----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අමුඩෙ ඇන්ද මාව වැටුණෙ බොරලු ගොඩකට

Saturday, December 8, 2012

අමුඩෙ ඇන්ද මාව වැටුණෙ බොරලු ගොඩකට
 

පුංචි තිරේ කීරා සරසවියට කියයි
මං ගහපු ගොම පාර හරියටම ඔහුට වැදුණා. එවලේ ටිකක් බය වුණා.
මලහත්ඉලව්වක් වෙලෝ ...
නියදවිල ගම්මානය දෙවනත් වෙන්න ඔහු මොර දෙන්නේ අන්න එහෙම. ගමේ හැමෝම මන්ද මානසික ඔහුට කතා කරන්නේ ‘කීරා’ කියලා. සේපාළිකා ටෙලි සිතුවම නරඹන බොහෝ දෙනෙක් පුල පුලා බලා සිටින්නේ ඔහුගේ දර්ශනයක් විකාශය වනතුරු. ඒ කීරාගේ ක්‍රියාකාරකම්, තෙපළන වචන විඳලා හොඳට හිනා වෙන්න.
කවුද මේ කීරා?
ඔහුගේ ඇත්ත නම ලක්ෂ්මන් අමරසේකර. ලක්ෂ්මන් මීට ප්‍රථම අපට හමු වූයේ වැස්ස නුඹ වගේ ටෙලි සිතුවමේ අලිඩොං හැටයට.
එදා අලිඩොං, අද කීරා? එහෙම නේද?
පුංචි තිරයේ මං මේ වන විට මං හිටි නාට්‍ය දෙකයි විකාශය වූයේ. ඒ වැස්ස නුඹ වගේ සහ සේපාළිකා. ඒ දෙකම මාව හිතුවටත් වඩා රසිකයන් අතරට ගෙනිච්චා. අලිඩොංට වඩා කීරාගෙ ස්වරූපය වෙනස්. කල් ක්‍රියාව ද වෙනස්. හැබැයි දෙකම හාස්‍යට බරයි.
ඇයි මිනිස්සු හිනස්සවන්න පුළුවන් චරිත ඔබට ලැබෙන්නේ?
මගේ ස්වරූපය නිසා වෙන්න ඇති. මොහාන් නියාස් මහත්මාගේ අලුත්ම ටෙලි නාට්‍ය වන ඉසුරු විමානෙත් මං රඟපාන්නේ එවැනි චරිතයක්. හැබැයි මේවා විවිධ ශෛලීන් යටතේයි මං රඟපෑවේ.
කොහොමද ඔබට කීරාව හිමි වුණේ?
අලිඩොංව ලබා දුන් අපේ නිෂ්පාදක රංජිත් ප්‍රේමලාල් මහත්තයම තමයි කීරගෙ චරිතයට මට ඇරැයුම් කළේ. ඔහු මට කීරගේ ස්වරූපය කිව්වා. ඊට පසුව මං කොණ්ඩෙ කපලා රැවුල වවලා වෙනස් වුණා. සේපාළිකා අධ්‍යක්ෂ ජනක චමින්ද මහත්මා චරිතය දියුණු කළා. විශ්වනාත් විජේසූරිය වේශ නිරූපණය කොට කීරාව තවත් අපූර්වත්වයක් එක් කළා. සේපාළිකා පටන් ගත් දින සිට මේ දක්වා කීරා ඉන්නවා. ඉහත මහත්වරුන්ටත් අපේ ඇඳුම් නිර්මාණ ශිල්පී චාමින්ද වාස් සොයුරාටත් තුති පුදනවා කීරාව මේ තත්ත්වයට ගේන්න උදවු කළාට.
කීරාව නිරූපණය කරද්දී හරි අපූරු සිදුවීම් රැසකට මුහුණ දුන්නා කියලා ආරංචියි?
එක සීන් එකක් තිබුණා මාව ගැටගහලා කපිල සිගේරා ගිනි පෙළෙල්ලක් අරගෙන මගෙ මුණට ළං කර කර මාව බය කරන. කුස්සියේ මාව ගැට ගැහැව්වා. සීන් එක පටන් ගත්තා. ඔය අතරවාරයේ ගිණි පෙළෙල්ලේ පුංචි අඟුරු කෑල්ලක් මගේ සරමට වැටුණා. කවුරුවත් ඒක දැක්කේ නැහැ. දැන් මට තේරෙනවා ශරීරයේ යට කොටසින් දුම් දානවා. බොලේ සරම ඇවිලෙනවා. දඩි බිඩි දාලා කට්ටියට කියලා මං ලිහාගෙන වතුර වලකට පැන්නා. නැතිනම් මගේ ශරීරයේ භාගයයි ඉතුරු වෙන්නේ.
තව දවසක් මුදලාලි හැටියට රඟන දයාසිරි හෙට්ටිආරච්චිට ගොමවලින් ගහන්න තිබුණා. මං ගහපු ගොම පාර හරියටම ඔහුට වැදුණා. එවලේ ටිකක් බය වුණා.
අනුලා කරුණාතිලක මහත්මිය හැඳී මිටකින් ගහන සීන් එක මතකද? එදා මම ඇයගෙන් ඇතිවෙන්න ගුටි කෑවා.
හොඳම කතන්දරේ ඒක නෙවෙයි. මෙන්න මේක. මට අමුඩයක් ඇඳගෙන මඩ නාගෙන දුව ගොස් සුරාජ් මාපව බදාගන්න සීන් එකක් කරන්න වුණා. එදා මුලු ගමම එතැන. මට හරි ලැජ්ජයි. ජනක කිව්වා බය නැතුව සීන් එක කරමු කියලා. මුලින්ම තිබ්බේ මඩ නාගන්න. හොඳටම මඩ නාල වැව් බැම්ම දිගේ දුවලා දුවලා ගිහින් සුරාජ්ව බදා ගත්තා. පිටපතට අනුව ඔහු මාව තල්ලු කරන්න ඕනේ. මාව වැටුණේ බොරළු ගොඩකට. නිකමට හිතලා බලන්නකෝ අමුඩෙකුත් ඇඳගෙන බොරළු ගොඩකට වැටුණම කොච්චර ශෝක්ද කියලා.
සැබෑ ජීවිතයේදී අපහසුතාවයන්ට ලක්වෙලා නැතිද?
තියනවා තියනවා. මං ඉස්සර ඉඳලා ‘අතුල මාමා’ නමින් පෙර පාසල් ආශ්‍රිතව ප්‍රසංගයක් පවත්වනවා. දිනක් ඒ වගේ ප්‍රසංගයක් කරන්න ගිය වෙලාවක පිස්සෙක් පිස්සෙක් කියලා මාව ඇතුළට ගත්තේ නැහැ. වෙලාවට එතැන හඳුනන කෙනෙකු ඉඳලා කතා කළා. මගේ ගම කෑගල්ලේ. උදේ හවස යන්නෙ එන්නෙ කෝච්චියේ. කීරා වගේ නෙවෙයි මං ඩෙනිමයි ටී ෂර්ට් එකයි අඳින්නේ. එතකොට කෝච්චියේ මං දන්න අයවත් මාව දන්නෙ නැහැ වගේ ඉන්නවා.
දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ?
ඔව්. දැන් මගේ ක්ෂේත්‍රය මේක. හැකි පරිදි ලැබෙන චරිතයකට සාධාරණයක් ඉටු කරමින් රඟපානවා.
මේවාට අමතරව ඔබේ අලුත් වැඩ කටයුතු මොනවාද?
ටෙලි චිත්‍රපට තුනක රඟපෑවා. මට ගැයීමේ හැකියාවකුත් තියනවා. ඒක ගැන දැනගෙන රන්සිළු ආයතනයේ අප නිෂ්පාදක රංජිත් ප්‍රේමලාල් මහතාගේ මැදිහත් වීමෙන් කැසට් එකක් නිකුත් කළා. ඒකෙ නම ‘කළු කූඹියෝ තෙල් කූඹියෝ’.

0 comments:

Post a Comment