----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කොහොමද පබෝධා

Saturday, December 8, 2012

හොඳීන් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා

පබෝධා සංදීපනී
කොහොමද පබෝධා ‘බොරලු පාර’ ටෙලිනාට්‍යයේ ‘පිංකි’ ට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරෙයි නේද?
ඇත්තටම ඔව්. ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය පටන්ගත්ත දවසේ ඉඳලම ඉතාම හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. සමාජයේ විවිධ වයස් මට්ටම්වල විවිධ තරාතිරම්වල උදවිය මේ ටෙලිනාට්‍යය නරඹන බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පේනවා. මේ ටෙලිනාට්‍යය මේ තරම් සමාජයේ ජනපි‍්‍රය වුණේ එහි පිටපතේ තිබෙන උසස් බව සහ අධ්‍යක්‍ෂවරයගේ දක්ෂතාව නිසයි.
ඒ වගේ ම ලංකාවේ ඉන්න දක්ෂම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම මේ ටෙලිනාට්‍යයට දායක වෙලා තියෙනව. ඒකත් ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය සාර්ථක වෙන්න එක හේතුවක්.
’බොරලු පාර’ ටෙලිනාට්‍යයේ ‘පිංකි’ තමන්ගේ ජීවිතයේ ගන්නා යම් යම් තීරණ පබෝධා හැටියට ඔබත් ඔබගේ ජීවිතයේදී ගනීවි කියල හිතනවද?
නිවාර්යෙන්ම ගන්න පුළුවනි. පිංකි කියන්නෙ ඉතාම ධනවත් පවුලක තරුණියක්. එයා ආදරය කරල විවාහ වෙන්නෙ දුප්පත් පවුලක කොල්ලෙක් සමඟ. ජීවිතය ගොඩනඟා ගන්න පිංකි තම සැමියට ලොකු සහයෝගයක් දෙනව. පිංකි තමන්ගෙ තාත්තටත් හරිම ආදරෙයි.
ඇය හිතනව තමාගෙන් තාත්තට වැරැද්දක් වුණු බව. දෙමවුපියො හැම තිස්සෙම හිතන්නෙ දරුවන්ගෙ යහපතනෙ. තාත්තගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි වීම ගැන පිංකි දුක් වෙනව. නමුත් පිංකි තමන්ගේ තාත්ත සමඟත් සැමියා සමඟත් සමබරව කටයුතු කරනවා.
මේ ටෙලිනාට්‍යයේ රඟන ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ වැඩ කිරීම ඔබට හොඳ අත්දැකීමක් වෙන්න ඇති?
ඇත්තටම ඒක හරිම අපූරු අත්දැකීමක් වුණා. එවැනි ප්‍රවීණයින් සමඟ වැඩ කරන විට අපිට අපේ පැත්ත හදාගන්න විශාල උදව්වක් ලැබෙනව. අපේ රටේ රංගනය ඉගෙන ගන්න පාසල් නැහැ. අපට ඒ ගැන යමක් ඉගෙනගන්න වෙන්නෙ ප්‍රවීණ ශිල්පීන්ගෙන්.
රංගනය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන, ඒකට ගරුත්වයක් තියෙන ප්‍රවීණයින් සමඟ වැඩකරන විට අපිවත් ‘පොලිෂ්’ වෙනවා. ඒක හරියට වටිනවා. ‘බොරලු පාර’ ටෙලිනාට්‍යයේ මගේ රංගනය කැපිල පෙනෙන්නේ එවැනි ප්‍රවීණයන් පිරිසක් සමඟ රඟපාන්න ලැබිම නිසයි.
මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල සනත් අබේසේකරගේ “මීදුම වගේ ඇවිදින්” ටෙලිනාට්‍යයේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මම රංගනයෙන් දායක වුණු ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ නවතම චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනව.
කොහොමද ඉතින් අලුත් ජීවිතේ?
හොඳින් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව. මම විවාහවෙලා තවම මාස කීපයයිනෙ. මගෙ සැමියා ව්‍යාපාරික කටයුතුවල යෙදිල ඉන්නව.
විවාහයෙන් පසුව රඟපානවට ඔබේ සැමියා කැමැතිද?
මගේ රංගන කටයුතුවලට දැන් ලොකුම දිරි ගැන්වීම ලැබෙන්නෙ එයාගෙන්. හැබැයි මම හිතුවෙ නෑ මට මේ වගේ සහයෝගයක් ලැබෙයි කියල. එයා මට හැමතිස්සෙම කියන්නෙ හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න නිර්මාණයක් ලැබුණොත් ඒක බාර අරගෙන හොඳින් කරන්න කියල. එයා කලා පවුලකින් එන කෙනෙක් නෙමෙයි. නමුත් කලාව ගැන හොඳ අවබෝධයක් එයාට තියෙනව.
ඒ වගේ ම මගේ හැකියාවන්ට එයා ගරු කරනව. ඒක ඉතාම වටිනා දෙයක්. මගේ සැමියා වගේ ම එයාගෙ අම්මයි තාත්තයි මගේ වැඩ වලට ගොඩක් උදව් කරනවා. මගේ දෙමවුපියන් වගේම මා ගැන සොයා බලනවා.
ලංකාවේ පැවැත්වෙන සිනමා සහ ටෙලිනාට්‍ය උලෙළ ගැන ඔබ මොනවද හිතන්නෙ?
ඕනෑම විනිශ්චය මණ්ඩලයක ඉන්නෙ මිනිස්සු. ඔවුන් ගේ තියෙන්නෙ විවිධ රසඥතාවයන්. ඉතින් ඔවුන් තීරණ ගන්නේ ඔවුන්ගේ ඒ රසඥතාව අනුවයි. ඒක කාටත් පොදුයි. මම එවැනි ජූරියකට ගියත් මමත් එහෙමමයි. ඉතින් විනිශ්චය පිළිබඳ විවේචනය කරන එක වැරදියි. විනිශ්චය මණ්ඩලයේ තීරණය අපි බාරගන්න ඕන.
රංගනයට රූපය කෙතරම් වැදගත් කියල ද ඔබ හිතන්නේ?
හොඳ රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට රූපය එතරම් වැදගත් නෑ. අපේ රටේ සහ ඉන්දියාවේ තමයි රංගනයේදී රූපයට වැඩි තැනක් දෙන්නේ. හොඳ නිර්මාණ කරන බොහොමයක් රටවල රංගනයේදී සලකා බලන්නේ එම ශිල්පීන් තුළ තිබෙන රංග පෞරෂයයි.
නමුත් ලස්සන තරුණියක් ගැන කියවෙන කතාවකට රූපය අවශ්‍යයි. නමුත් හොඳ රංගනයකට රූපය වැදගත් නොවන බවයි මගේ හැඟීම.
පබෝදා සංදීපනී කලා පවුලකින් පැවත එන දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන “බොරලු පාර” ටෙලිනාට්‍යයේ ඇය පිංකි ලෙස අගනා රංගනයක නියැළෙන්නීය. පබෝධා මේ වන විට චිත්‍රපට කීපයකටත් ටෙලිනාට්‍ය ගණනාවකටත් රංගනයෙන් දායක වී ඇත. පබෝධා යුග දිවියට පිවිසියේ මීට මාස කීපයකට පෙරදීය.
සිනමාව තුළ දැනෙන රංගනයක් ඉදිරිපත් කරන්න තවමත් අවස්ථාව ලැබුණේ නැහැ නේද?
”වෑ කන්ද වළව්ව“ චිත්‍රපටයේ මම හොඳ රංගනයක් කළා කියල මම හිතනව. නමුත් ප්‍රේක්ෂකයින්ට හොඳින් දැනෙන අන්දමේ චරිතයක් රඟපාන්න තවම අවස්ථාවක් ලැබිල නෑ තමයි.
රසික රසිකාවියන් දක්වන ආදරය ඔබට ගැටලුවක් වුණු අවස්ථා තිබෙනවාද?
නැහැ. මම කලා පවුලක කෙනෙක්. පුංචි කාලෙ ඉඳලම මම කලාවට සම්බන්ධයි. රසික රසිකාවියන්ට සිනහවකින් වචනයකින් සංග්‍රහ කරන එක මට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ නිසා රසික රසිකාවියන්ගේ ආදරය මට ගැටලුවක් වෙලා නෑ,,
කලාව තුළ සහ ජීවිතය තුළ ඔබට තිබෙන බලාපොරොත්තු පිළිබඳවත් සඳහන් කළොත්...?
කලාව කියන්නෙ මගේ ජීවිතයේම කොටසක්. මම කලාව එක්කයි ඉපදුණේ. ඒක මං සංසාරෙන් සංසාරෙට අරගෙන යන දෙයක්. ඒ නිසා දිගටම කලාවේ ඉන්නත් හොඳ නිර්මාණවලට දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම සැමියට හොඳ බිරිඳක් වෙන්නත් මගේ සහ මගේ සැමියගේ දෙමවුපියන්ට හොඳ දියණියක් විදියට ඉඳීමත් තමයි බලාපොරොත්තුව. ඒ වගේම මවක් වීමේ වටිනා බලාපොරොත්තුවත් දැන් මා ළඟ තියෙනවා.

0 comments:

Post a Comment