----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

Friday, April 18, 2014

මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

සුපිරි අන්දරේ අධ්‍යක්ෂ මිචෙල් ෆොන්සේකා
සැඩ සුළං, නෙතු පියෙන තුරා, වල්මත වූවෝ වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ මිචෙල් ෆොන්සේකා අද සිට තිරගත වීම ඇරැඹෙන සුපිරි අන්දරේ සිනමා සිතුවම සමඟ සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත්විය. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන එහි ටෙනිසන් කුරේ ද්විත්ව චරිත නිරූපණයක යෙදීම විශේෂත්වයකි. අධ්‍යක්ෂවරයකු වශයෙන් මෙතෙක් ආ ගමන් මඟ වෙනස් කොට සිනමාව භාවිතයට ගනිමින් නිර්මාණකරණයෙහි යෙදෙන්නට සූදානම් වන මිචෙල්ව අප සංවාදයකට කැඳ වූයේ සුපිරි අන්දරේ ප්‍රධාන නිමිත්ත බවට පත්කර ගනිමිනි.
* මිචෙල්, කොහොමද සුපිරි අන්දරේ නිර්මාණය කිරීම ඇරැඹුණේ?
මේ කතාව මුලින්ම මගේ හිතටයි ආවේ. මං ඒක මෙය රචනා කළ සරත්චන්ද්‍ර පත්තඬුවන සහ සෙනරත් පීරිස්ට කිව්වා. ඔවුන් ඉතාම රසවත් අන්දමින් මෙහි තිර පිටපත සකස් කළා. මට එතකොටත් නිෂ්පාදකවරුන් තිදෙනෙකු මෙය සඳහා වියදම් කරන්න හිටියා. ඒ අයටත් ඕනෑ වුණේ සෑම වයසකම ප්‍රේක්ෂකයන් ග්‍රහණය කරන්නට හැකි චිත්‍රපටයක් කිරීම.
* ඒත් සුපිරි අන්දරේ අන්තිම සරල චිත්‍රපටයක් නොවේද?
ඒ සරලකම ඇති කළේ කුමන තරාතිරමක සිනමාලෝලියකුට වුවත් චිත්‍රපටය තේරුම් ගන්න. පවුල් පිටින් සුපිරි අන්දරේ නරඹන්න එන විශ්වාසය මා සිතෙහි තදින්ම තිබුණා. අනික සරලකම සුන්දරයිනේ.
* හාස්‍යෝත්පාදක සිනමාපට ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට යනවා කියලා මතයක් තියෙනවා?
ඔව්. මං ඒක දන්නවා. ඉක්මනින් හිට් කරගන්න ඕනෑ නිසයි හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් කළේ. අනිවාර්යයෙන්ම සුපිරි අන්දරේ හිට් වෙනවාමයි.
* ටෙලිවිෂනයට ඔබ නිර්මාණය කරන්නේ උසස් රසයකින් යුතු මෙගා නොවන ටෙලි නාට්‍ය කිහිපයක්. ඒවා නරඹපු අය ඔබෙන් බලාපොරොත්තු වුණේ ඒ ආරෙන් යුතු සිනමාපටයක් විය හැකියි?
වෙන්න පුළුවන්. මම ඒ අයගේ බලාපොරොත්තුªª කඩ කළේ නැහැ. මේක මම සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් අලුත් පියවරක් තැබීම පමණයි. තව මා අතින් විවිධ රසාස්වාදයෙන් යුතු සිනමාපට බිහිවන්න තියෙනවා. හොඳ හොඳ සෙල්ලම එළිවෙන ජාමෙට තමා තියෙන්නේ.
* මට නම් දැනෙන්නේ ඔබ ටෙස්ට් කරලා බලන්න සුපිරි අන්දරේ නිර්මාණය කළා වගේ. ඔබ හරි යන්න හෝ වරදින්න තුරුම්පුවක් ගැහැව්වා?
නැහැ, නැහැ. මේ වන විට ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලුමක් තියෙන්නේ ළමා හෝ විකට චිත්‍රපටයකට. මං ඉතින් ඒ දෙවැන්න තෝරා ගත්තා.
* ඒ කියන්නේ ඔබ ඉල්ලුමට සැපයුම දුන්නා කියන එකනේ. බැරි වෙලාවත් වැඩිහිටියන්ට පමණයි සිනමාපට සඳහා ඉල්ලුමක් ආවොත් මිචෙල් ෆොන්සේකා එවැනි සිනමාපටයක් අධ්‍යක්ෂණය කරයිද?
එතෙන්දි මං ඉල්ලුමට සැපයුම න්‍යායට පටහැනිව කි‍්‍රයා කරනවා. හැම තිස්සේම ප්‍රේක්ෂකයන් ඉල්ලන එක දෙන්න හොද නැහැ.
* සුපිරි අන්දරේ නරඹපු ගොඩක් දෙනෙකු කිව්වේ චිත්‍රපටයෙහි කතාව හරියටම තේරුම් ගන්න පටන් ගත්තේ එහි මැද හරියට වන්නට කියලා?
ඉතින් ඒකනේ විය යුත්තෙත්. පටන් ගත්ත ගමන් ඔක්කොම තේරුම් කරලා දුන්නොත් ප්‍රේක්ෂකයින් හැරිලා යනවානෙ. හිතාමතාමයි එලෙස කළේ. මේ තත්ත්වය මත අවසානය වෙනකකම් ප්‍රේක්ෂකයා චිත්‍රපටය රස විඳිනවා.
* මෙහි ටෙනිසන් කුරේ ද්විත්ව චරිත මවනවා. බන්දු සමරසිංහවත් ගත්තා නම් චිත්‍රපටය තවත් සාර්ථක වන්නට ඉඩ තිබුණා නොවේද?
මාත් ඔය මතයේ හිටියා. ඔහුට දෙන්න චරිතයක් තිබුණෙම නැහැ සුපිරි අන්දරේ තුළ. ඉතිං මං හිතා ගත්තා මේ චිත්‍රපටයේ ටෙනිසන්, ඊළඟ චිත්‍රපටයට බන්දුව ගන්න. මට තව දෙයක් කියන්න ඕනෑ.
* කියන්න?
ටෙනිසන් කුරේගේ මං දැකපු හොඳම රංගනය තියෙන්නේ මේ චිත්‍රපටයේ.
* ඔබ කොහොමද ඒක හරියටම කියන්නේ?
මං ඔහු රඟපාපු චිත්‍රපට සියල්ලම වගේ බලලා තියෙනවා. ඒවා එක්ක සසඳද්දී ටෙනිසන් මෙහි කරන රඟපෑම අද්විතීයයි.
* කොතරම් හොඳට සුපිරි අන්දරේ සිනමාපටයේ නළු නිළියන් රඟපෑවත් අපේ රටේ සම්මාන උළෙලයන්හී හාස්‍යෝත්පාදක චිත්‍රපට ඇගැයීමකට ලක්වන්නේ නැහැනේද?
අන්න බලන්න කොතරම් අසාධාරණ ද කියලා. අපේ රටේ විතරයි මේ තත්ත්වය තියෙන්නේ. හාස්‍යෝත්පාදක සිනමා කෘතීන් සම්මාන උළෙලවල් නියෝජනය කරන්න ඕනෑ. මම කියන්නේ හොඳම විකට නළුවා, නිළිය හොයලා සම්මාන දෙන්න කියන එක නෙවෙයි. හොඳම සහාය නළුවා, හොඳම සංගීත අධ්‍යක්ෂ හාස්‍යෝත්පාදක චිත්‍රපට තුළින් බිහිවන්න පුළුවන්. මේ වගේ චිත්‍රපටයක නිර්මාණකරුවන්, හොඳ යැයි සමාජය විශ්වාස කරන චිත්‍රපටයක නිර්මාණකරුවන්ව අභිබවා යන්න පුළුවන්.
* සම්භාව්‍ය චිත්‍රපට ගැන ඔබ ද්වේශ යකින්ද ඉන්නේ?
අපෝ නැහැ. සම්භාව්‍ය හෝ වේවා වෙනත් අංශයක චිත්‍රපට හෝ වේවා ඒවා බලලා ප්‍රේක්ෂකයින් වල්මත් වෙනවට මං ආස නැහැ. මිනිස්සු සල්ලි දීලා සිනමා ශාලාවට එන්නේ ප්‍රහේලිකා විසඳන්න නෙවෙයිනේ.
* සරත් වික්‍රමව ඔබ පළමු වතාවට හාස්‍යෝත්පාදක චිත්‍රපටයක සංගීත නිර්මාණය සඳහා යොදා ගන්නවා. මොකක්ද ඉන් ඔබ බලාපොරොත්තුª වූයේ?
මගේ අවශ්‍යතාව ඔහුව මෙතෙක් කොටු වී තිබූ රාමුවෙන් ගලවා ගන්න. ඔහු ඉතා සාර්ථකව චිත්‍රපටයේ සංගීත නිමැවුම් කළා. මට ඕනෑ වුණා සරත් ලව්වා හැත්තෑව අසූව දශකවල ජෝති ගැයුවා වගේ ගීතයක් නිර්මාණය කර ඒක චිත්‍රපටයට යොදා ගන්න. ඒක තමයි චිත්‍රපටයේ අඩංගු නුවන් ගුණවර්ධන ගයන යායෙන් යාය ගීතය. මං හිතන්නේ ප්‍රේක්ෂකයින් හොඳට විඳීයි.
* සුපිරි අන්දරේ පෝලිමේ ඉන්නේ නැතුව ඉක්මනින් තිරගත වුණා. කොහොමද එහෙම වුණේ?
මං හිතන්නේ මම තමයි ලංකාවේ ඉන්න වාසනාවන්තම සිනමා අධ්‍යක්ෂවරයා. වැඩ කටයුතු නිම කොට මං අවශ්‍ය තැන්වලට චිත්‍රපටය බාර දුන්නා. එම්. පී. අයි. මණ්ඩලයෙන් මට තිරගත කරන්නට දින දුන්නා. මගෙන් හෝ නිෂ්පාදක කණ්ඩායම කිසිම බලපෑමක් කළේ නැහැ.
* චිත්‍රපටය කරන්න ගිහින් වැරැදුන තැන් මොනවාද?
එහෙම වැරැදුන තැන් තිබුණේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. නිර්මාණකරුවෙකු කියන්නේ තෘප්තිමත් වන කෙනෙක් නෙවෙයිනේ. ඒක නිසා ඊළඟට හදන චිත්‍රපටය මීට වඩා දස ගුණයක් හොඳට හදනවා.
* ඔබට දැන් ටෙලිවිෂනයට වඩා සිනමාවට හිත ගිහින් වගේ. ඇයි කලාවට ඇවිත් දශක දෙකක් ගත වෙනකම් හිටියේ චිත්‍රපටයක් හදන්න?
මං අධ්‍යයනය කළා. අධ්‍යයනය කළා කිව්වේ ඩිග්රි ගත්තා කියන එක නොවේ. මං හෙමින් හෙමින් වැඩ කිරීම තුළින්මයි ඉගෙන ගත්තේ. ටෙලි මාධ්‍ය තුළින් ලබාගත් ඒ අත්දැකීම් රැගෙනයි සිනමාවට ආවේ. ඔබ කිව්වා වගේ සිනමාවට මං දැන් ලොබ බැඳලා. ඉදිරියටත් සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් තමයි මගේ නම කියවනේනේ.
* අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?
සුපිරි අන්දරේ නිෂ්පාදනය ක්‍රිෂාන් දිලීප පෙරේරා, ප්ලැසිඩස් අයි. ප්‍රනාන්දු සහ සම නිෂ්පාදක ලක්ෂ්මන් ප්‍රේමතිලක යන මහත්වරන්ව මතක් කරනවා. ඒ වගේම අප නිෂ්පාදක පිරිවරට තුති පුදන්නත් කැමැතියි.

0 comments:

Post a Comment