----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සුනිල් ආර්.ගමගේ ලියූ ඔබ පෙම් කරනා ගී රැසක් දැන් එකම තැටි මංජුසාවකින්

Thursday, November 1, 2012


ප්‍රවීණ ගීත රචක සුනිල් ආර්.ගමගේ ලියූ ගී රැගත් සංගත තැටි 6ක් ඇතුළත් ’ඔබ පෙම් කරනා ගී’ සංගත ගී තැටි මංජුසාව පසුගිය දා එළිදුටුවේය. මේ ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.
රාත්‍රිය බෙහෙවින් නිහඬය. ඒ නිහඬ රාත්‍රියේ පෙම්වතියකට සිහිවන්නේ තම පෙම්වතාවය. ඔහු සමඟ කතාකිරීමට ඇති දේය. ඇය රැයෙහි අමතන්නේ ඔහුටය. මේ සුනිල් ආර්.ගමගේ ගීත රචකයා දුටු පෙම්වතියයි. ඇගේ සිතුවිලියි.
”රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු වුණේ ඇයි හිමි සඳුනේ..”
සුනිල් ප්‍රේමය විවිධ ලෙස දකින්නේ ය. ඔහු ලියන ගී බොහෝමයක් රසිකයා ඇද බැඳ තබා ගන්නට සමත් ය. කාලය බොහෝ වේගයෙන් ගෙවී ගිය ද මීට වසර දහයකට පහළොවකට පමණ පෙර සුනිල් ලියූ ගීත රසික මනසේ තැන්පත් වී ඇත.
සුජාතා අත්තනායක ගැන ‘මංගල කසී සළු’ ගීතය සුනිල් ගේ නිර්මාණාත්මක ජීවිතය වෙනස්ම මඟකට ගෙන ආවේය. සුජාතා එය ගැයුවේ ගුවන්විදුලි සරල ගී වැඩසටහනක් සඳහා ය. පසුකාලීනව ඔහු තනුවක නිර්මාණයකට ද ගීතයක් ලීවේය. එය ද ගැයුවේ සුජාතා අත්තනායකය. “පෙම්වත තරහ වෙලා” එම ගීතයයි. එතැනින් ඇරඹුණු සුනිල්ගේ ගී මඟේ අපට විවිධ ලෙස ලියැවුණ ගීත හමුවේ. ඒ අතර රසික සිත් ඇද බැඳ තබාගැනීමට සමත් වූ ගීත සමූහයක් ද වේ.
සුනිල් විසින් කලකට පෙර ලියන ලද මේ ගීතය එකල ගුවන් විදුලියේ තිබූ ‘නව පදමාලා’ වැඩසටහන සඳහා තැපැල් කළ ගීතයකි. කෙසේ හෝ මේ ගීතය විශාරද ගුණදාස කපුගේ අතට පත්වීමෙන් ගීතයට සාධාරණයක් ඉටුවිය.
මේ ගීතය එකල පමණක් නොව අද ද පෙම්වතුන් අතර බෙහෙවින් ජනප්‍රියය. එය විරහ වේදනාවේ තවත් ඉසව්වකි.
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම්කරනා සඳ
මට ද ආදරෙයි කියා තිබේ
ඔහු ඇයට වෛර කරන්නේ නැත. බැණ අඬගසන්නේ නැත. එහෙත් චපල ගැහැනියකට පෙම් කිරීමෙන් තමන් විඳවන බව ඔහු නොකියා කියයි. ඔහු එසේ කියන්නේ ඇයත් සමඟ ගතකළ අතීතය සිහිපත් කරමිනි.
පෙම්වතියගේ පෙර දවස පෙම්වතා නව පෙම්වතාට අනතුරු අඟවන්නා සේය. සුනිල් ගේ මේ ගීතයේ පමණක් නොව ඔහුගේ බොහෝ ප්‍රේම ගීත සංයමය අඩංගුය. ඒ ඔහුගේ නිර්මාණවල හිඳින පෙම්වතියන්ගේ පෙම්වතුන්ගේ ඇති අහිංසකභාවයයි.
ආදරයට ආදරය කරන්නත් එය නොලැබුණ විට සදාකල්ම ඒ වෙනුවෙන් බලා හිඳින්නටත් ඇතැමෙක් හුරුපුරුදුව හිඳිති. මේ එවන් පෙම්වතකුගේ කතාවකි. ප්‍රථම ප්‍රේමය බිඳීගිය දා දැනෙන දුක, වේදනාව, අපේක්ෂා භංගත්වය හඳුනන්නේ එවැනි අත්දැකීමකට මුහුණදුන් අයෙකුම පමණි. මේ සුනිල්ට හමුවූ එවැනි පෙම්වතකුගේ අත්දැකීමකි.
”පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ළෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ
තනිකඩය තවම මම
ආදරයේ වේදනාව සුන්දරත්වය සියල්ල ගැන මැනවින් දන්නේ ආදරය කළ අයම පමණි. තමාට අයිතිව සිටි පෙම්වතිය දුර ඈතක ගියදා ද තමාගේ අවසන් මොහොතේ දී, ප්‍රාණය නිරුද්ධ වූ කය අසළ ඇය තනි රකින්නේ නම් මැනවයි සිතන පෙම්වතුන් ද අප අතර නැතිවාම නොවේ. මේ සුනිල් දුටු එවැනි පෙම්වතෙකි.
ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනිවට ඉනු මැනවී
මගෙ ළඟ තනිවට ඉනු මැනවී
ප්‍රේමයේ දී ‘සඳ’ නැතුවම බැරිය. දුක කියන්නටත් සතුට කියන්නටත් විරහා වේදනාව කියන්නටත් හිඳීන්නේ සඳය. පාළුව තනිකම ළඟ රැඳෙන්නට හිඳින්නේ ද සඳමය.
සඳ තරුට කියන ඒ පෙම් කතාව අසාගෙන එන්න යැයි සුනිල් කියන්නේ වලාකුළකටය.
පුරපෝය හඳට පෙමින් බැඳුණු
තාරකා ළඳුන්
ඒ හඩින් කියන පෙම් කතාව
අසාගෙන වරෙන්
නීල වලාවේ ඇගෙ පෙම් කතාව
අසාගෙන වරෙන්...

0 comments:

Post a Comment