----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත‍්‍රයේ කෙල්ලක්’’

Saturday, May 4, 2013



කුඩා කල සිටම කලා අංශයේ හැකියාවන් බොහොමයකට ඇය දක්‍ෂ වූවාය. එමෙන්ම ක‍්‍රීඩා ඉසව්වලට මෙන්ම කථික විවාද ආදී අංශවලටද දක්‍ෂ වූවාය. ඒ සියල්ල අතරේ ඇයට අවශ්‍යව තිබුණේ වෛද්‍යවරියක වීමටය. ඒ වෙනුවෙන් උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙනි.
 අනෙකුත් සියල්ලට දක්‍ෂ වුවද, ඇයට වෛද්‍යවරියක වීමේ අරමුණ සඵල කර ගැනීමට නොහැකි විය. ඉන්පසුව තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලී සිටි ඇය ජනසන්නිවේදනය හා පෞරුෂ වර්ධනය සම්බන්ධව ද තොරතුරු තාක්‍ෂණය සම්බන්ධව ද උපාධි ලබා ගත්තාය. මේ කාලය වන විට සංගීතය මෙන්ම ගායනය ගැන ඇයට තිබුණේ ලොකු උනන්දුවකි. ගෙදර පරිසරයේදී සංගීතයේ වින්දනීය වූ බොහෝ දේ අසන්නට ලැබීම ඊට හේතුව විය. කේමදාස මාස්ටර්ගේ සංගීතයට වෙසෙසින්ම ඇළුම් කරන්නට ඇය පටන් ගත්තේ මෙකී සමයේදීය. ඒ ඇළුම් කිරීම මෙන්ම කේමදාස මාස්ටර් යටතේ සංගීතය උගෙන ගැනීම යථාර්ථයක් කර ගත්තාය. අනතුරුව මාස්ටර්ගේ ‘අග්නි’ ඔපෙරාව හරහා කරළියට පිවිසියාය. එලෙසින් පිවිසි ගමනේ අද ඇය ‘‘රතු හැට්ටකාරිය’’ වී සිටින්නීය. සුබුද්ධි ලක්මාලි ඇයගේ නමය. සහතිකෙන්ම ගැයුමට හා රැඟුමට ඇය අපූරු කුසලතාවයක් දක්වන්නීය.

දී කිරි දී කිරි
දී කිරි දී කිරි
ගෙනාවා දී කිරි
මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි.....
එදා ප‍්‍රවීන රංගවේදිනිය අනුලා බුලත්සිංහල රතුහැට්ටකාරියට ගැයූ ඒ ගීතය ගයමින් අද රතුහැට්ටකාරිය වූ සුබුද්ධි සමග අද අපි කතා කරමු.


 කලා ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනා ඔබ ගැන කතා කරන්න පටන් ගත්තෙ ‘‘අග්නි’’ ඔපෙරාව නිසා? එහෙම නේද?
කේමදාස ශුරීන්ගෙ ඒ ඔපෙරාව සමග ගායන මෙන්ම රංගන හැකියාව පෙන්නුම් කරන්න මට පුළුවන් වුණා. එහිදී ප‍්‍රවීණ රංගවේදී කමල් අද්දරආරච්චි මෙන්ම ඉන්දිකා උපමාලි ප‍්‍රවීන ශිල්පිනිය සමගත් තවත් ප‍්‍රවීනයින් එක්කත් කටයුතු කරන්න ලැබුණා. ඒ සියල්ල ජීවිතයට පන්නරයක් වුණා. ඉන්පසුව කමල් අද්දරආරච්චි මහතා මගින් මහේන්ද්‍ර පෙරේරා රංග වේදියානන් හඳුනාගන්න ලැබුණා. ඔහුගේ ස්ටාර් ශ්‍රී ලංකා හිස්තැනක් ටෙලිනාට්‍යයට තෝරා ගත්තෙ ඉන්පසුවයි.


 ඉන්පසුව රඟපෑ නාට්‍ය සහ වෙනත් නිර්මාණ මොනවද?
බොහෝ දේ ලැබුණා. ඒත් දොඩංගොඩ බාර ගත්තා වගේ, ඒ ඔක්කොම බාර ගත්තෙ නැහැ. මට කළ හැකි යැයි හැෙඟන චරිත තෝරා ගත්තා. සුදත් රෝහණගේ ‘‘ගිරිකුල’’, උපාලි ගම්ලත්ගෙ ගුරුගීතය නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට අමතරව අපේ හිත මිතුරන්ගේ ආරාධනා අනුව කමල් අද්දරආරච්චි සහ අපි පැදුරුසාජ්ජ්වලට ගී ගයන්න ගියා. පෞරුෂ වර්ධනය සහ දිරි ගැන්වීම් වැඩ සටහන් සඳහා ඇඟළුම් ක්‍ෂේත‍්‍රයේ සොයුරු සොයුරියන් දිරි ගැන්වීමේ වැඩ සටහන් පෙළක් කළා. මේ අතර වාරයේදී තමයි වේදිකා නාට්‍ය සඳහා ආරාධනා ලැබුණෙ.


 රතුහැට්ටකාරී නාට්‍යයද?
උදයසිරි වික‍්‍රමරත්නගෙ ‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍යයෙ පිටපත තමයි මුලින්ම ලැබුණෙ. රතුහැට්ටකාරි ලැබුණේ ඒ අතරවාරයේදීයි.


 රතුහැට්ටකාරී නාටය ඊට පෙර ඔබ නරඹලා තිබුණද?
ඇත්තටම නරඹලා තිබුණෙ නැහැ. ඒත් යම් යම් කොටස් රූපවාහිනියෙන් නරඹලා තිබුණා.


 ඔබ හිතනවාද ඔබට මේ නාට්‍යයට සාධාරණය ඉටු කරන්න හැකිවූ බව?
යම්තාක් දුරකට හිතෙනවා. ඒත් ප‍්‍රවීන රංගවේදිනී අනුලා බුලත්සිංහල වැනි විශිෂ්ට ශිල්පිනියක කළ දේ ප‍්‍රතිනිර්මාණය කිරීම අසීරුයි. ඒත් ලූෂන් බුලත්සිංහල මහතා කිව්වෙ ඔයාලට පුළුවන් දේ කරන්න කියලයි. මම හිතන්නෙ අපේ ඇතුළාන්තයේ තියෙන දේ එතුමා උකහා ගත්තා.


රතුහැට්ටකාරී නාට්‍යයේ ඔබගෙ සිත්ගත් දෙබසක කොටසක් සඳහන් කළොත්?
‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත‍්‍රයේ කෙල්ලක්’’


‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍යයේ රඟපාන චරිතය ගැන යමක් කිව්වොත්?
එහි චරිත තුනක් විතරයි තියෙන්නෙ. මම නියෝජනය කරන්නෙ ‘‘සිහිනය’’ කියන චරිතයයි. ‘‘අපට සිහිනයක් අයිති කරගන්න බැහැ...... ඒත් සිහිනයකට අපිව අයිති කරගන්න පුළුවනි’’


 ඒ සිහින අතරේ අද වන විට ඔබගේ සැබෑ ජීවිතයේ තිබෙන සිහින මොනවද?
අවංකවම කිව්වොත් සැබෑ ජීවිතයේ මගේ සිහිනය ‘‘නිවස’’ සාදා ගැනීමයි. ඒ සිහින නිවසේ අම්මා තාත්තා සතුටින් තැබීම ලොකුම සිහිනයයි.


ජීවිතය සහ කලාව ඔබ දකින්නේ කොහොමද?
එක්තරා විදියකට ගත්තොත් ජීවිතය කියන්නෙ කලාවක්. එහි රිද්මය හඳුනාගෙන ජීවත් වුනොත් එය වින්දනය කළ හැකි වේවි. කලාව ගැන කතා කළොත් මට නම් කලාව කියන්නෙ ජීවිතයයි.


READ MORE - ‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත‍්‍රයේ කෙල්ලක්’’

තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණි


තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණි

පිච්ච මලක තියෙන පිවිතුරු සුන්දරත්වය කොතරම් නම් අපූරුද? ඒ පිච්ච මලේ සුවඳ තවත් එමලේ ආකර්ෂණය වැඩි කරනවා. මෙතරම් පිවිතුරු පිච්ච මල්වලට තම ජීවිතය පුරාවටම ආදරය කරන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකගේ ආගමනය සිදුවන තුරු වෙනදා මෙන්ම සරසවිය ඡායාරූපාගාරයට වී අම්බලන්ගොඩ ශ්‍යාංගා භාෂිනී, කුලියාපිටිය කපිල ජයවිලාල්, කෙරමිණිය චන්ද්‍රසිරි මානවඩු හා කරන්දෙණියේ සඳමාලි ඇඟිලි ගනිමින් සිටියි.
හදිසියේ අපේ ඡායාරූප ශිල්පි ටෙනිසන් එදිරිසිංහගේ දුරකතනය නාද වෙයි.
‘අනේ ටෙනි අයියා, මම බොරැල්ලේ ඉන්නේ. විනාඩි විස්සක් විතර පරක්කු වෙයි’ යනුවෙන් එහා කෙළවරෙන් ඇමතුම ලබා දුන්නේ තරු මිහිරේ තරුව බව නම් මේ පාඨක පිරිස නොදනී.
මොහොතින් මෙහොත ඔවුන්ගේ හද ගැස්ම වැඩි වෙයි. එකිනෙකා ආ ගිය තොරතුරු විමසුව ද සැමගේ නෙත රැඳී ඇත්තේ ප්‍රධාන දොර වෙතයි.
‘හානේ මම පොඩ්ඩක් පරක්කු වුණා. මරදාන පැත්තෙන් ආපු නිසයි එහෙම වුණේ’ එසේ කියමින් සියල්ලන්ගේම ආදරය දිනාගත් අද තරු මිහිර රස ගන්වන ලබැඳි රංගන ශිල්පිනිය සරසවියට පැමිණියා.
නිල්මිණි තෙන්නකෝන්.
දහසක් පාඨකයින්ගේ ආදරය හමුවේ තම හැඟීම්බර වදන් තෙපලන්නට ඕ සරසවියට පැමිණ සිටින්නීය.
මට හඳුන්වලා දෙන්නකෝ ඔයාලාව. කපිල ඉදිරිපත් වෙමින් ඔවුන්ව හඳුන්වා දුන්නා.
කෝ තව එක්කෙනෙක් අඩුයිනේ? නිල්මිණි විමසිලිමත්ව විමසුවා.
‘ආ එයා කංචක, විනෝදාංශයට තැපැල්පත් යොමුකළාට අද මේ වැඩසටහනට එයා අසනීපෙන් නිසා එන්න බැරිලු’ කියා පැනපු ගමන් කපිල පිළිතුරු බැන්දා.
‘අක්කේ ඔයා රංගනය හදාරලද රඟපෑමට ආවේ’ වඩාත් උනන්දුවෙන් සඳමාලි ඇසුවා.
ඔව්. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ සූරීන්ගේ මඟ පෙන්වීම යටතේ රංගනය විතරක් නෙමේ, කැමරාකරණය, සංස්කරණය, තව රංගන ක්ෂේත්‍රයට අදාල බොහෝ දේවල් ඉගෙන ගත්තා.
රඟපෑමට අවතීර්ණ වුණේ කොහොමද? කපිලගෙන් පැනයක්.
මගේ ඥාති සොහොයුරියක් සිටිනවා රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ යන ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ ගෙවල් ළඟ. දවසක් මාව දැකලා රෝයි අයියයි සුමනා අක්කයි මගේ අක්කගෙන් අහලා තියෙනවා අර ළමයා රඟපාන්න කැමැති නැති ද කියලා. ඒක මගෙන් අහපුවම මම එක පයින් කැමැතියි කිව්වා. එතකොට මගේ දණ හිසටත් පහළ දිගට කොණ්ඩය තිබුණා. හිත හොඳ චණ්ඩියා චිත්‍රපටයට එවකට මිස් ශ්‍රී ලංකා වුණ කෙනයි මායි රංගනයෙන් පොඩි චරිතයකට පෙනී සිටියා. එදා තමයි මම සිනමා කැමරාවක් ජීවිතේ පළමු වතාවට දැක්කේ.
‘දූ දරුවෝ දීප්ති නේද ඔබට වාසනාව ගෙනාවේ?’ චන්ද්‍රසිරි මෙතෙක් වේලා නිහඬව සිට එය බිඳිමින් විමසුවා.
ඇත්තටම නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ දීප්තිගේ චරිතය නිසා මම මහත් ජනප්‍රියතාවක් ලැබුවා. අදටත් මට එහි බලපෑම තියෙනවා. අනික ඒ දවස්වල අද වගේ හුඟාක් ටී. වී නාලිකත් නැහැ. ඒ වගේම ටෙලි නාට්‍යත් නැහැ. හැදෙන ටෙලි නාට්‍ය හරිම අර්ථාන්විතයි වගේම නිර්මාණශීලීයි.
‘ඔයා අනතුරකට ලක් වුණා නෙද්? කපිල නැවත විමසුවා.
මේ ටෙනි අයියා හින්දා තමයි එහෙම වුණේ (විහිළුවට). ඇත්තටම එදා සරසවිය සම්මාන උළෙලකට කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවේ ‘අංජලිකා’ චිත්‍රපය පෙන්නුවා. ඒ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත නිළිය වුණේ මම. ඉතින් වාහනේ පදවගෙන යද්දී මම ‘ඇක්සිඩන්ට්’ වුණා. ආයේ දවස් ගානකට පස්සේ සිහිය එනකොට මම හිටියේ රෝහලක. හැබැයි ඔය ගමන පිටත්වෙන්න කලින් මම අපේ නංගිට කියලා පිච්ච මල් ගොඩක් කඩා ගත්තා. ඇක්සිඩන්ට් එක වෙලා මාව රෝහලට ගෙනි යනවා. දොස්තරලා වට වෙලා බේත් කරනවා මට අහසේ ඉඳන් පෙනුණා. හැබැයි ඒ වෙලාවේ මගේ හිත අමුතුම ප්‍රබෝධයකින් තිබුණේ. මාව අහසේ ඉහළට ඇදිලා යනවා වගේ දැනුණා. නමුත් ටික දුරක් යනකොට කවුදෝ මට කිව්වා ආපසු හැරෙන්න, ඔයාගේ දුව ඔයා එනකන් බලන් ඉන්නවා කියලා. ඒ කාලය මට දැනුණේ අවුරුදු ගානක් වගේ. මට සිහිය ආවේ දවස් හතකට පස්සේ. ඒකයි මම කියන්නේ මම මරණය අත්විඳි ගැහැනියක් කියලා.
හැබැයි මාව අර හීනෙන් වගේ නැවත මගේ ශරීරයට ඇතුල් වෙනකොට මාව වැටුණේ පිච්ච මල් ගොඩක් උඩට. බුදු දහමේ කියන චුති සිත කියන එක කියන්නේ මේක වෙන්න ඇති නේද? මගේ මේ කතාව පොතකටත් ඇතුළත් වෙලා තියෙනවා මරණාසන්න අත්දැකීම ගැන.
නිල්මිණි එසේ විස්තර කරන විට සඳමාලිගේ නෙතේ මෙන්ම ශ්‍යාංගාගේ නෙත් කෙවෙනිවලට ද සිහින් කඳුළු බිංදු නැගුණා. සියල්ලන්ටම හොරෙන් ඔවුන් ඒවා පිස දැමුව ද අපේ ටෙනීගේ කැමරා කාචයට එය වසන් කිරීමට නොහැකි වූවා.
මඳ වේලාවක නිශ්ශබ්දතාවයකට පසු නැවත කපිල හඬ අවදි කළා.
දිය සුළිය ටෙලි නාට්‍යය රූගත කළේ කොහෙද?
දංකොටුව පැත්තේ. ඒකෙත් විශේෂ සිදුවීමක් තියෙනවා. ඒ දවස්වල ෂූටිං බලන්න දංකොටුව පැත්තට සෙනඟ විශාල වශයෙන් පැමිණුනා. උදය අයියා (උදයකාන්ත වර්ණසූරිය) සමහර වෙලාව උදේ පාන්දරම රූගත කිරීම් පටන් ගන්න කලින් වටේටම ලණුවක් අදිනවා, ඒ සීමාවෙන් මෙහාට සෙනඟට එන්න බැරි වෙන්න.
අර ශ්‍රියන්ත අයියා මගේ ඔළුව බිත්තියේ හප්පන දර්ශනය රූගත කරද්දී සෙනඟ බස් පිටින් ඇවිත් සිටියා. ඒ වුණාට ඒ සිදුවීම රූගත කළ ගෙදර සියලු දෙරවල් වහලා රූගත කළේ. මොකද මගේ ඔළුව බිත්තියේ හප්පනවා මිනිස්සු දැකලා කලබල වෙයි කියන බයට. ඒ දවස්වල ෂූටිංවලට මට පාරට බහින්න බැහැ මිනිස්සු වට කරගන්නවා. ඒ දූ දරුවෝ දීප්ති නිසා.
දීප්තිට විශේෂ අනතුරක් වෙලා තියෙනවාද?
දීප්තිට නම් නෙමේ. අර දීප්ති සොහොන ළඟ තනි වෙලා අඬන දර්ශනය දැකලා වත්තල පැත්තේ මුස්ලිම් මනුස්සයෙකුට දරාගන්න බැරි වෙලා මැරිලා. ඒ තරම් ඒ මනුස්සයා දීප්ති චරිතයට ආදරෙයිලු. මම මළ ගෙදර යන කොට එහි කටයුතු අවසන් කරලා. ඒ අය මුස්ලිම් නිසා පැය 24 නෙ තියාගන්නේ.
ඇයි දැන් වැඩිපුර ටෙලි නාට්‍යවල පේන්න නැත්තේ? ඒ නිහඬව සිටි ශ්‍යාංගාගේ එකම ප්‍රශ්නයයි.
කොටස් සියයට වැඩි ටෙලි නාට්‍යවල මම රඟපාන්නේ නැහැ. අනික හොඳ නිර්මාණත් අඩුයිනේ මේ කාලේ. ඉදිරියට මම රඟපාපු ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙන්න තියෙනවා.
අනාගතයේදී මොකද කරන්නේ? සඳමාලි නැවත විමසුවා.
මගේ දුව ස්වේතා තමයි මගේ එකම අරමුණ. එයාට මේ ලෝකේ යහපත්ව ජීවත් වෙන්න පිටිවහලක් වෙන එක තමයි මගේ එකම අරමුණ. මගේ නුගේගොඩ සැලුන් එකත් එයා වෙනුවෙන්ම තමයි. සතුටු සිනා, දුක් කතා, ධෛර්මත් සිදුවීම් සමඟ ඉක්මනින් කාලය ගෙවී ගියා.
නිල්මිණි රැගෙන ආ ඇගේ අත්සන සහිත ඡායාරූප ඇය මේ පිරිසට බෙදා දන්නා. සරසවිය තරු මිහිරේ ත්‍යාග අනුග්‍රාහකයා වන ලක් සළුසල ත්‍යාග වවුචර් පත් ද නිල්මිණිගේ අතින් මේ පිරිසට ලබා දුන්නා.
නිල්මිණිගේ ආගමනයෙන් හැඩ වුණ තරු මිහිරට හෝරා දෙකක කාලයක් ගෙවුනද මේ පිරිස නිල්මිණි තනිකර යාමට නොසිතයි. කෙසේ හෝ හමුවීමක් ළඟ වෙන්වීමක් ඇත්තා සේම වෙන්වීම ළඟ හමුවීමක් ඇතැයි කියමින් පිරිස සතුටින් සරසවියෙන් නික්ම ගියා.
READ MORE - තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණි

මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ


මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ

සුපිරි තරු ගොන්නෙන් සමුගත් නිරෝෂ්
මියුසික්වලින් ජීවිතයේ ඉදිරිය දකින්න තීරණය කළත් සුපර් ස්ටාර් වගේ තරගයකින් ජනප්‍රිය වන්නට මං එතරම් කැමැත්තක් දැක් වූයේ නැහැ. එබැවින් එවන් වූ රියැලිටි තරගවලට සහභාගී නොවන ප්‍රතිපත්තියකයි මං හිටියේ.
එහෙම කතාව පටන් ගත්තේ සුපර් ස්ටාර් පස් වැනි අදියරෙන් හයවැනියාට පසුගියදා ඉවත් වූ පිළියන්දල නිරෝෂ් චානකයි. ඔහු සුපර් ස්ටාර් සඳහා ඉදිරිපත් නොවුණ ප්‍රතිපත්තියේ හිටියත් නිරෝෂ්ව අප හඳුනා ගත්තේ එම තරගය නිසා.
කවුද ඔබේ ප්‍රතිපත්තිය වෙනස් කළේ?
ගෙදර අය. අම්මා තමයි ඇප්ලිකේෂන් එක දාලා තියෙන්නේ. පළමු වටයට සහභාගී වෙන්න ගෙදරට ලියුම එනකම් මම දන්නේවත් නැහැ. ඒක දැකලා මං ප්‍රතික්ෂේප කළා ඊට සහභාගි වෙන්න. ගෙදර අය මට බොහෝ වේලාවක් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඊට පසුව මම ප්‍රතිපත්ති වෙනස් කරගෙන තරගයට ඉදිරිපත් වුණා.
තරග වැදුණ පළමු දින ප්‍රසාදයකින් නෙවෙයි ද ඔබ සහභාගි වුණේ?
නැහැ එහෙම එකක් නැහැ. මට හිතුණා ආපු එකේ හොඳටම මගේ හැකියාව එළියට දාන්න ඕන කියලා. බොහොම සතුටින් එදා සිංදුව කිව්වා.
ඔබ අවසන් 12 දෙනා අතරට ආවා. මෙතරම් දුරක් ඇවිත් ආපසු හැරී බලන කොට ඔබට මොනවද දැනුණේ?
අම්මා ඇප්ලිකේෂන් දැම්මේ නැතිනම් මම අද මෙතැන නැහැ. අනික ගෙදර අයගේ උනන්දුව ඒ සඳහා බෙහෙවින් බලපෑවා. හැබැයි එදා මං ඒව තැකීමක් නොකළා නම් මෙච්චර දුරක් එන්න නොලැබෙනවා. එදා හිතුවක්කාර නොවීම සතුටක්.
ඔබේ ගායනා ගැන ඔබට විශ්වාසද?
කොහොමත් පළමුව වේදිකාවකට නගිද්දී අප වැනි අයට කොහොමත් පොඩි තිගැස්මක් තියනවා. පොදුවේ ගත්තොත් මගේ ගායනා ගැන මට හොඳටම විශ්වාසයි.
එහෙම හොඳම විශ්වාසයකින් ගැයූ ගීතය මොකක්ද?
භාතිය - සන්තුෂ්ලගේ සරා සිහින රහසේ ගීතය.
සාමාන්‍යයෙන් රියැලිටි තරගයක එස්. එම්. එස්. භාවිතය ගැන ඔබට ඇති අදහස මොකක්ද?
ජනතාවගේ අදහස් තියෙන්න ඕන. ඒත් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ තීරණ මත ක්‍රියා කරන්න හොඳ නැහැ. 50% ක් විනිශ්චය මණ්ඩලයට දිය යුතුයි. මන්ද යත් කෙනෙකුට ජනතාව එස්. එම්. එස්. යවන්නේ ගායන හැකියාවටම පමණක් නොවන නිසා.
මෙහි අවසානය තෙක් එස් එම්. එස්. නොතිබුණා නම් ඔබ ඉවත් නොවී තියෙයිද?
ඇතැම් විට. මං ඉවත් වුණේ සිංහල අවුරුද්ද දිනවල. ඒ කාලයේ මිනිස්සුන්ට එස්. එම් එස්. යවන්න සිහියක් නැහැ. මං හිතනවා එස්. එම්. එස්. නොතිබුණා නම් මං තවමත් ඇතුළේ.
මෙවර තරගාවලියේ සිටි දක්ෂයන් හැටියට ඔබ දකින්නේ කවුද?
එක් කෙනෙක් කියන්න බැහැ. දොළොස් දෙනාම දක්ෂයි.
මෙවන් වූ තරගවලට එනවා ජනප්‍රිය වන්නට ගායන හැකියාව නොමැති අය. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?
මෙහිදීත් එවන් අයව දැක්කා. මං ඇතැම් තරගකරුවන් අවසාන සියයට පවා ආවා. එයින් වෙන්නේ හැබෑ දක්ෂයින්ට ඉඩක් නොලැබෙන එක.
ඔබ වැඩිපුරම ප්‍රිය කරන්නේ සිංහල ගීත ගයන්න නෙවෙයි නේද?
මට හොඳට බටහිර ගීත ගයන්න පුළුවන්. බ්‍රයන් ඇඩමස් තමයි ප්‍රියතම ගායකයා. මට විශ්වාස තියන ගීත ගයන එක මටත් හොඳයිනෙ.
මේ තරගය අතරතුරදී ඔබට සිදු වූ අමතක නොවන අත්දකීම මං ඇහැව්වොත්?
එක්තරා සිද්ධියක් තියනවා මාව සංවේගයට පත් කළා. ඒක මං කියන්නම්. අවසාන සියයට තේරුණු පසු අපිට පොඩි වර්ක් ෂොප් එකක් තිබුණා. ඒකට කලින් දවසේ මාව මෝටර් බයික් එකෙන් වැටුණා. අතකුත් බැන්ඩේජ් කරගෙනයි මං වර්ක් ෂොප් එකට ගියේ. එතැන හිටපු සමහර අය කිව්වා මං බොරුවට එහෙම ආවා කියලා. මට හරියට දුක හිතුණා.
READ MORE - මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ

මේ ප්‍රසංගයට පුතා නෑ ---------------------------------------------------- ටී.එම්. ජයරත්න


මගේ සින්දු කියන්න දෙදෙනකු ඕනැ නෑ

ඒ නිසා මේ ප්‍රසංගයට පුතා නෑ ටී.එම්. ජයරත්න
යථාර්ථවාදී ජීවිතාවබෝධයක් සහ අර්ථපූර්ණ පණිවිඩයක් ජන සමාජයට ලබා දෙමින් ඔහුගේ හඬින් ගීතවත් වූ රසබර ගීතාවලියේ සුවිශේෂ තැනක් හිමි කර ගන්නා “අඳුරු කුටිය තුළ දොරගුළු ලා ගෙන” ගීතය මුලින්ම ගයමින් ඔහු සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන “සොඳුරු අතීතය” අවදි (ආරම්භ) කරනු ඇත. ඉන්පසු “පාවී පාවී මේ එන්නේ” – “සැනසුම් සුසුමන්” – “ජීවිතේ අමධාරා” – “ඔබ හා මෙමා” – “රුවට රුවේ සකුරා ඉවුරේ” – “හඳුනා ගත්තොත් ඔබ මා” – “රත්තරන් නෙත් දෙකින්” – “අම්බරේ දිලි දිලී” – “අම්මා සඳකි” වැනි ගී ගයමින් ඔහු සිය ශ්‍රාවකයන් ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යමින් ගීතයෙන් ජීවිතය උගන්වනු ඇත. උදාවන මෙම 11 වැනිදා සවස කොළඹ මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදී “රසඳුන” පාඨක ඔබටත් ඔහු ගීතයෙන් ජීවිතය කියා දෙන අයුරු රස විඳින්නට පැමිණිය හැකි ය. මෙම “ස්වර වර්ණ” සිය සිතුවිලි සමඟින් වර්ණ ගන්වන්නට ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න මෙලෙස අප සමඟ එක් වන්නේ ඔබට ඒ සඳහා “එන්න” කියා ඇරයුම් කරමින් ය.
”එන්න, මා ගයන ගීත අහලා යන්න එන්න. මම මෙම ප්‍රසංගය කරන්නේ අයකිරීමකින් තොරවයි. සද්භාවයෙන් කෙරෙන මෙම ප්‍රසංගයෙන් ලැබෙන මුදලින් සියයට හැටක් (60%ක්) කිසියම් පුණ්‍යාතනයක් හෝ රෝහලක් හෝ අනාථ නිවාසයක් වෙනුවෙන් යොදවන්නයි සැලසුම් කරලා තියෙන්නේ. එන්න, ඇවිත් ඔබත් මා සමඟ මෙම පුණ්‍ය කටයුත්තට දායක වෙන්න. මගේ මේ ‘සොඳුරු අතීතය’ තුළින් ඔබට ගීතවත් සන්ධ්‍යාවක් උදාකර දෙන්න මම කැපවී ඉන්නවා.”
”මේ ප්‍රසංගයේ දී මම ගීත විසිපහක් පමණ ගයනවා. යුග ගී ගායනයට කලාශූරී ලතා වල්පොල, ඉන්දිකා උපමාලි සහ සන්ධ්‍යා බුලත්සිංහල එක්වෙනවා. සමහරවිට මගේ දියණිය නවීන්ද්‍රාත් එයට එක්වෙන්න ඉඩ තියෙනවා. ‘අවිරාම ගී වැලක්’ ගයන්නත් සූදානම් කර තියෙනවා. ‘සොඳුරු අතීතය’ වර්තමානය හරහා අනාගතයට යාමක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. හැබැයි මෙහි නැටුම් නැහැ. එමෙන්ම පසුබිමින් තිරයක දිස්වන රූප රාමු නැහැ. ගීත ශ්‍රවණය කර විඳින්න සලසා දෙනවා. වික්ටර් රත්නායකයන් ‘ස’ ප්‍රසංගය බොහොම අහිංසක විදිහට, චාම් අයුරින් පටන් ගත්තා වගේම තමයි මේ ‘සොඳුරු අතීතය’ ප්‍රසංගයත් බොහොම චාම් විදිහටයි පවත්වන්නේ. ශ්‍රාවකයන්ට හොඳට දැකලා, අහලා, වේදනාවක් නැතුව හීන්සැරේ ගී රසවිඳගන්න සලස්වා දෙනවා මෙයින්.”
මීට දශක තුනකට පමණ පෙර පටන් ඔබේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න ඔබට හැකියාව තිබිලත් ඒ සඳහා ඔබ මෙතෙක් ප්‍රමාද වූවේ ඇයි..?
”මම මෙයට පසුබා සිටි එක හේතුවක් තමයි මට පිරිසක් නැතිකම. ඇත්තටම පිරිස් බලයක් මා වටා ගොඩ නගා ගන්න ඕන කමක් මට තිබුණෙත් නැහැ. එය කෑමෙන් බීමෙන් නොවෙයි කෙරෙන්න ඕනේ. මගේ යහපත් ගති පැවතුම් තුළයි එය වෙන්න ඕනේ. ඉතාලියේ දී මම වීදුරු වලින් වසා තිබුණු යේසුස් වහන්සේගේ ප්‍රතිමා සිප ගනිමින් දණ ගාගෙන යනවා දුටු සමහර අය ‘ඇයි එහෙම කරන්නේ’ කියලා ඇහැව්වාම මම කිව්වා - ‘මම හොඳ බෞද්ධයෙක් නිසා’ කියලා. හොඳ බෞද්ධයාට කොයි ආගම දහමත් එකයි. එහෙම නේද වෙන්න ඕනි. ලෝකයේ තෙත් හදවත් තියෙන යහපත් පුද්ගලයින් ඇසුරට ලැබීම හරියට වටිනවා. ඒක හරියට ගිනියම් වෙච්ච වැල්ලක යනකොට මහ වැස්සක් ඇද හැලෙනවා වාගෙයි. ඒ නිසා එවැනි පුද්ගලයින් ඇසුරට අපි මතු මතුත් ප්‍රාර්ථනා කරනවා, කෙම් බිමකට සම්ප්‍රාප්ත වුණා වගේ.
ඒ වගේ තමයි ලාබ ලබන තෘෂ්ණාවලින් තොරව ආගම්, කුලමල, ජාති භේදවලින් තොරව කටයුතු කරන යහපත් මිනිස් යුවළක් ලෙස මේ සතීන්ද්‍ර විජේපුර පවුල මට හඳුනාගන්න ලැබීමත්. මීට ඉහත දී මොවුන් මට මුණ ගැසුණා නම් මේ ප්‍රසංගය මෙතරම් ප්‍රමාද නොවී පවත්වන්න තිබුණා. ඒත් ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි මේ. දෙවියන් වහන්සේගේ අනුදැනුමෙන් තොරව අපිට කිසි දෙයක් කළ නොහැකියි කියා මා හිතනවා. මට පිරිසක් නැතිකම හැරුණු විට මේ ප්‍රසංගය ප්‍රමාද වෙන්න තවත් කරුණක් වුණේ ‘ප්‍රසංගයක් සඳහා අනුන්ගේ මුදල් වියදම් වෙනවාට මා තුළ පැවති අකැමැත්ත. ඇයි ඒවා මගේ නොවන හින්දා. මගේ නොවන අනුන්ගේ අබමල් රේණුවක තරමක දෙයක් මා කිසි දවසක මගේ ගෙදරට ගෙනල්ලා නැහැ. අනික් විශේෂ කරුණ තමයි මං ගෙදර දොර, දරු පවුල එක්ක හරියට බැඳිලා සිටීම. පැය විසි හතරෙම ගෙදර දොර බලාගෙන ඉන්න ඕනකමක් මගේ තියෙනවා. එමෙන්ම ප්‍රසංගයක් කරනවා කියන්නේ දුක් සහිත ක්‍රියාදාමයක්. ඒ දුක විඳින්නත් මගේ කැමැත්තක් තිබුණේ නැහැ.”
එසේ නම් “සොඳුරු අතීතය” ප්‍රසංගය එළි දකින්නේ ඔබේ අකැමැත්තෙන් ද..?
”දැන් එහෙම නැහැ. මුලදී මම මෙයට 99.9% ක්ම පසුබෑවා. මොකද මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමේදී වේදිකාගත කිරීම දක්වා මොනතරම් දුක් කම්කටොලු රාශියකට මුහුණ දෙන්න වෙනවද කියන එක මම දැනගෙන උන්නු හින්දා. මම අනික් අයගේ ගීත අහලා සතුටු වෙනවා. මටත් තව දෙතුන් දෙනෙකු ගී ගයන ප්‍රසංගයක ගී ගයන්න ලැබුණාම ගිහිල්ලා ඔය කීයක් හරි ලැබෙන මුදලින් විදුලි බිල්, දුරකථන බිල් ආදිය ගෙවා ගෙන ඉන්න එක හොඳයි කියලයි මං හිතාගෙන උන්නේ. හැබැයි ඉතින් සත්‍ය ක්‍රියා කරමින් මගේ දයාබර බිරිය (මාලනී) මේ ප්‍රසංගය පසුපස උන්නානේ. එතැන තමයි මේ ගැටය තදම වුණු තැන. සතීන්ද්‍ර සහ ඩිලානි විජේපුර යුවළ සමඟ එකතු වෙලා මාලනී ප්‍රසංගය කරන්න වෙන තැනටම කටයුතු සැලැස්වුවා. දැන් ඉතින් මේ හැමදේකටම මුල් වෙන්නේ මමයි. මගේ ගී ගායනාවන්ට අතීතයක් තිබුණානේ. ඒ නිසා තමයි වර්තමානය හරහා අනාගතය කරා යන්නේ.”
ඔබේ “සොඳුරු අතීතය” ප්‍රසංගයට දායක වෙන අනිකුත් ශිල්පීන් කවුරුන් ද..?
”සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ රෝහණ වීරසිංහයන් විසිනුයි. පිටපත හා සම්බන්ධීකරණය සමුද්‍ර වෙත්තසිංහගෙන්. කථනය වසන්ත රෝහණ විසින් කරනු ලබනවා. ස්වාධීන රූපවාහිනිය විද්‍යුත් මාධ්‍ය නිල අනුග්‍රහය සපයනවා. විශේෂයෙන්ම මෙම ප්‍රසංගය සඳහා මුලින්ම මට කතා කරලා මෙයට අනුග්‍රහය ලබා දෙමින් මා සමඟ ඉන්නේ මගේ ගීත රසික දෙපොළක් වන සතීන්ද්‍ර සහ ඩිලානි විජේපුර යුවළයි. ඔවුන් සමඟ කතා බහ කර මෙයට මැදිහත්කාරකම් කළේ මගේ දයාබර බිරිය මාලනියි. ඇය හොඳ බිරියක්.”
මාලනී ඔබේ දයාබර බිරිය පමණක්ම නොවී ඔබේ සෞන්දර්ය චාරිකාව නැවුම් ඉසව්වකට හැරවීමටත් දායක වූවා නේද..?
ඔව්, මා ගැයූ ඇතැම් ගී අසා ‘ඔය බොළඳ ගී ගයන්නේ මොනවටද’ කියා විමසමින් කරුණු පහදා දෙමින් ‘සොඳුරු අතීතය’ සහ ‘අම්මා සඳකි’ වැනි ගී සංකල්පනා ලියා දීලා මාලනී මට අනගි දායකත්වයක් සපයා දී තියෙනවා. කලකට පෙර කැසට් ගීත මැජික් එකෙන් විසංඥ වෙලා මා ගීත ගය ගයා සිටිද්දීත් ගායනයට සුදුසු ගී පදමාලා තෝරා ගැනීමේදී මාලනීගෙන් ලැබුණු දායකත්වයත් අනගියි. මාලනී ලියන්නේ උත්තරීතර ප්‍රේමය පිළිබඳවයි. ගායන ශිල්පියෙකු පැවැත්මට නම් යහපත් පවතින ගී නිර්මාණ ගයන්න ඕනේ. මාලනී මගේ ගමන ඒ යහපත් ඉසව්ව කරා හැරෙව්වා.”
”යහපත් ගී නිර්මාණ” ලෙස ඔබ හඳුන්වන්නේ කුමන ගී නිර්මාණ ද..?
”මේ ලෝක වාසීන්ට වැඩදායක වන ගී නිර්මාණ තමයි යහපත් ගී නිර්මාණ වෙන්නේ. මා මීට ඉහතදීත් ඔබ සමඟ පවසා ඇති මේ කාරණා. පසුගිය කාලය පුරාම වැඩිපුර ගී නිර්මාණ බිහි වී ඇත්තේ ආනන්දය පිණිසම නොවේ. එය විශාල අඩුපාඩුවක්. ගීත ශ්‍රාවක මේ රටේ ජනතාවට ආනන්දයෙන් ප්‍රඥාවට යා හැකි යහපත් ගී නිර්මාණ බිහි කිරීමේ මෙහෙවරය ඉටු කිරීමට කලාකරුවන් ලෙස අප බැඳී සිටිනවා. අප රට වැනි සංවර්ධනය වෙමින් පවතින රටක කලාකරුවන් වශයෙන් ජන ජීවිතයට ප්‍රයෝජනවත් වන යහපත් කලා කෘති නිර්මාණය කිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා. මේ රටේ ජනතාව රට දැය, මිනිස් ජීවිතය, පරිසරය පිළිබඳ ආදරය මෙන්ම භේද බින්න නොවී එකමුතුව වැඩ කරන්න ආසාව උපදවන සාරගර්භ අර්ථ පූර්ණ ගී ගැළපෙන තනු සහ සුදුසු ගැයුම් සහිතව ඉදිරිපත් කිරීම කළ යුතුව තිබෙනවා. එවැනි සාරවත් ගී නිර්මාණ මඟින් හරියට දහමකින් කියා දෙනවා වගේ ජීවිතය උගන්වන්න පුළුවන් කියා මම විශ්වාස කරනවා.”
ඉසුරු පුතා ඔබේ මෙම ප්‍රසංගයේ ගී නොගයන්නේ ඇයි?
”ඉසුරු පුතා වෙනම එයාගේ අනන්‍යතාව ගොඩ නගා ගනිමින්නේ ඉන්නේ. අනික මං පුතා සමඟ ගැයූ ගීතත් නැහැනේ. මගේ ගීත ගයන්න දෙදෙනෙකු ඕනෙත් නැහැ. මමම ගයනවා.”
ඔබේ කලා දිවියේ ආරම්භය පිළිබඳව කෙටියෙන් පවසනා නම්..?
”වයලීන වාදකයෙකු ලෙස තමයි මතකය අවදි වෙන්නේ. සරත් දසනායකයන් යටතේ වේදිකා නාට්‍ය සඳහා මමත් වයලීන වාදකයකු ලෙස සහභාගී වී තිබෙනවා. පසුව සී.ද.ඇස්. කුලතිලකයන්ගේ ‘ස්වරංගා’ විවිධ ප්‍රසංගයට වයලීන වාදකයකු ලෙසින් සහභාගි වී දැන හඳුනා ගෙන තමයි 1970 දී පමණ ගුවන් විදුලියේ ජන සංගීත පර්යේෂණ වැඩසටහන් තුළින් ගායනයට එක්වුණේ. ‘ගාන තෙල් සඳුන් වරලස’ – ‘බැද්ද වටට සුදු මොරමල් පිපීලා’ සහ ‘දෑතට වළලු’ වැනි ගී තුළින් තමයි මගේ කටහඬ මුලින්ම ශ්‍රාවකයන්ට ඇහෙන්න ගත්තේ. එමෙන්ම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිම්පනි හා චිත්‍රපට ආදියේත් මම වයලීන වාදකයකු ලෙස කටයුතු කළා මට මතකයි.”
වත්මන් සංගීත ක්ෂේත්‍රයේ නව පරපුර සහ ඔවුන්ගේ ගී නිර්මාණ පිළිබඳ ඔබට හැඟෙන්නේ කෙලෙසද..?
”අපි නම් ආවේ සංගීත විෂයට ගරු කරමින් එය හිස මුදුනේ තබාගෙනයි. අපේ ගුරුවරුන්ට අපි සැලකුවේ ගුරු දෙවිවරු ලෙසයි. එවිටයි අදාළ විෂය (ගායනය හෝ සංගීතය හෝ) නිවැරදිව පිහිටන්නේ. අද නව පරපුර එලෙස නැහැ. විෂය නොදන්නාකම නිසා වර්තමාන නව පරපුරේ ගීතවලට පැවැත්මක් නැහැ. නිසි පද රචනයක්, ගැළපෙන තනු නිර්මාණ නැහැ. අනික අපට ආවේණික වූ ගී කෙත ඔවුන් තෝරා බේරා ගෙන නැහැ.”
”දෙරණ මියුසික් වීඩියෝ” සම්මාන උලෙළට සහභාගි වීමෙන් වරදක් කළෙළ් යයි ඔබට නැඟෙන චෝදනාව ගැන ඔබ කියන්නේ කුමක්ද..?
”මමම කියා ගන්නවා අපි අහිංසකයි කියලා. අපි කාගේවත් හිත් රිදවන මිනිස්සු නෙමේ. හැබැයි අපිත් එම සම්මාන ප්‍රදානයට සහභාගි වුණාට අපි ගියේ (මමයි, මාලනියි, ප්‍රදීපා ධර්මදාසයි) සිංහලකම රැකෙන ඇඳුම් ඇඳගෙනයි. අර පිස්සොත් ආවානේ – හිසේ පැත්තක් ගාගෙන, තෝඩු දාගෙන, කලිසමේ එක කකුලක් දිගටයි අනික කොටටයි ඇඳගෙන, බෑග් කරේ දාගෙන එහෙම. ඒවා අපි අනුමත කළේ නැහැ. කොහොම හරි එවැනි සම්මාන ප්‍රදානයකට අපිට ආරාධනා කරලා ‘දෙරණ’ අපිව අමාරුවේ දැම්මා. ඉතින් මින්පසු දෙරණත් එක්ක මේ ටී.එම්. ජයරත්න නැහැ. දෙරණ වරද්දා ගත්තා. ඒක අපේ නාළිකාවක් වෙන්න බැහැ. ඒක කොහේවත් වෙන රටක නාලිකාවක්. මම පය ගහලා ඉන්න දෙරණ මට ඕනේ. ඒත් ඔය දෙරණ රූපවාහිනිය නම් ටී.එම්. ට එපා.”

READ MORE - මේ ප්‍රසංගයට පුතා නෑ ---------------------------------------------------- ටී.එම්. ජයරත්න

ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!


රජිව්ට ඕනෑ කරන්නේ උපහාර මුවාවෙන් සල්ලි හම්බු කරන්නයි

ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!
ශීලා විජේවර්ධන
ක්ලැරන්ස් විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද “ගී” ඔහුගේ බුද්ධිමය දේපළ ය. එම දේපළ සඳහා වර්තමානයේ හිමිකරුවන් වී සිටින්නේ ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා විජේවර්ධන සහ දියණිය අමිලාත් ය. දැනට ඔවුන් පදිංචි වී හිඳින්නේ ඕස්ට්‍රේලියාවේ වන හෙයින් එම දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස සිරි හෙට්ටිආරච්චි කටයුතු කරයි.
ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ පමණක් නොව ක්ලැරන්ස්ගේ නම හෝ කිසියම් සංගීතමය කටයුත්තක් සඳහා යොදා ගන්නේ නම් ක්ලැරන්ස් පාර්ශ්වයේ අවසරය ඇතුව එය කළ යුතුව ඇති අතර පසුගිය මාර්තු 31 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී රජීව සෙබස්තියන් පැවැත්වීමට සූදානම් වූ ගීත ප්‍රසංගය අවලංගු කිරීමට සිදුවිය. නැවතත් එම ප්‍රසංගය අප්‍රේල් මස දිනෙක පැවැත්වීමට රජිව් වෑයම් කළත් එය ද අවලංගු කිරීමට ඔහුට සිදුවිය.
දැන් රජිව් එම ප්‍රසංගය වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට වෑයම් කරගෙන යන බවත් ඊට එරෙහිව ක්ලැරන්ස් පාර්ශවයෙන් ශිලා ද ලංකාවට පැමිණ කටයුතු කරගෙන යන බවත් “රසඳුන” ට දැන ගන්නට ලැබුණි. ඒ පිළිබඳ විමසීමේ දී ශීලා විජේවර්ධන සමඟ සිරි හෙට්ටිආරච්චි විසින්කරන ලද කරුණු එළිදරව්වකි මේ.
“අපි ක්ලැරන්ස් විජේවර්ධනගේ බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරනවා. කරුණු හරියාකාරව නොදන්නා ඇතැමුන් මේ ගැන වරදවා හිතනවා. අපට විරුද්ධව නොයෙකුත් අදහස් ප්‍රකාශ කරනවා. අපි කරන්නේ අපිට නීතිමය වශයෙන් ලැබී තිබෙන ආවරණය යටතේ ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ රැක ගැනීමයි.
අනවසරයෙන් බලහත්කාරයෙන් හා අයුතු ලෙසත් සදාචාරාත්මක නොවන ලෙසත් ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ භාවිත කරන කා හට වුවද එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීමට අපි පසුබට වෙන්නේ නැහැ. එහිදී රජිව් සෙබස්තියන් ක්ලැරන්ස්ට උපහාර පිණිස යයි පවසමින් කරනු ලබන ප්‍රසංග ආදිය පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන්න අපට සිදු වී තිබෙනවා.
මන්ද රජිව් ක්ලැරන්ස්ගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් පවත්වන බව පවසමින් ගායක ගායිකාවන් මෙන්ම ප්‍රවේශපත් කලින් අලෙවි කර ගීත රසික රසිකාවියන්ව ද රවටනවා. ඔහුට එවැනි ගී ප්‍රසංගයක් කිරීමට බැහැ.”
රජිව් පැවැත්වීමට සූදානම් කළේ ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් නොවේ ද?
නැහැ. රජිව් කරන්නේ බොරුමයි. අපි ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර කොපමණ කරලා තියෙනව ද. රජිව් කවුද - ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර කරන්න. ඔහුට ක්ලැරන්ස්ගේ සින්දු කියන්න ඕනෑවට කියන කතා ඕවා.
ක්ලැරන්ස්
අපි ඉන්න කොට ක්ලැරන්ස්ට උපහාර කරන්න ඔය අහක ඉන්න අය මෙහෙම බලහත්කාරයෙන් ප්‍රසංග පවත්වන්න හදන්නේ ඇයි? රජිව් කියන්නේ ක්ලැරන්ස් ජිවත් වෙලා ඉන්න කොට ආශ්‍රය කරපු හෝ ගෙදරට වත් ඇවිත් ගිය පුද්ගලයෙක් නෙමේ. කවදාවත් ක්ලැරන්ස් රජිව්ට එකම එක සින්දුවක් වත් හදලා දීලත් නැහැ.
එහෙම පුද්ගලයා මොකටද ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංග කරන්නෙ? ඕනෑම කෙනෙකුට තේරෙනවානේ, රජිව්ට ඕනෑ කර තියෙන්නේ උපහාර ප්‍රසංගයක් කරන මුවාවෙන් හෝ ක්ලැරන්ස්ගේ ගී නිර්මාණත් ඔහුගේ නමත් විකුණා මුදල් උපයන්නයි.”
ටී. එම්. ජයරත්න, නිහාල් නෙල්සන් සහ ජැක්සන් ඇන්තනී වැනි ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනෙකුත් රජිව්ගේ මෙම ප්‍රසංගයේ දී ගැයීමට නියමිතයි නේද?
රජිව්
එහෙම ඔවුන්ගේ නම් යොදා ගෙන තිබුණට අපි හිතන්නේ නැහැ ඒ කවුරුන්වත් ඔය ප්‍රසංගයේ ක්ලැරන්ස් ඔවුන්ට හදා දුන්න ගී ගයන්න යයි කියලා. ටී. එම්. ජයරත්න කවදාවත් කොච්චර සල්ලි දුන්නත් රජිව්ගේ ඔය ප්‍රසංගයේ ගී ගයන්න යන්නේ නැති බව අපිට විශ්වාසයි අපි ටී. එම්. ගෙන් ඇහැව්වාම ඔහු ඒ බව කිව්වා.
ජැක්සන් ගෙන් ඇහැව්වාම ඔහු කිව්වේ ‘අනේ ශිලා අක්කේ, මට කියලවත් නැහැ. මං දන්නෙත් නැහැ’ කියලයි. ඒ වගේමයි ශ්‍යාම් ෆොන්සේකා සහ ලාංකිකා පෙරේරාත් ‘යන් නෑ’ කිව්වා.
රජිව්ට වගේම රජිව්ගේ ඔය ප්‍රසංගය ඔහු කවදා පැවැත්වුවත් ක්ලැරන්ස්ට අයිති ගීත එහිදී ගායනා කිරිම ඕනෑම ගායකයෙකු හෝ ගායිකාවක හට සපුරා තහනම්. එහෙම ගායනා කළොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අපි පියවර ගන්නවා.”
රජිව් සිය සංගීත ජීවිතේ “වීරයා” ලෙස සලකන්නේ ක්ලැරන්ස්ව බව පවසනවා - නේ...?
ක්ලැරන්ස්ගේ නම විකුණා ගෙන ජීවත් වෙන්න ඕන හින්දා ඕවා කිව්වාට රජිව් සහ ක්ලැරන්ස් අතර කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. මට දිවුරා ප්‍රකාශ කරන්න පුළුවන් ඒ බව. අඩුම වශයෙන් කවදාවත් රජිව් ක්ලැරන්ස්ව හම්බ වෙලාවත් නැහැ. ක්ලැරන්ස් ජීවත් වෙලා සිටිද්දී කියා තිබෙනවා - ‘මට පිරිමි දරුවෙකු උන්නා නම් මගේ සින්දු ඒ දරුවාට කියන්න දෙන්නෙ නැහැ.
මං කැමැති නැහැ මගේ සින්දු වෙන කවුරුවත් කියනවාට’ කියා. එහෙම කිව්ව ක්ලැරන්ස් උන්නා නම් ඔහුගේ සින්දු රජිව් කියනවාට කැමැති වෙයි ද? මම අභියෝග කරනවා හැකි නම් මේවා බොරුයි කියා ඔප්පු කරන්න කියලා. ක්ලැරන්ස් රජිව්ගේ සංගීත ජීවිතයේ වීරයා නම් ඒ වීරයාට සලකන හැටි ද මේ ඔහුගේ බුද්ධිමය දේපළ මංකොල්ලකමින් කරන්නේ කියලත් මං ඔහුගෙන් අහනවා.
මීට ඉහතදී රජිව්ට විරුද්ධව අපි පැවරූ නඩුව විභාගයට ගැනීමට ප්‍රථම වරද පිළිගෙන ලක්ෂ විස්සක් ගෙවන්න පොරොන්දු වෙලා එම මුදල අද වනතුරුත් නොගෙවා ඉන්නවා මදිවාට, ඒ මුදලින් කොටසක් ලෙස රුපියල් දෙලක්ෂ පනස්දාහකට මුදල් නොමැති චෙක් පතක් දී වංචා කොට ඉඳගෙන ද (අදාළ නඩු සහ පොලිස් පැමිණිලි අංක ද සඳහන් කරමින්...) රජිව් ඔහුගේ වීරයාට (ක්ලැරන්ස්ට) උපහාර කරන්න හදන්නෙ? මේ කරුණු එළිදරව්වෙන් පසුව වත් රජිව්ගේ බොරුවට රැවටෙන්න එපා කියලා ක්ලැරන්ස්ගේ ගී තනු, පදමාලා ගැයූ ගායක ගායිකාවන්ගෙන් ද, සංගීතලෝලී සියලු රසිකයන්ගෙන් ද අපි ඉල්ලා සිටිනවා. නැවතත් අපි පැහැදිලිව පවසන්නේ රජිව් සෙබස්තියන්ට ක්ලැරන්ස් විජේවර්ධනගේ ගී සපුරා තහනම් වගයි.”
READ MORE - ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!

දැන්ද ඇහැරුණේ ?...

Sunday, April 28, 2013


දැන්ද ඇහැරුණේ ?...

‘දෙරණ’ T.V සභාපති ලක්සිරි වික්‍රමගේ
* දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල පිළිබඳ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ මුලින්ම ඔබේ අදහස දැන ගන්න කැමතියි...?
ඒ ප්‍රකාශය එතරම් පැහැදිලි නෑ. අනෙක එතන හිටපු අය ඒ අදහසට විරුද්ධවනේ තමන්ගේ මතය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම චන්න පෙරේරා වැනි තරුණ පෙළ නියෝජනය කරන කලාකරුවෙක්. එතන තිබ්බේ මියුසික් වීඩියෝ සම්මාන උළෙලක්නේ. ඒ කියන්නේ වීඩියෝවලට තමයි සම්මාන දුන්නේ. ඳයුසික්වලට නෙවෙයි. හරි. මට පැහැදිලි වුණ දේ තමයි සෝමරත්න දිසානායක මහතා කතා කළේ ඒවායේ මියුසික් නැතිනම් ගී පදමාලා ගැන. හරිද? එතුමා ඇහුව ප්‍රශ්නය තමයි ‘මේකද ලංකාවේ මියුසික් කියන්නේ’ කියලා.
* අපටත් ඒකම අහන්න වෙනවා?
උත්තර භාරතීය සංගීතයත් ලංකාවේ මියුසික් නෙවෙයිනේ. ඒක ඉන්දියාවේ. එතකොට ලංකාවේ මියුසික් එහෙමනම් ජන සංගීතය විතරයි. අපි සුනිල් ශාන්තයන් ගම්මුකෝ. සුනිල් ශාන්තයන් පවා ඔය කියන ක්‍රමයට විරුද්ධ වෙලානේ ගුවන් විදුලි සංස්ථාවෙන් එළියට බැස්සේ. එතුමා ඕකට කිව්වේ ‘ලංකස්ථානී’ කියලා. මෙතනදි අපි කළේ නොයෙක් සංගීත ශෛලීන්ගෙන් නිර්මාණය වූ මියුසික් වීඩියෝස්වලට සම්මාන පිරිනැමීම. අපි එය එක් භාෂාවකට සීමා කළේ නැහැ. උදාහරණයකට ගන්න ඉරාජ් ගේ ගීතය. ඒ ගීතය ඇතුළේ නේපාල භාෂාවයි, ඉංගී‍්‍රසි භාෂාවයි, සිංහල භාෂාවයි තුනම තියෙනවා. එතකොට ගිය අවුරුද්දේ මාල දිවයිනේ ජනපි‍්‍රයම ගීතය නිර්මාණය කරලා තියෙන්නේ ඉරාජ්.
* ඔබ ඒ ජනපි‍්‍රයත්වය මනින නිර්ණායකය කුමක්ද?
දැන් ඔය චාට් ෂෝ කියලා තියෙනවානේ. ඒවායේ උඩටම ආපු ගීතයක් මේ. මේක මාලදිවයින් භාෂාවෙන් ඉරාජ් කරපු ගීතයක්. අපිට දර්ශනයක් තියෙනවනේ ‘ක්ෂිතජයෙන් එහා ලෝකය දකින තරුණයෝ’ කියලා. හරි. එතකොට දැන් බලන්න අපේ සම්මාන උළෙලට ජය ශ්‍රී ලා අවේ ඉතාලියේ ඉඳලා. ඒ වගේම චිත්‍රාල් සෝමපාල අවේ ජර්මනියේ ඉඳලා ඔවුන් තමයි ලෝකය ජය ගත්ත ශ්‍රී ලාංකික සංගීතඥයෝ වෙන්නේ. එතකොට ආර්. එම්. දිනේෂ් කියන්නේ ලංකාවෙ කොල්ලෙක්. මේ දවස්වල එයා පිටරට ඉන්නේ. ‘කඩෙල්’ කියන මනිරත්නම් ගේ චිත්‍රපටයේ ඒ. ආර්. රහුමන් ගේ සංගීතයට ‘වගුඩි කියන ගීතය ගායනා කරන්නේ එයා. අපේ සංගීත උළෙලෙත් එයාගේ ගීතයක් නොමිනේට් වුණා. ඒ තමයි ජාත්‍යන්තරය ජයගත්ත අපේ තරුණයෝ.
* නමුත් ඔබ කියන ඔය නිර්මාණවල ‘දේශීය අනන්‍යතාවක්’ තියෙනවද? සෝමරත්න දිසානායක මහත්මයාගේ චෝදනාවත් ඕකමනේ..?
මුලින්ම කියන්න ඕනෑ සෝමරත්න දිසානායක කියන්නේ අපේ හොඳ හිතවතෙක්. එතුමන් එක්ක අපේ කිසිදු පෞද්ගලික අමනාපයක් නෑ. මේක මතවාදී ගැටුමක් විතරයි. එතුමා එදා කළ ප්‍රකාශය අපි හෙළා දකින්නේ නෑ. ඒ වේදිකාව තිබුණේ ඒකට තමයි. නමුත් එතුමාගේ අදහසට ගරු කරනා ගමන් අපි අපේ මතයත් මෙසේ ගෙන හැර දක්වන්න ඕනෑ. දැන් ඔබේ ප්‍රශ්නයට යමු. සංගීතය විශ්ව භාෂාවක් කියන එක තමයි අපි පිළිගන්නේ. මොකද එහෙම නොවුනොත් අපට ජාත්‍යන්තරයට යන්න බෑනේ.
* නමුත් අපි ජාත්‍යන්තරයට යායුත්තේ “අපේකම” රැකගෙන නේද?
ඔව් ඒ නිර්මාණවල බොහෝවිට අපේකම තියෙනවා. සෙන්ටිග්‍රේඩ්ලාගේ සමහර ගීතවල තියෙන්නේ අපේ ජන සංගීතයේ මූලාශ්‍ර. එතකොට භාතිය සන්තුෂ්ලගේ “රන් කුරහන් මල” ගීතය ගන්න. එතැන අපේකම නැද්ද? ඒ වගේ තව උදාහරන ඕනෑතරම් තියෙනවා. නමුත් අපි ඔවුන්ට මේ සම්මාන උලෙළේ විශේෂ සම්මානයක් පිරිනැමුවේ ඒ නිර්මාණ පක්‍ෂය සලකා බලලා නෙවෙයි. භාතිය සන්තුෂ් කියන්නේ මේ වීඩියෝ පරම්පරාවේ ආරම්භකයෝ නිසා. මේක වෙනම පරම්පරාවක් මේ මියුසික් වීඩියෝ පරම්පරාව.
* ඒ පරම්පරාව ඉහළට ඔසවා තැබීමයි මේ. සම්මාන උළෙලේ අරමුණ වුණේ...?
ඇයි එතකොට අමරදේවයන්ට, වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ වැනි ප්‍රවීණයන්ට සම්මාන නැත්තේ කියලානේ ඔබ ඔය අහන්නේ. හරි පැහැදිලි උත්තරයක් එතැන තියෙනවා. ගිය අවුරුද්දේ නිර්මාණය වුණ ඒගොල්ලන්ගේ මියුසික් වීඩියෝස් නැහැ. ගීතය දෘෂ්‍ය මාධ්‍යයට එනකොට වීඩියෝ නැතුව බැහැනේ. ඔය රාගධාරි සම්ප්‍රදායේ ගීතවලට තමා මමත් වැඩිපුර කැමැති. මම අමරදේවයන්ට කැමතියි. ඒ වගේම ජෝතිපාලටත් කැමැතියි.
* කොහොම වුණත් මේ සම්මාන පිරිනැමුණේ ගීතයේ ගුණාත්මක පාර්ශවය සලකා බලා නෙවෙයි. එහි රූප රචනයට. එතකොට මේවා නිර්මාණාත්මක අතිනුත් ඉහළ මට්ටමේ තියෙනවා කියලද ඔබ කියන්නේ...?
නැහැ, සමහර ගීත පිළිබඳ අපටත් ගැටලු තියෙනවා. ඇතැම් ගී පදමාලා හොඳ මට්ටමක නෑ. ඉතින් එහෙම දේවල් හොඳයි කියලා අපට නිර්දේශ කරන්න බෑනේ. අපි ඒ ඒ අංශයන්ට සම්මාන නොදුන්නේත් ඒ නිසයි. හැබැයි සංගීතය විශ්ව භාෂාවක්ය කියනතැන ඉඳන් බැලුවොත් අපට භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි. එතනදි ප්‍රමුඛතාව හිමිවන්නේ සංගීත පාර්ශවයට. දැන් බලන්න ඒ. ආර්. රහුමන් ඉන්දියාවේ සම්ප්‍රදායික සංගීත ක්‍රමවන ක්වාලී එතකොට ගඛසල් බටහිර සංගීත ශෛලිය එක්ක මුසුකරලා ඒක ලෝකෙට අරන් ගිහින් තියෙනවා. ඇකඩමි සම්මාන ගන්න තත්ත්වයට පවා ගිහින් තියෙනවා. ඒ නිසා මෙතනදි පැහැදිලිව කියන්න ඕනෑ අපි රූප රචනයට නෙවෙයි ගීත රචනයටයි සම්මාන දුන්නේ.
* එතකොට හොඳ ‘මෙලඩි පවර්’ එකක් නැති දුර්වල පදමාලාවක් සහිත ගීතයකට වුණත් හොඳම මියුසික් වීඩියෝව විදිහට සම්මාන ලැබෙන්න පුළුවන්...?
ඔව්... ඔව්... අනිවාර්යයෙන්ම. ඒත් අපිටත් ප්‍රශ්න තියෙනවා. ඕවයේ පදමාලා ගැන. ඒ වුණාට මම මුලිනුත් කිව්වා වගේ පදමාලාව බලන්නේ නැහැනේ. රූප රචනයට නේ සම්මාන දෙන්නේ.
* ගීතයේ ප්‍රමිතිය රැකගන්නවා වෙනුවට ඇයි එහෙම ක්‍රමවේදයකට ඔබ ගියේ...?
නෑ, එහෙමනම් අපි සංගීත සම්මාන උළෙලක් තියන්න ඕනෑ. මම එදාමත් කිව්වා. ඒක බොහොම බරපතළ කාර්යයක්. අපි තවම එතැනට ඇවිත් නෑ. ඒ නිසයි මේක මියුසික් වීඩියෝ සම්මාන උළෙලක් විදිහට අපි පැවැත්තුවේ. මෙතනදි සම්මාන දෙන්නේ රූප රචනයට, සංස්කරණයට, වගේ ඒවටනේ. බෙස්ට් පර්ෆෝමන්ස් කියලා අපි සම්මානයක් දීලා තියෙනවා. ඒ ගායකයා හෝ ගායිකාව කළ හොඳම රඟපෑමට. කිසිම වෙලාවක හොඳම ගායනයට, හොඳම ගීත රචනයට, හොඳම තනුවට අපි සම්මාන දුන්නේ නෑනේ.
* එතකොට මොකක්ද ඔබේ අරමුණ මේ රූප රචනයට එහෙම නැතිනම් විෂුවල් එකට සම්මාන පිරිනැමීමේ....?
ඒක ඉතාම පැහැදිලියි. සංගීත ක්‍ෂේත්‍රය අදවිශාල කර්මාන්තයක්. මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ රුපියල් බිලියනයක විතර පිරිවැටුමක් තියෙනවා. මම ඒක හරියටම ගණන් බලා නෑ. මේකේ නියැළිලා ඉන්නවා විශාල තරුණයෝ සංඛ්‍යාවක්. එතකොට අපේ ටෙලිවිෂන් කර්මාන්තයත් ඒකෙන් පෝෂණය වෙලා තියෙනවා. ඕනෑම ටෙලිවිෂන් චැනල් එකක නිකං තියෙන වෙලාවක් බැලුවොත් ඒකෙ ගහන්නේ මියුසික් වීඩියෝ. එතකොට මේකෙ නියැළිලා ඉන්න තරුණයෝ අලුත්, අලුත් දේවල් කරනවා. ඔවුන් දිරිමත් කිරීම තමයි අපේ අරමුණ වුණේ.
* ඔය මොනවා කළත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරැකීම කාගේත් යුතුකමක් සහ වගකීමක් නේ..?
මට කියන්න මොකක්ද ලාංකික අනන්‍යතාවය කියන්නේ. හින්දුස්ථානී රාගධාරී සම්ප්‍රදායට ද?
* අපි මහා සම්ප්‍රදාය හැටියට පිළිගන්නේ එයනේ. දැන් අපි සුභාවිත ගීතය කියා හඳුන්වන්නේ ඔය කියන සම්ප්‍රදායේ මුලාශ්‍රවලින් බිහි වූ නිර්මාණවලටනේ.?
ඒක වෙනම සබ්ජෙක්ට් එකක්නේ. සුනිල් ශාන්තයන් ගුවන් විදුලියෙන් එළියට බැස්සේ ඔය පටු ආකල්ප නිසානේ. ඊළඟට ඔය සම්ප්‍රදායෙන් මිදුණ කොච්චර අය අපට හිටියද? සී. ටී. ප්‍රනාන්දු, ක්ලැරන්ස්, රූකාන්ත වගේ අය දැන් ගිය අවුරුද්දේ ලෝකයේ ජනපි‍්‍රයම ගීතය මොකක් ද කියලා ඔබතුමා මට කියන්න.
* ඔබතුමාම කියන්නකෝ?
Gangnam Style කියන කොරියන් ගීතය. හැබැයි ඒකේ භාෂාව විතරයි කොරියන්. ඒකේ ශෛලිය ‘හවුස්’ කියන සංගීත සම්ප්‍රදායය. අපි රෙගේ සම්ප්‍රදායට බිහිවුණ ගීතවලට සම්මාන දුන්නා. එතකොට ‘රෙගේ’ කියන්නේ මොකක් ද? ජැමෙයිකන්. ඒකනේ සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ. දැන් ඔය කියන හින්දුස්ථානි රාගධාරි සංගීතයෙන් බිහිවන ගීතවලට ඒ අය බේස් ගිටාරය ගහන්නේ නැතිද? ඩ්‍රම්සෙට් එක ගහන්නේ නැතිද? ඔය ඇවිල්ලා බොහොම පටු දෘෂ්ටියක්. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වගේ අයත් බටහිර සංගීතයෙන් නොමඳ අභාසයක් ලැබුවා. එතකොට සිම්ෆනි, ඔපෙරා, කැන්ටාටා කියන්නෙත් අපේ අනන්‍යතාවයද?
* සම්මාන උළෙලකට වඩා රාත්‍රී සමාජ ශාලාවක මුහුණුවර තමයි එහි තිබුණේ කියා සෝමරත්න දිසානායක මහතා චෝදනාවක් එල්ල කළා. විශේෂයෙන්ම තරුණියන්ගේ ඇඳුම් ආයිත්තම් ගැන..?
එතකොට ෆිල්ම් ෆෙයාර් වගේ සම්මාන උළෙලකට ඒ වගේ පිරිස් යන්නේ කුර්තා ඇඳගෙනද? ඔයා නිකං 60, 70 ගණන්වල ‘සරසවිය’ සම්මාන උළේලේ පින්තූර ටිකක් බලන්න. ගාමිණී ෆොන්සේකලා ජාතික ඇඳුම ඇඳගෙන ආවේ නෑනේ. ටයිපටි නෙවෙයි බෝ එක දාගෙනයි ඉන්නේ. එතකොට සම්මාන උළෙලවලට කොටට අඳගෙන ආපු අය නැතිද? ඒ ග්ලැමර් එක ආයිත් කළාම ජනතා ආකර්ෂණය නැතිවෙලා යනවනේ. එතකොට දේශීය අනන්‍යතාවයක් තිබුණේ නෑ කියන්න පුළුවන්නේ ඒ ‘සරසවිය’ සම්මාන උළෙලවලත්. ඔය වගේ කතා කියලා තමයි දේශීය සිනමාව කඩා වැට්ටුවේ. ඒවට ඇහුම්කන් දුන්නොත් මේවත් කඩා වැටෙයි.
* ඔය සම්මාන උළෙලට පැමිණි අපේ ප්‍රවීණ ශිල්පීන් කිසියම් තාවකාලික උගුලකට හසුවී ඇති බවටත් දිසානායක මහතා චෝදනා නඟනවා..?
එකක් කියන්න ඕනෑ. අපි ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල මේ පවත්වන හතරවැනි වතාව. මේ ගොල්ලන්ගේ අවබෝධය බලන්න. දැන්ද ඇහැරුණේ. වටපිට ගැන, රටේ තොටේ වෙන්නේ මොනවද කියලාවත් දැනගෙන හිටියේ නැද්ද මෙච්චරකල්. එක්තරා සම්මාන උළෙලක දී අපි ගාව රෙකෝඩිස් තියෙනවා, තිස්ස අබේසේකරයන් ඉතාම ඉහළින් භාතිය, සංතුෂ්ලාව අගය කළා. ඔය කට්ටිය ඔක්කෝම පළවෙනි සම්මාන උළෙලෙදී එය අගය කළා. දැන් මේ අවුරුදු හතරකට පස්සෙයි වැරැදි කියන්නේ. ජනපි‍්‍රය වේගෙන එන දේට පහර ගහනවා. ඒක තමයි අපේ රටේ හැටි. මේ ගොල්ල බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය මැදිහත්වීම් තුළින් යම් යම් නීති රීති පනවලා මේවට තියෙන ජනතා ආකර්ෂණය නැති කරන්න. ඒක තමා සිනමාවටත් වුණේ. එහෙම වුණාම ඒ අයට සනීපයි. එතකොට ඒ අයගේ දේවල් කරගෙන ගියෑකිනේ.
* ඔබ කියන්නේ සෝමරත්න දිසානායක මහතා උත්සාහ කරන්නෙත් ඔය කියන කාරනාව ඉෂ්ට, සිද්ධ කර ගන්නද..?
ඒක මම දන්නේ නැහැ. මට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි එවැනි අතපෙවීම් තුළින් වෙන්නේ ඒක තමයි. දැන් යන්නේ වෙනම ගීත රැල්ලක්නේ. අපි සම්මාන දුන්නේ ඒ මියුසික් වීඩියෝස්වලට. මේවායේ ජනපි‍්‍රය ලක්‍ෂණ ඉවත් කළාම ඒ කර්මාන්තය කඩා වැටෙනවා. අද ඩවුන්ලෝඩ්ස්වලින් මිලියන දහය, දොළහ මුදල් උපයන ගායකයෝ, ගායිකාවෝ ඉන්නවා. B.M.W කාර්වල ඔවුන් යන්නේ. ඉතින් ඒක හොඳයිනේ. එහෙමනේ වෙන්න ඕනෑ. නැතිව ඒකටත් කොක්ක ගහලා වැඩක් නෑනේ.
READ MORE - දැන්ද ඇහැරුණේ ?...

සංස්කෘතික අපරාධයක්...


සංස්කෘතික අපරාධයක්...

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක
* විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල විවේචනය කරමින් ඔබ කළ ප්‍රකාශය සාධාරණයි කියා සිතනවාද?
මම හිතනවා ඒ කළ දේ හරියි කියා. මා කළ ප්‍රකාශය පිළිබඳ මම පසුතැවෙන්නේ නැහැ. සම්මාන උළෙල පිළිබඳ කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට අපට වේදිකාවට ආරාධනා කරනවනේ. එතනදි තමයි මම ඒ ප්‍රකාශය කළේ. එදා මම මේ සම්මාන උළෙල හොඳයි, සාර්ථකයි කියලා වර්ණනා කරලා ආවනම් මම හිතනවා ඒක වැරැද්දක්. මොකද මගේ හෘද සාක්‍ෂියටත් ඒක විරුද්දයි. මම ගරු කරන අපේ රටේ දේශීය, සංගීත සම්ප්‍රදායටත් විරුද්ධයි. එතනදි මම අදහස් කළේ දෙරණ ආයතනයට පහරක් ගැසීමට හෝ ඔවුන් හෙළා දැකීමට නොවෙයි. ඔවුන්ට සිදු වූ මේ වැරැද්ද නිවැරැදි කිරීමේ සත් පරමාර්ථයෙන්.
* එතකොට ‘දෙරණ’ නාළිකාව එක්ක ඔබේ අවුලක් නැහැ?
ඇත්තෙන්ම ‘දෙරණ’ හොඳ නාළිකාවක්. එය සමහර අංගයන්ගෙන් සෙසු නාළිකාවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. කාලීන සිදුවීම් හා සංස්කෘතික අංගයන් සහිත හොඳ වැඩසටහන් ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ බවත් සිහියේ තබාගෙන මෙතැනදි ඔවුන් නිවැරදි විය යුතු නිසායි මම එවැනි ප්‍රකාශයක් කළේ.
* මෙය නම්කර තිබෙන්නේ ම ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල කියා. එතකොට එහි ආකෘතිය හා කාර්යභාරය ගැන ඔබට අවබෝධයක් තිබුණේ නැද්ද?
නැහැ, එහෙම පෙර අවබෝධයක් තිබුණේ නැහැ. මේ ගොල්ල පවත්වන්නේ මොනවගේ සම්මාන උළෙලක් ද, එහි තිබෙන්නේ මොන වගේ රටාවක් ද කියන එක ගැන මට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. මීට පෙර තිබුණු සම්මාන උළෙලවලට මම සහභාගි වෙලත් නැහැ. අඩුම තරමෙන් රූපවාහිනියෙන්වත් දැකලා තිබුණේ නැහැ. ඇත්තෙන්ම එහෙම දැකලා තිබුණානම් මම එහි යන්නට පෙර ඒ ගොල්ලන්ට පොඩි අවවාදයක් දෙන්නත් තිබුණා. නැතිනම් ප්‍රතික්ෂේප කරන්නත් තිබුණා. ඒ සභාවේ මම වාඩිවෙලා ඉන්නකොට මට ඇහුන, සහ දැනුන දේවල් නිසා මම කම්පනයට පත් වුණා. ඒ මම අනුමත නොකරන දේවල්. මම අපේ රටේ සංස්කෘතිය, දේශීය සංගීතය සහ අපේ බාල පරම්පරාව ගැන වගකීමක් තියෙන පුරවැසියෙක් කියලා හිතනවා. ඒ පසුබිම තුළ හිඳගෙනයි මම අර වගේ ප්‍රකාශයක් කළේ.
* එදා ඔබ කළ ප්‍රකාශය අපේ පාඨකයන් වෙනුවෙන් මේ මොහොතේ සිහිපත් කරමුද?
‘මා මේ සභාවට ආවේ ප්‍රමාදවෙලා වුණත් මා පැමිණි මොහොතේ සිට මෙතෙක් මා ඇසූ, දුටූ දේවල් අනුව ප්‍රමාද වී පැමිණීම ගැන මම කනගාටු වෙන්නේ නෑ. මියුසික් වීඩියෝ අවෝඩ්ස් කියන්නේ සංගීත රූප සම්මාන කියන එක නම් අපේ රටේ සංගීතය මෙතැනදි නියෝජනය වෙනවාද කියන එක මට ප්‍රශ්නයක්.’ ඒ තමයි මම කළ ප්‍රකාශය. එතනදි කිිසිවක් ප්‍රකාශකර නොසිටීමට සිතා සිටියත් අනර්කලී මට යම් අදහසක් පැවසීමට ආරාධනා කළ පසු මගේ වැට බැඳ නැති කටෙන් ඒ වදන් පිටවුණා.
* තව දුරටත් ඔබ යමක් කිව්වා?
ඔව්.. මම අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නා නිසා, කේන්ති ගැනීම මට අහිතකරයි. ඉතින් ලබන වසරේත් මේ සම්මාන උළෙල මේ ආකාරයෙන්ම පවත්වනවානම් ඊට ආරාධනා කරන්න එපා කියලා මම කිව්වා.
* සංගීතයේ විවිධ ශෛලීන් තියෙනවා. අනෙක කෙනකුගේ රුචිය තව කෙනෙකුට වහ කදුරු නොවෙන්නත් පුළුවන්...?
ඔව්, ලෝකයේ විවිධ සංගීත ශෛලීන්, සම්ප්‍රදායන් තියෙනවා. නමුත් ඕනෑම රටකට තමන්ගේ දේශයට ආවේනික අනන්‍යතාවක් තිබෙනවා. නිදහස තිබුණ පලියට විදේශීය අභාසයකින් දේශීය අනන්‍යතාවය විනාශ වෙනවානම් ඒක ජාතික අපරාධයක්. දේශීය සංගීතයට වසංගතයක් වූ අප්‍රිකානු, ලතින් අමෙරිකානු රැප්, රෙගේ හා තවත් මොනවදෝ කන්දොස්කිරියාවන් විනා එදා අපේ රටට ආවේනික වූ සංගීතයේ නියෝජනයක් සිදුවුණේ නැහැ.
* නමුත් අද තාරුණ්‍යය නැඹුරු වී සිටින්නේ සහ ඔවුන් නිර්මාණකරනයේ යෙදෙන්නේ එවැනි සංගීත ශෛලීන් ආභාස කොට ගනිමින් නේද?
කාගේ වරදකින් හෝ අද තාරුණ්‍යයේ සිතුම් පැතුම් එතැනට තල්ලු වී \;බනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒ අයට කැමැති ගීතයක් අහන්න, කැමැති ඇඳුමක් අඳින්න, කැමැති නැටුමක් නටන්න නිදහස තියෙන්න ඕනෑ. නමුත් මම කියන්නේ ‘දෙරණ’ වැනි ජාතික නාළිකාවකින් දිවයින පුරා සජීවීව විසුරවා හරිනවා මේ මියුසික් වීඩියෝ සම්මාන උළෙල. අන්න එතනයි මම දකින වරද. මේක මේගොල්ල පුද්ගලික මට්ටමෙන් කර ගත්තට කමක් නැහැ. නමුත් මෙන්න මේවා තමයි අපේ රටේ සංගීතය කියලා පොදුවේ මුළු රටටම පෙන්නලා මේක තමයි අපේ සංස්කෘතිය සහ අපි සම්මාන දිය යුත්තේ මේවටයි කියලා කියනවානම් ඒක මම හිතන්නේ ජාතික අපරාධයක්.
* සංස්කෘතික ඝාතනයක් ලෙසත් ඔබ මෙය හඳුන්වා දී තිබුණා..?
ඔව්, එක අතකින් සංස්කෘතික ඝාතනයක්.
* ඔබ සුභාවිත ගීයට පි‍්‍රය කරන, ඒවා අගයන කෙනෙකු විදිහටයි මේ විරුද්ධ මතය ගෙනහැර පාන්නේ?
මම සුභාවිත ගීයට ආදරය කරන කෙනෙක් තමයි. ඒත් පැහැදිලිවම කිව යුතුයි මම අනෙක් සංගීත රටාවන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම කියන්නේ නෑ අපේ රටේ සංගීතය මේ ජන සංගීතය පමණක් විය යුතුයි, රාගධාරී සංගීතය පමණක් විය යුතුයි කියලා. ඒ මතයේ මම නැහැ. අපේ සංගීතයේ ජන සංගීතය, උත්තර භාරතීය රාගධාරී සම්ප්‍රදාය, එතකොට බටහිර ශෛලිය මේවා ඔක්කොම සංකලනය වී තිබෙනවා. නමුත් මේ සම්මාන උළෙලේ සිදු වුණේ අපේ ජන ගායනා හෝ උත්තර භාරතීය සංගීතය හෝ අපි කියන ඔය සුභාවිත ගීතය අවප්‍රමාණයට ලක් කිරීමයි. එහෙම කිසිම සංගීත රටාවකට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. එහි තිබුණේ අර නව පරපුරේ පොප් සංගීතය පමණයි. එවැනි නිර්මාණ කිහිපයක් උලුප්පා දක්වමින් මේක තමා අපේ සංගීතය කියා ජාතික නාළිකාවකින් සජීවීව මුළු රටටම පෙන්වපු එක වැරදියි කියලා තමයි මම කියන්නේ.
* ඉස්සර අපි ග්‍රැමෆෝනයෙන්, ගුවන් විදුලියෙන් අහපු ගීත අද රූපවාහිනියෙන්, වීඩියෝ මාධ්‍යයෙන් දකිනවා. රූප රචනය එහෙම නැතිනම් මේ විෂුවල් කියන මාධ්‍යය අද ගීතයක ජනප්‍රියත්වයට හේතුවන ප්‍රබල සාධකයක් වී හමාරයි. ඔබ කියන්නේ එවැනි අංගයක් ගීතයට අවශ්‍ය නැහැ කියලද?
අනේ නැහැ, මම කවදාවත් එවැනි කතාවක් කියන්නේ නෑ. රූප රචනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. මොකද රූප රචනය කියන්නේ සංගීතයට එකතුවෙන හතරවැනි මානයක්. මෙතෙක් කල් අපට ගීතය සම්බන්ධව තිබුණේ පද රචනය, තනුව හා ගායනය කියන අංශ තුනනේ. දැන් මේ අලුතින් එකතු වූ ප්‍රවණතාව අපට බැහැර කරන්නට බැහැ. මම කියන්නේ ඒ තාක්‍ෂණය මඟින් අපේ සංස්කෘතිය, බාල පරපුරට අරුත් ගන්වන්නේ කොහොමද කියන එකයි. එහෙම නැතිනම් ඒ සංස්කෘතික අංගයන් ආරක්‍ෂාකර ගැනීමට අවබෝධයක් තියෙන්න ඕනෑ. මියුසික් වීඩියෝ කියන්නේ රූපනම් ඇයි අපට බැරි සුභාවිත ගීතයට ;හාඳ හරවත්, සංවේදී සාහිත්‍යමය රූපරචනයක් කරන්න. අපි එහෙම කරලත් තියෙනවා.
* නමුත් ඔබ කියන ආකාරයේ සුභාවිත ගීත අද තරුණ පරපුර වෙතින් බිහි වෙන්නේ නැහැනේ?
ඇයි නැත්තේ. ඉඳහිට හෝ එවැනි දේවල් වෙනවා. එහෙම නොවෙනවානම් අපි ඒවට උනන්දු කරවන්න ඕනෑ. එහෙම අතරින් පතර හෝ බිහිවුණ නිර්මාණ මේ සම්මාන උළෙලේ දී අවධානයට ලක් වී නැහැ. ඒ අය කියනවානම් සුභාවිත, නැතිනම් සම්භාව්‍ය ගීතයට එහෙම රූප රචනාවන් වෙලා නෑ කියලා මට උදාහරණ පෙන්වන්න පුළුවන්. මට පුළුවන් ලයිස්තුවක් දෙන්න. රූප රචනා කියන ඒවා එන්නේ රූපවාහිනියේ විතරක් නෙවේ. සමහරවිට චිත්‍රපටවල පවා එවැනි හොඳ රූප රචනා තියෙනවා. අද මේ තියෙන තාක්‍ෂණය එක්ක අපට විවිධ දේ මවා පාන්නට පුළුවන්. ඒ මවාපෑම හොඳයි. නමුත් ඒ මවාපෑම සහ තාක්‍ෂණික මෙවලම් පාවිච්චි කළ යුත්තේ කිසියම් හැඟීමක් උද්දීපනය වෙන ආකාරයෙන්.
* එතැනදි එහෙම දෙයක් වුණේ නැතිද?
එතන තිබුණේ ඝෝෂාකාරී සංගීතයයි, ගෑනු ළමයින්ගේ අඩ නිරුවතයි, නටන්න රිද්මයකුයි පමණයි. සංගීතය කියන්නේ ඕකට නෙවේනේ. ගීතයක් අහලා එහි තිබෙන නාද රටාවන්ට සහ පදමාලාවට අපි දැහැන්ගත වෙනවානම් ඒ රූප රචනයේ පවා සංයමයක් තිබිය යුතුයි. මේ අලුත් තාක්‍ෂණය පාවිච්චි කරලා උඩයට මාරු කරලා, ළමයි ඔළුවෙන් හිටවලා කැරකෙව්වට වැඩක් නෑ. ඒ තාක්‍ෂණය භාවිත කළ යුත්තේ ගීතයේ තිබෙන භාවයන් ප්‍රකාශවෙන එහෙම නැතිනම් කුළු ගැන්වෙන අයුරින්.
* ඔබේ හිතමිත්‍ර ජැක්සන් ඇන්තනි පවා මෙහි විනිශ්චය මණ්ඩලය නියෝජනය කළා?
මට විනිශ්චය මණ්ඩලය විවේචනය කරන්න බැහැ. මම දන්නේ නැහැ විනිශ්චය මණ්ඩලය ඇතුළේ මොන විදිහේ ප්‍රශ්න තිබුණාද, එකඟතා තිබුණාද කියලා. නමුත් විනිශ්චය මණ්ඩලයේ දෙදෙනෙක් අදහස් ප්‍රකාශ කළා. එතැනදි ඔවුන්ගෙන් කිසියම් පශ්චත්තාපයක් ප්‍රකාශ වුණා. ජැක්සන් ඇන්තනි මහත්මයා කිව්වා සම්මාන උළෙලකදී විනිශ්චය මණ්ඩලය මුහුණ දෙන ගැටලු දෙකක් ගැන. එකක් තමයි තරගයට ඉදිරිපත් කෙරෙන සියලුම නිර්මාණ හොඳම මට්ටමේ තිබුණොත් කාටද සම්මාන දිය යුත්තේ කියන ගැටලුව. අනෙක් ගැටලුව තමා ඒ ඉදිරිපත් කරන නිර්මාණ සියල්ලම අන්තිම දුර්වල වුණාම කාටද සම්මාන දෙන්නේ කියන එක. ‘මම මේ නිර්මාණ ඒ දෙකෙන් කොයි එකටද අයත් වන්නේ කියා කියන්නේ නැහැ’ කියා ජැක්සන් පැවසුවා. මම හිතන්නේ ඔහු යම් ඉඟියක් දුන්නා. නමුත් ඒක සාමාන්‍ය ප්‍රේක්‍ෂකයාට තේරෙන්නේ නැහැ. දිලීප අබේසේකරත් යම් ඉඟියක් දුන්නා. නමුත් ඒවා මේ සාමාන්‍ය ජනතාවට ප්‍රහේලිකා විතරයිනේ. මට ඕනෑ වුණේ ඒ ප්‍රහේලිකාවක් නොවී සාමාන්‍ය ජනතාවට මගේ හැඟීම පුකාශ කරන්න. තමන්ට අප්‍රසාදයක් තියෙනවානම් ඒ අය දැනගන්න ඕනෑ තේරෙන භාෂාවෙන් ඒ දේවල් කියන්න.
* ටී. එම්. ජයරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ වැනි ප්‍රවීණ සංගීත ශිල්පීන් වගේම අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි, බූඩි කීර්තිසේන වැනි ප්‍රවීණ සිනමාවේදීන් මෙම උළෙල නියෝජනය කළා. ඔවුන් අතින් තෑගි ප්‍රදානය වුණා?
ඔව්
* එතකොට ඔබ කියන්නේ මේ ප්‍රවීණයන් ‘දෙරණ’රූපවාහිනිය මගින් ගොනාට ඇන්දුවා කියල ද?
ටී. එම්. ජයරත්න, රෝහණ වීරසිංහ කියන්නේ අපට අමරදේව පරපුරේ සිටින විශිෂ්ට සංගීතකරුවන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් අතින් කවුද සම්මාන ලබන්නේ. ඒ අගැයීමට ලක් කරන්නේ මොන විදිහේ සංගීතයක් ද කියන එක මට තියෙන ප්‍රශ්නයක් ඇත්තටම. මම දන්නේ නෑ ටී. එම්. ජයරත්න හෝ රෝහණ වීරසිංහ මහත්වරුන් ඒ අවස්ථාවේ මොන විදිහේ හැඟීමකින් හිටියද කියලා. නමුත් කිසියම් පසුතැවීමකින් යුතුව ඔවුන් පසුව මට කතා කරලා කිව්වා. ඒ අයට කියා ගන්න බැරිව සිටි දේ මම කළා කියලා. හැබැයි මම එකක් කියන්න කැමතියි. ඔබ ඔය සඳහන් කළ කලාකරුවන් කිසියම් විදිහක තාවකාලික උගුලකට හසුවී සිටියාදෝ කියන හැඟීම මට තියෙනවා. ඔවුන් විශේෂිත ආරාධිතයන් නිසා කිසියම් අන්දමක සදාචාරාත්මක දෘෂ්ටියකින් මේවා ඉවසා දරා සිටියාද මම දන්නෙත් නෑ.
* ඔබේ සදාචාරාත්මක නොවීම ගැන...?
නෑ එතනදි සදාචාරත්මක නොවුණයි කියලා මම කනගාටු වෙන්නේ නැහැ. ජාතික වගකීමක් හැටියට යම් අදහසක් ප්‍රකාශ කළා කියන එක තමයි මගේ අදහස. අවසන් වශයෙන් මම ‘දෙරණ’ නාළිකාවෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මෙම සම්මාන උළෙල ඔවුන්ගේ වෙනත් යහපත් වැඩ සටහන් ගොන්නට එකතුකර ගන්න කියලයි. මගේ හෘදයාංගම ප්‍රාර්ථනයත් එයයි.
READ MORE - සංස්කෘතික අපරාධයක්...

ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!


ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!

ඉරාණි අබේසේකර
ආදරයේ සුන්දරත්වය මෙන්ම විරහ සංතාපය ද වඩාත් සංවේදීම සමීප කළේ ඔහුය. චිත්‍රපට ගී කලාවට එදා ඔහුගේ දායකත්වයක් නොලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. ජනප්‍රිය සිනමාවට මෙන්ම කලාත්මක සිනමාවට ද ඔහු සිය නිසඟ හැකියාවෙන් අපූර්ව වදන් සිතුවම් බිහි කර දුන්හ. ගුවන් විදුලි සරල ගී, ළමා ගී වැඩිම සංඛ්‍යාවක් නිමැ වී ඇත්තේ ඔහුගේ සුරතිනි.
ගුවන් විදුලි ක්ෂේත්‍රයේ අද සිටින බොහෝ ප්‍රවීණයන්ගේ ගුරුවරයා වූයේ ද ඔහුයි. ඔහු ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයකු, ජනප්‍රිය ගීත රචකයකුª ව සිටි කරුණාරත්න අබේසේකරයන්ය. හෙතෙම අප අතරින් වියෝ වී ලබන අප්‍රේල් 20 වැනිදාට 30 වසරක් සපිරේ. මේ මොහොතේ ඒ සොඳුරු කලාකරුවාගේ ප්‍රිය බිරිය ඉරාණි අබේසේකර සිය මතකය අවදි කළේ මේ අයුරිනි.
‘කරුගේ හඬ ගුවන් විදුලිියෙන් ඇහෙන කොට මගේ හිත ඒ දෙසට ඇදිල ගියා. පුළුවන් හැම වෙලාවටම ඔහුගේ හැම වැඩසටහනක්ම ඇහුවා. ඒ කාලේ සිංහල නිවැරදි උච්චාරණය ඉගෙන ගන්න අනිවාර්යයෙන් සිංහල ප්‍රවෘත්ති ඇහුවා. ඒ නිසා ඔහු නිවේදනය කළ ප්‍රවෘත්ති විකාශයන් නම් මග හැරුණේ නැහැ. කරු පුවත්පත් සඟරාවලට ලියූ හැම කවියක්ම බලන්නත් මම අමතක කළේ නැහැ. ඔහු අතින් ලියවුණු ගීත මම රස වින්දේ හරිම ආදරයෙන්. ඇත්තටම මට ඔහු ගැන තිබුණේ පිස්සුවක්.
ඔහුගේ හඬ විතරක් ඇසූ ඔබට ඔහු මුණ ගැසෙන්නේ?
ඒ 1952 වසරේදී. එතකොටත් මම පාසල් ශිෂ්‍යාවක්. මගේ යෙහෙළියෝ මේ පිස්සුව ගැන හොඳටම දැනගෙන හිටියා. අපේ කට්ටිය ලකී සෙවන්. ඉතිං මෙයාලට ඕනෑ වුණා මාවයි කරුවයි මුණ ගස්වන්න. ඒකට අපි හොඳ වැඩක් කළා. මගේ කැමැත්ත දැනගත්ත මගේ යෙහෙළියෝ හය දෙනා මාවත් එක්කර ගෙන ගියා පී. එල්. ඒ. සෝමපාල හා චිත්‍රාගේ විවාහ මංගල උත්සවයට. ඇත්තටම අපි එහි ගියේ කිසිම ආරාධනාවක් නැතුවයි. අපි හිතුවා කරුත් අනිවාර්යයෙන් එතැනට එයි කියලා. අපි හිතුවා වගේම ඔහුත් පැමිණියා. මගේ යෙහෙළියන් ඔහුට මා හඳුන්වා දුන්නා. එදා අපි හැමෝම කතාබහ කරමින් විහිළු තහළු කරමින් කාලය ගත කළා. මගේ යෙහෙළියන් ඔහුගෙයි මගෙයි අයිස් ක්‍රීම් කප් දෙකත් මාරු කළා. ඊට පස්සේ දවසෙත් මගේ යෙහෙළියක් වූ අයිරාංගනී අපට දුරකථනයෙන් කතා කරන්න අවස්ථාව හදලා දුන්නා. මේ විදියට දිගටම මට කරු සමඟ කතා කරන්න අවස්ථාව ලැබුණා.
ඒ වෙනකොට ඔබ දෙපොළ පෙම්වතුන්. ඔබ වෙනුවෙන් ඔහු ගීත එහෙමත් රචනා කරන්න ඇති?
ඔව්. අපි ගෙවල්වලට හොරෙන් තමයි කතා කළේ. අපේ සම්බන්ධය දැනගත්තම ගෙවල් දෙකෙන්ම අපට විරුද්ධ වුණා. අපේ ගෙදරින් දැනගත්ත වෙලාවේ තමයි මම ගෙදර හිරකාරියක් වුණේ. කරුට කතා කරන්න කිසිම ඉඩක් ලැබුණේ නැහැ. ටෙලිෆෝන් එක අල්ලන්න තියා මට මගේ යෙහෙළියන් ඇසුරු කරන්නත් තහනම් වුණා. එහෙම ඉන්න කොට දවසක් මට ගුවන් විදුලියෙන් ගීතයක් අහන්න ලැබුණා.
‘එන්න මදනලේ . . .
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිරගෙයට ඇගේ . . .
දිවා රැයේ වැලපිලා - දෑස ඈගේ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා . .
සංදේශයකින් යවන්න මේ දුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි – මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි
ශෝක පණිවිඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයක් කළා
මට කොයින්ද එම වලා ආමි සුළඟෙ ඔබ සොයා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා . .
තිලකසිරි ප්‍රනාන්දු තමයි එය ගායනා කළේ. මං හිතුවා මේ ගීතයේ මොකක් හරි සුවිශේෂත්වයක් ඇති කියලා. ඒක හරියටම හරි. අවසානයේදී නිවේදකයා කිව්වා ඒ ගීය කරුණාරත්න අබේසේකර විසින් රචනා කළා කියලා. කරු එදා ඔහුගේ දුක මට කිව්වේ ඒ ගීතයෙන්. ඇත්තටම ඔහු කාරුණික උණු වෙන හදවතක් තියෙන මහත්මයෙක්. ඒ වගේමයි ඔහුගේ පවුලේ අයත් මට තමන්ගෙම පවුලේ කෙනෙකුට වගේම සෙනෙහසක් දැක්වූවා. අපේ ගෙදරින් විරුද්ධ වුණත් 1959 නොවැම්බර් 30 වැනිදා කොළඹ ගාලුමුවදොර හෝටලයේදී අපි විවාහ දිවියට එළැඹුණ.
නිවේදකයෙක්, ගීත රචකයෙක් යන චරිතවලින් බැහැරව ආදරණීය සැමියෙක්, පියෙක් ලෙස ඔබ ඔහු දකින්නේ?
අපි විවාහ වෙලා ගොඩක් කල් ගත වෙන තෙක් අපට දරු සුරතල් බලන්න බැරි වුණා. අපි දෙන්නම ඒ ගැන හරිම දුකෙන් හිටියේ. අවුරුදු 10 කට පස්සේ තමයි දිලීප පුතා අප අතරට ආවේ. ඒක හරිම සුවිශේෂ වෙන්නේ ඔහු ඉපදුණෙත් කරු ඉපදුන ජූනි 03 වැනිදාම තමයි. ඒ සතුටට තමයි ‘දිලීප පොඩි පුතු සමීපයට . . .’ කියන ගීතය ඔහුගෙන් ලියැවුණේ. ඇත්තටම කරු කියන්නේ හරිම සංවේදී නිතරම සතුටින් කාලය ගත කරන්න කැමැති කෙනෙක්.
පොඩි ළමයින්ට හරිම ආදරෙයි. එයා වැඩ ඇරිල එනකොට අහල පහළ ඉන්න පොඩි ළමයින්ට රස කැවිලි ගෙනත් දෙනවා. මට මතකයි ඒ දවස්වල කරු ඇවිත් වාහනේ නවත්වන කොට පොඩි ළමයි ඇවිත් කාර් එක වටකර ගන්නවා. වැඩ කරන තැනදි නම් අඩුපාඩු වුණොත් හරියට කේන්ති යනවලු. ගෙදරදි නම් අපි ඔහුට කේන්ති යන වැඩ කරන්නේ නැහැ. ගෙදර ඉන්න වෙලාවට පුතා දිලීප එක්කම තමයි කාලය ගත කළේ. ඔහුගේ පාසල් වැඩ සියල්ල හොයල බලන්නේ කරු විසින්මයි. කරු කෘත්‍රිම මල්වලට කැමතිම නැහැ. ගෙදර ලස්සනට තියන්න ස්වභාවික මල් නිතරම අරගෙන එනවා. ඇත්තටම ඔහු පොඩි ළමයෙක් වගේ. පැණිරස කෑම කන්න පුදුම ආසාවක් තිබුණේ. හැමදාම තේ වෙලාවට මම මොනවා හරි පැණිරස කෑමක් හදනවා.
එතකොට කරුණාරත්න අබේසේකර නමැති ගී පද රචකයා?
ඔහු ගීත රචනා කරන්න කාලයක් වෙන් කරලා තිබුණේ නැහැ. ගෙදරදි නම් බොහෝ වේලාවට හිතට එන අදහස් කිව්වම ලියන්නේ මම. මම නැති තැන්වලදී ඔහුම එය ලියනවා. සමහර දවසට පාන්දරම නැගිටල සිංදු ලියනවා. රෙකෝඩරයක් තියාගෙන සිංදු අහල ඒවට ගැළපෙන විදියට සිංහල පද ගළපලා මට කියනවා ලියන්න. චිත්‍රපට ගීත නම් බොහොමයක් ලිය වුණේ ගෙදරදි. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදින් බෙග්, මිල්ටන් මල්ලවාරච්චි ගීත ලියවා ගන්න නිතරම කරු හමු වෙන්න ආවා.
කරුණාරත්න අබේසේකර අතින් රචනා වූ බොහෝ ගීත අපට රිගින් ටෝන් හරහා අසන්නට ලැබෙනවා. දැන් කොපමණ ගීත සංඛ්‍යාවක් ඔහුගේ අතින් ලියැවෙන්න ඇති ද?
සංඛ්‍යාත්මකව නම් කියන්න අමාරුයි. පසුගිය කාලයේදී නම් විවිධ පුද්ගලයන් රිගින් ටෝන්වලට කියලා අපෙන් අවසර අරගෙන ගිහින් තියෙනවා. නමුත් එහි ගිවිසුම්වල සඳහන් වුණත් අදටත් අපට ගෙවීම් නම් කරලා නැහැ. අපිට සල්ලි වුවමනා නැහැ. නමුත් වංචා කරන්න හොඳ නැහැ. සමහරු ගීතවල අයිතිය පවා ඉල්ලාගෙන එන අවස්ථාත් තියෙනවා. කොපමණ සල්ලි දුන්නත් කරුගෙ ගීතවල අයිතිය නම් කවදාවත් විකුණන්නේ නැහැ.
අද වන විට ඔබ කාලය ගත කරන්නේ?
පින්දහම් කරමින් කාලය ගත කරනවා. කරු අපෙන් වෙන් වෙලා අවුරුදු තිහක් ගත වුණා කියලා හිතා ගන්නවත් බැහැ. ඔහු අකමැති දේ කිසිවක් අදටත් මම කරන්නේ නැහැ. අපේ පුතා දිලීප මේ වනවිට දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ හරිම කාර්යබහුලයි. ඔහුත් තාත්තා වගේමයි. ගොඩක්ම නොවුණත් වෙලාව ලැබෙන ආකාරයට ගීත ලියනවා. ඒ වගේම කරුණාරත්න අබේසේකර පදනම හරහා අපි නොයෙකුත් පුණ්‍ය ක්‍රියා සිදු කරනවා. මේ සියලු දේ සමඟින් විවේකීව කාලය ගත කරනවා.
කරුණාරත්න අබේසේකර සූරින් අප අතරින් වියෝ වී 20 වැනිදාට තිස් වසරක් සපිරෙනවා. මේ නිමිත්තෙන් විශේෂ වූ පුණ්‍ය වැඩසටහන් එහෙම සංවිධානය කරලා ඇති?
කරු සිහිපත් කරලා අපි පින්කම මීට දින කිහිපයකට කලින් පැවැත්වූවා. ඔහු අපෙන් සමුගත් 20 වැනිදාට ඔහුට දෙවැනි සෙවණක් බඳු වූ ගුවන් විදුලියෙන් ධර්ම දේශනාවක් විකාශය කරන්නට සූදානම් කර තිබෙනවා. ඒ සියලුම පින් ඔහුට අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා
READ MORE - ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!

සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ


සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ

රංජන් ප්‍රසන්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම ටෙලි සිතුවම නිබ්බිදාව හි මුහුරත් උළෙල අද ඇඹුල්දෙණිය මැක්වින් හෝටලයේදී පැවැත්වුණා.
වෙනස්ම කතා තේමාවක් ගත් නිබ්බිදාව ජගත් විජේවීරගේ තිර රචනයක්. නිමල් අබේවර්ධන නිෂ්පාදනයෙන් දායක වන මෙම ටෙලි නිර්මාණය සඳහා ශ්‍රීමාල් වෙඩිසිංහ, දුලීකා මාරපන, බුද්ධික ජයරත්න, වසන්ත ජයසිංහආරච්චි, නිශාන්ත ජයවික්‍රමආරච්චි, තුෂාරි වේහැල්ල, අංජුලා රාජපක්ෂ, රංජිත් රූබසිංහ, සරත් කරුණාතිලක, චංචලා වර්ණකුලසූරිය, රෙක්ස් හැමිල්ටන්, තාරුකා ජයතිලක රංගනයෙන් දායක වීමට නියමිතයි.
මේ ඒ සුබ මොහොත අපේ ඡයාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ උප නෙතෙහි ඇදුණු අපූරුවයි.
READ MORE - සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ

සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ


ළමයින්ට චිත්‍රපට හදන සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

සෝමරත්න දිසානායක මහතා සිනමාකරුවෙකු වශයෙන් අප විසින් ද අගය කරනු ලබන මෙරට ප්‍රවීණ කලාකරුවෙකි. ඔහුගේ සිනමා නිර්මාණ හෝ කලා භාවිතය පිළිබඳ අපට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් පමණි.
ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභූත චෝදනා පිළිබඳ අපගේ දැඩි කනගාටුව පළ කරමු.
සෝමරත්න මහතාගේ ලිපියේ ඇතුළත් බරපතළම ප්‍රකාශය වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ සංස්කෘතික ඝාතනයක් ය” යන්නයි. ඔහු එය එසේ නිර්වචනය කරන්නේ කුමන අරමුණකින්දැයි නොතේරේ. එහෙත් ඒ සඳහා ඔහු යොදා ගන්නා පටු නිර්ණායක දෙස බැලූ විට, ඒවා හුදෙක් අනවබෝධය මත ඇති කර ගත් වැරැදි ආකල්ප බව පැහැදිලිව පෙනේ.
සෝමරත්න මහතාගේ ලිපියේ පුන පුනා දක්වන කරුණක් වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ” මඟින් දේශීය සංස්කෘතියට විශාල හානියක් සිදු වන බවයි. මෙමඟින් මෙරට සම්භාව්‍ය සංගීතය හෝ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ කිසිදු ඇගැයීමක් සිදු නොකරන බව ද ඔහු විශේෂයෙන් පවසයි. සෝමරත්න දිසානායක මහතාට දැඩි ලෙස වැරැදී ඇත්තේ එතැන ය.
මෙම සම්මාන උලෙළේ නාමය දෙස විමසිල්ලෙන් බලන ඕනෑම අයෙකුට එකී කාරණා හොඳින් වටහා ගත හැකිය. මෙය “දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස්” මිස, දෙරණ මියුසික් අවෝර්ඩ්ස් නොවේ. “මියුසික් වීඩියෝ” යනු, ගීත සඳහා සිදු කරනු ලබන රූප රචනාමය දෘශ්‍ය නිර්මාණ ය. “දෙරණ” යනු ටෙලිවිෂන් නාළිකාවකි. දෘශ්‍ය නිර්මාණ යනු අපගේ විෂය පථයේම කොටසකි.
එබැවින් අපගේ අරමුණ වන්නේ, මෙරට ගීත සඳහා බිහිවන දෘශ්‍ය නිර්මාණ සහ ඒවායේ නිර්මාණකරුවන් දිරි ගැන්වීමය. ඒ හුදෙක් ක්ෂේත්‍රයේ පැවැත්ම උදෙසා ය. ගුවන් විදුලියට “ශ්‍රව්‍ය නිර්මාණ” අදාළ වන්නේ යම් සේද, රූපවාහිනියට “දෘශ්‍ය නිර්මාණ” (ශ්‍රව්‍ය දෘශ්‍ය) එපරිද්දෙන්ම වැදගත් වේ.
ටෙලිවිෂන් නාළිකාවක ගුවන් කාලයෙන් සැලකිය යුතු ඉඩක් “මියුසික් වීඩියෝ” මඟින් ආවරණය වේ. ටෙලිවිෂන් නාළිකාවක පැවැත්ම උදෙසා මියුසික් වීඩියෝ මඟින් සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයි. එකී මෙහෙවර අගයා කෘතගුණ දැක්වීමක් ලෙස මියුසික් වීඩියෝ ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන උලෙළක් පවත්වන එකම නාළිකාව ද ටී. වී. දෙරණ යි. එසේ තිබියදී, කරුණු නිසි ලෙස නොදැන මෙසේ නිර්දය විවේචන නැඟීම කොතරම් අසාධාරණ ද?
මෙම සම්මාන උලෙළ තුළ “සංගීතය” පිළිබඳ කිසිදු ඇගැයීමක් කරන්නට අපට අයිතියක් නොමැත. “සංගීත සම්මාන” යනු වෙනමම විෂයයකි. හොඳම ගීතය, හොඳම පද රචකයා, හොඳම ගායකයා සහ ගායිකාව, හොඳම සංගීතඥයා යනා දී සංගීතයට සම්බන්ධ කිසිඳු සම්මානයක් මෙහිදී පිරි නොනැමේ. මෙය හුදෙක් “මියුසික් වීඩියෝ” සඳහාම වෙන් වූවකි.
සෝමරත්න මහතා සඳහන් කරන ආකාරයට, මෙරට දේශීය සම්භාව්‍ය සංගීතය, ශාස්ත්‍රීය සංගීතය හෝ සරල සංගීතය ඇගැයීම අපගේ විෂය ක්ෂේත්‍රයට අයත් නොවන අතර, අපට හැකියාව ඇත්තේ විවිධ සංගීත ශෛලී ආශ්‍රයෙන් බිහි වී ඇති “සංගීත වීඩියෝ නිර්මාණ” ඇගැයීමටය.
ඔහු පවසන පරිදි, දේශීය සම්භාව්‍ය සංගීතය හෝ සරල සංගීතය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කළ හැක්කේ, ඒ ආශ්‍රයෙන් බිහි වූ සංගීත වීඩියෝ ඇත්නම් පමණි. නමුත් කනගාටුදායක කරුණ නම් ඔහු සඳහන් කරන ආකාරයේ සම්භාව්‍ය සංගීතය නියෝජනය කරන කිසිඳු සංගීත වීඩියෝවක් තරගය තුළදී අපට මුණ නොගැසීමයි. එසේ තිබුණා නම් නිසැකවම එයට ඉහළ ඇගැයීමක් හිමි වන්නට ඉඩ තිබිණ.
අනෙක් වැදගත් කරුණ නම්, මෙය අයදුම්පත් කැඳවා ඒ අනුව ලැබෙන නිර්මාණ අගයනු ලැබීමක් මිස, අප සොයා ගොස් කිසිවකුට සම්මාන පිරිනැමීමක් නොවේ. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත ප්‍රවීණයන් පස් දෙනෙකු ගෙන් සමන්විත විශේෂ ජූරියක් මඟින් ලබා දෙනු ලබන විනිශ්චය අනුව සම්මාන ප්‍රදානය සිදු කෙරෙන අතර ඊට අපගෙන් කිසිදු ආකාරයක බලපෑමක් ඇති නොවේ.
අප විසින් දක්වනු ලබන වසරක කාල සීමාව තුළ නිර්මාණය වූ සංගීත වීඩියෝ පමණක් තරගය සඳහා භාර ගැනෙන අතර, ඊට කිසිදු භේදයකින් තොරව අදාළ සුදුසුකම් සපුරා ඇති ඕනෑම නිර්මාණකරුවෙකුට ඉදිරිපත් වීමේ හැකියාව ද පවතී. එසේ තිබියදී “සම්භාව්‍ය ගණයේ සංගීත වීඩියෝ නිර්මාණ බිහි නොවන්නේ හෝ එවැනි නිර්මාණ තරගය සඳහා ඉදිරිපත් නොවන්නේ අපගේ වරදින් ද? යන වග අපි සෝමරත්න මහතාගෙන් අසමු.
සෝමරත්න මහතාගේ අදහසට අනුව ඔහුට ඇත්තේ මෙරට භාවිත නූතන සංගීතය පිළිබඳ ගැටලුවකි. ඔහුට ඇත්තේ ජාත්‍යන්තරයේ ඉතා ප්‍රචලිත රෙගේ, රොක්, පොප් වැනි ජනප්‍රිය සංගීත ශෛලීන් මෙරට ව්‍යාප්ත වීම පිළිබඳ හිතේ අමාරුවකි. එහි තේරුම් බේරුම් කර ගත යුතු කරුණු දෙකක් ඇත.
එකක් නම් ආර්ථිකයේ සියලු දොරගුළු ලෝක වෙළෙඳපොළ සඳහා විවෘත කර ඇති රටක, සමාජයීය වශයෙන් මහා පරිමාණ වෙනස්කම් සිදුවෙමින් පැවැතියදී, සංගීතය පමණක් එකී ගෝලීය ප්‍රවාහයන් ගෙන් මුදවා ගත හැකි ද යන්නයි. සෝමරත්න දිසානායක මහතා මුළා වී ඇත්තේ එතැනය. ඔහු පදනම් විරහිත අස්ථාන චෝදනා නඟමින් “දෙරණ” හෙළා දකින්නට වැර දරන්නේ ඒ නිසාය.
පසුගියදා පැවැති “ස්ලිම් ජනතා සම්මාන උලෙළ” ගැන ද ඔහු යමක් සඳහන් කරයි. මෙම සම්මාන උලෙළේ දී ජනතා ගායකයා ලෙස පණ්ඩිත් අමරදේවයන් සම්මානයට පාත්‍ර වූ බවත්, ජනතා ගායිකාව ලෙස විශාරද නන්දා මාලනිය සම්මානයෙන් පිදුම් ලැබූ බවත් සඳහන් කරන සෝමරත්න මහතා, සිතාමතාම එක් කරුණක් අමතක කරයි.
එනම්, මෙවර ජනතා ගීතය ලෙස සම්මාන ලැබුවේ, මේ දිනවල ඉතා ජනප්‍රිය (දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළේ ජනප්‍රියම මියුසික් වීඩියෝවට හිමි රිදී සම්මානය හිමි කරගත්) රොෂාන් ප්‍රනාන්දුගේ “ඔයා නිසා හඬලා” යන ගීතය යන්නයි. එසේ කරන්නට ඇත්තේ, එම ගීතය ද ඔහුගේ ගර්හාවට ලක්වන ජනප්‍රිය රැල්ලේ ගීතයක් වන නිසා විය යුතුය.
ළමයින් වෙනුවෙන් චිත්‍රපට තනන සෝමරත්න දිසානායක මහතාට නූතන තරුණ රසඥතාව පිළිබඳ නිසි වැටහීමක් නොමැති වීම ගැන අපි කනගාටු වෙමු. ඉහතින් සඳහන් කළ ආකාරයට, මෙරට නූතන තාරුණ්‍යයේ රස වින්දන පරාසය සාම්ප්‍රදායික සීමාවන් ගෙන් ඔබ්බට විහිදී ඇත.
වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පෙරට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අනුව මෙහෙයවන තත්ත්වයකට පත්ව ඇත. එසේ නොවුවහොත් ඒවායේ පැවැත්ම පිළිබඳ විවිධාකාර අර්බුද මතු වනු ඇත. සෝමරත්න මහතා චෝදනා නඟන රෙගේ, රොක්, රැප්, පොප් යනාදී බටහිර සංගීත ශෛලී යොදා ගනිමින් ජාත්‍යන්තරය ජය ගත් මෙරට නූතන පරපුරේ අති දක්ෂ තරුණ සංගීතඥයන් ද හමුවේ.
“භාතිය සන්තුෂ් සහ ඉරාජ්” යනු එවැනි තිදෙනෙකි. නිදසුනක් ලෙස, පසුගිය කාලයේ බංග්ලාදේශය තුළ රිංගින් ටෝන් මඟින් වැඩිම ආදායමක් උපයන ලද “මුන් ජානි” නමැති ගීතය පෙන්වා දිය හැකිය. රට ජනප්‍රියතම ගායිකාවක් වන “කෝනා” ගායනා කරන එම ගීතය, ඉරාජ් විසින් නිර්මාණය කරන ලද්දකි. එමෙන්ම, ඉන්දියාවේ මේ දිනවල අතිශයින් ජනපි‍්‍රය “කඩල්” චිත්‍රපටයේ තේමා ගීතය, මෙරට නූතන පරපුරේ දක්ෂ ගායකයෙකු වන “දිනේශ් කනගරත්නම්” ගායනා කරන්නකි. එහි අධ්‍යක්ෂවරයා පෙරළිකාර සිනමාවේදී මනිරත්නම්ය.
සංගීතය ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහමන්ගේ ය. ඉන්දියාවේ මෑතකදී ජනපි‍්‍රය වූ “වේට්ටෙයිකාරන්” චිත්‍රපටයේ ඉතාමත් ජනප්‍රිය වූ “චින්නතාමරෙයි” ගීතය ඉරාජ්ගේ නිර්මාණයකි. එය 2011 වර්ෂයේ දී එරට විජේ ටී වී සම්මාන උලෙළේ ජනප්‍රියම ගීතය බවට පත්විය. ශ්‍රී ලංකාවේ නූතන සංගීත ක්ෂේත්‍රයේ දිසාව කොයිබට ද යන්න පෙන්වා දෙන සරල නිදසුන් කිහිපයකි ඒ. අවශ්‍ය නම් මෙවැනි අවස්ථා රැසක් පෙන්වා දිය හැකිය.
සෝමරත්න මහතා පෙන්වා දෙන තවත් බොළඳ කරුණක් නම්, මියුසික් වීඩියෝ සම්මාන උලෙළ සඳහා සහභාගි වූ ඇතැම් “ලලනාවන් කොට ගවුම් ඇඳීම” නිසා. ඔවුන් ගෙන් වෙනදා දුටු නාරි ලාලිත්‍යය මෙදින දක්නට නොලැබුණු බවයි. සිනමාකරුවෙකු ලෙස ඔහු එවැන්නක් පැවසීම විහිළුවට කරුණකි. 60 දශකයේ සිට මෙරට සිනමාව තුළ පවා ජනපි‍්‍රය කොට ගවුම (මිනී ගවුම) සෝමරත්න මහතා ඇත්තෙන්ම මීට පෙර දැක නැති ද යන්න මහත් ප්‍රහේලිකාවකි. අනෙක් අතට මෙරට කාන්තාවන්ට තමා කැමැති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇත. ඊට තහංචි පැනවීමට අපට නොහැකිය.
“ටී. වී. දෙරණ” තේමා පාඨය වන්නේ අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන යන්න ය. අප සැම විටම මෙරට සංස්කෘතික වටිනාකම් රැක ගැනීමට කටයුතු කරනු මිස, එය වැනසීමට කටයුතු නොකරන බව ද මෙහි දී අවධාරණයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු.
“දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ” සංවිධාන කරනු ලැබුවේ, දේශීය සංගීත වීඩියෝ ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ යෙදී සිටින තරුණ නිර්මාණකරුවන්ට අත දීමක් වශයෙනි. ඒ හැර දේශීය සංගීත ක්ෂේත්‍රයේ ගමන් මඟ වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැත.
READ MORE - සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ