----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

උගත් බුද්ධිමත් කලාකරුවන් රටට දායාද කරන ‘කවිතා

Sunday, December 2, 2012

උගත් බුද්ධිමත් කලාකරුවන් රටට දායාද කරන ‘කවිතා’

අපූර්ව ගායනා තරගාවලියක අවසන් පූර්ව වටයේ තරගයක් පසුගිය දිනෙක බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්විණි. එය අද බොහෝ නාලිකාවලින් විකාශය වන අන්දමේ රියැලිටි සංගීත වැඩසටහනක් නොවේ. එය රටේ උසස් අධ්‍යාපනය හදාරන බුද්ධිමත් දරු දැරියන් අතර සිටින දක්ෂ ගායන ශිල්පිනියන් සහ ශිල්පීන් සොයා යන සංගීතමය වැඩසටහනකි; ගායනා තරගාවලියකි.
කුමුදිකා ගයන්ති අත්තනායක, තිළිණි සෞම්‍යා විජේරත්න, ශ්‍රීමාලි ධර්මපාල, මිනේෂ් රණසිංහ, ඉසුරු දිල්ෂාන්, රන්දුල කල්දේරා, සුමිත්‍රා කල්යාණි, අසංක ලියනාරච්චි යන තරගකරුවන් සහ තරගකාරියන් අට දෙනා මෙදින තම ගායනා හැකියාවන් ඉදිරිපත් කළේ “කවිතා” තරගාවලියේ හොඳම ගායකයා සහ ගායිකාව තේරීමේ තරගයේදීය.
මෙම තරගකරුවන් තරගකාරියන් අටදෙනා මෙදින ප්‍රදර්ශනය කළ ගායන හැකියාවන් පැවැතියේ ඉතා උසස් මට්ටමකය. එවන් ගායන කුසලතාවයක් පෙන්වුවද බොහෝවිට මොවුන් විශ්වවිද්‍යාලයේදී සෞන්දර්ය විෂයයන් හෝ ගායනය විෂයයක් ලෙස හදාරන සිසු සිසුවියන් නොවේ.
මෙදින ඉතා උසස් ගායන හැකියාවක් පෙන්නුම් කළ එක් සිසුවෙක් අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකි. තවත් අයෙක් පරිගණක විද්‍යාව හදාරන්නෙකි. තවත් අයෙක් නීති ශිෂ්‍යාවකි. මොවුනට තමන් උපතින් උරුම කරගත් කලා කුසලතාව රට හමුවේ ඉදිරිපත් කරන්නට හැකි වූයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ මෙම “කවිතා” වැඩසටහන නිසාය.
මෙම දරුවන් තුළ ඇති හැකියාවන් SMS වලට තීරණය කිරීමට ඉඩ නොදීම මෙම තරගයේ ඇති එක් විශේෂත්වයකි. ලක්ෂ්මන් විජේසේකර, නිරංජලා සරෝජනී, සංගීත් වික්‍රමසිංහ මෙම සංගීත වැඩසටහන විනිශ්චය කළ අතර ආචාර්ය දයාරත්න රණතුංග ආරාධිත ප්‍රවීණයා ලෙස මෙදින වැඩසටහනට සහභාගී වී සිටියේය.
‘කවිතා’ නම් මෙම අන්තර් උසස් අධ්‍යාපන ආයතනීය නිර්මාණ කුසලතා ඇගැයීමේ සම්මාන උලෙළ ගායනා තරගාවලියකට පමණක් සීමා වූවක් නොවේ. සිනමාව, චිත්‍ර, නර්තනය වැනි විෂයන් ද මෙයට අයත්ය. මෙම සමස්ත වැඩසටහනේ ජාතික අධ්‍යක්‍ෂවරයා වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. ‘කවිතා’ වැඩසටහන ආරම්භ කිරීමේ අරමුණ පිළිබඳවත් එහි අන්තර්ගතය පිළිබඳවත් අපි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් විමසා සිටියෙමු.
”උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට විශ්ව විද්‍යාල 15 ක් සහ තාක්ෂණික අධ්‍යයන ආයතන 24 ක් අයත් වෙනවා. මෙම ආයතන තුළ ඉන්නේ රටේ බුද්ධිමත්ම දරු පිරිස. ඒ අයට බොහෝවිට තම කලා කුසලතා එළිදක්වන්න මඟක් තිබුණේ නෑ. ලලිත කලාවන්ට හැකියාව තිබෙන සිසු සිසුවියන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය තුළ පමණක් නෙමෙයි අනෙක් උසස් අධ්‍යාපන ආයතනවලත් ඉන්නව.
මෙපමණ කාලයකට මොවුන්ගේ කලා කුසලතා ඉදිරිපත් කරන්න අමාත්‍යාංශ මට්ටමින් සහයෝගයක් ලබාදීල නැහැ. යම් යම් විශ්වවිද්‍යාල තුළ කලා උලෙළ පැවැත්වුවත් ඒවා පැවැත්වූවේ ඉතාම අසීරුවෙන්. ඒ; ඒ සඳහා මුදල් සොයා ගැනීම අපහසු නිසා.
විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු වතාවටයි රාජ්‍ය අනුග්‍රහයෙන් මෙලෙස කලා උලෙළක් පැවැත්වෙන්නේ. “කවිතා” තරගාවලියට තරග ඉසව් රාශියක් තිබෙනවා. හොඳම ගීත රචකයා, චිත්‍රපට තිර නාටක රචකයා, නර්තන ශිල්පියා, නර්තන ශිල්පිනිය වගේම හොඳම වාදන ශිල්පියා, ශිල්පිනිය, හොඳම ජංගම දුරකථන චිත්‍රපට නිර්මාණකරුවා, හොඳම ජන ගායකයා, ගායිකාව වැනි තරග ඉසව් ඊට අයත්. මෙම තරග සියල්ලම සිංහල සහ දෙමළ අංශය වශයෙන් කොටස් දෙකක් තිබෙනවා.
මෙම සෑම තරගයකට පළමු ස්ථානයට රුපියල් ලක්ෂයක් ද, දෙවැනි ස්ථානයට රුපියල් හැත්තෑපන් දහසක් ද තුන්වැනි ස්ථානයට රුපියල් පනස් දහසක් ද පිරිනමනවා. මෙම තරගාවලියේ අවසන් මහා තරග ලබන වසරේ පෙබරවාරි 23, 24, 25 යන දින තුනේදි “නෙළුම් පොකුණ” මහින්ද රාජපක්‍ෂ රංගශාලාවේදී පැවැත්වෙනවා. ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වෙන්න නියමිතයි. ‘කවිතා’ වැඩසටහනේ විෂය භාර අධ්‍යක්‍ෂවරු ලෙස ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් රැසක් තම දායකත්වය ලබා දෙනවා.
සාහිත්‍ය අංශය බුද්ධදාස ගලප්පත්ති මහතාත්, වේදිකා නාට්‍ය පිටපත් අංශය පරාක්‍රම නිරිඇල්ල මහතාත්, චිත්‍රපට තිරරචනා අංශය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාත්, සංගීත අංශය විශාරද රෝහණ වීරසිංහ මහතාත්, නාට්‍ය අංශය මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතාත්, චිත්‍රපට අංශය ජයන්ත චන්ද්‍රසිරි මහතාත්, චිත්‍ර අංශය එස්.එච්. සරත් මහතාත්, විද්‍යුත් මාධ්‍ය අංශය නිව්ටන් ගුණරත්න මහතාත්, ඡායාරූප අංශය ලාල් හෑගොඩ මහතාත් බාරව සිටිනවා.
‘කවිතා’ වැඩසටහනේ දෙමළ වැඩසටහන් මාලාව සෑම සෙනසුරාදාවකම ජාතික රූපවාහිනියෙනුත්, සිංහල වැඩසටහන් මාලාව සෑම බදාදාවකම දෙරණ නාලිකාවෙනුත් විකාශය වුණා.”
රාජ්‍ය අනුක්‍රහය මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ද ඇතිව ඉදිරිපත් කරනු ලබන මෙම “කවිතා” වැඩසටහන උගත් බුද්ධිමත් කලාකරුවන් රැසක් රටට දායාද කිරීමට ඉවහල් වන බව නිසැකය.
ඡායාරූප –
දුෂ්මන්ත මායාදුන්න

0 comments:

Post a Comment