----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මගෙ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි

Thursday, November 1, 2012


හිතට ඕනෑවට වඩා මං දුක් දෙන්නේ නෑ

- සංජීවනී විරසිංහ
ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම
තාමත් දයාබරයි
දෑසින් නොදකින ඈතක උන්නත්
සිත විමසන්නේ ඔබේ ගැනයි...!
(පද - හේමසිරි හල්පිට)
ඉස්සර වාගේම තවමත් ඇය ගයන්නීය. කෙළිලොල් දඟකාර යුවතියක මෙන් සුරතල් වෙමින් ගයන්නී සැණෙකින් ආදරණීය පතිනියක සහ මවක වී රඟන්නී ය. එසැණින්ම ඇය නිවේදිකාවක වී සුපැහැදිලි හඩින් ළෙන්ගතුව අප අමතන්නී ය. මේ අපූර්ව සුසංයෝගය එක ගැහැනියක තුළින් අප අභිමුව ජීවමාන කරවන්නී ඇය සංජීවනී වීරසිංහ ය.
සංජීවනී මෙවර ‘ස්වර වර්ණ’ වර්ණ ගන්වන්නට අප සමඟ එක්වූවේ ‘කියන්න දේවල් ගොඩක් තියෙනවා’යි සතුටින් පවසමින් ය. (දිගු කලකට පසු ඇයත් මාත් මෙවැනි පිළිසඳරකින් හමුවීම වර්ණවත් කරමින් පෙරදා සුපුරුදු සෙනෙහසින්ම නොවෙනස්ව හිනැහී හිනැහී..)
”කෑම, බීම, ව්‍යායාම, මානසික සුවය ශාරීරික නිරෝගිකමට වගේම රුවටත් බලපානවා. සිත පිරිසුදුව සතුටින් ඉන්න කාගේත් රුව ලස්සන වෙනවා. මට මගේ ජීවිතයට ආදරණීය දෙමවුපිය යුවළත් උන්නා. සහෝදර සහෝදරියන් උන්නා.
ඒ වගේම දැන් මාව තේරුම් ගත් ආදරණීය ස්වාමි පුරුෂයෙකුයි (සුසන්ත) දුවෙකුයි (සංජානි) පුතෙකුයි (සංජය) ඉන්නවා. අපිට දෙවියන් වහන්සේ ආශිර්වාද කළ යහපත් යුග ජීවිතයක් සහ දුකක් නැතුව ජීවත් වෙන්න පිළිවෙළක් ලැබී තියෙනවා. විශේෂයෙන්ම කලාකාරිනියක් විදිහට මට මේ රටේ හොඳ පිළිගැනීමකුත් ලැබී තියෙන නිසා මං සිනාසී සතුටින් සැහැල්ලුවෙන් උන්නේ නැත්නම් වෙන කවුරු මෙහෙම ඉන්නද. ඒ ඉස්සර මමම තමයි තාමත් හැමදාමත් මැරෙනකම්ම ඉන්නේ.”
ඔබේ සිතට දුකක් දැනෙන්න ඔබ දෙන්නෙම නැද්ද..?
”දුක වේදනාවන්ගෙන් අපේ සිත් කම්පනය වෙන්නේ අප නොදැනුවත්වමනේ. එහෙම වුණාම දුක දැනෙනවා. එවිට මම එම තත්ත්වයන් තේරුම් අරගෙන සිතට ඕනෑවට වඩා දුක් නොදී ඉන්න වෑයම් කරනවා. හැබැයි තවමත් මට මගේ තාත්තිව මතක් වෙන හැම මොහොතකම දැනෙන දුක නම් කියලා ඉවරයක් කරන්න බැහැ. මෑතදී මගේ සිත ගොඩාක් දුක්වුණා, නොසැලකිලිමත් රියදුරන් නිසා අපේ අසල්වැසි නිවෙසක අම්මයි දුවයි ජාඇළ දී හදිසි අනතුරකින් මියගිය විටදී.
තව සිද්ධියක් වුණා අවුරුද්දකට පමණ පෙර මගේ පුතාගේ යාළුවෙක් ඩෙංගු හැදිලා රෝහල්ගතවෙලා සිටිද්දි වෛද්‍ය ප්‍රතිකාර වැරදීමෙන් මිය යාමෙන්. ඒ මරණ සිද්ධ වුණේ අනුන්ගේ වැරදි නිසා. ඒ නිසා මතක් වෙද්දි දුක දැනෙනවා. වාහන පදවන රියදුරන් වගේම මහපාරේ ගමන් කරන අයත් සැලකිලිමත් වෙනවා නම් අකාලයේ මිනිස් ජීවිත වැනසෙන්නේ නැහැ. වැරදි කරන අයට දැඩි දඬුවම් දෙනවා නම් මෙවැනි වැරදි අඩු වෙයි කියා මට හිතෙනවා.”
ඔබේ කලා දිවියේ අලුත් තොරතුරු කොහොමද?
”සංගීත ප්‍රසංගවලදී ගී ගයන්නයි, ටෙලිනාට්‍ය රූපගත කිරීම්වලටයි සහභාගි වෙනවා. ගායිකාවකට වඩා නිළියක් වෙන්නයි මං පුංචි කාලේ ඉඳලම ආසා කළේ. මේ දිනවල විකාශය වන ‘ඡායා’ (සිරස) සහ ‘විසුල අහස යට’ (හිරු) ටෙලි නාට්‍ය දෙකෙන්ම මගේ රඟපෑම් නරඹන්න මගේ ප්‍රේක්ෂකයින්ට පුළුවන්. ‘විසුල අහස යට’ මා රඟපාන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ බිරිය ලෙසයි.
රෝද පුටුවක ඉඳගෙන මා මෙහි කරන රඟපෑම හරිම ආස්වාදනීය යි. රඟපාන්න රෝද පුටුවේ ඉඳගන්නා විටදී ම ඇඟ පණ නැතුව යනවා වගේ දැනෙන තරමට දැන් මේ චරිතය මට හුරු පුරුදු වෙලා. රඟපෑමේ දී මට ‘කෙල්ල’ම වෙන්න අදහසක් නැහැ. අම්මා චරිතයත් මං රඟපෑවා. නීටා ප්‍රනාන්දුගේ ‘ස්වර’ චිත්‍රපටයේ ජීවන් කුමාරතුංගගේ නංගී ලෙස රූප රාමු කිහිපයක සාර්ථක රඟපෑමක් ඉදිරිපත් කළා. චිත්‍රපටය තිරගත වුණාම බලන්නකෝ, එහි අපූර්වත්වයක් ඇති බව හැඟේවි ඔයාලටත්.”
කාලෙකින් ඔබේ නව නිර්මාණයක් අපට අහන්න ලැබුණේ නැහැනේ..?
”මොකද නැත්තේ.. ම්..ම්.. ලස්සනම ලස්සන සින්දුවක් මං ළඟදි කළා - දම්පාට හැන්දෑවෙ‘ කියලා. මේ ගීතයට ලස්සන රූප රචනයකුත් අපි නිර්මාණය කෙරුවා. අන්තර් ජාලයේ කධභ ඊභඡඥ එකෙන් රසවිඳින්න පුළුවන් දැන් මගේ මේ ගීතය.”
 
දම්පාට හැන්දෑවෙ
හමුවන්න ගං දෑලේ
එනවාද වේලාසනින්
සතියක්ම හිර වෙච්ච
පෙම් ගීත අහගන්න
ඔබ ඉන්න මා ළඟින්
හෙළවෙන්නෙපා මා ළඟින්...!

(පද - ෂෙහාන් ගලහිටියාව)
අනුන්ගේ ගී ගායනය කළ බවට ඔබට තිබෙන චෝදනාව ඔබ පිළිගන්නවාද?
”නැහැ. මං අනුන්ගේ ගීත කවදාවත්ම ගායනය කරලා නැහැ. අඩුම වශයෙන් මගේ අම්මා (චන්දා ද සිල්වා විරසිංහ) ගේ ගීතයක්වත් මං ගායනා කරලා නැහැ. ඔය චෝදනාව මට කරන්නේ කවුද, මොනවාද මම ගායනා කරලා තියෙන එම ගායිකාවගේ ගීත කියලා මට කියන්න පුළුවන් නම් ගායනා කළ ඇගේ ගීත මේවාය කියා ඔප්පු කරන්න කියලා ඇයට කියන්න. එහෙම ඔප්පු කළෝතින් මම අදම ගීත ගායනයෙන් ඉවත් වෙනවා. හැබැයි ඇති තරම් හින්දි ගී තනුවලට නම් මං ගීත ගායනා කරලා තියෙනවා. ඒ වගේම පිළිතුරු ගීත ගයා තිබෙනවා. එම ගීත මේ අභියෝගයට ඇතුළත් වෙන්නේ නැහැ.”

0 comments:

Post a Comment