----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

දේපළ හරිහම්බ නොකළාට සැනසිල්ලේ ජීවත් වෙනවා

Tuesday, November 27, 2012

80 පිරුණු අයිවෝ ඩෙනිස් කියයි

ඔබට දැන් අවුරුදු 80 ක්...
ඔව්. මං උපන්නේ 1932 මැයි 28 දා. අසූව පිරිලත් ටිකක් කල්. හරියටම කිව්වොත් ප්‍රසංගය පැවැත්වෙන්නෙ අවුරුදු අසූවකුත් හය මාසයක් පිරෙන දවසෙ.
ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ...
ළතැවිල්ලක් නැහැ. වස්තුව දේපළ හරි හම්බ නොකළට මං සැනසිල්ලෙ ජීවත් වෙනවා. ආවෙ හෙමින් ගමනක්. වෙනස් ගමනක්. මිල මුදල් මත්තේ හඹා යන්න මං සංගීතය අවිචාරවත් ලෙස පාවිච්චි කළේ නැහැ. ඒ නිසාම තවමත් ගෙවන්නෙ අල්පේච්ඡ - සරල ජීවිතයක්. ඒ තුළ සැනසීම තියෙනවා.
ඒ කියන්නෙ ඔබේ ගුරු සුනිල් සාන්තයන් සේම ඔබත් සංගීතයෙන් හැදුණ කෙනෙක් නෙවෙයි...
ඔව්. මං ඒ ජීවන පාඩම ඉගෙන ගත්තෙ ඒ උත්තම ගුරුතුමාගෙන්.
ඇයි මේ ප්‍රසංගය, ‘කුරුලු පාරාදීසයේ..’ ලෙස නම් කළේ.
ඒ තමයි මං මුලින්ම ගැයූ ගීතය. 1956 වසරේ සංගීත වැඩසටහනකට. ඒ අනීතාවර්ජනය නිසයි ප්‍රසංගයට මේ නම යොදා ගැනුණෙ.
ඔබේ සංගීත ජීවිතය සහ සුනිල් සාන්තයන් යනු ගසට පොත්ත මෙන් බද්ධ වූ අතීතයක්...
ඔව්. එතුමා සමඟ මගේ ඇසුර පටන් ගැනෙන්නේ 1946 වසරෙන්. එතුමා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියේ 46 අවුරුද්දේ. ගුවන් විදුලියේ සංගීත වැඩසටහන් කරන ගමන් සංගීත ගුරුවරයෙක් ලෙසත් වැඩ කළා. ඔය කාලේ තමයි මම, ‘ආධුනික පැය’ වැඩසටහනට සුනිල්, සාන්තයන්ගෙ ‘වරෙන් හීන් සැරේ රිදී වලාවේ...’ ගීතය ගායනා කළේ. මේ ගීතය අහපුවම එතුමා මා ගැන හොයලා. පැටි‍්‍රක් දෙනිපිටියත් එතකොට ඔහුගේ සංගීත පන්තියේ ගෝලයෙක්. පැට්‍රික් මාව දන්නවා කිව්වම ‘බලන්න ආසයි ඒ ළමයා එක්ක එන්න...’ යි කියලා. ඒ හමුවීම තමයි, එතුමා මියෙන තෙක්ම අප අතර දැඩි බැඳීමක් ඇති කළේ.
මම ඔහුගේ ගෝලයෙක් වුණා. ඒ මඟ ගියා.
ඊට ඔබේ දෙමව්පියෝ කැමැති වුණාද...
මීගමුව මාරිස්ටෙලා සහ ලොයෙලා කොලේජ් එකේ ඉගෙන ගත් මම, දැඩි ආගමික පසුබිමක හැදුණු කෙනෙක්. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ මම වගේම මගේ තාත්තත් හිටියා. නමුත් සුනිල් සාන්තයන් මට ආරාධනා කළාම සංගීත අංශයෙන් ගමනක් යනවට අම්මා - තාත්තා දෙන්නම විරුද්ධ වුණා.
නමුත් සුනිලුන්ගේ සංගීතයේ ඇති සුවිශේෂී බව, වෙනස් ආර වටහා දී අමාරුවෙන් කැමැත්ත ගත්තා. ඔහු තනු නිර්මාණය කළ රන් වලාව, පංච මධුර, සීගිරි ගී, මධුර මධූ වැනි සංගීත වැඩසටහන් සියල්ලෙහිම ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ ගී සිය ගණනින් අදත් ගුවන් විදුලියේ තැටි ගබඩාවේ ඇති. සමහරවිට අප මැරිච්ච දාට ඒවා එළියට එයි. අසන්නට ලැබෙයි.
ගුවන් විදුලියේ ඔබේ ගීතවලට කෙනහිලිකම් සිදුවන හැඩයි...
මම කිව්වේ සිදුවන දේ. අප වැනි පෙර පරපුර ගායනා කළ, එකල අතිශය ජනපි‍්‍රය වූ ගීත මොනතරම් ප්‍රමාණයක් ගුවන් විදුලිය සතුව තිබෙනවද... නමුත් ඒවා ප්‍රචාරය කරන්නේ නැහැ. මේවා ඉතින් සදහටම නෑසුණු ගී බවට පත්වෙයි.
සුනිලුන්ගේ ගී ආර මොන තරම් මනරම්ද... මා වශීකෘත වූයේ කලබලයක් නැති ඔහුගේ ඒ විරල – අපූරු ප්‍ර‍්‍රභාවත් ගී හඬට.
ඔබටත් ඒ හඬ එසේම පිහිටලා...
ඒ ගැන මට තිබෙන්නේ ආඩම්බරයක්. සතුටක්. එය මා හිතා මතා අනුකරණය කරන හඬක් නොවේ. මා ඔහුව දැකවත් නැති ළාබාල තුරුණු වියේ පටන්මයි ඒ ගී ආරට පෙම් බැන්දේ. දෛවය ඒ හඬටම සමාන හඬක් මට ලබා දුන්නා. අද ප්‍රසංගයකට ගියත් මාධ්‍යයට ගීයක් ඇරැයුම් ලැබෙන්නෙම සුනිල් සාන්තයන්ගේ ගීත ගායනාවට. ගුරුතුමාගේ හඬ ජීවමානව අහන්නට කැමැති සහෘද ජනතාව වෙනුවෙන්, ගෝලයකුට එසේ ගායනා කරන්න ලැබීමත් වරමක්. මං ඒ ගැන හරි සතුටුයි.
කලෙකින් ඔබ මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කරන්නේ...
මෙය මා විසින් කරන දෙයක් නෙවෙයි. සුනිල් සාන්ත සමාජය සමග සිරස නාළිකාව තමයි මේ ප්‍රසංගය සහ උපහාර උලෙළ සංවිධානය කරන්නේ. ගායනාවෙන් තවම පොහොසත් වුණාට මෙවැනි දෙයක් කරන්න තරම් ආර්ථිකයක් මා සතුව නැහැ. ‘පැන්ෂන් ගුරු පඩිය’ අප ජීවත් කළාට එවැනි දේ පැන්ෂන් එකකින් හිතන්නත් අමාරුයි.
ඒත්, හොඳ වෙලාවට ඔබ ගුරු වෘත්තියේ යෙදුණේ...
ඒක ඇත්ත. 1959 පටන් තිස් පස් වසරක් මම සංගීත ගුරුවරයකු සේ කටයුතු කළා. විශ්‍රාම ගියේ වත්තල ශාන්තා ආනා විදුහලින්.
වෘත්තියෙන් ගුරුවරයෙක් නොවුණා නම් අද මේ පැන්ෂන් එකත් නැහැ. මගේ බිරියත් මමත් කාටවත් බරක් නොවී ලද දෙයින් සතුටු වන අය.
ඒත් ජනාධිපතිතුමා ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට සලකනවා. ඔබ යමක් නොඉල්ලුවෙ...
ඔව්. මමත් දැක්කා හරූන් ලන්ත්‍රාට ගෙයක් එහෙම ලැබුණා කියල පත්තරේ දාලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට තෑගි බෝග එහෙමත් දුන් බව දැක්කා. මේවා ඉතින් හොඳ වැඩ.
අද ඔබේ කල දවස ගෙවෙන්නේ...
ඉස්සර වගේම පාන්දර හතරහමාරට නැඟිටිනවා. කුස්සියට ගිහින් තේ හදනවා. රස්සාවට යන දූට කෑම හදන්න උදව් වෙනවා. පල්ලියේ ගීතිකා කණ්ඩායම් පුහුණු කරනවා. විද්‍යුත් මාධ්‍යයේ ආරාධනා ලදොත් ගායනා කරනවා.
මේ ප්‍රසංගයේ ඔබ සමඟ මිණිබිරියත් ගායනා කරන බව කීවා...
ඔව්. මගේ දූ ගේ දූ. අවුරුදු හතහමාරයි එයාට. මේ ප්‍රසංගයේ එන රේඛාව චිත්‍රපටයේ මා ගැයූ, මර්සලීන් ජයකොඩි පියතුමා ලියූ, ‘අනුරාධපුර - පොළොන්නරුව සීගිරි මන බන්ධනීය කුලුනු පිළිම, බිතු සිතුවම් නෙක සිතුවිලි රංජනීය’ කියන විරිදු ආරේ ගීය ඈ මා සමඟ ගායනා කරනවා. මගේ දූ, ගීතා නිමාලි සහ පුතු තුසිත පින්සිරි දෙන්නම සංගීතයේත් ගායනාවේත් දක්‍ෂයි. නමුත් ඒ දෙන්නම සංගීතයට යොමු වනවාට මා කැමැති වුණේ නැහැ. දූ විවාහ වෙලා, පුතා තවම අවිවාහකයි.
මෙහි ඔබ සමඟ ගයන්නේ...
ගීත 22 ක් ගායනා කරනවා. මා ගීත 12 ක් තනිව ගායනා කරනවා. ඒවා මගේ සහ සුනිල් සාන්තයන්ගේ ගීත. ටී.එම්, එඩ්වඩ්, නෙලූ අධිකාරි, සුනිල් සාන්තයන්ගේ සෙසු ගීත ගායනා කරනවා. නවරත්න ගමගේ තමයි සංගීතය මෙහෙයවන්නේ. මේ දවස්වල අපි හැමෝම පුහුණුවීම්වල. බොහොම සුරම්‍ය රාත්‍රියක් ප්‍රේක්‍ෂකයාට විඳින්න සැලැස්වීමයි මගේ එකම බලාපොරොත්තුව.
ඉතින්, ඔබට දීර්ඝායු...
කවදාවත් නොමියෙන සුනිල්ගෙ හඬට පෙම් බඳින සුවහසක් රසිකයින් කරන ඒ ප්‍රාර්ථනාව, තව තවත් අපට දිරි දෙනවා. එයට පින්!
Silumina

0 comments:

Post a Comment