----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අම්මයි දුවයි විදියට ශලිනියි මමයි ඇත්තට ම රඟපෑවා

Saturday, October 20, 2012


අම්මයි දුවයි විදියට ශලිනියි මමයි ඇත්තට ම රඟපෑවා

නිර්මා සුරාජි

නිර්මා සුරාජි දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියකි. එසේම ඇය දක්ෂ රංගන ශිල්පිනියකි. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කීපයකම සුරාජිගේ රංගන දැකගත හැකිය. පසුගිය දිනෙක අප ‘රසඳුන’ වෙනුවෙන් සුරාජි හමුවූයේ ඇයගේ කලා දිවිය පිළිබඳව තොරතුරු විමසා බැලීමටය.
ඔබ කලා ක්‍ෂේත්‍රයට පිවිසුණේ අහම්බෙන්ද?
මම මුලින්ම රූපලාවණ්‍ය ශිල්පිනියක්. දැනට වසර 15කට අධික කාලයක ඉඳල මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා. එසේම රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කළේ 2004 අවුරුද්දෙදි.
රූපවාහිනී නාළිකා කීපයකම උදෑසන වැඩසටහන්වලට මනාලියන් හැඩගැන්වීම පිළිබඳව මගේ දැනුම ලබාදෙන්න මට හැකිවුණා. ස්වර්ණවාහිනී නාළිකාවේ ‘අරුණෝදය’ වැඩසටහනින් මනාලියන් හැඩගැන්වීම පිළිබඳව අවස්ථා කීපයකදීම මගේ හැකියාව ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබුණා. එහිදී මනාලියන් ලෙස ඉදිරිපත් වුණු තරුණියන් අතර මගේ දුව ශලිනි තාරකාත් සිටියා. ඒ වන විට ඇය පාසල් යනවා. කලක් ඒ විදිහට රූපවාහිනී වැඩසටහන්වලට දායක වන විට ටෙලිනාට්‍යකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
ඒ; කොණ්ඩා මෝස්තර නිරූපණ ශිල්පිනියකගේ චරිතයක් නිරූපණය කිරීමට. ඒ ‘සුරංජලී’ ටෙලිනාට්‍ය. ඒ තමයි මගේ පළමු රංගනය. ඉන්පසුව මම ටෙලිනාට්‍ය ගණනාවකටම විවිධ චරිත ඔස්සේ රංගනයෙන් දායක වුණා. ඒ අතරින් සංජය ගුණවර්ධනගේ ‘මතක මංපෙත’ වගේම ‘හිම කවුළුව‘, නිල් අහස, කිඳුරංගනා, අලුත් ගෙදර, සමනලී, හිරුමලී, සිහින සිතුවම් වැනි ටෙලිනාට්‍ය විශේෂයි. එයින් ‘මතක මංපෙත’ ටෙලිනාට්‍යයේ මම රඟපෑ ලේෂාගේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොමයක් ලැබුණා. ඒ වගේම මේ දිනවල විකාශය වන ‘ආදරේ අහස තරම්’, සිරි වාසල කියන ටෙලිනාට්‍ය වලත් මගේ රංගනයන් ඇතුළත් වුණා.
ඉදිරියේ දී විකාශය වීමට නියමිත ඔබ රඟපෑ ටෙලිනාට්‍ය පිළිබඳවත් සඳහන් කරන්න.
මියැසි අසපුව, ඉරට උඩින්, තරු අහස, අරුන්දතී, නාමල් අරණ වැනි ටෙලිනාට්‍ය ගණනාවකම මගේ රංගන ඇතුළත් වෙනවා.
පාසල් යන කාලයෙත් ඔබ කලා කටයුතුවලට සම්බන්ධ වුණාද?
මගේ උපන් ගම මීගමුව. අම්මා රජයේ ගුරුවරියක්. තාත්තා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළා. අම්මත් තාත්තත් රජයේ සේවකයින් නිසා පාසල් කීපයකටම යන්න මට සිදුවුණා. අවසන් වරට මම ඉගෙනගත්තේ බලන්ගොඩ ශාන්ත ඇග්නස් විද්‍යාලයෙන්. පාසලේදීත් මම විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වී සිටියා. ඒ ආභාසය තමයි කලාවේ කිසියම් දුරක් එන්න මට අවස්ථාව ලැබුණේ.
මීගමුව කලාකරුවන් රැසක්ම බිහි කළ බිමක් නේද?
මම දැන් පදිංචි වෙලා ඉන්නෙ මගේ ගම වන මීගමුවේ. රුක්මණී දේවිය, එඩී ජයමාන්න වැනි කලා ක්‍ෂේත්‍රයේ දැවැන්තයින් උපන් බිමක් තමයි මීගමුව. මීගමුවේ උපන් කෙනෙක් වීම ගැන මට හරිම ආඩම්බරයි.
ඔබේ දියණිය රටම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්?
ඔව්. ඇය ශලිනි තාරකා. පළමු සිරස කුමරිය තරගයෙන් ජයග්‍රහණය කළේ මගේ දුව. ඉන්පසුව ඇය රංගන ක්‍ෂේත්‍රයට එක්වුණා. මේ කෙටි කාලය තුළ මගේ දුව ශලිනි රංගන ක්‍ෂේත්‍රයේ හොඳ ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගැන මේ ලෝකයේ වැඩියෙන්ම සතුටුවෙන්නෙ මම. ඒ මම ඇයගේ අම්මා නිසා. මට විශ්වාසයි මගේ දුවට මේ රටේ රංගන ක්‍ෂේත්‍රයේ ඉතා දිගු ගමනක් යා හැකි බව.
දැන් ඔබට රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නේ දුව ශලිනි නිසාද?
නැහැ. එහෙම දෙයක් නෑ. මම රංගනයට එක්වුණේ දුව පුංචි කාලෙදි. මට ගැළපෙන චරිතවලට අධ්‍යක්ෂවරු මට කතාකරනවා.

මේ වන විට ඔබට දුවත් සමඟ රඟපාන්න අවස්ථාව ලැබී තිබෙනවාද?
ඔව්. නාමල් අරණ ටෙලිනාට්‍යයේත්, ‘සිහිනයකි ජීවිතේ’ ටෙලි නාට්‍යයේත් මගේ දුව ශලිනි එක්ක මම අම්මයි දුවයි විදිහට රඟපෑවා. ඒක මට අමතක නොවන අත්දැකීමක්.
දුවක් හැටියට ශලිනි ඔබට ගොඩක් සමීපද?
ඇත්තෙන්ම ඔව්. දුවක් හැටියට ශලිනි මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙනවා. එයාට මට වසන් කරන්න දෙයක් නෑ. එයාගේ හිතේ තියෙන දේවල් සේරම මාත් එක්ක කියනවා. ඒත් ශලිනි රඟපෑම නිසා කාර්යබහුල වෙලා ඉන්න විට දුව මගෙ ළඟ නැති පාළුව මට තදින් දැනෙනවා.
කලා ක්‍ෂේත්‍රයේ මොනවගේ බලාපොරොත්තු ද ඔබට තියෙන්නේ?
එක දිගටම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණු නිසා රඟපෑම දැන් මගේ වෘත්තිය වෙලා ඉවරයි. සිනමාවේ හොඳ චරිතයක් නිරූපණය කරන්න මම ආශාවෙන් ඉන්නවා. ඒ වගේම දිගටම මගේ රංගන හැකියාවන් පෙන්වමින් රංගන ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමයි බලාපොරොත්තුව.

0 comments:

Post a Comment