----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණා

Friday, November 15, 2013

අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණා

කීර්ති පැස්කුවල්
කීර්තිගේ ගී ප්‍රසංගය සමඟ 'තව දවසක්' ගී තැටිය 24 වැනිදා එළිදකී
තව දවසක් හමු වී ඉමු
මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති
දෑස් ඔබේ...!
(පද - සජිත් වී. චතුරංග)
වසන්තයේ දී මෙන්ම ගිම්හානයේදී ද ගීතලෝලී සිත් ආකර්ෂණය කරගන්නා අපේ සංගීත ක්ෂේත්‍රයේ “ළයාන්විතයා” වන කීර්ති පැස්කුවල් ගයන නවතම ගීතයක් ගුවනේ පාවී එයි. වසරේ සෑම සෘතුවකටම ගැළපෙන හඬක් (voice for all season) හිමි ගායන ශිල්පියෙකු වන කීර්ති මේ වසර මුලදී එනම් ජනවාරි 27 වැනිදා “රසඳුන” සමඟ කළ කතාබහකදී “මේ අවුරුද්ද අවසානයට පෙර මගේ ගීත ප්‍රසංගයක් පවත්වනවා. එදාට මගේ අලුත්ම ගීත තැටියත් එළිදක්වනවා” යයි කී අයුරුම එය ඉටු කරන්නට මේ දිනවල සූදානම් වේ.
ඒ, ලබන 24 වැනිදා සවස 6.45 ට නවිකෘත කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර නව සම්මන්ත්‍රණ ශාලාවේදී ය. එහිදී කීර්තිගේ සජිවි ඒක පුද්ගල ගීත ප්‍රසංගය වන Keerthi Acoustica Unplugged Live Concert පැවැත්වීමටත් ඒ හා සමගාමීව ඔහුගේ නවතම ගීත ඇල්බමය වන “තව දවසක්” එළිදැක්වීමටත් නියමිත ය. ඒ නිමිත්තෙන් මෙවර “ස්වර වර්ණ” සිය සිතුවිලි වලින් වර්ණ ගන්වන්නට අපි කීර්තිට ආරාධනා කරමු.
“මගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් මේ පැවැත්වෙන්නේ අවුරුදු පහළොවකට පස්සේ. මගේ ප්‍රසංගයට මේ නම යොදලා තියෙන්නේ මෙහිදී පාවිච්චි කරන එකෝස්ටික් සංගීත භාණ්ඩ නිසායි. ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ යොදා ගන්නේම නැහැ. වාදකයින් 25 දෙනෙක් මෙහි වාදනයේ යෙදෙනවා. මෙය සංගීතවත් කරන්න සංගීත අධ්‍යක්ෂවරු හතර දෙනෙකුට මං ආරාධනා කර තියෙනවා. සංගීතයේ වෙනස් ම වූ රසමුසු අත්දැකීමක් ගීත රසිකයින්ට ලබා දීමේ හැඟීමෙන් තමයි මෙහෙම සංගීත භාණ්ඩ වල සහ සංගීත ශිල්පීන්ගේ වෙනසක් ඇති කළේ. විශේෂයෙන් සංගීත භාණ්ඩ සංකලනයෙන් උත්පාදනය කළ හැකි උපරීම රසය ප්‍රේක්ෂකයින්ට ලබා දීමට මම මෙහිදී උත්සාහ කරනවා.”
. සංගීත භාණ්ඩ වෙනස් කර වැඩි සංගීත ශිල්පීන් පිරිසක් යොදා ගත් පමණින් ප්‍රේක්ෂකයින්ට නැවුම් රසයක් ලබා දීමට හැකිවේ ද...?
“සංගීත භාණ්ඩ සහ ශිල්පීන්ගෙන් පමණක් නෙමේ මේ ප්‍රසංගයට නැවුම් රසයක් එක් කරන්නේ. රසිකයින් අසා පුරුදු මගේ ජනප්‍රිය ගී තනු වෙනස් නොකර නව නිර්මාණ ලෙස සංගීතවත් කෙරෙනවා. මා මෙහිදී ගයන ගීත විසි හයෙන් දහයකට වැඩි ප්‍රමාණයක් එලෙස ගයනවා. මගේ අලුත්ම ගීත කිහිපයකුත් ගායනා කරනවා. භාවනායෝගීව මෙන් ගීතය විඳින්න මගේ ප්‍රේක්ෂකයාට අවස්ථාව සලසා දීම තමයි මගේ අරමුණ.
. ගීත ප්‍රසංගයට සමගාමීව එළිදක්වන ඔබේ අලුත්ම ගීත ඇතුළත් ‘තව දවසක්’ සංයුක්ත තැටියේ නිර්මාණ දායකත්වය කාගෙන් ද...?
“මගේ ‘තව දවසක්’ ගීත ඇල්බමයට ගී පද රචනයෙන් සහ තනු නිර්මාණයෙන් අලුත් නිර්මාණකරුවන් වැඩි පිරිසකගේ නිර්මාණ මම දායක කර ගත්තා. නිර්මාණය හොඳ නම් නවකයෙකුගේ වුණත් මම ගායනා කරනවා. ඒකට උදාහරණයක් තමයි මගේ ‘කඳුළ’ ගීතය. ඒ නිර්මාණයට දායක වූ දෙදෙනාම නවකයින්. ඒ ගීතයට තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කිසිම විටෙක ප්‍රවීණයින්ගේම ගීත භාවිත කළ යුතුයි කියන මතයේ නැහැ. නිර්මාණය හොඳ නම් මම සතුටෙන් එය බාර ගන්නවා. ගීත 16 ක් මේ තැටියට ඇතුළත් කරනවා. තවමත් ගීත තැටිගත කිරීම් කරගෙන යනවා. ප්‍රසංගය දා වන විට සියලු කටයුතු අවසන් කරගන්න පුළුවන් වෙයි කියා මං හිතනවා. ඒ වගේම එදාට මගේ තොරතුරු සහ ගීත ඇතුළත් නිර්මාණාත්මක සමරු කලාපයකුත් මගේ සෑම රසික රසිකාවියකටම ලබා දෙන්නත් මම අදහස් කරගෙන ඉන්නවා.”
. ඔබ මේ ගීත ප්‍රසංගය පවත්වන්නේ කිසියම් සුවිශේෂ සද්කාරයක් උදෙසා දායක වීමේ අරමුණින් නේද...?
“විශේෂයෙන්ම මම දැන් අවුරුදු 15 ක පමණ කාලයක් පුරා කෝට්ටේ ශ්‍රී වජිර ළමා නිවාසය සමඟ කටයුතු කරනවා. සුනාමි ව්‍යසනයෙන් පසුව එහි ළමයි 380 ක් පමණ උන්නා. දැන් ළමයි 190 ක් පමණ එහි ඉන්නවා. පසුගිය කාලය පුරාවටම මම ඔවුන් සමඟ දානමාන, තෑගිබෝග, ගීත ප්‍රසංග වැනි විවිධ ක්‍රියාකාරකම් කළා. මෙවැනි දරුවන් වෙනුවෙන් මගේ සංකල්පයකට අනුව ‘The Child සුබ සාධක පදනම’ නමින් පදනමක් ද පිහිටුවා තිබෙනවා. පසුගිය මගේ උපන් දිනය දාත් (ජනවාරි 29 වැනිදාත්) මම ‘නිල් ආකාසේ’ නමින් ළමා ගීත තැටියක් එළි දැක්වූවා. 2005 දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මා දරුවන් වෙනුවෙන් පැවැත් වූ ගීත ප්‍රසංගයේ දීත් මේ ළමා නිවාසයේ ළමයින් වැඩි දෙනෙකු සහභාගි කරවා ගෙන ගීතයක් ගායනා කළා. මේ දරුවන්ට පාසලක් පැවැත්වෙන්නෙත් මේ ළමා නිවාසය ඇතුළේමයි.
එම පාසල අහවර වෙලා හවස් වරුවේ දරුවන්ට සංගීත පාසලක් පවත්වන්න මං කටයුතු කරගෙන යනවා. ඒ සඳහා සුදුසු සංගීත ආචාර්යවරයකු පත් කරලා වැටුප් ගෙවන්න, සියලුම සංගීත භාණ්ඩ සහ උපකරණ ලබා ගන්න වගේම ඉදිරි නඩත්තු කටයුතු කරගෙන යාමට මේ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් යම්කිසි කොටසක් යොදවන්න මං අරමුණු කරනවා. ඒ තුළින් අධ්‍යාපනයට අමතරව සිහින එහෙම නැත්නම් කලාත්මක සිතුවිලි මේ දරුවන්ගේ සිත්වලට ඇතුළු කරලා ඔවුන් හොඳ පුරවැසියන් බවට පත් කිරීමට හැකිවෙයි කියා මං බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ දෙමවුපියන්, ඥාතින් අහිමි වී ඉන්න දරුවන්ට මානසික වින්දනය සහ සුවය ලැබෙන විට ඒ අයට යම්කිසි සෞන්දර්යාත්මක චින්තනයක් පහළ වේවි කියා මං විශ්වාස කරනවා.”
. ඔබ සංගීත චිකිත්සාව හා සම්බන්ධ සද්කාරයකටත් සූදානම් වෙන බව ආරංචියි.
“ඔව්. දැනට ලෝකය පුරාම ප්‍රචලිත වෙමින් පවතිනවා වෛද්‍ය විද්‍යාවේ බේත්හේත් වලට අමතරව 40% ක පමණ රෝග සුවයක් සංගීතයෙන් කරන්න පුළුවන් කියන මතය. ඊට අදාළව සංගීත චිකිත්සාව (music therapy) නමින් වැඩමුළු පැවැත්වෙන අතර හෘදයාබාධ, අධි රුධිර පීඩන, දියවැඩියා, පිළිකා සහ මානසික රෝගීන් එම වැඩමුළුවලදී සුවය අත්දකින ප්‍රවණතාව වැඩි වී තිබෙනවා. 1952 සිට තමයි මෙම සංගීත චිකිත්සාව ඇරඹුණේ. දැන් ලංකාවෙත් සිදු කෙරෙනවා. ඉතින් මමත් තව සංගීත ශිල්පීන් හතර දෙනෙකුත් වෛද්‍යවරයෙකුත් එකතු වෙලා මේ කටයුත්ත ආරම්භ කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. අපි විවිධ ආරෝග්‍ය ශාලා, වැඩිහිටි සහ ළමා නිවාස, අධ්‍යාපන ආයතනවලට ගොස් සංගීත චිකිත්සාවෙන් යම් යම් රෝගාබාධවලට ලක් වී ඉන්න රෝගීන්ට සේවයක් සලසන්න අදහස් කරනවා.”
. මෙතෙක් ගායන සහ වාදන ශිල්පියෙකු ලෙස අප හඳුනා ගෙන සිටි “කීර්ති පැස්කුවල්” ඉදිරි දවසකදී “සංගීත වෛද්‍යවරයෙකු” ලෙසින් අපට හමුවේවි ද...?
“යම්කිසි විදිහක සංගීත වෛද්‍යවරයෙකු හැටියට තමයි සංගීතය තුළින් මෙම කටයුත්තේ නියැළෙන විට ඔබට මා හමු වෙන්නේ. ‘කොහොමද සංගීත චිකිත්සාවෙන් රෝග සුව කරන්නේ’ කියලා සංගීත ශිල්පියෙකු ලෙස මමත් අධ්‍යයනය කරනවා. සංගීත ශිල්පියෙකු ලෙස මා ලද අත්දැකීම් මම මෙහිදී යොදවන්න බලාපොරොත්තු වෙනවා. මගේ සංගීත ශෛලිය කිසියම් මානසික සුවයක් ලබා දීම පිණිස ගැළපෙන බව මම විශ්වාස කරනවා. මා ලබා ගත් දැනුමෙන් සමාජයට යම්කිසි දෙයක් දිය යුතුයි කියා මම හිතනවා. අපි අද කලාකරුවන් බවට පත්වෙලා යම් ස්ථාවර ජීවන තත්ත්වයක ඉන්නේ සමාජය අපිව පිළිගත් නිසයි. ඉතින් ආපසු සමාජයට වටිනා වැදගත් දෙයක් දීමේ අරමුණින් තමයි මම මේ සංගීත චිකිත්සාවට දායක වෙන්නේ.”
. “සංගීත චිකිත්සාව” අපේ සංගීත ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් වේද...?
“එය එසේ වුවහොත් එය ඉතාම යහපත් ප්‍රවණතාවක් වේවි. හැබැයි නිවැරදිව මේ කරුණු කාරණා තෝරා බේරාගෙන සුදුස්සන් පමණක්ම ඉතාම වගකීමෙන් යුතුව මේ කටයුත්තේ නියැළෙන්න ඕනේ. අපේ වැඩමුළු හා සමඟ බොහෝ දුරට මෙය අපේ රටේ ව්‍යාප්ත වෙලා යාවි. ඒ සේවය මේ රටේ ඉන්න විවිධ රෝගාබාධ වලට ලක්වෙලා ඉන්න රෝගීන්ට ලොකු සේවාවක් වේවි.
. මෙහිදී සංගීතයෙන් හා ගීත ගායනයෙන් මෙහෙවරක් වෙන්නේ කුමන අරුතෙන් ද...?
“අනිවාර්යෙන්ම රෝග සුව කිරීමට යම් තරමක (40% පමණ) දායකත්වයක් සැපයීමෙන් එය පැහැදිලි වෙනවානේ. හෘද රෝග විශේෂඥ රුවන් ඒකනායක මහතාත් මෙම සංගීත චිකිත්සාව එතුමන්ගේ රෝගීන් සඳහා යොදා ගන්නවා. එතුමාත් කියනවා - ‘බේත් හේත් කොච්චර දුන්නත් සංගීතයෙන් කෙරෙන බලපෑම් තුළින් ලැබෙන මානසික සුවයෙන් රෝගීන්ව 40% ක් සුව කරන්න පුළුවන්’ කියලා. මෙහිදී මට මතක් වෙන්නේ වජිර ළමා නිවාසයේ ස්වාමින් වහන්සේ වරක් මට පැවසූ මේ කරුණයි.
‘අපිට කෑම බීම, ඇඳුම්, ගොඩනැඟිලි, තෑගි බෝග, වෙනත් පහසුකම් හැමදේම ලැබෙනවා. ඒත් අවුරුදු පහළොවක්ම සංගීතයෙන් දානේ දුන්නේ මහත්මයා තමයි.’ ඉතින් එයින් දරුවන්ට ලැබෙන වින්දනය හා සතුට නිසා ඔවුන්ගේ ජීවිත වලට නව පණක් දෙනවා වගේ ඔවුන් ප්‍රබෝධයක් ලබා අධ්‍යාපනයට ඕනෑ කරන මානසික මට්ටමට එනවා. මේ සියල්ලක්ම හරහා මං හිතන්නේ සංගීතයේ පුදුම බලයක් තියෙනවා කියලයි.”
. අවුරුදු කිහිපයකට පෙර නවසීලන්තයේ දී ඔබත් කිසියම් මානසික පීඩනයකට ගොදුරු වී සිටියා. එම තත්ත්වයට මුහුණ දීමේ දී සංගීතයෙන් ඔබට වාසියක් වීද...?
“සැබැවින්ම ඔව්. මේ සංගීත ක්ෂේත්‍රයේ මං වගේ කවුරුත්ම නැතුව ඇති නැඟීම්, ගැටීම්, තැලීම්, වැටීම් හා ආපසු නැඟිටීම් වැනි ජීවිතයේ විවිධාකාර වූ අත්දැකීම් සහ පීඩනයන්ට මුහුණ දුන්. මගේ අතේ කෝටි ගණන් සල්ලි තිබුණා. ඒවා නැත්තටම නැතිවෙලා මම යාචකයෙකු හා සමාන තත්ත්වයට පත්වුණා. ඒත් මම නැවත ඔළුව ඉස්සුවා. සියල්ලට මුහුණ දෙන්න මට මානසික ශක්තිය, ආත්ම විශ්වාසය සහ ආත්ම ශක්තිය ලැබුණු පසුබිම සංගීතයයි. කවදාවත් මම සැලෙන්නේ නැහැ.
මං අඬන්නේ නැහැ. වේදනාවෙන් ඔළුව ගහගෙන හෝ ඔළුව කැක්කුම් හැදිලා විඳව විඳවා ඉදලා නැහැ. මම නිවුණු මනුස්සයෙක්. මට කේන්ති යන්නේ නැහැ. මම ආවේගශීලී වෙන්නේ නැහැ. කවුරුන් හෝ සමඟවත් දබරයට යන්නේ නැහැ. මම කවුරුන් ගැන හෝ ඊර්ෂ්‍යාවෙන් කතා කරන්නේ නැහැ. ද්වේශයක් නැහැ කා කෙරෙහිවත්. ඒ නිසාම මට තරහාකාරයෝ නැහැ. මේ සියල්ලක්ම සංගීතයෙන් මට ලැබුණු දායාද ලෙස මං විශ්වාස කරනවා. දරා ගැනීමේ ශක්තිය මට තියෙනවා. ඒ සංගීතය හරහා මට ලැබුණු හික්මීම නිසා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඕනෑම තැනක මාව පිළිගන්නවා. මිනිස්සුන්ගේ හදවත් තුළ මං ජීවත් වෙනවා. මට යම්කිසි දෙයක් මේ සමාජයට කරන්න පුළුවන්කම ලැබී තියෙනවා. ඒ දේ මම මගේ සංගීත කලාවෙන් කරනවා.”

0 comments:

Post a Comment