----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඕක ලේඩීස් නෙ

Thursday, November 1, 2012


ඕක ලේඩීස් නෙ

අසෝක සොයිසා නාට්‍යකරුවන් ගේ සහෘදයෙක්. අජිත් ජිනදාස, අමිත්ත වීරසිංහ, ජයලත් මනෝරත්න, නිමල් ඒකනායක වැනි නාට්‍යකරුවන් රැසක් විවේකී සවස්වරු විනෝදයෙන් ගත කළේ අසෝකගෙ නිවහනේදී. නාට්‍යශිල්පී අජිත් ලොකුගේ දවසක් අලුත් ඩෙනිම් කලිසමකින් සැරසිලා කොළඹින් බැහැර වේදිකා නාට්‍යයකට යාම සඳහා නියමිත බස් රථයකට ගොඩවුණා. හැමෝගෙම ඇස් යොමු වුණේ අජිත්ගෙ ඇලුත් කලිසම වෙත. බස් රථයේ සිටි අසෝක අජිත්ගෙ කලිසම අල්ලලා බලලා මෙහෙම කිව්වා.
’මගෙ ළඟත් තිබුණා මේ ජාතියෙම ඩෙනිම් කලිසමක්. හැබැයි ඒක මේකෙ ජෙන්ට්ස් එක.’ අජිත්ට අලුත් කලිසම ගලවලා දාන්ඩ හිතුණේ ඒ කතාව අහපු සහෝදර ශිල්පීන්ගේ සිනාවට මැදිවුණාමයි.
දවසක් දා අසෝක බොහොම දුකෙන් වගෙ නාට්‍ය ශාලාවක ඈත කොනක පුටුවකට වෙලා සිවිලිම දිහා බලා ඉන්නවා, තවත් නාට්‍ය ශිල්පියකු වන විජිත ප්‍රතිරාජ දැක්කා.
’මොකෝ බං. දුකෙන් වගෙ?’ ඔහු වෙත ගිය විජිත ඇහැව්වා.
’නෑ විජිත, හැමදාම මෙහෙම ඉඳලා බැහැනෙ මචං. මමත් නාට්‍යයක් ලිව්වා. මට හිතෙනවා නාට්‍යය හොඳට ලියැවුණා කියල. බලපංකො බං, ඒක කපලනෙ.’ අසෝක දුකෙන් වගෙ කිව්වා.
’නෑ...! සෙන්සර් බෝඩ් එකෙන්ද?’ විජිත ඇහැව්වා.
’නෑ බං, විදුලිබල මණ්ඩලයෙන්.’ අසෝක කිව්වා.
’මොනවා...! මොකක්ද ඔය නාට්‍යය?’ විජිත විමතියෙන් ඇහැව්වා.
’පාරට නැමුණු අතු’ අසෝක පිළිතුරු දුන්නා.
සිරිල් ආරියපාල වේදිකාවේ බොහෝ ප්‍රවීණයන් සමඟ කටයුතු කළ ශිල්පියෙක්. වරක් නාට්‍යයක් ලියා, එහි නිෂ්පාදන කටයුතු ඇරඹූ සිරිල් ඒ සඳහා සහභාගීකර ගත්තේ තමා සමඟ වේදිකාවේ කටයුතු කොට හුරු පුරුදු ශිල්පීන්. ඒ අනුව සෝමසිරි කොළඹගේ රඟපාන්නටත් අසෝක සොයිසා වේදිකා සහායක ශිල්පියෙකු ලෙසත් තෝරා ගනු ලැබුවා. ඊළඟට ඇරඹුණු පුහුණුවීම්වලදී කොළඹගේත් අසෝකගේත් පැමිණීම ඉතා දුර්වල බැව් දුටු සිරිල් දවසක් දා පුහුණුවීම් වලින් පස්සේ මේ දෙදෙනාව පැත්තකට කැඳවලා මෙහෙම කිව්වා.
’උඹලා දෙන්නා පහුගිය දවස්වල රිහසල් ආවේ හොඳටම අඩුවෙන්. දැන් මංගල දර්ශනයට ලුම්බිණිය වෙන්කර ගෙනත් ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නේ හරියටම මාස දෙකයි. ඒ නිසා දිගටම නොවරදවාම රිහසල් එන්ඩ ඕනෙ.’
ඊළඟ සතියේ පුහුණුවීම් දින 4 කින් තුනකදීම කොළඹගේත් අසෝකත් ආවේ නැහැ. සිරිල් දෙන්නවම නාට්‍යයෙන් අයින් කළා. ඊට මාස දෙකකට පස්සේ ලුම්බිණි රඟහලේ පැවැත්වුණු එම නාට්‍යයේ මංගල දර්ශනය නරඹන්නට කොළඹගේ ගියා. නාට්‍යය අවසන් වෙලා කර්ටන් කෝල් එකෙන් පස්සෙ වේදිකාවට ගොඩවුණාම වේදිකා අලංකරණ භාණ්ඩ ඉවත්කරමින් සිටින අසෝක, කොළඹගේ ගේ ඇහැ ගැහුණා. ඔහු සිරිල්ට සුබ පතලා මෙහෙම කිව්වා.
’සිරිල්, උඹ රිහසල් ආවේ නැහැ කියල මාවයි අසෝකවයි නාට්‍යයෙන් අයින් කළානේ. එතකොට කොහොමද අසෝක ආයෙත් නාට්‍යයේ වැඩ කරන්නෙ?’
කොළඹගේ ගෙ නෝක්කාඩුවට සිරිල් මෙහෙම උත්තර දුන්නා.
’මේකනෙ වැඩේ. අසෝක උඹ වගෙ නිකං හිටියෙ නෑ. රිහසල් එන්ඩ බැරි වුණු විස්තර ඔක්කොම කියල, නිදහසට කරුණු දන්වලා මට දිග ලියුමක් එව්වා. මම ලියුම කියවලා, ඒකෙ ඉදිරිපත් කරල තිබුණු හේතු සලකලා බලලයි අසෝකව ආයෙත් නාට්‍යයට ගත්තෙ.’
කිසිදු කතාබහකින් තොරව කොළඹගේ ගියෙ, වේදිකාවේ සිටි අසෝක ළඟට.
’අසෝක, උඹ මොනවද, රිහසල් නාවට නිදහසට කරුණු විදියට සිරිල්ට ලියල ඇරියෙ.’ කොළඹගේ ඇහැව්වා.
ගලවමින් සිටි බිත්ති කුලුනක් පැත්තකට හේත්තු කරලා නිදහස් වුණු අසෝක, කොළඹගේ දිහා බලලා ඉඟිමරලා මෙහෙම කිව්වා.
’මම කළේ මෙච්චරයි මචං. ගත්තා පරණ ඩේලි නිවුස් පත්තරයක්. පෙරළුවා ඇතුළේ පිටුවකට. ගත්තා හාෆ් ෂීට් එකක්. ඒකෙ දිනේ දාලා, ලිව්වා ආමන්ත්‍රණය, ‘මයි ඩියර් සිරිල්’ කියල. ඊට පස්සෙ ඩේලි නිව්ස් පිටුවේ එක කොලම් එකක්ම ලියුමෙ පිටපත් කළා. ඊට යටින් ‘ගෝඩ් බ්ලෙස් යු! යුවර්ස් ලවින් ෆ්‍රෙන්ඩ්’ කියල ලියලා අත්සන් කරලා සිරිල්ගේ එඩ්ඩ්‍රස් එකට ඒක තැපැල් කළා. එච්චරයි.’
කට ඇරගෙන අසෝකගේ කතාව අහගෙන හිටිය කොළඹගේට කට වහන්ඩ අමතක වුණා.

0 comments:

Post a Comment