----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘පිංකි බබා’

Saturday, July 6, 2013

‘නිකිණි වැස්ස’ අභියෝගයට මම හොඳින් මුහුණ දුන්නා

සුලෝචනා වීරසිංහ
බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ ‘පිංකි බබා’ යනුවෙනි. ඒ පසුගිය දිනවල විකාශය වූ ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කළ චරිතය නිසාය. ඇය සුලෝචනා වීරසිංහ. සුලෝචනා මේ දිනවල කාගේත් කතාබහට ලක්වන්නේ මේ දිනවල තිරගත වන ‘නිකිණි වැස්ස’ චිත්‍රපටයේ ඉතා සාර්ථක රංගනයක නියැළෙන නිසාය. සුලෝචනා වේදිකාවෙන් පුංචි තිරයටත් රිදී තිරයටත් පැමිණි රංගන ශිල්පිනියකි. අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගය වෙන් වන්නේ සුලෝචනා සමඟ කළ කතාබහ වෙනුවෙනි.
කොහොම ද 'නිකිණි වැස්ස' චිත්‍රපටියේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර?
ඉතාම ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා; ප්‍රේක්ෂකයින්ගෙන් සහ විශේෂයෙන්ම ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින්ගෙන්. ‘නිකිණි වැස්ස’ චිත්‍රපටියේ තේමාවම ඉතාම සුවිශේෂී එකක්. මෙය මිනී එම්බාම් කරන ස්ත්‍රියක් වටා ගොඩනැඟුණු කතාවක්. මෙහි සුවිශේෂත්වය වන්නේ මෙය සත්‍ය කතාවක් වීමයි. මේ චිත්‍රපටය තමයි මම රංගනයෙන් දායක වී තිරගත වුණු පළමු චිත්‍රපටය. ඉතින් මගේ පළමු රංගනයට හොඳ ප්‍රතිචාරයක් ලැබීම ගැන සතුටුයි.
'නිකිණි වැස්සේ' මේනකාගේ චරිතය නිරූපණය ඔබට අභියෝගයක් වුණා ද?
දවසක් අරුණ ජයවර්ධන මහත්මයා මහරගම තරුණ සේවා සභාවේදී මුණගැසිලා ‘නිකිණි වැස්ස’ තිර පිටපත මට දුන්නා; ඒ ගැන කතා කළා. මම ඒ පිටපත ගෙදර අරගෙන ඇවිත් හොඳින් කියෙව්වා.
මට තේරුණා මේ චිත්‍රපටයේ මගේ චරිතයෙන් මට යමක් කරන්න පුළුවන් බව. මේනකා අම්පාර ප්‍රදේශයේ දුෂ්කර ගමක ජීවත්වන අලි මිනිස් ගැටුම වැනි පාරිසරික ප්‍රශ්නවලටත් ආර්ථික ප්‍රශ්නවලටත් මැදිව ජීවත්වන තරුණියක්. ඇයටත් මනුස්ස යුවතියකට තියෙන හැඟීම්, මනෝභාව සියල්ල තියෙනවා.
මේ චරිතය මේ පොළොව මත ජීවත්වන චරිතයක්. ඉතින් මම ඉතාම ආශාවෙන් මේ චරිතය නිරූපණයට බාරගත්තා. මේ චිත්‍රපටයට දායක වෙන අනෙක් පිරිස ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ පිරිසක්. එවැනි පිරිසක් සමඟ වැඩ කරන්න ලැබීමත් මේ චිත්‍රපටියට මාව උනන්දු කළ තවත් කාරණයක්. මම හිතනව මෙවැනි චරිතයක් නිරූපණය කිරීම කිසියම් අභියෝගයක් වුණත් වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට මම ඒ අභියෝගයට හොඳින් මුහුණ දුන්නා කියලා.
මේ දවස්වල ඔබ මොන වගේ වැඩත් එක්ක ද ඉන්නෙ?
මේ දවස්වල රූපගත කිරීම්වලට අඩුවෙනුයි දායක වෙන්නේ. ටෙලි නාට්‍ය දෙක තුනකට ඇරියුම් ලැබුණත් ඒ ටෙලි නාට්‍යවල තිබුණු මූල්‍ය සහ වෙනත් ගැටලු නිසා මම ඒවා බාරගත්තෙ නෑ. මේ දවස්වල 'පුන්තිලා' වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේත්, ‘ඉඩමේදී විකිණේ’, ‘මයි කාර් කොයි පෙට්‍රල්’ යන වේදිකා නාට්‍යවලත් පුහුණුවීම් වල නිරත වෙලා ඉන්නවා. ඒ නිසා මම මේ දවස්වල වේදිකාව සමඟ වැඩියෙන් ඉන්නවා කීම නිවැරැදියි.
ඒ වගේම ‘ෆෝර්ම් තියටර්’ කණ්ඩායමත් සමඟ එකතු වෙලා ළමා අපචාර සම්බන්ධව පාසල් ළමයින් සහ දෙමවුපියන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
ඔබ කොහොම ද කලාවට සම්බන්ධ වුණේ?
මම පාසල් ගියේ කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලයට සහ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට. පාසලේදී මම ආශා කළේ සංගීතයට. මගේ ජීවිතය වෙනස් කළේ කැලණිය විශ්ව විද්‍යාලය. විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා මම ඉගෙන ගත්තේ ජනසන්නිවේදනය විෂය. 2005 අවුරුද්දේ විශ්ව විද්‍යාලයේ මගේ මිතුරියක් වන ලක්ෂි චන්දිමා මට කතා කළා වේදිකා නාට්‍යයක රඟපාන්න. ඒ ඇයගේ නිර්මාණයක් වුණු අන්තර් විශ්ව විද්‍යාල කෙටි නාට්‍ය තරගාවලියට ඉදිරිපත් කෙරුණු ‘පෙම්වතා නැතිවෙලා’ වේදිකා නාට්‍යයට. එහි එක් චරිතයකට එනව කියල කියපු කෙනෙක් නාව නිසයි මට කතා කළේ.
එක පාරටම මම බැහැයි කිව්වා. ඒ මොකද රංගනයට මගේ ආශාවක් වගේම දැනුමකුත් ඒ වන විට මට නොතිබුණු නිසා. බැරිම තැන මම මගේ මිතුරියගේ ආරාධනයට කැමැති වුණා.
ඒ මගේ පළමු රංගනය. එය එම නාට්‍ය උලෙළේදී ඇගැයීමකට ලක්වුණා. කොහොමහරි ඒ දවස්වල මම සෝමලතා සුබසිංහ සහ කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මීන්ගේ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වුණා. ඉන් ටික කලකට පසුව මම රඟපෑ ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ වේදිකා නාට්‍යය මගේ රංගන ජීවිතය වෙනස් කළා. එය නැරඹු කලාකරුවන් රැසක්ම ඔවුන්ගේ නිර්මාණවලට මට කතා කළා. ඉන් පසුව ටෙලි නාට්‍ය කීපයකටත් චිත්‍රපට කීපයකටත් දායකවෙන්න අවස්ථාව ලැබුණා.
‘සිහින පුරය’ ටෙලි නාට්‍යයේ ‘පිංකි බබා'ට සමාජයේ බොහෝ දෙනෙක් ආදරය කළා නේද?
ඇත්තෙන්ම ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයට ලැබුණු සහ තවමත් ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි.
මම රට පුරාම වේදිකා නාට්‍යවලට යන විට සමාජයේ ගොඩක් දෙනෙක් මට කතා කරන්නේ ‘පිංකි බබා’ කියලා. ඒ වගේම ‘සිහින පුරය’ රූපගත කළ කාලය හරිම සුන්දර කාලයක්. එක පවුලක අය වගේ අපි කට්ටිය වැඩ කළේ.

0 comments:

Post a Comment