----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්

Sunday, February 3, 2013


‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්

දයාවංශ ජයකොඩි
ආසියා ආලෝක පදනම වෙනුවෙන් නවින් ගුණරත්න නිෂ්පාදනය කළ සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය පසුගිය 24 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කළා. ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භවෙත් ම මෙරට පොත් ප්‍රකාශකයින් අතර ඉහළින්ම වැජඹෙන, විශේෂයෙන් ම බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රකාශකයෙකු වන දයාවංශ ජයකොඩි මහතා මෙම චිත්‍රපටය පිළිබඳ වෙනස්ම මතවාදයක සිටින බව දැනගන්නට ලැබුණා. මෙවර අපේ කතා බහ වෙන්වූයේ ඔහු ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය පිළිබඳ පළකළ අදහස් වෙනුවෙනි.
ඔබ ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය පිළිබඳ දැනගත්තේ කොහොමද?
මෙවැනි චිත්‍රපටයක් හැදෙනවා කියන හාහෝව පුවත්පත්වලින්, ජනමාධ්‍යවලින් දැනගත්තා.
මේ දැනගැනීමෙන් පසු ඔබ චිත්‍රපටය නරඹන්න ගියාද?
නෑ. මම චිත්‍රපටය නරඹන්න ගියේ නෑ. ඒ චිත්‍රපටය නැරඹීමට මගේ කිසිම අදහසකුත් නෑ.
එතකොට ඔබ මේ චිත්‍රපටය ගැන කතා කරන්නේ චිත්‍රපටය නරඹන්නේ නැතුවද?
ඔව්. නමුත් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (ට්‍රේලර් එක) මම නැරඹුවා. ඒකත් මට නරඹන්න සිද්ධවුණේ අහම්බෙන්. මම ඊයේ පෙරේදා දවසක ‘තලාෂ්’ කියන හින්දි චිත්‍රපටය නරඹන්න ගියා. ඒ චිත්‍රපටය නරඹන අතරතුර තමයි ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේ ට්‍රේලර් එක මම දැක්කේ. ඒක දැකපු මොහොතේ සිට මගේ හිත කම්පාවට පත්වුණා.
ඇයි ඒ?
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වූ අපේ බුදුරජාණන් වහන්සේගේ තරුණ අවධිය ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ගේ චරිතය නළුවෙක් රඟපානව දකිනකොට මගේ හිත වේදනාවට පත් වුණා.
බුදුරජාණන් වහන්සේගේ කුමාර අවදියට සමකළ හැකි, ඒ චරිතය රඟ පෑ හැකි කෙනෙක් මේ ලෝකයේ සිටිය හැකිද? බුදුරජාණන් වහන්සේට ගෞරව කරන, උදේ හවස බුදුන් වඳින මා වැනි හොඳ බෞද්ධයකුට එය වේදනාවට කාරණයක්.
මේක සම්පූර්ණයෙන් ම බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්. අපි නොයෙක් විට අහලා දැකලා තිබෙනවා බුදුන්වහන්සේගේ රුව ටී - ෂර්ට්වල ගහපු අවස්ථා, සපත්තු අඩිවල ගහපු අවස්ථා, කාන්තා යට ඇඳුම්වලට යොදාගන්නා අවස්ථා.
මේ සියලු දේට වඩා උන්වහන්සේගේ චරිතය මෙවැනි ගිහි නළුවෙකු ලවා රඟපෑම බුදු දහමට කරන ලොකුම අගෞරවයක් විදියට මම දකිනවා. අනිත් එක තමයි මේ චිත්‍රපටය හදපු අය තේරුම් අරන් තිබෙනවා මේ චරිතය ලංකාවේ කිසිම නළුවෙකුට රඟපාන්න බැරි බව.
ඒ නිසා තමයි මේ චරිත ආනයනය කරල තිබෙන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත බුදුරජාණන් වහන්සේගේ කුමාර අවධිය මේ කාටවත් රඟපාන්න බැරි බව මේක අනුමත කළ අය දන්නේ නැත්ද? මේ වෙලාවේ මට මතක් වෙන්නේ සුණක්ඛත්ත හාමුදුරුවන්ගේ කතාව.
උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පසු පස්සේ නිරන්තරව සිටියත් කිසිදු දිනයක නිර්වාණ අවබෝධය ලබන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පසුපස්සේ යන ගමන් නිරුවතින් භාවනා කරන කෙනෙක් දැක ‘ස්වාමිනි අන්න රහතන් වහන්සේ කෙනෙක්’ යැයි කීවා. එවැනි පුද්ගලයෝ මේ සමාජයෙත් ඇති.
ඒ විතරක් නෙමෙයි බුද්ධ චරිතයේ එන සිදුහත් කුමාරයාගේ පිය රජ්ජුරුවන් වන සුද්ධෝදන රජතුමා කියන්නේ පසු කලෙක රහත් භාවයට පත්වෙන රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේගේ චරිතයට රන්ජන් රාමනායක වැනි නළුවෙකු යොදා ගැනීම කොහොම අනුමත කරන්නද?
ඒ වගේම තමයි යශෝදරා දේවියගේ චරිතයත්. යශෝදරා දේවිය සිදුහත් කුමාරයගේ පි‍්‍රයම්බිකාව වන්නට කල්ප ගණන් පෙරුම් පිරූ තැනැත්තියක්. අපි අහලා තියෙන්නේ ඇය ලේන කුලයේ සිටම උන්වහන්සේ පතමින් පසු පස ආව පින්වන්තියක් විදියට. ඒ විතරක් නොවෙයි එතුමිය පසු කලෙක රහත් භාවයට පත්වූ තැනැත්තියක්. ඒ උතුම් කාන්තා චරිතය කවුද මේ රඟපාන්නේ? මේ තරම් පාප කර්මයක් තවත් තියනවද කියලා මට හිතුණා.
ඔබ මෙවැනි ප්‍රකාශ කරන්නේ වගකීමෙන්ද?
මෙවැනි උතුම් චරිත පස්පවම කරන ගිහි නළුවන් සහ නිළියන් යොදාගෙන කරන එක ලොකුම අගෞරවයක්. බුදුරජාණන් වහන්සේට මේ තරම් අගෞරවයක් ලංකාවේ කවුරුත් කරල නෑ.
මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඒ සඳහා උපදේශකත්වයට ගිහි පැවිදි විද්වතුන් රැසක් සිටි බව සඳහන් වුණා. එසේම එහි මාධ්‍ය දර්ශනය නැරඹීමට භික්ෂූන් වහන්සේලා රැසකුත් පැමිණ සිටියා. නමුත් ඒ කිසිවෙකුත් තවම නම් මෙවැනි විරෝධයක් කිසිදු මාධ්‍යයකින් දක්වා නෑ.
ඒක තමයි මටත් තිබෙන ප්‍රශ්නේ. හොඳ බෞද්ධයකු විදියට මට ඇස් කන් පියාගෙන ඉන්න බෑ. මේ රටේ මහා නායක හාමුදුරුවරු ඉන්නවා, උපකුලපති හාමුදුරුවරු ඉන්නවා. විශිෂ්ට ධර්ම කථික හාමුදුරුවරු ඉන්නවා. බෞද්ධ මහා සම්මේලනයක් තිබෙනවා.
බොදු බල සේනාවක් ඉන්නවා. මේ අය මොකද නිහඬ කියලා මට හිතෙනවා. බුදුහාමුදුරුවෝ කොයිම වෙලාවකවත් මිත්‍යා දෘෂ්ටිකයින් සමඟ එකට ඉඳගෙන කොයිම මොහොතකවත් දානේ වළදලා නෑ. නමුත් අද බුද්ධ පුත්‍රයන් ලෙස පෙනී සිටින අය මිත්‍යා දෘෂ්ටික ආගමික ස්ථානවලට ගිහින් බත් කනවා. එහෙම කාපු අයට මේක ප්‍රශ්නයක් නොවන්න පුළුවන්.
චිත්‍රපටය නොදැක පූර්ව ප්‍රචාරක පටය පමණක් දැක මෙවැනි අදහස් පළකිරීම සාධාරණ නැතැයි කෙනෙකු ඔබට චෝදනා කළොත්?
මම මේ කතා කරන්නේ චිත්‍රපටය ගැන නොවෙයි. එහි සිනමාත්මක බව ගැනවත්, නළු නිළියන්ගේ රංගනය ගැනවත් නොවෙයි.  මම කතා කරන්නේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ගැන පමණි. මීට ප්‍රථමත් මෙවැනි බෞද්ධ තේමා ආශි‍්‍රතව චිත්‍රපට කෙරුණා.
ඒත් එහි සිදුහත් චරිතය හෝ බුද්ධ චරිතය කිසිවකුත් නිරූපණය කළේ නෑ. ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ මිහිදු මහ රහතන් වහන්සේ පවා චරිතයක් හැටියට හඳුන්වා දුන්නේ නෑ.
කොහොම වුණත් මේවායේ මූලික පරමාර්ථය වුණේ මුදල් ඉපයීම. හොඳ දෙයක් සමාජයට තිළිණ කිරීම නොවෙයි. අද පන්සල්වල පවා මුල්තැන ලැබෙන්නේ මුදල් උපයන දේවල්වලට. බුදුහාමුදුරුවන්ගේ පාමුල ඉස්සරලම දකින්න තිබෙන්නේ පිංකැටේ. පිං කැටයක් නැති එකම බෞද්ධ සිද්ධස්ථානයයි මම දැකලා තියෙන්නේ. ඒ මහමෙවුනා අසපුව.
ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය නම් විවිධ අවස්ථාවල විවිධ නළුවන් රඟ පා තිබෙනවා නේද?
ඔව්. නමුත් ඒ චරිතය රඟපාපු නළුවන් කවුරුත් අද ජීවතුන් අතර නෑ.
ඔබ කියන්නේ ‘සිද්ධාර්ථ’ වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය නොවිය යුතුයි කියලද?
ඔව්. ඒකෙන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට අගෞරවයක්. අනෙක් පැත්තෙන් මේ චිත්‍රපටය නරඹන අපේ අනාගත පරපුර වැරැදි ආදර්ශ ගන්න පුළුවන්. සුද්ධෝදන රජ්ජුරුවෝ කවුද ඇහුවම ‘රන්ජන් රාමනායක’ කියලා උත්තර දෙන්නත් අනාගතයේ බැරිකමක් නෑ.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත ඒ අසම සම බුදුරජාණන් වහන්සේගේ සිදුහත් චරිතය මේ කොහෙවත් යන පැඟිරි නළුවෙකුට රඟපාන්න පුළුවන්ද? මම බෞද්ධයකු හැටියට කෙනෙකුට විපතක් වෙනව දකින්න කැමැති නෑ. නමුත් මෙවැනි අගෞරවනීය වැඩවලට එකතුවන හැමදෙනාටම දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දෙන්න පුළුවන්.
ඔබ මීට ප්‍රථම මේ ආකාරයෙන් ම ‘සූරිය අරණ’ චිත්‍රපටයේ ට්‍රේලරය දැක චිත්‍රපටය ගැන යම් ප්‍රකාශ කළා නේද?
ඔව්. මම හිතනවා ‘සූරිය අරණ’ දුවන්න ඒකත් හේතුවක් වුණා කියලා.
බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කරන ප්‍රකාශකයකු විදියට ඔබටත් කෙනෙක් චෝදනා කළොත් ඔබත් කරන්නේත් බුදු බණ විකිණීම කියලා?
ව්‍යාපාරිකයකු හැටියට මගේ මේ ප්‍රකාශ මට පාඩුවෙන්න පුළුවන්. කෙනෙකු මට එහෙම චෝදනා කරන්නත් පුළුවන්. ඒ වුණාට මම බෞද්ධ පොත් පත් පළ කරන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නෙවෙයි. ධර්ම පොත පතවලින් ලැබෙන ලාභයෙන් සම්පූර්ණයෙන් ම මම යොදවන්නේ බුද්ධ ශාසනයේ දියුණුවට. කොහොම නමුත් මේ ප්‍රශ්නය පිළිබඳ මේ රටේ විද්වත් ස්වාමීන් වහන්සේලාගේ තර්ක විතර්ක මම බලාපොරොත්තු වෙනවා. මම වැරදි නම් මට ඉගෙන ගන්න කියලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
(සංවාදයට විවෘතය)

0 comments:

Post a Comment