----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඔය දෙන්නා දැන් ඉතින් විවාහ වෙන්න

Friday, June 14, 2013

ක්ලැරන්ස්ගේ පැමිණීමෙන් අපේ කණ්ඩායමට ලොකු වටිනාකමක් එකතු වුණා

ලාංකිකා පෙරේරා
ලාංකිකා පෙරේරා - චානක පෙරේරා ප්‍රමුඛ ‘ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කණ්ඩායම, මේ වසරේ සිය අභිමානවත් 42 වැනි සංවත්සරය සමරයි.
දශක හතරක් ඉක්ම ගිය ඔවුන්ගේ සංගීත කණ්ඩායම සහ සංගීත ජීවිතය පිළිබඳ ලාංකිකා සමඟ මේ කතා බහ පෙළ ගැසෙනුයේ, ඒ නිමිතිකොට ගෙනයි.
අවුරුදු 42 ක් ගතවෙලත් ‘ගෝල්ඩන් චයිම්ස්’ කණ්ඩායම තවම කාර්ය බහුලයි...
ඇත්තටම ඒ ගැන අපිට තියෙන්නෙ සියුම් ආඩම්බරයක්. මොකද අවුරුදු 42 ක් ම නොකැඩී පවත්වාගෙන ආ සංගීත කණ්ඩයමක් අපි. ඒකට ප්‍රධාන හේතුව තමයි පවුලක් හැටියට මාත් චානකත් ආ මේ ගමන. අදටත් ඕනෑම ප්‍රසංගයකදී අපේ ඒ පවුලේ කැපවීම තිබෙනවා.
අනික මගේ අයියා විජිත්, දැන් කණ්ඩායමේ නැති වුණාට ඔහු ගෝල්ඩන් චයිම්ස් හි ආරම්භක ඩ්‍රම්ස් වාදකයා. චානක, ආරම්භක බේස් ගිටාර් වාදකයා.
අපේ කණ්ඩායමේ එදා පටන් ම එකම නිත්‍ය ගායිකාව මම. ඒ වගේ ම ක්ලැරන්ස් සම්බන්ධවීමත් සමඟ අපේ සංගීත කණ්ඩායමට ලොකු වටිනාකමක් එක් වුණා.
ක්ලැරන්ස්ගේ මුණ ගැසීම සිදුවුණේ...
චානක සහ මගේ අයියා ‘බීකන්ස්’ කණ්ඩායමේ වැඩ කළ කාලයේ. ඔවුන් බටහිර ගීත ගැයූ, ඉලෙක්ට්‍රික් ගිටාර් පාවිච්චි කළ සංගීත කණ්ඩායමක්. දවසක් චානකත් මගේ අයියාත් ‘ප්ලේ’ කළ මඟුල් ගෙදරකම ක්ලැරන්ස් සහ ඇනස්ලි ආරාධිතයන් හැටියට ඇවිත් තිබුණා. පසුව ඔවුන් ගීත ගායනා කරද්දී තමයි චානකලා එක්ක බොහොම හිතවත් වෙලා තියෙන්නෙ. එතකොට තමයි ක්ලැරන්ස්ට හිතිලා තියෙන්නෙ මේ ‘ස්ටයිල්’ එකට ඉලෙක්ට්‍රික් ගිටාර් වාදනයත් කණ්ඩායම් සංගීතයට යොදා ගත්තොත් හොඳයි කියලා. මොකද ඒ වෙනකොට කිසිම කෙනෙක් බොක්ස් ගිටාර් හැරෙන්නට කණ්ඩායම් සංගීතයට ඉලෙක්ට්‍රික් ගිටාර් යොදා ගත්තෙ නැහැ. ක්ලැරන්ස් ඒ පාර තමයි අයියටයි චානකටයි ආරාධනා කළේ.
ඔවුන් ඔහු වැඩ කළ ‘මූන්ස්ටෝන්ස්’ කණ්ඩායමට එක්වෙලා අවුරුදු තුනකට වඩා එකට වැඩ කළා. ඊට පස්සෙ 1969 තමයි, ක්ලැරන්ස්, චානක සහ මගේ අයියා ‘මූන්ස්ටෝන්ස්’ කණ්ඩායමෙන් ඉවත් වෙලා ‘ගෝල්ඩන් චයිම්ස්’ කණ්ඩායම හැදුවේ. එතකොටත් ක්ලැරන්ස් අපි එක්ක අවුරුදු තුනක් විතර වැඩ කළා. අපෙන් අයින් වෙලා වෙන සංගීත කණ්ඩායමක් හැදුවා කියලා ඔහුත් සමඟ තිබූ අපේ හිතවත්කම ඔහු මියෙන තුරුම අබමල් රේණුවක් තරම් හෝ අඩු වුණේ නැහැ. අදටත් ක්ලැරන්ස්ගේ බිරිය ශීලා සහ දුව අපි එක්ක හිතවත්කම් සම්බන්ධතා පවත්වනවා.
‘ගෝල්ඩන් චයිම්ස්’ හා ඔබේ සම්බන්ධය ඇති වන්නේ...
ක්ලැරන්ස් රත්නපුරේ කෙනෙක් නිසා අයියයි චානකයි එක්ක වැඩ කරන්න ගත්තට පස්සේ අපේ ගෙදර නතර වුණා. සංගීත පුහුණුවලට වගේ ම මාව බලන්නත් එක්ක චානකත් හැමදාම හවසට අපේ ගෙදර ආවා.
එහෙම ආව වෙලාවට අපි දෙන්නා කළේ එයා ගිටාර් එක වයද්දි මං ගායනා කළ එක. අපි දෙන්නගේ මේ වැඩේ දැකපු ක්ලැරන්ස් කිව්වා, ‘ආයේ මොකටද පිටින් ගායිකාවක් හොයන්නේ. මේ ඉන්නෙ ගෙදරම කෙනෙක් කියලා. බෑන්ඩ් එක පටන් ගත්තට නමක් දාලා තිබුණෙ නැහැ. සූරිය ලේබල් අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරිය තමයි ‘රන් සීනු හඬ’ අර්ථය ඇති ‘ගෝල්ඩන් චයිම්ස්’ නම දැම්මේ. ඒ 1970 දී.
ඒ වෙනකොටත් කණ්ඩායමට බැඳෙන්න මගේ කිසිම අදහසක් තිබුණෙ නැහැ. නමුත් ක්ලැරන්ස් ගෙ උනන්දුව නිසා බෑන්ඩ් එකට මං නිත්‍ය වශයෙන් එකතු වුණේ 1971 මුල දී. අපිට රටේ විවිධ පළාත්වල ප්‍රසංග ලැබුණා. බොහොමයක් ප්‍රසංග තියෙන්නෙ රෑට. ඒකට මගේ අම්මලා තාත්තලා ටිකක් අදිමදි කළා. ඊට පස්සේ මගේ තාත්තා කිව්වා, ‘ඔය දෙන්නා දැන් ඉතින් විවාහ වෙන්න...’ කියලා.
1971 දෙසැම්බර් පළමු වැනිදා. අපි විවාහ වුණා. ඒ චානකගේ උපන් දිනය දවසෙ. එදා රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ අපේ මංගල දිව්‍ය පූජාව වෙලාවේ ගායනා කරන්න ක්ලැරන්ස් හදලා දීපු, රන් සීනු හැඩ වී රිදී සීනු හැඬවී - ආදරයට මැදිවී දෙහදක් එක්වුණා...’ ගීතය පසු කලෙක තැටි ගත කළාම අතිශය ජනප්‍රිය වුණා.
එදා මංගල දිව්‍ය පූජාවේ මේ ගීතය ගායනා කළේ ‘ලාබම්බාස්’ සහ ‘ගෝල්ඩන් චයිම්ස්’ කණ්ඩායම එක්වෙලා. කොහොම හරි විවාහයෙන් පස්සෙ තමයි, මගේ ගායන ජීවිතය කාර්ය බහුල වුණේ.
පෝෂණය වුණේ. කණ්ඩායම් සංගීතයට රසිකයන් අතිශය ලෙස බැඳිලා හිටි යුගයක් නිසා අපිට රටපුරා හරියට ‘ෂෝස්’ තිබුණා. අනික මම ළාබාල වයසින් විවාහ වෙච්චි නිසයි මේ තරම් දුර ගමනක් සාර්ථකව එන්න පුළුවන් වුණේ.
එහෙත් ඔබ වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්...
දැන් මම බැංකු සේවයෙන් විශ්‍රාම අරන්. ඒත් අවුරුදු 39 ක් මං ලංකා බැංකුවේ සේවය කළේ ඉතාම සතුටින්. තෘප්තියෙන්.
විවාහයත් එක්කමයි මට බැංකුවේ රස්සාව ලැබුණෙත්. ඒ වෙලාවෙ මං ටිකක් බය වුණා. දැන් කොහොමද මං කණ්ඩායමත් එක්ක වැඩ කරන්නෙ කියලා. ඒත් චානකත් හිටි නිසා කිසිදු ප්‍රශ්නයක් නැතිව ප්‍රසංගවලට නොකඩවා සහභාගි වුණා.
උදේ ඉඳන් හවස් වෙනකල් රැකියාව කරලා රාත්‍රියේ තමයි මං ප්‍රසංගවලට ගියේ. ආවේ පාන්දර හතරට වුණත් උදේ ලෑස්තිවෙලා ආයේ වැඩට ගියා.
අවුරුදු 39 කට පස්සෙ රැකියාවෙන් විශ්‍රාම ගන්නදා මං මගේ ආයතනයේ සියලුම සහෘදයන් වෙනුවෙන් ප්‍රසංගයක් කරලයි සමුගත්තෙ.
බැංකු ජීවිතය අදත් මට බොහොම මිහිරි අතීතයක්.
ඒ, සංගීත ජීවිතය නිසා මං කවදාවත් රස්සාව අවුල් කර ගත්තෙ නැති නිසා.
ඉනෝකා පෙරේරා බණ්ඩාර

0 comments:

Post a Comment