----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!

Sunday, April 28, 2013


ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!

ඉරාණි අබේසේකර
ආදරයේ සුන්දරත්වය මෙන්ම විරහ සංතාපය ද වඩාත් සංවේදීම සමීප කළේ ඔහුය. චිත්‍රපට ගී කලාවට එදා ඔහුගේ දායකත්වයක් නොලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. ජනප්‍රිය සිනමාවට මෙන්ම කලාත්මක සිනමාවට ද ඔහු සිය නිසඟ හැකියාවෙන් අපූර්ව වදන් සිතුවම් බිහි කර දුන්හ. ගුවන් විදුලි සරල ගී, ළමා ගී වැඩිම සංඛ්‍යාවක් නිමැ වී ඇත්තේ ඔහුගේ සුරතිනි.
ගුවන් විදුලි ක්ෂේත්‍රයේ අද සිටින බොහෝ ප්‍රවීණයන්ගේ ගුරුවරයා වූයේ ද ඔහුයි. ඔහු ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයකු, ජනප්‍රිය ගීත රචකයකුª ව සිටි කරුණාරත්න අබේසේකරයන්ය. හෙතෙම අප අතරින් වියෝ වී ලබන අප්‍රේල් 20 වැනිදාට 30 වසරක් සපිරේ. මේ මොහොතේ ඒ සොඳුරු කලාකරුවාගේ ප්‍රිය බිරිය ඉරාණි අබේසේකර සිය මතකය අවදි කළේ මේ අයුරිනි.
‘කරුගේ හඬ ගුවන් විදුලිියෙන් ඇහෙන කොට මගේ හිත ඒ දෙසට ඇදිල ගියා. පුළුවන් හැම වෙලාවටම ඔහුගේ හැම වැඩසටහනක්ම ඇහුවා. ඒ කාලේ සිංහල නිවැරදි උච්චාරණය ඉගෙන ගන්න අනිවාර්යයෙන් සිංහල ප්‍රවෘත්ති ඇහුවා. ඒ නිසා ඔහු නිවේදනය කළ ප්‍රවෘත්ති විකාශයන් නම් මග හැරුණේ නැහැ. කරු පුවත්පත් සඟරාවලට ලියූ හැම කවියක්ම බලන්නත් මම අමතක කළේ නැහැ. ඔහු අතින් ලියවුණු ගීත මම රස වින්දේ හරිම ආදරයෙන්. ඇත්තටම මට ඔහු ගැන තිබුණේ පිස්සුවක්.
ඔහුගේ හඬ විතරක් ඇසූ ඔබට ඔහු මුණ ගැසෙන්නේ?
ඒ 1952 වසරේදී. එතකොටත් මම පාසල් ශිෂ්‍යාවක්. මගේ යෙහෙළියෝ මේ පිස්සුව ගැන හොඳටම දැනගෙන හිටියා. අපේ කට්ටිය ලකී සෙවන්. ඉතිං මෙයාලට ඕනෑ වුණා මාවයි කරුවයි මුණ ගස්වන්න. ඒකට අපි හොඳ වැඩක් කළා. මගේ කැමැත්ත දැනගත්ත මගේ යෙහෙළියෝ හය දෙනා මාවත් එක්කර ගෙන ගියා පී. එල්. ඒ. සෝමපාල හා චිත්‍රාගේ විවාහ මංගල උත්සවයට. ඇත්තටම අපි එහි ගියේ කිසිම ආරාධනාවක් නැතුවයි. අපි හිතුවා කරුත් අනිවාර්යයෙන් එතැනට එයි කියලා. අපි හිතුවා වගේම ඔහුත් පැමිණියා. මගේ යෙහෙළියන් ඔහුට මා හඳුන්වා දුන්නා. එදා අපි හැමෝම කතාබහ කරමින් විහිළු තහළු කරමින් කාලය ගත කළා. මගේ යෙහෙළියන් ඔහුගෙයි මගෙයි අයිස් ක්‍රීම් කප් දෙකත් මාරු කළා. ඊට පස්සේ දවසෙත් මගේ යෙහෙළියක් වූ අයිරාංගනී අපට දුරකථනයෙන් කතා කරන්න අවස්ථාව හදලා දුන්නා. මේ විදියට දිගටම මට කරු සමඟ කතා කරන්න අවස්ථාව ලැබුණා.
ඒ වෙනකොට ඔබ දෙපොළ පෙම්වතුන්. ඔබ වෙනුවෙන් ඔහු ගීත එහෙමත් රචනා කරන්න ඇති?
ඔව්. අපි ගෙවල්වලට හොරෙන් තමයි කතා කළේ. අපේ සම්බන්ධය දැනගත්තම ගෙවල් දෙකෙන්ම අපට විරුද්ධ වුණා. අපේ ගෙදරින් දැනගත්ත වෙලාවේ තමයි මම ගෙදර හිරකාරියක් වුණේ. කරුට කතා කරන්න කිසිම ඉඩක් ලැබුණේ නැහැ. ටෙලිෆෝන් එක අල්ලන්න තියා මට මගේ යෙහෙළියන් ඇසුරු කරන්නත් තහනම් වුණා. එහෙම ඉන්න කොට දවසක් මට ගුවන් විදුලියෙන් ගීතයක් අහන්න ලැබුණා.
‘එන්න මදනලේ . . .
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිරගෙයට ඇගේ . . .
දිවා රැයේ වැලපිලා - දෑස ඈගේ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා . .
සංදේශයකින් යවන්න මේ දුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි – මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි
ශෝක පණිවිඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයක් කළා
මට කොයින්ද එම වලා ආමි සුළඟෙ ඔබ සොයා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා . .
තිලකසිරි ප්‍රනාන්දු තමයි එය ගායනා කළේ. මං හිතුවා මේ ගීතයේ මොකක් හරි සුවිශේෂත්වයක් ඇති කියලා. ඒක හරියටම හරි. අවසානයේදී නිවේදකයා කිව්වා ඒ ගීය කරුණාරත්න අබේසේකර විසින් රචනා කළා කියලා. කරු එදා ඔහුගේ දුක මට කිව්වේ ඒ ගීතයෙන්. ඇත්තටම ඔහු කාරුණික උණු වෙන හදවතක් තියෙන මහත්මයෙක්. ඒ වගේමයි ඔහුගේ පවුලේ අයත් මට තමන්ගෙම පවුලේ කෙනෙකුට වගේම සෙනෙහසක් දැක්වූවා. අපේ ගෙදරින් විරුද්ධ වුණත් 1959 නොවැම්බර් 30 වැනිදා කොළඹ ගාලුමුවදොර හෝටලයේදී අපි විවාහ දිවියට එළැඹුණ.
නිවේදකයෙක්, ගීත රචකයෙක් යන චරිතවලින් බැහැරව ආදරණීය සැමියෙක්, පියෙක් ලෙස ඔබ ඔහු දකින්නේ?
අපි විවාහ වෙලා ගොඩක් කල් ගත වෙන තෙක් අපට දරු සුරතල් බලන්න බැරි වුණා. අපි දෙන්නම ඒ ගැන හරිම දුකෙන් හිටියේ. අවුරුදු 10 කට පස්සේ තමයි දිලීප පුතා අප අතරට ආවේ. ඒක හරිම සුවිශේෂ වෙන්නේ ඔහු ඉපදුණෙත් කරු ඉපදුන ජූනි 03 වැනිදාම තමයි. ඒ සතුටට තමයි ‘දිලීප පොඩි පුතු සමීපයට . . .’ කියන ගීතය ඔහුගෙන් ලියැවුණේ. ඇත්තටම කරු කියන්නේ හරිම සංවේදී නිතරම සතුටින් කාලය ගත කරන්න කැමැති කෙනෙක්.
පොඩි ළමයින්ට හරිම ආදරෙයි. එයා වැඩ ඇරිල එනකොට අහල පහළ ඉන්න පොඩි ළමයින්ට රස කැවිලි ගෙනත් දෙනවා. මට මතකයි ඒ දවස්වල කරු ඇවිත් වාහනේ නවත්වන කොට පොඩි ළමයි ඇවිත් කාර් එක වටකර ගන්නවා. වැඩ කරන තැනදි නම් අඩුපාඩු වුණොත් හරියට කේන්ති යනවලු. ගෙදරදි නම් අපි ඔහුට කේන්ති යන වැඩ කරන්නේ නැහැ. ගෙදර ඉන්න වෙලාවට පුතා දිලීප එක්කම තමයි කාලය ගත කළේ. ඔහුගේ පාසල් වැඩ සියල්ල හොයල බලන්නේ කරු විසින්මයි. කරු කෘත්‍රිම මල්වලට කැමතිම නැහැ. ගෙදර ලස්සනට තියන්න ස්වභාවික මල් නිතරම අරගෙන එනවා. ඇත්තටම ඔහු පොඩි ළමයෙක් වගේ. පැණිරස කෑම කන්න පුදුම ආසාවක් තිබුණේ. හැමදාම තේ වෙලාවට මම මොනවා හරි පැණිරස කෑමක් හදනවා.
එතකොට කරුණාරත්න අබේසේකර නමැති ගී පද රචකයා?
ඔහු ගීත රචනා කරන්න කාලයක් වෙන් කරලා තිබුණේ නැහැ. ගෙදරදි නම් බොහෝ වේලාවට හිතට එන අදහස් කිව්වම ලියන්නේ මම. මම නැති තැන්වලදී ඔහුම එය ලියනවා. සමහර දවසට පාන්දරම නැගිටල සිංදු ලියනවා. රෙකෝඩරයක් තියාගෙන සිංදු අහල ඒවට ගැළපෙන විදියට සිංහල පද ගළපලා මට කියනවා ලියන්න. චිත්‍රපට ගීත නම් බොහොමයක් ලිය වුණේ ගෙදරදි. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදින් බෙග්, මිල්ටන් මල්ලවාරච්චි ගීත ලියවා ගන්න නිතරම කරු හමු වෙන්න ආවා.
කරුණාරත්න අබේසේකර අතින් රචනා වූ බොහෝ ගීත අපට රිගින් ටෝන් හරහා අසන්නට ලැබෙනවා. දැන් කොපමණ ගීත සංඛ්‍යාවක් ඔහුගේ අතින් ලියැවෙන්න ඇති ද?
සංඛ්‍යාත්මකව නම් කියන්න අමාරුයි. පසුගිය කාලයේදී නම් විවිධ පුද්ගලයන් රිගින් ටෝන්වලට කියලා අපෙන් අවසර අරගෙන ගිහින් තියෙනවා. නමුත් එහි ගිවිසුම්වල සඳහන් වුණත් අදටත් අපට ගෙවීම් නම් කරලා නැහැ. අපිට සල්ලි වුවමනා නැහැ. නමුත් වංචා කරන්න හොඳ නැහැ. සමහරු ගීතවල අයිතිය පවා ඉල්ලාගෙන එන අවස්ථාත් තියෙනවා. කොපමණ සල්ලි දුන්නත් කරුගෙ ගීතවල අයිතිය නම් කවදාවත් විකුණන්නේ නැහැ.
අද වන විට ඔබ කාලය ගත කරන්නේ?
පින්දහම් කරමින් කාලය ගත කරනවා. කරු අපෙන් වෙන් වෙලා අවුරුදු තිහක් ගත වුණා කියලා හිතා ගන්නවත් බැහැ. ඔහු අකමැති දේ කිසිවක් අදටත් මම කරන්නේ නැහැ. අපේ පුතා දිලීප මේ වනවිට දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ හරිම කාර්යබහුලයි. ඔහුත් තාත්තා වගේමයි. ගොඩක්ම නොවුණත් වෙලාව ලැබෙන ආකාරයට ගීත ලියනවා. ඒ වගේම කරුණාරත්න අබේසේකර පදනම හරහා අපි නොයෙකුත් පුණ්‍ය ක්‍රියා සිදු කරනවා. මේ සියලු දේ සමඟින් විවේකීව කාලය ගත කරනවා.
කරුණාරත්න අබේසේකර සූරින් අප අතරින් වියෝ වී 20 වැනිදාට තිස් වසරක් සපිරෙනවා. මේ නිමිත්තෙන් විශේෂ වූ පුණ්‍ය වැඩසටහන් එහෙම සංවිධානය කරලා ඇති?
කරු සිහිපත් කරලා අපි පින්කම මීට දින කිහිපයකට කලින් පැවැත්වූවා. ඔහු අපෙන් සමුගත් 20 වැනිදාට ඔහුට දෙවැනි සෙවණක් බඳු වූ ගුවන් විදුලියෙන් ධර්ම දේශනාවක් විකාශය කරන්නට සූදානම් කර තිබෙනවා. ඒ සියලුම පින් ඔහුට අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා

0 comments:

Post a Comment