----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බඩගින්නේ හිටියත් තාත්තගේ සින්දු කුණු කොල්ලෙට විකුණන්නේ නැහැ

Tuesday, November 27, 2012

මාරියෝ ආනන්ද
ග්‍රේෂන් ආනන්දගේ පුතු මාරියෝ ආනන්ද ඉදිරිපත් කරන ‘මාරියෝ ආනන්දනීය ගීත රාත්‍රිය’ ලබන දෙසැම්බර් 01 වැනිදා සවස 6.30 ට කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැත්වේ. පිය වියෝවෙන් පසු, ස්වීය උත්සාහයෙන් සංගීත ක්ෂේත්‍රයට පා තබන්නට වෙර දරන මාරියෝ, මෙම ආනන්දනීය රාත්‍රීයේ දී සුමියුරු ගීත ගණනාවක් ගයනු ඇත.
ඔහු හා සමඟ මේ කතාබහ, එම සොඳුරු ආනන්දනීය රාත්‍රීය පිළිබඳ සහ ඔහුගේ ඉදිරි සංගීත දිවිය පිළිබඳ තතු විමසන්නටය.
ඔබ, ඒක පුද්ගල ප්‍රසංගයකින්ම කලඑළි බහින්න හිතලා හැඩයි...
ඒක එහෙමම නෙවෙයි. මේ මගේ දෙවැනි ප්‍රසංගය. ඒ නිසා මම කල එළි බැහැලා පුංචි කාලයක් වෙනවා. ඒ හැරුණුකොට මෙතෙක් මට බොහෝ අවස්ථා ලැබුණේත් ඉල්ලුම තිබුණේත් තාත්තගේ ගීත ගැයීමට පමණයි.
තාත්තගේ ගීත ගයන්න මම හුඟක් කැමැතියි. නමුත් මට ඕනෙ තාත්තා නවතපු තැනින් ආපහු පටන් ගන්න. ඉදිරියට යන්න. ඒ මගේම ශෛලියක් අනන්‍යතාවක් ගොඩනඟාගෙන.
ඒ නිසා මේ ප්‍රසංගය ‘ඒක පුද්ගල’ උත්සාහයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. මෙහි යුග ගායනාවලදී පමණක් ලතා වල්පොල මහත්මිය, උරේෂා රවිහාරි, අනුරාධා නන්දසිරි සහ නටාෂා පෙරේරා සහභාගි වෙනවා. ඔවුන්ගේ නිහතමානි ඉදිරිපත් වීමම මට විශාල ශක්තියක් වන බවත් කිව යුතුයි.
ඔබ මේ ප්‍රසංගයෙන් බලාපොරොත්තු වෙන්නෙ...
මෙතෙක් මට ලැබුණු හැම අවස්ථාවකදීම මගේ ගායන - වාදන හැකියාව පෙන්වන්න ලැබුණේ බොහොම සීමා සහිතව. ජෝති උපහාර ප්‍රසංගය සහ රූපවාහිනි ප්‍රසංග ගණනාවකදී මට අවස්ථාව ලැබුණා තාත්තගේ ගීත ගයන්න. නමුත් මගේ අලුත් ගීත සඳහා ප්‍රචාරයක් ලබාගන්න හරි අමාරුයි. සමහර එෆ්. එම්. නාළිකා මුදලට යටවෙලා. අලුත් ගීතයක් ප්‍රචාරය කරවාගන්න අපි ගෙවන්න ඕනෙ. එහෙම ආර්ථිකයක තවම මම නැහැ.
ඒ නැතිනම් ඔවුන් බලන්නෙ විෂුවල් එක. විෂුවල් එක හොඳට වියදම් කරලා හදලා තියෙනවා නම් බාර ගන්නවා. වර්තමානයේ අපි වැනි ආධුනිකයන්ට මුහුණදෙන්න වෙලා තියෙන මෙන්න මේ ගැටලු ගණනාව නිසා තමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, මාධ්‍ය ආයතන, සිනමා - ටෙලි නාට්‍ය නිර්මාණකරුවන් සහ රසිකයන් කැඳවලා මගේ හැකියාව ඔවුන්ට පෙන්වන්න මේ ප්‍රසංගය පවත්වන්නේ. ඇත්තට ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් - ප්‍රවීණයන්, මාධ්‍ය හිතවතුන් මේ ප්‍රසංගයට මා කැඳවන්නේ විශේෂ ආරාධිතයින් ලෙසයි. මගේ ඉදිරි ගමනට ඔවුන්ගේ උදව්වත් ලොකු ශක්තියක්.
ඔබ දැනටමත් ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට පිවිසිලා...
රෝහණ වීරසිංහ මහත්මා සංගීතවත් කළ ‘තූර්යා’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය මා ගයන්නේ උරේෂා සමඟ. ඒ වගේම ජයසේකර අපෝන්සු නිර්මාණයක් වන ‘සීතා මං ආවා...’ චිත්‍රපටයේ පසුබිම් ගීතය ගයන්නෙත් උරේෂා සමඟ. හුඟ දෙනෙක් මට කියනවා තාත්තට වගේ මටත් යම් පමණකට ‘ස්ක්‍රීන් වොයිස්’ එකක් පිහිටලා තියෙනවා කියලා. ඒ හැකියාව මං තව හුඟක් දියුණු කරගත යුතුයි.
දැන් ඔබ මොකද කරන්නෙ...
මං උසස් පෙළ ලිව්වෙ පහුගිය අගෝස්තුවේ. ප්‍රතිඵල එනතුරු මං මේ ප්‍රසංගයට ලෑස්ති වෙනවා. ප්‍රතිඵල ආවමයි ඊළඟට කළ යුතු දේ තීරණය කරන්නේ. මොකද සංගීතය ඉහළට හදාරන්න මට ලොකු ඕනෑකමක් තිබෙනවා. ඒ සඳහා පිටරටක විශ්ව විද්‍යාලයකට යන්නත් ආසයි. මේ සියල්ලට හොඳ ආර්ථික පසුබිමක් තිබිය යුතුයි.
මේ ප්‍රසංගයේ ටිකට්ස් යම් ප්‍රමාණයක් විකුණන්නෙත් ඒ නිසා. ඇත්තටම කිව්වොත් මේ ප්‍රසංගය, මගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක්. මේ දිනවල පූර්ණකාලීනව ප්‍රසංගය වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන්නේ එය ඉතාමත් සාර්ථක කර ගැනීම මගේ අරමුණ නිසා.
මේ සඳහා ඔබට අනුග්‍රහකත්වය දක්වන්නේ කවුද...
ඇත්තටම කියනවා නම් තාත්තගේ නම තිබුණට අප වැනි ආධුනිකයකුට අද වගේ කාලෙක මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීම ලෙහෙසි දෙයක් නෙවෙයි. ශිරෝන් ගුණවර්ධන නම් මගේ හිත හොඳ මිත්‍රයකු තමයි මේ ප්‍රසංගයේ සියලු බර කර දරන්නේ. ඔහු නොවන්නට මෙය හීනයක්.
ඔබේ මව මේ ගැන මොකද කියන්නෙ...
ඇය තුළ විශ්වාසයක් තිබෙනවා, මම උත්සාහයෙන් සංගීතයේ හොඳ ගමනක් යාවි කියා. මගේ එකම අක්කා තමයි දැනට අපි දෙන්නවම පෝෂණය කරන්නේ. ඇයව මේ බරෙන් නිදහස් කරන්න, ඒ බර මගේ කර මතට ගන්න මට අවශ්‍යයි. අන්තිම කාලේ තාත්තත් ඒ දේ මගෙන් බලාපොරොත්තු වුණා. ඔහුට ජීවිතේ යම් යම් දේ ගිලිහුණා. ඒ ගිලිහුණු දේ මා සම්පූර්ණ කළ යුතුයි.
එක අතකට තාත්තගේ ගීත ඕනෑ තරම් තිබියදී ඇයි මේ තරම් දුක් විඳින්නේ...
බඩගින්නේ හිටියත් තාත්තගේ ගීත නම් කුණු කොල්ලෙට විකුණන්නෙ නැහැ. ඒ ගීතවලින් මට හම්බ කරන එක ලේසි වෙයි. නමුත් ඒ ප්‍රතිපත්තියේ මං නැහැ.
අනික තාත්තගෙ සංගීත හැකියාවේ විවිධ ඉසව් තිබුණා. ඔහුව නිසි ඇගැයීමකට ලක් වුණේ නැහැ. තෙදිනි විරාජ..., ළඳක් ළඳක්..., වීණා බිඟු වීණා..., මාගේ අතීත දිවියේ..., මගේ පුංචි කුමාරි... වැනි අතිශය ජනපි‍්‍රය ගීත ගණනාවක සංගීත අධ්‍යක්ෂවරයා තාත්තා. නමුත් ඔහු, බොහෝ දෙනා හඳුනා ගත්තේ ගායකයකු සහ ගිටාර් වාදකයකු ලෙස පමණයි. තාත්තා වගේම හොඳ සංගීත අධ්‍යක්ෂවරයකු වීමේ උවමනාව මටත් තිබෙනවා.
සංගීතය ලිවීමට සහ කියැවීමට මා ඉගෙන ගත්තේ තාත්තගෙන්. හැකියාව වගේම දැනුමත් එක ලෙස වැදගත් බව මට කියා දුන්නේ තාත්තා.
අවසාන වශයෙන් ප්‍රසංගය ගැනත් යමක් කියන්න...
මේ ප්‍රසංගයේදී මමම සංගීතවත් කළ ගීත කිහිපයකුත් මම ගායනා කරන අලුත් ගීත හය අතරේ තිබෙනවා. ඒවගේම තාත්තගේ අතිශය ජනපි‍්‍රය ගීත 25 කුත් මං ගායනා කරනවා.
අතුල අධිකාරියි ප්‍රසංගයේ සංගීතය මෙහෙයවන්නේ. කථනය සාරංග දිසාසේකර. තාත්තගේ ගී රස විඳි රසික ජනතාවට මා ආරාධනා කරනවා, මේ ආනන්දනීය රාත්‍රියේ මිහිර මා හා විඳගන්න, දෙසැම්බර් 01 දා මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයට පැමිණෙන්න කියා. අනෙක් අතට ඔබගේ පැමිණීම මගේ ඉදිරි සංගීත ජීවිතයට මහා රුකුලක් වේවි.
Silumina


0 comments:

Post a Comment