ක්‍රිස්‌තු පූර්ව පස් වැනි සියවසෙහි දී ග්‍රීසියේ රඟදැක්‌වුණු ග්‍රීක නාටකයක් ළඟදී කොළඹ ලයනල් වෙන්ට් රඟහලෙහි සිංහල භාෂාවෙන් රඟදැක්‌වූණේය. ප්‍රේක්‍ෂකයන්ට සිතුණේ එය පැරණි ග්‍රීක නාටකයක් කියා නොව අලුත්ම අලුත් සිංහල නාටකයක් කියාය. මක්‌නිසාද නාට්‍යයේ අන්තර්ගතයත් සන්දර්භයත් රංගනයත් අධ්‍යක්‍ෂණයත් නවීන වූ බැවිනි අපට අනාගන්තුක වූ බැවිනි. ඒ වනාහි සොෙක්‌ලීස් නම් ග්‍රීක නාට්‍යවේදියාගේ "ඇන්ටිගනි" නම් නාටකය යි. ආරිවංශ රණවීර සිංහලට පෙරළු "ඇන්ටිගනි" නාටකය, අධ්‍යක්‍ෂණය කර තිබුණේ ප්‍රියංකර රත්නායක ය.
සොපාක්‌ලීස් යනු ග්‍රීක නාට්‍ය කලාවේ මහා නාට්‍යවේදීන් තිදෙනාගෙන් කෙනෙකි. ඊස්‌කිලන් සහ යුරිපිඩීස් අනෙක් දෙදෙනාය. මේ තිදෙනාගේ නාටක, පරිවර්තන සහ අනුවර්තන ඔස්‌සේ සිංහල රසිකයන්ට හඳුනාගන්නට ලැබී තිබේ. රණවීර කවියා "ඇන්ටිගනි" පරිවර්තනය කොට මුද්‍රණය කළේ 1991 දී ය. සෝමලතා සුබසිංහ නාට්‍යාචාර්යවරිය විසින් 1994 දී එම පිටපත වේදිකාවට ගෙන එන ලදී. ප්‍රිංයකර රත්නායකගේ නාටකයට පදනම් වනුයේ ද ඉතා සුළු සංස්‌කරණවලට භාජන වූ එම පිටපත මය.
සොපාක්‌ලීස්‌ගේ ඊඩිපස්, නම් චිරප්‍රසිද්ධ නාටකයට අනුව සිය පියා ඝාතනය කිරීම සහ සිය මව භාර්යාව වශයෙන් තබා ගැනීම යන දෛවෝපගත මහා පාපකර්මයට මුහුණ දෙන ඊඩිපස් රජු රාජ්‍යයෙන් පිටුවහල් කරනු ලැබ අන්ත අසරණ ලෙස මිය යයි. "ඇන්ටිගනි" නාටකයෙහි එනුයේ ඊඩිපස් රජුගේ දරුවන් සිවුදෙනා පිළිබඳ කථාන්තරයයි.
ඊඩිපස්‌ගේ පිරිමි දරුවන් දෙදෙනා වන එටියෝක්‌ලේන් සහ පොලිනීසස්, රාජ්‍යත්වය සඳහා උනුන් ඇන කොටා ගනිති. පොලිනිසස් සතුරු හමුදාවන් රැගෙන විත් සිය රට වන තීබය ලබා ගැනීම සඳහා සටන් වදින අතර ඔහුගේ සොහොයුරා තීබයෙහි සිට පොලිනීසස්‌ට එරෙහිව සටන් වදී. දෙදෙනාම රණබිමෙහි මිය යති. තීබයෙහි රජ කළ ක්‍රියෝන් රජු රට වෙනුවෙන් සටන් කළ එටියෝක්‌ලේස්‌ගේ දේහය බුහුමන් සහිතව මිහිදන් කරන්ටත් පොලිනීසස්‌ගේ දේහය බලු කපුටන්ට බුදිනු පිණිස විසි කර දමන්ටත් තීන්දු කරයි. පුරාණ ග්‍රීක විශ්වාසය අනුව මළවුන්ට සුගතියක් හිමි වනුයේ ඔවුන් ගරුකටයුතු ලෙස භූමදාන කළහොත් පමණි. "ඇන්ටිගනි" නාට්‍යය ආරම්භ වන්නේ සිය සොහොයුරාට අත්වන්ට යන කුරිරු ඉරණම පිළිබඳ ඊඩිපස් රජුගේ දියණියන් දෙදෙනා වන ඇන්ටිගනි සහ ඉස්‌මෙන් අතර සිදුවන ගේය නට්‍යමය සංවාදයකිනි. ඇන්ටිගනි, ඉස්‌මෙන්ට මෙසේ කීයන්නීය.
"ඉස්‌මෙන් කෙසේ නම් කියාවිද මේ පුවත මියගිය අප දෙසොහොයුරන්ගෙන් එකෙකුට රාජ්‍ය ගෞරවැති අවමඟුලක්‌ද අනෙකාට අන්ත නින්දිත අවමානයක්‌ද හිමිකර ඇත රජු විසින්."
ඇන්ටිගනිට මේ දුක දරා ගත නොහැකිය. ඇය සිතන්නී රජ අණට අකීකරුව පොලිනීසස්‌ගේ මළ සිරුර වළදමන්ටය. ඉස්‌මෙන්ට එහි බරපතළකම වැටහේ. එපමණක් නොව සිය පියාත් මවත් නිසා මේ තාක් වින්දා වූ දුක් කන්දරාව ද සිහිපත් වේ.
සිතන්න නැඟණිය
අප විඳි පිරිපත ගැන
විඳින්නට වුණු සාපය.
නෙත් සඟල අඳ කරගෙන
තම අතින්ම
ලඡ්ජාවෙන් හා දුකින් පීඩිතව
නැසුණු හැටි අපගෙ පියා
අනතුරුව ඔහුගේ මව මෙන්ම
බිරිය ද වුණු
අපගේ මව
ගෙලවැල ලා ගෙන
මියගිය අයුරු
ඉස්‌මෙන් මෙසේ පවසන නමුදු ඇන්ටිගනි සිය අදහස වෙනස් නොකරයි. ඇය රාජ නීතියට අවනත නොවී පොලිනීසස්‌ගේ මළකඳ වළ දමයි. මෙය කුමන්ත්‍රණකාරීන් පිරිසකගේ රාජ්‍ය ෙද්‍රා්හී ක්‍රිsයාවක් බව නිගමනය කරන ක්‍රියෝන් රජු ඒ ෙද්‍රහීන් සොයා දඬුවම් දීමට නියෝග කරයි. සහෝදර ප්‍රේමයේ නාමයෙන් සහ මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ ක්‍රියාව සිදු කරනු ලැබ ඇත්තේ පොලිනීසස්‌ගේ සොයුරිය වූ ඇන්ටිගනි විසින් යෑයි දැනගත් පසුද ක්‍රියෝන් පැණවූ දඬුවම ලිහිල් නොවේ. ඇන්ටිගනි, ක්‍රියෝන් අබිමුවට පමුණුවනු ලබයි. මෙහිදී උද්ගත වන්නා වූ තර්ක විතර්කවලින් ග්‍යමාන වනුයේ අදීන ගැහැනියකගේ හෘදය සාක්‌කිය සහ අසීමිත රාජ්‍ය බලයෙන් අන්ධ වූ පාලකයකුගේ නරුම මානසිකත්වය යි. අනතුරුව ක්‍රියොන් වෙත පැමිණෙන ඉස්‌මෙන් පවසන්නී තමා ද මේ රාජ නීතිය කඩ කිරීමට හවුල් වූ බවයි. ඇන්ටිගනි ඇයගේ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කළ ද ක්‍රියෝන් විසින් ඉස්‌මෙන්ටද මරණ දඬුවම නියම කරනු ලැබේ. මේ අතර ඇන්ටිගනීගේ පෙම්වතා සහ ක්‍රියෝන්ගේ පුත්‍රයා වූ හීමන් පැමිණ සිය පෙම්වතිය මරණයෙන් ගලවා ගන්ට යත්න දරයි. මේ යුවතීන් දෙදෙනා මරා දැමුවහොත් මහජන මතය රජුට එරෙහිව නැගී සිටිනු ඇතැයි ඔහු අනතුරු හඟවයි. එවිට රජු ඇන්ටිගනීගේ මරණ දඬුවම, නුවරුන් ලවා ගල්වලින් පහර දී ගල්ලෙනක සිරගත කොට තැබීම දක්‌වා ළිහිල් කරයි. හදිසියේ ක්‍රියෝන් වෙත පැමිණෙන ටෙරෙසියාස් නම් අනාගත වක්‌තෘවරිය පවසන්නී ඔහුගේ සකලවිධ දඬුවම් දේව නීතියට පටහැනි බවයි. රජු එය නොපිළිගනී. ටෙරෙසියාස් ඔහුට දරුණු ශාපයක් කරයි. එයින් චංචල වන රජු පොලිනීසස්‌ගේ දේහය පිළිබඳ අවමඟුල් චාරිත්‍ර පැවැත්වීමටත් ඇන්ටිගනි නිදහස් කිරීමටත් තීරණය කරයි. එහෙත් ඒ අතර ඇන්ටිගනී ගල්ලෙනෙහි ගෙල වැල ලා ගෙන මිය යයි. සිය පෙම්වතියට අත්වූ ඉරණම දරා ගත නුහුරුව හීමන්, පියාගේ මුහුණට කෙළ ගසා සිය කඩුවෙන් ඇනගෙන දිවි තොරකර ගනී. මළගිය පුත දුටු ක්‍රියොන් බිසව සිය ස්‌වාමිපුරුෂයාට ශාප කරමින් කඩුවෙන් ඇනගෙන නසී. ක්‍රියොන්, මරණ තුනකට වගකිව යුතු ඝාතකයා බවට පත් කරමින් ඇන්ටිගනි දෘශ්‍ය කාව්‍ය නිමාවට පත්වේ.
ඇන්ටිගනි වනාහි කොතරම් සංකීර්ණ හා දීර්ඝ වූ වෘත්තාන්තයන් ද යන වග පූර්වෝත්ත කතා සාරයෙන් වූව පෙනෙන්නේය. ඒ මහා ශෝකාන්තය, ආරියවංශ රණවීර කවියා ඉතා ව්‍යක්‌ත, නාෙට්‍යාaචිත බවකින් සිංහලට පෙරළා ඇත. ඒ පරිවර්තන කාරිය රණවීර වන් ප්‍රශස්‌ත කවියකුට ම විනා හුදු ද්විභාෂික උගතකුට කළ හැකි දෙයක් නොවේ. ඔහුගේ බස ප්‍රාණවත් යප්‍රබල යකාව්‍යාත්මක ය.
රණවීරගේ නාට්‍ය පෙළ, ප්‍රියංකර රත්නායක සිංහල වේදිකාවේ අභිරංගනයක් බවට පත් කර ඇත්තේය. මේ අභිරංගය ඔහු මවන්නේ අත්වැල් ගායක කණ්‌ඩායම හෙවත් ගායන වෘන්දය උපයෝගී කොටගෙනය. ඇන්ටිගනි, ක්‍රියෝන් ආදීන් ප්‍රධාන චරිත වුව නාට්‍ය සන්දර්භය රඳා පවත්නේ ගායන වෘන්දය මතයි. මෙය ග්‍රීක සම්භාවස නාට්‍ය කලාවේ අභිඥානයක් ලෙස ද සැලකිය හැකිය. මන්දයත් ප්‍රධාන පෙළෙහි ග්‍රීක නාට්‍යවේදීන් තත්කාලීන පුදපූජා, නර්තනෝත්සවාදියෙහි ප්‍රචලිතව තිබුණු වෘන්ද ගීතිකා සම්ප්‍රදාය ස්‌වකීය නාට්‍යවල වාචිකාභිනය ලෙස නිතර භාවිත කළ බැවිනි. අප නාට්‍ය අධ්‍යක්‍ෂවරයා ද සමස්‌ත නාට්‍ය සිසාරා ගායන වෘන්දයෙහි අණසක පතුරුවා හරිමින් නාෙට්‍යාචිත අවස්‌ථා නිර්මාණයට, චරිත නිරූපණයට සහ චරිත විශ්ලේෂණයට එයින් ලබාගෙන තිබුණු අනුප්‍රාණය අසීමිතය. නාට්‍ය පෙළ ආශ්‍රයෙන් අධ්‍යක්‍ෂවරයා සිය පරිකල්පනයෙහි මවා ගත් රූපාවලිය ඔහු විචිත්‍රවත් කරනුයේ මේ ගායන වෘන්දය විවිධ හැඩතලවලට අනුව රංග පීඨයෙහි ස්‌ථානගත කිරීමෙනි. ඊට හර්ෂිකා රත්නායක නර්තන ශිල්පිනිය ගෙන් අධ්‍යක්‍ෂවරයාට ලැබී ඇති සහාය අතිමහත්ය.
සංවාද අඩු, ගීත වැඩි මෙබඳු දෘශ්‍ය කාව්‍යයක සංගීතයට හිමි වනුයේ විශේෂ ස්‌ථානයකි. ප්‍රමිත් දහනායක නම් වූ ආධුනික සංගීතවේදියා සිය වගකීම් භාරය නොපිරිහෙළා ඉටුකිරීම නිසා, "ඇන්ටිගනි" සඳහා නාෙට්‍යාචිත සංගීතයක් ගොඩනැඟී තිබිණි. සංගීතය පටිගත කර තිබුණේ වී නමුත් ගායන වෘන්දයෙහි සියල්ලෝ නිවැරදි ශ්‍රැති ස්‌ථානවල පිහිටා ප්‍රාණවත් සජීව ගායනයක යෙදුණාහ. රංග චන්ද්‍ර, රංගාභරණ, විදුලි ආලෝකය ආදී අවශේෂ අංගෝපාංග ද නාට්‍යය සමඟ සාකල්‍යයෙන් ම බද්ධ වී තිබිණි. අනුචිත බවත් පළ වූයේ ක්‍රෙයොන් රජුගේ ඇඳුම් ඇඟළුම්වල පමණි.
මෑත භාගයේ සිංහල වේදිකාවේ නුදුටු විරූ අපූරු, රංගනයක් ඇන්ටිගනි ලෙස රඟ පෑ ප්‍රසාදිනී අතපත්තු නම් වූ නවක නිළිය ඉදිරිපත් කළාය. ම්ලේච්ඡ පාලකයකුගේ ක්‌රූර ක්‍රියා කලාපය හමුවේ තැලී පොඩි වී ගිය ආත්මයක් ඇති එහෙත් අදීන අභීත හා මුරණ්‌ඩු යුවතියකගේ චරිතයට ඇය ආවේශ වී සිටියාය. වඩාත් අනුවේදනීය අවස්‌ථාවල දී ඇයගේ දෑසට කඳුළු උනා ආයේ ඒ නිසා විය යුතුය. ප්‍රසාදිනීට පසු ප්‍රේක්‍ෂක සිත් වඩාත් ආකර්ෂණය කර ගත් නිළිය වූයේ අනාගත වක්‌තෘවරිය ලෙස රඟ පෑ කෞශල්‍යා මැන්දිස්‌ය. විශ්වජිත් ගුණසේකර (ක්‍රියෝන්), ෙද්‍රපදී වික්‍රමසිංහ (ඉස්‌මෙනි), හීමන් (සමන් මලලසේකර), සෙබළා (තුමිදු දොඩන්තැන්න) ආදීහු ද සිය භූමිකා මැනවින් නිරූපණය කළහ.
ප්‍රියංකර රත්නායක බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු බව අපට පෙනී ගියේ මීට ඉහත ඔහු අධ්‍යක්‍ෂණය කළ "ඊඩිපස්" නාටකය නැරඹීමෙනි. ඇන්ටිගනි නාටකයෙන් ඒ බලාපොරොත්තු මල් ඵල ගැන්වී ඇත.
තවද කිව යුත්තක් තිබේ. එනම්, මේ නාටකය, ලංකාවේ විශ්වවිද්‍යාලයක නිෂ්පාදනයක් වීම ගැන යි. අද මෙරට පවතින්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නාට්‍ය නිෂ්පාදනය කළ විශ්වවිද්‍යාලය නොවේ. ප්‍රියංකරගේ ම වචනවලින් කියතොත් "වෙසක් දා වෙසක් කූඩුවකට, අවුරුදු දා කඹ ඇදීමකට ගහ මරා ගන්නා රස්‌තියාදුකාරයන් සහ මැරයන් ද සිටින "විශ්විද්‍යාලයකි. මේ නාටකය පුහුණු කරන්ට අවම වශයෙන් හය මාසයක්‌වත් ගත වන්ට ඇත. විශ්වවිද්‍යාලයක මේ හය මාසය යනු දීර්ඝ කාලයකි. මහා ශිෂ්‍ය සංගමය සහ පොදු සිසුන් අතර ගැටුමක් නිසා හෝ රතු බලකාය සහ නිල් බලකාය අතර ගැටුමක් නිසා හෝ විශ්වවිද්‍යාලය දින නියමයන් නැතිව වසා දමන්නට පුළුවන. පාසල්වල මෙන් දැන් විශ්වවිද්‍යාලවල ද වාර විභාග පවත්වන බැවින් නළු නිළියන් පුහුණුවීම්වලට නෑවිත් සිටින්නට පුළුවන. පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අණ පරිදි නළු නිළියන් නාට්‍යයෙන් ඉවත් වන්ට පුළුවන. මේ නාට්‍ය ව්‍යාපෘතිය ලෝක බැංකුවේ කුමන්ත්‍රණයක් ලෙස බහුජාතික සමාගමක බළල් අතක් ලෙස හෝ පෙනී ගියහොත් ප්‍රතිගාමී බලවේගයක් සේ සලකා "අන්තරේ උදවිය" ඊට එරෙහිව පිකටිං කරන්ට පුළුවන. එබඳු විශ්වවිද්‍යාලයකින් මේ කාලයේ මෙබඳු සම්භාව්‍ය ගණයේ නාටයකයක් බිහිවීම අතිදුර්ලභ සිදුවීමකි. එම ගෞරවය "ඇන්ටිගනි" නිෂ්පාදනය කළ කැලණිය විශ්වවිද්‍යාලයටත් එහි නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයටත් හිමිවිය යුතුය. "ඇන්ටිගනි", නොවැම්බර් 01 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශාලාවේදී නැවත වේදිකා ගත වේ. සම්භාව්‍ය නාට්‍ය රසාස්‌වාදනය රිසි රසික රසිකාවෝ වෙත් නම් එදින එම නාටකය නරඹන්ට වටනේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනිල් ආරියරත්න
Archives
-
▼
2010
(172)
-
▼
August
(19)
- ධර්ම ශ්‍රී මුනසිංහ 1930 - 2004
- සින්තටික් තාප්පය කැලණියේදී
- සංගිලි වෙනුවෙන් වෙබ් අඩවියක්
- අගම් ලිහිණි
- බෝනිකි ගෙදර (Doll’s House)
- කරුණාසේන ජයලත් 1928 - 1994
- පී. බී. අල්විස් පෙරේරා 1917 - 1966
- කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
- රිජ්වේ තිලකරත්න 1932 - 1981
- අති විශිෂ්ට රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු කියයි
- දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා
- පරාක්‍රම සිල්වා - 2009
- ඉර හඳ යට
- අපෙන් දුරස් වූ සම්මානනීය නිළි සුනේත්‍රා සරත්චන්ද්...
- මැද රට රඟමඩල නාට්‍ය කණ්ඩායමක්
- භාත්ඛණ්ඩ විභාගයට අයැදුම්පත් කැඳවයි
- බඹර වළල්ල
- රාජිත නම් වූ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා
- කැලණියෙන් පැමිණි කැරලිකාර ග්‍රීක යුවතිය "ඇන්ටිගනි"
-
▼
August
(19)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Blogs of the Month
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
RADIO
කැලණියෙන් පැමිණි කැරලිකාර ග්‍රීක යුවතිය "ඇන්ටිගනි"
Thursday, August 5, 2010
Subscribe to:
Post Comments (Atom)


1 comments:
antigoni beluwa lassnayai
menditha
Post a Comment