----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

හිතුවක්කාර ජන නායකයා

Monday, November 19, 2012

හිතුවක්කාර ජන නායකයා

ප්‍රේම් දිසානායක
දේශීය බලවේග, ජාත්‍යන්තර බලවේග හමුවේ සිය දේශපාලන ජීවිතයේ ස්ථාවරභාවය ලංසුවට තබා මේ අතිශය අවදානම් එඩිතර තීරණයට එළැඹෙන්නට අවංක සෘජු නායකත්වයක් මෙන්ම ඒ නායකත්වය නිබඳව මෙහෙයවන කිසියම් හිතුවක්කාරකමක් ද අත්‍යවශ්‍ය වෙනවා.
මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පත් වූ අතිශය පරිණතම දේශපාලන නායකයා හැටියට හඳුන්වන්න පුළුවන්. සිය පරිණතභාවය තම ධූර කාලය තුළ දී සැබෑවටම ඔප්පු කළ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එකම නායකයා හැටියට එතුමා නම් කිරීම නිවැරැදියි. මේ රටේ ජනාධිපති පදවියට පත් ජනාධිපතිවරුන් සිව්දෙනකු සිය පාලන කාලය තුළ දී විසඳිය යුතුව තිබූ බලගතු ජාතික ප්‍රශ්නයට සැබෑ විසඳුමක් ලබා දුන් එකම නායකයා හැටියට මහින්ද රාජපක්ෂ නාමය මේ රටේ ඉතිහාසයේ ස්වර්ණමය මුද්‍රාවක් හැටියට සර්වකාලීනව දිදුලනු නිසැකයි.
එතුමාට කලින් මේ රටේ ජනාධිපති පදවියට පත් වූ ජනාධිපතිවරුන් සතර දෙනා විසින් සිය ධූර කාලයන් තුළ දී විසඳනු ලැබිය යුතුව තිබූ ප්‍රශ්නයට නිසි විසඳුම් සෙවීම පසෙක ලා තම දේශපාලන පැවැත්ම පමණක් අපේක්ෂාවෙන් කටයුතු කිරීමේ අවාසනාවන්ත ඉරණම නිසා මුළුමහත් ජාතියටම එහි දරුණු විපාක විඳින්නට සිදුවුණා. ජාතික දේහය පුරාම ඔඩු දුවා පැතුරුණු පිළිලයක් බවට රුදුරු ත්‍රස්තවාදය පත් වූයේ යටකී ජනාධිපතිවරුන්ගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් නිසා බැව් ඉතා කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව තිබෙනවා.
තිස් වසරක් පුරා ලොව දරුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය ලෙසින් එල්.ටී.ටී.ඊ.යට යුදමය වශයෙන් සන්නද්ධව අතිශය දරුණු ම්ලේච්ඡ ක්‍රියාකාරකම්වල යෙදෙමින් සිය ආධිපත්‍ය තහවුරු කරගැනීමේ කඩඉම කරා ළං වන්නට හැකි වූයේ ඒ අදූරදර්ශී අවස්ථාවාදී කුහක දේශපාලන පිළිවෙත් නිසායි.
තමන් ජාත දේශයේ සැබෑ නිදහස වෙනුවෙන් ස්ථිරසාර විසඳුමක් ලබා දෙන උත්සාහයේ දී දෙබිඩි දේශපාලන න්‍යායන් කරපින්නා ගනිමින් ද, ලෝක බලවතුන්ගේ ඕනෑඑපාකම්වලට නිවට ලෙස නතු වෙමින් ද කරනු ලැබූ දේශපාලන සෙප්පඩ විජ්ජාවේ තරාතිරම තිස් අවුරුද්දක් පුරා විනාශ වූ දේපළ හානිය, සිදු වූ මිනිස් ඝාතන හා ජාතික ආර්ථිකයේ බිඳ වැටීමෙන් මොනවට පැහැදිලි වෙනවා.
මුළු ජාතික දේහයම වෙළාගත් රුදුරු ත්‍රස්තවාදය මිනිස් සිත්සතන් භීතියෙන්, සන්ත්‍රාසයෙන් හා සාංකාවෙන් වෙළා ගනු ලැබුවා. රටේ ජනතාව අතර දකින්නට ලැබුණේ සතුටින් සොම්නසින් පිරුණු මුහුණු වෙනුවට දුකින් මැලවුණු, සොවින් තැවුණු මුහුණු පමණයි. හැම අතකින්ම පෙනුණේ රුදුරු ත්‍රස්තවාදයේ බියකරු සෙවණැලි ලෙසින් කඩා වැටුණු, විනාශ වුණු, ගිනිගෙන අළු දූලි බවට පත්වුණු ජාතික දේපළයි. මේ ගිනි ගත් දේශයට සාමයේ අරුණළු සොයා සැබෑ විසඳුමක් අපේක්ෂාවෙන් ජනවරමක් පැතූ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වශයෙන් සිය දේශපාලන පොරොන්දුව අකුරටම ඉටුකරමින් සිය ධූර කාලය වසර හතරක් නිම වෙන විට ඒ ශාපයෙන් මුළු ශ්‍රී ලංකාවම මුදාගන්නට සමත් වුණා.
ලංකාවේ ජනාධිපති වංසකතාවේ එතුමා අමරණීය වන්නේ ඒ නිසයි. ජනාධිපතිවරුන් සතර දෙනකු විසින් නොසලකා හරිනු ලදුව ඔඩුදුවා තිබූ මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙසින් මේ තීරණයට එළැඹීමේ දී මුහුණ දෙන්නට සිදු වූ තර්ජන, ගර්ජන, නින්දා අපහාස, අභියෝග සුළුපටු ඒවා නොවේ. දේශීය බලවේග, ජාත්‍යන්තර බලවේග හමුවේ සිය දේශපාලන ජීවිතයේ ස්ථාවරභාවය ලංසුවට තබා මේ අතිශය අවදානම් එඩිතර තීරණයට එළැඹෙන්නට අවංක සෘජු නායකත්වයක් මෙන්ම ඒ නායකත්වය නිබඳව මෙහෙයවන කිසියම් හිතුවක්කාරකමක් ද අත්‍යවශ්‍ය වෙනවා.
වත්මන් ජනාධිපතිතුමා ඒ අභියෝගයට මුහුණ දුන්නේත්, ඒ අභියෝගය ජය ගත්තේත් තමන්ට සහජයෙන් පිහිටි දේශපාලන හිතුවක්කාරකම නිසා බව මගේ හැඟීමයි. එතුමාගේ දේශපාලන ජීවිතයේ හැමදාම අපට දකින්නට ලැබුණේ එබඳු දේශපාලන හිතුවක්කාරකම්. සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙසින් පටන්ගෙන විධායක ජනාධිපති ධූරය දක්වා එතුමා පැමිණි දුෂ්කර ගමන්මඟ එබඳු දේශපාලන හිතුවක්කාරකම්වලින් ගහනයි.
උතුම් මවුබිමට අතිජාත පුත්‍රයකු හැටියට සිය රට දැය වෙනුවෙන් මේ ඓතිහාසික යුතුකම ඉටු කරන්නට දේශපාලකයකුට අවංක උවමනාවක්, සැබෑ කැපවීමක් හා සෘජු නායකත්වයක් තිබිය යුතු වෙනවා. ලංකාවේ දේශපාලනයේ මෙබඳු සැබෑ උවමනාවන් තිබූ පරමාදර්ශී අවංක ජන නායකයින් ඉතා විරලයි. මහින්ද රාජපක්ෂ දේශපාලනඥයා අයත් වන්නේ එබඳු පරමාදර්ශී දේශපාලන චරිතයක් හැටියටයි.
පුද්ගලවාදය සහ පටු පරමාර්ථ මත පමණක් යැපෙන ශ්‍රී ලංකාවේ පවතින අවස්ථාවාදී දේශපාලන ක්‍රමය තුළ මෙබඳු ජාතික මෙහෙවරක් පවා අවඥාවට, අවතක්සේරුවට ලක් වනු දැක්ම ඉතාම සංවේගයට කරුණක්. තිස් වසරක රුදුරු ත්‍රස්තවාදය නිමා කිරීම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අත්‍යවශ්‍යම ජාතික මෙහෙවරක් බැව් ඉතා පැහැදිලි කරුණක්. එමෙන්ම ලෝක දේශපාලනයේ ත්‍රස්තවාදයට එරෙහිව ගනු ලැබූ අභීත එඩිතර පියවරක් බව ද අවිවාදාත්මකයි. තිස් අවුරුද්දක් පුරා මේ රුදුරු ත්‍රස්තවාදයෙන් බැට කමින්, පුද්ගල හා දේපළ නාස්තියට යටත්ව අපා දුක් විඳිමින් බියෙන් ත්‍රස්තව තමන් ගතකළ ජීවිතය අද බොහෝ දෙනකුට අමතකව ගිහින්. පියවි දෙනෙත් කුහක දේශපාලන කඩතුරාවෙන් වසා ගත් අවස්ථාවාදීන් අද මේ උතුම් ව්‍යායාමය ලඝුකොට සලකනු ලැබීම ඛේදජනකයි. සිංහලයා වනාහී සිදු වූ දෑ සතියෙන් අමතක කරන අකෘතඥ කළගුණ නොදත් ජාතියක් ලෙසින් ප්‍රභාකරන් කළ හැඳින්වීමට උඩ ගෙඩි දෙන්නේ මෙබඳු අවස්ථාවාදීන්මයි.
ජනාධිපතිවරුන් සිව්දෙනකුටම විසඳීමට අපොහොසත් වූ අතිශය සංකීර්ණ බලගතු ජාතික ප්‍රශ්නය සිය ධූර කාලයේ දී සාර්ථක ලෙස විසඳීම මඟින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරුන් හතර දෙනකුගේ කාර්යයන් තනිවම කර තිබෙන බැව් පැහැදිලියි.
මේ නිසා ත්‍රස්තවාදයෙන් මේ රට මුදා ගැනීම හැර අන් කිසි දෙයක් නොකළත් එතුමන් සිය ධූර කාලය තුළ දී සිව්ගුණයකින් සිය යුතුකම ඉටුකර ඇති බැව් පැවැසිය යුතුය.
යුද්ධයෙන් දිනාගත් රට විනාශයෙන් මුදාගෙන ස්ථාවරත්වයට පත්කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය ද සාර්ථක ලෙසින් නිමා වෙමින් පවතිනවා.
තිස් වසරක් යුද අණසකට යටත්ව පැවැති රටක ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම ඇතැමෙකු කොට්ට උරයක් අනික් පැත්ත හරවනවා වගේ අසුරු සැණින් කළ හැකි ඉතා සරල දෙයක් ලෙසින් සලකනු බැව් පෙනේ. මේ සියල්ල දේශපාලන කුහකකමේ සහ අඳබාලකමේ බංකලොත්භාවය මිස අන් කිසිවක් නොවේ.
යුද්ධයෙන් දිනාගත් රට සංවර්ධනය කරා යොමු කිරීමේ අති දැවැන්ත කාර්යභාරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඊළඟ මහා සංග්‍රාමයයි.
මුළු රටේම මහා මාර්ග හා මංමාවත් 80%ක් පමණ සංවර්ධනය වී හමාරයි.
වරාය, ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ, නිවාස යෝජනා ක්‍රම ඇතුළු විස්මිත යෝධ සංවර්ධන කාර්යයන් සාර්ථකව නිම වෙමින් පවතිනවා. තිස් අවුරුද්දක් පුරා කඩා වැටී මියැදුණු සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යෝධ අවන්හල්, සංචාරක නිකේතන ඉදිවෙමින් තිබෙනවා. අති දැවැන්ත මහල් සංකීර්ණ කුලුනු අගනුවර අහස සිසාරා ගොඩනැඟෙමින් පවතිනවා.
මෙම යෝධ සංවර්ධන ක්‍රියා ඔස්සේ ආසියාවේ ආශ්චර්ය කරා ශ්‍රී ලංකාව රැගෙන යන ගමන පිළිබඳ විශ්වාසදායී බලාපොරොත්තු සහගත මංසලකුණු අප දෑස් ඉදිරියේ දකින්නට පුළුවන්.
එතුමා පැමිණි ගමන් මඟ පිළිබඳ ජනතාවගේ විශ්වාසය දිනා ගත්තා වගේම ඉදිරි ගමන්මඟ පිළිබඳව ද ජනතාව ඉමහත් විශ්වාසයකින් සිටින බව සහතිකයි. යුද්ධයේ දී මෙන් ම ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී ද එතුමාට මේ සඳහා ගල් පෙරළන දේශපාලන දේවදත්තයන් මේ රටේ හිඟ නොවේ. ඒ කෙතරම් බාධක හමුවේ වුව ද සිය අභිමතාර්ථ කරා තම මවුබිම රැගෙන යන්නට මේ හිතුවක්කාර ජනනායකයාට ශක්තිය ධෛර්යය හා ආත්ම විශ්වාසය පවතින බැව් සහතිකයි.
තිස් වසරක ශාපලත් යුද්ධයෙන් මුළු රට දිනා එක්සේසත් කර ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා රැගෙන ගොස් මුළු ආසියාවේම අසිරිමත් රටක් හැටියට ශ්‍රී ලංකාව දිදුලවන අසහාය ජන නායකයා හැටියට මහින්ද රාජපක්ෂ නාමය ලෝක දේශපාලන ඉතිහාසයේ ද සදානුස්මරණීය වනු නියතයි.

ජෝජ් රොබ්සන් ද සිල්වා
Silumina

0 comments:

Post a Comment