----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මට දැන් හැමෝම කියන්නේ මින් කියලා

Sunday, March 24, 2013


මට දැන් හැමෝම කියන්නේ මින් කියලා

‘සුජාත දියණී’ හි පාලිකා මින්ට හඬ දුන් දිනිති
ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘සුජාත දියණී’ නාට්‍ය මාලාව විකාශය අවසන් වුණත් අදටත් එය ලොකු පොඩි කා අතරත් ජනප්‍රියයි. එහි චංගුමිගේ චරිතය වගේම තවත් චරිත රැසක් හැමෝගෙම හිත් තුළ නොමැකෙන මතක සටහන් ඇති කළ බව නම් අමතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ අතර පාලිකා මින්ගේ චරිතයත් ඔබට ළෙංගතුයි නේද? ඒ වගේම පාලිකා මින්ගේ චරිතයට ලබාදුන් සිංහල හඬත් ඔබට ඒ අයුරින්ම ළෙංගතු ඇති. ඒ චරිතයට හඬ දුන්නේ කාටුන්, චිත්‍රපට තුළින් ඔබට සමීප වූ විශේෂ චරිතයක්. ඇය දිනිති නිම්නාවී ජයසේකර. තවමත් සුන්දර පාසල් වියේ පසුවන දිනිති සුජාත දියණී හි ඇය ලැබූ ඒ අවස්ථාව ගැන මුලින්ම සරසවියට කිව්වේ මේ විදියට.
‘පාලිකා මින් කියන්නේ තරුණ කාලේ සිට මැදි වයසට යන චරිතයක්. මේ අවස්ථාව ලැබුණාම මගේ හඬ චරිතයට ගැළපෙයිද කියලා හිතුණා. මින් පාලිකාව කියන්නේ නිතරම බයට පත්වෙන, පොඩි දෙයටත් ගොඩක් කලබල වෙන චරිතයක්. පොඩි කාලේ ඉඳලම මම රූපවාහිනියේ හඬ කැවීම් සඳහා දායක වෙලා තියෙනවා. ඒ නිසා මට නම් ඒ ගැන බයක් දැනුණේ නැහැ.’
* මින් පාලිකාවගේ හඬට ලැබුණ ප්‍රතිචාර කොහොමද?
හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. සුජාත දියණී විකාශය වූ කාලයේදී වගේම අදටත් ඒ ප්‍රතිචාර ඒ විදියටම තියෙනවා. දැනුත් ඉස්කෝලේ ළමයි ඇවිත් පංතිය වට කරගෙන ඉන්නවා. එයාලා මට කියනවා නාට්‍යයේ දෙබස් කියන්න කියලා. පුංචි නංගිලා ඇවිත් ‘අනේ අක්කේ පොඩි දෙබසක් කියන්නකෝ’ කියලා ඇවිටිලි කරනවා. එයාලා දැන් මට කතා කරන්නේ මින් අක්කා කියලා. ඇත්තටම මට ගොඩක් සතුටුයි.
* දිනිති මුලින්ම හඬ කැවීම් ක්ෂේත්‍රයට එන්නේ?
තුන වසරේදී ළමා පිටියේ නිවේදිකාවක් විදියට තමයි ක්ෂේත්‍රයට ආවේ. මේ වෙන කොට දඟර වලිග කාටුන් එකේ බයිය බබා, සර්කස් මිතුරෝ හි ටිකිරි, මී මැස්සි හි වීදුරු පැංචි වගේම සුසුරන් හි සාවා, මල් ගුඩි දවස වැනි වැඩසටහන් රැසක හඬ දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබුණා. මට ගොඩක්ම ලැබුණේ ටිකක් දඟකාර චරිත.
* රංගනයටත් යොමු වුණා නේද?
ඔව්. පෝය ඒකාංගික නට්‍යයකට වගේම ස්වර්ණවාහිනියෙන් විකාශය වූ නත්තල් චිත්‍රපටයකටත් දායක වුණා. ඊට අමතරව ‘එකමත් එක රටක’ චිත්‍රපටයේ නිරෝෂා පෙරේරාගේ කුඩා අවධිය නිරූපණය කළේ මම. ඒත් දිගටම රංගනයේ යෙදෙන්න මම කැමැති නැහැ. ඒ වගේම යුනිසෙෆ් ආයතනයෙන් හොඳ පුරුදු ගැන කියන මීනා කියන කාටුන් චරිතයට ලංකාවෙන් තේරුණේ මම. ඒ වගේම දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියේ පළමුවරට නිර්මාණය කළ ත්‍රිමාණ නිවේදිකාවට හඬ කවන්න අවස්ථාව ලැබුණා. ඒක මං ගොඩක් ආසාවෙන් ඉදිරිපත් කළ එකක්.
* දිනිති ඔයාගේ තාත්තා මෙරට ප්‍රසිද්ධ නිවේදකයෙක් වගේම ප්‍රසිද්ධ තිර රචකයෙක්, පද රචකයෙක්. ඔයත් ඒ අංශයට යොමුවෙන්න අදහසක් නැද්ද?
මගේ තාත්තා විපුල් ධර්මප්‍රිය ජයසේකර. මම තාත්තා වගේ නිවේදන කටයුතුවලට යොමුවුණා. නිසඳැස් ලියන්න මම කැමැතියි. පාසල් මට්ටමෙන් චිත්‍ර, රචනා, සංගීත, නිවේදන තරගවලට ඉදිරිපත් වෙලා පළමු, දෙවන ස්ථාන හිමිකර ගෙන තියෙනවා. මගේ මල්ලි නම් තාත්තා වගේ ලියන්න උනන්දුයි.
* පාසල ගැනත් කියමු?
මම නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබනවා.
* දිනිතිගේ අනාගත බලාපොරොත්තුව?
නීතිඥවරියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පුවත්පත් ලිපිවලට ලියන්නත් කැමැතියි. ඒ අතර ගොඩක්ම කැමැති දේශපාලනය ගැන ලියන්න තමයි.
* කලා ජීවිතයට සහාය වූ අයත් සිහිපත් කළොත්?
මගේ තාත්තා, අම්මා, මල්ලි මට ලොකුª ශක්තියක්. තාත්තයි අම්මයි මට නිවැරැදි මඟ පෙන්වීම කරනවා. ගුවන් විදුලි වැඩසටහන්වලදී මහින්ද අල්ගම මාමාගෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. අතුල රන්සිරිලාල් මාමා, අනුර ධර්මසේන මාමා, පී. කුලරත්න මාමා, චර්චිල් මාමා, වජිර අක්කා, මාලි අක්කා, බුද්ධික අයියා, රූපවාහිනී සංස්ථාවේ හඬ කැවීම් ඒකකයේ හැමෝමයි, ස්වර්ණවාහිනියේ වික්‍රමසිරි ජයවික්‍රම මාමා, නෙත් එෆ්. එම්, ටී. වී. දෙරණ හැමෝමත් ආදරයෙන් සිහිපත් කරනවා.


Sarasaviya

0 comments:

Post a Comment