----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

* ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත්

Tuesday, August 19, 2014

විනූ සිරිවර්ධන “ඇහැළේපොළ කුමාරිහාමි” අත්දැකීම් සමඟ...
අවසානයේදී පුස්වැල්ල කුමාරිහාමිගේ දියණිය ද ඇහැළේපොළ කුමාරිහාමි සමඟ දියේ ගිල්වා මරා දැමීමට තීන්දුව ලැබිණ. සුරුපී බවින් අග තැන්පත් ඈ විවාහ වන්නට සිටියේ මාම්පිටිය කුමාරයා සමඟිනි. මෙරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම මිනිස් ඝාතනයේ කොටස්කාරියක වන්නට ඇයට සිදු විය.
ඇහැළේපොළ කුමාරිහාමි සිනමා සිතුවම නැරැඹූ ඔබට පුස්වැල්ල කුමාරිහාමිගේ දියණියව හොඳ හැටි මතක ඇත. ඒ කවුරුන්දැයි මම ඔබෙන් විමසමි.
ආ . . . ඒ තරුමලීනේ. එයා තමයි පුස්වැල්ල කුමාරිහාමිගේ දුව විදිහට රඟපාන්නේ.
ඒ ඔබ ඇයව හඳුනන ආකාරයයි. තරුමලී විලස ජනප්‍රියත්වය හිමි කර ගත් මේ තාරකාව විනු සිරිවර්ධන නම් වන්නීය. ඇහැළේපොළ කුමාරිහාමි ඇගේ රිදී තිරයට පිවිසීමේ මුවදොර විය.
* විනූ මම කියු දේ හරි නේද?
ඔව්. ඇහැළේපොළ කුමාරිහාමි තමයි මගේ පළමු චිත්‍රපට රංගනය.
* හා හාපුරා කියා සිනමාවට පිවිසියේ ඓතිහාසික චිත්‍රපටයකින්. මොකද හිතෙන්නේ?
මම හිතන්නේ මේක රංගන ශිල්පිනියකට ලැබෙන ඉතාම විරල අවස්ථාවක්. මට එවන් චරිතයක් රඟපාන්න ලැබුණ නේද කියලා හිතත්දිත් පුදුමාකාර සතුටක් දැණෙනවා. අනික එයා ලංකාවේ ඇත්තටම ජීවත් වූ තැනැත්තියක්නේ. ඒක හින්දා ඒ කාලේ විදිහට දෙබස් උච්ඡාරණය කරන්න සිදු වුණා. මේ මොහොතේ මම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතාට ස්තුති වෙනවා මෙවන් වූ චරිතයකට මට ආරාධනා කිරීම පිළිබඳ.
* මෙහි විනූගේ රංගනය හරිම දුර්වලයි කියලා චිත්‍රපටය නරඹපු කිහිප දෙනෙක් මා සමඟ කිව්වා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?
ඇත්තටම මිනිස්සු එහෙම කිව්වද?
* ඔව්.
ඒත් මගේත් එක්ක කවුරුවත් ඔය විදිහෙ කතාවක් කියලා නැහැනේ.
* සමහර විට විනූ තරහා වෙයි කියලා ඔබේ හොඳ විතරක් ඇතැම් අය මූණට කියනවා ඇති?
හරි. මම අර කතාවට මෙහෙම උත්තරයක් දෙන්නම්කො. මේ චරිතය මට සුදුසු නිසානේ අධ්‍යක්ෂවරයා මට කතා කළේ. මම ඊට හැකි අයුරින් උපරිමයෙන් සාධාරණය ඉෂ්ට කළා. මගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මෙය මගේ පළමු චිත්‍රපට රංගයනේ. ඊළඟ චිත්‍රපටයේ මම මීට වඩා හොඳින් රඟපාවි.
* ඇහැළේපොල කුමාරිහාමිහි මාම්පිටිය කුමාරයා ලෙස රඟපෑ අරවින්ද දොඹගහවත්ත සහ ඔබ අතර ඇත්තටම ආදර සම්බන්ධයක් තියෙනවා කියලා කට කතාවක් තියෙනවා?
මොනවා . . . කවුද අප්පේ ඔය වගේ කතා හදන්නේ. මට නම් හරි හිනා.
* සතුටට ද හිනා වෙන්නේ?
අපෝ නැහැ. ඒ වගේ විහිළු කතාවකට හිනා නොවී කොහොමද?
* අරවින්ද ඔබේ පෞද්ගලික මිත්‍රයෙක්ද?
නැහැ. අපි හඳුනගත්තේ ඇහැළේපොළ චිත්‍රපටයෙහි දර්ශන තලයට ආවට පස්සේ.
* ඔබ වරෙක මාධ්‍යයන්ට පවසලා තිබුණා බඳින්න ඉන්න කෙනා විදෙස් ගත වෙලා ඉන්නවා කියලා. අරවින්දත් කාලයක් විදෙස් ගත වෙල හිටියා?
ඔහු එහෙම රට හිටියද කියන්න මම දන්නේ නැහැ. විදෙස් ගත වෙලා ඉන්න කෙනෙකුගෙන් මට විවාහ යෝජනාවක් ආවා තමයි. හැබැයි තවම ඒක ස්ථිර නැහැ.
* ඒත් ඔබ පුන පුනා කියා සිටියා නේද ඔබේ පෙම්වතා විදෙස් ගත වෙලා ඉන්න කෙනෙක් කියලා?
දැනට ඒක ස්ථිර නැහැ. ඒ ගැන වැඩිදුර විස්තර දැනට කියන්න අපහසුයි.
* ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත් මොනවද කරන්නේ?
ඒ කතාව ගැන හොයලා බලනවා.
* ඔබ පිළිබඳ මට ලැබුණු නරක ආරංචියක් කියන්නද බලන්න?
හා.
* විනූට හරියට මුල අමතක වෙනවලු?
මම ආසයි ඒ වගේ දේවල් මගේ මුහුණට අහනවා නම්.
* ඒ කිව්වේ?
මට මුල අමතක නැහැ කියලා මම දන්නවා. ඒ හින්දා ඔය වගේ කතා හදන අයටයි මම මේ කියන්නේ. තැන් තැන්වල ඔය වගේ කතා පතුරන්නේ නැතුව කෙළින්ම මගෙන් අහන්න. මම ඒවාට නියමෙට පිළිතුරු දෙන්නම්.
* ඔබ මේ දවස්වල ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඉගෙන ගන්නවා. ඒ ගැනත් කියමු?
මම ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා.
* එහි අවසාන අරමුණ මාධ්‍ය ආයතනයක් හා සම්බන්ධ වීමද?
ඔව්.
* එතකොට රංගනය?
ජනමාධ්‍ය කියන්නේ කලාවේම කොටසක්නේ. ඒක කරන ගමන් මේකත් කරනවා.
* තරුමලී නිසා ඔබේ ඇත්ත නම දැන් බෙහෙවින් යටපත් වෙලා?
කමක් නැහැ. අමතක වෙලා ගියාදෙන්. තරුමලී කියන නම හොඳයි. අපේ පන්තියේ දේශන සඳහා එඩ්වින් ආරියදාස මහත්මයා ආව පළමු දවසේ මාව දැකලා ‘ආ . . . මේ අපේ තරුමලිත් පන්තියේ ඉන්නවනේ’ කියලයි දේශනය ආරම්භ කළේ.
* විනූගේ ඉදිරි නිර්මාණ මොනවද තියෙන්නේ?
නාට්‍ය තුනක් විකාශය වෙන්නට නියමිතයි. ඒවා එනකම් මමත් බලාගෙන ඉන්නවා.
* විනූ, අපි ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ ඔබ අසීරුවෙන්ම රඟපෑ දර්ශනය ගැන කතා කරමින් මේ සංවාදය අවසන් කරමු?
දියේ ගිල්වා මරණ දර්ශනයට මම හරිම බයෙන් මුහුණ දුන්නේ. දඹුල්ල පැත්තේ වැවක තමයි ෂූටිං තිබුණේ. අධ්‍යක්ෂවරයා දහයේ ඉඳලා එකට ගැන්නා. එක කියද්දී වධකයා මාව වැවට දැම්මා. අත් දෙකම ගැට ගහලයි තිබුණේ. ඇත්තටම එදා මට මරණ බය දැනුණා.
READ MORE - * ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත්

මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ

මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ

http://www.rivira.lk/
පුංචි තිරයෙන් නිතරම දකින රුවක් නොවුණත් අනුරුද්ධිකා පාදුක්කගේ කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක්. කලකට පසුව ඇයව ‘රිවිසරසි’ කතාබහකට එකතු කරගන්න අපි කල්පනා කළා.
අනුරුද්ධිකා මේ දවස්වල නිදහසේ කාලය ගතකරනවාද?
දරුවගේ වැඩකටයුතු එක්ක නිදහසේ කාලය ගත කරන්න නම් වේලාවක් නැහැ. පුතාගේ වයස දැන් අවුරුදු දෙකයි මාස හතයි. එයාගේ නම පෘථිවි. දැන් දඟයි. දරුවා ලැබුණට පස්සේ වැඩිපුරම එයා එක්ක කාලය ගතකරනවා.

අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ අතරින් සන්තුස ලියනගේ ගේ ටෙලි චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. තාත්තා සහ පුනරාගමනය කියන නිර්මාණ දෙකට. ඒ නිර්මාණ දෙකේම ලස්සන කතා තේමාවක් තියෙනවා. නිර්මාණාත්මකයි. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. තෝරා බේරාගෙන ඒවාටත් සම්බන්ධ වෙනවා.

නිතරම නොදකින්න හේතුව විවාහය කියන සංකීර්ණ බැඳීමේ සීමා මායිම් ද?
අනේ නැහැ. මගේ හස්බන්ඩ් නාලක විජේවර්ධන ශ්‍රීපාලි විශ්ව විද්‍යාලයේ මාධ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයෙක්. මගේ මහත්තයා මට නීතිරීති දාන්නේ නැහැ. ඉස්සර ඉඳලම මම සම්බන්ධ වුණේ ගුණාත්මක නිර්මණවලට විතරයි. මට හුඟක් ඇරයුම් එන්නේ හොඳ නිර්මාණවලට. ඒ නිසා ඒ වගේ ගැටලු තවම මතුවෙලා නම් නැහැ.

රූපවාහිනී තිරයේ නිතරම නොදැකීම ජනප්‍රියත්වය අඩුවෙන්න හේතුවක් කියලා හිතෙන්නේ නැද්ද?
නිතරම නොදැක්කොත් ජනප්‍රියත්වයේ අඩුවීමක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. අවුරුදු පහකට වතාවක් හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණත් ඇති. ඒ චරිතය හා නිර්මාණය මිනිසුන්ගේ හදවතට දැනෙනවා නම් රඟපෑවත් නැතත් මිනිස්සුන්ට නම කිව්ව ගමන් මතක් වෙනවා මේ අහවලා කියලා. එහෙම නිර්මාණ එකකට දෙකකට සම්බන්ධ වුණ අදටත් ජනප්‍රිය ප්‍රවීණ කලාකරුවෝ ඕනතරම් ඉන්නවා. ඒ නිසා මට ඒක ගැටලුවක් නැහැ. මාව ප්‍රේක්ෂකයින්ට අමතකයි කියලා මම හිතන්නෙත් නැහැ.

වේදිකා නාට්‍ය රඟපෑමෙන් ඈත්වෙලාද ඉන්නේ?
ඈත්වෙලා නම් නැහැ. ඒත් ලොකු කාලයක් ඒ සඳහා වැය කරන්න ඕන. හොඳ නිර්මාණයක් නම් කාලය කැප කරන්න බැරිකමකුත් නැහැ. ඒත් දැනට වේදිකාවෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ දරුවගේ වැඩ නිසයි.

අනුරුද්ධිකා පාදුක්කගේ මෙගා නාට්‍ය විරෝධියෙක් ද?
විරෝධයක් නැහැ. ඒත් මම අද වනතුරුම මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ. මෙගා කියන්නේ වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය වන ඒවා. මම මුදල් මත යැපෙන නිළියක් නමෛයි. මම වටිනාකම හා මගේ කාලය දෙන්නේ ගුණාත්මක නිර්මාණවලට විතරයි.

අනුරුද්ධිකාට චෝදනාවක් තියෙනවා සම්මාන බලා‍පොරොත්තුවෙන් රඟන නිළියක් කියලා. ඒක ඇත්තක්ද?
මම නම් සම්මාන බලාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔය චෝදනාව මට අදාළ නැහැ. නමුත් මම සම්බන්ධ වුණ බොහෝ නිර්මාණ සම්මාන සඳහා නිර්දේශ වුණා. සමහරක් ඒවාට සම්මාන ලැබුණා. මට ඒ ගැන සතුටුයි. සම්මානය ලැබුණත් නැතත් නිර්දේශ වීමම වටිනවා.

විකාශය වීමට නියමිත නිර්මාණ හුඟක් තියෙනවා නේද?
චිත්‍රපට කිහිපයක් තියෙනවා. තේජා, කරදිය, අපරාධය හා දඬුවම නවකතාවේ අනුවර්තනයක්, ඩස්ට්, මායා කියන නිර්මාණවලින් ඉදිරියේ දී දකින්න පුළුවන්.

අනුරුද්ධිකා රඟපෑමෙන් ඉවත් වෙනවා කියලා රාවයක් පැතිරෙනවා?
මට කරන්න පුළුවන් හොඳම රැකියාව රඟපෑම. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම රඟපෑමෙන් දැන්ම ඉවත් වෙන්නේ නැහැ. ඉස්සර වගේම අදටත් රඟපාන්න මම ආසයි.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - චමිල කරුණාරත්න
http://www.rivira.lk/online/images/2014/08/17/anuruddhika%20padukkage%202.jpg
http://www.rivira.lk/online/images/2014/08/17/anuruddhika%20padukkage%203.jpg
http://www.rivira.lk/online/images/2014/08/17/anuruddhika%20padukkage%204.jpg
http://www.rivira.lk/online/images/2014/08/17/anuruddhika%20padukkage%205.jpg
READ MORE - මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ

තව නූලෙන් ජීවිතය ඉවරයි

Monday, August 18, 2014


අයිරින් ලියනගේ ගේ රස මතක අහුර
සත්සරණී 17 වැනිදා ටවර් රඟහලේදී
අයිරින් ලියනගේ මියුරු ස්වරයෙන් ගැයෙන “සත්සරණී” සංගීත ප්‍රසංගය මේ මස 17 වැනිදා පස්වරු 6.00ට මරදාන ටවර් රඟහලේදී පැවැත් වෙනවා. ඒ පැවැත්වෙන්නේ අයිරින්ගේ කලා දිවියේ වසර පනස් පහක කලා සමරමින්. රංජිත් ඩයස් ප්‍රමුඛ මවුන්ට් චයිම්ස් වාදක මඩුල්ල සංගීතය සපයන මේ සුන්දර අවස්ථාවට ඈ ඇගේ ගීත වගේම නිළි රැජින රුක්මණී දේවියගේ, ගීත කෝකිලාවිය ලතා වල්පොලගේ වගේම සුජාතා අත්තනායකගේත් ගීත ගයන්න සිතාගෙනයි ඉන්නේ.
ඉෂාක් බෙග්, සූරිය කුමාර මුත්තලගේ, වජිර එදිරිමාන්ත, චානක ඉලුක් කුඹුර, පුෂ්පකුමාර කියන පිරිස ඇය සමඟ සම්බන්ධ වෙන්නේ යුග ගායනයෙන්. වසර හතරහමාරකට ඉහත ඇගේ සැමියා සුදත් ජයසූරිය කරන්න සිටිය මේ ප්‍රසංගය කල් ගියේ ඔහුගේ අභාවය නිසා. ඊට පස්සේ එහෙම ප්‍රසංගයක් කරන්න අයිරින්ගේ සිතේ බලාපොරොත්තුවක් නැතිවුණත් ඒකට ඈව උනන්දු කළේ ඇගේ රසිකයෝ. රසිකයන්ගේ ආරාධනාවෙන් පැවැත්වෙන මේ සංගීත ප්‍රසංගයේ කථනය රංජිත් එදිරිසිංහගෙන්. වේදිකාව සුන්දර කරන නර්තනය අමාලි විත් සුපර් ස්ටාර් ඩාන්සින් කණ්ඩායමෙන්.
අයිරින් ගායනයට පිවිසියේ සත් හැවිරිදි වියේ. ඒ ගුවන් විදුලියෙන්. ඇගේම කියලා ගීත කිහිපයක් තිබුණත්, ඈ වැඩිපුරම ගැයුවේ රුක්මනී දේවිගේ, ලතා වල්පොලගේ ගීතයි. ප්‍රසංගවලට ගියාට පස්සේ රසිකයන්ගෙන් ඇයට ආරාධනා ලැබුණේ ඒ ගීත ගයන්නයි. කොහොම වුණත් ඊට පස්සේ අයට අපූරු නමක් පට බැඳුනා. ඒ පුංචි රුක්මනී. හැමෝම ඈව ඇමතුවේ අයිරින් කියලා නොවෙයි, පුංචි රුක්මනී කියලා. මේ පුංචි රුක්මනීගේ ගෙවී ගිය කලා ගමන් මගේ සිදුවුණු සිදුවීම් ඇය අප සමඟ පැවසුවේ ඒ අතීතය සොයා යමින්.
මේක සිද්ධ වුණේ යුද්ධය තිබෙන කාලේ. එදා සංගීත ප්‍රසංගය තිබුණේ අනුරාධපුරයේ. අයිරින්ටත් ඒකට ආරාධනා කරලා තිබුණා. හැමෝම ගියේ බස් එකේ. මාලිගාවත්තෙන් ලතා අක්කව ගත්ත පිරිස ඊළඟට ගත්තේ බර්ටි අයියව. උදෑසන කොළඹින් පිටත් වුණු බස් රථය කරදරයක් නැතිව අනුරාධපුරයට ළඟා වුණේ සවස් යාමයේ. ඒත් අනුරාධපුරයේ කලබලයක්.
“මෙතනින්” එහාට යන්න දෙන්න බෑ”අයිරින්ලාගේ වාහනය නතර කළේ පොලිස් නිලධාරියෙක්. බිමට බැස්ස බර්ටි අයියා පොලිසියේ රාළහාමිට අනුරාධපුරයට ආව කාරණය කිව්වේ මේ අතරදි.
“මම නම් හිතන්නේ නෑ අද ප්‍රසංගය තියෙනවා කියලා”
පොලිස් නිලධාරියා කිව්වේ බස් රථයේ හිටිය ලතා අක්කා ඇතුළු හැමෝමත් එක්ක සිනහවෙන ගමන්. අනුරාධපුර නගරයට පිවිසෙන්න ගත්ත වරමත් එක්ක අපි මුළින්ම ගියේ නවාතැනට. ඊට පස්සේ මේ ඛේදවාචකය සිද්ධ වුණු ෂෙඩ් එක ළඟට.
“ෂෙඩ් එකේ තෙල් බවුසරයක් පුපුරවලා”
බර්ටි අයියා, කිව්වේ බොහොම දුකෙන්. ෂෙඩ් එක ළඟ සිටිය බොහෝදෙනා ඒ වනවිටත් දරකොට වගේ. ඒක නම් පුදුම ඛේදවාචකයක්. හැමෝගේම සිතේ තිබුණේ ඒ වගේ අදහසක්. ඔවුන් සියලු දෙනාම කොළඹ එන්නට පිටත් වුණේ ඊට පසුවදා.
එදා අපි ගියේ ගම්පොළ සංගීත ප්‍රසංගයකට. රථයේ හිටියේ අයිරින් වගේම සුදත්. වාහනය පැදෙව්වේ අයිරින්ගේ සහෝදරියගේ පුතා. ප්‍රසංගය අවසාන වනවිට උදෑසන දෙක විතර වෙලා. තුන්දෙනත් එක්කම වාහනයට නැග්ගේ කොළඹ එන්න සිතාගෙන. පේරාදෙණියට ආව විතරයි. එකපාරටම අයිරින්ලගේ වාහනේ හැප්පුවේ සීනි ලොරියක්. වාහනේ කුඩේ කුඩු. අවට පිරිස රැස්වෙලා අයිරින්ව එළියට ගන්නවා විතරක් අයිරින්ට මතක. දවස් හතකට පස්සේ ඈට සිහිය එනවිට ඈ සිටියේ රෝහලේ වාට්ටුවේ ඇඳක් උඩ. ඒ වනවිට සිද්ධ වෙන්න ඕන දේවල් ඔක්කොම සිද්ධ වෙලා. සහෝදරියගේ පුතාගේ මෘත ශරීරය කොළඹට යවලා. සුදත්වත්, අයිරින්වත් නවලෝකයට මාරු කළා. අයිරින්ගේ කකුල කැඩිලා. ඒ අතරතුරෙන් කාලයක් අයිරින් සිටියේ එක්තැන් වෙලා.
අනතුර වනවිටත් අයිරින් සිටියේ විදේශ සංගීත ප්‍රසංගයකට දින දීලා. කොහොම වුණත් කමක් නෑ කියලා ඈ ඩුබායිවල මේ ප්‍රසංගයට ගියේ රෝද පුටුවේ ඉඳන්. ඒ ප්‍රසංගයට ඉෂාන් බෙග් වගේම අනිල් භාරතීත් සිටිය වග ඈට අදටත් මතකයි. ප්‍රසංගය කළේ මාලනී,ෂෙරීන් කියන දෙන්නා. ඔවුන් අයිරින්ව ඒ කාලයේ බලාගත්තේ බොහොම ආදරයෙන්. ප්‍රසංගයකට සහභාගීවුණාට
පස්සේ අයිරින්ව ඔවුන්ගේ නවාතැනට අරගෙන ආවා. තට්ටු ගණනක් උස තට්ටු නිවාසයක ඉහළම ඉන්න විට අයිරින්ට දැනුණේ බියක්. අනිල් භාරතී හොඳටම නිදි. ඈ අනිල් භාරතීට කතා කළා.
“අනේ අයියේ මට හරි බයයි. සාලයට එන්නකෝ”
නිදිමරගාතේ සිටිය අනිල් භාරතී සාලයේ සෙටියේ ඉඳ ගත්තා. ටික වෙලාවයි ගියේ මෙන්න ඔහු ගොරව ගොරව නිදි. අනේ ඉතිං මොනව කරන්නද? කකුල් දෙක කැඩුණාට පස්සෙයි අයිරින්ට ඒකේ අගේ කොයිතරම්ද කියලා සිතුණේ.
මේ සිද්ධිය වුණේ අයිරින්ට අවුරුදු දොළහක් තරම් වයසේදී. එදා ඔවුන් ගියේ පමුණුගමට. එහේ සිටිය ආරච්චි කෙනෙකුගේ දුවකගේ මංගල සාදයකට. කොළොම් පුරවරයෙන් බොහෝ දුරක තිබුණු මේ සාදයට බොහෝ දෙනෙකුට ආරාධනා ලැබිලා තිබුණා. පමුණුගමට යන්න තිබුණේ වංගු රැසකින් හැරිලා.
“අයිරින් සිංදුවක් කියන්නකෝ”
අනෙක් ශිල්පීන්ගෙන් ලැබුණු ආරාධනයෙන් පුංචි අයිරින් තැනට ඔබින විදියට ගීතයක් ගැයුවා. ඒ “ජීවන මේ ගමන සංසාරේ....” කියන ගීතය. වංගුවකින් හැරෙන විටම රථයේ රියැදුරා “සැඩ සුළං” චිත්‍රපටයේ වගේ හෝන් එක තුන්වරක් ශබ්ද කරන්නේ හැමෝගෙම සිනාහඬ අතරෙන්. වැඩි වේලාවක් ගියේ නැහැ. රථය ඉදිරියට පැන්නේ කුකුළු නාම්බෙක්.
“ඉක්මනට යන්, මේක පිට ගමක්”
රථය එකපාරටම කුකුළු නාම්බගේ ඇඟ උඩින් ගියා කියලා සිතුව හැමෝම රියැදුරාට කෑගැසුවේ ඉක්මනින්. රියැදුරාත් අතෑරියේ නැහැ. හැටට හැටේ පෑගුවා. එකපාරටම ඔක්කොම එකම ගොඩකට වැටුණේ රියැදුරා ගැහුව බ්‍රේක් පාරෙන්.
“මොකක්ද ඒ කළේ?”
හැමෝම ඇසුවේ එකපාරට තරහෙන්. රථයෙන් බැහැලා බැලුවමයි වැටහුණේ.
“වාහනය තව චුට්ටෙන් මුහුදේ”
හැමෝගෙම කසු කුසුව නැවතුණේ දෙවියන්ට පිං දෙමින්. ඊළඟටයි ඔවුන්ට රියැදුරාව මතක් වුණේ. තිබුණු කලබලයට වාහනය පැදවූවත් ඒ පදවලා තිබුණේ ඔවුන් යා යුතු පාරේ නොවෙයි. එතැනින් එහා තිබුණේ ප්‍රපාතයක්. රියැදුරාගේ බ්‍රේක්පාර නිසා හොඳට ගියා.
මේ සංගීත ප්‍රසංගය තිබුණේ සාජාවල. ප්‍රසංගය අවසාන වෙලා අපි හැමෝම සාප්පු සවාරි ගියා. කීර්ති පැස්කුවල්, වෝල්ටර් ප්‍රනාන්දු , බේබි ශානිකා, පුන්සිරි සොයිසා, ඒ සවාරියේ සාමාජිකයෝ. සාප්පු ගණනකට ගිහින් අවසානයේ අයිරින්ගේ හිත තැවතුණ සාප්පුවෙන් බඩු ගත්තා. අනික් පිරිස සිටියේ සාප්පුවේ එළියේ. සාප්පු සවාරිය අවසාන කරන්න සිතාගෙන අයිරින් සාප්පුවෙන් එළියට ආවා.
“අක්කේ අර උඩ බලන්නකෝ”
හැමෝම කිව්වේ එකපාරටම.
“ උඩ බලනවද නැද්ද”
අයිරින් සිටියේ මොකද කරන්නේ කියන අවිනිශ්චිත බවෙන්. “කමක් නෑ” කියලා අයිරින් උඩ බැලුවේ ඒත් එකකම වගේ.
“බුදු අම්මෝ, සර්පයෝ”
ඈ කෑගහගෙනම එළියට පැන්නා.
“අක්කේ පනින්න එපා”
සාප්පු සවාරි සාමාජිකයෝ කෑ ගැසුවා. එවිටමත් ඈ එළියට පැනලා අවසන්.
“තව චුට්ටෙන් ලංකාවට ගේන්න වෙන්නේ අයිරින්ගේ බොඩි එක තමයි.”
වෝල්ටර් කිව්වේ බය බිරන්ත වෙලා ඉන්න අයිරින් දැක්කට පස්සේ. සාප්පුව අසලින්ම තමයි වාහන ගමන් කරමින් තිබුණේ. ඔළුව උඩින් සිටිය සර්පයෝ තොගය දැක්කම අයිරින්ට උන්හිටි තැන් අමතක වුණේ ඉබේටම. කිසිම දෙයක් ගැන සිතුවේ නැති ඈ සිටිය තැනෙන් ඉවතට පැන්නා. කොහොමත් අයිරින්ට කැරපොත්තෝ, හූනෝ,වගේම සර්පයෝත් පේන්න බැහැ. ඇගේ සිතේ උන්ට තිබුණේ පුදුම බයක්. බය කරන්න සිතාගෙන කළ ඒ විහිළුව නිසා ඇගේ ජීවිතය බේරුණේ අනූනවයෙන්. ජීවිතයට අමතක නොවන ඒ සිදුවීම අයිරින්ට අපූරු පාඩමක්.
“මේ ප්‍රසංගය බලන්න ඇවිත් ගීත අහලා රස විඳින්න.”
අතීත කතාබහ නතර කරලා ඈ ඈට ආදරය කරන රසිකයන්ට ආරාධනා කළා. ඒත් එක්කම ඈ මතකයට නැගුවේ තමන්ගේ දයාබර සැමියාව.
“ඔහු සිටියනම් ප්‍රසංගය දවසට කොයි තරම් සතුටු වේවිද?”
ඈ අවසානයට කිව්වේ කඳුළු පොකුරක් නෙත් අතර හිරකරගෙන.
READ MORE - තව නූලෙන් ජීවිතය ඉවරයි

‘තිගේ පතිවෘතාව ආරක්ෂා කර ගන්නට සිතීමෙන් දැන් පලක් නැහැ’


සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ ගෙන එන කතාව අවසාන කොටස
කුමාරිහාමි හාන්සි පුටුවේ වාඩි වී සිටිය ද සිත තිබුණේ බොහෝ දුරකය. සිය හිමි පහතරටට වී කුමක් කරන්නේදැයි යන්න ඇයට ගැටලුවකි. ඔහු තමා හා දරුවන් බේරා ගන්නා බවට යම් විශ්වාසයක් සිතෙහි පැලපදියම් වී තිබුණ ද ඒ විශ්වාසය දිගින් දිගටම අහිමි වී යන බවක් හැඟේ. ඒ ගිනි පුලිඟකට හසු වූ වෙඬරු පිඬක් සේය.
‘නුඹේ මිනිහ සුදු ස්තිරියාවක් එක්ක නිදි වැද්ද මිනිහෙක්’
මොල්ලිගොඩගේ උස් ස්වරය යළි යළිත් ප්‍රතිරාවය වූයේ ඇයටත් නොදැනීමය. අවිශ්වාසය නමැති නාගයා සිතට පිවිස දරණ ගසා ගෙන පෙන ගොබය පුම්බා ගත්තේය. එහෙත් ඇසිල්ලකින් ඒ සිතුවිල්ලට ඉඩ නොදුන් කුමාරිහාමිගේ සිතට තවත් සිතුවිල්ලක් ගලා ආවේ ඉබේමය. එක් සිතුවිල්ලක් අරභයා නැඟෙන අනෙක් සිතුවිල්ලකට සිය සිත යොමා සිටි ඇයට බාධා කරන්නට කිසිවෙකුත් නොවීය. ඒ නිසා ඈ සිත මිස කය නැති බඹලොවකට පිවිසියෙකු සේ එහි සිතූ ලෙස සැරිසැරුවේ තම සිතැඟි පරිදිය.
ඩාං . . ඩාං . . . ඩාං
ඊට වැඩි ඉඩක් නොතබාම ඇසුණු බෙර හඬ කුමාරිහාමිව පියවි ලොවට රැගෙන ආවාය. අවසිහියෙන් මෙන් ඈ ඉදිරිපස බැලුවේ තමාට නුදුරින් ඇසෙන බෙර හඬ කුමක්දැයි යන්න තේරුම් ගැනීමටය. බෙරකරු සමඟ පිවිසෙන රාජ පුරුෂයෝ පැමිණෙන්නේ වළව්වට බව දැන් ඇයට සක්සුදක් සේ පැහැදිලිය. කුමාරිහාමි පුස්සැල්ලේ කුමාරිහාමි දෙස බැලුවේ මේ සිදු වන්නේ කුමක්දැයි විමසන්නාක් මෙනි. ඔවුන් ඉදිරිපසට පැමිණි කටුපුල්ලේවරයෙක් සංදේශයක් දිගහැර හඩ නඟා කියවන්නට වූයෙන් ඈ ඒ අසා සිටියේ සිහියත් අසිහියත් අතරය. රාජ පුරුෂයෝ නිවෙස ඇතුළට පිවිස එහි සිටි සියලු දෙනා එළියට ඇදගෙන පැමිණෙන අයුරු කුමාරිහාමි බලාගෙන සිටියේ ගල් රුවක් පරිද්දෙනි. අසලට පැමිණි රාජ පුරුෂයෙක් සිය අතෙන් අදිත්ම ඈ අත ගසා දැමූයේ තම ගෞරවය නිසාය. බාල දියණිය සියතට ගත් ඕ දරුවන් තිදෙනා ළං කර ගත්තේ ඉදිරියේ සිදුවන කුමන ගැටලුවකට වුව ද මුහුණ දීමට සිය සිත දැඩි කර ගනිමිනි.
ඉහළ මාලයෙහි සිටින ඇහැළේපොළගේ නොසන්සුන් බව කෙතරම් ද යන්න එක්නැළිගොඩට හැඟී ගියේය. බරට අඩි තබමින් ඔහු එහාටත් මෙහාටත් යන අයුරු පහළ මාලයෙහි සිටින අයටත් ඇසෙන්නේ එබැවිනි. එක් පැත්තකින් යුද්ධය සාර්ථක කර ගත හැකි වේවිදැයි යන සිතුවිල්ල ඔහුව පෙළන බව හේ දනියි. ඉංග්‍රීසින් සිය යුද ආධාර සපයන බවට කිසිදු පණිවුඩයක් නොවීම ද ඒ නොසන්සුන්කමට තවත් හේතුවකි. හෙළි නොකළ ද අනෙක් පැත්තෙන් බිරිය හා දරුවන් පිළිබඳත් ඇහැළේපොළ නිලමේතුමා විස්සෝප වන බව එක්නැළිගොඩට අමුතුවෙන් කිවයුතු නොවේ. දැන් දැන් ඔවුන් පිළිබඳ ලැබෙන ආරංචි ඒතරම් සුබදායක නොවන බව එක්නැලිගොඩ ද සිහිපත් කළේ කැලඹුණු සිතෙනි. ඔහුගේ සිතුවිලිවලට බාධා වූයේ ඈත සිට දූවිලිවලා ඉහළ යවමින් පැමිණි අසරුවකුගේ හඬයි. ඇහැළේපොළ පහළට පැමිණියේ ද එසැනෙනි. අසු පිට බැස පැමිණි සුදු නිලධාරියා අත වූයේ හසුනකි. එක්නැළිගොඩ ඇහැළේපොළ දෙස බැලුවේ චකිතයකිනි. ඔහු නිලමේතුමාගේ මුහුණ දෙසම බලා සිටියේ ඒ පයින්ඩය කුමක්දැයි වටහා ගනු සඳහායි.
‘අපි පළමුව හෙට උදේම සීතාවක බලා පිටත් වෙමු’
හසුනෙන් නෙත් ඉවතට ගත් ඇහැළේපොළ අන්තිම තීරණය ප්‍රකාශයට පත් කළේය. ඔහු වටා සිටි සියල්ලන්ගේ ඔල්වරසන් හඬ සැතපුමක් පමණ දුරින් අසු පන්නමින් සිටි ඉංග්‍රීසි අසරුවා බියට පත් කිරීමට සමත් විය. හේ තම අසුගේ වේගය වැඩි කළේ සිතට දිරි ගනිමිනි.
සිර මැදිරිය අසල ඇති පන්දම් එළියෙන් කුමාරිහාමිට මද්දුම බණ්ඩාරගේ හා ලොකු බණ්ඩාරගේත්, ඩිංගිරි මැණිකාගේත් මුහුණු පෙනෙයි. ඇය මද්දුම බණ්ඩාරගේම මුහුණ දෙසම බලා සිටියාය. ඇයට සිහිවූයේ ඇහැළේපොළය. ඔහු ඇහැළේපොළගේම කපාපු පළුව යැයි කුමාරිහාමි සිතුවේ අනෙකක් නිසා නොවේ. කුඩා වුව ද පුතු සිතන්නේ ඇහැළේපොළ මෙනි. ඔහු සතු රණ ශූරත්වයත්, එඩිතර බවත් අඩු නැතිව පුතුට පිහිටා ඇති සේය. ඈ තම අත නිදන චූටි මැණිකේගේ උවන දෙස බැලුවාය. අමන ගති ඇති වඩිග රජුගේ කෝපය නිසා දුක් විඳින්නට සිදුව ඇත්තේ මේ නොදරුවන්ටය.
පන්දම් එළිය මුහුණට වැටීම නිසා කුමාරිහාමිගේ මුහුණ පැහැදිලිව දර්ශනය වෙයි. ඈ දෙස විමසිල්ලෙන් බලාගෙන සිටි අයකුට ඇගේ නෙතඟ නැඟුණු කඳුළක් ඒ පන්දම් එළියෙන් දිලිසෙන අයුරු දැකගත හැකිය. අවට රජ වෙන ගුප්තභාවය බිඳිමින් පැමිණෙන කිහිප දෙනෙකුගේ පා ගැටෙන හඬ කුමාරිහාමිගේ සවනත ගැටිණි. අය තැති ගත්තාය. එසේ වූයේ හෝරා කිහිපයකට පෙර සිදු වූ සිදුවීම කුමාරිහාමිගේ සිත සසල කිරිමට සමත්ව තිබූ බැවිනි. ඇය එය යළි යළිත් සිහිපත් කළාය.
හදිසියේම පැමිණි පරිවාරක ස්ත්‍රීන් දෙදෙනා කුමාරිහාමි කැඳවා ගෙන යන්නේ කුමකටදැයි ඇය කල්පනා කළේ ඔවුන්ගේ මුහුණු දෙස විමසිල්ලෙන් බලමිනි. හැඟීම් විරහිත ඒ මුහුණුවලින් ඇයට කිසිදු නිගමනයකට පැමිණිය නොහැකි තරම්ය. සළුවක් හිස දවටා මේ රුගෙන යන්නේ හොඳකට නම් නොවන වග ඈට පැහැදිලිය. දොරකින් ඇතුළු වූ විගස ඈ දුටුවේ දුක්ගන්නා රාළයි. ආපසු ඇතුළු වූ දොර දෙස බැලුව ද ඈ අසල සිටි පරිවාරක ස්ත්‍රීහු ඒ වන විටත් අතුරුදන්ව සිටියහ. දුක්ගන්නා රාළ ද පිටව ගියේ තමා සිටින වග ද නොතකමිනි. වික්ෂිප්තභාවයට පත් කුමාරිහාමි අවට බැලූයේ ඇය කුමන ස්ථානයක සිටින්නේ දැයි කියා දැන ගනු රිසියෙනි. එක්වරම ඇගේ නෙත ගැටුණේ සිරියහන් ගබඩාවෙහි වැතිරී සිටි රාජසිංහ රජුගේ රුවයි. ඇගේ හදවත ස්පන්ධනය වන වේගය ඇයටම ඇසෙන තරම්ය. ඈ නැවතත් දොර අසලට ගියේ කෙසේ හෝ මින් පිට විය හැකි ක්‍රමයක් සොයනු සඳහාය. දොර එළියෙන් අඟුලු ලා ඇත.
‘තිගේ පුරුෂයා මගේ හිතේ ඇවිලූ ගින්න මොහොතකට හෝ නිවාලන්න තීට හොඳ අවස්ථාවක් මේක’
රජුගේ ස්වරය ඇගේ සවනට දැනුණේ යවුලකින් අනින්නාක් මෙනි. ඇය සිටියේ ගල් පිළිමයක් ලෙසිනි. රජු සිරියහනෙන් නැඟී ඉන් පිටතට පැමිණියේ තම ප්‍රශ්නයට කුමාරිහාමිගෙන් නිසි පිළිතුරක් නොවූ නිසාය.
‘තිගේ පතිවෘතාව ආරක්ෂා කර ගන්නට සිතීමෙන් දැන් පලක් නැහැ’
වඩුග රජාගෙන් බේරී යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන වගක් කුමාරිහාමිට දැනෙයි. ඇය සිටියේ ඊළඟට ගත යුතු පියවර පිළිබඳ කල්පනා කරමිනි.
‘තිගේ පුරුෂයා සුදු ජාතික ස්තිරියාවක් එක්ක නිදි වදිනවා. තී මාත් එක්ක නිදි වදිනවා’
බීමත්ව සිටින රජුගේ ස්වරය තව තවත් උස්ව නැඟිණි. ඔහු තමා අසලට පැමිණෙමින් සිටියි. කුමාරිහාමි සිටින්නේ බිත්තියට පිටදීය.
ඇගේ සොඳුරු රුව දුටු රජුට ඉවසුම් නොදෙන ප්‍රීතියක් හට ගත්තේය. ස්ත්‍රියක සතු දේහ ලාලිත්‍යයෙන් පිරිපුන් වූ ඇගේ අඟ පසඟ ස්පර්ශ කරන්නට ඇත්නම් යන සිතුවිල්ල රජු ඇයට සමීප කිරීමට සමත් විය. ඇගේ රුවෙහි සුන්දරත්වය රස විඳිය හැක්කේ ඈ අසලම ඉඳිමිනි. නෙළුමක් වැනි ඇගේ උවනෙහි රත් පැහැතිව දිලෙන දෙතොලෙහි මී උතුරයි. ඇය හැඳ සිටින හැට්ටය දරා සිටින රණ හසුන් පරදවන පීන පයෝදර හැට්ටය පුපුරා එළියට පිවිසීමට බලා සිටන්නේ තමා සමඟ රති කෙළියට සූදානම්ව යැයි රජුට සිතිණි. රණ හසුන් හා බැඳි මෙවුල්දම අතර ඇති සිහින් ඉඟ රජුගේ සිත රැඳි කාම වේගය උත්සන්න කළේය. එකෙනෙහිම ඉවසුම් නොවූ රජු රාගයෙන් මත් වුණු සිය නෙත් දල්වා ඇගේ සිහින් ඉඟ සිය සුරතෙන් බදා වැළඳ ගනිමින් ඇය තමා අසලට ඇදගත්තේ මුහුණට මුහුණ ළංව සිටිනා සේය.
බලාපොරොත්තු නොවූ මොහොතක සිදු වූ මේ සිප ගැනීමෙන් කුමාරිහාමි අසරණ විය. ඇය සිය සිතට පිවිසි කෝපය පළ කළේ කෙළ පිඬක් රජුගේ මුහුණ මත හෙළමිනි. අන්ද මන්ද වූ රජු ඈව තල්ලු කළ බැවින් පලස මත ඈ ඇද වැටුණේ එහි අසල වූ රන් කෙණ්ඩියක් ද පෙරළමිනි.
ඇතුලේ වන්නේ කුමක්දැයි දැනගනු අටියෙන් සිරියහන් ගබඩාවේ රැඳී උන් දුක්ගන්නා රාළ එක් වරම දොර හැරියේ රජුගේ ඇමතීමෙනි. කුමාරිහාමි ඇරුණු දොරෙන් එළියට පැන්නාය. ඈ අල්ලා ගැනීමට ළං වූ දුක්ගන්නා රාළගේ යටි බඩට පහරක් එල්ල කළ බව පමණක් ඇයට මතකය. රජුගේ අණට අකීකරු වීම නිසා කුමාරිහාමිට සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට නම් ඔබ කළ යුත්තේ ඇහැළේපොළ සිනමාපටය නැරැඹීමය.
READ MORE - ‘තිගේ පතිවෘතාව ආරක්ෂා කර ගන්නට සිතීමෙන් දැන් පලක් නැහැ’

හැමෝම මා වෙනුවෙන් මඩ නෑවා


‘පරපුර’ සමඟ අධ්‍යක්ෂණයට පිවිසි ක්ලීටස් මෙන්ඩිස් කියයි
බොහෝ අධ්‍යක්ෂවරුන්ට මාව පෙනුණේ දුෂ්ටයෙක් විදියට
විටෙක ඔහු අපේ සිනමාවේ ප්‍රබල සටන්කාමියකු වූයේය. ඒ තරමටම වීරයාගේ චරිතයෙන් ද ඔහු ප්‍රේක්ෂක හදවත් දිනාගත් බව රහසක් නොවේ. ඒ සැමටම වඩා ඔහු අපේ සිනමාවේ කැපී පෙනුණේ දුෂ්ටයකු ලෙසිනි. චිත්‍රපට දෙසීයකට අධික සංඛ්‍යාවක එකී, නොකී විවිධ චරිත රඟමින් වරෙක වේදිකාවේ ‘මනමේ’ කුමාරයා වූයේ ද ඔහුය.
තවත් වැඩිදුර යමක් නොකියාම මම ක්ලීටස් මෙන්ඩිස් නමැති ඒ අපූර්ව රංගන ශිල්පියා ඔබේ මතකය අද්දරට කැඳවා එමි. කලෙක පටන් සිත යට ගුලි ගැහුණු හීන අහුරක් සිනමා සිත්තමකට කැටි කර ඔහු මෙවර ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසිනි. ‘පරපුර’ ඔහුගේ ඒ කුලුඳුල් සිනමා සිත්තමයි.
සිය රංගන දිවියේ හතළිස් වසක් සපුරන ක්ලීටස් අද මෙසේ අප හා එක් වන්නේ ‘පරපුර’ ක වගතුග සමඟින් ඔහුගේ සොඳුරු මතකයන් ඔබ වෙනුවෙන් අවදි කිරීමටය.
චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමේ සිහිනය කලක පටන් ඔබේ සිතේ තිබුණ දෙයක්. ඇයි මෙතරම් ප්‍රමාද වුණේ?
නෑ, ඇත්තටම මගේ එහෙම ආසාවක් තිබුණට මෙච්චර ඉක්මන් වෙන්න හිතුවේ නෑ. මීට පෙර ‘වීර උදාර’ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තිබුණා. නමුත් චිත්‍රපට අධ්‍යක්ෂණය ඊට වඩා බැරෑරුම් කාර්යයක්. අවුරුදු හතළිහක් පුරා ක්ෂේත්‍රයේ හිටියත් මම ඒකට ඉක්මන් නොවුණේ ඒ නිසයි. කොහොම වුණත් ‘පරපුර’ නිෂ්පාදක බැසිල් ජයසූරිය මහත්මයා තමයි කිව්වේ මේ වගේ වැඩක් කරමු කියලා. ඊට පස්සේ තමයි වැඩේට අත ගැහුවේ. මගේ අත්දැකීම් එක්ක බලන කොට මේ ගත්ත තීරණය වැරැදි එකක් නෙවෙයි කියා මම හිතනවා.
මේ වැඩේට මෙච්චර ඉක්මන් වෙන්න හිතුවෙත් නෑ කියා ඔබ කිව්වා. ඇයි ඒ?
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළාට ඒකට තවත් අත්දැකිම් අවශ්‍යයි කියලා මට හිතෙනවා. එතැනයි මම ඉන්නේ. මම වාණිජමය චිත්‍රපටයක් තෝරා ගත්තෙත් ඒකයි. මේ වෙන කොට මම චිත්‍රපට දෙසීයක විතර රඟපාලා තියෙනවා. ඒත් එයින් සියයට අධික ප්‍රමාණයක් කොපි චිත්‍රපට. මම වැඩිය කැමැති නෑ කොපි චිත්‍රපටවලට. නමුත් මම වෘත්තිය නළුවකු නිසා එහෙම රඟපාන්න සිද්ධ වුණා. හැබැයි මම එදා ඉඳන්ම හිතපු දෙයක් තමයි කවදාවත් කොපි නිර්මාණයක් නම් කරන්නේ නෑ කියන එක. ඉතින් ඒක නිසා තමයි මගේම තිර පිටපතක් මම ලෑස්ති කර ගත්තේ. රාජසිංහ ලෝලුවාගොඩත් ළඟ තියාගෙන මම මේක ලිව්වේ. අපේ රටේ ලොකුම සම්පත තමයි ‘ගොවිතැන’. ඒක මුල් කරගෙන තමයි මම තිර පිටපත ලිව්වේ.
‘පරපුර’ ආදරය, සෙනෙහස වගේම ත්‍රාසය, භීතිය කැටි කර ගත් චිත්‍රපටයක්?
ඔව්. විශේෂයෙන්ම මවු සෙනෙහස ගැන මේ චිත්‍රපටයේ කියැවෙනවා. ඒ වගේම යොවුන් ප්‍රේමය. ගොවි පවුලක් වටා ගෙතුණ මේ කතාවට මම අද රටේ තියෙන දේශපාලන සංස්කෘතියත් ටිකක් ඈඳා ගත්තා. ඉතින් ප්‍රථම චිත්‍රපටය වුණත් මම සාර්ථකයි කියලා මට හිතෙනවා.
රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, රන්ජන් රාමනායක, නීටා ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක වැනි ප්‍රවීණයන් මෙන්ම නවක නළු නිළි පිරිසකුත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. පරම්පරා තුනක එකතුවක්. ඒ හේතුව නිසාමද ඔබ මෙය ‘පරපුර’ කියා නම් කළේ?
හුඟක් අය හිතන්නේ එහෙම. ඒකත් හරි. නමුත් මුලින් මට අවශ්‍ය වුණේ මේ ‘ගොවි පරපුර’ කියන අර්ථය ඉස්මතු කරන්නයි. නළු, නිළි පරපුරක්ම මේ වැඩේට හවුල් වුණ නිසා ඇත්තටම ඒ අර්ථයත් ගැළපෙනවා. ගොවි පරපුර එහෙන්. නළු නිළි පරපුර මෙහෙන්. ඉතින් ඒ දෙකම මේ කතා තේමාවට හරි කියලා මම හිතුවා.
යාළුකමට, හිතවත්කමට නළු නිළියෝ තෝරා ගත්ත ද කියලත් චිත්‍රපටය නරඹන කොට මට හිතුණා?
නෑ. ඇත්තටම එහෙම එකක් නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මාත් එක්කම වගේ ක්ෂේත්‍රයට ආපු, නැතිනම් මගෙත් එක්ක නිතරම වැඩ කරපු නළු, නිළියෝ චිත්‍රපටයේ ඉන්න නිසා වෙන්නැති. දැන් රවීන්ද්‍ර රන්දෙනිය මට වඩා සීනියර්. නමුත් ඒ හැමෝම මම සලකන්නේ මගේ මිත්‍රයෝ, සහේදරයෝ හැටියට. අද පරපුර වුණත් මට සහෝදර, සහෝදරියන් වගේ තමයි.
කාලයක් එකට රඟපාපු, සහෝදර නළු, නිළියන් හසුරවද්දී මොන වගේ අත්දැකීමක් ද ඔබ ලැබුවේ?
ඔවුන් මට පුදුම සහයෝගයක් ලබා දුන්නා. හැමෝම උපරිම කැපවීමෙන් වැඩ කළා. ඇත්තටම ඒ නිසා මට ලොකු සැහැල්ලුවක් දැනුණා. මොකද මමත් නළුවෙක් නිසා ඔවුන්ගේ උපරිම රංගනය උකහා ගන්න තමයි නිතරම උත්සාහ කළේ. ඒක අතිශයින්ම සාර්ථක වුණා.
කිසියම් අද්භූත බලවේගයක් තිබෙන, නිකං සුපර් මෑන් මොඩලයේ චරිතයක් ඔබ ‘පරපුර’ට සම්බන්ධ කරනවා?
ඔව්, ඔව්.
ඇයි එහෙම දෙයක් කළේ?
හැඩි, දැඩි අපට හිතන්න බැරි දේවල් කරපු මිනිස්සු හිටියා අපේ ඉතිහාසයේ. ඒ සංකල්පය තමයි අද සමාජයට ගැළපෙන විදිහට මොඩිෆයි කරලා, අලුත් තාක්ෂණය යොදාගෙන මම ඒ චරිතය හරහා ගේන්න උත්සාහ කළේ.
මේ ගොවි පවුලේ කොල්ලොම තුන් දෙනයිනේ. ලොකු පුතා ගොවිතැන ආරක්ෂා කරගෙන පියාගේ අඩි පාරෙම යනවා. දෙවැනියාට අවශ්‍යය ගොවිතැන නෙවෙයි. ගායකයෙක් වෙන්න. නමුත් අයියා කියනවා ඒ සේරම අත්හැරලා තාත්තාගේ ගොවිතැන් කරන්න කියලා. එයා ඒවා අහන්නේ නැතුව ගෙදරින් පැනලා ගිහින් ජනප්‍රිය ගායකයෙක් වෙනවා. එයාගේ අධිෂ්ඨානය එයා අවසානයේ ඉෂ්ට කර ගන්නවා. එතකොට බාලම සහෝදරයාට තමයි අර අද්භූත බලවේගය තියෙන්නේ.
රන්ජන් රාමනායක ලොකු අයියා එක්කයි, චිලී පොඩි අයියා එක්කයි හරි හරියට රඟපාන මේ යොවුන් නළුවා ගැනත් විශේෂ දෙයක් තියෙනවා ඔබට කියන්නට?
මගේ අයියාගේ පුතා ඩිලංග මෙන්ඩිස් තමයි ඒ චරිතය රඟපාන්නේ. එයාගේ පොඩි කාලේ චරිතය කළේ කමල් අද්දරආරච්චිගේ පුතා. පුංචි කාලේ ඉඳන්ම මම පෙන්වනවා එයාට තියෙන නොපෙනෙන බලවේග. කරන්ට් එක ඇල්ලුවාම වදින්නේ නෑ. වාහනයකට යට වෙලත් එයා නිරුපද්‍රිතව නැගිටලා එනවා. ඒ වගේ දේවල්.
නමුත් එබඳු අභව්‍ය සිදුවීම්, දර්ශන ඇතුළත් කිරීමෙන් චිත්‍රපටයට යම් හානියක් සිදු වුණා කියා ඔබට සිතෙන්නේ නැතිද?
අද තියෙන තාක්ෂණයත් එක්ක සිනමාව ගිහින් තියෙන දුර බලන කොට ලෝකයේ ඒවා පිළිගන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. දැන් අද ෆයිට් එකක් කළත් කේබල්වලින් උඩ ගිහිල්ලා එහෙම ෂොට්ස්නේ ගන්නේ. ප්‍රේක්ෂකයෝ ඒවා ඉහළින් පිළි අරගෙන තියෙනවනේ. ඉතින් අපිත් ලෝකේ යන හැටියට පොඩ්ඩක් යන්න ඕනෑනේ. ඒක තමයි මම කරන්න උත්සාහ කළේ. මේ සහෝදරයන්ගේ චරිත තුන වෙන වෙනම අරගෙන මට චිත්‍රපට තුනක් කරන්න තිබුණා. ඒත් මට අවශ්‍ය හැමදේම පොඩ්ඩ පොඩ්ඩ හරි අරගෙන මේ චිත්‍රපටය කරන්න මට ඕනෑ වුණා. ඒක එක්තරා විදිහක අත්හදා බැලිමක්.
රන්ජන් රාමනායකත්, ඔබත් එකම පාසලේ. ඔබ අද චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වී ඔහුව මෙහෙයවනවා. කොහොමද රන්ජන් ගැන ඒ අතීත මතකය?
ඔහුත්. මමත් දෙන්නම ඉගෙන ගත්තේ මීගමුව මාරිස්ටෙලා විදුහලේ. රන්ජන් මට වඩා බාලයි. ඒ කාලේ ෆුට්බෝල් ටීම් එකේ මම ඉහළින්ම හිටියා. මැච් එකක් ගහලා දිනුවාම අපි නළුවෝ වගේ තමයි ස්කෝලේ. හැමෝම අපේ පස්සේ. ඉතින් මට මතකයි රන්ජන් හැම වෙලේම අපේ පස්සේ එනවා. එදත් කොන්ඩේ බොකුටුයි, කෙට්ටුයි. අපෙන් අකාලේ සමුගත් චිත්‍රපට නළු රන්ජන් මෙන්ඩිස් මගේ පන්ති සගයා. දවසක් අපි පස්සේ වැටිලා මෙයා එනවා. බෙල් එක ගැහුවා. ඒත් ගාණක් නෑ. පස්සේ මම ටොක්කක් ඇනලා ‘මේ දුවනවා පංතියට’ කිව්වා.
සුන්දර මතකයක්?
අදටත් රන්ජන් ඕක මතක් කරනවා. ‘උඹ ටොක්කක් ඇනලා මාව එලෙව්වා’ කියලා. ඉතින් ඒ කාලේ වුණත් පොඩි ජනප්‍රියත්වයක් තිබුණා මිනිහට. දක්ෂයාට ගරු කරපු, ආදරය කරපු කෙනෙක් රන්ජන්. මම දන්නවා ඔහු මේ ගමන එන්න මොන මහන්සියක් වුණා ද කියලා. ඒ කටුක අතීතය නොසඟවා කියනවනේ ඔහු අදටත්.
හිතුවද කවදා හරි රන්ජන්ව ඩිරෙක්ට් කරන්න ලැබෙයි කියලා?
නෑ. අපෝ නෑ . . . මම රන්ජන්ට මේ චිත්‍රපටය කරන්න කතා කරන කොට කිව්වේ ‘රන්ජන් මට ප්‍රේක්ෂකයන්ගෙන් විසිල්, අත්පොළසන් ඕනෑ නෑ. මේක බලලා යන කොට ෂඞ රන්ජන් මරු චරිතයක් කරලා තියෙනවානේ කියලා කියනවා නම් මට එච්චරයි ඕනෑ’ කියලා.
එදා ටොක්කකුත් ඇනලා අද මඩේ දාලා මඩෝනවා. දුක හිතුණේ නැතිද?
ඒක මාර කැපවීමක්. ඇත්තටම රවි අයියගේ ඉඳලා ඔය ඔක්කොම මඩට බැස්සා. කිසිම දවසක පස්ස ගැහුවේ නෑ. ඒ කුඹුරේ තිබුණ මඩ පරීක්ෂාවට යවලා අලුතින් මඩ කරලා තමයි ඒ කුඹුර මම හැදෙව්වේ. පොඩි පහේ නළු, නිළි පිරිසක් නෙවෙයිනේ. අනෙක කොයිතරම් වටින පිරිසක්ද?
‘මී උණ’ එහෙමත් හැදෙන්න තිබුණනේ?
නැතුව, එහෙම වුණා නම් මාර විනාශයක්නේ. අන්තිමට මඩවලින් වැහිලා ඇස් අර ගන්නවත් බෑ. මාර මඩක් කෑවේ. රන්ජන්, රවි අයියා එක්ක එයාව මඩේ දාපු එක ගැන කියපු දේවල් පත්තරේට කියන්න බෑ. හැබැයි ඒ සේරම විහිළුවට. රවි, සනත්, ජීවන්, මේ හැමෝම මඩට බැස්සා කියන්න කලින්. විශේෂයෙන්ම සනත් ගේ රඟපෑම් ගැනත් කියන්න ඕනෑ.
සනත් ගුණතිලකව මානසික රෝගියෙක් කරනවා ඔබ අන්තිමට?
ඔව්, ඇත්තටම.
රාජමන්ත්‍රී?
එයා වාණිජ සිනමාවේ රඟපෑ විශිෂ්ටතම චරිතයක් මේක. චරිතය පුරාම සනත් ලොකු වෙනසක් කරලා තියෙනවා. මම කියන දේ හරියටම ඔහු කළා. අරක බෑ. මේක බෑ කිව්වේ නැහැ. හැමෝම තමන්ගේ චරිත හොඳට රඟපෑවා. අනෙක මේ කිසිම කෙනෙක් මට ගාණක් කිව්වේ නෑ. ඒ අයගේ නියම ගාන ගෙව්වා නම් මට ෆිල්ම් එක කරන්න හම්බ වෙන්නේ නෑ. ආර්ටිස්ට්ලාට ගණන් ගෙවලා නිකං ඉන්න වෙනවා ඒ හිටපු පරපුරේ හැටියට. හැබැයි මට පුළුවන් සාධාරණයක් මම ඉෂ්ට කළා හැම කෙනාටම. මම දුන්න දේ අරගෙන ගියා මිසක ආයේ ප්‍රශ්න කෙරිල්ලක් නෑ. ඉතින් ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්.
‘චිලී’ ගේ රංගන හැකියාව ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැනත් විශේෂයෙන් කියන්න ඕනෑ. ‘චිලී’ ගායනයට වගේම රංගනයටත් දක්‍ෂයෙක් කියලා මේ චිත්‍රපටයෙන් ඔප්පු කළා. ඉතාමත් කැමැත්තෙන් තමයි ඔහු රංගනයට දායක වුණේ. ඇත්තෙන්ම කිසිම මුදලක් ඔහු බාර ගත්තෙ නෑ. ‘මේ වගේ ප්‍රවීණ නළු නිළියො එක්ක රඟපාන්න අවස්ථාව දීපු එකම ලොකු දෙයක්’ කියලයි චිලී කිව්වේ. ඒත් ඔබ ම දකින්නැති ඔහු කොයි තරම් හොඳට ඒ චරිතය රඟපෑවද කියලා. සටන් ජවනිකාත් ඔහු පළපුරුදුකාරයෙක් විදිහට කළා. ‘පරපුර’ සටන් අධ්‍යක්‍ෂණය කළේ ටෙඩී විද්‍යාලංකාර. ඔහුටත්, මටත් ඕනෑ විදිහට ‘චිලී’ ඒකත් කළා.
සටන් කලාව ඔබට ආගන්තුක දෙයක් නෙවෙයි. ඒත් සටන් අධ්‍යක්‍ෂණය ටෙඩීට පැවරුවේ දැන් ඉස්සර වගේ අඩව් අල්ලන්න බැරි නිසාද?
අනේ නැහැ. මොකද දන්නවද මම ඇත්තටම හිතුවේ මගේම පරපුරේ දක්‍ෂයකුට ඒ අවස්ථාව දෙන්න ඕනෑ කියලයි. ඔය සමහර චිත්‍රපටවල සටන් අධ්‍යක්‍ෂණය කළේ මම. ඒත් කිසිම දවසක මම නම දාගෙන නෑ. ඒකට වෙනම අය ඉන්නවනේ. ටෙඩීට මම මගේ අයිඩියාස් කිව්වා. ඔහු ඔහුට අවශ්‍ය දේ කළේ නෑ. මට ඕනෑ දේ උපරිම විදිහට කරලා දුන්නා.
පිටිපස්සෙ ඉඳන් ඔබත් ඔහුව අධ්‍යක්‍ෂණය කළා?
ඔව්, ඔව්. . . මටත් වැඩේට ටිකක් බහින්න වුණා. මොකද ටෙඩී ඒ වෙනකොට හිටියෙ කකුල් දෙකම කඩාගෙන. මම වාහනේ යවලා ඔහුව දර්ශන තලයට ගෙන්න ගෙන පුටුවක ඉන්දවලා තියාගෙන තමයි වැඩේ කර ගත්තේ. වෙන කිසිම කෙනෙක් එන්නෙ නෑ එහෙම තත්ත්වයක හිටියානම්.
හොඳ වෙලාවට ඔබේ වැඩේට ඇවිත් නෙවේනෙ ඒ දේ වුණේ. ඊට කලින් කකුල් දෙක කැඩිලනේ තිබුණේ?
හඞ හඞ හා... ඔව්. ඊට කලින්.. ඊට කලින්...
දශක හතරක් සිනමාවේ රැඳී සිටියත් මම හිතන්නේ ක්ලීටස් අයියාට වැඩිපුරම පෙම්වතාගේ චරිතය රඟපාන්න ලැබුණෙ නැහැ.?
“වීර උදාර”, එතකොට “චිට්ටි” වගේ චිත්‍රපට කිහිපයකම මම පෙම්වතාගේ චරිතය කළා. පෙම්වතාගේ චරිතය කළාට ඒ හැම එකක්ම මතුවුණේ දුෂ්ට චරිත හරහා. ඒ නිසා ඔබ කියපු දේ හරි කියලා මටත් හිතෙනවා. මොකද සෙට් වුණේම අර විදිහටනේ.
චිත්‍රපට දෙසීයකට වැඩි ප්‍රමාණයක ඔබ රඟපෑවා. සෑහීමකට පත් වෙනවද ඒ කරපු දේවල් එක්ක?
නෑ.. එහෙම සෑහීමකට පත් වෙන්න බෑ. ඇත්තටම වාණිජ සිනමාවේ වැඩිපුර රඟපෑවත් මට අවශ්‍ය වුණේ චරිතාංග නළුවෙක් වෙන්න. ‘විරාගය’ චිත්‍රපටයේ ඒ අවස්ථාව මට ලැබුණා. ඒ වගේම ‘කඩුල්ල’ ටෙලි නාට්‍යයේ මම රඟපෑ චරිතයත් මගේ රංගන දිවියේ සන්ධිස්ථානයක්. අර වගේ චිත්‍රපට සීයක රඟපෑවත් හරි, ඒ වගේ එක චිත්‍රපටයක රඟපෑවත් ඇති.
බොහෝ නළුවන්ට නොලැබුණ අවස්ථා ක්ලීටස් මෙන්ඩිස්ට ලැබුණා. ඒත් ඔබට මීට වඩා යමක් කරන්න පුළුවන්කම තිබුණා කියලා අද හිතෙන්නෙ නැතිද?
මට එහෙම හිතෙනවා. චිත්‍රපට සංඛ්‍යාවෙන් වැඩි වුණාට මට වුණේ දුෂ්ට චරිත වැඩිපුර රඟපාන්න.
බොහෝ අධ්‍යක්‍ෂවරුන් ඔබව එක තැනක කොටු කළා කියලා මම කිව්වොත්?
ඒ අයට බොහෝ විට මාව පෙනුනේ දුෂ්ටයෙක් විදිහට තමයි. ඒකටත් හේතුවක් තිබුණා. සනත්, ජීවන් වගේම රන්ජන්, ශෂී මේ කවුරු රඟපාන්න ආවත් අහන දෙයක් තමයි කවුද ඔපසිට් ඉන්නෙ කියලා. මම ඉන්නවා නම් තමයි ඒ අය කැමැති. එහෙම දෙයක් තිබුණා. මට මතකයි සුනිල් සෝම පීරිස්ට ඒ කාලෙ මම නිතරම කියනවා ඇයි මේ හැමදාම මාව විලන් කරන්නේ කියලා. ‘මමයි රජා’ කරනකොට සුනිල් අයියා මට කිව්වා ‘හරි මම මේ චිත්‍රපටයේ කොල්ලො තුන්දෙනා ගෙන් කෙනෙකුට උඹව ගන්නම් හැබැයි ඔපසිට් යන නළුවෙක් උඹම හොයලා දීපන්’ කියලා.
ඉතින්.....?
පස්සේ, මම තමයි ස්ටැන්ලි වර්ණකුල හොඳට රඟපානවා කියලා ඒ මම කරන්න හිටපු චිරිතයට ඔහුව යෝජනා කළේ. පස්සෙ මම කොල්ලා වුණා. විජය කුමාරණතුංග එක්ක එකට රඟපෑ ඒ චරිතය මට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.
එහෙව් ක්ලීටස් මෙන්ඩිස්ම තමයි වේදිකාවේ ‘මනමේ’ කුමාරයා වුණෙත්?
ඔව්, 1986 දී වගේ තමයි මම මනමේ කුමාරයට එන්නේ. අවුරුදු හතරක් විතර ඒ චරිතය කළා. විජය නන්දසිරි අවුරුදු විසිහතක් රඟපෑ ඒ චරිතය ඊළඟට ලැබුණේ මට.
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඇසුරේ, ඔහුගේ ගුරුහරුකම් මැද ඒ ගෙවුණු කාලයත් ඔබේ ජීවිතයේ සුවිශේෂී අත්දැකීමක් වෙන්නට ඇති?
සරච්චන්ද්‍රයන් හමු වෙනකොට මම ටිකක් දරඳඬු පුද්ගලයෙක්. ඒ කියන්නේ වැරදි වැඩ කරපු පුද්ගලයෙක් කියන එක නෙවෙයි. ටිකක් දඩබ්බරයි.
නාහෙට අහන්නැති කාලේ?
අන්න හරි, හිතුවොත් ආයේ දෙයක් අරින්නේ නෑ වගේ මානසික මට්ටමකනේ හිටියේ. නමුත් මම සරච්චන්ද්‍රයන් සමඟ කතා කරපුවාම මම කොහෙද ඉන්නෙ කියලා මට හිතිලා තියෙනවා. මොකද ඒ තරම් සුන්දර මිනිසෙක් මගේ ජීවිතේ මම දැකලා නෑ. මාව මනමේ කුමාරයට තෝරා ගත්තාම සරච්චන්ද්‍රයන් වටේ හිටපු පිරිස කියලා තියෙනවා ‘මොකක්ද සර් මේ පිච්චර්වල ඇක්ට් කරන කෙනෙක් මනමේ කුමාරයාට ගත්තේ’ කියලා. පස්සෙ මට ආරංචි වුණේ.
ඔබ චිත්‍රපට නළුවකු වග සරච්චන්ද්‍රයන් දැනගෙන හිටියේ නැහැ?
එතුමාට මම හිතන්නේ එතරම් ඒ ගැන අවබෝධයක් තිබුණේ නෑ. හරි අපූරු සිදුවීමක් මට මතක් වෙනවා. කළුතරදී ‘මනමේ’ වේදිකා නාට්‍යය රඟ දක්වන්න අපට සිදු වුණා. කළුතර සිනමාශාලා දෙකකම ඒ වෙනකොට තිරගත වුණේ මම රඟපෑ චිත්‍රපට දෙකක්. එකක් ‘සුර දූතියෝ’ අනෙක මට මතක නෑ. ඉතිං කළුතර ‘මනමේ’ ෂෝ එක බලන්න පුදුම සෙනඟක් ඇවිත් හිටියා. හිටගෙන බලන්නේ. දැන් අන්තිමට මම වැද්දාව මෙල්ල කරගෙන බිසවගෙන් කඩුව ඉල්ලනවනේ ඔහු මරන්න. ඒ වෙලාවෙදී එතන හිටපු කොල්ලො සෙට් එකක් ‘ක්ලීටස් අයියා මොකටද කඩු, දෙන්නකෝ පික්චර් පාරක්’ කියලා කෑ ගැහුවා. ශාලාව දෙදරන්න ගත්තා. සරච්චන්ද්‍රයන් කලබල වුණා.
ඊට පස්සේ මොකද වුණේ?
එතුමා ටිකක් කේන්තියෙන් වගේ ‘මේක මේ නල්ලතම්බි නාට්‍යයක් කියලා හිතුවද’ කියලා කාටදෝ කිව්වා මට මතකයි. මට තේරුණා මේ ඇවිත් ඉන්නේ ෆිල්ම් ක්‍රවුඩ් එකක් කියලා. පස්සේ සංවිධායකවරු ගිහින් ඒ අයට නිශ්ශබ්දව ඉන්න කියපුවාම ‘යනවා ඕයි යන්න බම්බුවේ මනමේ, අපි ආවේ ක්ලීටස් අයියා බලන්න’ කියලා ආයේ කෑ ගහන්න පටන් ගත්තා. පස්සෙ මම මැදිහත් වෙලා ඒ පිරිසට කිව්වා නාට්‍යය තාම ඉවර නෑ, කෑ ගහන්න එපා කියලා. ‘නෑ ක්ලීටස් අයියා අපි කෑ ගහන්නේ නෑ. මේ ඔයාට බකප් එකක් දුන්නේ’ කියලා. ඩොක්ටර්ට මම ඒ ගැන පහදලා දෙන්න ගියහම ඔහු අහක බලාගත්තා. ඒ ෂොක් එකට ආයේ නාට්‍යය පටන් ගන්නකොට මගේ හඬ පිට වුණේ නෑ. සම්පූර්ණයෙන් ගොළු වුණා. මොකද මම එතුමාටත්, එතුමා මටත් ගොඩක් ළඟින් බැඳිලා හිටියා. ඩොක්ටර්ගේ අර විදිහේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවුණ මට ඒක දරා ගන්න බැරිව ගියා. කෝරස් එකෙන් තමයි ඉතුරු හරිය සේරම ගියේ.
මම හිතන්නේ සරච්චන්ද්‍රයන් ඔබව ‘මනමේ’ චරිතයට තෝරා ගන්න ප්‍රධානම හේතුව වුණේ ඔබගේ ගායන කුසලතාව?
ඒක ඇත්ත. විශේෂයෙන්ම සරච්චන්ද්‍රයන් හැමවිටම තමන්ගේ නළු, නිළියෝ තෝරා ගන්නේ ඔවුන් සතු ගායන හැකියාව පරීක්‍ෂා කරලා. එතුමා මුලින්ම හමුවන්න ගිය දවසේ ස්ර්පිනාව ළඟ වාඩිවෙලා ‘දරුවා මනමේ බලලා තියෙනවද’ කියලා ඇහුවා. මම ‘ඔව්, සර්’ කිව්වම ගීතයක් ගායනා කරන්න කිව්වා. ‘ප්‍රේමයෙන් මන රංජිත වේ’ ගීතයයි මම ගැයුවේ. එතුමා ඒ ගැන හොඳටම පැහැදිලා එතන හිටපු දිද්දෙණියටයි, කිසාගෝතමී දියණියටයි කිව්වා ‘මෙයා මනමේ කුමාරයට හොඳයි. රිහසල් කරලා ගන්න’ කියලා. එච්චරයි.
විජය කුමාරණතුංගයන්ගේ අභාවයත් සමඟ ක්ලීටස් මෙන්ඩිස් කියන ගායකයා නැවත ඉපදුණා කියලා මට හිතෙනවා. ඒත් ඒ ගායකයා අද යළි නිහඬයි?
පාසල් යන කාලෙත් මම ඔය ගෲප්වලට සිංග් කරනවා. මගේ පියාට ගායන හැකියාවක් තිබුණා. ඉතින් ඒක මටත් ඇවිත් තිබුණා. නැතිව ප්‍රගුණ කරපු දෙයක් නෙවෙයි. තාත්තා එඩී අංකල්ලා එක්ක පවා වේදිකාවේ රඟ පෑ කෙනෙක්. ඒ හැකියාව උපතින්ම උරුම වුණ දෙයක්. මම විජය අයියට පුදුම ආදරයක් තිබුණේ. නළුවෙක් හා ගායකයෙක් විදිහට. ඉතින් මම හැම තිස්සෙම එයාගේ හඬ දාලා ඒ ගීත ගායනා කරනවා. නැතිව මට උප්පත්තියෙන් විජය අයියා වගේ හඬක් පිහිටලා තිබුණේ නෑ.
කිසියම් විදිහක අනුකරණයක්?
අනුකරණය කිරීමක් කළේ, එහෙම කරගෙන, කරගෙන යනකොට තමයි මට ඒක ඉබේටම පිහිටියේ. නමුත් මම වෘත්තියක් හැටියට ගායනය කළේ නෑ. චිත්‍රපට පහක විතර මම ගීත ගායනා කළා. සී. ඩී. තැටියක් නිකුත් කළා. ඒත් ඒවා ඉස්මතු කරන්න මට අවශ්‍යතාවක් තිබුණේ නෑ. මට අයිති වෘත්තියක් තියෙනවනේ. ඒක කරගෙන ගියා. හැබැයි මම අදටත් ආසාවට විජය අයියගේ ගීත ගායනා කරනවා.
“පරපුර” ප්‍රදර්ශනයට එක්වන්නේ කවදාද?
අගෝස්තු 14 වැනිදා පටන් රිත්ම මණ්ඩලයේ සිනමාහල් තිහක මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. මම හිතන්නේ දැනටමත් මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව සැදී පැහැදී සිටිනවා ‘පරපුර’ නරඹන්න. ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියන විශ්වාසය මා තුළ තිබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ මගේ මිත්‍රයා නිහාල් සංජයව. ඇත්තටම ඔහු දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙලා කටයුතු කළ නිසා තමයි ‘පරපුර’ මේ තරම් ඉක්මනින් ප්‍රදර්ශනයට එක් වුණේ.
පිටපත් ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නය ඔබට දැනෙන්නේ කොහොමද?
මේ මුදාහරින පිටපත් ප්‍රමාණය මටනම් ප්‍රමාණවත්. සිනමාව එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ බූදලයක් නෙවෙයිනේ. හැමෝටම තමන්ගේ නිර්මාණයට සාධාරණයක් ඉටුවෙන්න ඕනෑ. අපි හැමෝම පටු පරමාර්ථවලින් බැහැරව එකාමෙන් අත්වැල් බැඳ ගත්තොත් තමයි මේ සියලු අභියෝග ජය ගන්න පුළුවන් වෙන්නේ. මම ඉන්නේ එතැන.
READ MORE - හැමෝම මා වෙනුවෙන් මඩ නෑවා

බොරු සීයලාට නඩුබොරු සීයලාට නඩු

    ගායක චන්දු ඩී. සිල්වා (ජොලි සීයා)
    මේ දිනවල මම වෙනුවට ව්‍යාජ ජොලි සීයලා බිහි වී සිටින නිසා එයාලට විරුද්ධව නඩු මාර්ගයකට පිවිසිලා ඉන්නේ.
    ඊට අමතරව මගේ දුව උපේඛායි ‘ඇරෝස්ටාර්’ සංගීත කණ්ඩයමයි සමඟ ලබන දෙසැම්බරයේ ප්‍රසංගයකට විදේශ ගත වෙනවා.
     
    READ MORE - බොරු සීයලාට නඩුබොරු සීයලාට නඩු

    වෙද හාමිනේ මරුවාට පැරදුනාය


    කෙනෙක් පැමිණියහොත් ආපසු යා යුතුය. එසේ පැමිණෙන්නේ කවදාදැයි හෝ යන්නට නියමිත දවස කවදාදැයි හෝ අපට කිව නොහැකිය. මාස ගණනාවකට මත්තෙන් රෙබෙකා නිර්මලී ‘සරසවිය’ට පැමිණියාය. ඒ මොහොතේ ඇය ආපසු යද්දී යළි කිසි කලෙක ඇය අප හමුවන්නට එන්නේ නැතැයි සිතුණේ නැත. එහෙත් ඊයේ එනම් බදාදා අලුයම ඇය සදහටම යන්නට ගියාය. සති කිහිපයක් පුරා රෙබෙකා යළි නොඑන වග නම් අප ඉඳුරාම දැන සිටියෙමු. එහෙත් එය බොරුවක් යැයි සිතා සිත රවටා ගෙන ඇගේ සුවබර මරණය කල් දමන්නට අප සිතින් පැතුවෙමු. අප පමණක් නොව ඇගේ සහෝදර නළු නිළියන් අවසාන මොහොතේ පවා බෝධි පූජා පවත්වමින් ඇයට සෙත් ශාන්තිය පැතූහ. අයට නියමිත දින නියමිත පරිදි ඇය වෙන්ව ගියාය.
    රෙබෙකා නිර්මලී ඇය අප දන්නා නාමයයි. එහෙත් ඇයගේ සැබෑ නම හෙට්ටිආරච්චිගේ රෙබෙකා නිර්මලා පෙරේරාය. කැලණියේ ඉපිද අනුරාධපුරයේ හැදී වැඩුණු ඇය ඉගෙනුම ලැබුවේ අනුරාධපුර කුරුන්දන්කුලම, නිවත්තකචේතිය සහ මොරටුව ද සොයිසා යන විද්‍යාලවලිනි.
    කලා ලොවට පිවිසෙන්නට ඇය උත්සාහ කරනුයේ යොවුන් වියට පිවිසෙද්දීමය. එහෙත් එහි සැබෑ මිනිසුන් මෙන්ම තක්කඩින් ද සිටින බව ඇය පළමුව වටහා ගත්තේ නැත. පසුව ඇයට මුල් වරට රංගනයට වරම් ලැබෙනුයේ බර්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කරනු ලැබූ ගම්පෙරළිය ටෙලි වෘතාන්තයෙනි. මුලින් එහි ප්‍රධාන චරිතයට තෝරා ගනු ලැබුව ද ඇයට රඟපාන්නට ලැබුණේ සුළු චරිතයකි. ඉන් සෑහීමකට පත්වන්නට ඇය හිත හදා ගත්තාය. නමුත් දෛවය ඉක්මනින් ඇයට යුතුකම ඉෂ්ඨ කළාය. ජයන්ත චන්ද්‍රසිරි නම් එවක තරුණ නිර්මාණකරුවා සිය මුල්ම ටෙලි නිර්මාණයෙන් මෙරට ටෙලි නාට්‍ය කලාව උඩු යටිකුරු කළේය. ඒ වෙද හාමිනේ ටෙලි වෘතාන්තයෙනි. සුරූපී රෙබෙකා එහි වෙද හාමිනේ වන්නට වරම් ලැබුවාය. එපමණක් නොව සිය නවක නිළියගේ නිර්මලා යන නාමය නිර්මලී ලෙස හඳුන්වන්නට ජයන්තට හැකි විය.
    ‘සඳකැන් දහරින් දෙනුවන් වැසිලා
    දෙනුවන් කැල්මෙන් පියුමන් සැලිලා
    මේ ගීතය ඇයගේ රුවත් සමඟ අපට සදාකාලිකවම මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසයේ ස්ථිර වූයේ එලෙසය. එතැන් පටන් රෙබෙකා චරිතාංග නිළියක ලෙස සිය කුසලතාව ටෙලිවිෂනය හරහා ඉස්මතු කර වූවාය. අන්තස්සරයෝ, සොහොයුරෝ, මිණිපුර හටන, ස්වයංජාත, නිසල විල ටෙලි වෘතාන්ත ඔස්සේ ඇය දක්ෂ නිළියක ලෙස අපේ හදවත් තුළ සදාකල් ලැගුම් ගත්තාය. ඇය සිනමාවට පිවිසියේ ජයන්ත චන්ද්‍රසිරිගේ අග්නි දාහය ඔස්සේය.
    ඇය වඩාත් හඳුන්වාදිය හැක්කේ ටෙලිවිෂන් නිළියක හැටියටය. ටෙලිවිෂනය තුළ ඇය නිකම්ම පෙනී සිටින ගැහැනියක නොවුවාය. තමා රඟපෑ සෑම චරිතයකටම නිශ්චිත වටිනාකමක් දෙන්නට ඇයට හැකිව තිබිණ. ඇය අවසාන භාගයේ ලන්ඩනයේ රූගත කළ රොඩ්නි විදානපතිරණගේ ඉරසේවය චිත්‍රපටයේ ද රඟපෑවාය. ඇය රංගන ජීවිතය ආරම්භ කළ ජයන්ත චන්ද්‍රසිරිගේ මාහැඟි චිත්‍රපටයක් ඇයගේ ජීවිතයේ අවසාන රංගනය රූගන්වන්නේ යැයි කිසිවකු හෝ සිතුවේ නැත. ඒ මහරජ ගැමුණු චිත්‍රපටයයි.
    රෙබෙකා මුලුමහත් ක්ෂේත්‍රය පුරාම සියල්ලන්ගේම හොඳහිත දිනාගත් එකියක වූවාය. බොහෝ කලාකරුවන් මෙන් හදවතින් හඬා වැටෙද්දී මුහුණින් සිනාසෙන්නට ඇයට හැකියාව තිබුණි. පුරා වසර අටක්ම ඇය පිළිකා රෝගයෙන් පීඩා වින්ද බැව් දන්නේ ටික දෙනෙකි. එය සියල්ලන්ගෙන්ම සඟවා තම ජීවිතය ඉදිරියට ගෙනියන්නට ඇයට හැකියාව තිබිණ. රෙබෙකා කෙතරම් ක්ෂේත්‍රයේ හොඳහිත දිනා සිටියාද යත් ඇගේ රෝගී බව අනාවරණයවීමත් සමඟ ඈ වෙනුවෙන් කටයුතු කරන්නට බොහෝ දෙනා එකවර ඉදිරිපත් වූයේ කැඳවීමකින් තොරවය. ඒ කිසිවකුට හෝ ඇයගේ ගමන වලකාලන්නට හැකියාව නොතිබිණි. ඒ ජීවිතයේ හැටිය. ජීවිතය කියන්නේ ඒකටය.
    සොඳුරු රුව අනුක්‍රමයෙන් ගිළිහී ගොස් වේදනාවේ දැඩි පීඩනයට හසුව වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ කාරුණික ප්‍රතිකර මැද මරණය එනතුරු ඇයට ඉවසා සිටින්නට සිදුවිය. අවසානයේ ඊයේ අලුයම ඈ සදහටම නෙත් පියාගත්තාය. ඒ වනවිට ‘සරසවිය’ පුවත්පත මුද්‍රණය සඳහා සියල්ල සූදානම් තිබිණි. එහෙත් කාගෙත් ආදරය දිනූ ඇය වෙනුවෙන් පුවත්පත ප්‍රමාද කිරීම නොකළ හැක්කක් නොවේ. රෙබෙකාට යන්නට යැයි කියන්නට රසික ඔබේ මෙන්ම ක්ෂේත්‍රයේ අයටද අපටද බැරිය.
    එසේනම් රෙබෙකාට කියන්න වන්නේ ‘ගිහින් එන්න’ කියාය.
    ‘නැවත එන්න’. ඒ අවුරුදු හතලිස් අටක් වැනි කෙටි කලකදී ආපසු යන්නට නම් නොවේ.
    එය නිසැකවම ඔබගේ ද පැතුම වනු ඇත.
      
    http://www.sarasaviya.lk/2014/08/14/?fn=sa14081461
    READ MORE - වෙද හාමිනේ මරුවාට පැරදුනාය