ කියලයි. ඒක හොඳ කරන්න බැහැ කියලා වෛද්‍යවරු මට කිව්වා. මේ තත්ත්වය ලක්ෂ පහළොවකින් අයෙකුට හැදෙන දෙයක්. ඇත්තටම අබේ මේ ගැන දැනගෙන හිටියෙ නැහැ. එයා හැම වෙලාවෙම හිතුවෙ එයාට හොඳවෙයි කියලා. මමත් එයාට මේ කිසිදෙයක් දැන ගන්න ඇරියෙ නැහැ. මම ඉතින් මේ එයාගෙ අඩුව ජීවිතේ කියාගන්න බැරි තරම් දෙයක්. මොන දේ කරන්න ගියත් මට එයාව මතක් වෙනවා. අබේ නැති අඩුව මේ ලෝකෙ කාටවත් පුරවන්න බැහැ. මේ ගේ පුරාම මට පේන්නෙ එයාව. දැනෙන්නෙ එයාගෙ සුවඳ. තනියම කල්පනා කරන වෙලාවට මට මතක් වෙන්නේ අපි දෙන්න සතුටින් හිටිය කාලේ නෙමෙයි. ඇත්තටම මට මතක් වෙන්නෙ අබේ අසනීපෙන්, දුකෙන් හිටපු ඒවා. හිතට වාවගන්න හරි අමාරුයි. ඒත් හිත හදාගෙන ඉන්න උත්සාහ කරනවා. වෙන මොනවා කරන්නද? ආයෙත් කවදාවත් මම සින්දු කියන එකක් නැහැ. සංගීත ක්ෂේත්රය කියන්නේ අපි දෙන්නම එකට ආපු ගමනක්. අබේ නොහිටින්න නිරංජලා සරෝජිනී කියලා කෙනෙක් සංගීත ක්ෂේත්රයේ නැති තරම්. මගේ නම රටේ හොඳ තැනකට ගෙන ආවේ අබේගෙ උදව් උපකාර ඇතිව. දැන් ඉතින් මට සින්දු කියන්න ශක්තියක් නැහැ. මගේ හඬත් ගිලිහිලා වගේ. අබේ අසනීපෙන් ඉන්න කාලෙ එයා හරියට දුක් වුණා. එයාට ආයෙ සින්දු කියන්න බැරිවෙයි කියලා. එයාගෙ සින්දුවක් යනකොට එයා හරියට දුක් වුණා. “මට ආයෙ මෙහෙම කියන්න පුළුවන් වෙයි ද?” කියලා. එයා මගෙන් අහනවා “අපි බලමු කො. ඔයාගෙ උගුරෙ අමාරුව හරියයි” කියලා මම ඒ අහන හැම වෙලාවෙම කියනවා. මම පුළුවන් තරම් එයාගෙ හිත හැදුවා. අපි දෙන්නම උත්සවවලට, සංගීත සංදර්ශනවලට ගියේ එකට. එහෙම එකට ගිහිල්ලා එකට සින් අබේ හිතුවෙ නැහැ එයා නැතිවෙයි කියලා. ඒත් අන්තිම දවස් දෙකේ එයාට තේරුණා පොඩ්ඩක් විතර ජීවිතේ අවදානම් කියලා. එයාට ජීවත් වෙන්න බැරිව යයි කියලා. එයා මට කොළේක ලියල දුන්නා ‘මගේ අවසන් මොහොතෙ මගේ ළඟ ඉන්න” කියලා. එයා ඇදේ ඉන්න මොහොතේත් මම හාමුදුරුවො වඩම්මවලා පිරිත් කියලා එයා ඉදිරිපිට දීම අටපිරිකර පූජා කළා. මොනවා කරන්නද එයා රෑ එකොළහකුත් ගාණට මාව දාලා ගියා. වෙලාවකට හිතෙනවා අපි දෙන්නට දරුවෙක්වත් හිටියා නම් කියලා. මේ වේදනාව ඒකෙන් හරි අඩුවෙන්න තිබුණා. නමුත් අපිට දරුවන් නැහැයි කියලා අපි දෙන්න දුක් වුණේ නැහැ. ඒක අපි දෙන්න විද දරා ගත්තේ අපිට දෙවියන් දුන්නු විදිහ කියල හිත හදාගෙනයි. අපි දෙන්න අපි දෙන්නට හුඟාක් ආදරෙන් හිටියා. හැම විටම එකටම තමයි ගමන් බිමන් ගියේ. ඒක තමයි මට දැන් දරා ගන්න අමාරු. මම හැමදාම දෙවියන් බුදුන් ඉදිරියේ ප්‍රාර්ථනා කරන්නේ අබේ හොඳ තැනක ඉපදිලා උපදින හැම ආත්මයකදීම එයා මටම ලැබෙන්න, මගේ ම වෙන්න කියලයි.
| ||
Copy Rights - Silumina |
0 comments:
Post a Comment