----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නිසි වෙලාවට ඒක සිද්ධවේවි

Sunday, April 28, 2013


නිසි වෙලාවට ඒක සිද්ධවේවි

තෙසාරා ජයවර්ධන
“තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද එක්වන්නේ තෙසාරා ජයවර්ධන. ඇය ටෙලිනාට්‍යය චිත්‍රපට රංගන ශිල්පිනියකි. එසේ ම ඇය කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. මේ වනවිට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වී ඇති තෙසාරා දක්ෂතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය ද වරක් හිමිකර ගැනීමට සමත් වී ඇත.
මොන වගේ වැඩ කටයුතුත් එක්ක ද ඔබ මේ දවස්වල ඉන්නේ?
මේ දිනවල ‘සකි සඳ සුවාරිස්’ ටෙලිනාට්‍යය රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මේ ටෙලිනාට්‍ය මේ දිනවල හිරු රූපවාහිනී නාළිකාවෙන් විකාශය වෙනවා. මම එහි නිරූපණය කරන්නේ සිමෝනා චරිතය.
මීට කලකට පෙර ඔබේ රංගනය සම්මානයට පාත්‍ර වුණා නේද?
ඔව් ඒ 2008 අවුරුද්දේදි. ඔව් ඒ; අශෝක හඳගම නිර්මාණය කළ “නැඟෙනහිර වෙරළෙන් ඇසෙන” ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන්. මෙහිදී මට සම්මාන 2 ක් හිමි වුණා. ඒ, ඕ සී අයි සී සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානයත්, රාජ්‍ය ටෙලිනාට්‍ය උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයත්.
ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ...?
මම මුලින් ම රංගනයෙන් දායක වුණේ ‘සිහින දෙව්දුව’ චිත්‍රපටයට. ඉන්පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ “අම්මාවරුනේ” චිත්‍රපටයටත් සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘යහළුවෝ’ සහ ‘වෛශ්නාවි’ චිත්‍රපට වලටත් එම රංගනයෙන් දායක වුණා. වෛශ්නාවි ළඟදීම තිරගත වේවි.
ඊට අමතරව ප්‍රියංකර විතානච්චිගේ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේත් මගේ රංගනයක් ඇතුළත්. ඒ මම රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට. ඒ වගේ ම ‘සඳලි සහ තාරකා’, ‘රංගන විජිතය’, ‘සමනළියක් ඉකි බින්දා’, ‘හිම කඳුළු’ ටෙලිනාට්‍යවලටත් තවත් ටෙලිනාට්‍ය කීපයකටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඔබ හිතන විදියට ප්‍රේක්ෂකයින් ඔබට වඩාත් සමීප වුණේ කුමන චරිතයෙන් ද?
‘සඳලි සහ තාරකා’ ටෙලිනාට්‍යයේ රාධිකා ගේ චරිතයෙන් තමයි ප්‍රේක්ෂකයින් මාව හොඳින් හඳුනා ගත්තේ.
ඔබ කලාවට සම්බන්ධ වුණේ ඔබට කලාවට සම්බන්ධ පවුල් පසුබිමක් තිබෙන නිසා ද?
මම කලාවට සම්බන්ධ වුණේ කලාවට තිබුණු ආශාව නිසයි. නමුත් කලාවට සම්බන්ධ වෙන්න දෙමව්පියන්ගේ සහ කලාවට සම්බන්ධ මගේ පවුලට සමීප උදවියගෙන් මට විශාල සහයෝගයක් රුකුලක් ලැබුණා.
මගේ තාත්තා ආචාර්ය අමර ජයවර්ධන, මව ආචාර්ය ජයන්ති ජයවර්ධන. මගේ තාත්තා චිත්‍රපට කීපයක් ම නිෂ්පාදනය කළා. ඒ චිත්‍රපටවල රඟපෑමේ අවස්ථාව මට හිමිවුණා.
රංගනයට අමතරව ඔබ ලේඛනයෙත් යෙදෙනවද?
ඔව් මම ලියන්න කියවන්න හරි කැමැතියි. මගේ අම්ම ලේඛිකාවක්. ඇය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ග්‍රන්ථ කීපයක් ම රචනා කරල තියෙනවා. මම ලේඛනයට යොමු වුණේ අම්ම නිසා. මගේ පළමු නවකතාව ‘සඳ නොදුටු තාරකා’ එය සරසවි ප්‍රකාශනයක්. ඒක පුනරුත්පත්තිය ගැන කියවන කුතුහලයෙන් පිරුණු කතාවක්. මගේ දෙවැනි කෘතිය ‘හිරු නොදුටු දේදුනු’ එයත් කුතුහලය දනවන කතාවක්.
ලේඛනයේදී ඇයි ඔබ පුනරුත්පත්තිය වැනි තේමාවක් තෝරාගත්තේ?
පුද්ගලිකව මම කැමැතියි, කුතුහලය දනවන අභිරහස් නිර්මාණවලට. රඟපෑමේදී වුණත් මම කැමැති එවැනි නිර්මාණවලට දායක වෙන්නයි.
රංගනයට ලේඛනයට අමතරව ඔබ නිරත වී සිටින වෙනස් ක්ෂේත්‍ර මොනවාද?
මම නිවේදන කටයුතු වලටත් ගොඩක් කැමැතියි. මම පළමුවෙන් ම කළේ ජාතික රූපවාහිනියේ ‘ලංකා ව්‍යාපාරික පුවත්’ වැඩසටහන. ඉන්පසුව මම ස්වර්ණවාහිනි ආයතනයේ ස්ටොක් මාකට් වැඩසටහන ඉදිරිපත් කළා. මේ දිනවල සියත නාළිකාවේ යාන වාහන වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ වගේ ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය විෂය පිළිබඳව කතිකාචාර්යවරියක් ලෙසින් සේවය කරනවා.
පසුගියදා ඔබට අධ්‍යාපනික ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණයකුත් හිමි වුණා නේද?
ඔව්, මහා බ්‍රිතාන්‍යයේ සී අයි එම් ආයතනය මගින් පැවැත්වූ වරලත් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවේ ලොව විශිෂ්ටතම ශිෂ්‍යාවට හිමි සම්මානය මට හිමි වුණා.
කවුද ඔබේ පවුලේ ඉන්නේ?
මගේ පවුලේ අය ඉන්නේ නවසීලන්තයේ. අම්මයි තාත්තයි මල්ලි තමයි මට ඉන්නේ. පොඩි කාලේ ඉඳලම මම හැදුණේ වැඩුණේ නවසීලන්තයේ.
ඔබ දැන් විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
ඔව්. නිසි කාලයට නිසි වෙලාවට ඒ දේවල් සිදුවේවි.
මොනවගේ බලාපොරොත්තු ද අරමුණු ද ඔබට තියෙන්නේ?
හොඳ නිර්මාණවලට දායක වෙමින් දිගටම කලාව තුළ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මම ඉගෙන ගන්න දේවල් මේ රටේ දරුවන්ට කියා දීමෙන් මේ රටට සේවයක් කරන්නත් මගේ විශාල ආශාවක් තියෙනවා.

0 comments:

Post a Comment