----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මම හැමදාමත් ප්‍රවීණයන්ට ගරු කරනවා

Saturday, December 8, 2012

මම හැමදාමත් ප්‍රවීණයන්ට ගරු කරනවා

සිටු මැඳුරේ ක්‍රිෂානි සමඟ පිළිසඳරක්
මේනකා මධුවන්ති
ඇය සිය කලා ජීවිතය ආරම්භ කළේ නර්තන අංශයෙන්. කාලයත් සමඟ ඇයට දැන් රංගන ක්ෂේත්‍රයටත් පිවිසෙන්නට වරම් ලැබිලා. මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන සිටු මැදුර ටෙලි සිත්තමෙන් ක්‍රිෂාණි ලෙස ඔබ හමුවට එන ඇය මේනකා මධුවන්ති. මේ ඇයගේ කලා ජීවිතයේ ගමන් මඟ ගැන සරසවිය සමඟ කළ පිළිසඳරක්.
මේනකා ඔබේ කලා ජීවිතයේ ආරම්භය ගැන මුලින්ම කියමුද?
මගේ කලා ජීවිතයේ ආරම්භය නර්තනයයි. ශාන් පෙරේරා යටතේ මම නර්තනය හැදෑරුවා. ඒ අතරතුරේදී සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ සමඟ රංගනයටත් ආරාධනා ලැබුණා. මුලින්ම රංගනයෙන් එක් වුණේ රවීන්ද්‍ර විජේරත්නගේ රුවන් මාලිගා ටෙලි වෘත්තාන්තයේ චරිතයකින්.
කැමරාව ඉදිරියේ පළමු අත්දැකීම මොන වගේද?
නුහුරු නුපුරුදු බවක් නම් දැනුණේ නැහැ. සැහැල්ලුවෙන් ඒ අවස්ථාවට මුහුණ දුන්නා. කැමරාව ඉදිරියේ එම පළමු අත්දැකීමේදී හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා. ඒ අත්දැකීම මේ දක්වා ඉදිරියට එන්න ශක්තියක් වුණා. ඒ ගැන හරිම සතුටුයි.
මේ දක්වා ඔබේ දායකත්වය ලද නිර්මාණ ගැනත් සඳහන් කරමු?
අනුර පත්තිනිගේ ගේ ‘ද හෝප්’ චිත්‍රපටය සහ සුදේශ් වසන්ත පීරිස්ගේ ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපට සඳහා එක් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතර ජීවිතය ලස්සනයි ළඟදීම තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම සුනෙත් මාලිංග ලොකුහේවාගේ චංචල රේඛා, තුන්වැනි ඇස ටෙලි නාට්‍ය සඳහාත් දායක වෙන්න අවස්ථා ලැබුණා. ඊට අමතරව තවත් ටෙලි නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. මේ දිනවල සිටු මැදුර ටෙලි වෘත්තාන්තය විකාශය වෙනවා.
රංගනයට පිවිසිමෙන් නර්තනයට තිත තැබුවාද?
නර්තනය තමයි මගේ ජිීවිතේ. නමුත් රංගනයට පිවිසීම සමඟ ඇති වූ කාර්යබහුලත්වය නර්තනයට තිබූ මඟ ඇහිරිලා ගියා. ඒ වුණාට නර්තනයට මම හැමදාම ආදරෙයි. පොඩි කාලේ පටන් නර්තනය හැදෑරුවා. ඒ වගේම රූපවාහිනී නාලිකාවල නර්තන වැඩසටහන් සඳහා ඉදිරිපත් වුණා. හිපොප්, ලතින් නර්තන අංශවලින් දකුණු ආසියානු තරඟවලදී ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.
මේ දක්වා ඔබට ලැබුණු චරිත වගේම ඉදිරියේදී ඔබ භාර ගන්නට කැමැති විශේෂ චරිත තියෙනවාද?
මගේ ප්‍රථම චිත්‍රපටය ද හෝප් හි ත්‍රස්තවාදී ද්‍රවිඩ තරුණියකගේ චරිතයක් නිරූපණය කළේ. ඒ මඟින් මට රංගනය පිළිබඳ ලොකු අත්දැකීමක් ලැබුණා. දෙවැනි චිත්‍රපටය ජීවිතය ලස්සනයි. දියණියන් සිව් දෙනෙක් සිටින පවුලක වැඩිමල් දුවගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඇය ආදරය වෙනුවෙන් පවුලේ අයගේ කැමැත්තට විරුද්ධව සිටින තරුණියක්. ඒ වගේමයි සිටු මැදුරේ ක්‍රිෂාණිටත් මේ දිනවල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විවිධ චරිත නිරූපණය කරමින් චරිතාංග නිළියක් වෙන්න මම කැමැතියි. ඒ මඟින් මට මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන්.
පුංචි කාලේ හීනය වුණෙත් රංගන ශිල්පිනියක් වෙන්නද?
මම වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලැබුවේ. බැංකු නිලධාරිණියක් වීමේ අරමුණ තිබුණා. නමුත් නර්තනයට තිබූ ආසාව මා කලාවට යොමු කළා. ඒ තුළින් රංගන ක්ෂේත්‍රයට එන්නට වරම් ලැබුණා. මේ ලැබීම ගැන මා ඉතාමත් තෘප්තිමත්.
රංගන ක්ෂේත්‍රයට පා තබද්දී ඔබ අනුකරණය කළ විශේෂ චරිතයක් හිතේ තිබුණද?
එහෙම විශේෂ චරිතයකට ඇලුම් කළේ නැහැ. ජ්‍යෙෂ්ඨයන්ට මම හැමදාමත් ගරු කරනවා. නමුත් අනුකරණය කරන්නේ නම් නැහැ. ප්‍රවීණයන්ගේ රංගනය දෙස බලමින් ඒවා අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය තුළින් මම මගේ රංගන හැකියාවන් තව දියුණු කරගන්න උත්සාහ කරනවා.
මේනකාගේ පාසල් කාලය ගැනත් කියමු?
මගේ ගම මත්තේගොඩ. මම පහ වසර වෙනකල් මත්තේගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයෙන් පසු කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ දක්වා එහි අධ්‍යාපන කටයුතු හැදෑරුවා. ඒ කාලයේදීත් නර්තනයට විශේෂ උනන්දුවක් දැක්වූවා.
පවුලේ තොරතුරු?
මගේ පවුලේ තාත්තායි, අම්මායි, මමයි, නංගියි, මල්ලියි ඉන්නේ. තාත්තා නම් මුලින්ම මම රංගනයට යොමු වෙනවාට එතරම් කැමැත්තක් දැක් වූවේ නැහැ. දැන් පවුලේ හැමෝගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඔවුන් සියලු දෙනා මා දිරිමත් කරනවා.
අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?
මට යම් දෙයක් කරන්න පුළුවන් තෙක් රංගන ක්ෂේත්‍රයේ රැඳිලා සිටින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට මම ඇඟලුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. එය තවත් දියුණු කරගන්න කටයුතු කරනවා. ඊට අමතරව කලා ක්ෂේත්‍රය තුළත් මගේම දෙයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ඒ කිව්වේ?
අනාගතයේදී ටෙලි නාට්‍යයක් හෝ චිත‍්‍රටයක් නිෂ්පාදනය කරන්න ආසාවක් තියෙනවා.
 

0 comments:

Post a Comment