----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

හෙට නැවත එයි

Monday, February 4, 2013

සුලභ අත්දැකීම් ඇසුරෙන් පුලුල් ජීවනාර්ථයක්‌ මතු කරන හෙට නැවත එයි

ගාමිණී වේරගම

කර්තෘ ( බුද්ධදාස ගලප්පත්ති

සරසවි ප්‍රකාශකයෝ - නුගේගොඩ

"හෙට නැවත එයි" බුද්ධදාස ගලප්පත්තිගේ සිව්වන කෙටිකතා සංග්‍රහයයි. මේ නිසා බුද්ධි කෙටිකතාවට ආධුනිකයකු ලෙස සැලකිය නොහැකියි. ඔහුගේ මෑතකාලීන කෙටි කතා විමසුමේ දී ඉස්‌මතු වන ප්‍රධාන ලක්‍ෂණ කිහිපයක්‌ තිබේ. ඔහුගේ තේමා බොහෝවිට සුලභ ස්‌වභාවයක්‌ හිමි කර ගනී. මේ සුලභ බව ඇසුරින් මනුෂ්‍ය ස්‌වභාවය පමණක්‌ නොව සමාජමය අනුභූතීන් ද මතු කොට ගැන්මට රචකයා නිරන්තරයෙන් ප්‍රයත්න දරයි. මේ ප්‍රයත්න විටෙක සාර්ථක වෙතත් විටෙක ගැඹුරු ජීවන අත්දැකීමක සීමාවේ නවතියි. එයට හේතුකාරක වන සාධක කිහිපයකි. සමහර අවස්‌ථාවල රචකයාගේ අත්දැකීම් දැයි සිතෙන පමණට පුද්ගල ස්‌වභාවය ඉස්‌මතු වේ. කෙටිකතා නිර්මාණයේදී මේ දුර්වලතාවක්‌ නොවෙයි. එහෙත් මේ පුද්ගල ස්‌වභාවය යටපත් කරමින් පොදු අනුභූතියක හැඩතලවලට පිවිසීම රචකයාගේ කාර්යය වෙයි. දෙවනුව රචකයා බොහෝ විට තම තේමාවන් විකාශනයේ දී චරිත කිහිපයකටම ප්‍රමුඛතාව දෙයි. රචකයාට මේ සෑම චරිතයක්‌ම එක්‌ ලෙසින් වැදගත් වේ. සෑම චරිතයක්‌ම එක්‌ ලෙසින් විකාශනයට අවධානය යොමු කිරීම නිසා කේන්ද්‍රීය අත්දැකීමට විසුරුණු ස්‌වභාවයක්‌ අත්වෙයි. සමහර විටෙක කේන්ද්‍රීය චරිතය යටපත්ව වෙනත් චරිතයක්‌ මූලික වීමෙන් කෙටිකතාව අවසන් වන අවස්‌ථා ද දැකිය හැකිය. එමෙන්ම අත්දැකීම යටපත්ව රචකයා ඉස්‌මතු වන අවස්‌ථා ද දැකිය හැකිවෙයි. එබඳු අවස්‌ථාවල එක්‌වන අනුචිත වර්ණනා නිසා කතාවේ හරය යටපත් වේ.

මේ ලක්‍ෂණ සමහර විටෙක රචකයකුගේ නිර්මාණාවේශය සීමා කරන්නට හේතුවන්නකි. එහෙත් බුද්ධිගේ කෙටි කතා විමසුමේ දී මේ ලක්‍ෂණ කිසියම් මට්‌ටමකට පාලනය කරන්නට හේතුකාරක වන හැඩතලද පවත්නා බව පෙනී යයි. එහි දී මූලික වන්නේ සුලභ අත්දැකීමක්‌ ඇසුරින් වුව කිසියම් පුළුල් ජීවනාර්ථයක්‌ මතුකොට ගැනීමට දැරෙන ප්‍රයත්නයයි. මනුෂ්‍ය ස්‌වභාවය ද විටෙක සමාජමය ගුණයද එවන් අවස්‌ථාවල කෙටි කතාවේ මූලික ගුණය බවට පත්වෙයි. දෙවනුව රචකයා විසින් උපයුක්‌ත බස්‌වහරයි. ඔහුගේ බස නිරවුල් ය. රසවත් ය. අර්ථ පූර්ණ ය. එහෙයින් කේන්ද්‍රීය අත්දැකීමට අපූරු කතා රසයක්‌ හිමිවෙයි. එපමණක්‌ නොවේ. ඔහු සියුම් යටිපෙළක්‌ පවත්වා ගන්නේද මේ බස්‌වහර ඇසුරේය. සමහර විටෙක අත්දැකීමේ නොමැති යටි අරුත් ද මේ බස්‌වහරෙන් නිරායාසයෙන් මතු වේ. බුද්ධි මා දකින අයුරින් අති සාර්ථක කවියේදීය. ඔහු සියල්ලටම ප්‍රථමයෙන් කවියකු ලෙස දැක්‌විම අයුක්‌තිසහගත නොවෙතැයි සිතමි. කවියා ඉතා සංයමයෙන් බස හසුරුවන්නෙකි. එක්‌ වදනකින් අරුත් සියයක්‌ මතුකොට ගැන්මට ඔහු සමත් ය. එක්‌ අනුචිත වදනක්‌ සාර්ථක කවියක තිබිය නොහැකියි. බුද්ධි කවියෙන් කෙටිකතාවට මේ බස ගෙන එන්නට විශාල උත්සාහයක යෙදෙන බව පෙනේ. ඔහුගේ සමහර කෙටිකතා අනුචිත වර්ණනාවලින් චරිත විස්‌තර කිරීම්වලින් යුක්‌තය. එවැනි අවස්‌ථාවල බස අත්දැකීමේ බිඳ වැටීමට හේතුවක්‌ වේ. එහෙත් ඔහුගේ සාර්ථක කෙටි කතාවල ප්‍රධාන ගුණය වන්නේ ද අවස්‌ථාවෝචිතව නිර්මාණාත්මකව හසුරුවන බස්‌ වහරයි. එබඳු අවස්‌ථාවල කෙටි කතාව අප තුළ සියුම් භාවමය කම්පනයක්‌ ඇති කරන්නට ජීවිතාවබෝධයක්‌ ජනිත කරන්නට හේතු වේ.

''හෙට නැවත එයි'' කෙටිකතා සංග්‍රහයේ නිර්මාණ විමසුමට මා එළඹෙන්නේ බුද්ධිගේ කෙටි කතාවල පොදුවේ ගැබ්වන සාධනීය ලක්‍ෂණ ද නිෂේධනීය ලක්‌ෂණ ද සන්දර්භය ලෙස ගනිමිනි.

'දවසක්‌ නිමාවෙයි' අත්දැකීමේ අපූර්ව බවක්‌ නැත. එහෙත් උපයුක්‌ත බස්‌ වහර නිසා එය ආසාවෙන් කියවිය හැකි නිර්මාණයක්‌ බවට පත්වේ. (බුද්ධිගේ සියලු කෙටිකතා මේ ගුණයෙන් නම් අනූන බව කිව යුතුය) තම රෝගී බව නිසා දියණියගේ ආසාව ඉටුකළ නොහැකිව තැවෙන පියකු මෙහිදී අපට හමුවේ. අසනීප බව නිසා සේවයට නොයාමෙන් ඔහුගේ ගැනුම්කරුවන් ද අහිමි වී ගොසිනි. එහෙත් කුඩා දැරියක නිසා ඔහුගේ අභිමතාර්ථය ඉටු කර ගැනීමට හැකිවෙයි. මෙය කාබුලිවාලා වැනි නිර්මාණයක්‌ සිහියට නගන්නකි. වෙළෙන්දා හා දැරිය අතර සම්බන්ධතාව මෙයට වඩා සියුම්ව ගොඩනැගුවේ නම් ගැඹුරු ජීවන දර්ශනයන් මතු කර ගැනීමට අවකාශ තිබූ බවක්‌ දැනේ. වෙනත් අවස්‌ථා විග්‍රහය නිසා මේ මානය රචකයාගෙන් ගිලිහේ. ඒ සීමාව තුළ වුවද පියකුගේ හදගැස්‌ම පිළිබඳ කිසියම් ශෝක ජනක හැඟêමක්‌ අප තුළ දනවන්නට රචකයා සමත්වෙයි. ඒ ඔහු සෝමදාසගේ චරිතය ද අධ්‍යාත්මය ද විග්‍රහයට භාවිත කරන සංවේදී බස නිසාය.

'අවමගුල් චාරිකාව' මේ සංග්‍රහයේ එන සාර්ථක කෙටිකතාවකි. එය තියුණු සමාජ දැක්‌මකින් යුක්‌තය. එමෙන්ම මනුෂ්‍ය ස්‌වභාවයන් පිළිබඳ සියුම් උපහාසයකින්ද හෙබියේයි. අත්දැකීම බැලූ බැල්මට අපූර්ව නොවේ. එහෙත් රචකයා එය ඉදිරිපත් කරන ස්‌වභාවය තුළ ඒ සුලභ බව යටපත්ව යයි. තම සගයකුගේ පියාගේ අවමඟුල් උත්සවයට සහභාගී වීමට යන මිතුරු සේවකයන් එහි ප්‍රධාන චරිත කොටගැනේ. රැකියාවෙන් හෙම්බත්ව සිටින පුද්ගලයන්ට දුර ගමනක්‌ යැමට ලැබෙන අවස්‌ථාව ඒකාකාරී ජීවිතයෙන් පලායැමට ලැබෙන මහඟු ප්‍රස්‌තාවකි. එය මංගල්‍යයක්‌ ද අවමංගල්‍යක්‌ද යන්න වැදගත් වන්නේ නැත. අවමංගල්‍ය උත්සවයකට යන මේ පිරිස ද අවස්‌ථාව පැහැර හරින්නේ නැත. මධුවිතෙන් ද රසවත් ආහාර පානයෙන් ද සන්තර්පණය වීමට, මුහුදේ ස්‌නානය කරමින් ගිම් නිවා ගැනීමට ඔවුන් පසුබට වන්නේ නැත. ගමනේ මුල් අරමුණ ඔවුන්ගේ මනසින් ගිලිහේ. මළ ගෙදරට යන විට එහි සියලු කටයුතු අවසන් ය. එයද එතරම් භාරදූර ලෙස ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ නැත. මෙහි උත්ප්‍රාසය වනුයේ මෙබඳු අවස්‌ථාවක්‌ ලැබුණේ නම් මළගෙදර ගෙහිමියා ද මේ කාර්යය සමග මෙලෙස ම හැසිරෙන බව අප දන්නා නිසා ය. මේ කෙටිකතාව සමාජ ජීවිතයෙන් හෙම්බත්ව සිටින මිනිසුන් දෙස සදය අනුකම්පාවෙන් බැලීමක්‌ වැන්න. මේ අප කවුරුත් සිරව සිටින පාශයයි. එයින් ස්‌වල්ප වේලාවකට හෝ අත්මිදෙන්නට අසතුටු වන්නේ කවුරුන් ද? පුද්ගල අත්දැකීමක්‌ පොදු අත්දැකීමක්‌ බවට පරිවර්තනය වන්නේ ඒ ආකාරයටයි. සියුම් උපහාසාත්මක දැක්‌මකින් ද යුක්‌තව වර්තමානය විවරණය කළ ද මෙහි එක්‌ දුබලතාවක්‌ වන්නේ බාහිර විග්‍රහ නිසා කේන්ද්‍රීය අත්දැකීම මදක්‌ යටපත්ව යාමයි. නිදසුනක්‌ දක්‌වතොත් මෙහි ප්‍රධාන චරිතය සුමින්ද ය. එහෙත් මේ කතාව අවසන් වන්නේ විල්සන් කේන්ද්‍රීය චරිතය බවට පත් කරමිනි. මේ විසුරුණු බව නොවන්නට අවමගුල් චාරිකාව කෙටි කතාවේ ගුණය තවත් වැඩිවනු නිසැකය.

'දෙදෙනාම දියණියෝ' කෙටිකතාවටද විෂය වනුයේ ජීවිතය පිළිබඳ අනුවේදනීය අත්දැකීමකි. දරුවන් නැති සොවින් පෙළෙන යුවළක්‌ දරුවකු හදා ගැනීමට ගත් විට ඔවුන්ට ද දරුවකු ලැබේ. එහෙත් ඔවුන්ගේ දරුවා රෝගීව මියයාමත් සමග හදාගත් දරුවාද අහිමි වීමේ බිය ඔවුන්ට ඇතිවේ. මේ තේමාව අපූරුය. ජීවිතය පිළිබඳ අනුවේදනීය අනුභූතීන් උත්පාදනයට සමත් ය. එහෙත් රචකයා අපේක්‍ෂා කළ කම්පනය අප තුළ ඇති නොවේ. එයට එක්‌ හේතුවක්‌ වන්නේ උචිතානුචිත බව නොසලකා සියලුම චරිත එක්‌ ලෙසින් විග්‍රහයට යොමු වීමයි. දෙවනුව තිලක්‌ගේ හා පූර්ණිමාගේ ප්‍රේම ජීවිතය පිළිබඳ තොරතුරු වර්ණනා කේන්ද්‍රීය අත්දැකීමට අදාළ නොවීමයි. රචකයා කතා රසය පවත්වා ගනී. එහෙත් අත්දැකීමේ සියුම් බව සිඳ ගනී.

මේ කෙටිකතා සංග්‍රහයේ හොඳම නිර්මාණය ලෙස මා අගයන්නේ පුංචි කුසුමලතා කතාවයි. එය රචකයා 1975 ලියුවක්‌ බව සඳහන් වේ. මේ නිර්මාණය හයිකු කවියක්‌ වැන්න. අත්දැකීම හා ඉන් නිපන් සංවේදී කම්පනය, උපයුක්‌ත බස්‌වහර හා ඉන් කේන්ද්‍රීය අත්දැකීමට හිමිවන අර්ථ ප්‍රකාශනය ඉහළ තලයක පවතී. එක්‌ අනුචිත වර්ණාවක්‌ නොව අනුචිත වදනකුදු දැකිය නොහේ. ජීවිතය ගැට ගසා ගැනීමේ ප්‍රයත්නය නිසාම ජීවිතය අහිමි කර ගන්නා සෝමදාස, කටුක දුක්‌ අනුභව කරන සෝමාවතී, රෝගී දැරිය අපගේම ළබැඳියන් බවට පත්වෙයි. අනපේක්‌ෂිත අයුරින් සිදුවන සෝමදාසගේ මරණය අපගේ ආශ්වාසය මොහොතකට නතර කරවයි. ඉන්පසු කුමක්‌ සිදුවේද? මෙය අපට දැරිය නොහැකියි. රචකයා මේ හාස්‌කම කරන්නේ කෙටිකතාවේ ආකෘතික හැඩය බුහුටි ආකාරයෙන් භාවිත කිරීම මගිනි. චරිත හසුරු වන ආකාරය, බස භාවිතය මගින් මතු කෙරෙන සංඥාර්ථ විසින් මේ ඉහළ තලයකට පිවිසේ. බුද්ධි විසින් වගා කර ගත යුතුව තිබූ ගුණ මේවායි. වර්තමානය වන විට ඔහු වෙනස්‌ ආකෘතියකට පිවිසීමෙන් කෙටිකතාකරුවකු ලෙස අත්කර ගත හැකිව තිබූ කීර්තිය යටපත් වූයේ යෑයි කීම අසාධාරණ නොවෙතැයි සිතමි.

'එය එසේ සිදුවිය කෙටිකතාව' ප්‍රේමලාල් මූලික කරගත්ත ද එය ද උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය ප්‍රධාන කොටගත් නිර්මාණයක්‌ නොවේ. මෙය බුද්ධිගේ කෙටිකතාවල නිරන්තරයෙන් දැකිය හැකි ලක්‍ෂණයකි. එහෙත් සමහර කෙටි කතා ඉල්ලා සිටින්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි. 'එය එසේ සිදුවිය' එබඳු කෙටි කතාවකි. එසේ වූයේ නම් අත්දැකීම වඩා සංවේදීවීමට අවකාශ තිබිණි. මේ කෙටිකතාව අතිශයින් පුද්ගල ස්‌වභාවයක්‌ හිමිකර ගනී. මෙහිදී එය දෝෂයක්‌ නොවනුයේ අත්දැකීමට හානිකර නොවන නිසයි. මීයන්ට තැබූ විෂ බෙහෙත් කා දැමූ සුරතල් බල්ලා මියයාම මෙහි වස්‌තු බීජයයි. අත්දැකීම සියුම් කම්පනයක්‌ ඇති වන ආකාරයෙන් විකාශය නොවූවද උපයුක්‌ත බස්‌ වහර රසවත්ය. එහෙයින් කතා රසය මෙහි දි මූලික ගුණය බවට පත්වේ. සුරතල් බල්ලා අහිමි වීම පිළිබඳ දැරියගේ ශෝකයට මූලිaකත්වය ලැබුණේ නම් වඩා සංවේදී අත්දැකීමක්‌ බවට පත්වීමට අවකාශ තිබිණි.

'ටෙලි නිළිය' වර්තමාන කලා ලෝකය පිළිබඳ රචකයාගේ අත්දැකීම් මෙන්ම ගවේෂණශීලී දැක්‌ම ද ප්‍රකට කරයි. එහි ප්‍රථම භාගය ඉතා සාරවත්ය. චරිත හඳුන්වා දෙන ස්‌වභාවය අගනේය. චාරු නිසංසලා, µSලීෂියා ආන්ටි, පුෂ්පමාලා, හරේන්ද්‍ර ප්‍රධාන චරිතවල හැසිරීම් රටාවන්, චෛතසිකයන් මැනවින් ඉස්‌මතු වේ. වර්තමානයේ රූප මාධ්‍යයට පිවිසෙන තරුණ තරුණියන් මුහුණ දෙන ව්‍යසනය පිළිබඳ සියුම් කම්පනයක්‌ද ඉන් ගම්‍ය වේ. කෙටි කතාව මේ මුලික හැඩතලවලින් පිටතට පනින්නේ අවසන් අදියරේය. චාරු හරේන්ද්‍රට නතුවීම, සහාය අධ්‍යක්‍ෂකට නතුවීම ක්‌ෂණික වූවද අභව්‍ය නොවේ. එය කෙටි කතාවේ ස්‌වභාවය විසින්ම ඉල්ලා සිටින සිදුවීම් ය. එහෙත් හරේන්ද්‍ර ලියුකේමියා රෝගියකු බවට පත්වීම, චාරු විවාහ කරගැනීමට සතුටු වීම ආකස්‌මිකව, බලයෙන් එබ්බවූ සිදුවීම් බවට පත්වේ. මෙහෙයින් චාරු මුහුණ දෙන ගැටලුවේ මානුෂික හා සමාජමය ස්‌වභාවය යටපත් වේ. ඉන් ගම්‍ය වනුයේ නවකතාවකට උචිත චරිත හා සිදුවීම් කෙටිකතාවකට බලයෙන් එබ්බවූ ආකාරයකි. එසේ නොවන්නට ටෙලි නිළිය මේ සංග්‍රහයේ වඩාත් සාර්ථකම නිර්මාණයක්‌ වනු නිසැකය.

'ජීවිතේ සුන්දරයි' පෞද්ගලික අත්දැකීමක්‌ මොහොතින් පොදු අනුභූතියක්‌ බවට පත්වන විරල අවස්‌ථාවකි. මෙය චරිතය මරා දමමින් රචකයා ඉස්‌මතු වන අවස්‌ථා ද තිබෙන නිර්මාණයකි. එහෙත් ඉන් කෙටිකතාවකට අවැඩක්‌ සිදු වී නැත්තේ ය. වියපත් යුවළකගේ ප්‍රේමය පිළිබඳ තේමාව තුළ කිසියම් සමාජමය දැක්‌මක්‌ ද ගැබ්වෙයි. සමාජය මෙවැනි සම්බන්ධතාවන් අවලෝකනය කරන්නේ කෙසේද? විවාහ වන වයසේ දියණියක සිටින පියෙක්‌, යෞවනය ඉක්‌ම වූ අවිවාහක ස්‌ත්‍රියක්‌ වෙත සමාජ ඇස යහපත් වන්නේ නැත. මේ සමාජ ආකල්පයන්ට ඉඳුරා නතුවන පුද්ගලයන්ට ජීවිතයේ සතුට, සැනසුම දුරස්‌ය. එහෙත් ඒ සීමාවන් අතික්‍රමණය කළ හැක්‌කේ කීදෙනෙකුට ද? එබඳු චිත්ත ධෛර්යක්‌ වඩවාගත හැක්‌කේද? එහෙත් රචකයා අපට කියනුයේ මේ ද මිනිසුන් බවය. මිනිස්‌ හැසිරීම්වලට වයස බාධකයක්‌ නොවේ. ඔවුන්ටද සෙනෙහස, මිත්‍රත්වය අවශ්‍යයි. මේ චරිතවල හැසිරීම් රටාවන් කෙටිකතාව විසින් ඉල්ලනු ලබන සීමාවන් ඉක්‌මවන අවස්‌ථාවන් තිබුණ ද එයින් කෙටි කතාවේ මුඛය අරමුණට හා හැඩයට එතරම් හානියක්‌ වී නැත. ජීවිතය පිළිබඳ සියුම් කාංසාජනක හැඟêම් ජනනය කරන නිර්මාණයකි. උපයුක්‌ත බස ද අත්දැකීම හා අවියෝජනීයව බැඳී පවතී.

බුද්ධිගේ කෙටි කතා ජීවිතය දෙස විවිධ මානවලින් නිරීක්‌ෂණය කරන්නට දරන ප්‍රයත්න සේ හඳුනාගැනුම අසීරු නොවේ. ඉඳහිට නිෂේධනීය ලක්‍ෂණ නිසා කේන්ද්‍රීය අත්දැකීම ලුහුවූවද සමස්‌තයක්‌ ලෙස බුද්ධි කෙටිකතාව විෂය යෙහිලා දක්‌වන කුසලතා අගනේය. ජීවිතය හා සමාජ හැඩතල කෙරේ ඔහුගේ තියුණු දැක්‌ම පමණක්‌ නොව මනුෂ්‍ය ස්‌වභාවය අරභයා ඔහුගේ දයාබර බවද මේ කෙටි කතාවල ප්‍රමුඛ ලක්‍ෂණ සේ හඳුනාගැනුම අසීරු නොවේ. කෙටිකතාවේ ආකෘතික පක්‍ෂය පිළිබඳ ද ඔහුගේ දැනුම, අවබෝධය ප්‍රමාණවත්ය. 'පුංචි කුසුමලතා' මනා නිදසුනකි. මෙහෙයින් ඉදිරියේ දී මෙයට වඩා ප්‍රබල ආදර්ශී කෙටි කතා ආස්‌වාදනයට අපට අවස්‌ථාව ලැබෙනු ඇත.





READ MORE - හෙට නැවත එයි

මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි

මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි
මහාචාර්ය ආරියරත්න ඇතුගල


දේශීය "යාතුකර්මයන්" තුළ විශ්වීය නාට්‍ය ධර්මතා පවතින බව නොරහසකි. ගී්‍රක නාට්‍යයන්ට රංග භූමියක්‌ තිබූ නමුදු යාතුකර්මයට රංග භූමියක්‌ නොතිබිණි ඒ හේතුවෙන්ම මෙරට යාතුකර්මය සිදු කරන භුමි ප්‍රදේශයම රංග භූමියක්‌ ලෙස සැලකිණි. එම රංගභූමිය විශ්ව ආකෘතියට පසු නොවුණු හෙයින්ම ගැමි යාතුකර්ම ලෙසින්ම පැවැතිණි.

"මහ සමයම" මේ ගැමි යාතුකර්ම, තුළින් ජනනය වූ ජන නාට්‍ය සාම්ප්‍රදායන්ට රංග භූමියක්‌ සදන්නට නිර්මාණය වූ ඔපෙරාවකි.

මහසොහොන් සමයමෙහි සමයම් යාම තුනකි. ඒ හැන්දෑ සමයම, මහ සමයම හා අලුයම් සමයම යනුවෙනි. "මහ සමයම" නටන්නේ මධ්‍යම රාත්‍රියේය .

පුරාණොක්‌තිය හා යාතුකර්ම ගැන වෙසෙස්‌ හැදැරීමකින් පසු "මහ සමයම ඔපෙරාව" නිමැවෙන්නේ මහාචාර්ය ආරියරත්න ඇතුගල අතිනි. පෙබරවාරි 01, 02, 03 දිනවල, මහසමයම නෙලුම් පොකුණ රංග පීඨයේදී වේදිකාගත කිරීමට නියමිතය.

ශ්‍රී ලාංකීය වේදිකාවේ නවතම ඔපෙරා අත්දැකීම පිළිබඳ මේ සංවාදගත වන්නේ එහි නිර්මාණකරු මහාචාර්ය ආරියරත්න ඇතුගලය.

සංවාදය - උදේශ සංජීව ගමගේ

මහ සමයම ශ්‍රී ලාංකීය වේදිකාවට අලුත් කියෑවීමක්‌ වන්නේ කොහොමද?

මෙහි අන්තර්ගතය අපේම ඉතිහාසයෙ තිබුණු පුරාවෘත්තයක්‌. ඒ වගේම මේ වනවිට වේදිකාවට භාවිත නොකළ සහ වේදිකාව ප්‍රතික්‍ෂේප කරන ලද යාතුකර්මවල එකතුවෙන් තමයි මහ සමයම ගොඩනැඟෙන්නේ. සරලව කිව්වොත් පුරාණෝක්‌තිය හා යාතුකර්මවල එකතුවක්‌. අපේ පැරැණි කතාවක්‌ තිබෙනවා. ඊශ්වර සහ අසුර අතර සටනේදී අසුරගේ මියගිය සිරුරේ අලුගොඩින් තමයි "මහසෝනා" උපදින්නේ කියලා. මෙතැනින් තමයි මේ නාට්‍යයට වස්‌තු බීජය ඉපැදෙන්නේ.

අපි අපේ කලාවන් නිරීක්‍ෂණය කරද්දී පැහැදිලිව දකින්න තිබෙන දෙයක්‌ තමයි මහ සාම්ප්‍රදායයන් අමතක කර දැමීම. මූලිකවම ටෙලිනාට්‍යකරුවකු ලෙස මම ඒ තුළත් දැක්‌කේ යම් නොදියුණුකමක්‌. මහ සමයම බිහිවෙන්නේ එවැනි පසුබිමකයි.

පැරැණි යාතුකර්ම, නූතන නාට්‍ය කලාවට වැදගත් වන බව "වික්‌ටර් ටර්නර්" නමැති මානව විද්‍යාඥයා පවසනවා. මෙය මහ සමයම හරහා යථාර්ථයක්‌ බවට ගන්නා වෑයමක්‌ ද මේ...?

අපි මේක ඊටත් වඩා පුළුල් අර්ථයකින් ගන්න ඕන. පූජාකර්ම තුළ රංගනය හා ප්‍රසාංගිකත්වය කොහොමත් ගැබ්වෙලා තිබෙනවා. වික්‌ටර් ටර්නර් ඇතුළු බටහිර මානව විද්‍යාඥයන් පූජාකර්ම නූතන නාට්‍ය කලාවට වැදගත් බව කියන්නේ ඒ නිසයි. මේ පූජාකර්මවල තිබෙන පරා රෝපණ මූලාශ්‍ර නාට්‍ය රස විඳීම සඳහා වැදගත් බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඔබ කිව්වා වගේ "වික්‌ටර් ටර්නර්" සංස්‌කෘතික නාට්‍ය (cultural
tweature) හා පූජාකර්ම නාට්‍ය (Rituals Drama) ගැන අධ්‍යයනයකින් පසුවයි මේ අදහස්‌ පළ කරන්නේ.

මහසමයම සමගම ඔබ "එටික්‌" (etic) නාට්‍යවේදය ගැන සංකල්පය ගැන හඳුන්වා දෙනවා. මෙය මහසමයම සමග ගලපා ගත යුත්තේ කොහොමද?

අපි පුරාණෝක්‌තියට, මිත්‍යාවට, පුරාණ ඉතිහාසයට පිටස්‌තරයෝ හැටියටයි සැළකිය යුත්තේ. මේ සියල්ල අපි අපේ දේ හැටියට සැලකුවත්, ඇත්තටම අපි ඉන්නේ මේ සියල්ලටම පිටින්. නමුත් අපි පුරුදු පුහුණුවෙලා ඉන්නේ, අපිව පුරුදු කර තිබෙන්නේ දේශීය උරුමකම් සමග බැඳුණු තණ්‌හාවකින් මේවා දිහා විශාල සංස්‌කෘතිමය බැඳීමකින් බලන්නත්, රකින්නත් පමණයි. ඒ නිසාම අපි ඒවා කෙරෙහි බාහිර නිරීක්‍ෂකයන් වන්නේ නෑ. එහෙම නොවෙන තාක්‌ අපිට මේවා වටහාගන්නත් බෑ. එහෙම නැත්නම් ඒවායෙහි ඇති බොහෝ දේවල්වලට අපි වහල් වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම පොදු මානයන්a ඔස්‌සේ සංසන්දනාත්මක අධ්‍යයනවලට ප්‍රවේශය ගන්න "එටික්‌වේදය" අපට උදව් වෙනවා.

වාග් විද්‍යාඥ "කෙනෙත් පික්‌" භාෂාවත් සංස්‌කෘතියත් ගැන අධ්‍යයනයක යෙදෙමින් එමික්‌ (Emic) සහ එටික්‌ (Etic) කියන සංකල්ප හඳුන්වලා දෙනවා. එමික්‌ කියන වචනය බිඳිලා එන්නේ Phonemic (ශබ්දාණුමය) කියන වචනයෙන්, "එටික්‌" කියන වචනය බිඳිලා එන්නේ Phonetic ශාබ්දික එහෙමත් නැත්නම් ශබ්දය පිළිබඳව වන වචනයෙන්. කිසියම් සංස්‌කෘතික හැසිරීම් හෝ විශ්වාස පිටතින් සිට පර්යාවලෝකනය කිරීම etic යන වචනයේ සරල අර්ථයයි. මෙය අද භාෂාව, සංස්‌කෘතිය ආදිය පර්යේෂණය කරන්න යොදා ගන්නා නව ක්‍රමවේදයක්‌.

නමුත් ඔබ කියනවා බර්ටෝල් බ්‍රෙෂ්ට්‌ගේ දුරස්‌ථිකරණ ස්‌වභාවයක්‌ මහසමයමේ තිබෙන බවක්‌.

ඔව්, එවැන්නක්‌ මේ නාට්‍යය තුළ තිබෙනවා. එයින් මතු කරන්නේ බ්‍රෙෂ්ට්‌ සඳහන් කරන දුරස්‌ථිකරණය (alienation) යන්නෙහි නියම අර්ථයෙනුයි. ඒ කියන්නේ එහි නියම අර්ථය "සුවිශේෂීකරණය" කියන එකයි. ජර්මන් භාෂාවේ .Verfremdungseffekt. කියන නාට්‍යවේදය ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය වන්නේ alienation - දුරස්‌ථිකරණය නමිනුයි. ඒක නිවැරැදි පරිවර්තනයක්‌ නෙවෙයි. එවිට ජර්මන් භාෂාවෙන් අර්ථගන්වන දේ සිංහල භාෂාවට එන්නේ සුලබ වූත්, පොදු වූත් දේ ප්‍රේක්‍ෂකයා හමුවේ නුහුරු, අපූර්ව බවට පත් කිරීමේ නාට්‍ය තාක්‍ෂණය ලෙසිනුයි. මේ මූලධර්මය මහ සමයමටත් අදාළයි.

ඒ අර්ථයෙන් ගත්තොත් එහි තිබෙන්නේ ආගන්තුක බවක්‌...?

ඔව්, ඒ නිසාම මම මෙය දුරස්‌ථිකරණය කියන වචනයට වඩා "ආගන්තුකකරණය" ලෙස හඳුන්වන්න කැමැතියි. බ්‍රෙෂ්ට්‌ කරන්නේ අප දන්නා දේට විශාල ආගන්තුක බවක්‌ දීමයි. මේ වචනය ගැන සංවාදයක්‌ ලෝකයේ තිබෙනවා. මම යමක්‌ දන්නව නම් මට ඒක තේරෙන්නේ නෑ. නමුත් සියුම්ව හැදෑරුවොත් එය අවබෝධ කරගන්න පුළුවන්. කිසියම් කලා කෘතියක තිබෙන පඨිතයන් ඉතා සියුම් කැබැලිවලට කඩා හඳුනාගන්නා වූ දේ තමයි වැදගත්. ඒ කියන්නේ සමස්‌තය නෙවෙයි. අපි කලා කෘතියක කුඩා කොටස්‌ තමයි රස විඳින්නේ. මේ කුඩා කොටස්‌වලට යම්කිසි ආගන්තුක බවක්‌ ලබාදීමයි කරන්නේ. "හුණුවටයේ කතාව" කවුරුත් නොදන්න කතාවක්‌ නොවෙයි. ඒත් බ්‍රෙෂ්ට්‌ ඒකට අලංකරණයක්‌ දෙනවා. ආගන්තුකකරණය මගින්.

"මහසමයම" ඔපෙරාවක්‌, ඔබ ඔය සඳහන් කරන පූජාකර්ම ආදිය ඔපෙරාවක්‌ සමඟ බද්ධ කිරීම සංකීර්ණ කටයුත්තක්‌. මේක අභියෝගයක්‌ නොවෙයිද?

ඔව් අභියෝගයක්‌. නමුත් මම විශ්වාස කරනවා අපි ඒ අභියෝගය ජයගත යුතු කාලයක්‌ ඇවිත් තිබෙන්නේ කියලා. අපි ගත්තොත් ලෝකයේ නාට්‍ය කලාව ඉතා වේගයෙන් දියුණු වේගෙන යනවා. ඒතA අපි තවමත් දිළිඳු තත්ත්වයකයි ඉන්නෙ. ඉන් පැහැදිලිවන්නේ අපි නිර්මාණකරණය අතින් කොයිතරම් පොහොසත් වුණත් අපි ගමන් කරන්නේ බොහොම පටු සීමාවක බවයි. ලෝකය පුරාම තාක්‍ෂණික වශයෙන් දියුණුවූ වේදිකා නිර්මාණයවී තිබෙනවා. මේවා සමග අපි ගනුදෙනු කරන්නේම නැති තරම්. ලෝකයේ නාට්‍ය කලාව ගත්තොත් ඔපෙරා හා බැලේ තමයි ප්‍රධානම භූමිකාව කරන්නේ. සම්භාව්‍ය කියන ලක්‍ෂණ දකින්න ලැබෙන්නේ ඒවායේ. අපිට ඒවා ඒ හැටියෙන්ම ගන්න ඕන නෑ. අපිට බැරිද මහා සම්ප්‍රදායක්‌ හොයාගෙන යන්න. "මහ සමයම" ඔපෙරාවක්‌ විදියට ගොඩනැගෙන්නේ එහෙමයි. මම පූජාකර්ම, ශාන්තිකර්ම මේ හැම එකකම භාවිත වන වෙස්‌ මුහුණ, ගොක්‌කොළ මේ ආදී දේවල් නව අර්ථයකින් හා නව මානයකින් "මහ සමයම" ඔපෙරාවේදී භාවිත කරනවා. මෙහෙමයි මම මහා සම්ප්‍රදාය හොයාගෙන යන්නේ.

ඔබ හොයා ගෙන යන මහා සම්ප්‍රදාය එදිරිවීර සරත්චන්ද්‍රයන් ශෛලීගත නාට්‍යයෙන් හඳුන්වා දුන් මහා සම්ප්‍රදායට වෙනස්‌ වෙන්නේ කොහොමද?

එදිරිවීර සරත්චන්ද්‍රයන් ඒ සම්ප්‍රදාය ගෙනාවා. ඒත් ඔහුට ඒ සඳහා වේදිකාවක්‌ තිබුණේ නෑ. ගී්‍රසිය ගත්තොත් ආරම්භයේ සිටම රංග භූමිය අතිශය විශාලයි. ඒවා තුළ තමයි මහා නිර්මාණ බිහිවෙන්නේ. මම සොයාගෙන ගියේ සහ මට තිබුණු අභියෝගය තමයි මේ මහා සම්ප්‍රදාය හොයාගෙන යන එක සහ නූතන වේදිකාව ජයගන්නේ කොහොමද කියන එක.

ඔබ එදිරිවීර සරත්චන්ද්‍රයන්ට ස්‌පර්ශ කළ නොහැකි තැනක්‌ සොයාගෙන යන්නේ නූතන තාක්‍ෂණය හා සම්ප්‍රදාය ගලපාගන්නට උත්සාහ දරණ අතරවාරයේමයි. මේ අභියෝගය ජයගන්නේ කොහොමද?

මම මේ අද්දැකීම ගන්නේත් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගෙන්මයි. ලයනල් වෙන්ඩ්ට්‌ රඟහල එක්‌තරා සමාජ පැලැන්තියක්‌ හා ඉංගී්‍රසි පංතිය නියෝජනය කළ වකවානුවක ඔහු ඒ වේදිකාවට ගේන්නේ ගැමි නාඩගමක්‌ වගේම අනිත් පැත්තෙන් ඔපෙරාවක්‌. ඔහු අත්හදා බලා තිබෙනවා අපේ සම්ප්‍රදාය ලෝකයට ගෙන යන ආකාරය. මූලිකවම අපේ වේදිකා නාට්‍ය කලාව යාතුකර්ම ආදිය පිළිගන්නේ නෑ. බලි තොවිල්වල සංවාද වේදිකාවට ආවේ නෑ. ඒ ආවේ නැත්තේ ඇයි? ඒවායේ කාව්‍යමය ගුණය නෑ කියලා අපිට බටහිරින් උගන්වා තිබුණා. නමුත් අපේ බලියක, සොකරියක, නාඩගමක තිබෙන නාට්‍යමය ගුණය විශ්වීයයි. ඒ නිසයි මා කල්පනා කළේ මෙය නූතන වේදිකාව සමග ගලපාගන්න ඕන කියලා. මා උත්සාහ කළේ අපේම මානයකින් මේක වේදිකාවට ගෙන එන්නයි. ඒ නිසාම මට සරත්චන්ද්‍රයන්ගේ අතීතයත් නූතන වේදිකාවත් අතර ගනුදෙනුව සක්‍රීය එකක්‌ කරන්නයි ඕන වුණේ. ඒ නිසා මම හිතන්නේ සරත්චන්ද්‍රයන්ට ස්‌පර්ශ කරන්නට නොහැකි වූ තැනකට ගියා කියනවට වඩා ඔහු ඉදිරියට ගෙන යන්න හිටිය තැනකට අපි යා යුතුයි කියන එකයි ඉස්‌මතු විය යුතු කියලා.

අපේ රටේ ඉතාම සුළුතරයක්‌ පමණයි ඔපෙරාවක්‌ කැන්ටාටාවක්‌, මුද්‍ර නාට්‍යයක්‌ නැරැඹීමට යොමුව සිටින්නේ. මහසමයම අපේ ප්‍රේක්‍ෂකාගාරය මඟහැර යන බවක්‌ හිතෙන්නේ නැද්ද?

රටකට සම්භාව්‍ය ගුණය තිබෙන කලාවන් පෝෂණය කිරීම කියන එක ඉතාම අවශ්‍ය දෙයක්‌. බටහිර රටක ඔපෙරාවක්‌ බලන්න ඕනෑම සමාජ ස්‌ථරයකට මැදිහත් වෙන්නට පුළුවන්. අපේ රටේ ඇති නැති පරතරය වැඩියි. බටහිර රටවල ඕනෑම කෙනකුට රසවිඳීමේ ඕනෑකම තිබෙනවා. අපි රසවිඳීමේ වුවමනාව මිනිසුන් තුළ ඇති කළ යුතුයි. එය පංති භේදයෙන් මැනිය යුත්තක්‌ නොවේ. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය ඔපෙරාවක්‌ හැටියට පිළිනොගන්තේ ඇයි කියන එකයි මගේ තර්කය. ඒවා නාට්‍යයන් නොවෙයි. ලෝකයේ තිබෙන ඔපෙරා සම්ප්‍රදායෙන් තමයි ගෙනාවේ. සිංහයා, සිංහබා කියන්නේ ඔපෙරාවේ හඬ. සිංහයා නටන්නේ අපේ නැටුම් සම්ප්‍රදායක්‌ නෙවෙයි. එයා නටන්නේ ජපානයේ නෝ කබුකි. නමුත් ඒවා අපේ නාඩගම් සාම්ප්‍රදාය සමග ගලපලයි ගෙනාවේ. සරත්චන්ද්‍රයන් ඒක කිව්වේ නෑ. ලංකාවේ මහා සම්ප්‍රදායේ ඔපෙරාවක්‌ ඇතිවුණු මුල්ම අවස්‌ථාව තමයි මනමේ, සිංහබාහු, කියන්නේ. ඔහු එය පේරාදෙණියේ "වලට" සීමා නොකර ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලට ගේනවා. එතැනදී තමයි මේ සංවාදය මතුවන්නේ. සමහර අය තර්ක කරනවා අපේකම මේ නිසා නැතිවෙනවා කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ අපේ දේවල්වලට වැඩි ආරක්‍ෂාවක්‌ ලැබීමයි.

ගී්‍රක නාට්‍ය මූලධර්මයන් අභිබවන්නට හැකි නාට්‍යමය දෘෂ්ටිවාදයක්‌ අපේ පූජාකර්මවල තිබෙනවා. මහසමයම ඔපෙරාව මෙය යථාර්ථයක්‌ බවට පත් කරන්න කොයිතරම් දුරට හේතු වේවිද?

අපේම කියන දේවල් අපේ කියන පදනමට වඩා විශ්වීය පදනමින් නාට්‍යවල භාවිත කරන්න ඕන. අපට ජාත්‍යන්තරය සමග මීටත් වඩා පුළුල් විදිහට ගනුදෙනු කිරීමේ හැකියාව තිබිය යුතුයි. අද ශ්‍රී ලාංකීය වේදිකාවටත් අවශ්‍ය වන්නේ එවැන්නක්‌. අපේ නාට්‍ය කලාව විවෘත ආර්ථිකයට බිහිවීමේ සිට අද දක්‌වාම රැඳෙන්නේ චූල සම්ප්‍රදායකයි. නිර්මාණකරුවන්ට මහා නිර්මාණයකට එන්න තිබෙන බාධා වැඩියි. දේශීය වේදිකාවට නව මං පෙත් හොයාගෙන යන්න මෙය හැරවුම් ලක්‍ෂයක්‌ වේවි කියන විශ්වාසය මා තුළ තිබෙනවා. අප මේ හරහා සංවාදයක්‌ ගොඩනඟා ගත යුතුයි. වඩා හොඳ නිර්මාණයක්‌ කිරීමේ අභිලාශයයි මා සතුව තිබුණේ. විශාල පිරිවැයක්‌ ගියා. රාජ්‍යය මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයන් ගණනාවක්‌ මීට මැදිහත් වුණා. මෙහි පිටපත සමග අවුරුද්දක්‌ විතර පර්යේෂණ කරන්න මට සිද්ධ වුණා.

මෙය නූතන වේදිකාවට ගැලපෙන නාට්‍යයක්‌. නෙලුම් පොකුණ වැනි දැවැන්ත වේදිකාවක්‌ සමඟ කරන ගනුදෙනුව අපේ දුප්පත් වේදිකාව සමඟ කරන්න බෑ. අපේ ප්‍රේක්‍ෂකයන්ට මේක අසාධාරණයක්‌ නෙවෙයිද?

ජාත්‍යන්තරයේ තිබෙනවා, කොතරම් දුර වුණත් රඟහලේ තිබෙන පහසුකම් බලා නාට්‍ය නරඹන්නට එන පුරුද්දක්‌. වසර පුරාම ඒ රඟහල්වල එකම නාට්‍යයක්‌ රඟ දැක්‌වෙනවා. එවිට ඒ සඳහා සූදානම් වුණු රසික කණ්‌ඩායම් ගොඩනැගෙනවා. රසවින්දනය වෙනුවෙන් ඒක හොඳ ශික්‍ෂණයක්‌. රසවිඳීම වෙනුවෙන් ඒක වැරැදි දෙයක්‌ නෙවෙයි. අපිට තැනින් තැනට යන්න ලංකාවේ දියුණු වේදිකා නෑ. නමුත් මම කියන්නේ තැනින් තැනට යන නාට්‍ය විතරක්‌ම තිබිලා මදි. නෙලුම් පොකුණ වැදගත් වෙන්නේ මේ අර්ථයෙන් මිස පටු තැනක ඉඳලා බලනකොට නෙවෙයි. අපි මේ පවතින තත්ත්වය අතික්‍රමණය කරන්න ඕන. නෙලුම් පොකුණේ තිබෙන සංගීත ප්‍රසංග නරඹන්නට ප්‍රේක්‍ෂකයන් එන්නේ බොහෝ දුර ඉඳලා විශාල මුදලක්‌ ගෙවා ගෙන. අපිට වේදිකා නාට්‍ය සඳහා ඒ වගේ තත්ත්වයක්‌ ගොඩනගන්න බැරි ඇයි? මම හිතන්නේ මගෙන් පස්‌සේ එහෙම ප්‍රවණතාවක්‌ ගොඩනැගෙයි.


Divayina
READ MORE - මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි

සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති

සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති
13624_fgtch.jpg "මහ සමයම" නාට්‍යයේ තේමාව මොකක්ද?
"මහ සමයම" නාට්‍ය හරහා මම සමාජගත කරන්නේ මහසෝනාගේ උත්පත්ති කතාව. ඊශ්වර ළඟ බැලමෙහෙවර කම් කරපු අසුර නමැති පුද්ගලයා ඊශ්වර දැහැනෙන් මිය යනවා. ඊශ්වරගේ අග්නි ජාලාවකින් තමයි ඔහු මිය යන්නේ. ඒ ඔහු දැවී ගිය අළුවලින් මහසොහොන් සමයම උත්පත්තිය ලබනවා. මගේ "මහ සමයම" නාට්‍ය තුළ ගැබ්වෙලා තියෙන්නේ එම ප්‍රස්තුතයයි.


"මහ සමයම" තුළ වත්මන් දේශපාලන චරිත ඉන්නවාද?
විවිධ ආකාරයට දකින්න පුළුවන් කෘතියක් මේක. සමාජමය දෘෂ්ටියකින් වගේම දේශපාලන දෘෂ්ටියකිනුත් මෙම නාට්‍ය දකින්න පුළුවන්. මතුපිටින් නොපෙනෙන ගැඹුරු ප්‍රවේශයක් මෙහි අන්තර්ගතයි.


දේශපාලනමය දෘෂ්ටියෙන් බැලුවොත් "මහ සමයම" කවුද?
දේශපාලනමය පැත්තටම මෙය සීමා කරන්නට බැහැ. අපි හැමෝ තුළම මහසෝනා කියන චරිතය ඉන්නවා. විටින් විට එම චරිතයන් මතු වෙන අවස්ථා තියෙනවා. දේශපාලන නෙතින් බැලුවත් විවිධ දේශපාලනඥයන් තුළින් මෙම චරිතය ඉස්මතු වන අවස්ථා තියෙනවා.


අදෘශ්‍යමාන පැතිකඩක් නාට්‍යකරණයට යොදාගන්න හිතුවෙ ඇයි?
අද සමාජෙ වෙසෙන බොහෝ දෙනෙක් අපේ ගැමි කලාව සහ යාතුකර්මවල අන්තර්ගත දේවල් හාස්‍යයට ලක්කරමින් වලංගු නැති ගණේට දාලා තිබෙනවා. බටහිර ක්‍රමයට නතුවෙලා අපේම දේ ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වෙලා. අපේ වෙස් මුහුණු අපි අගය නොකොට සුද්දන්ට විකුණනවා. නමුත් ඒ වෙස්මූණු තුළ ගැබ්වෙලා තියෙන මනෝවිද්‍යාත්මක සහ කලාත්මක ගුණයන් බොහෝ දෙනෙක් දකින්නේ නෑ. නිර්මාණකරුවන් හැටියට අපිට වගකීමක් තිබෙනවා වියැකී යන ඒ ගැමි කලාවට නැවතත් පුනර්ජීවනයක් දෙන්න. මගේ මේ වෑයමත් ඒකයි.


වර්තමානය වන විට විවිධාකාරයෙන් යුතු නාට්‍ය කරළියට එනවා. ඒවා තුළ සහ මෙ නාට්‍යය අතර තිබෙන වෙනස මොකක්ද?

වේදිකා නාට්‍ය ගොඩක් එනවා. නමුත් ප්‍රබල කතිකාවතක් ගොඩනඟන්න තරම් නිර්මාණ බිහිවෙන්නෙ නෑ. සීමිත පිරිසක් ඉන්නවා හොඳ නිර්මාණකරණයට යොමු වුණ මම ජනසන්නිවේදන විෂය උගන්වන ගුරුවරයකු හැටියට අපේ සම්ප්‍රදායික දේවල ඇති ගුණ අගුණ විශ්ලේෂණය කරනවා. එසේ විශ්ලේෂණය කරන කොට තමයි මට මෙම ප්‍රස්තුතය හමු වුණේ. අපි නාට්‍යකරණයේ නියැළෙන්න ඕනේ ජාත්‍යන්තර නාට්‍ය කලාව සහ ශ්‍රී ලාංකේය මුල්නාට්‍ය කලාව හරි හැටි හැඳිනගෙනයි. සමාජය තුළ කතිකාවතක් ගොඩනැඟෙන තරමෙ නාට්‍යයක් කරනවා නම් එහි සාර්ථකත්වයක් තිබෙනවා. මම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය කලාව දුටුවෙක් හැටියට මෙවන් වෙනසක් කළ යුතුයි කියලා හිතුවා.


"මහ සමයම" නාට්‍යයේ නළුවරණය කොහොමද කළේ?
"මහ සමයම" නාට්‍ය තුළ පරම්පරා 9ක් නළු නිළියො රඟපානවා. ප්‍රවීණයන්, නවකයන් දෙපිරිසම මේ තුළ සිටිනවා.
ඊශ්වර චරිතය චන්න විජේවර්ධනත් උමාගේ චරිතය ඉන්දිකා උපමාලිත් රඟ දක්වනවා. ජැක්සන් ඇන්තනී, ශි්‍රයන්ත මෙන්ඩිස්. නිස්සංක දිද්දෙණිය, සඳුන් විජේසිරි, චතුරිකා පීරිස්, මාධනී මල්වත්ත ආදී ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් "මහ සමයම" නාට්‍ය තුළ රංගනයෙහි නියැළෙනවා.


"මහ සමයම" නාටය සඳහා නෙලුම් පොකුණ රඟහලම තෝරා ගත්තේ ඇයි?
මෑත කාලයක් වෙනකල්ම ලංකාවේ වේදිකාව පිළිබඳ ගැටලු තිබුණා. නමුත් නෙලුම් පොකුණ රඟහල තුළ ඇති නූතන තාක්ෂණය උපයෝගි කොට ගනිමින් දැවැන්ත නිර්මාණ කරන්න පුළුවන්. ඔපෙරාව වගේ ලොව සම්භාව්‍යය කෘති මෙරට තුළත් නිර්මාණය කරන්න ඕනේ. නෙලුම් පොකුණ රඟහල ඒ සෑම නිර්මාණයක් සඳහාම විශාල තෝතැන්නක්.


මෙම නාට්‍ය තුළින් ඔබ අවසානයේ බලපොරොත්තු වෙන්නේ මොකක්ද?
මෙය සමාජය තුළ සාකච්ඡාවට බඳුන්වන කෘතියක් වුණොත් එය නූතන නාට්‍ය ක්‍ෂේත්‍රයේ වර්ධනයට ඵලදායී වේවි. මම බලාපොරොත්තු වෙන්නේ එයයි.

Mawbima
READ MORE - සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති

‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්


‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්

මහාචාර්ය ආරියරත්න ඇතුගල
මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේත්, කලා ක්ෂේත්‍රයේත් විවිධ භූමිකා රාශියකින් අපට හමුවන ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ප්‍රවීණයෙක්.
විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු, ටෙලිනාට්‍ය පිටපත් රචකයකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම මෙරට ජාතික රූපවාහිනී සභාපතිවරයා ලෙස කටයුතු කර, වත්මන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසින් කටයුතු කරයි.
ශ්‍රී ලාංකේය යාතුකර්ම වල එන මහසෝන් සමයම ඇසුරෙන් ඔහු ‘මහ සමයම’ නම් අති දැවැන්ත නිර්මාණය හරහා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසින් දොරට වඩින්නට සූදානමින් සිටී. ලබන ..... වැනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී කලඑළි දක්වන ‘මහ සමයම’ පිළිබඳ එතුමන් සමඟ කළ සංවාදයයි මේ.
මෙය ඔබගේ පළමු වේදිකා නාට්‍ය ප්‍රයත්නය නේද?
සැබැවින්ම. අපේ බොහෝ ප්‍රවීණ කලාකරුවන්, නිර්මාණ කරුවන් වේදිකාවෙන් ආරම්භ කරල අනෙකුත් අංශවලට යොමු වීමක් තමයි කරල තියෙන්නෙ. මගෙ පැත්තෙන් ගත්තම මම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනවා.
නමුත් මගේ කලාවේ ආරම්භය ගත්තම පාසල් වේදිකාව මගෙත් ආරම්භය කියන්න පුළුවන්. ඒ වගේම විශ්ව විද්‍යාලයේ වේදිකා නාට්‍ය සම්බන්ධ යම් යම් දේවල්, ලංකාවේ ප්‍රවීණයන්ගේ වැඩ කටයුතුවලට, සාකච්ඡාවලට මම සම්බන්ධ වෙලා තියෙනවා.
වෙනස තියෙන්නේ මම නාට්‍යයක් නොකරපු එකයි.
ඇයි මෙවැනි දෙයකින්ම ආරම්භ කරන්නට හිතුවේ.
ශක්තිමත්ම කලා මාධ්‍යය වන්නේ වේදිකාව. මේ මොහොතේ මේ රටේ වේදිකාවේ නව ප්‍රබෝධයක් තිබිය යුතුයි කියන අදහසින් මම ඉන්නෙ.
ඒ වගේම මගේ ප්‍රස්තුතය වඩාත් වේදිකාවට ගැළපෙනවා. ඒ කියන්නෙ අභිචාර, යාතු කර්ම වේදිකාවට සම්බන්ධ කාරණාවක් නිසා ප්‍රස්තුතය වේදිකාවට ගැළපීම, දියුණු වේදිකාවක් අපට හිමිවීම යන කාරණා මේ තුළ තිබෙනවා. අනෙත් කරුණ අපේ පැරැණි යාතුකර්මවල විශ්වීය ලක්ෂණ තිබෙනවා. මේවා අවතක්සේරු කරන එක ප්‍රතික්ෂේප කිරීමක් තමයි මම කරන්නෙ.
මෙය වර්තමාන කාලයට ගැළපෙන්නේ කොහොම ද?
මහසෝන් සමයමට පාවිච්චි කරන පසුතල, නිර්මාණ, රංග විලාසය වෙස් මුහුණු ආදිය ඉතාම නවීනයි. පශ්චාත් නූතන ගැමි කලාවේ කිසියම් අවදියක තමයි මහසෝනා වැනි චරිත, වෙස් මුහුණු වැනි නිෂ්පාදන ඇතිවන්නෙ.
ඒවා නවීනයි කියන එකේ තේරුම තමයි මහසෝනා යකෙක් වුණත් තියෙන්නෙ වලස් ඔළුවක්. ඒකත් තියෙන්නෙ කෙළින් නෙමෙයි කැරකිලා. අද අප අතරත් තියෙන්නෙ ඔහොමම තමයි. අනෙක් පැත්තට යන අසම්මත දේවල්. මහසෝනා ඉන්නෙ ඌරෙක්ගෙ පිටේ නැගල අලියෙක් අතේ තියාගෙන. මෙය කොයි තරම් නවීන ද? අපි මේවා ගැමි දේවල් කියල ප්‍රතික්ෂේප කිරීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.
මෙය නිර්මාණය වන්නේ නෙළුම් පොකුණ වේදිකාවට ගැළපෙන්නට ද?
මේ ලෝකයේ මහා සම්ප්‍රදාය හැදිලා තියෙන්නෙ දියුණු වේදිකා අංගත් එක්ක. රංග කාර්යයේ දී වේදිකාව වෙන් කරන්න බෑ. ඒ කියන්නෙ අන්තර්ගතයෙන් ආකෘතිය වෙන් කරන්න බෑ. මේ සමස්තයම එකක්. අනිත් කාරණය තමයි අපි පුරුදු වෙලා තිබෙන නාට්‍යවල ප්‍රමිතීන් නිවැරැදියි කියන්නත් බැහැ. ‘මහ සමයම’ දැවැන්ත නිෂ්පාදනයක් වන නිසාත්, බැලේ, ඔපෙරා වල අභාසය සමඟ ලාංකේය රංග සම්ප්‍රදායන්ගේ අභාසය ලබන නිසා නෙළුම් පොකුණ වේදිකාව වැදගත් වනවා.
ලොකු නිර්මාණාත්මක කැන්වස් එකක් හදන්න ඊට ප්‍රමාණවත් වේදිකාවක් තිබිය යුතුයි.
මෙවැනි නිර්මාණයකින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමන අරමුණක් ද?
අරමුණු කීපයක්ම තිබෙනවා. අපේ ජන සංස්කෘතියේ ඇති මෙවැනි දුර්ලභ දෑ මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම ඉන් එකක්. මේ නිර්මාණය මට දිගින් දිගටම කරගෙන යන්න බැරි වේවි. ඒත් මම ගත්ත මේ පියවර ඊට හොඳ ආරම්භයක් වේවි. උදාහරණයකට ගත්තොත් සරච්චන්ද්‍රයන්ගෙ ‘මනමෙ’ නාට්‍යයේ පවා මුල් කෘතිය නෙමෙයි අද දකින්න තියෙන්නෙ. එය කාලීනව වෙනස් වෙලා. ‘මහ සමයම’ නිර්මාණයත් එහෙමයි. නෙළුම් පොකුණ වගේ තැනක සංවිධාන ව්‍යුහයක් හැදුණොත් පවත්වාගෙන යන්න පුළුවන් වේවි. මේ කාර්යය මට පෞද්ගලිකවම නැතිනම් තනිවම කරන්න බෑ. ඊට විවිධ අයගේ සහාය අවශ්‍යයි. වෙනත් නිර්මාණ පාර්ශවයන්ගේ මැදහත් වීම අවශ්‍යයි.
‘මහ සමයම’ නිර්මාණයේ ඇති දැවැන්ත බව ගැන සඳහන් කළොත්.
එදා අපේ ගම් ප්‍රදේශවල එළිවෙනතුරු මහසෝන් සමයම නැටුවේ ගමම එකතු වෙලා. එය හරි විශාල පිරිසක් දායකත්වය දුන්නු රැයක් පහන් වෙන තුරා කළ දෙයක්. දැන් සමාජයේ මේ දැවැන්ත බව නෑ.
මම කළේ අපේ සංස්කෘතියේ තිබුණු මේ දේවල් උකහා ගෙන ජාත්‍යන්තර ප්‍රමිතිය හඳුනාගෙන, පවතින නාට්‍ය කලාව හඳුනාගෙන ඉදිරි ගමනක් පිළිබඳව හිතීමයි. කෙනෙක් මෙය වැරැදි විදිහට හිතන්නත් පුළුවන්. ඒත් මම කරල තියෙන්නෙ කලාව සහ පේ‍්‍රක්ෂාගාරය බේරා ගන්න උත්සාහයක්.
මෙහි ප්‍රවීණ නළු නිළියන් විශාල ගණනක් ඉන්නවා. පසුතල අති විශාලයි. රංගන පිරිස 150 ක් පමණ වනවා. මාස 6 ක පමණ පුහුණු කාලයක් සහ විශාල වියදමක් දරලා කරන නිසා නිර්මාණය දැවැන්තයි.
ඒ වගේම මෙය විශාල අභියෝගයක් ද වනවා. රටකට මෙවැනි නිර්මාණ කාර්යයන් තිබිය යුතුයි. මොකද ලෝකය ගමන් කරන්නේ වේදිකාවේ දැවැන්ත නිෂ්පාදන සමඟ නිසා.
මීට දායක වන නිර්මාණ ශිල්පීන් ගැනත් සඳහන් කළොත්.
ඇත්තෙන්ම මීට දායක වෙලා ඉන්නෙ නිර්මාණ පිපාසාවෙන් ඉන්න පිරිසක්. සෑම දෙනෙක්ම පාහේ ඉතාමත් කැමැත්තෙන් මීට දායක වෙනවා අපේ දේවල් තාක්ෂණය සමඟ මුසු කරල ලෝකයේ ඉදිරියට යා යුතුයි කියන මතය සමඟ.
ජැක්සන් ඇන්තනී, ශි‍්‍රයන්ත මෙන්ඩිස් නිශ්ශංක දිද්දෙණිය වැන්නන් නිර්මාණ පිපාසාවෙන් ඉන්න ප්‍රවීණයන්. ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් තුළින් මීට මැදිහත් වෙනවා. චන්න විජේවර්ධන සහ ඔහුගේ නර්තන කණ්ඩායම නර්තන අංශයෙන් දායකත්වය දෙනවා. රවිබන්දු විද්‍යාපති කියන්නෙ පරම්පරා ගත දැනුම තිබෙන ශිල්පියෙක්. ඔහුත් මීට දායකත්වය දෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සංස්කෘතික අංශ, සංස්කෘතික අමාත්‍යාංශය, තරුණ සේවා සභාව වැනි ආයතනත් මීට සහාය දෙනවා.
මේ සෑම කලාකරුවකුගේම අදහස තමයි ඔවුන්ට අතපසු වුණු නිර්මාණ කාර්යයක් මා කරනවා කියන එක. එය මට විශාල ධෛර්යයක්.
එහිත් රංගවේදය ගැනත් සඳහන් කරමු.
එහි තේරුම අපි ප්‍රතික්ෂේප කරන දේට වටිනාකමක් දෙනවා කියන එකයි. මෙරට දේ කෙරෙහි විශ්වීය මානයකින් බැලීම ලෙසත් හඳුන්වන්න පුළුවන්. අපේ රටේ තිබෙන බොහෝ වටිනා, බොහෝ දේ මේ වන විට හුදෙකලා කරල විනාශ කරල තිබෙනවා. තවමත් විනාශ වෙමින් පවතිනවා. උඩරට, සබරගමු, පහතරට නර්තන අංග, චිත්‍ර ඇඳීම, ඇඹීම මේ හැම කලාවක්ම පාහේ එලෙස විනාශ වෙමින් යනවා.
මම මෙයින් කරන්නේ මේවා විශ්වීය ගුණයක් එකතු කරල විශ්වීය තලයකට ගෙන ඒම. මේ නිර්මාණ ප්‍රතිභාවන්ට ලොල් වන්නේ නැතුව, තදින් බැඳිල අපේ දෙයක් පමණයි කියල බැදෙන්නෙ නැතුව විශ්වීය ගනුදෙනුවක් කිරීම. විශේෂයෙන් නාට්‍ය ව්‍යවහාරයේ තිබෙන අන්තර් සංස්කෘතික වශයෙන් වැදගත් සංකල්පයක්.
ඔබ මුලින්ම නිර්මාණයක් කරන්නෙ පුංචි තිරයට. ඒත් මේ වන විට ඔබ ඒ පැත්තෙන් නිහඬයි.
මේ වන විට ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රය දූෂිත වෙලා. එය නිශ්චල හොඳ නිර්මාණ නොවන කර්මාන්තයක් බවට පත් වෙලා. මේවා සමඟ පොර බදන්න මට වුවමනාවක් නෑ. මම දන්නා තරමින් මෙය ප්‍රධාන පෙළේ නිර්මාණ බිහිකළ සියලුම දෙනාට පාහේ ඇතිවෙලා තියෙන තත්ත්වයක්.
එහෙම කලකිරෙන ඔබ නාට්‍ය ක්ෂේත්‍රයේ අලුත් ගමනක් අරඹනවා.
මම රාජකාරිමය වශයෙන් මාධ්‍යයට සම්බන්ධ නිලධාරියෙක්. ඒ තුළ මට මෙය අදාළ නොවන්න පුළුවන්. ඒත් පුරවැසියෙක් ලෙස විශාල මානසික ව්‍යාකූලත්වයක් මට තිබෙනවා. නූතන මාධ්‍ය කලාවේත්, සමස්ත කලාවේත් ගමන්මඟ පිළිබඳව. ඒ සමඟම මේ සමාජය ලොකු සංස්කෘතික සහනයක් ලොකු පරිවර්තනයක් ඉල්ලා සිටින බව මට පෙනුණා. ඒ නිසා බලා ඉන්නෙ නැතුව කාටවත් ඇඟිල්ල දිගු කරන්නෙ නැතුව මමම පටන් ගන්න ඕනෙ කියල මම හිතුවා. එහි ප්‍රතිඵලය තමයි මේ.
READ MORE - ‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්

මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ හොරකම් කළැයි ඉරාජ්ට නඩු

Sunday, February 3, 2013



http://www.gossiplankanews.com
නැසීගිය හර්බට් එම් සෙනවිරත්න විසින් රචනා කරන ලද මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ ගීතයේ පද වැල අනවසරයෙන් උපුටාගෙන වාණිජ භාවිතයේ යෙදව්වේයැයි ජනප්‍රිය සංගීත නිර්මාණකරු ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ අද නඩුවක් පැවරුණා.
එම ගීතයේ රචක හර්බට් එම් සෙනවිරත්න මහතා 1950 වසරේදී
මෙම ගීතය අයියයි මල්ලියි චිත්‍රපටය වෙනුවෙන් රචනා කරන ලද අතර දැන් එම ගීතයේ හිමිකාරත්වය දරන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න එක්ව ඉරාජ්ට එරෙහිව මේ නඩුව පවරා තිඛෙනවා.
පද රචකයාගේ අවසරයකින් තොරව පද මාලාව වෙනස් කර ඇති බවත් ඒ සම්බන්ධව පූර්ව අනුමැතියක් ලබා නොතිබීමත් නිසා ඉරාජ් වීරරත්නට ලබන පෙබරවාරි  19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස එම අතුරු තහනම් නියෝග නොතීසියක් වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා පනවනු ලැබුවා.

ඉරාජ්ගේ නවීකරණය වූ මට අලෝකේ ගෙනදේවි ගීතය පසුගිය කාලයේ ජනප්‍රියත්වය පත්වූවකි. එහි වීඩියෝව පහතින්






READ MORE - මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ හොරකම් කළැයි ඉරාජ්ට නඩු

පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්‌වා


මඤ්ඤං කොළම

පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්‌වා

හවස හය වෙන කොට ගෙදර එනවා කියල හිතාගෙන ආවත් පාරෙ වාහන තදබදයත් එක්‌ක පිච්චර පිස්‌සට හිතපු වෙලාවට ගෙදර ඒගන්න බැරිවුණා. හන්දියෙන් බහිනකොටත් හත පහුවෙලා.......· පිච්චර් පිස්‌සා හිතේ දුකෙන් පාර දිගේ ඇවිදගෙන ආවා. ''සුජාත දියණි'' කියන්නෙ මේ දවස්‌වල ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය· ලංකාවෙ හුඟදෙනෙක්‌ දැන් හවස හයයි තිහ වෙන කොට ගෙදර යනවා කියලා අතුල රන්සිරිලාල් මහත්තයා ළඟදි පත්තරේක කියලා තිබුණා. එක අතකට එහෙම වෙන එක හොඳයි· මොකද බඩවැල් නාට්‌ටි බල බල නිකං කාලෙ කන පෙA්‍රක්‌ෂකයන්ට රසවිඳින්න පුළුවන් නාට්‌ටියක්‌ තියෙන එක.

''සුජාත දියණි'' කියන්නෙ අපේ රටේ නිර්මාණය වෙච්ච නාට්‌ටියක්‌ නොවුණත් මේ වෙන කොට විශාල ප්‍රේක්‌ෂක පිරිසක්‌ ඒක වටා රොක්‌වෙලා ඉන්නවා. පිච්චර් පිස්‌සා පුංචිකාලෙ ඔෂින් බලන්න කොච්චර ආසද කියල එකපාරටම හිතුනා. ඒ වගේ තමයි මේකත්· ඒ දවස්‌වල ඔෂින් කී සැරයක්‌ නං රූපපෙට්‌ටියෙ පෙන්නුවද? ඒත් අපේ කිසිම කෙනෙකුට ඒක බලලා ඇති වුණේ නෑ. සුජාත දියණිත් එහෙම එකක්‌ බව දැනටමත් ඔප්පු කරල ඉවරයි. මේ නාට්‌ටිවලට මේ තරම් අපේ කට්‌ටිය කැමැති ඇයි කියලා පිච්චර පිස්‌සා කල්පනා කරා· මිනිස්‌සුන්ගෙ අව්‍යාජ බව සිරිත් විරිත්, ගති පැවතුම්, වගේ දේවල් නිසියාකාරව තේරුං අරගෙන මිනිස්‌සුන්ගෙ ජීවිත විනිවිද දකින නිසා ඒවට අපේ කට්‌ටිය කැමැති වෙනවා ඇති. හැබැයි එක කාලයක්‌ තිබුණා අපේ කට්‌ටිය අර ඉන්දියානු බඩවැල් නාට්‌ටි ටික මෙලෝ සිහියක්‌ නැතුව බලපු· හැබැයි ඒ කට්‌ටියයි මේ කට්‌ටියයි වෙනස්‌ කියල නං පිච්චර පිස්‌සා දන්නවා.
සුජාත දියණි ටෙලි නාට්‌ටියෙන් පෙන්නන්නේ කොරියානු සමාජයේ ආහාර සංස්‌කෘතියයි. වෛද්‍ය වෘත්තියයි. ඒක හරිම නිර්මාණශීලී විදියට ඉදිරිපත් කරන්න ඒ අධ්‍යක්‍ෂතුමා උත්සාහ අරගෙන තියෙනවා. අපේ රටේ හඬකැවීම් ශිල්පීන්ගෙ දක්‍ෂකම නිසා ඒ ටෙලිනාට්‌ටිය අපිට හුඟාක්‌ ළංවෙලා තියෙනවා කියලා තමයි පිච්චර් පිස්‌සට හිතුනෙ. සුජාත දියණිය වගේ නාට්‌ටියක්‌ ගැන එහෙම ඉහළින් කතා කරන්න ලැබෙන එක හොඳ වුණත් අපේ රටේ නිර්මාණකරුවන්ගේ හුඟාක්‌ නිර්මාණ ගැන එහෙම කතා කරන්න බැරි එක ගැන පිච්චර් පිස්‌සට දුකයි. හැබැයි මේ දවස්‌වල රූප පෙට්‌ටියෙ පෙන්න අප්පච්චි බොරළුපාර වගේ නිර්මාණ හුඟාක්‌ ඉහළ මට්‌ටමක තියෙනව කියලා පිච්චර් පිස්‌සා වගකීමෙන් කියනවා. ටිකක්‌ හිතලා බැලුවොත් ඒ නිර්මාණවලිනුත් මිනිසුන්ගෙ ජීවිත විනිවිද බලන එක නේද කරලා තියෙන්නේ කියලා පේනවා. හැබැයි ඉතිං හන්දියක්‌ හන්දියක්‌ ගානෙ පත සයිස්‌ කටු මැටි ගහලා ප්‍රචාරය කරන ටෙලි බඩවැල් වලින් නං මිනිස්‌සුන්ගෙ ජීවිත විනිවිද දකින්නෙ නැහැ කියලා ඉතිං පිච්චර් පිස්‌සා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.


මීට අවුරුදු ගාණකට ඉස්‌සෙල්ලා පෙන්නපු ''පළිඟු මැණිකේ'' ටෙලිනාට්‌ටිය පිච්චර් පිස්‌සට එක පාරටම මතක්‌ වුණා. ඒ නාට්‌ටියෙන් අපේ කලා ශිල්ප ජන ඇදහිලි ශාන්තිකර්ම වෙදකම් ගැන මොනතරම් අපූරුවට විග්‍රහ කෙරුවද? ඇයි අපේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ වෙදහාමිනේ ටෙලිනාට්‌ටියෙන් දේශීය වෙදකම ගැන ''අඬුබස්‌නාමානය ටෙලිනාට්‌ටියෙන් අපේ ඉපැරණි සටන් කලාව ගැන මොනතරං විග්‍රහ කෙරුවද? ඒ හැම නාට්‌ටියක්‌ම ප්‍රේක්‍ෂක ජනතාව තදින්ම වැළඳ ගත්තෙ අපේ ජීවන සුවඳ ඒවායෙන් දැනුන හින්දා. දඬුබස්‌නාමානය ටෙලිනාට්‍ය විකාශය වුණාට පස්‌සේ කීදෙනෙක්‌ ''අංගම්පොර'' උගන්නන පන්ති දැම්මද? අදටත් කීදෙනෙක්‌ ඒ සටන් ක්‍රමය උගන්නලා ජීවත් වෙනවද? ඒක තමයි කලා නිර්මාණයකින් සිදුවිය යුතු සේවය. හැබැයි මත්කුඩු ගැන කරපු ටෙලිනාට්‌ටියකට පස්‌සෙ කට්‌ටිය මත්කුඩු උරන්න ඕන කියලා නොවෙයි පිච්චර පිස්‌සා කියන්නෙ සමාජයට දැනෙන නිර්මාණ නිර්මාණකරුවෝ බිහි කළ යුතුයි කියලා.... මුලින් පිච්චර පිස්‌සා කිව්ව ''සුජාත දියණි'' වගේ නාට්‌ටි බලලා ඒවායෙන් යම් උද්දීපනයක්‌ අරගෙන අපි නිර්මාණ බිහිකළ යුතුයි කියලයි පිච්චර පිස්‌සගෙ කල්පනාව. ඒවගේම ගස්‌ නැති රටේ තුත්තිරි ගහත් ගහක්‌ කියල හිතන නිසාවෙන් සුජාත දියණි දිහා බලන්න එපා කියලත් පිච්චර් පිස්‌සා කියනවා. සුජාත දියණි ටෙලි නාට්‌ටියෙ හොඳ කියන බොහෝ පිරිසක්‌ හිටියත් ඒකට දොස්‌ කියන අපේ වැඩබැරි ටාසන්ලත් ඉන්නවා. අපි අපේ කමත් එක්‌ක ශක්‌තිමත්වෙලා අපේ අනන්‍යතාව අපිට දැනෙන අපිවම අපිට විනිවිද පෙනෙන නිර්මාණ බිහි කරන්න පෙළඹෙනවා හැරෙන්න ''සුජාත දියණි'' ට සාප කරන එක නෙවෙයි කරන්න ඕන.

පිච්චර් පිස්‌සා

Divayina
READ MORE - පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්‌වා

සේවයක්‌ කළා පෙරළා යමක්‌ උවමනා නෑ

සේවයක්‌ කළා පෙරළා යමක්‌ උවමනා නෑ
- සරත් කුලාංග

සරත් කුලාංග... වේදිකාවේ සැරිසරන තිස්‌ හත්වැනි වසර... ඔහු මේ දක්‌වා රඟපා ඇති වේදිකා නාට්‍ය ගණන ටෙලිනාට්‍යය සංඛ්‍යාව, චිත්‍රපට ප්‍රමාණය,.. සියල්ලේ එකතුව පනහකට වැඩියි. යෙර්මා, ජසයා ලෙන්චිනා, මධුර ජවනිකා, නරිබෑණා, කපුවා කපෝති, මහාසාර, වේදිකා නාට්‍ය කීපයක්‌, තාරාදේවි, දූදරුවෝ, සෙනෙහෙවන්තයෝ, නෑදැයෝ ටෙලිනාට්‍ය අතරින් කීපයක්‌ ගුරුගෙදර, සරෝජා, බවදුක.... චිත්‍රපට අතරින් තුනක්‌ පමණයි. වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයෙන්ද, සංගීත නිර්මාණයෙන්ද පසුගිය වසර තිස්‌හත පුරා කළ මෙහෙවර අගයමින් කුලාංග වෙනුවෙන් "මුතුවැලක්‌ සේ" ප්‍රසංගය ඉදිරිපත් කෙරේ.

තිස්‌හත් වසරක කලා දිවිය සපුරන සරත් කුලාංග අද රඟහල දොරකඩට පැමිණ සිටී. මුතුවැලක්‌ සේ "ප්‍රසංගය ගැන......?"

මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිස්‌ හතයි. 1976 තමයි පළමුව මම රංගනයට ආවේ. ඉතින් ඒ තිස්‌හත් වසර සමරන උත්සවයක්‌ තමයි "මුතුවැලක්‌ සේ". මගේ කලා ජීවිතයේ සංගීතාවලෝකනය ලෙසයි මෙය හඳුන්වන්නේ.

ර කොහොමද අවුරුදු තිස්‌හතකට කලින් ඔබ මේ ක්‍ෂේත්‍රයට ආවේ?

පාසල් වේදිකාවෙන්. මගේ පාසල හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය. උසස්‌ පෙළ කරද්දී නාට්‍ය තරග සඳහා ඉදිරිපත් වුණා. මගේ පාසලේම සමකාලීනයන් තමයි විනී වෙත්තසිංහ, රවීන්ද්‍ර යසස්‌. ඊට අමතරව හොරණ ශ්‍රීපාලියේ අපේම වයසේ ඉගෙන ගත්තා සද්ධා උත්පලකන්දගේ. විද්‍යාරත්නයේ ඉගෙන ගත්තා ජනක්‌ ප්‍රේමලාල්, අපි පාසල් තුනක ඉගෙන ගත්තත් නිතරම හවස්‌වරුවේ එකතුවෙනවා. නාට්‍ය ගැන කතා කරනවා. නාට්‍ය කරන්න පුරුදු වුණා.

ර නාට්‍යයක්‌ කළේ......

කොක්‌ සන්නිය නමින් ප්‍රේම්කුමාර කරුණාරත්න නාට්‍යයක්‌ කළා. එවිට මම පාසල් යනවා. ඒ හැත්තෑහයේදී මට එහි හොඳම සංගීතයට හිමි සම්මානය ලැබුණා. ඉන්aපස්‌සේත් ඔහුගේම "දිග අඬු කාරයෙක්‌" නාට්‍යයට සංගීතය සඳහා සම්මාන ලැබුණා. උසස්‌ පෙළ ඉවර වුණාට පස්‌සේ අපි නාට්‍යයක්‌ කරන්න තීරණය කළා. ජනක්‌ ප්‍රේමලාල්ගේ පියා සිරිසේන ප්‍රේමලාල් මහත්තයා "අබුද්දස්‌ස කෝළම" නමින් නාට්‍යයක්‌ ලියා තිබුණා. අපි අසූ හතරේදී ඒ නාට්‍යය කරමින් ප්‍රසිද්ධ වේදිකාවට ආවා.

ර ඔබ රංගනයට පෙර දස්‌කම් දැක්‌වූයේ සංගීතයට ?

ඔව්. අපේ අයියට තිබුණා බටහිර සංගීත කණ්‌ඩායමක්‌. අනිල් භාරති, දයානන්ද පෙරේරා, වර්නන් පෙරේරා වැනි අය සම්බන්ධවී හිටියා. මමත් ඒ කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌ වුණා. අයියත් වාදකයෙක්‌ ලෙස කටයුතු කළා. හොරණ ශ්‍රී පාලියෙන් තමයි මම විධිමත් ලෙස හින්දුස්‌ථාන් හා දේශීය සංගීතය හැදැරුවේ. මට සංගීතාචාර්ය සෝමා ගුණතිලක, රෝහණ බැද්දගේ වැනි අය මග පෙන්වූවා. ඒ කාලේදීම ලයනල් වෙන්ඩ්ට්‌ රංග ශිල්ප ශාලිකාවේ නාට්‍යකරණ වැඩමුළුවට එක්‌වුණා. ගාමිණි හත්aතොටුවේගම, ධම්ම ජාගොඩ වැනි ප්‍රවීණයන් ඇසුරට එක්‌වුණා. ඉන් පස්‌සේ හත්තොටුගම මහතාගේ විවෘත වීදිනාට්‍ය කණ්‌ඩායමට සම්බන්ධ වුණා.

ර ඔබේ මේ දීර්ඝ ගමන ආවර්ජනය කරන මුතුවැලක්‌ සේ ප්‍රසංගය ගැන යළි සඳහන් කළොත්...?

පානදුරේ තිබෙනවා මිත්‍රොaදය නමින් වෘත්තිකයන්ගේ සංගමයක්‌. විශ්‍රාමික විදුහල්පතිවරුද, උපදිසාපතිවරුද, පරිපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ අය ඇතුළු ප්‍රභූවරුන් විසි දෙනෙක්‌ පමණ මේ මිත්‍රොaදය සංගමය පවත්වාගෙන යනවා. මේ වසරේදී සංගමයට වසර දහයක්‌ පිරෙන නිසා පානදුරෙන් බිහිවූ කලාකරුවකුට උපහාර පිදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා තෝරා ගත්තේ මාව. මමත් කැමැති වුණා ප්‍රසංගයක්‌a පවත්වන්න... ඉන් ලැබෙන ආදායමින් ළමුන්ට ශිෂ්‍යත්ව අරමුදලක්‌ හදන්න මම යෝජනා කළා.

ර මේ ප්‍රසංගයට ඇතුළත් වන්නේ මොනවාද?

නාට්‍ය ගීත.. මම නිර්මාණය කළ නාට්‍යවල ගීත.. ළමා ගීත රඟමින් ගයනවා. දෙයියොත් දන්නේ නෑ, රූකඩ රාඡ්ඡේ, ජසයා සහ ලෙන්චිනා, ආටානාටිය, රාජකපුරු වගේ නාට්‍යවල ගීත. රඟපාන්නේ විජය නන්දසිරි, බන්දුල විඡේවීර, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සෙනෙවිරත්න, µර්නි රෝෂනි, සරත් චන්ද්‍රසිරි, ගාමිණි අම්බලන්ගොඩ, තාරක උපේන්ද්‍ර වගේම මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා. මේ ප්‍රසංගය නිදහස්‌ උළෙල දා.. ඒ කියන්නේ 04 වැනිදා හවස 6.30 ට පානදුර පුරහලේදී පැවැත්වෙනවා.

ර ගත වූ අවුරුදු තිස්‌හත තුළ ඔබෙන්a වේදිකාවටත්, වේදිකාවෙන් ඔබටත් ලැබුණු දේ ගැන තෘප්තිමත්ද?

කලාකරුවකු ලෙස අපි එක්‌තරා විදිහකට අපි ගැනත් හිතන්න ඕනෑ. මාගේ ඇඟ තුළ තිබෙන දේ, මට දැනෙන හැඟෙන දේ ප්‍රකාශ කිරීමයි මගෙන් විය යුත්තේ. මගේ හැඟීම් පොදු ජනතාවට කියන්න මාධ්‍යයක්‌ හොයාගත යුතුයි. මගෙන් ජනතාවට අනාගත පරම්පරාවට විය යුතු දේ ගැනයි මම හිතන්නේ. ඊළඟ පරපුරට යමක්‌ ලබාදීමයි මා කළ යුත්තේ. එතැනදී මම සමාජයෙන් පෙරළා යමක්‌ බලාපොරොත්තු වන්නේ නෑ.

අජිත් අලහකෝන්

Divayina
READ MORE - සේවයක්‌ කළා පෙරළා යමක්‌ උවමනා නෑ

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටයෙන් ලංකාවට එන හින්දි නළු නිළියෝ


ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටයෙන් ලංකාවට එන හින්දි නළු නිළියෝ
2013 පෙබරවාරි මස 01 12:07:21 | ලංකාදීප
නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයෙන් සමන් වීරමුණිගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වූ ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ චිත‍්‍රපටය මේ දිනවල තිරගත කෙරේ. සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තියේ සිට සම්බුද්ධත්වය දක්වා හටගත් සුවිශේෂී සිදුවීම් පදනම් කරගෙන මෙම චිත‍්‍රපටය නිපදවා ඇත. මෙය ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ අතිවිශාල මුදලක් වැය කොට තැනූ චිත‍්‍රපටයක් ලෙස සඳහන් වේ. වසර 2600කට පෙර ඉතිහාසය ගෙන හැර පෑම සහ ඒ පරිසරය මෙන්ම ඇඳුම් ආයිත්තම් සියල්ල නිර්මාණය කිරීම ආදී සියල්ල වෙතින් මෙම චිත‍්‍රපටය නිර්මාණය වූයේ කෙසේද? ඒ ගැන පැවසීමට බොහෝ දේ තිබේ. ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ චිත‍්‍රපටය තිරගත කෙරෙන මොහොතක අපි ඒ ගැන විස්තර දැන ගනිමු. ඊට අමතරව මෙහි සිද්ධාර්ථ කුමරු ලෙස රඟපාන ගගන් මලිත්ද, යශෝධරා දේවිය ලෙස රඟපාන අන්චල් සිං, මෙන්ම මහාමායා දේවිය ලෙස රඟපාන අංශුමලිත් සහ දේවදත්ත වූ ගෞතම් ගුලාටි ගැනත් විස්තර දැන ගනිමු.

සිද්ධාර්ථ කුමරුවූ ගගන් මලික්
නවදිල්ලියේදී උපත ලද ගගන් මලික් පදිංචිව සිටින්නේ මුම්බායි නගරයේය. ඔහු ව්‍යාපාරික පවුලකට අයත් තැනැත්තෙකි. ගගන් ඒ සියල්ල ගැන අපට විස්තර කළේ මෙලෙසිනි.
‘‘ස්වර්ණාභරණ අලෙවි කරන ව්‍යාපාරයක් අප සතුයි. මගේ දෙමාපියන් ඉතාම ආගමානුකූලව ජීවත් වන අයයි. ඒ නිසාම තමයි මට මෙම චිත‍්‍රපටයේ රඟපෑමට අවකාශය ලැබුණේ. ඒ අතින් මම හරි වාසනාවන්තයි. සහෝදරයින් හතර දෙනෙකුගෙන් යුතු පවුලේ බාලම කෙනා මමයි. තව එක් සහෝදරියක් සිටිනවා. ඒ අය මට හරිම ආදරෙයි. මාත් ඒ අයට හරිම ආදරෙයි. මම ඉගෙන ගත්තෙ නවදිල්ලියේදීයි.
පසුව රංජි කුසලානය සඳහා පළමු පෙළ ක‍්‍රිකට් කී‍්‍රඩකයකු ලෙසත් කටයුතු කළා. නමුත් ක‍්‍රිකට් සඳහා දේශපාලනික බලය ආදිය තිබිය යුතුයි. ඒ නිසා ඒ අංශයෙන් ඉදිරියට නොගොස්, රඟපැම තෝරා ගත්තා. අද මගේ වෘත්තිය රඟපෑමයි. රාමායනය ඇසුරින් කළ වෘතාන්තයක් මේ දිනවල ශ්‍රී ටී.වී. ඔස්සේ විකාශය වනවා. මම එහි රාම රජු ලෙස රඟපානවා’’
මෙලෙසින් අදහස් දැක්වූ ගගන්, මේ සිද්ධාර්ථ චරිතය ලැබීම පෙර වාසනාවක් යැයි සඳහන් කළේය. මෙවැනි උත්තම පූජනීය චරිතයක් රඟපෑම වෙනුවෙන් බුද්ධාගමේ සහ බුදුන්වහන්සේගේ දහමේ ආශිර්වාදය ලබාගත් බවද ප‍්‍රකාශ කළ හේ ශ්‍රී ලංකාවට මහත්සේ ගෞරව කරන්නෙකි. සාදxඋත්සව කිසිවකට දායක නොවන ගගන්, පොත් කියවීම සහ චිත‍්‍රපට නැරඹීම විනෝදාංශ කරගෙන සිටී. විවාහකයකුවන ගගන් බිරිඳ පූජාට වඩාත් ගරුකරන බව කියයි.

 

යශෝදරා වූ අන්චල් සිං
 නව යෞවනියක වන අන්චල් පන්ජාබයේදී උපත ලද තැනැත්තියකි. නවදිල්ලියේ වැඩි කොටසක් වාසය කළ ඇයගේ පවුලේ අය දැන් වෙසෙන්නේ මුම්බායි නගරයේය. යශෝධරා චරිතය ගැන ඇය ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.
‘‘යශෝදරා යනු මතුපිටින් ඇති ලස්සනට වඩා ඇතුළාන්තයෙන් ලස්සන චරිතයක්. ඒ වගේම ආදරය කියන්නෙ කුමක්ද යන්න පහදා දුන් ගැහැණියක්. ආදරය යනු පරිත්‍යාගයක් නම්, ඒ පරිත්‍යාගය කළ ඉහළම කෙනා ඇයයි. සහතිකෙන්ම අපේ පවුලේ අය හරිම ආගමානුකූලව ජීවත් වන අයයි. මේ චරිතය ලැබීමෙන් පසු මම තවත් ආගමානුකූල වුණා. මිනිසත්බව ලැබීම ඉතා දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ මිනිසත් බවට වටිනාකමක් දීම ඉතා වටිනා දෙයක්. මේ වගේ චරිතයක් රඟපෑමට ලැබීම ඒ ජීවිතයේ මා ලද විශාල භාග්‍යයක්.

මහාමායා දේවිය වූ අංශූ මලික්
 මහාමායා දේවියගේ චරිතය රඟපාන අංශු මලික්ද ආගමානුකූල ජීවිතයක් ගත කරන තැනැත්තියකි. වයස අවුරුදු 26ක් වන අංශුද ශ්‍රී ලංකාවට මහත්සේ ආදරය කරන තැනැත්තියකි. සනත් ජයසූරිය මෙන්ම බොහෝ කි‍්‍රකට් තරුවලට ඇය වඩාත් ප‍්‍රිය කරන්නීය. මහමායා දේවිය වැනි චරිතයක් ලැබීම ජීවිතයේ කෙනෙකු ලබන ඉහළම භාග්‍යය බව ඇය පැවසුවාය.


දේවදත්ත ලෙස රඟපාන ගෞතම් ගුලාටි
 වයස අවුරුදු 25ක් වන ගෞතම් රංගනයට පිවිස ඇත්තේ වයස අවුරුදු 20දී පමණය. දේවදත්ත චරිතයට බොහෝ දෙනා වෛර කරන අතර එය සාධාරණ වෛරයක් බව ඔහුගේ අදහසය. තමා මේ චරිතය ඉතා කැපවීමෙන් කළ බව සඳහන් කරන ගෞතම්ද මේ චරිතය ලැබීම පුරුවෙ පිනක් ලෙස සළකයි.
මෙම චිත‍්‍රපටයට මේ අය දායක කරවා ගෙන ඇත්තේ උතුරු ඉන්දියාවට ගොස් ශිල්පීන් 200ක් පමණ අතුරිනි. එලෙසින් චරිත සඳහා නළු නිළි පිරිස තෝරා ගත්තද ඊළඟට ප‍්‍රධාන ප‍්‍රශ්නය ලෙස මුහුණදී ඇත්තේ එකලට ගැලපෙන ඇඳුම් ආයිත්තම් ආදිය නිර්මාණය කිරීම වෙනුවෙනි. ඒ සඳහා අපමණ වෙහෙසක් දැරීමට සිදු වූ බව නවීන් ගුණරත්න සඳහන් කළා. කපිලවස්තු මාළිගය නිර්මාණය කිරීමේ කටයුත්ත පවා එලෙස නිර්මාණය කිරීම සඳහා ඉතිහාසයේ බොහෝ දේ සොයා යාමට. පර්යේෂණ කිරීමට සිදුවීම පවා කළ බව ඔහු සඳහන් කළා. ආසියා ආලෝක පදනම යටතේ මෙම ප‍්‍රධාන දර්ශන තලය තනා ඇත්තේ හෝකන්දර පිහිටි ප‍්‍රදේශයකය.


 අදහස්(5)  බැලූවෝ (1263)
READ MORE - ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටයෙන් ලංකාවට එන හින්දි නළු නිළියෝ

මම විශාල සමාජ පෙරළියක් කළා


මහා සිංහලේ වංස කතාවෙන් මම විශාල සමාජ පෙරළියක් කළා

ජැක්සන් ඇන්තනී
අදින් වසර හතළිස් දහසකටත් එහා අතීතයට අපේකම සොයා ගිය ඔහු බලංගොඩ මානවයාගේ සිට කුවේර රාජධානිය, මහා සම්මත මනු රාජධානිය, රාවණා රාජධානි පසුකරමින් මහා කාලසේනගෙන් පසු විජය රජු ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ ඉතිහාසය කියවීම අතිශය තර්කානුකූලවත්, රමණීයවත් ඉදිරිපත් කරමින් අපේ රටේ යටපත්ව පැවති, ඉවතට විසිකරමින් නොසලකා හැරි ඉතිහාස විෂයට අපූර්වත්වයක් එක්කළේය.
‘මහා වංශයට විද්‍යුත් ටීකාවක්’ යනුවෙන් මහා සිංහලේ වංස කතාව අපට රැගෙන ආ ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියකු, රංගන ශිල්පියෙකු, නාට්‍යකරුවකු, සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ජැක්සන් ඇන්තනී ය.
2007 වසරේදී කාගේත් ප්‍රශංසා මැද විකාශය අවසන් වූ ‘මහා සිංහලේ වංස කතාව‘ නැවතූ තැන් සිට යළි ආරම්භ කිරීමේ සුබ පණිවුඩය පෙරදා ඔහු අපට රැගෙන ආවේය.
මේ සඳහා නිමිත්ත මෙම 4 වැනිදාට යෙදෙන 65 වැනි නිදහස් දින දා සිට සෑම සඳුදා දිනකම රාත්‍රි 10 සිට යළිත් මහා සිංහලේ වංස කතාව දිග හැරෙන ඒ සුබ පණිවුඩයයි.
ඔබ මහා සිංහලේ වංස කතාව වැනි වැඩසටහන් ආරම්භ කිරීමට හේතුව වූයේ කුමක්ද?
ලංකාව සහශ්‍රයකට ගොඩ නැඟෙත්දි අපේ මුළු ජන ප්‍රජාවගේ ම අරමුණ වෙලා තිබුණේ ජාත්‍යන්තරය. ජාත්‍යන්තරයට ප්‍රවිෂ්ට වුණාම අපේ සියලු අඩුපාඩුකම් මැකේවි, අපි සමෘද්ධිමත් වේවි කියන ෆැන්ටසි එකකයි අපි හිටියේ.
ජාත්‍යන්තරය හමුවේ ජාතිකත්වය පිළිබඳ අපිට කිසිම විශ්වාසයක් තිබුණේ නෑ. ඒක අපට ඇති කරන්න කවුරුත් උත්සාහ කළෙත් නෑ. ඒ පිළිබඳ විලම්භීතයෙන් තමයි මම හිටියේ. සහශ්‍රකයට ගොඩ නැඟෙත්දි මේ තිබුණ අනවශ්‍ය ජාත්‍යන්තර උණ අපට ජාතික වශයෙන් අවාසි සහගතයි කියන විශ්වාසය මගේ අභ්‍යන්තරයේ කෑකෝ ගසමින් තිබුණා.
ඒ ගැන සිතා බලද්දි මගේ හිතට එනවා 1972 දි තමයි මේ ව්‍යසනය අපට කරන්නේ කියන එක. 1972 දී ලංකාවේ අධ්‍යාපන විෂයමාලා සංවර්ධනයේදී ඉතිහාස විෂය අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් අයින් කළා. ඒකට බලපෑවේ 1971 කැරැල්ල යළි කියවීමය.
කැරැල්ලට සම්බන්ධ වුණේ ඔක්කොම කලා උපාධිධාරීන් නිසා කලා විෂය මාලාවේ, රැකියා උත්පාදන විෂයයන් නැහැයි කියලා, රැකියා උත්පාදන නොවන සියලු විෂයයන් ඉවත් කළ යුතුයි කියන අමනෝඥ තීරණය තමයි සහශ්‍රකය වන විට ජාතිතක්වය පිළිබඳ හැඟීම අපේ රටේ නැතිවීමට එකම හේතුව කියලා මම තදින්ම විශ්වාස කළා.
ලෝකයේ වෙන කිසිම රටකට මේ දේ වුණේ නෑ. ඇමරිකාවේ සිට ඉන්දියාව දක්වා ගත්තත්, සිංගප්පූරුව, කොරියාව, බුරුමය, ජපානය, චීනය වගේ ගත්තත් මේ කිසිම රටක් ජාත්‍යන්තරය විශ්වාස කළේ ජාතිකත්වය අවිශ්වාස කරලා නොවෙයි.
ජාතිකත්වයම ජාත්‍යන්තරය බවට පත්කරන්න තමයි ඔවුන් උත්සාහ කළේ. අපිට එහෙම උත්සාහයක් නොතිබුණේ, අපිට ජාතිකත්වය පිළිබඳ ගෞරවනීය හැඟීමක් නොතිබුණේ ඉතිහාසය විෂය අපේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ දැනුම් පථයෙන් ඉවත් කරපු නිසයි.
ඉතිහාසය ඉගෙන ගන්න ඕන ඉතිහාසඥයෙක් වෙන්න නොවෙයිනේ. වෛද්‍යවරයෙක් වුණා වෙන්න පුළුවන්. රටකජුකාරයෙක් වුණා වෙන්න පුළුවන්. නමුත් ඉතිහාසය තුළ වන සාමාන්‍ය දැනුම විසින් ඔහුට මාතෘ භූමියට ඇල්ම ඇති කරනවා.
මෙන්න මේ විස්සෝපය මම හරියට භුක්ති වින්දා. ඒ නිසා මම ඊට අදාළ වැඩසටහන් කීපයක් කළා. ජාත්‍යන්තරය විසින් ළමා ලෝකය සංකර කරන්න උත්සාහ කරත්දි මම ‘හපන් පැදුර’ වැඩසටහන කරලා දේශීය සංගීතයට විලාසයට ඇති කැමැත්ත දරුවන් තුළ යළිත් ඇති කළා.
ඒ අතරම තමයි ඉතිහාස විෂය අළලා කිසියම් මාධ්‍ය කටයුත්තක් කළ යුතුය කියන හැඟීම මට ඇතිවුණේ. ඒ අනුව තමයි ‘මහා සිංහලේ වංස කතාව‘ පිළිබඳ යෝජනාව ස්වර්ණවාහිනි ආයතනයට ඉදිරිපත් කරලා ඒ සඳහා අනුමැතිය ලබාගන්න පුළුවන් වුණේ.
මේ වැඩසටහනත් එක්ක ඉතිහාස විෂය පිළිබඳ හා එහි අධ්‍යයනය පිළිබඳ මහා විශාල ප්‍රබෝධයක්, උනන්දුවක් ඇතිකරන්න ඔබට පුළුවන් වුණාද?
ඔව්. ඉතිහාස විෂය ඒ වන විට මගේ අධ්‍යයන පථයෙනුත් බැහැරවයි තිබුණේ. 1972 දි මම ඉතිහාස විෂය තහනම් කරපු දරුවෙක්. මමත් සා.පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාලයේවත් ඉතිහාසය ඉගෙන ගෙන තිබුණේ නෑ.
නමුත් මේ වැඩසටහන නිසා 2000 සිටම මම ඉතිහාස විෂය අධ්‍යයනය කළා. 2002 තමයි මම ‘මහා සිංහලේ වංස කතාව‘ ආරම්භ කරන්නේ. මේ වැඩසටහන ලංකා මාධ්‍ය ඉතිහාසයේ සිද්ධවෙච්ච ලොකු වික්‍රමයක්.
වෙළෙඳ ආයතනයක මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් සඳහා පිරිනැමෙන කාලය හරි අඩුයි. ස්වර්ණවාහිනි අධිකාරිය මගේ අදහසට එකඟ වුණාට වෙළෙඳ අංශය මේකට දක්වන්නේ වෙනත් ප්‍රතිචාරයක්. මේ විෂය ජනපි‍්‍රය කරන්න පුළුවන් වෙයිද කියන තැන තමයි ඔවුන් ඉන්නේ.
ඒ මොකද? ඒ වන විට ඉතිහාස විෂය කියන එක ජනපි‍්‍රය නැති, අලස විෂයක් කියල සම්මත වෙලා ඉවරයි. ඒ සම්මතය තමයි වෙළෙඳ අංශය අරගන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කළා අව ප්‍රතිචාර කලාපයක් මේ වැඩසටහන සඳහා දෙන්න කියලා.
ඒ අනුව 2002 පෙබරවාරි 04 වැනිදා මම වැඩසටහන පටන් ගත්තා. මාසයක් දෙකක් ඇතුළත ආයතනයට සිද්ධ වුණා අධි ප්‍රතිචාර කලාපය වන සෙනසුරාදා රාත්‍රි 9.30 ට මේ වැඩසටහන ගේන්න. මේකට ස්වර්ණවාහිනියට වගේ ම මගේ රටේ ජන ප්‍රජාවටත් මම ගෞරව කරන්න ඕන.
මගේ විශ්වාසය සඵල වුණා. මේ රටේ අලස විෂයයක් යැයි ප්‍රතික්ෂේප කර තිබූ ඉතිහාස විෂය ජනකාන්ත විෂයයක් බවට පත්වුණා. 2005 වසර උදාවීමත් සමඟ මේ වැඩසටහනින් කියූ දේ ඉතා ඉහළින් අගයන අධිකාරිත්වයක් මේ රටේ පහළ වෙනවා. 2005 වනාහි මේ රටේ දේශපාලන සමාජීය, හැරවුම් ලක්ෂය කියලා මම ප්‍රකාශ කළේ ඒ නිසා.
මේ හැරවුම් ලක්ෂය හේතුකොට ගෙන ජාතිකත්වයට ඇලුම් කරන, ඉතිහාස විෂය පි‍්‍රයකරන, ගම හඳුනන නායකත්වයක් බිහිවීම හේතුවෙන්, මගේ වැඩසටහන පුරා කතා කරමින්, බැන අඬගසමින්, සාකච්ඡා කරමින් ආපු විෂයට ලොකු දීප්තියක් ලැබෙනවා.
2006 වසරේ මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනවා ඉතිහාස විෂය අනිවාර්ය විෂය පද්ධතියට ගේන්න ඕන කියලා. වැඩ සටහනේ නිර්මාතෘවරයා වශයෙන් මට විශාල සතුටක් ලැබෙනවා මේ වැඩසටහන මේ රටේ සමාජීය වශයෙන් ලොකු යෙදවුමක් කළා කියලා.
මාධ්‍යකරුවෙක් කොයිතරම් බලවන්තද? මාධ්‍යකරුවා හරියට ආණ්ඩුවක් වගෙයි. අමාත්‍යාංශයක් වගෙයි. නිවැරදි මාධ්‍යකරුවාට දේශපාලන බලයක්, පාර්ලිමේන්තුවක් අවශ්‍ය නෑ. ඒ නිසා මම නිවැරදිව මාධ්‍ය භාවිතා කරමින් මේ රටේ විශාල සමාජ පෙරළියක් ඇති කළා.
ඓතිහාසික ගණයේ චිත්‍රපට නිර්මාණය වන්නටත් මේ ප්‍රබෝධය බලපෑවා කියල ඔබ විශ්වාස කරනවාද?
ඔව්. 2008 දි මම ම මේ වැඩසටහනින් ප්‍රයෝජන ගන්නවා. මම ‘අබා’ චිත්‍රපටය නිර්මාණය කරනවා. මේ රටේ මෙතෙක් වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය ලෙස අදටත් වාර්තාගත වෙන්නේ ‘අබා’. ඒ සඳහා වැල නොකැඩී සෙනඟ එන්නට මම ‘මහා සිංහලේ වංස කතාවෙන්’ ලබපු විශ්වාසය බලපෑවා.
මේ වන වි ඉතිහාස විෂය හැම තැනම උගන්වන්න පටන් අරන් තිබෙනවා. මම ‘මහා සිංහලේ වංස කතාව‘ වැඩ සටහනට යොදාගත්ත ‘මහා වංශයට විද්‍යුත් ටීකාවක්’ කියන වචනය අද ඉතිහාසයට ටියුෂන් දෙන ගුරුවරු ‘ඉතිහාසයට ටියුෂන් ටීකාවක්’ කියලා යොදාගෙන තිබෙනවා මම දැකලා තිබෙනවා. මේක දකිනකොට මට හරි සතුටුයි.
මහා සිංහලේ වංස කතාව ඉතිහාසය පිළිබඳ නව සමාජ රැල්ලක් ඇති කරන්න උල්පත පෑදුවා. මේ නිසා ඇතිවුණ ප්‍රබෝධයේ අතුරු ඵල තමයි චිත්‍රපට, නවකතා, නාට්‍ය වැනි දේවල්. බොහෝ දෙනා කියනවා මම ඉතිහාස රැල්ලක් හැදුවා කියලා.
මම ඒක විශ්වාස කරනවා. ඉතිහාස රැල්ල ඇතිවුණේ ‘අබා’ චිත්‍රපටයෙන්. ඒක මම කළේ ප්‍රායෝගික යෙදවුමක් විදියට. ‘අබා’ හදද්දි මම කිවුවා මම මේ විවර කරන්නේ සංස්කෘතික ගේට්ටුවක්. මේකෙන් තව බොහෝ දෙනාට එළියට එන්න පුළුවන් කියලා.
ඒ කියපු දේ අද ඉෂ්ට වෙලා තිබෙනවා. මම තවම මගේ දෙවැනි චිත්‍රපටය කළේ නෑ. නමුත් ඉතිහාසය පදනම් කරගත්තු නිර්මාණ රැසක් අද බිහිවෙලා තිබෙනවා. මේක බිහිවෙන්නේ මහා සිංහලේ වංස කතාවෙන් බිහිකරපු සංස්කෘතික ගේට්ටුවෙන්.
මහා සිංහලේ වංස කතාව ආරම්භ වූ මුල් කාලයේ මේ වැඩසටහනින් ජාතිකත්වය අවුස්සනවා වැනි චෝදනා ඔබට පැමිණියා නේද?
ඔව්. විශේෂයෙන් ම ‘මහා සිංහලේ’ කියන වචනය නිසා. නමුත් සිනමා වචනයෙන් කිවුවොත් මම ජීවිතේ දිහා බලන්නේ දුර රූපයකින්. ඒ නිසා එදා නැඟුණු මතවාදයට ම සාමකාමී පිළිතුරක් දුන්නා. ප්‍රධාන වශයෙන් ම මේ සඳහා විකල්ප මතවාද ගොඩ නැගුණා මේක සිංහල ජාතිවාදී වැඩසටහනක් කියලා.
ඒකට ප්‍රධාන හේතුව වුණේ මේකේ නම ‘මහා සිංහලේ වංස කතාව‘ වීම. මගෙන් ප්‍රශ්න කළා දෙමළ ජාතිය මුස්ලිම් ජාතිය ගැන මේකේ නැත්ද කියලා. මේකට මම උත්තර දුන්නා මේ සැකයට පිළිතුරු මේ වැඩසටහනින්ම ලැබේවි කියලා.
‘සිංහලේ’ කියන්නේ රූපකයක්. අද සිංහල කියලා ජාතියක් නෑ. භාෂාවක් විතරයි තිබෙන්නේ. මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගම්පෙරළිය’ කෘතියේ කරෝලිස් යන්නේ ‘සිංහලේ’. ඉස්සර මට මතකයි අපේ ගම් පැත්තේ අය හරක් ගේන්න ‘සිංහලේ’ යනවා.
ඒ කාලේ සිංහලේ කිව්වේ රජරටට. සිංහල කියන වචනය දෙමළෙන් ලියන්නේ ‘ඊලම්’ කියලා. ඒ ලංකාවෙන් ගිය නාග රජ්ජුරුවන්ට ඉන්දියාවේ කිව්වේ ‘ඉලනාග‘ කියලා. ‘ඉල’ කියලා කියන්නේ හෙළ, හෙළයා කියන එකටයි.
ඒ නිසා මම හිතුවා මේ රටේ ඉතිහාසය හඳුන්වන්න තිබෙන හොඳම වචනය ‘සිංහලේ’ කියන එක. සිංහලේ කියන වචනය මගේ මාතෘ භූමියේ නාමයෙන් ‘මහා සිංහලේ’ කියලා මම ගෞරවනීය කරනවා. මහා බ්‍රිතාන්‍යය කියනවා නම් ‘මහා භාරතය’ කියනවා නම් ඇයි මට මගේ රට ‘මහා සිංහලේ’ කියන්න බැරි.
මේ වැඩසටහන ලංකාවේ දෙමළ ඉතිහාසය, යාපනයේ ඉතිහාසය, ආර්ය චක්‍රවර්තී ගැන, වීර පාණ්ඩ්‍යලා ගැන කතා කරනවා. යාල්පාන වෛපෙන්මාෙලෙ ගැන කතා කරනවා. එතැනින්ම ඔප්පු වෙනවා මේක ජාතිකත්වය අවුස්සන වැඩ සටහනක් නොවෙයි කියලා.
මේ සඳහා ඔබේ ප්‍රධාන මූලාශ්‍ර වෙන්නේ මහා වංශයද?
මහා වංශය මූලික කරගෙන ඊට අමතරව වංශත්තන් ප්‍රකාශනය, නමැති මහා වංශ ටීකාව, පූජාවලිය, රාජාවලිය, ධාතු වංශය, සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාවලියේ සිට අස්ගිරි තල්පත දක්වා ම පිරික්සනවා. පසුකාලීනව පුරාවිද්‍යාත්මක වශයෙන් සොයා ගත් සෙල් ලිපි ආදිය ආශ්‍රය කරගන්නවා. ඉතිහාස විෂයට අදාළ ප්‍රාමාණික බුද්ධිමතුන් සමඟින් සාකච්ඡා කරමින් තමයි අපි මේ ගමන ආවේ.
ඔබ නැවතුණේ කොතැනද?
2007 දි අපි නැවතුණේ 1815 දී මේ රට ගිවිසුමකින් අස්සන් කර සුද්දන්ට පැවරූ තැනින්.
ඔබ 2013 නැවත පටන් ගන්නේ?
මේ පාර මම මහා සිංහලේ වංස කතාව අලුත් තේමාවකින් පටන් ගන්නේ. ඒකට කියන්නේ ‘මහා සිංහලේ යටත් විජිත වංස කතාව‘ කියලයි. නියදිය වශයෙන් මම වසර 500 ක් තෝරා ගත්තා. 1505 තමයි ආරම්භ වෙන්නේ.
අවසන් වෙන්නේ 2005 න්. 2005 සහ 1505 කියන්නේ ලංකාවේ නිශ්චිත කේන්ද්‍රීය ලක්ෂ දෙකක්. 1505 කියන්නේ ලංකාවේ විනාශය ආරම්භ වූ වර්ෂය. 2005 කරන්නේ ලංකාවේ ජයග්‍රහණය ආරම්භ වූ වර්ෂය. පරාජය ආරම්භ වූ වසරේ සිට ජයග්‍රහණය ආරම්භ වූ වසර දක්වා ‘යටත් විජිත යනු කුමක්ද? යන්න ගැන තමයි මෙවර සාකච්ඡා කරන්නේ.
ඇයි මෙවරත් ඔබ ස්වර්ණවාහිනි නාළිකාවම තෝරා ගත්තේ?
මම 2010 වසරේදි ස්වර්ණවාහිනියෙන් ඉවත් වී නිදහස් මාධ්‍යවේදියෙක් වුණා. එහෙම වෙලා මම මගේ විෂය ඉතිහාස විෂය යැයි කෑකෝ ගසමින් ඒ පිළිබඳ යමක් කරන්න කැමැති යැයි කියමින් බොහෝ කලක් හිටියා. නමුත් මේ රටේ එක මාධ්‍යයක්වත් මා දිහා ඇහැරලා බැලුවේ නෑ.
මට කතා කළේ නෑ. මේක ජාතික වශයෙන් වැදගත්කමක් ඇති දෙයක් යැයි කියමින් මේ රටේ ජාතික මාධ්‍යවලට මගේ යෝජනා ඉදිරිපත් කරපු අවස්ථාත් තිබුණා. නමුත් ඒ කිසි කෙනෙක් මා දිහා හැරිලාවත් බැලුවේ නෑ.
නමුත් ස්වර්ණවාහිනි අධිපතිත්වය බුද්ධික කුලසේකර නමැති වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා ඔස්සේ මට මේ ආරාධනාව කළා. ඒ නිසා ස්වර්ණවාහිනියට ගෞරව කරමින් මේ වැඩසටහන කරන්න මම තීරණය කළා.

silumina
READ MORE - මම විශාල සමාජ පෙරළියක් කළා

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්


‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්

දයාවංශ ජයකොඩි
ආසියා ආලෝක පදනම වෙනුවෙන් නවින් ගුණරත්න නිෂ්පාදනය කළ සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය පසුගිය 24 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කළා. ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භවෙත් ම මෙරට පොත් ප්‍රකාශකයින් අතර ඉහළින්ම වැජඹෙන, විශේෂයෙන් ම බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රකාශකයෙකු වන දයාවංශ ජයකොඩි මහතා මෙම චිත්‍රපටය පිළිබඳ වෙනස්ම මතවාදයක සිටින බව දැනගන්නට ලැබුණා. මෙවර අපේ කතා බහ වෙන්වූයේ ඔහු ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය පිළිබඳ පළකළ අදහස් වෙනුවෙනි.
ඔබ ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය පිළිබඳ දැනගත්තේ කොහොමද?
මෙවැනි චිත්‍රපටයක් හැදෙනවා කියන හාහෝව පුවත්පත්වලින්, ජනමාධ්‍යවලින් දැනගත්තා.
මේ දැනගැනීමෙන් පසු ඔබ චිත්‍රපටය නරඹන්න ගියාද?
නෑ. මම චිත්‍රපටය නරඹන්න ගියේ නෑ. ඒ චිත්‍රපටය නැරඹීමට මගේ කිසිම අදහසකුත් නෑ.
එතකොට ඔබ මේ චිත්‍රපටය ගැන කතා කරන්නේ චිත්‍රපටය නරඹන්නේ නැතුවද?
ඔව්. නමුත් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (ට්‍රේලර් එක) මම නැරඹුවා. ඒකත් මට නරඹන්න සිද්ධවුණේ අහම්බෙන්. මම ඊයේ පෙරේදා දවසක ‘තලාෂ්’ කියන හින්දි චිත්‍රපටය නරඹන්න ගියා. ඒ චිත්‍රපටය නරඹන අතරතුර තමයි ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේ ට්‍රේලර් එක මම දැක්කේ. ඒක දැකපු මොහොතේ සිට මගේ හිත කම්පාවට පත්වුණා.
ඇයි ඒ?
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වූ අපේ බුදුරජාණන් වහන්සේගේ තරුණ අවධිය ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ගේ චරිතය නළුවෙක් රඟපානව දකිනකොට මගේ හිත වේදනාවට පත් වුණා.
බුදුරජාණන් වහන්සේගේ කුමාර අවදියට සමකළ හැකි, ඒ චරිතය රඟ පෑ හැකි කෙනෙක් මේ ලෝකයේ සිටිය හැකිද? බුදුරජාණන් වහන්සේට ගෞරව කරන, උදේ හවස බුදුන් වඳින මා වැනි හොඳ බෞද්ධයකුට එය වේදනාවට කාරණයක්.
මේක සම්පූර්ණයෙන් ම බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්. අපි නොයෙක් විට අහලා දැකලා තිබෙනවා බුදුන්වහන්සේගේ රුව ටී - ෂර්ට්වල ගහපු අවස්ථා, සපත්තු අඩිවල ගහපු අවස්ථා, කාන්තා යට ඇඳුම්වලට යොදාගන්නා අවස්ථා.
මේ සියලු දේට වඩා උන්වහන්සේගේ චරිතය මෙවැනි ගිහි නළුවෙකු ලවා රඟපෑම බුදු දහමට කරන ලොකුම අගෞරවයක් විදියට මම දකිනවා. අනිත් එක තමයි මේ චිත්‍රපටය හදපු අය තේරුම් අරන් තිබෙනවා මේ චරිතය ලංකාවේ කිසිම නළුවෙකුට රඟපාන්න බැරි බව.
ඒ නිසා තමයි මේ චරිත ආනයනය කරල තිබෙන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත බුදුරජාණන් වහන්සේගේ කුමාර අවධිය මේ කාටවත් රඟපාන්න බැරි බව මේක අනුමත කළ අය දන්නේ නැත්ද? මේ වෙලාවේ මට මතක් වෙන්නේ සුණක්ඛත්ත හාමුදුරුවන්ගේ කතාව.
උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පසු පස්සේ නිරන්තරව සිටියත් කිසිදු දිනයක නිර්වාණ අවබෝධය ලබන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පසුපස්සේ යන ගමන් නිරුවතින් භාවනා කරන කෙනෙක් දැක ‘ස්වාමිනි අන්න රහතන් වහන්සේ කෙනෙක්’ යැයි කීවා. එවැනි පුද්ගලයෝ මේ සමාජයෙත් ඇති.
ඒ විතරක් නෙමෙයි බුද්ධ චරිතයේ එන සිදුහත් කුමාරයාගේ පිය රජ්ජුරුවන් වන සුද්ධෝදන රජතුමා කියන්නේ පසු කලෙක රහත් භාවයට පත්වෙන රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේගේ චරිතයට රන්ජන් රාමනායක වැනි නළුවෙකු යොදා ගැනීම කොහොම අනුමත කරන්නද?
ඒ වගේම තමයි යශෝදරා දේවියගේ චරිතයත්. යශෝදරා දේවිය සිදුහත් කුමාරයගේ පි‍්‍රයම්බිකාව වන්නට කල්ප ගණන් පෙරුම් පිරූ තැනැත්තියක්. අපි අහලා තියෙන්නේ ඇය ලේන කුලයේ සිටම උන්වහන්සේ පතමින් පසු පස ආව පින්වන්තියක් විදියට. ඒ විතරක් නොවෙයි එතුමිය පසු කලෙක රහත් භාවයට පත්වූ තැනැත්තියක්. ඒ උතුම් කාන්තා චරිතය කවුද මේ රඟපාන්නේ? මේ තරම් පාප කර්මයක් තවත් තියනවද කියලා මට හිතුණා.
ඔබ මෙවැනි ප්‍රකාශ කරන්නේ වගකීමෙන්ද?
මෙවැනි උතුම් චරිත පස්පවම කරන ගිහි නළුවන් සහ නිළියන් යොදාගෙන කරන එක ලොකුම අගෞරවයක්. බුදුරජාණන් වහන්සේට මේ තරම් අගෞරවයක් ලංකාවේ කවුරුත් කරල නෑ.
මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඒ සඳහා උපදේශකත්වයට ගිහි පැවිදි විද්වතුන් රැසක් සිටි බව සඳහන් වුණා. එසේම එහි මාධ්‍ය දර්ශනය නැරඹීමට භික්ෂූන් වහන්සේලා රැසකුත් පැමිණ සිටියා. නමුත් ඒ කිසිවෙකුත් තවම නම් මෙවැනි විරෝධයක් කිසිදු මාධ්‍යයකින් දක්වා නෑ.
ඒක තමයි මටත් තිබෙන ප්‍රශ්නේ. හොඳ බෞද්ධයකු විදියට මට ඇස් කන් පියාගෙන ඉන්න බෑ. මේ රටේ මහා නායක හාමුදුරුවරු ඉන්නවා, උපකුලපති හාමුදුරුවරු ඉන්නවා. විශිෂ්ට ධර්ම කථික හාමුදුරුවරු ඉන්නවා. බෞද්ධ මහා සම්මේලනයක් තිබෙනවා.
බොදු බල සේනාවක් ඉන්නවා. මේ අය මොකද නිහඬ කියලා මට හිතෙනවා. බුදුහාමුදුරුවෝ කොයිම වෙලාවකවත් මිත්‍යා දෘෂ්ටිකයින් සමඟ එකට ඉඳගෙන කොයිම මොහොතකවත් දානේ වළදලා නෑ. නමුත් අද බුද්ධ පුත්‍රයන් ලෙස පෙනී සිටින අය මිත්‍යා දෘෂ්ටික ආගමික ස්ථානවලට ගිහින් බත් කනවා. එහෙම කාපු අයට මේක ප්‍රශ්නයක් නොවන්න පුළුවන්.
චිත්‍රපටය නොදැක පූර්ව ප්‍රචාරක පටය පමණක් දැක මෙවැනි අදහස් පළකිරීම සාධාරණ නැතැයි කෙනෙකු ඔබට චෝදනා කළොත්?
මම මේ කතා කරන්නේ චිත්‍රපටය ගැන නොවෙයි. එහි සිනමාත්මක බව ගැනවත්, නළු නිළියන්ගේ රංගනය ගැනවත් නොවෙයි.  මම කතා කරන්නේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ගැන පමණි. මීට ප්‍රථමත් මෙවැනි බෞද්ධ තේමා ආශි‍්‍රතව චිත්‍රපට කෙරුණා.
ඒත් එහි සිදුහත් චරිතය හෝ බුද්ධ චරිතය කිසිවකුත් නිරූපණය කළේ නෑ. ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ මිහිදු මහ රහතන් වහන්සේ පවා චරිතයක් හැටියට හඳුන්වා දුන්නේ නෑ.
කොහොම වුණත් මේවායේ මූලික පරමාර්ථය වුණේ මුදල් ඉපයීම. හොඳ දෙයක් සමාජයට තිළිණ කිරීම නොවෙයි. අද පන්සල්වල පවා මුල්තැන ලැබෙන්නේ මුදල් උපයන දේවල්වලට. බුදුහාමුදුරුවන්ගේ පාමුල ඉස්සරලම දකින්න තිබෙන්නේ පිංකැටේ. පිං කැටයක් නැති එකම බෞද්ධ සිද්ධස්ථානයයි මම දැකලා තියෙන්නේ. ඒ මහමෙවුනා අසපුව.
ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය නම් විවිධ අවස්ථාවල විවිධ නළුවන් රඟ පා තිබෙනවා නේද?
ඔව්. නමුත් ඒ චරිතය රඟපාපු නළුවන් කවුරුත් අද ජීවතුන් අතර නෑ.
ඔබ කියන්නේ ‘සිද්ධාර්ථ’ වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය නොවිය යුතුයි කියලද?
ඔව්. ඒකෙන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට අගෞරවයක්. අනෙක් පැත්තෙන් මේ චිත්‍රපටය නරඹන අපේ අනාගත පරපුර වැරැදි ආදර්ශ ගන්න පුළුවන්. සුද්ධෝදන රජ්ජුරුවෝ කවුද ඇහුවම ‘රන්ජන් රාමනායක’ කියලා උත්තර දෙන්නත් අනාගතයේ බැරිකමක් නෑ.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත ඒ අසම සම බුදුරජාණන් වහන්සේගේ සිදුහත් චරිතය මේ කොහෙවත් යන පැඟිරි නළුවෙකුට රඟපාන්න පුළුවන්ද? මම බෞද්ධයකු හැටියට කෙනෙකුට විපතක් වෙනව දකින්න කැමැති නෑ. නමුත් මෙවැනි අගෞරවනීය වැඩවලට එකතුවන හැමදෙනාටම දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දෙන්න පුළුවන්.
ඔබ මීට ප්‍රථම මේ ආකාරයෙන් ම ‘සූරිය අරණ’ චිත්‍රපටයේ ට්‍රේලරය දැක චිත්‍රපටය ගැන යම් ප්‍රකාශ කළා නේද?
ඔව්. මම හිතනවා ‘සූරිය අරණ’ දුවන්න ඒකත් හේතුවක් වුණා කියලා.
බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කරන ප්‍රකාශකයකු විදියට ඔබටත් කෙනෙක් චෝදනා කළොත් ඔබත් කරන්නේත් බුදු බණ විකිණීම කියලා?
ව්‍යාපාරිකයකු හැටියට මගේ මේ ප්‍රකාශ මට පාඩුවෙන්න පුළුවන්. කෙනෙකු මට එහෙම චෝදනා කරන්නත් පුළුවන්. ඒ වුණාට මම බෞද්ධ පොත් පත් පළ කරන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නෙවෙයි. ධර්ම පොත පතවලින් ලැබෙන ලාභයෙන් සම්පූර්ණයෙන් ම මම යොදවන්නේ බුද්ධ ශාසනයේ දියුණුවට. කොහොම නමුත් මේ ප්‍රශ්නය පිළිබඳ මේ රටේ විද්වත් ස්වාමීන් වහන්සේලාගේ තර්ක විතර්ක මම බලාපොරොත්තු වෙනවා. මම වැරදි නම් මට ඉගෙන ගන්න කියලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
(සංවාදයට විවෘතය)
READ MORE - ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්

"80වෙ අපි" වෙතින් නාට්‍ය වැඩමුළුවක් ......

Saturday, January 26, 2013


80වෙ අපි යනු 1980 දශකයේ සෝවියට් මිත‍්‍රත්ව මන්දිරයේ ඩග්ලස් සිරිවර්ධන ,පරාක‍්‍රම නිරිඇල්ල , එච්.ඒ. පෙරේරා සහ වසන්ත විට්ටච්චි යන නාට්‍ය වේදීන් විසින් නොමිලයේ පවත්වන ලද වැඩමුළු වලට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් වසර 25 කට පසු එනම් 2009 දි ගොඩ නගාගනු ලැබූ සංවිධානයකි. මෙම සංවිධානය ප‍්‍රථමයෙන්ම 2009 වසරේ දී ඉහත නම් සඳහන් ප‍්‍රවීණ කලාකරුවන් උදෙසා උපහාර උළෙලක් පවත් වන ලදී. 80වෙ අපි සංවිධානය එච්. ඒ .පෙරේරා ප‍්‍රවීණ කලාකරුවා වෙනුවෙන් විවධ අනුස්මරණ කටයුතු සංවිධානය කරණ ලද අතර මෙවර ඔවුන් සෙනෙහසේ අස්වැන්න නමින් නාට්‍ය වැඩමුළුවක් සංවිධානය කර ඇත. එම වැඩමුළුව පෙබරවාරි මස 04 වන දින පෙරවරු 08 සිට සවස 04 දක්වා බත්තරමුල්ල, ජනකලා කේන්ද්‍රයේදී පවත්වනු ලැබේ. මේ සඳහා වයස අවුරුදු 14 ත් 18ත් වයස් සීමාවල සිටින දරුවන්ට සහ යොවුන් තරුණ තරුණියන්ට සහභාගී විය හැකිය. වැඩිදුර තොරතුරු 077 348 8257 සහ 071 839 9769 යන දුරකථන අංකයන් අපතා ලබාගත හැකිය .
mirrorarts -
READ MORE - "80වෙ අපි" වෙතින් නාට්‍ය වැඩමුළුවක් ......

හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා


හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගොළු හදවත” සිනමා පටයේ සුගත් ගේ චරිතය රඟපෑමෙන් අතිශය ජනපි‍්‍රය වූ වික්‍රම බෝගොඩ පසුගියදා (14) සිය ජීවිතයෙන් ද සමුගත්තේය.
ඔහු ‘ගම්පෙරළිය’, ‘කලියුගය’, ‘යුගාන්තය’ යන තුන් ඈඳුතු චිත්‍රපටිවල තිස්ස කයිසාරුවත්ත නමැති චරිතයට බාල, තරුණ, මහලු යන අවස්ථාවලදී රංගනයෙන් දායකත්වය සැපයුවේය. ඊට අමතරව අහස් ගව්ව, ‘බිනරමලී’, කලණ මිතුරෝ ඇතුළු චිත්‍රපට 19 ක පමණ ද ‘නැට්ටුක්කාරී’, ‘තට්ටු ගෙවල්’, ‘හරිම බඩු හයක්’, ‘තුරග සන්නිය’, ‘වගුරු බිම’, ‘ජේලර් උන්නැහේ’, ‘කැලණි පාලම’ වැනි වේදිකා නාට්‍ය රාශියකට ද රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය.
’ගොළු හදවත’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී තරුණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් සුගත් (වික්‍රම බෝගොඩ) පාරක තොටක තනිව ඇවිද යන්නට නොහැකි තරමේ ජනපි‍්‍රයත්වයකට හිමිකම් පෑවේය.
’ගොළු හදවත’ තිරගත වී වසරක් වත් ගෙවී නැති එක් දිනක මම ඔහුගේ නිවෙසට ගියෙමි. ඔහු සතුව වී කොටන මෝලක් විය. ගමේ මිනිසුන් විසින් රැගෙන ආ වී, මෝලට දමා කොටමින් සිටී. එදින සේවකයෝ නිවාඩු ගොස් සිටියහ.
මම ඔහුගෙන් මෙසේ අසමි. “පාරට බහින්නත් බැරිව ඉන්න ජනපි‍්‍රයත්වයේ හිණි පෙත්තටම ගිය සුගත් මොකද මේ වී කොටන්නේ” සුගත් මගෙන් මෙසේ ඇසීය. “ඇයි මං වී කෙටුවොත් කෙටෙන් නැද්ද? මේක මගේ. සේවකයෝ නැහැයි කියලා මං මේක නොකර හිටියොත් මේ වී අරන් ඇවිල්ලා ඉන්න මිනිස්සු අතරමං වෙනවා. අපි කවුරුත් මිනිස්සුනෙ.” ඒ වික්‍රම බෝගොඩගේ හැටිය. ගමේ මිනිසුන් සමඟ එකතු වී කෘෂිකර්මය දියුණු කරන්නට අප්‍රමාණ වෙහෙසක් දැරූ වික්‍රම බෝගොඩ ලංකා බැංකුවේ ඉහළ නිලධාරියෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.
1972 වර්ෂයේ මා නිර්මාණය කළ “අන්තිම දා” කෙටි චිත්‍රපටයේ දේවිකා කරුණාරත්න සමඟ ප්‍රධාන චරිත නිරූපණය කළ වික්‍රම බෝගොඩ රූපගත කළ දිනයේ පෙරවරු 10.30 ට පසු දර්ශන තලයේ දකින්නට නොසිටියේය. කටුනායක ගුවන් තොටුපළේ ලංකා බැංකු ශාඛාවේ ප්‍රධානියා වූ ඔහු මධ්‍යහ්න 12.00 ට පෙර එහි සිටිය යුතු බව මා සමඟ කලින් පවසා තිබුණි. ඒ ප්‍රථම වරට ජම්බෝ ජෙට් ගුවන් යානය කටුනායකට සම්ප්‍රාප්ත වීමත් එහි පැමිණෙන මගීන්ගේ මුදල් කටයුතු පිළිබඳ වගකිව යුතු නිලධාරියා ඔහු වූ බැවිනි.
ඔහුගේ රූපගත කිරීම් සියල්ල අවසන් වී තිබුණි. එහි යාම සඳහා වාහන පහසුකම් මා සලසන බවට පොරොන්දු වී සිටිය ද මගේ කෙටි චිත්‍රපටයේ නිෂ්පාදන වියදම් ඒ වෙනුවෙන් වැය වනවාට ඔහු අකැමැත්තෙන් සිටියෙන් ඔහු තම වියදමින් කුලී රථයක් ගෙන්වා ගෙන පන්නිපිටියේ සිට කටුනායක දක්වා පිටත්ව ගිය බව මෙම කෙටි චිත්‍රපටයේ රඟපෑ සිරිල් වික්‍රමගේගෙන් දැන ගන්නට ලැබිණි.
මෙම “අන්තිම දා” කෙටි චිත්‍රපටය සඳහා 1972 වර්ෂයේ චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයෙන් හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. ඉන් පසු මා හමුවන්නට පැමිණි වික්‍රම බෝගොඩ “සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයාණෙනි, ඔබට මගේ උණුසුම් සුබ පැතුම්” කියමින් මා වැලඳ ගත්තේය. ඔහුගේ ගමන් වියදම් වෙනුවෙන් මුදල් ලබා දුන්නද ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. ඒ වික්‍රම බෝගොඩගේ හැටිය.
මගේ “සුහද ප්‍රාර්ථනා” ටෙලි නිර්මාණයට සහභාගී කරවා ගැනීම සඳහා වරක් මම ඔහු වෙත ගියෙමි. මගේ බලවත් පෙරැත්තය මත එහි රංගනය සඳහා ඔහු දායක වූ අතර එය ඔහුගේ අවසාන රංගනය වන බව මම ද දැන නොසිටියෙමි.
මාධ්‍යවේදීහු ඔහු ගැන ලියන්නට සහ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන්වලට සහභාගි කරවාගන්ට ඔහුව සම්බන්ධ කර දෙන ලෙස වරින්වර මාගෙන් ඉල්ලීම් කරති. මම ඔහුගේ නිවෙසට ගොස් ඒවාට සහභාගී වී මෙම සුන්දර කලා කෙතට නැවත අවතීර්ණ වන මෙන් බැගෑපත් ලෙස ආයාචනය කරමි.
”ඕන නැහැ මචං මම මැරුණු දවසක මං ගැන ලියන්න කියපන්. මේ හුදකලාව මට හොඳයි.”
ආදරණීය බෝගොඩ! ඔබට නිවන් සැප ලැබේවායි දැන්ම ප්‍රාර්ථනය කළ නොහැකිය. මතු භවයේත් අප අතර ඉපිද රංගන ශිල්පියකු ලෙස පෙර මෙන්ම අප හා එක් වන ලෙස මම ප්‍රාර්ථනය කරමි.
READ MORE - හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි


ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි

- කීර්ති පැස්කුවල්
අපේ සංගීත ක්ෂේත්‍රයේ ළයාන්විතයා වන කීර්ති පැස්කුවල් සිය උපන් දිනය යෙදෙන සෑම ජනවාරි 29 වැනිදාවකදී ම සංගීතයට සම්බන්ධ කිසියම් සමාජ සද්කාරයක නියැළෙයි. ලබන 29 වැනිදා ද සමාජ සද්කාරයක් ලෙස කීර්ති “නිල් ආකාසේ” නමින් ළමා ගීත ඇල්බමයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ නිමිත්තෙන් මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි ඔහුට ආරාධනා කරමු.
නිල් ආකාසේ සඳ පායලා
රන් තැටියක් වාගෙ දිලෙනවා

දිදි දිලි නිවෙනවා
නිවි නිවි දිලෙනවා
රන්තරු රෑ අහසෙ බැබලෙනවා...!

 
(පද - උපුල් පෙරේරා)
“මම මගේ හැම උපන් දිනයකදී ම සංගීතය හා සම්බන්ධව සමාජයට සද්කාරයක් කරනවා. උදාහරණයකට සුනාමිය සිදු වූ අවස්ථාවේ දී අවතැන් වූවන් වෙනුවෙන් ගීත ප්‍රසංගයක් පැවැත්වූවා හා සමානව. මෙවර අපේ ළමා පරපුර වෙනුවෙන් ළමා ගීත එකතුවක් කරන්න ඕනෑ කියා හිතුණා. ‘නිල් ආකාසේ’ නමින් ලබන වැනිදා සවස මගේ මේ ළමා ගීත ඇල්බමය කෝට්ටේ පාගොඩ පාරේ ආනන්ද බාලිකා මාවතේ පිහිටි ශ්‍රී වජිර ළමා නිවාසයේ දී මවුපියන් අහිමි දරුවන් එකසිය විස්සක් ඉදිරියේ දී එළිදක්වනවා.”
ඔබේ ළමා ගීත එකතුව සමාජ සද්කාරයක් වෙන්නේ කෙසේ ද...?
වර්තමාන ළමා පරපුරට අහන්න ගයන්න ඔවුන්ට දැනෙන සුදුසු ළමා ගීත නැහැ. අද ළමයින් අහන්නේ ගයන්නේ වැඩිහිටියන්ගේ ගීත. ඒ නිසා ළමා මනසට උචිත ගී සංකල්පනා මෙන්ම ඔවුන්ට ගයන්න පුළුවන් තනු නිර්මාණ සහිත ළමා ගීත ඔවුන් වෙනුවෙන් නිර්මාණය කර ඉදිරිපත් කිරීම සමාජ සද්කාරයක් කියා මං විශ්වාස කරනවා. මෙවැනි ළමා ගීත ඇල්බමයකින් ආර්ථික වාසි බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙත් අපේ ළමා පරපුර වෙනුවෙන් මෙවැනි නිර්මාණ කර දීම වැඩිහිටි අපගේ වගකීමයි. මා මගේ පළමු ගීත කැසට් පටයේත් ළමා ගීතයක් ඇතුළත් කළා. ඉන්පසු සමබරතාව රැක ගනිමින් මගේ හැම ගීත කැසට් පටයකදී ම ළමා ගීතයක් බැගින් ඇතුළත් කළා. අද ළමයින් වෙනුවෙන් ළමා ගී නිර්මාණ වීම අවම මට්ටමක පවතින නිසා ම මට හිතුණා මෙවැනි ගීත තැටියක් ම කළ යුතුයි කියලා. මෙහි මගෙන් ගායනය හා වාදනය හදාරන ළමා ගායක ගායිකාවන් සමඟ මා ගැයූ ළමා ගී දාහතක් ඇතුළත් වෙනවා.”
ඔබේ දියණියන් දෙදෙනා සමඟ ගයන ගීතයකුත් මේ ගීත එකතුවේ ඇතුළත් වෙනවා නේද...?
ඔව්. මගේ නටාලියා සහ චාරුණි දියණියන් සමඟ මා ගයන ‘දුවේ බලන්නකෝ’ ගීතයත් මෙහි ඇතුළත් වෙනවා. තරු මල් ඇතුළු පරිසරය, සෞන්දර්ය, මවුපිය සෙනෙහස තේමා කරගෙන ආදර්ශයක් පණිවිඩයක් ගෙන දීමට හැකි ලෙස තමයි සියලුම ගී නිර්මාණය කර තියෙන්නේ. බහ තෝරන වයස අවුරුදු තුනේ සිට නවය, දහය අතර ළමයින්ගේ රසවින්දනය පිණිස මෙම ගීත යොමු කිරීම වැදගත් සද්කාරයක් වේවි. ඉදිරියේදී මෙම ගීත සඳහා රූප රචනා කර ඩී වී ඩී එළිදැක්වීමටත් මම බලාපොරොත්තු වෙනවා. මොකද කලකට ඉහත මා කාටූන් සහිතව ඉදිරිපත් කළ පැරැණි ළමා ගී එකතුව සාර්ථක වූ නිසා මෙම ගීතත් රූප රචනා සමඟ ඉදිරිපත් කළොත් ළමයින් අතර වැඩි භාවිතයක් වෙයි.
ඔබේ උපන් දිනය දා තවත් සමාජ සද්කාරයක් සිදු කෙරෙනවා නේද...?
හැම වසරකම මා නිකුත් කරන ‘ඉධදඪජ දුරකථන නාමාවලිය’ ඇතුළත් දිනපොතත් එදින ශ්‍රී වජිර ළමා නිවෙසේදී ම එළිදක්වනවා. අපේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත අධ්‍යක්ෂ, වාදන, ගායන, ගී පද රචක, ශබ්ද පරිපාලන, නිවේදන, ගුවන් විදුලි, රූපවාහිනී වැනි විද්‍යුත් මාධ්‍ය ආදි සියලුම අංශ නියෝජනය වන පරිදි සහෘද කලාකරුවන් සහ කලාකාරිනියන්ගේ දුරකථන අංක මෙම පොතට ඇතුළත් කර තිබෙන හෙයින් බොහෝ පිරිසකට මෙය ප්‍රයෝජනවත් වී ඇති බව අහන්න ලැබෙනවා. ඒ පිළිබඳ මා නිහතමානීව සතුටු වෙනවා. මා පෝෂණය කරන කලා ක්ෂේත්‍රයට මගෙන් සිදු කෙරෙන ඉතාම සුළු මෙහෙවරක් ලෙස මෙම දුරකථන නාමාවලිය හා දිනපොත නිකුත් කිරීම මම ඉතා කැමැත්තෙන් හා කැපවීමෙන් දිගට ම කරගෙන යනවා.
ඔබ අවුරුදු හතරක් ම විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ‘ඩ්‍රීම් ස්ටාර්’ වැඩ සටහන ගැනත් කතා කරමු.
අවුරුදු හතරක් ම එක දිගට ම ලංකාවේ මෙවැනි රියැලිටි වැඩ සටහනක විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇත්තේ මා පමණක් ම විය යුතුයි. ‘ඩ්‍රීම් ස්ටාර්ස්’ වැඩ සටහන ඊට සහභාගි වූ නවක ගායක ගායිකාවන් සමඟ ඔවුන්ගේ සිනා කඳුළු අතරමැද සංවේදී වූත් ආස්වාදනීය වූත් වැඩ සටහනක් වූ බවයි මගේ හැඟීම. ඒ වගේ ම මෙමඟින් නව පරපුරට තමන්ගේ හැකියාව උරගා බලන්න අවස්ථා ලැබීම මම අගය කරනවා.
වත්මන් සංගීත ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඔබ දකින්නේ කොහොම ද?
අද නව ආරක ගීත රැල්ලක් මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. එමෙන්ම ආදායම අධික නිසා ඇතැම් පිරිස් එවැනි ගී නිර්මාණය කරනවා. විශේෂයෙන් මෙම රැල්ලේ ගීත ‘රිංගින් ටෝන්ස්’ සමඟ සීමා සහිත කාලයක් පවතිනවා. ඉන්පසු නෑසී යනවා. හොර ගී තැටි වෙළෙදුන් නිසා නිෂ්පාදකයින් ගී තැටි නිෂ්පාදන නවත්තලා. නිසි ක්‍රමවේදයක් නැති නිසා හොර ගී තැටි වෙළෙඳුන් මෙල්ල කරන්න බැරිවෙලා තියෙනවා තවමත්. ඒත් කලාකරුවෙකු ලෙස මා යම් තාක් දුරට කරගෙන යනවා මගේ ගී නිර්මාණ කටයුතු දිගට ම. රස තියෙන දේ රසික රසිකාවියන් කොහේ තිබුණත් සොයා තෝරා බේරා ගන්නවා කියා මම විශ්වාස කරනවා. ඒ නිසා මොන බාධක ආවත් මගේ නිර්මාණ කටයුතු නොකඩවා ම කරගෙන යන්න මං තීරණය කරගෙන ඉන්නවා.
ඔබේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයට මොකද වුණේ...?
දැන් දෙවරක්ම මගේ ප්‍රසංගය කල් දාන්න වුණා. එයට විශේෂ හේතුවකුත් තියෙනවා. ඒ - මගේ රුචිකත්වය පිළිබඳ හේතුවක්. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මගේ ප්‍රසංගය පවත්වන්න තමයි මගේ වැඩි රුචිකත්වය තියෙන්නේ. මට හුරු පුරුදු බවක් දැනෙනවා එහි ප්‍රසංගයක් පවත්වද්දී. ඉතින් එහි අලුත්වැඩියා කටයුතු කරගෙන යාම නිසා තමයි මගේ ප්‍රසංගය කල් දාන්න වුණේ. ඒත් මේ අවුරුද්දේ අවසානයට පෙර මගේ ගීත ප්‍රසංගය මම පවත්වනවා. එදාට මගේ අලුත්ම ගීත තැටියක් එළිදක්වනවා. දැනට එහි ගීත අටක නිර්මාණ කටයුතු කරගෙන යනවා. ඉන් ‘රෑ අහස පුරා’ (පාතිමා) සහ ‘පිබිදෙන්න වෙර දරන තාරකා’ යන ගීත දෙක මේ දිනවල විද්‍යුත් මාධ්‍යවලට ප්‍රචාරක කටයුතු කිරීම පිණිස බාර දී තිබෙනවා.
READ MORE - ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි