----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මට වෙලාවක් නෑ

Saturday, April 19, 2014

නළු නිළියන් ආශ්‍රයට මට වෙලාවක් නෑ

මධ්‍යම පළාත් මහ ඇමැති
සරත් ඒකනායක
දේශපාලනඥයකුට වගකීම් බොහෝය. එසේම කලාකරුවන්ට ද ඇතිවන්නේ ලේසි පහසු ප්‍රශ්න නොවේ. එසේ තිබියදී දේශපාලනඥයින් කලාවට යොමුවීම දැකිය හැකිය. එයට හේතුව සෑම මිනිසකු තුළම පාහේ අප හඳුනන මෙන්ම නාඳුනන කලාකරුවකු සිටිනා නිසාය. ‘කලාකාර ඇමැති’ විශේෂාංගය අද වෙන්වන්නේ එවන් කලා හැකියාවන් ඇති මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ කලා සිතුවිලි විමසන්නටයි.
ඔබට කලාකරුවෙක් ලෙස ඇමතුවොත්?
මම හරිම කැමැතියි.
ඇයි ඒ?
මම ඇත්තෙන්ම කලාකරුවෙක් නිසා, අනෙක මම කලාවට ළැදි නිසා.
කලා අංශයට ඔබ යොමු වුණේ?
කුඩා කාලේ ඉඳන්ම. පාසලේ කලා කටයුතු ගැන අමතක කරන්න බෑ. අනෙක් ඒවා සිහිපත් නොකළත් ගීත ගායනයට යොමු වුණ බව නොකියාම බෑ. කැලණිය ධර්මාලෝක විදුහලේ මා එක්ක ප්‍රවීණ ගායකයකු වන සුනිල් එදිරිසිංහත් ඉගෙන ගත්තා. පද්‍ය ගද්‍ය රචනා තරගවලදීත් නාට්‍යවලිනුත් අපි විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටියා. ජයග්‍රහණය කළා.
ප්‍රධාන චරිතයක් ලෙස කරළියට නොආවාට නාට්‍යවල කටයුතු කළා. ඊට පසු ප්‍රධාන වශයෙන් කලාවට යොමු වුණේ මීරිගම ගුරු විද්‍යාලයේදී “වාරුවෙන් යන මිනිස්සු” කියලා නෙවිල් ඩයස් සුබසිංහ නම් උසස් කලාකරුවාගේ නාට්‍යයකින් තමයි අපි ප්‍රසිද්ධ වේදිකාවට ආවේ.
අපි කීවේ?
ජැක්සන් ඇන්තනි ඔහුගේ බිරිය කුමාරි, ජයන්ත චන්ද්‍රසිරි ඔය වගේ පිරිසක් ඒ නාට්‍යයෙන් පටන්ගත්තේ.
දිගටම ඒ ගමන නොගියේ?
මගේ සිහිනයක් තිබුණා ඉංජිනේරු අංශයෙන් ඉහළටම යන්න. ඒ නිසා මට අධ්‍යාපනය සඳහා අවුරුදු 8 ක් පමණ විදේශගත වන්න සිදුවුණා.
ඔබ නාට්‍ය උලෙළ සඳහා තරගවැදී නැද්ද?
සම්බන්ධ වුණා. 1980 යොවුන් නාට්‍ය උලෙළට ඉදිරිපත්ව සම්මාන ලැබූ “මානවයෝ” නාට්‍යයට මම සම්බන්ධ වුණා.
ඔබට සම්මාන ලැබුණේ නැද්ද?
නෑ. අපි හැම විටම වගේ කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වුණේ.
පිටරට ගියාට පසු කලාව කැලෑවට ගියා ද?
අපෝ නෑ. නෝර්වේ රටේ ඉගෙන ගන්න අතරේ තමයි අපි ‘නෝර්වේ - සිංහල ශ්‍රී ලංකා සංගමය පිහිටුවා ගත්තේ. එහෙදි මම හොඳ නළුවෙක් වගේම ගායකයෙක්
මෙහෙදී?
මෙහෙදි ටෙලි නාට්‍ය කීපයක තාත්තාගේ චරිතය එහෙම රඟපාලා තිබෙනවා. ‘රෝස අසපුව’ ටෙලි නාට්‍යයේ මගේ බිරියගේ චරිතය කළේ චිත්‍රා වරකාගොඩ මහත්මිය. ඒ අතර ගායන කටයුතුවල වගේම, ‘හද්දින්නත් තරු’, ‘චැට් ඇන්ඩ් මියුසික්’ වගේ වැඩසටහන්වලටත් සහභාගි වෙලා තිබෙනවා. ඒත් දේශපාලන කටයුතුවලට කාලය ගත වුණාම කලාවට යොමුවන්න කාලය හරස් වනවා.
ඔබ නිතර ගායනා කරන්න කැමැති කාගේ ගීත ද?
ඇත්තෙන්ම ගායකයාට වඩා ගීතවලටයි ප්‍රමුඛතාව දෙන්නේ. නිතරම ගයන්න කැමතියි මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා කඳුළු කතාවේ. සැඳෑ අඳුර ලොව, වගේ ගීත. ඒ වගේම ගායකයන් අතරින් පණ්ඩිත් අමරදේවයන්ට, සමකාලීන මිතුරු සුනිල් එදිරිසිංහ, ආචාර්ය වික්ටර් රත්නායක, සෝමතිලක ජයමහ ඊට පසු පරපුරෙන් කරුණාරත්න දිවුල්ගනේ වැනි ගායකයන් තව බොහෝ දෙනකුට කැමැතියි.
ගායිකාවන්?
නන්දා මාලනියගේ හඬ අපට අමතක කරන්න බෑ. පැරැණි පරපුරෙන් ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි අයගේ ගීතත් මගේ සිත්ගෙන තිබෙනවා. මෑත යුගයේ දීපිකා ප්‍රියදර්ශනී වැනි ගායිකාවන් මගේ සිතට දැනෙන අයුරින් ගීත ගයනවා.
ඔබේම ගීත එකතුවක් කරන්න සිතුණේ නැද්ද?
පසුගිය දිනවල මගේම ගීතයක් පටිගත කළා. එයට තවත් ගීත කීපයක්. මගේ උපන් ගමේ, මාතලේ දක්ෂයින්ගෙන් එකතු කරලා රූප රචනා කරලා තව මාස තුන හතරකින් එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ.
පොත් කියවීමටත් ඔබ රුසියෙක් ද?
මගේ වාහනේ අනිවාර්යයෙන්ම පොත් දෙක තුනක් තිබෙනවා. සාමාන්‍යයෙන් මම කැමැති චරිත කතා කියවන්න. මොකද ඒවායින් අපේ ජීවිතයට ගත හැකි දේ බොහෝයි. ළඟදී මම ආශාවෙන් කියැවූයේ “වාරීස් ඩයරි” කියලා සෝමාලියාවේ ඈත දුෂ්කර ගමක ඉඳලා ඇවිත් ලෝකේ ප්‍රධාන පෙළේ නිරූපණ ශිල්පිනියක වුණ ආකාරය ගැන ලියූ ජීවිත කතාව. ඉස්සර නම් මම නවකතා බොහොමයක් කියෙව්වා.
ඔබ පොත් ලියනව ද?
මම පොත් කීපයක් ලියන්න ආරම්භ කළා. එකක් නම් “නිදහස් සිතුවිලි” අවුරුදු නවයකට පමණ කලින් එළිදැක්වූ මානව හිමිකම් පිළිබඳ පොතක්. අනෙක් ඒවා නම් ඒ ඒ අවස්ථාවලට ගැළපෙන පරිදි දරුවන් දැනුම්වත් කිරීම ආදී අවශ්‍යතාවලට ලියු පොත් පිංච කීපයක්.
වර්තමාන නවකතා ගැන ඔබේ අදහස?
මට අද ලියන අය ගැන අගෞරව කරන්න අයිතියක් නෑ. කියවීමේ වැදගත්කම දැන් දැන් සමාජයට යනවා අඩුයි. පුවත්පතක් වුණත් කියවන්නේ මිනීමැරුම්, හොරු ඇල්ලීම් බලන්නනේ. නවකතාවට සුදුසු තැන ලැබිලා නෑ. ඒ නිසා අපි මධ්‍යම පළාතේ ලේඛකයන්ට ‘ලේඛක අත්වැල’ කියා වැඩසටහනක් අරඹා ඔවුන්ගේ පොත් මිලදී ගැනීම් ආදිය සඳහා උපකාර කරන වැඩපිළිවෙළක් සකසා තිබෙනවා.
චිත්‍රපට?
ඉස්සරනම් බැලුවා මෑතකදී නම් බැලුවේ නැහැ.
බැලුවේ නැද්ද? බලන්න තරම් එකක් තිබුණේ නැද්ද?
අවංකවම කීවොත් එහෙම ගැටලුවකුත් තිබෙනවා. උසස් මට්ටමේ හා ළමා චිත්‍රපට හෝ අපේ අභිමානය ගැන කියැවෙන චිත්‍රපට නම් කොහොමහරි වෙලාවක් හදාගෙන බලනවා. අනෙක රූපවාහිනී පෙට්ටියට ඇබ්බැහි වී සිටින ජනතාවගෙනුත් සිනමාවට සාධාරණයක් විය යුතුයි.
නළු නිළියන් අතරින් වඩා කැමැති?
ගාමිණී ෆොන්සේකාට , ජෝ අබේවික්‍රමට සම කරන්න, රුක්මණි දේවි, මාලනී ‍ෆොන්සේකාට සම කරන්න සසඳන්න අය නම් මම දන්නේ නෑ.
වර්තමාන නළු නිළියන්?
ඒ අය බොහෝ දෙනෙක් මම අඳුනනවා. නමුත් කිට්ටු ආශ්‍රයක් සඳහා වෙලාවක් නෑ. උත්සවයකදී වගේ කතා කළොත් පමණයි. කොහොම වුණත් ඒ අයටත් මම ගරු කරනවා. මොකද කලාවේ රැඳී සිටීමම අමාරු කාර්යයක් නිසා.
ඔබේ පවුලේ තව කලාකරුවන් සිටිනවා ද?
නන්දිමිත්‍ර ඒකනායක මගේ අයියා. ඔහු ටෙලි නාට්‍ය කීපයකම රඟපෑවා. ඒ හැර කවුරුත් නෑ.
ඔබේ බිරිය කලාවට සම්බන්ධ ද?
මදාරා කලාවට කැමැති වුණාට සම්බන්ධ නැහැ.
දරුවන්?
පුතා මිත්සුක තවම වයස 12 යි. පුතා නම් කලාවට කොයිතරම් යොමුවෙයි ද කියන්න බෑ. නමුත් දුව ඕෂිනී ශවින්දිකා. ජීව රසායන විද්‍යාව හදාරන්නේ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක, ඇය ගියේ අන්තර්ජාතික පාසලකට එහිදී නම් උඩරට නැටුම් අංශයෙන් ජනප්‍රිය වුණා.
ඔබ සිතන ආකාරයට ඔබේ පවුලේ අය විශේෂයෙන් බිරිය කැමැති මහ ඇමැතිවරයාට ද? කලාකරුවකුට ද?
බිරිය දේශපාලනයට නම් කැමැති නෑ. ඒ නිසා මහ ඇමැති තනතුරට ඒ තරම් කැමැතියි කියන්න බෑ. හැබැයි කලාවට නම් කැමැතියි. ඒත් කලාකරුවකු වෙනවට කැමැති ද නම් දන්නේ නෑ.

http://www.silumina.lk/2014/04/06/_art.asp?fn=av1404062

0 comments:

Post a Comment