----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!

Saturday, May 4, 2013


රජිව්ට ඕනෑ කරන්නේ උපහාර මුවාවෙන් සල්ලි හම්බු කරන්නයි

ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!
ශීලා විජේවර්ධන
ක්ලැරන්ස් විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද “ගී” ඔහුගේ බුද්ධිමය දේපළ ය. එම දේපළ සඳහා වර්තමානයේ හිමිකරුවන් වී සිටින්නේ ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා විජේවර්ධන සහ දියණිය අමිලාත් ය. දැනට ඔවුන් පදිංචි වී හිඳින්නේ ඕස්ට්‍රේලියාවේ වන හෙයින් එම දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස සිරි හෙට්ටිආරච්චි කටයුතු කරයි.
ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ පමණක් නොව ක්ලැරන්ස්ගේ නම හෝ කිසියම් සංගීතමය කටයුත්තක් සඳහා යොදා ගන්නේ නම් ක්ලැරන්ස් පාර්ශ්වයේ අවසරය ඇතුව එය කළ යුතුව ඇති අතර පසුගිය මාර්තු 31 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී රජීව සෙබස්තියන් පැවැත්වීමට සූදානම් වූ ගීත ප්‍රසංගය අවලංගු කිරීමට සිදුවිය. නැවතත් එම ප්‍රසංගය අප්‍රේල් මස දිනෙක පැවැත්වීමට රජිව් වෑයම් කළත් එය ද අවලංගු කිරීමට ඔහුට සිදුවිය.
දැන් රජිව් එම ප්‍රසංගය වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට වෑයම් කරගෙන යන බවත් ඊට එරෙහිව ක්ලැරන්ස් පාර්ශවයෙන් ශිලා ද ලංකාවට පැමිණ කටයුතු කරගෙන යන බවත් “රසඳුන” ට දැන ගන්නට ලැබුණි. ඒ පිළිබඳ විමසීමේ දී ශීලා විජේවර්ධන සමඟ සිරි හෙට්ටිආරච්චි විසින්කරන ලද කරුණු එළිදරව්වකි මේ.
“අපි ක්ලැරන්ස් විජේවර්ධනගේ බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරනවා. කරුණු හරියාකාරව නොදන්නා ඇතැමුන් මේ ගැන වරදවා හිතනවා. අපට විරුද්ධව නොයෙකුත් අදහස් ප්‍රකාශ කරනවා. අපි කරන්නේ අපිට නීතිමය වශයෙන් ලැබී තිබෙන ආවරණය යටතේ ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ රැක ගැනීමයි.
අනවසරයෙන් බලහත්කාරයෙන් හා අයුතු ලෙසත් සදාචාරාත්මක නොවන ලෙසත් ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ භාවිත කරන කා හට වුවද එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීමට අපි පසුබට වෙන්නේ නැහැ. එහිදී රජිව් සෙබස්තියන් ක්ලැරන්ස්ට උපහාර පිණිස යයි පවසමින් කරනු ලබන ප්‍රසංග ආදිය පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන්න අපට සිදු වී තිබෙනවා.
මන්ද රජිව් ක්ලැරන්ස්ගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් පවත්වන බව පවසමින් ගායක ගායිකාවන් මෙන්ම ප්‍රවේශපත් කලින් අලෙවි කර ගීත රසික රසිකාවියන්ව ද රවටනවා. ඔහුට එවැනි ගී ප්‍රසංගයක් කිරීමට බැහැ.”
රජිව් පැවැත්වීමට සූදානම් කළේ ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් නොවේ ද?
නැහැ. රජිව් කරන්නේ බොරුමයි. අපි ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර කොපමණ කරලා තියෙනව ද. රජිව් කවුද - ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර කරන්න. ඔහුට ක්ලැරන්ස්ගේ සින්දු කියන්න ඕනෑවට කියන කතා ඕවා.
ක්ලැරන්ස්
අපි ඉන්න කොට ක්ලැරන්ස්ට උපහාර කරන්න ඔය අහක ඉන්න අය මෙහෙම බලහත්කාරයෙන් ප්‍රසංග පවත්වන්න හදන්නේ ඇයි? රජිව් කියන්නේ ක්ලැරන්ස් ජිවත් වෙලා ඉන්න කොට ආශ්‍රය කරපු හෝ ගෙදරට වත් ඇවිත් ගිය පුද්ගලයෙක් නෙමේ. කවදාවත් ක්ලැරන්ස් රජිව්ට එකම එක සින්දුවක් වත් හදලා දීලත් නැහැ.
එහෙම පුද්ගලයා මොකටද ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංග කරන්නෙ? ඕනෑම කෙනෙකුට තේරෙනවානේ, රජිව්ට ඕනෑ කර තියෙන්නේ උපහාර ප්‍රසංගයක් කරන මුවාවෙන් හෝ ක්ලැරන්ස්ගේ ගී නිර්මාණත් ඔහුගේ නමත් විකුණා මුදල් උපයන්නයි.”
ටී. එම්. ජයරත්න, නිහාල් නෙල්සන් සහ ජැක්සන් ඇන්තනී වැනි ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනෙකුත් රජිව්ගේ මෙම ප්‍රසංගයේ දී ගැයීමට නියමිතයි නේද?
රජිව්
එහෙම ඔවුන්ගේ නම් යොදා ගෙන තිබුණට අපි හිතන්නේ නැහැ ඒ කවුරුන්වත් ඔය ප්‍රසංගයේ ක්ලැරන්ස් ඔවුන්ට හදා දුන්න ගී ගයන්න යයි කියලා. ටී. එම්. ජයරත්න කවදාවත් කොච්චර සල්ලි දුන්නත් රජිව්ගේ ඔය ප්‍රසංගයේ ගී ගයන්න යන්නේ නැති බව අපිට විශ්වාසයි අපි ටී. එම්. ගෙන් ඇහැව්වාම ඔහු ඒ බව කිව්වා.
ජැක්සන් ගෙන් ඇහැව්වාම ඔහු කිව්වේ ‘අනේ ශිලා අක්කේ, මට කියලවත් නැහැ. මං දන්නෙත් නැහැ’ කියලයි. ඒ වගේමයි ශ්‍යාම් ෆොන්සේකා සහ ලාංකිකා පෙරේරාත් ‘යන් නෑ’ කිව්වා.
රජිව්ට වගේම රජිව්ගේ ඔය ප්‍රසංගය ඔහු කවදා පැවැත්වුවත් ක්ලැරන්ස්ට අයිති ගීත එහිදී ගායනා කිරිම ඕනෑම ගායකයෙකු හෝ ගායිකාවක හට සපුරා තහනම්. එහෙම ගායනා කළොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අපි පියවර ගන්නවා.”
රජිව් සිය සංගීත ජීවිතේ “වීරයා” ලෙස සලකන්නේ ක්ලැරන්ස්ව බව පවසනවා - නේ...?
ක්ලැරන්ස්ගේ නම විකුණා ගෙන ජීවත් වෙන්න ඕන හින්දා ඕවා කිව්වාට රජිව් සහ ක්ලැරන්ස් අතර කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. මට දිවුරා ප්‍රකාශ කරන්න පුළුවන් ඒ බව. අඩුම වශයෙන් කවදාවත් රජිව් ක්ලැරන්ස්ව හම්බ වෙලාවත් නැහැ. ක්ලැරන්ස් ජීවත් වෙලා සිටිද්දී කියා තිබෙනවා - ‘මට පිරිමි දරුවෙකු උන්නා නම් මගේ සින්දු ඒ දරුවාට කියන්න දෙන්නෙ නැහැ.
මං කැමැති නැහැ මගේ සින්දු වෙන කවුරුවත් කියනවාට’ කියා. එහෙම කිව්ව ක්ලැරන්ස් උන්නා නම් ඔහුගේ සින්දු රජිව් කියනවාට කැමැති වෙයි ද? මම අභියෝග කරනවා හැකි නම් මේවා බොරුයි කියා ඔප්පු කරන්න කියලා. ක්ලැරන්ස් රජිව්ගේ සංගීත ජීවිතයේ වීරයා නම් ඒ වීරයාට සලකන හැටි ද මේ ඔහුගේ බුද්ධිමය දේපළ මංකොල්ලකමින් කරන්නේ කියලත් මං ඔහුගෙන් අහනවා.
මීට ඉහතදී රජිව්ට විරුද්ධව අපි පැවරූ නඩුව විභාගයට ගැනීමට ප්‍රථම වරද පිළිගෙන ලක්ෂ විස්සක් ගෙවන්න පොරොන්දු වෙලා එම මුදල අද වනතුරුත් නොගෙවා ඉන්නවා මදිවාට, ඒ මුදලින් කොටසක් ලෙස රුපියල් දෙලක්ෂ පනස්දාහකට මුදල් නොමැති චෙක් පතක් දී වංචා කොට ඉඳගෙන ද (අදාළ නඩු සහ පොලිස් පැමිණිලි අංක ද සඳහන් කරමින්...) රජිව් ඔහුගේ වීරයාට (ක්ලැරන්ස්ට) උපහාර කරන්න හදන්නෙ? මේ කරුණු එළිදරව්වෙන් පසුව වත් රජිව්ගේ බොරුවට රැවටෙන්න එපා කියලා ක්ලැරන්ස්ගේ ගී තනු, පදමාලා ගැයූ ගායක ගායිකාවන්ගෙන් ද, සංගීතලෝලී සියලු රසිකයන්ගෙන් ද අපි ඉල්ලා සිටිනවා. නැවතත් අපි පැහැදිලිව පවසන්නේ රජිව් සෙබස්තියන්ට ක්ලැරන්ස් විජේවර්ධනගේ ගී සපුරා තහනම් වගයි.”

2 comments:

raigam said...

මේක අනික් අයටත් පාඩමක් වෙනවා නම් හරිම හොඳ දෙයක්. මේ රජීව් කියන හාදයා කියන සින්දු අහන්න අමාරුයි. ක්ලැරන්ස් ට තිබුන ප්‍රතිභාව කෙසේ වෙතත්, සාමාන්‍ය සදාචාරයවත් නැති මිනිසුන්.

dave said...

රජීව් හදන්නෙ ක්ලැරන්ස්ගෙ නම විකුනලා සල්ලි හොයන්න. මෙයා කවදත් කලේ ඔක තමයි. හොරෙක්.

Post a Comment