----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි

Monday, April 1, 2013

මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි

භාග්‍යා හෙට්ටිආරච්චි
’ඉඳුවරී’ ටෙලිනාට්‍යයේ “සුංගි” ඔබට මතක ද? “සුංගි” ගේ චරිතය නිරූපණය කළ ඒ රුවැත්තිය භාග්‍යා හෙට්ටිආරච්චි. භාග්‍යා රංගනයට පිවිස ගතවූයේ කෙටි කලක් වුවද ඉතා හොඳ චරිත කීපයක්ම නිරූපණය කිරීමට තරම් ඇය වාසනාවන්ත වී ඇත.
භාග්‍යා රංගනයට පමණක් නොව ගායනයට ද දක්වන්නේ අපූරු දක්ෂතාවයකි. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද අප භාග්‍යා එක් කර ගන්නේ ඇයගේ නවතම තතු විමසන්නටය.
ඔබ රංගනයට පිවිසි ආකාරය සිහිපත් කරමු
මගේ මුල්ගම ගම්පහ; දැන් පදිංචිය මහරගම. පාසල් ගියේ කොළඹ ආනන්ද බාලිකාවට. පාසල් යන කාලේ පටන් මම ආශා කළේ සංගීතයට. පාසලේදි මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා.
සංගීතයට තිබුණු ඇල්ම නිසාම ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගත්තා වසර 6 ක් පමණ. ඒ අතරතුරේදි තමයි මට රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න අවස්ථාව ලැබුණේ. ඒ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඉන්පසුව මට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
රංගන ශිල්පිනියක් වීමේ ආශාව හිතේ කොනක හෝ තිබුණ ද?
මම ආශා කළේ ගායිකාවක් වෙන්න. නමුත් යොමුවුණේ රංගනයට.
එතකොට ඔබේ පළමු ටෙලිනාට්‍යය?
සිරස නාලිකාවෙන් විකාශය වුණු “සඳ සාක්කි.” එය දීර්ඝ ටෙලි නාට්‍යයක්. එහි මම නිරූපණය කළේ පාද දෙකම අහිමි තරුණියකගේ චරිතයක්.
එතකොට ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ...?
“සඳසාක්කි”, “ඉඳුවරී”, “බාලොලි මල්” “හිම පියලි” “රන්තරු” “සොයුරී” සහ තවත් ටෙලි නාට්‍ය කීපයකටම මම දායක වෙලා තියෙනවා.
සිනමාවට ඔබේ දායකත්වය...?
මේ වන විට මම එක් සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ රොෂාන් කුරුප්පුගේ “මල් විල ෆාම්” චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මම. ඒ චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.
ඔබ හිතන විදියට ඔබගේ රංගනය ප්‍රේක්ෂකයින් හඳුනාගන්නේ කුමන චරිතයෙන් ද?
‘ඉඳුවරී’ ටෙලි නාට්‍යයේ ‘සුංගි’ කියන චරිතයෙන්. ඒ චරිතය තුළ මට ගොඩක් දේවල් කරන්න තිබුණා. ඒ රංගනය දැකපු අධ්‍යක්ෂවරු කීපදෙනෙක්ම මාව ඔවුන්ගේ නිර්මාණවලට දායක කරගත්තා.
එතකොට ඔබ මේ දවස්වල මොනව ද කරන්නෙ...?
“සසර සක්මන” ‘හිම පියලි’ ‘රන්තරු’ සහ තවත් ටෙලි නාට්‍ය කීපයකම රූපගත කිරීම්වලට මේ දිනවල දායක වෙනවා.
ඔබ මෙතෙක් රඟපා ඇති චරිතවල ස්වභාවය...?
මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් ගතවෙලා තියෙන්නේ කෙටි කාලයක් වුණත් හොඳ ටෙලිනාට්‍ය කීපයකම විවිධාකාරයේ චරිත නිරූපණය කිරීමට තරම් මම වාසනාවන්ත වුණා. ඒ චරිත අතර පෙම්වතිය, දියණිය වැනි චරිත වගේ ම ඉතාම සංකීර්ණ චරිතත් තිබුණා. එලෙස විවිධාකාරයේ චරිත නිරූපණය කරන්න ලැබීම ගැන මට හරිම සතුටුයි.
ඔබ ප්‍රවීණයින් එක්ක සාර්ථකව එකට වැඩ කරනවා ද?
පසුගිය කාලෙ මම ප්‍රවීණයින් රැසක් සමඟම වැඩ කළා. මම ප්‍රවීණයින්ට ගොඩක් ගරු කරනවා. ඔවුන්ගෙන් අපේ රංගන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් ලබාගත හැකි දේ බොහොමයි. විශේෂයෙන්ම ජයනි අක්කා (ජයනි සේනානායක) කුමාර තිරිමාදුර අයියා මට ගොඩක් උදව් කරනවා.
දැන් ඔබ සංගීතය අමතක කරල ද?
නැහැ. මට එහෙම කරන්න හැකියාවක් නෑ. කේමදාස මාස්ටර් ඉන්න කාලේ මම මාස්ටර්ගේ ප්‍රසංගවලට ගොඩක් දායක වුණා. නමුත් වැඩියෙන් රංගනයට යොමු වුණු නිසා සංගීත කටයුතු තරමක් මඟ හැරුණා. මේ දිනවල මගේ නවතම ගීතයක වැඩ කරගෙන යනවා. මැයි මාසයේ දී පමණ ඒ ගීතය රූප රචනාවක් සමඟින් රසිකයින්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
රංගනය සරල ද?
නැහැ. කොහෙත්ම නෑ. ඒකට උපතින්ම ලැබුණු වාසනාවනක් වගේම අභ්‍යාස කිරීමෙන් ලබාගත් දැනුමත් තියෙන්න ඕන. රංගනය ප්‍රගුණ කළ යුතු විෂයයක්. ඒ සඳහා විශේෂ අභ්‍යාස ක්‍රම තිබෙනවා. මම හිතනවා මට රංගනය ගැන ඉගෙනගන්න ලැබුණේ එය ඉගෙන ගන්න ඉන්න හොඳම කෙනාගෙන් කියලයි.
ඒ ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙන්. කේමදාස මාස්ටර් ඉගැන්නුවේ සංගීතය පමණක් නෙමෙයි. රංගනය පිළිබඳ මනා දැනුමක් අපට ලබා දුන්නා. ඒ ඔපෙරාවලට අපට සම්බන්ධ කර ගැනීමේදී. ඉදිරියටත් මට රංගනය ගැන මේ රටේ ප්‍රවීණයින්ගෙන් මෙන්ම තවත් ක්‍රම වලින් හදාරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට ඔබ රැකියාවක් ලෙස මොනව ද කරන්නෙ?
දැන් මගේ රැකියාව රඟපෑම.
දිගටම රංගනයේ ඉන්නව ද?
ඔව් මට හැකිතාක් කල් මම රංගනයේ යෙදෙනවා. ඒ වගේම කවදා හෝ දක්ෂතම රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමි කරගන්නත් මම බලාපොරොත්තු වෙනවා.
ඔබේ පවුලේ තොරතුරු...?
අම්මයි තාත්තයි මල්ලියි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ.
පවුලේ අය හැර ජීවිතයට සමීප තවත් කෙනෙකුන් ඔබට ඇති නේද?
දැනට නම් නෑ. මගේ ක්ෂේත්‍රය හොඳින් තේරුම් ගත්ත, මට ගොඩක් ආදරය කරන කෙනෙක් මගේ ජීවිතයට සමීප වේවි කියල මම හිතනව.


Silumina

0 comments:

Post a Comment