----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

Monday, April 1, 2013

චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

ආචාර්ය සෝමරත්න දිසානායක
* සංස්ථාව තීරණය කළ පිටපත් 35 නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඔබ විරුද්ධ වුණේ ඇයි?
දැන් මගේ චිත්‍රපට ගත්තොත් ‘සරෝජා’ සිට ‘කුසපබා’ දක්වා ගත්තොත් හැම චිත්‍රපටයකටම විශාල ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබුණා. ඒ කාලේ පිටපත්වල සීමාසහිත බවක් තිබුණේ නෑ. අපි සිනමාවේ සම්ප්‍රදායක් හැටියට පුරුදුවෙලා හිටියා පිටපත් 15, 20, 25 ක් ගහන්න. නිෂ්පාදකයා වැය කරන ප්‍රමාණය අනුව.
නමුත් අපි හිතුවා අපේ චිත්‍රපටවලට තිබෙන ඉල්ලුම නිසා අපි එකවර ලංකාව පුරාම ආවරණය වන විදියට, ලංකාවේ දුර බැහැර සිටින ප්‍රේක්ෂකයාටත් සාධාරණයක් වන විදියට අපේ පිටපත් දුර බැහැර ප්‍රදේශවලටත් මුදා හැරිය යුතුයි කියලා.
ඒක අපි ගන්න අවදානමක්. අපි වැඩිපුර පිටපත් ගහනවා කියන්නේ වැඩිපුර වියදම් කිරීමක්. එක පිටපතකට ලක්ෂ දෙකහමාරක් විතර අපි වැඩිපුර වියදම් කරනවා. එහෙම ගහල පිටපත් වැඩිපුර දුන්නම ලංකාව පුරාම ප්‍රේක්ෂකයෝ ඒක බලනවා.
ඒ වගේම තමයි සිනමාව අර්බුදයකට මුහුණ දීලා තිබුණා 90 දශකයේ සහ 2000 මුල හරියෙදි. සිනමා ශාලා වැහෙන්න ගත්තා. සිනමා ශාලාවලට මිනිස්සු ආවේ නෑ. සිනමාව ප්‍රතික්ෂේප වෙමින් පැවතුණා.
ඔවුන්ට රසවිඳින්න පුළුවන් චිත්‍රපට ප්‍රමාණවත් ලෙසින් නිෂ්පාදනය නොවුණු නිසයි එහෙම වුණේ. නමුත් මගේ චිත්‍රපට රැල්ල ආවට පස්සේ මම තනිකරලා කතා කරනවා නෙමෙයි.
මගේ චිත්‍රපට සමඟ තවත් ආකර්ෂණීය චිත්‍රපට හදපු නිර්මාණ කරුවෝ පිරිසක් හිටියා. අන්න ඔවුන්ගේ චිත්‍රපට බලන්න ප්‍රේකෂකයෝ ආපසු සිනමා ශාලාවලට එන්න පටන් ගත්තා. එතකොට අර වහල තිබුණ චිත්‍රපට ශාලා ඇරියා. අලුතින් සිනමා ශාලා පටන් ගත්තා.
සිනමාවේ ප්‍රබෝධයක් ඇතිවුණා. අපේ චිත්‍රපටවලට සෙනඟ ආකර්ෂණය වෙනකොට, බෙදා හැරීමේ සිනමා මණ්ඩල අපේ චිත්‍රපට ඉල්ලනකොට ආකර්ෂණයක් නොමැති චිත්‍රපට හදන අයට පොඩි මදි පාඩුවක් වෙනවා.
ඒකට අපිට කරන්න දෙයක් නෑ. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට අපි ලක්වෙනවා. ඒ නිසා ඔවුන් තමයි එකතුවෙලා නීතියක් ගේන්නේ ජනපි‍්‍රය චිත්‍රපටවල පිටපත් ගාණ සීමා කළ යුතුයි කියලා.
ඔවුන් චිත්‍රපට සංස්ථාවේ සභාපති සහ අනෙකුත් බලධාරින් කැමැති කරවාගෙන තීරණයකට ආවා. මුලින් සභාපති අපෙන් විමසා සිටියා මේ ගැන. අපි ඒකට කොහෙත්ම කැමැති වුණේ නෑ. නමුත් සභාපති ඒකපාර්ශ්වීයව කන්දීමෙන් ඒ තීන්දුව ගත්තා. දැන් අපි කියා සිටින්නේ මේ පිටපත් 35 සීමාව කියන්නේ අර ප්‍රබෝධයෙන් නැඟී සිටි සිනමාව යළි පරිහානිය කරා යොමු කිරීමක් කියලයි. මම කියනව විතරක් නොවෙයි මට ඒක සනාථ කරන්නත් පුළුවන් ඒක එහෙම වෙනවයි කියලා.
* නමුත් ඔබට ප්‍රතිවිරුද්ධ අදහස් දරන බහුතරයක් කියා සිටින්නේ පිටපත් 50 සීමාවට ගියොත් මෙය කිහිපදෙනෙකුට පමණක් සීමාවෙනවා. චිත්‍රපට ප්‍රදර්ශන පෝලිම දික්වෙනවා. එවැනි විශාල පිටපත් ප්‍රමාණයක් නිකුත් කරන්නට ප්‍රමාණවත් සිනමා ශාලා අපට නැති නිසා බහුතරයක් සිනමා නිර්මාණකරුවන්ට ඉන් අසාධාරණයක් සිදුවන බවයි.
පෝලිම දික්වෙනවා කියන්නේ දැනට අවුරුදු ගණනාවකට පෙර හදපු චිත්‍රපට තවමත් ප්‍රදර්ශනය නොවීම නිසානේ. අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕන ඇයි එහෙම වෙන්නේ කියලා. මම චිත්‍රපටයක් හදලා සිනමා ශාලාවකට හෝ මණ්ඩලයට දෙන්නත් ඔවුන් ඒක ගන්නත්, අර අනෙක් කෙනාගේ චිත්‍රපටය නොගන්නත් හේතුව මොකක් ද? ඒ චිත්‍රපටයේ අන්තර්ගතයේ තිබෙන කුමක් හෝ අඩුපාඩුවක් වෙන්න පුළුවන්.
දුර්වල, අවර ගණයේ, මහජන ඉල්ලුමක් නැති නිර්මාණ හදපුවම කාගේද වැරැද්ද? ඒක විකිණෙන්නේ නැතිකොට අර විකිණෙන බඩුහදපු නිර්මාණකරුවද වැරදි? අපි කියලා නෑනේ කාටවත් හොඳ චිත්‍රපට හදන්න එපා. ජනපි‍්‍රය චිත්‍රපට හදන්න එපා කියලා. ඕන කෙනෙකුට විවෘතයි. මේක තරගයක්.
මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාවක්. අපි කියන්නේ නෑ අහවල් අයගේ චිත්‍රපටවලට වැඩි සැලකිලි දෙන්න කියලා. අපි කියන්නේ සමස්තයක් හැටියට විවෘතව තියන්න. කැමැති කෙනෙක් ආකර්ෂණීය චිත්‍රපට හදන්න. තමන්ගේ චිත්‍රපටයට ආකර්ෂණයක් තිබෙනවා නම් ඒක යනවා. දුවන්නේ නැතිනම් ඒකට වෙන කරන්න දෙයක්නෑ. ඒක ඒ අයගේ අසාර්ථකත්වය.
* එතකොට මේ ප්‍රශ්නය නිසා වසරකට ප්‍රදර්ශනය වන චිත්‍රපට ප්‍රමාණය සීමා සහිත වීම සහ පෝලිම දිග්ගැසීම ගැන ඔබ මොනවද කියන්නේ?
පෝලිම දිග්ගැස්සවීමේ ප්‍රශ්නයක් තාම වෙලා නෑ. අපි 2000 දශකය ගත්තොත් මේ ටිකට ජනපි‍්‍රයයි කියන බැඳගෙන දුවන, දින සියය ඉක්මවන, පිටපත් 35 ට වැඩිය මුද්‍රණය කරන මෙවැනි චිත්‍රපට අවුරුද්දට එකක් නැතිනම් දෙකක් හැදෙන්නේ. දවස් 365 ක් අවුරුද්දට තිබෙනවා. අපිට සිනමා ශාලා එකසිය පනස් ගණනක් තිබෙනවා. එකසිය පනස් ගණනේම දවස් තුන්සිය හැටපහේම ඔය කියන ජනපි‍්‍රය චිත්‍රපට දුවන්නේ නෑ. ඒ අතරතුර ඉඩ තිබෙනවා. ඒ ඉඩතියෙන තැන්වලට ඔවුන්ට යන්න පුළුවන්.
* ඔය කියන අර්බුදයට තමයි චිත්‍රපට සංස්ථාව සහ ඔබ අතර ප්‍රතිවිරුද්ධ අදහස් ඇති වුණේ?
ඔව්. ඔය චක්‍රලේඛය පිට කරන්නේ සභාපතිගේ අස්සනින්. අපි දන්නේ නෑ ඒක කාගේ යෝජනාවක් ද කොහෙන් පටන් ගත්තද කියලා. සභාපතිගේ අස්සනින් චක්‍රලේඛයක් යවනකොට අපි ඇඟිල්ල දික් කරන්නේ සභාපතිට. අපි ඔහුට එහි ආදීනව පැහැදිලි කරලා මේක කරන්න එපා කියලා කිවුවා.
ඊට කලින් පහුගිය අගෝස්තු මාසේ එයා දැන්වීමක් දාලා පුවත්පත්වල තිබුණ මෙහෙම කරන්න අදහසක් තිබෙනවා. අදහස් දක්වන්න කියලා. අපි ඒකටත් අදහස් දැක්වූවා. මම සිනමා නිර්මාණ සංසදයේ සභාපති හැටියට අදහස් දැක්වුවා. සිනමා මණ්ඩල පහෙන් හතරක් ම අදහස් දක්වලා තිබුණා. මේක කරන්න එපා කියලා.
ඒ කිසි කෙනෙකුට කන්දීමක් කරලා නෑ. එයා කන්දීලා තියෙන්නේ ආකර්ෂණීය නොවන චිත්‍රපට හදන පිරිසකට පමණයි. මම කියන්නේ වර්තමාන සභාපතිතුමාගේ මේ චක්‍රලේඛය නිසා සිනමාවට සිදුවන්නේ අයහපතක් බවයි. අපේ රටේ ඈත දුෂ්කර ප්‍රදේශවල සිටින සිනමා ප්‍රේක්ෂකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා මේ නිසා.
* චිත්‍රපට සංස්ථා සභාපතිවරයා සහ ඔබ දැන් ඉන්නේ ප්‍රතිවිරුද්ධ මතවල. නමුත් ඔය සභාපතිවරයා පත්කරන්නටත් ඔබලාම නේද මහන්සි වුණේ?
අපේ දේශපාලන ජයග්‍රහණය පසුව එක එක්කෙනා තනතුරු ඉල්ලා සිටියා. නමුත් මගේ එහෙම ඉල්ලීමක් තිබුණේ නෑ. මම වැඩ කලේ රටේ පොදු යහපත තකා. මට දුන්න තනතුරුත් මම ප්‍රතික්ෂේප කළා. නමුත් සමහරු තනතුරු බලාපොරොත්තු වුණා. එහෙම බලාපොරොත්තු වන විට ඒවාට සුදුසුයැයි කියලා හිතෙන අය අපි නිර්දේශ කළා. අසෝක සේරසිංහ මහතාත් එවැනි නිර්දේශයක්.
ඔහු වෘත්තියෙන් නීතිඥයෙක්. සිනමාවට කෙසේ වෙතත් වේදිකා නාට්‍යවලට හා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. අපිට හිතුණා ඔහු නිර්දේශ කළ යුතුයි කියලා. ඒ නිසා අපි දුන්න ලැයිස්තුවේ චිත්‍රපට සංස්ථා සභාපති ධුරයට ඔහුගේ නම අපි නිර්දේශ කළා. නමුත් අද අපිට පේනවා ඔහු සිනමා ක්ෂේත්‍රයේ පරිහානියට වැඩ කරනවා. ඔහු ඒ තනතුරට, නායකත්වයට සුදුසු කෙනෙක් නොවෙයි කියලා.
* ඉදිරියට චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබූ පිළිවෙළට නේද?
රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ පිළිවෙළට පෙන්වන්න කියලා චිත්‍රපට සංස්ථාව නියෝගයක් කළාට සභාපතිවරයා දන්නම දෙයක් තමයි චිත්‍රපට බෙදාහැරීම පුද්ගලීකරණය වී තිබීම. ඒ නිසා රජයට බලපෑම් කරන්න බෑ පෞද්ගලික බෙදාහැරීම් මණ්ඩලවලට ඔබලා මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි කියලා.
* ඔබ පෝලිමෙන් පනිනවා කියලා තමයි බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ?
පෝලිමෙන් පනින්න පෝලිමක් තියෙන්න එපායැ. පෝලිමක් කියලා එකක් නෑ මේ ක්‍රමයට. චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලීකරණය කරලා නිසා අපි පෞද්ගලික මණ්ඩලයට ගිහින් අපි කතා කරලා අපේ චිත්‍රපටය ගැන කියලා මේ වකවානුවේ අපිට ප්‍රදර්ශනය කරන්න ඕන ඔබට පුළුවන්ද? කියලා අහලා බලලා තමයි අපි නිර්මාණය කරන්නේ.
ඒ අංශයේ අයිතියක් තමයි පුළුවන්ද බැරිද කියලා කියන්න. ඒක මට විතරක් සීමා වුණ දෙයක් නොවෙයි. ඕනම නිර්මාණකරුවකුට එසේ පෞද්ගලික මණ්ඩලයට ගිහින් කතා කරලා තමන්ගේ චිත්‍රපටය දාගන්න පුළුවන්. එතකොට ඒ ගොල්ල ඇවිත් චිත්‍රපටය බලනවා. බලලා තීරණය කරනවා ගන්නවද නැත්ද කියලා. සමහර ඒවා ප්‍රතික්ෂේප වුණාම කාගෙද වැරැද්ද?
* ඔවුන් කියන්නේ සියලු දෙනාටම පොදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලයි.
ඔව්. එහෙම තිබිය යුතුයි තමයි. එහෙම තියෙන්න නම් පළමුවෙන්ම කරන්න ඕන පෞද්ගලීකරණය අයින් කළ යුතුයි. එහෙම කරල සියලුම සිනමා ශාලා රජයේ පාලනයට ගත යුතුයි. දැන් එතකොට ආණ්ඩුවේ නීතිය මේකයි කියලා කිව හැකියි. එහෙම කමක් නෑ. රජයේ එවැනි නීතියක් තිබෙනවා නම් අපි ඒකට බැඳී සිටිය යුතුයි.
* මේ ප්‍රශ්නෙදි ඔබ වතාවක් පුවත්පත්වලට කියලා තිබුණ පිටපත් 35 ට සීමා කළොත් ඔබ සිනමාවෙන් අයින් වෙනවා කියලා. දැන් චිත්‍රපට සංස්ථාව එය ක්‍රියාත්මක කරනවා. කියූ පරිදිම ඔබ සිනමාවෙන් ඉවත් වෙනවද?
ඒක මගේ මේ චණ්ඩිකමකටවත් කාටවත් පාඩමක් උගන්වන්නවත් කරපු එකක් නෙමෙයි. මම අයින්වෙන්නේ මට මේ පිටපත් 35 සීමාව යටතේ මගේ රටාවේ චිත්‍රපට මට කරන්න බෑ. මම වියදම් කරන මුදල් මට උපයාගන්න බෑ. දැනට තිබෙන වියදම් බලපුවම පළමුවැනි වටයේ පිටපත් 35 මුදාහැරලා ආදායම් ලබාගන්න බෑ.
මේක මට විතරක් නෙවෙයි මෙවැනි ආකර්ෂණීය දැවැන්ත චිත්‍රපට කරන සියලු දෙනාටම කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අකැමැත්තෙන් හරි ඔවුන්ට අයින් වෙන්න වෙනවා. මට හැමදාම පාඩු විඳ විඳ චිත්‍රපට කරන්න බෑනේ. මේක මහජන සේවයක් නොවෙයිනේ. ඒ නිසා මට අයින්වෙන්න වෙනවා.
* චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඔබේ බිරියත් ඉන්නවා නේද?
මගේ බිරිය ඉන්නවා. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මොනවා වෙනවද කියලා මට වග කියන්න බෑ. ඒ ගැන තොරතුරු මම දන්නෙත් නෑ. මම එක දෙයක් දන්නවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වැරදි තීරණයක් අරන් ඒක ජන සම්මත කළොත් ඒක අපට දැනෙනවා. නමුත් මේ පිටපත් 35 සීමාව කවදාවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කතා කරපු දෙයක් නොවෙයි. එහෙම එකක් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කතා කරලා නෑ. කොහෙවත් වාර්තාවෙලා නෑ. අපි නම් දකින්නේ මේ තීරණය අදූරදර්ශී, සාකච්ඡාවලින් තොරව එක්තරා පිරිසක් සතුටු කරන්න ගත්ත තීරණයක් විදියට.
* ඔබේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට මොකද වෙන්නේ. ඒක ඔබ සිතා සිටි නියමිත කාලයට තිරගත වෙනවද?
’සිරි පැරකුම්’ චිත්‍රපටයට මම හිතන්නේ නෑ සභාපතිගේ චක්‍රලේඛයට අදාළයි කියලා.
* එහි පිටපත් 50 ක් මුද්‍රණය කරනවද?
මම දන්නේ නෑ. මම හිතාගෙන ඉන්නේ මුද්‍රණය කරනවා කියලා. මට හිතෙනවා සභාපති ඒකට විරෝධය පායි කියලා. නමුත් මම කියා සිටිනවා මම තිරගත කරනවා. මට ඒකට අයිතියක් තියනවා කියලා. මොකද මම චිත්‍රපටය හදන්න ගන්නේ අවුරුදු දෙකකට කලින්.
ඒ කාලේ සැලසුම් කරනකොට මෙහෙම නියෝගයක් රටේ තිබුණේ නෑ. ඒ නිසා මම තිරගත කරන කාලය, මුදාහරින පිටපත් ගණන සහ මණ්ඩලය තීරණය කරලා තමයි මුදල් වැය කළේ. සභාපතිතුමා විරුද්ධ වුණොත් ඉන් එහාට ගොස් අධිකරණ බලයකින් හරි ඒ පිටපත් 50 මුදාහැරීමේ අයිතිය මට තියනවා කියලා මම හිතනවා.

0 comments:

Post a Comment