----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

* ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත්

Tuesday, August 19, 2014

විනූ සිරිවර්ධන “ඇහැළේපොළ කුමාරිහාමි” අත්දැකීම් සමඟ...
අවසානයේදී පුස්වැල්ල කුමාරිහාමිගේ දියණිය ද ඇහැළේපොළ කුමාරිහාමි සමඟ දියේ ගිල්වා මරා දැමීමට තීන්දුව ලැබිණ. සුරුපී බවින් අග තැන්පත් ඈ විවාහ වන්නට සිටියේ මාම්පිටිය කුමාරයා සමඟිනි. මෙරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම මිනිස් ඝාතනයේ කොටස්කාරියක වන්නට ඇයට සිදු විය.
ඇහැළේපොළ කුමාරිහාමි සිනමා සිතුවම නැරැඹූ ඔබට පුස්වැල්ල කුමාරිහාමිගේ දියණියව හොඳ හැටි මතක ඇත. ඒ කවුරුන්දැයි මම ඔබෙන් විමසමි.
ආ . . . ඒ තරුමලීනේ. එයා තමයි පුස්වැල්ල කුමාරිහාමිගේ දුව විදිහට රඟපාන්නේ.
ඒ ඔබ ඇයව හඳුනන ආකාරයයි. තරුමලී විලස ජනප්‍රියත්වය හිමි කර ගත් මේ තාරකාව විනු සිරිවර්ධන නම් වන්නීය. ඇහැළේපොළ කුමාරිහාමි ඇගේ රිදී තිරයට පිවිසීමේ මුවදොර විය.
* විනූ මම කියු දේ හරි නේද?
ඔව්. ඇහැළේපොළ කුමාරිහාමි තමයි මගේ පළමු චිත්‍රපට රංගනය.
* හා හාපුරා කියා සිනමාවට පිවිසියේ ඓතිහාසික චිත්‍රපටයකින්. මොකද හිතෙන්නේ?
මම හිතන්නේ මේක රංගන ශිල්පිනියකට ලැබෙන ඉතාම විරල අවස්ථාවක්. මට එවන් චරිතයක් රඟපාන්න ලැබුණ නේද කියලා හිතත්දිත් පුදුමාකාර සතුටක් දැණෙනවා. අනික එයා ලංකාවේ ඇත්තටම ජීවත් වූ තැනැත්තියක්නේ. ඒක හින්දා ඒ කාලේ විදිහට දෙබස් උච්ඡාරණය කරන්න සිදු වුණා. මේ මොහොතේ මම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතාට ස්තුති වෙනවා මෙවන් වූ චරිතයකට මට ආරාධනා කිරීම පිළිබඳ.
* මෙහි විනූගේ රංගනය හරිම දුර්වලයි කියලා චිත්‍රපටය නරඹපු කිහිප දෙනෙක් මා සමඟ කිව්වා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?
ඇත්තටම මිනිස්සු එහෙම කිව්වද?
* ඔව්.
ඒත් මගේත් එක්ක කවුරුවත් ඔය විදිහෙ කතාවක් කියලා නැහැනේ.
* සමහර විට විනූ තරහා වෙයි කියලා ඔබේ හොඳ විතරක් ඇතැම් අය මූණට කියනවා ඇති?
හරි. මම අර කතාවට මෙහෙම උත්තරයක් දෙන්නම්කො. මේ චරිතය මට සුදුසු නිසානේ අධ්‍යක්ෂවරයා මට කතා කළේ. මම ඊට හැකි අයුරින් උපරිමයෙන් සාධාරණය ඉෂ්ට කළා. මගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මෙය මගේ පළමු චිත්‍රපට රංගයනේ. ඊළඟ චිත්‍රපටයේ මම මීට වඩා හොඳින් රඟපාවි.
* ඇහැළේපොල කුමාරිහාමිහි මාම්පිටිය කුමාරයා ලෙස රඟපෑ අරවින්ද දොඹගහවත්ත සහ ඔබ අතර ඇත්තටම ආදර සම්බන්ධයක් තියෙනවා කියලා කට කතාවක් තියෙනවා?
මොනවා . . . කවුද අප්පේ ඔය වගේ කතා හදන්නේ. මට නම් හරි හිනා.
* සතුටට ද හිනා වෙන්නේ?
අපෝ නැහැ. ඒ වගේ විහිළු කතාවකට හිනා නොවී කොහොමද?
* අරවින්ද ඔබේ පෞද්ගලික මිත්‍රයෙක්ද?
නැහැ. අපි හඳුනගත්තේ ඇහැළේපොළ චිත්‍රපටයෙහි දර්ශන තලයට ආවට පස්සේ.
* ඔබ වරෙක මාධ්‍යයන්ට පවසලා තිබුණා බඳින්න ඉන්න කෙනා විදෙස් ගත වෙලා ඉන්නවා කියලා. අරවින්දත් කාලයක් විදෙස් ගත වෙල හිටියා?
ඔහු එහෙම රට හිටියද කියන්න මම දන්නේ නැහැ. විදෙස් ගත වෙලා ඉන්න කෙනෙකුගෙන් මට විවාහ යෝජනාවක් ආවා තමයි. හැබැයි තවම ඒක ස්ථිර නැහැ.
* ඒත් ඔබ පුන පුනා කියා සිටියා නේද ඔබේ පෙම්වතා විදෙස් ගත වෙලා ඉන්න කෙනෙක් කියලා?
දැනට ඒක ස්ථිර නැහැ. ඒ ගැන වැඩිදුර විස්තර දැනට කියන්න අපහසුයි.
* ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත් මොනවද කරන්නේ?
ඒ කතාව ගැන හොයලා බලනවා.
* ඔබ පිළිබඳ මට ලැබුණු නරක ආරංචියක් කියන්නද බලන්න?
හා.
* විනූට හරියට මුල අමතක වෙනවලු?
මම ආසයි ඒ වගේ දේවල් මගේ මුහුණට අහනවා නම්.
* ඒ කිව්වේ?
මට මුල අමතක නැහැ කියලා මම දන්නවා. ඒ හින්දා ඔය වගේ කතා හදන අයටයි මම මේ කියන්නේ. තැන් තැන්වල ඔය වගේ කතා පතුරන්නේ නැතුව කෙළින්ම මගෙන් අහන්න. මම ඒවාට නියමෙට පිළිතුරු දෙන්නම්.
* ඔබ මේ දවස්වල ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඉගෙන ගන්නවා. ඒ ගැනත් කියමු?
මම ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා.
* එහි අවසාන අරමුණ මාධ්‍ය ආයතනයක් හා සම්බන්ධ වීමද?
ඔව්.
* එතකොට රංගනය?
ජනමාධ්‍ය කියන්නේ කලාවේම කොටසක්නේ. ඒක කරන ගමන් මේකත් කරනවා.
* තරුමලී නිසා ඔබේ ඇත්ත නම දැන් බෙහෙවින් යටපත් වෙලා?
කමක් නැහැ. අමතක වෙලා ගියාදෙන්. තරුමලී කියන නම හොඳයි. අපේ පන්තියේ දේශන සඳහා එඩ්වින් ආරියදාස මහත්මයා ආව පළමු දවසේ මාව දැකලා ‘ආ . . . මේ අපේ තරුමලිත් පන්තියේ ඉන්නවනේ’ කියලයි දේශනය ආරම්භ කළේ.
* විනූගේ ඉදිරි නිර්මාණ මොනවද තියෙන්නේ?
නාට්‍ය තුනක් විකාශය වෙන්නට නියමිතයි. ඒවා එනකම් මමත් බලාගෙන ඉන්නවා.
* විනූ, අපි ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ ඔබ අසීරුවෙන්ම රඟපෑ දර්ශනය ගැන කතා කරමින් මේ සංවාදය අවසන් කරමු?
දියේ ගිල්වා මරණ දර්ශනයට මම හරිම බයෙන් මුහුණ දුන්නේ. දඹුල්ල පැත්තේ වැවක තමයි ෂූටිං තිබුණේ. අධ්‍යක්ෂවරයා දහයේ ඉඳලා එකට ගැන්නා. එක කියද්දී වධකයා මාව වැවට දැම්මා. අත් දෙකම ගැට ගහලයි තිබුණේ. ඇත්තටම එදා මට මරණ බය දැනුණා.

0 comments:

Post a Comment