----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අනුපමාගේ නිල් නුවන් පින්බරයි

Saturday, December 8, 2012

අනුපමාගේ නිල් නුවන් පින්බරයි

ඇය අනුපමා ගුණසේකර. රටම ඇය හඳුනාගන්නේ මෙරට රියැලිටිකරණයේ පූර්වාදර්ශය ගොඩනැඟු ‘සිරස’ සුපර් ස්ටාර් පළමු අදියරේ ජයග්‍රාහිකාවක් විදිහට. සංගීත පසුබිමක් හදාගනිමින් ක්ෂේත්‍රයට ආ අනුපමා වසර හයකට පසු සිය කුලුදුල් සංගීත වීඩියෝව ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතයත් සමඟ මේ දිනවල නැවතත් කරළියට ඇවිල්ලා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයේ කර්ණාටක සංගීත විෂයය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස අද ක්‍රියාකාරී අනුපමා හා පසුගිය දවසක කළ පිළිසඳරයි මේ.
ඔබේ සමාජගත වීම සිදුවුණු තැනින්ම මේ කතාබහ ඇරැඹුණොත් හොඳයි කියලා හිතෙනවා.
බොහෝ දෙනෙක් මාව දැන හඳුනාගත්තේ ‘සුපර් ස්ටාර්’ තරගය හරහා. විශේෂයෙන් ‘නිල් නුවන් පින්බරයි’ කියන වැලැන්ටයින් ගීතයත් එක්ක තවත් කතාබහ වැඩිවුණා. නමුත් දැන් මම ස්වාධීනව වැඩ කරන ගායිකාවක්. ඒ වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරනවා.
ඇයි ඔබ එවැනි රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න හිතුවේ.
මම හිතන්නේ අපේ යෞවනය ආරම්භක කාලේ හැකියාව කියන දේ උරගා බලන්න ලොකු ඕනකමක් තිබුණා. නමුත් මම එය ගෙවා දමා අධ්‍යාපනය තුළ යම් සංයමයක් ගොඩනඟාගෙන ඉවරයි. ඒත් සුපර් ස්ටාර්කරණය පිළිබඳ කතා කරන්න මම කැමැති නැහැ.
ඇයි ඔබ කතා කරන්න අකැමැති. ඔබත් එහි ආරම්භක සාමාජිකයෙක්නේ.
ඒ ගැන තවදුරටත් කතා කරන එක ඵලදායක නැහැ කියලා මම හිතනවා. තරු කියන දේ රියැලිටි හරහා පායනවා ඇත්ත. ඒත් ඒ දිස්නේ කාලයක් පුරා රඳවා ගන්න හැකියාව ලැබෙන්නේ තමන්ගේ සංගීත භුමිකාව තුළ යම් අධ්‍යාපනික රාමුවක ඉන්න පුළුවන්නම් හැමදාම තරුවක් වගේ ඉන්න පුළුවන් කියලයි මම හිතන්නේ. එහෙම වුණොත් හොඳ රඳා පැවැත්මක් හදාගන්න පුළුවන්.
මම හිතන්නේ ඔබ යම් හිත් රිදීමකින්, පසුතැවීමකින් කතා කරනවා කියලයි.
නැහැ එහෙම පසුතැවීමක් දැන් නැහැ. මුල් කාලයේ තරු බිහිකරපු තැන්වලින් මදිපුංචිකම් නොතිබුණා නෙමෙයි. නමුත් දැන් ඒ ගැන හිතන්නේ නැහැ. මොකද මුළු රටම මාව දැනගත්තේ ඒ හරහා. විශේෂයෙන්ම මගේ හැකියාව දැන හඳුනාගත්තා. බොහෝ දෙනෙක් දැන හඳුනාගත්තා මට ඉහළ ස්වරවල ගයන්න පුළුවන් කියලා. අද ඒ හැකියාව ඔස්සේ මට පුළුවන් වෙලා තියෙනවා සමාජයට යමක් තිළිණ කරන්න.
හොඳයි අද බිහිවන තරු හෙට නිවිලා යන්න හේතුව මොකක්ද?
මම හිතන්නේ ඒකට එක හේතුවක් කියලා කියන්න අමාරුයි. බොහෝ දෙනෙකුට හැකියාව තිබුණට ජීවිතේ පිළිබඳ, සමාජය පිළිබඳ අත්දැකීම් අඩුයි. මේ තරගවලට වැඩි හරියක් එන්නේ ගම්බද ළමයි. ඒ නිසා හොඳ මඟ පෙන්වීමක් අවශ්‍යයි. අනෙක් දේ තරුවක් මොන තැනින් බිහිවුණත් ස්වාධීන වෙන්න ඕන. දෙරණෙන් හෝ ජාතික රූපවාහිනියෙන් හෝ සිරසෙන් බිහිවුණත් ඔහුට ඇයට රටම ආදරය කරනවා. ඒ නිසා ස්වාධීන වෙන්න ඕන වගේම රටටම ඔහු හෝ ඇය පොදු කලාකරුවෙක් වුණොත් පැවැත්මක් තියෙයි.
අද වෙලා තියෙන්නේ තමන්ට ස්වාධීනව ගොඩනැඟෙන්න බැරිවෙලා. උණුසුම් ප්‍රතිචාර ලැබෙනකොට, ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල වෙනකොට අලුත් දෙයක් කරන්න අමතක වෙනවා. ඒ නිසා අනන්‍යතාවක් ගොඩනඟාගන්න බැරුව අද මේ අය අතරමං වෙනවා.
අද වෙනකොට ඔබ කර්ණාටක සංගීතය හදාරන්න පෙලඹිලා. මොකක්ද ඒකට හේතුව.
ඉතාම හොඳ සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායක්. ඊට විශේෂ වුණු අනන්‍යතාවයක් තියෙනවා. ගායනා ක්‍රම, ශෛලි තියෙනවා. ස්වරනාම දාසයක් තියෙනවා. සංකීර්ණ සංගීත සම්ප්‍රදායක් වගේම විශේෂ වුණු වෙන සම්ප්‍රදායන්වල නැති අනන්‍ය ගුණාංග තියෙනවා කියන එක මම කියන්න ඕන. එය හදාරන්න මට අවශ්‍ය වුණේ හොඳ සංගීත කටහඬක් හදාගන්න මට ඕනකමක් තිබුණා. වසර හතරක් තිස්සේ මම ඒ ගැන හැදෑරීම් කළා. තමන්ගේ හැකියාව දියුණු කරගන්න ඕනෑම සංගීත සම්ප්‍රදායයක යෙදෙන්න ඕන. මට ඒ සඳහා ගුරුහරුකම් දුන්න කලාශූරි අරුන්දති ශ්‍රී රංගනාදන් වගේම අරුණපි‍්‍රය අරුරත් ගුරුවරුන් මතක් කරන්න ඕන.
වසර හයක් වගේ දිගු කාලයකට පස්සෙයි ඔබ ඔබේ පළමු ගීත වීඩියෝව කරන්නේ.
මෙතරම් කාලයක් මම කළේ අධ්‍යයනය කළ එක. දෙමළ ජන ගී සම්බන්ධව හැදෑරීම් කළා. විවිධ රටවල ජන ගී ගයන්න මම කැමැතියි. පසුගිය කාලයේ ලංකාවේ පැවැත්වුණා මහද්වීප පහක ජන ගී සංදර්ශන ප්‍රසංගයක්. එතැනදි අරාබි ජන ගීයක් මට අහන්න ලැබුණා. ඔහුත් සමඟ මම කතා කළා. ඒ අනුවයි ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතය නිර්මාණය වුණේ. තිළිණ රුහුණගේ සංගීතයට එය රඛිත වාකිෂ්ඨ පද රචනය කළේ. ඉදිරියේදී ලාංකේය රසිකයින්ට මෙවැනි ජන ගී මූලාශ්‍ර හරහා අපූරු සංගීත රසයක් ලබා දෙන්න වගේම අධ්‍යාපනයක් ලබා දෙන්නයි අද මගේ බලාපොරොත්තුව.

0 comments:

Post a Comment