----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්‌වා

Sunday, February 3, 2013


මඤ්ඤං කොළම

පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්‌වා

හවස හය වෙන කොට ගෙදර එනවා කියල හිතාගෙන ආවත් පාරෙ වාහන තදබදයත් එක්‌ක පිච්චර පිස්‌සට හිතපු වෙලාවට ගෙදර ඒගන්න බැරිවුණා. හන්දියෙන් බහිනකොටත් හත පහුවෙලා.......· පිච්චර් පිස්‌සා හිතේ දුකෙන් පාර දිගේ ඇවිදගෙන ආවා. ''සුජාත දියණි'' කියන්නෙ මේ දවස්‌වල ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය· ලංකාවෙ හුඟදෙනෙක්‌ දැන් හවස හයයි තිහ වෙන කොට ගෙදර යනවා කියලා අතුල රන්සිරිලාල් මහත්තයා ළඟදි පත්තරේක කියලා තිබුණා. එක අතකට එහෙම වෙන එක හොඳයි· මොකද බඩවැල් නාට්‌ටි බල බල නිකං කාලෙ කන පෙA්‍රක්‌ෂකයන්ට රසවිඳින්න පුළුවන් නාට්‌ටියක්‌ තියෙන එක.

''සුජාත දියණි'' කියන්නෙ අපේ රටේ නිර්මාණය වෙච්ච නාට්‌ටියක්‌ නොවුණත් මේ වෙන කොට විශාල ප්‍රේක්‌ෂක පිරිසක්‌ ඒක වටා රොක්‌වෙලා ඉන්නවා. පිච්චර් පිස්‌සා පුංචිකාලෙ ඔෂින් බලන්න කොච්චර ආසද කියල එකපාරටම හිතුනා. ඒ වගේ තමයි මේකත්· ඒ දවස්‌වල ඔෂින් කී සැරයක්‌ නං රූපපෙට්‌ටියෙ පෙන්නුවද? ඒත් අපේ කිසිම කෙනෙකුට ඒක බලලා ඇති වුණේ නෑ. සුජාත දියණිත් එහෙම එකක්‌ බව දැනටමත් ඔප්පු කරල ඉවරයි. මේ නාට්‌ටිවලට මේ තරම් අපේ කට්‌ටිය කැමැති ඇයි කියලා පිච්චර පිස්‌සා කල්පනා කරා· මිනිස්‌සුන්ගෙ අව්‍යාජ බව සිරිත් විරිත්, ගති පැවතුම්, වගේ දේවල් නිසියාකාරව තේරුං අරගෙන මිනිස්‌සුන්ගෙ ජීවිත විනිවිද දකින නිසා ඒවට අපේ කට්‌ටිය කැමැති වෙනවා ඇති. හැබැයි එක කාලයක්‌ තිබුණා අපේ කට්‌ටිය අර ඉන්දියානු බඩවැල් නාට්‌ටි ටික මෙලෝ සිහියක්‌ නැතුව බලපු· හැබැයි ඒ කට්‌ටියයි මේ කට්‌ටියයි වෙනස්‌ කියල නං පිච්චර පිස්‌සා දන්නවා.
සුජාත දියණි ටෙලි නාට්‌ටියෙන් පෙන්නන්නේ කොරියානු සමාජයේ ආහාර සංස්‌කෘතියයි. වෛද්‍ය වෘත්තියයි. ඒක හරිම නිර්මාණශීලී විදියට ඉදිරිපත් කරන්න ඒ අධ්‍යක්‍ෂතුමා උත්සාහ අරගෙන තියෙනවා. අපේ රටේ හඬකැවීම් ශිල්පීන්ගෙ දක්‍ෂකම නිසා ඒ ටෙලිනාට්‌ටිය අපිට හුඟාක්‌ ළංවෙලා තියෙනවා කියලා තමයි පිච්චර් පිස්‌සට හිතුනෙ. සුජාත දියණිය වගේ නාට්‌ටියක්‌ ගැන එහෙම ඉහළින් කතා කරන්න ලැබෙන එක හොඳ වුණත් අපේ රටේ නිර්මාණකරුවන්ගේ හුඟාක්‌ නිර්මාණ ගැන එහෙම කතා කරන්න බැරි එක ගැන පිච්චර් පිස්‌සට දුකයි. හැබැයි මේ දවස්‌වල රූප පෙට්‌ටියෙ පෙන්න අප්පච්චි බොරළුපාර වගේ නිර්මාණ හුඟාක්‌ ඉහළ මට්‌ටමක තියෙනව කියලා පිච්චර් පිස්‌සා වගකීමෙන් කියනවා. ටිකක්‌ හිතලා බැලුවොත් ඒ නිර්මාණවලිනුත් මිනිසුන්ගෙ ජීවිත විනිවිද බලන එක නේද කරලා තියෙන්නේ කියලා පේනවා. හැබැයි ඉතිං හන්දියක්‌ හන්දියක්‌ ගානෙ පත සයිස්‌ කටු මැටි ගහලා ප්‍රචාරය කරන ටෙලි බඩවැල් වලින් නං මිනිස්‌සුන්ගෙ ජීවිත විනිවිද දකින්නෙ නැහැ කියලා ඉතිං පිච්චර් පිස්‌සා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.


මීට අවුරුදු ගාණකට ඉස්‌සෙල්ලා පෙන්නපු ''පළිඟු මැණිකේ'' ටෙලිනාට්‌ටිය පිච්චර් පිස්‌සට එක පාරටම මතක්‌ වුණා. ඒ නාට්‌ටියෙන් අපේ කලා ශිල්ප ජන ඇදහිලි ශාන්තිකර්ම වෙදකම් ගැන මොනතරම් අපූරුවට විග්‍රහ කෙරුවද? ඇයි අපේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ වෙදහාමිනේ ටෙලිනාට්‌ටියෙන් දේශීය වෙදකම ගැන ''අඬුබස්‌නාමානය ටෙලිනාට්‌ටියෙන් අපේ ඉපැරණි සටන් කලාව ගැන මොනතරං විග්‍රහ කෙරුවද? ඒ හැම නාට්‌ටියක්‌ම ප්‍රේක්‍ෂක ජනතාව තදින්ම වැළඳ ගත්තෙ අපේ ජීවන සුවඳ ඒවායෙන් දැනුන හින්දා. දඬුබස්‌නාමානය ටෙලිනාට්‍ය විකාශය වුණාට පස්‌සේ කීදෙනෙක්‌ ''අංගම්පොර'' උගන්නන පන්ති දැම්මද? අදටත් කීදෙනෙක්‌ ඒ සටන් ක්‍රමය උගන්නලා ජීවත් වෙනවද? ඒක තමයි කලා නිර්මාණයකින් සිදුවිය යුතු සේවය. හැබැයි මත්කුඩු ගැන කරපු ටෙලිනාට්‌ටියකට පස්‌සෙ කට්‌ටිය මත්කුඩු උරන්න ඕන කියලා නොවෙයි පිච්චර පිස්‌සා කියන්නෙ සමාජයට දැනෙන නිර්මාණ නිර්මාණකරුවෝ බිහි කළ යුතුයි කියලා.... මුලින් පිච්චර පිස්‌සා කිව්ව ''සුජාත දියණි'' වගේ නාට්‌ටි බලලා ඒවායෙන් යම් උද්දීපනයක්‌ අරගෙන අපි නිර්මාණ බිහිකළ යුතුයි කියලයි පිච්චර පිස්‌සගෙ කල්පනාව. ඒවගේම ගස්‌ නැති රටේ තුත්තිරි ගහත් ගහක්‌ කියල හිතන නිසාවෙන් සුජාත දියණි දිහා බලන්න එපා කියලත් පිච්චර් පිස්‌සා කියනවා. සුජාත දියණි ටෙලි නාට්‌ටියෙ හොඳ කියන බොහෝ පිරිසක්‌ හිටියත් ඒකට දොස්‌ කියන අපේ වැඩබැරි ටාසන්ලත් ඉන්නවා. අපි අපේ කමත් එක්‌ක ශක්‌තිමත්වෙලා අපේ අනන්‍යතාව අපිට දැනෙන අපිවම අපිට විනිවිද පෙනෙන නිර්මාණ බිහි කරන්න පෙළඹෙනවා හැරෙන්න ''සුජාත දියණි'' ට සාප කරන එක නෙවෙයි කරන්න ඕන.

පිච්චර් පිස්‌සා

Divayina

0 comments:

Post a Comment