----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රඟපාන්න ආවේ සල්ලි හොයන්න නෙමෙයි

Tuesday, November 27, 2012

චංචලා වර්ණසූරිය
කලා ක්‍ෂේත්‍රයේ වැඩ කටයුතු නිසා මේ දිනවල ඔබ කාර්ය බහුලද?
ඔව්. තරමක් කාර්ය බහුලයි. මොහාන් නියාස්ගේ ‘ඉසුරු විමන’ටෙලි නාට්‍යයේත්, චන්දන ධර්මප්‍රිය සහ නාලකගේ ‘දිය මත අඳිමි’ ටෙලි නාට්‍යයේත් රූපගත කිරීම්වලට දායක වෙනවා.
ඔබ රංගනයෙන් දායක වී ඇති, මේ වන විට වැඩ නිමවී ඇති නිර්මාණ පිළිබඳවත් සඳහන් කරන්න....
මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය 6ක් පමණ තියෙනව. ඒ වගේම ජයසේකර අපොන්සුගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේත්, මොහාන් නියාස්ගේ ‘අපි මැරෙන්නේ නෑ’ චිත්‍රපටයේත් වැඩ මේ වන විට අවසන්. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම චිත්‍රටපටය වන ‘සමනල දනව්ව‘ චිත්‍රපටයේ මම ආරාධිත රංගනයක් ඉදිරිපත් කරනවා. ජයන්ත චන්ද්‍රසිරි වැනි නිර්මාණකරුවකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම සතුටක්.
ඔබ හිතන විදියට අපේ රටේ ප්‍රේක්ෂකයින් ඔබව හඳුනාගත්තේ කුමන නිර්මාණයෙන්ද?
මම හිතන විදියට ‘ගුරු ගීතය’ ටෙලි නාට්‍යයේ මේධාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයින් අතරට යන්න මට අවස්ථාව ලැබුණ කියල මම විශ්වාස කරනවා. මඟතොටේදි මට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ඒ බව හොඳින් පැහැදිලි වුණා.
එසේ වුවත් මගේ පළමු ටෙලිනාට්‍යය වන “සීතාම්බර සළු” ටෙලිනාට්‍යයට තමයි මම තවමත් කැමැති. ඒක මොහාන් නියාස්ගේ අධ්‍යක්ෂණයක්. මම ඒ ටෙලි නාට්‍යයට වඩාත් කැමැති ඒක මගේ පළමු ටෙලි රංගනය නිසාම නෙමෙයි. ගොඩක් දෙනෙක් ‘සීතාම්බර සළු’ ටෙලි නාට්‍යයේ බිනරිගේ චරිතය මට කරන්න බැරිවෙයි කියල කියද්දි එහි අධ්‍යක්ෂවරයාත් මමත් ඒ චරිතය මට හොඳින් කරන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරල ඒක කර පෙන්වු නිසයි. ඒ වගේම ‘සීතාම්බර සළු’ ටෙලි නාට්‍යයට මම ආශා කළ තවත් හේතුවක් තිබුණා. ඒ තමයි රවීන්ද්‍ර රන්දෙනිය, සුවිනීතා වීරසිංහ, සංගීතා වීරරත්න වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ මගේ පළමු රංගනය ඉදිරිපත් කරන්න ලැබීම.
ඔබ රඟපාන්න කැමැත්තෙන් සිටින චරිතයක් එහෙම තියෙනවද?
කලාකාරිනියකගේ චරිතයක් නිරූපණය කරන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ. මීට පෙර අවස්ථා තුනකදී මට කලාකාරිනියකගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබිල තියෙනව. නමුත් එම රංගන තුළින් මට ඕන කරන දේ කියාගන්න අවස්ථාවක් මට තවම ලැබිලා නෑ.
මොකක්ද ඔබට කියන්න ඕන දේ?
කලා ශිල්පිනියන් දෙස වැරදි කෝණයකින් බලන්න අද සමාජයේ ඇතැම් දෙනා පෙලඹිලා තියෙනවා. මම දන්නෙ නෑ ඒක අපේ රට වගේ තුන්වැනි ලෝකයේ රටවල ලක්ෂණයක්ද කියල. නමුත් දියුණු රටවල මෙහෙම නෑ. මම ඉපදුණේ ප්‍රංශයේ. ඒ රටේ කලා ශිල්පිනියන්ට සමාජයේ විශාල ගෞරවයක් තියෙනවා. කලාශිල්පිනියන් ගෙන් පමණක් නෙමෙයි සමාජයේ ඕනෑම මට්ටමක ඉන්න අයකුගෙන් වැරදි සිදුවෙන්න පුළුවනි. ඒක මනුෂ්‍ය ස්වභාවය. නමුත් හිතාමතා වැරදි නොකරන කලා ශිල්පිනියන් ඕනෑ තරම් මේ රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න බවයි මට කියන්න ඕන. ඒ චරිතය රඟපාන්න ලැබුණු දවසට මම ගොඩාක් සතුටු වෙනවා.
රංගනය ඔබේ වෘත්තියද?
නැහැ. රඟපෑම මගේ වෘත්තිය නෙමෙයි. නමුත් මම වෘත්තීය මට්ටමින් රංගනයේ යෙදෙනවා. මම මේ ක්‍ෂේත්‍රයට ආවෙ සල්ලි හොයන්න නෙමෙයි. රංගනයට ඇති ආශාව නිසාමයි. රංගන හැකියාව මට උපතින් ලද දෙයක් නිසා. අපේ පවුලට හිමි ව්‍යාපාරවලට මමත් සම්බන්ධයි. එයයි මගේ වෘත්තිය.
රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ සතුටු වෙනවද?
ඇත්තෙන්ම සතුටුයි. කලාවට සම්බන්ධ වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒ අවස්ථාව මට ලැබිල තියෙනව. ඒ වගේම සමාජය සුවපත් කිරීමේ විශාල හැකියාවක් කලාකරුවකුට තියෙනව.
රඟපෑම ලෙහෙසි දෙයක්ද?
නෑ කොහෙත්ම නෑ. ඕනෑම කතාවක ලියවෙන චරිතයක් කාගේ හරි ජීවිතයේ කතාවක්. තවත් කෙනකුගේ චරිතයක් නිරූපණය කරන විට ඒ චරිතය හොඳින් තේරුම් අරගෙන ඒ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම ලෙහෙසි වැඩක් නෙමෙයි. හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න නම් අපි ඒ චරිතයට ආරූඪ වෙන්න ඕන. එහෙම නොවුණොත් ඒ රංගනය සාර්ථක නෑ. ඒ නිසා රඟපෑම ලේසි දෙයක් කියල මම හිතන්නේ නෑ.
“දිය මත අඳිමි” ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය මොනවගේ චරිතයක්ද?
මේ කතාව සුධර්මා නෙත්තිකුමාරගේ කතාවක්. මේ කතාව ගෙතිල තියෙන්නෙ පසුගිය කාලෙ අපේ රට වෙලාගෙන තිබුණු යුද්ධය වටා. මෙහි මම නිරූපණය කරන්නේ ගුවන් නියමුවකුගේ බිරියගේ චරිතය. යුද්ධයේ දී මෙම ගුවන් නියමුවා අතුරුදන් වෙනවා. තම ගුවන් නියමු සැමියා කවදාහරි ගෙදර එයි කියලා ඒ බිරිය මඟ බලාගෙන ඉන්නවා. මගේ ජීවිතයේ මම නිරූපණය කළ ඉතාම සංවේදී චරිතයක් ඒක.
ඔබ ආගම දහමට ලැදි කෙනෙක් ද?
ඔව් මම බුදු දහමට අනුව ජීවත්වෙන්න සැමවිටම උත්සහ කරන කෙනෙක්. මම බුදු දහමට ගරු කරන්නෙ එය විශ්වාස කරන්නෙ දිව්‍ය ලෝකයත් අපායත් මිහිපිටම දැකගන්න පුලුවන් නිසා.
ඔබේ ගායන හැකියාවට ඉඩක් ලබාදෙන්න කැමැති නැතිද?
Killing me Softly ගීතය තව ආරකින් ගායනා කරල මුලු ලෝකයම ජයගන්න මට හැකිවුණා. ඒ නව ගීතයේ අයිතිය දැන් මගේ. මගේම කියල සිංහල ගීත එකතුවක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
ඔබ දැන් වේදිකා නාට්‍යවලින් දුරස්වෙලාද?
මම වේදිකා නාට්‍යවලට හරිම කැමැතියි. නමුත් වේදිකා නාට්‍ය සමඟ රටවටා යන්න තරම් කාලයක් මට නෑ. ඒ නිසා මම වේදිකාවෙන් තරමක් දුරස් වුණා.
ඔබේ පෙම්වතා පිළිබඳවත් කියන්න කැමැතිද?
ඒ ගැන වෙන දවසක කියන්නම්.
එතකොට ඔබ ආදරය ප්‍රේමය දකින්නේ මොන විදියටද?
කෙනෙක් තව කෙනකුට ගරු කරනවා නම්, එයාව විශ්වාස කරනවා නම්, ආරක්ෂා කරනවා නම්, අගය කරනවා නම්, මඟපෙන්වනවා නම් එතැන නියම ආදරය තියෙනවා කියල මම හිතනව.
ඔබ ඇස්වලට කාච පලඳිනවද?
නැහැ. මේ මගේ ස්වභාවික ඇස්. ගොඩක් දෙනෙක් හිතන්නෙ මම ඇස්වලට කාච දාල කියල.

0 comments:

Post a Comment