----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කම්මැලියා පැනලා ගියා

Thursday, October 18, 2012



පුංචි දුලාජ් හමුවෙමු

‘රංගනයටම උපන් හපන්කම් ඇති දරුවෙක්’ දුලාජ් පුතාගේ හපන්කම් දැක්ක බොහොම දෙනෙක් කිව්වා. ඒ කිව්ව කාරණය හැබෑ කරමින් දුලාජ් චාමර හසලංකට මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා.
ඒ ‘මමයි මමයි හරි යාළුයි’ කියන වේදිකා නාට්‍යයේ විහඟගේ සිත ලෙස රඟපාමින් කළ රංගනයටයි. ඒ විතරක් නෙමෙයි ඒ උළෙලේ විවෘත අංශයේ ඉංග්‍රීසි නාට්‍ය අංශයෙන් ඉදිරිපත් කළ ‘ලේසි වන් පීල්ඩ්’ කියන වේදිකා නාට්‍යයේ රඟපෑ පොතේ ගුරුගේ චරිතය සඳහාත් ඔහුටම හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා. රංගනයට අත්පොත් තබන්න ඉන්නා දුලාජ්ට මේ ලැබුණු සම්මාන මහ මෙරක් තරම්.
‘මගේ දක්ෂතා දැක්ක බොහොම දෙනෙක් මට සම්මානයක් ලැබෙන බව කිව්වා. සම්මාන දෙන වෙලාවේ මගේ හිතේ පුංචි තිගැස්මක් තිබුණා. සිතේ ඇතිවුණු සතුටට මම අම්මට තුරුලු වුණා. හැමෝගෙම ඔල්වරසන් හඬ මැද්දේ වේදිකාවට නැග්ග මගේ සිතට දැනුණේ පුදුම සතුටක්.’ දුලාජ්ගේ ජයග්‍රහණයෙන් ඔහු වගේම සතුටට පත්වෙන තවත් අයෙක් ඉන්නවා. ඒ ඔහු අධ්‍යාපනය ලබන හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය පාසලයි.
‘මගේ දක්ෂතා මුලින්ම හඳුනා ගත්තේ පාසලයි. එතනදි පුබුදු සුභාෂණ කුරුගල ගුරුතුමාට විශේෂ ස්තුතියක් හිමි විය යුතුය. මගේ දක්ෂතා හඳුනා ගත්ත පුබුදු සර් ඔහු අධ්‍යක්ෂණය කළ ‘කම්මැලියා පැනලා ගියා’ පාසල් නාට්‍යයට තමයි මාව මුලින්ම තෝරා ගත්තේ. පාසල් නාට්‍ය උළෙලේදී හොඳම පාසල් නාට්‍යය විදියට අපට සම්මානයක් ලැබුණා. ඊළඟට සමස්ත ලංකා ගණිත නාට්‍ය තරගයට ඉදිරිපත් කළ ‘පුංචි එකා’ නාට්‍යයටත් ප්‍රථම ස්ථානය හිමි වුණා. මේ අතරෙදි 2011 වසරේ තිබුණු ජාතික ළමා නාට්‍ය උළෙලට පුබුදු සර් ‘චූටි බබා ලොකු ළමයෙක්’ නාට්‍යය ඉදිරිපත් කළා.
ඒ නාට්‍යයේ මම රඟපෑවේ ප්‍රධාන චරිතයයි. ඒ චරිතයට මට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. මගේ ජීවිතයේදී මට මුලින්ම ලැබුණු මේ සම්මානය රංගනයට නැඹුරු කරන්න හේතුවක් වුණා. අදත් මගේ පාසල් විෂයයන් අතරින් මා වඩාත් කැමැති නාට්‍ය හා රංග කලා විෂයයට වගේම සෞඛයය විෂ්‍යයටයි. මගේ අනාගත බලාපොරොත්තුව හොඳින් ඉගෙන ගෙන දක්ෂ රංගන ශිල්පියෙක් වන්නයි.
හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ 9 ශ්‍රේණියේ අකුරු කරනා දුලාජ් චාමර ඉගෙන ගන්නත් දක්ෂයා. අධ්‍යාපන කටයුතු අතරේ සවස් යාමය වෙන් කරන්නේ නාට්‍ය පුහුණුවීම් කටයුතුª වෙනුවෙන්. නැත්නම් සිරස නාලිකාවේ උදෑසන විකාශය වන පුංචි ළමයින් අතර ප්‍රසිද්ධ කාටුන් වැඩ සටහනක් වන ‘චණ්ඩි’ කාටුන් වැඩ සටහනින් චණ්ඩිට හඬ කවන්නයි.


‘පාසලේදී චණ්ඩිට ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ඒ වගේම මේ වෙන කොට ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයකටම මා රංගනයෙන් සහභාගි වුණා. බෞද්ධ නාලිකාවේ පෝයට විකාශය වුණු ‘ආශාව’ ඒකාංගික ටෙලි නාට්‍යයේ සුනෙත් කියන ළමයාගේ චරිතය මම බොහොම ආශාවෙන් රඟපෑවා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘අඳුර බිඳි සඳ’ කියන ඒකාංගික ටෙලි නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතයටත් මම ගොඩක් ආදරෙයි.’
දුලාජ්ගේ ජීවිතයේ ලබා ගන්නා ජයග්‍රහණයන් පසු පස්සේ ඉන්න සෙවනැල්ල ඔහුගේ අම්මා සුභානි දීපිකා. පිළියන්දල රජයේ රෝහලේ සෞඛ්‍ය සහායිකාවක් විදියට කටයුතු කරන ඈ සිය පුතුගේ දක්ෂතාවය හඳුනා ගත්ත දයාබර මවක්.
‘මම නිතරම උත්සාහ කරන්නේ පාසල් කටයුතුත්, නාට්‍යය කටයුතුත් සම බරව කරගෙන යන්නයි. මේ දක්වා රංගන කටයුතු දියුණු කර ගන්න උදව් කළ හැමෝටම මම ස්තුති කරනවා. අම්මා වගේම තාත්තා නිමල් ප්‍රේමසිරිත්, අයියා විශ්ව ප්‍රමෝද් ආදරයෙන් මතක් කරන්න ඕනෑ.’
දුලාජ් චාමරගේ සතුට ඉහවහා ගිහින්. ඔහු අම්මාට තුරුලු වුණා. ඒ ඇයත් සමඟ ඒ සතුට බෙදා හදා ගන්න වගේ.

0 comments:

Post a Comment