----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ලිංගිකත්වය පිළිබඳ ඔබට යමෙක් චෝදනා කළොත්?

Saturday, July 6, 2013

එහෙම චෝදනා කරන්නේ කලාව ගැන නොදන්න අයයි

වියළිකරයේ හමා යන සුළඟ ගත සිප ගන්නේ සිසිල් බවක් ගෙන දෙමිනි. ඒ සිසිල් සුළෙඟහි සිසිලස පිළිබඳ වගේ වගක් නැති යුවතියක් අඹ ගසකට හේත්තු වී බලාගත්ත අත බලාගෙන හූල්ලයි. වරින් වර ගැස්සෙන දෙවුර අපට පවසන්නේ ඈ කදුළු සලමින් හඬන බවකි. අසල සිටි තරුණයෙක් මේ යුවතියට මොන මොනවදෝ පවසතත් ඇගේ සිත වෙනතකය. එසැනින් ලැබෙන සංඥාවෙන් එතනින් ඉවතට ගමන් කරන තරුණයා, තවත් නිමේෂයක සිටින්නේ දෙණ හා රැඳුණු මිනී පෙට්ටියත්, යුවතියත් සමඟ ගමනේය.
‘නොනවතින ගමනක් . . .’
යන සදාතනික ජීවන දැක්ම පසක් කරන මේ රූප රාමු අපට හමු වන්නේ අරුණ ජයවර්ධනගේ ‘නිකිණි වැස්ස’ සිනමාපටයෙහිය. ඒ නොනිමි ගමනේ සැරිසරන චරිත අතර ඇයත් එකියකි.
‘මේනකා . . .’
‘නිකිණි වැස්ස’ට පණ දෙන ඈ සුලෝචනා වීරසිංහය. දඟකාර හිරිමල් වියේ ඉහ ඉද්දර සිටි ඇය මුවඟ රැඳි ළඟන්නා සුළු සිනාවෙන් මදෙස බලා සිටියාය. කඨෝර පරිසරයෙහි උපන් දඟකාර, හුදකලා යුවතියත්, මේ සැබෑ දඟකාර සොඳුරු යුවතියවත් මම සිතින් සංසන්දනයක යෙදුනෙමි.
‘ඒ මේනකා මේ මමම තමයි’
සිත කියැ වූ නියාවෙන් මෙන් ඇය පැවසුවේ මා පුදුමයට පත් කරමිනි.
‘මේනකා ඔබට මුණ ගැසෙන්නේ කොහොමද?’
‘නිකිණි වැස්ස’ හි මේනකාගෙන්ම මම කතාව ඇරැඹීමි.
‘අරුණ ජයවර්ධන කියන අධ්‍යක්ෂවරයා මට දවසක් දුරකතතන ඇමතුමක් දුන්නා. ඒ ඔහු කරන්න යන අලුත්ම චිත්‍රපටයට මාව තෝරාගෙන ඇති බව කියමින්. මේ පිළිබඳ වැඩි විස්තර කියන්න ඊට දවස් කිහිපයකට පස්සේ මහරගම තරුණ සේවා සභාවේදී මුණ ගැහෙමු කියල’ ඔහු වැඩිදුරටත් කිව්වා. ඒ එදා දුන්න දුරකතන ඇමතුම විදිහටම මා ඔහු මුණ ගැහෙන්න ගියා. මමත්, ජගත් මනුවරණත් ඔහු මුණ ගැසුණ මොහොතේ ‘නිකිණි වැස්ස’ තිරපිටපත අපේ අතට ලැබුණා. ඒ අවස්ථාවේදී ඔහු සොයන මේනකාගේ චරිතයේ හැඩරුව, තරාතිරම ආදී සියල්ලටම මා ගැළපෙන බවත් ඔහු පැවසුවා. තිර පිටපත කියවලා අවසානයේ ඒ පිළිබඳව මට දැනුන දේ කියන්න කියලත් ඉල්ලීමක් කළා. මේ සියල්ල සිතේ තබාගෙන මම ගෙදර ඇවිත් මුලින්ම කළේ තිරපිටපත කියැවීමයි. තිර පිටපත ටික දුරක් කියවගෙන යනකොට මේ නිර්මාණය බොහොම හොඳ නිර්මාණයක් බව මට හැ¼ගුණා. මේනකාගේ චරිතය හෙඳින් ප්‍රතිනිර්මාණය කරන්න මට හැකියි කියන මතය මගේ ඔළුවට ආවා. ඒ විදියටයි මට මේනකාව මුණ ගැහෙන්නේ.’
දඟකාර සුලෝචනා කතාබහට පිවිසියේ එලෙසිනි. මේනකාගේ චරිතයට ඔබවම තේරා ගැනීමට අධ්‍යක්ෂවරයාට විශේෂ හේතුවක් තිබුණාද?
මේනකාගේ චරිතයට අන් අයකු තෝරා ගැනීමට හැකියාව තිබියදීත් ඇයවම තෝරා ගැනීමට විශේෂ හේතුවක් ඇතැයි මම සිතුවෙමි.
ඔබ අධ්‍යක්ෂවරයාගේ සිතේ මැවුණ මේනකාගේ චරිත ස්වභාවය තියෙන කෙනෙක් ඔහු බොහෝ සොයා තිබුණා. ඒ වගේම ඔහු අදහස් කළ මේනකාගේ චරිතයට පණ පොවන රංගන ශිල්පිනිය වේදිකාවෙන් පැමිණි කෙනෙකු වීමත් විශේෂයි කියලයි. මේ අතරදි තමයි මගේ වේදිකා නාට්‍ය කිහිපයක්ම ඔහුට නැරැඹීමට ලැබුණේ. ඔහුගේ සිතෙහි සිටි මේනකාට මාව හරියටම ගැළපුණා. ඒ විතරක් නෙමෙයි මම වැඩි වශයෙන්ම රංගන කටයුතුවල නියැලිලා හිටියේ වේදිකාවේ. ඔහුගේ ඒ අදහසටත් මාව හොඳින් ගැළපීම කියන සියලු කාරණා එක්තැන් වීම ඇත්තටම අහඹු සිදුවීමක් ලෙසයි මට හැෙඟන්නේ.’
මේනකාගේ චරිත ගැළපුම මනා යැයි ‘නිකිණි වැස්ස’ චිත්‍රපටය නැරැඹූ ඔබට සිතෙනු නොඅනුමානය. එහෙත් ඊට පෙර මේනකා ප්‍රේක්ෂකයන් අතර වඩාත් ආදරය කරන චරිතය බවට පත් වෙන්නේ පුංචි තිරයෙනි.
‘පින්කි’
‘සිහින පුරය’ ටෙලි නාට්‍යයයෙහි ඈ රඟපෑ ‘පින්කි’ගේ චරිතය පේ‍්‍රක්ෂක හද ඇද බැඳ ගැනීමට තරම් සමත් විය.
‘පුංචි තිරය ඔබට අරුමයක් නෙවෙයි. එහෙම නේද?’
ඇගේ දඟකාර සිනහව මුවඟට නැගුණේ ඉබේමය.
‘බොහෝදෙනා මාව හඳුනා ගත්තේ ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයෙහි පින්කිගේ චරිතයෙන්. ඒ තරමටම ඒ චරිතය ඔස්සේ මා ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ‘මේ සුරම්‍ය පාරදීසේ’, ‘යකඩ පහන් තිර’, ‘තක්සලාව’ වගේ ටෙලි නාට්‍ය මා රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක්. ඒ ටෙලි නාට්‍ය කිහිපයටත් ඒ ඒ කාලයේ වඩාත් හොඳ ප්‍රතිචාර ලැබුණා.’
‘නමුත් ඔබ රංගනයට පිවිසෙන්නේ වේදිකාවෙන්?’
සුලෝචනාගේ සිත අතීතයට යොමුකරන අටියෙන් මම විමසීමි.
‘කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මගේ යෙහෙළියක් මට කෙටි නාට්‍යයක රඟපාන්න ආරාධනා කරනවා. ‘පෙම්වතා නැති වෙලා’ කියන ඒ කෙටි නාට්‍යයේ තරුණියකගේ චරිතයයි මට නිරූපණය කරන්න සිදු වන්නේ. මුලින්ම ඒ පිළිබඳව මගේ ලොකු කැමැත්තක් නැති වුණත් පසුව ඊට මම කැමැති වුණා. හේතුව මම රංගනය පිළිබඳ කිසිම දෙයක් දැනගෙන සිටිය කෙනෙක් නෙමෙයි. කොහොම වුණත් අවසානයේදී මට රඟපාන්න ලැබුණේ ඒ කාලයේ වේදිකාවේ සිටිය දක්ෂ රංගන ශිල්පියෝ කිහිප දෙනෙක් සමඟයි. මේ නිසා මට රංගනය පිළිබඳ සමහර දේ දැනගන්නට ලැබෙන්නේ එහිදී. 2005 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙල හා සමගාමීව සිදු කරපු අන්තර් විශ්වවිද්‍යාලයීය කෙටි නාට්‍ය උළෙලේදී හොඳම සහාය නිළියට සම්මානයක් ගැනීමට තරම් මට හැකියාව ලැබෙනවා. මා කළ පළමු රංගනයෙන්ම සම්මානයක් හිමිවීමයි මේ ගමන යන්න හයියක් නිර්මාණය කරන්නේ.’
‘පෙම්වතා නැති වෙලා’ පුහුණුවීම් අතරතුරදී රංගනය පිළිබඳ යම් දෙයක් හැදෑරිය යුතු යැයි සිතමින් ඔබ පැමිණෙන්නේ සෝමලතා සුබසිංහයන්ගේ ළමා හා යොවුන් රග¼හල පදනමටයි.
‘ඒ ලැබෙන දැනුමත් අරගෙන ඔබ නැවතත් නිශ්ශබ්ද චරිතයක් බවට පත්වෙනවා?’
සක්‍රීය ලෙසම රංගනයට දායක වූ අවදිය පිළිබඳ ඈ කිව්වේ මෙවැනි අදහසකි.
‘මා මගේ අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දෙන නිසා මා කාලයක් නිශ්ශබ්දව සිටියා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ නැවතත් ළමා හා යොවුන් රඟහල පදනම හා එක්වන්නේ 2008 වසරේදී. ඒ චන්දන අලුත්ගේ වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු කියන ගුරු දෙපළගේ ආරාධනයෙන්. ඒ කාලයේ පුහුණුවීම් කෙරුණු ‘පුංචි අපට දැන් තේරෙයි’, ‘වළස් පවුල’, ‘හිම කුමාරි’, ‘විකෘති’, ‘තොප්පි වෙළෙන්දා’ වගේ නාට්‍යවලට මා රංගනයෙන් සහභාගි වෙනවා. 2009 වසරේදී ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ට සම්බන්ධවීමත් සමඟ ඒ නාට්‍යයට යෞවන සම්මාන උළෙලේදී සම්මාන නමයක් හිමි වෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට මාව නිර්දේශ වෙන්නෙත් ඒ නාට්‍යයේ කළ රංගනයෙන්. ඉන් පස්සේ ‘සඳ ළඟ මරණය’, ‘දෙබිඩ්ඩෝ’ වගේ වේදිකා නාට්‍යවල රඟපෑමට ලැබීම රංගන ජීවිතයේ මා ලැබූ අපූරු අත්දැකීම්. මා රඟපෑ ‘බබාට නමක්’ කෙටි වේදිකා නාට්‍යයේදී ‘වේදිකාවෙන් මහ පොළවට’, දහඩිය සිත්තම’, රාජ්‍ය නාට්‍ය උළෙල යන උළෙලවල් තුනේදීම මම හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා.’
සුලෝචනා කියන දක්ෂ රංගන ශිල්පිනිය බිහිවීමේ මූලික අඩිතාලම වැටෙන්නේ ඒ අයුරිනි.
‘එත් ඔබ කිසිම දිනෙක පාසලේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් නොවෙයි?’
වයලීනය වයන්න හැකි කෑගල්ල ගම්මානය හා බැඳුනු ඇගේ සොඳුරු මතකය මම සිහිපත් කළෙමි.
‘ඒ කාලයේ රංගනය පිළිබඳ උනන්දු නොවුණත් තූර්ය වාදක කණ්ඩයමේ මම බටනලාව වාදනය කරන ශිල්පිනියක්. වයලීනය කියන්නේ මම බොහොම ආදරය කරන වාද්‍ය භාණ්ඩයක්. සංගීතය මගේ විෂය නිසා ඒලෙවල් කරන්නත් මා තේරා ගත්තේ සංගීතයයි. කුඩා කාලයේ පටන් මේ මා ලබාගත් සියලු දේ බොහොම ප්‍රයෝජනවත් වුණේ පසුවයි.’
‘ඒ ගෙනා අතීතයෙහි දස්කම් සමඟයි ඔබ මේනකා නිර්මාණය කිරීමට තරම් පෙලඹෙන්නේ’
අතීතයෙන් ඇයව මම වර්තමානයට රැගෙන පැමිණියෙමි.
‘තිර පිටපත කියෙව්වාට පස්සේ මා මේනකාව හොඳින් වටහා ගත්තා. මේනකා කියන්නේ තරුණියක්. දුෂ්කර පරිසරයක ඉපැදුනත් ඈත් අපි වගේම තරුණියක්. ඇය ජීවත් වුණේ බලාපොරොත්තු රාශියක් සමඟයි. ඇය අවසානයේදී තනි වෙනවා. ඇගේ එකම ළඟ ඥාතියා වුණු පියා මිය යනවා. තනියට ඉන්නේ ආත්තම්මා. මේ කියන කාරණාත් සමඟ ආදරය, කරුණාව, සෙනෙහස ඇයට උවමනා වුණු මනුෂ්‍යත්වයේ සාධකයි. පිටපත කියවන මට මේ මිනිස්සුන්ගේ හැඟීම් සියල්ල හඳුනා ගන්නට හැකිවුණා. ඒක මට වඩාත් දැනුණේ ගමේ ඉපදුණු කෙල්්ලෙක් නිසා වෙන්න ඇති. ඒ වගේම ඊට පස්සේ ජීවිතයේදී ලැබූ ඇත්දැකීම් සියල්ලත් ඒ චිත්‍රපටය රූගත කළ පරිසරයේදීත් ලැබුණු අත්දැකීම් සියල්ල මගේ චරිතයට බොහෝ දෑ එකතුª කළා. මේනකා පිළිබඳ සිතන්නට ගත්තට පස්සේ ඈ මෙහෙම කෙනෙක් වෙන්න ඇතැයි මා සිතුවා. ඒ සිතූ සියල්ල චරිතය මගින් මා ප්‍රතිනිර්මාණය කළා. ඈ පිළිබඳ මම සිතූ සියල්ල බොහොම දුරට නිවැරැදි වුණා. චරිතය ඉදිරිපත් කිරීමේදී අධ්‍යක්ෂවරයා මගේ රඟපෑමෙන් සෑහීමකට පත්වුණා. සමහර අවස්ථාවලදී චරිතය පිළිබඳව මම ඔහුත් සමඟ සාකච්ඡා කළා. ඒ ඔහු බලාපොරොත්තු වන මට්ටමෙන් මේ චරිතය තිබෙනවද කියන කාරණය පිළිබඳයි. මම හිතන්නේ ඔහුගේ සිතෙහි සිටි මේනකා මා ප්‍රතිනිර්මාණය කළ බවයි.’
‘ලිංගිකත්වය පිළිබඳ ඔබට තිබුණේ මොන වගේ අභියෝගයක්ද?
මම විමසීමි.
‘මම කළේ රංගනයක්. නිළියක් විදියට පිටපතට අවශ්‍ය විදියටයි මා රංගනය ඉදිරිපත් කළේ. ඒ නිර්මාණයේ ඒ ඒ කොටස් ඒ ඒ අවස්ථාවලදී ඉල්ලා සිටියා. එහෙම නැතිව පිටතින් ගෙනැත් නිර්මාණයට ලිංගිකත්වය ඔබලා නැහැ.
ලිංගිකත්වය පිළිබඳ ඔබට යමෙක් චෝදනා කළොත්?
ඇත්තම කිව්වොත් එවැනි චෝදනා කරන්නේ රංගනය හා සිනමාව කියන විෂය ක්ෂේත්‍රය පිළිබඳ දන්නා අය නෙවෙයි. මම හැමෝටම ආරාධනා කරන්නේ දූපත් මානසිකත්වයෙන් එළියට ගිහින් මේ නිර්මාණය නරඹන්න කියලා. ඒ වගේම මේ චරිතයට මම විශාල කැපකිරීමක් කළා. මේනකා කියන්නේ බීඩි ඔතලා ජීවිතය ජයගන්න උත්සාහ කළ තරුණියක්. ඒ අත්දැකීම් ලබා ගන්න මා එවන් කෙනෙකු මුණ ගැසුණා. රූගත කිරීම් කළ පරිසරය වගේම චාන්දනී අක්කගෙන් ලැබුණු සහයෝගයත් මෙහිදී සිහිපත් කළ යුතුමයි. මමත් සමඟ රඟපෑ ජගත් වගේම කණ්ඩායමේ සිටිය කාර්මික ශිල්පියාගේ පටන් සියලු දෙනාගෙන්ම ලැබුණු සහයෝගය බොහොම අගය කළ යුතුයි.’
දිගු ගමනක නිරතවීමට සැරැසී සිටින සුලෝචනා පැවසුවේ සිය සිතට එකඟවමය.
වෘත්තිය රංගන ශිල්පිනියක් වීම ඔබට ගැටලු ඇති කරන්නක් නොවේද?
වෘත්තීය ලෙස රංගනය තේරා ගැනීම පිළිබඳ මම පිළිවිසියෙමි.
‘මම ජීවත් වෙන්නේ මගේ හෘද සාක්ෂියට අනුවයි. ඕනෑම වෘත්තියකදී තමා කරන කටයුත්ත හොඳීන් කරනවා නම්, තමන් හොඳට හැසිරෙනවා නම් කිසිම කෙනෙක් තමන්ට චෝදනා නොකරාවි. මම ප්‍රේක්ෂකයන්ට කියන්නේ එක් කෙනෙක් දෙන්නෙක් කරන දේවලින් සමස්තය තීරණය කරන්න එපා කියලා. එහෙම කළොත් වැරැදියි.’
‘ඉදිරියේදී ඔබව දැකිය හැක්කේ?’
‘මම රංගන ශිල්පිනියක් විදියට, මට යමක් කළ හැකි චරිතයක් ලැබුණොත් රඟපාන්න දෙපාරක් සිතන්නේ නැහැ. එකිනෙකට වෙනස් චරිත රඟපාන්න නිතරම මා උත්සාහ කරනවා. මේ දවස්වල වසන්ත නවරත්න බණ්ඩාරගේ ‘පුන්තිලා’ ඊ. එම්. ඩී උපාලිගේ ‘ඉඩම විකිණේ’, අසංක සායක්කාරගේ ‘මයි කා කොයි පෙට්ට්‍රල්’ කියන වේදිකා නාට්‍යවල පුහණුවීම් කටයුතුවල යෙදෙනවා. ඒ වගේම පාසල් ළමයි වෙනුවෙන් ෆෝරම් තියටර් සමඟ පාසල් ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහයෝගය දෙනවා. ඒත් සමඟම මගේ සමාජ විද්‍යාපති උපාධි නිබන්ධය සඳහා සූදානම් වෙනවා. මේ දවස්වල මගේ විශේෂ කටයුතු අතර ඒවාත් විශේෂයි.’
දඟකාරිය, කටකාරි, සොඳුරු යුවතිය සමඟ ගෙවුණු හෝරා කිහිපයට විරාමය තබමින් අපි ඇයට සමු දුනිමු. ඒ හෙට දවසෙහි දක්ෂ රංගන ශිල්පිනියක වී මතු දවස බබළවන්නටය.

0 comments:

Post a Comment