----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඇත්තටම අපි අතරමං වෙලා

Friday, November 30, 2012

Sarasaviya

ඇත්තටම අපි අතරමං වෙලා

සනෝජා බිබිලේ කලකිරීමෙන් කියයි
සහන්, සනෝජා, සරත් එකමුතුවෙන් සද්කාර්යයක්
අවුරුදු දෙක තුනක්ම මම කලා ක්ෂේත්‍රයේ මුකුත් නොකර හිටියා. දැන් නැවතත් මම රංගනයට යොමු වෙලා ඉන්නේ.
ඊට අමතරව මම චිත්‍ර අඳින්න ගොඩක් ආසයි.
ඇය අසූව දශකයේ ජනප්‍රිය සිනමාවේ සුන්දර ප්‍රේමවන්තිය. කෙළිලොල් දඟකාර චරිත සමඟින් හමු වූ ඇය සිනමාවේ විතරක් නෙවෙයි පුංචි තිරය වගේම වේදිකාවත් අපූරුවට හැඩ කළා. ඇය ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ. රාජ්‍ය ආයතනයක වගකිව යුතු නිලධාරිණියක් වගේම ක්‍රීඩිකාවක්, චිත්‍ර ශිල්පිනියක් ලෙසත් විවිධ භූමිකා රැසකම දක්ෂතා පෙන්වන සනෝජාගේ අලුත්ම තොරතුරු සරසවිය විමසුවා.
සනෝජා අක්කේ, මොනවද මේ දිනවල අලුත්ම විස්තර?
රැකියා කටයුතු කරගෙන සතුටින් ජීවත් වෙනවා. ඊට අමතරව කලා කටයුතු කිහිපයකටත් දායක වෙලා ඉන්නවා. මේ දිනවල නෙට්බෝල් ජාතික හා කොළඹ දිස්ත්‍රික් තරගාවලි සඳහා දායකත්වය ලබා දෙනවා. මේ අතරේම මම ජනසන්නිවේදනය පිළිබඳ උපාධිය වෙනුවෙන් වන විභාග කටයුතු සඳහා සූදානම් වෙනවා. මේ හැම දෙයක්ම සමඟින් මම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
රංගන කටයුතුවලට දැන් වැඩි උනන්දුවක් නෑ වගේ නේද?
ඒ ගැන මම සතුටු වෙන්නේ නැහැ. පසුගිය කාලයේ මට චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය ගණනාවක්ම නැති වෙලා ගියා. හේතු කියන්න දන්නේ නැහැ. රංගනයට පය තබද්දී හිතේ රඟපෑමට ලොකු ආසාවක් වගේම අරමුණු තිබුණත් දැන් ඒවා බොඳ වෙලා. ආසාව නැති වෙලා. ක්ෂේත්‍රය ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි අතරමං වෙලා. අසූව දශකයේ අය තමයි මේ තත්ත්වයට ගොඩක් මුහුණ දීලා තියෙන්නේ.
කලාකරුවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න ඔබ නිතරම පෙරමුණ ගන්නවා නේද?
ඔව්. අසූව දශකයේ චිත්‍රපට සඳහා දායක වුණ රංගන ශිල්පීන් එකතුව සුහද හමුවක් පවත්වන්නට සූදානම් වෙනවා. සහන් විජේසිංහ, සරත් දික්කුඹුර ඇතුළු අපි තුන් දෙනා තමයි මුල්වෙලා කටයුතු කරන්නේ. වාර්ෂිකව පවත්වන්නට බලාපොරොත්තුª වන මෙම සුහද හමුව තුළින් ආදර්ශමත් එකමුතුවක් බිහි කිරීම වගේම සේවයක් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මෙහිදී අසරණ තත්ත්වයේ ඉන්න කලාකරුවන්ට මුදල් පරිත්‍යාග කරන්නටත් කටයුතු යොදලා තියෙනවා.
මෑත යුගයේ බිහි වූ නවක පරපුර පිළිබඳ ඔබේ අදහස?
දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් අගය කළ යුතුයි. ක්ෂේත්‍රයේ ගොඩක් ඉදිරියට යන්න පුළුවන් අය ඒ අතර ඉන්නවා. ඔවුන්ට මම දෙන අවවාදය නම් කලාව ගැන ඉගෙන ගන්න කියලා. ඒ වගේම කිසිවෙක් ලැජ්ජාවට පත් නොකරන අන්දමේ හැසිරීම් රටාවක් සකසා ගත යුතුයි. ක්ෂේත්‍රයේ ගැඹුර තේරුම් ගෙන කටයුතු කරන්න වගේම ප්‍රසිද්ධිය ගැන විතරක් හිතලා ක්ෂේත්‍රයට එන්න එපා කියල කියන්න කැමැතියි. ප්‍රසිද්ධිය අද තියෙනවා, හෙට නැති වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ දක්ෂතාවය කවදාවත් නැති වෙන්නේ නැහැ. නළු නිළියන් කියන්නේ දෙවියන් මවපු අය. දෙවියන් විසින් අපට දුන් ඒ වරම අපි රැක ගත යුතුයි.
ඔබ චිත්‍රපට නිෂ්පාදනයට පවා කටයුතු කළ ප්‍රවීණ නිළියක්. ඒ අංශයෙන් ඔබට යමක් කළ හැකියි නේද?
මම අවුරුදු කීපයක්ම කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සඳහා දායක වුණේ නැහැ. දැන් යළිත් රංගනයට යොමු වුණත් ටෙලි නාට්‍ය, චිත්‍රපට නිෂ්පාදනය ගැන බලාපොරොත්තු වෙන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. චිත්‍රපට නිෂ්පාදනය කළ යුත්තේ සිනමාවේ පැවැත්ම උදෙසා. නමුත් අපට උදව් කරන්න කවුරුවත් නැහැ. චිත්‍රපටයක් නිෂ්පාදනය කළාට ප්‍රදර්ශනය කරන්න තමයි අපහසු. ටෙලි නාට්‍ය වුණත් එහෙමයි. අද ටෙලි නාට්‍ය විකාශය සඳහා වෙන් කරගන්න මුදල් අවශ්‍යයි. වෙන රටවල නම් නිෂ්පාදකයන් ඇති කරල රැක ගන්න වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක වෙද්දී අපේ රටේ නිෂ්පාදකයන් නැති කරල දමන අන්දමේ පරිසරයක් තමයි තියෙන්නේ. ඇත්තටම ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තිබුණ ආසාව ගිලිහිලා ගිහින්. මීට වඩා සේවයක් අපෙන් රටට ලබා ගත යුතුව තිබුණා.
වගකිය යුතු රැකියාවක නිරතවීමත් රංගනයට බාධාවක් වුණාද?
කොහෙත්ම නැහැ. රැකියාව රංගනයටත්, රංගනය රැකියාවටත් බාධාවක් වුණේ නැහැ. මේ හැම දෙයක් ගැනම මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම හැම දෙයක් සඳහාම මම මනා ලෙස කාලය කළමනාකරණය කරන්න පුරුදු වෙලා ඉන්නේ. රාජකාරිය වගේම සිනමා ජීවිතයත් මම ලස්සනට සකසා ගත්තා. මහවැලි අධිකාරියේ කටයුතු මම අකුරටම කරගෙන යනවා.
ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
මගේ ජීවිතේ මම හරිම සතුටින් සැහැල්ලුවෙන් ගෙවනවා. කසාද නොබැඳපු එක කවදාවත් ප්‍රශ්නයක් කරගෙන නැහැ. ඒත් තවම මම විවාහ වෙන්නේ නැහැ කියන අදහසේ නැහැ.
ඉදිරියේදී අපට ඔබ දකින්න ලැබෙන්නේ?
අලුත් ටෙලි නාට්‍ය කිහිපයකටම දායකත්වය ලබා දෙනවා. මේ දිනවල කිහිපයක රූගත කිරීම් සිදු කෙරෙනවා. ඊට අමතරව සජීව මල්මාලආරච්චිගේ රොම්බ තෑන්ක්ස් සහ ආරියසේන ගමගේගේ ඉයස් සෑර් වේදිකා නාට්‍යවලටත් දායක වෙනවා.
අනාගත ලොකු බලාපොරොත්තුª එහෙමත් ඇති නේද?
අවුරුදු දෙක තුනක්ම මම කලා ක්ෂේත්‍රයේ මුකුත් නොකර හිටියා. දැන් නැවතත් මම රංගනයට යොමු වෙලා ඉන්නේ. ඊට අමතරව මම චිත්‍ර අඳින්න ගොඩක් ආසයි. ඒක මගේ විමෝදාංශය. කාලයක් තිස්සේ මම ඇඳපු චිත්‍රවලින් ප්‍රදර්ශනයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ඒ සඳහා මට අවස්ථාව ලැබුණේ නැහැ. ඉදිරියේදී අනිවාර්යයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනවා. ඊට අමතරව සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා.

0 comments:

Post a Comment