----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලා

Sunday, March 24, 2013


චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලා

වත්මන් සභාපතිගෙන් ජනපති විමර්ශන ඒකකයට පැමිණිලි

චිත්‍රපට 3ක් ගෙන්වන මුදලින් ගෙනාවේ එකයි
ආනයනය කළ සමාගමට ලියාපදිංචියත් නෑ
රුපියල් මිලියන නවයකට ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපට තුනක් ආනයනය කළ හැකි බවට අධ්‍යක්ෂ මණ්ඩලය නොමඟ යවා ලක්ෂ 85ක් වැය කොට එක් චිත්‍රපටයක් පමණක් ගෙන්වා ප්‍රදර්ශනය කිරීමෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට සිදු වී ඇති ලක්ෂ ගණනක මූල්‍ය අලාභයක් සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වා ‍තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා විසින් එම පෙත්සමට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණය සිදු කර ඇත.
'උත්තම පුත්‍රම්' හා 'නගරම් මරුප්පක්කුම්' චිත්‍රපට ආනයනය කිරීම සහ ටී. ඩී. එස්. උපකරණ ගෙන්වීම සම්බන්ධව ප්‍රශ්නයක් සිදු වී ඇති බව එම විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
2010 දීපවාලී උත්සව වකවානුවෙහි ද්‍රවිඩ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) 2010. 10. 21 දින අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යෝජනා කර තිබේ. එම වර්ෂයේ රුපියල් 92,50,000කට ද්‍රවිඩ චිත්‍රපට තුනක් ආනයනය කළ හැකි බවට එහිදී පෙන්වා දී ඇත.
ඒ අනුව චිත්‍රපට තුනක් අවස්ථා තුනකදී ආනයනය කිරීම සඳහා ආනයනය කිරීමට ලක්ෂ 90 ක මුදලක් අනුමත කර ඇත. එහෙත් එක් චිත්‍රපටයක් සඳහා පමණක් ලක්ෂ 80ක් වැය කොට සංස්ථාවට ලක්ෂ 39ක පාඩුවක්සිදු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වෙයි.
මෙම 'උත්තම පුත්‍රම්' චිත්‍රපටය ආනයනය කිරීම සඳහා දේශීය නියෝජිතයා වශයෙන් එක්තරා සිනමා ආයතනයකට බාරදී ඇත. එහෙත් ‍අදාළ ආයතනය 2010 වර්ෂය සඳහා චිත්‍රපට ආනයනකරුවකු වශයෙන් ලියාපදිංචි වී නොමැත.
තවද මෙහිදී චිත්‍රපටයක් ආනයනය කිරීමට සංස්ථාව සමඟ කළ යුතු ගිවිසුම් ගණනාවක අක්‍රමිකතා සිදු වී ඇති අතර ඉන්දියා සංචාරයක් සඳහා සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සංස්ථාවේ මුදල් අනිසි ලෙස වැය කර අක්‍රමිකතාවක් සිදු කර ඇති බවද විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇත. මේ දෙමළ චිත්‍රපටය චිත්‍රපට සංස්ථාවේ 'රිද්මාමණ්ඩලය' යටතේ 2010 නොවැම්බර් සිට 2011 නොවැම්බර් දක්වා ප්‍රදර්ශනය කර තිබේ. එසේ ප්‍රදර්ශනය කිරීමෙන් රුපියල් 3,966,193.50 ක පාඩුවක් සංස්ථාවට සිදුවී ඇති බවද අනාවරණය වී ඇත.
අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබූ 'නගරම් මරුප්පක්කුම්' චිත්‍රපටය ආනයනය කිරීම සඳහා නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කර නැත.
තවද ඩිජිටල් තාක්ෂණික ශබ්ද විකාශන කට්ටල ආනයනය කිරීමේදී ද රාජ්‍ය ප්‍රසම්පාදන රීති උල්ලංඝනය කර ඇත.
ඒවා බෙදා දී ඇති සිනමාහල් ‍ඒවාට ගෙවිය යුතු වාරික ගෙවීමද පැහැර හැර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වෙයි. චිත්‍රපට සංස්ථාව තුළ සිදු වී ඇති මේ දූෂණ අක්‍රමිකතාව පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ වාර්තාව මේ වන විටත් අදාළ අංශ වෙත යවා තිබේ. එම දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් කවුද යන්නද එහි සඳහන්ව තිබේ.
 

0 comments:

Post a Comment