----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

චරිත නපුරු වුණාට මම එහෙම නෑ

Sunday, October 14, 2012


චරිත නපුරු වුණාට මම එහෙම නෑ

අංජුලා රාජපක්ෂ
අංජුලා රාජපක්ෂ අපට සිටින යොවුන් රංගන ශිල්පිනියන් අතර ඉතා දක්ෂ රංගන ශිල්පිනියකි. ඇයගේ රංගන ඇතුළත් ටෙලිනාට්‍ය මේ දිනවල රූපවාහිනී නාළිකා කීපයකම දැකගත හැකි ය. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයෙන් අංජුලාගේ වත්මන් තොරතුරු පිළිබඳව කතා කරමු.
‘තරු පිරි අහස’ ටෙලිනාට්‍යයේ ‘ආන්‍යා’ ට ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරේ ඇති නේද?
ඇත්තටම ඔව්. ජෝසප් ජෙරම් අධ්‍යක්ෂණය කරන ‘තරු පිරි අහස’ ටෙලිනාට්‍යයට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියල මම හිතුවේ නෑ. එහි මම නිරූපණය කරන ‘ආන්‍යා’ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ ප්‍රේක්ෂකයින් මේ ටෙලිනාට්‍යය වටා ඉන්න බව ලැබෙන ප්‍රතිචාර වලින් පෙනෙනවා. පසුගිය අවුරුදු කීපය තුළ මම රඟපෑ ටෙලිනාට්‍ය චරිත අතරින් ආන්‍යාගේ චරිතය තමයි ප්‍රේක්ෂකයින් වැඩියෙන් ම වැළඳගත්තේ.
පසුගිය දවස්වල ඔබ චිත්‍රපටයක රූපගත කිරීම්වලට සම්බන්ධ වී සිටියා නේද?
ඔව්. ඒ ‘වීර්යා’ චිත්‍රපටය. එහි මම නිරූපණය කරන්නේ කාමිණී කියන මුඩුක්කු පරිසරයක ජීවත්වන තරුණියකගේ චරිතයක්. ‘කාමිණී’ හැසිරෙන්නේ අඳින්නේ පලදින්නෙ ඉතා පොහොසත් තරුණියක් වගේ. ඇය ඇසුරු කරන අය දන්නෙ නෑ ඇය මුඩුක්කු පරිසරයක ජීවත්වන කෙනෙක් කියල. කාලෙකට පසුවයි චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබුණේ. මම හරිම ආශාවෙන් ‘වීර්යා’ චිත්‍රපටයේ රඟපෑවා.
ඔබ මේ වනවිට චිත්‍රපට කීයක රඟපාල තියෙනවාද?
චිත්‍රපට 6 ක මේ වනවිට රඟපාල තියෙනව. ඒ, පෙම් කැකුළ, මගේ වම් අත, සෙව්වන්දි, නිලම්බරේ, සදාකල් ඔබ මගේ සහ වීර්යා කියන චිත්‍රපට.
මේ දවස්වල ඔබ මොනවගේ වැඩවලට ද සම්බන්ධ වෙලා ඉන්නේ?
රිදී සිත්තම්, අහස් ගව්ව, ඇන්ඩ් කොම්පැනි කියන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නව.
‘ඇන්ඩ් කොම්පැනි’ සාමාන්‍ය ආකාරයේ ටෙලිනාට්‍යයක් නෙමෙයි නේද?
ඔව්. ඒක හාස්‍ය මුසු වුණු කාලීන දේශපාලනික තේමාවක් ඔස්සේ රචනා වන ටෙලිනාට්‍යයක්. සාමාන්‍ය ටෙලිනාට්‍ය නොබලන විවිධ බුද්ධි මට්ටම්වල විවිධ වයස් මට්ටම්වල ප්‍රේක්ෂකයින් මේ ටෙලිනාට්‍ය නරඹනවා. මෙහි මම රඟපාන්නේ දේශපාලන චරිතයක් නෙමෙයි. මම නියෝජනය කරන්නෙ රටේ සාමාන්‍ය මහජනතාව. මේ ටෙලිනාට්‍යයට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා.
ඔබ දේශපාලනයට සම්බන්ධ වෙන්න කැමැති නැති ද?
අපොයි නෑ. දේශපාලනයට සම්බන්ධ වෙන්න මගේ කොහෙත්ම කැමැත්තක් නෑ.
හාස්‍ය රංගන ශිල්පිනියන් ලංකාවේ අඩුයි. ඒ නිසා ඒ පැත්තෙන් ඉදිරියට යන්න ඔබේ අදහසක් නැතිද?
හාස්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් අඩුවෙන්න හේතුව තමයි ඒ රංගනයේ ඇති අපහසු බව. කෙනෙක් හිනස්සන එක හරිම අමාරු වැඩක්. මර්සි එදිරිසිංහ මහත්මියගෙන් පසුව හාස්‍ය රංගන ශිල්පිනියන් බිහිවී නෑ. හාස්‍ය රංගනය අපට පුරුදු වෙලා කරන්න බැහැ. ඒක ඇඟෙන්ම එන්න ඕන දෙයක්. ඉතින් එවැනි රංගනයක් කරන්න මට පුළුවන් කියල මම හිතන්නේ නෑ. හාස්‍ය රංගනයෙන් ප්‍රේක්ෂකයින් සිනහ ගැන්වීම ලොකු පිනක්.
ඔබට බොහෝ විට රඟපාන්න ලැබෙන්නේ නපුරු චරිත නේද?
ඔව්. මේ වනතෙක් මට ලැබිල තියෙන ගොඩක් චරිත නපුරු චරිත. මම ඒ චරිත මගේ උපරිම කැපවීමෙන් කළා. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා. අහිංසක චරිතයකට වඩා නපුරු චරිතයක කරන්න දේවල් තියෙනවා. ඒ චරිත මගේ රංගන හැකියාව පෙන්වන්න හොඳ අවස්ථාවක් වුණා කියලයි මම හිතන්නේ.
ඇත්තම අංජුලා නපුරු ද?
අපෝ නෑ. සාමාන්‍ය ජීවිතයේ දී මම නපුරු කෙනෙක් නෙමෙයි. හැබැයි මට කවුරු හරි වැරැද්දක් කළොත් මට තරහ යනවා.
ඔබ රංගනයට යොමු නොවුණා නම් කවුරු වේවිද?
අනේ මන්දා. පුංචිම කාලෙ මම ආසා කළේ වෛද්‍යවරියක් වෙන්න. ඊට පසුව මම ආසා කළේ නීතිඥවරියක් වෙන්න. ඊටත් පස්සෙ සංගීත අංශයට යොමුවෙන්න මම ආසා කළා. නමුත් අද මම රංගන ශිල්පිනියක්.
මේ වනවිට ඔබේ රංගන හැකියාව පෙන්වන්න ඔබට අවස්ථාව ලැබී තිබෙනවාද?
මම රංගනයට ඇවිත් දැන් අවුරුදු 12 ක් විතර වෙනවා. ඒ කාලය තුළ මම විවිධ චරිත රඟපෑවා. කිසියම් නිර්මාණයකට දායක වෙද්දී ඒ චරිතය ලොකු ද, පොඩි ද, කොට ද, දිග ද කියල බලන්නේ නැහැ. මට යමක් කරන්න තියෙනවා නම් මම ඒ චරිතය බාර ගන්නවා. මම රඟපාල තියෙන සෑම චරිතයක් ම උපරිම කැපවීමෙන් රඟපාල තියෙනවා. රංගනයේදී ලබන අත්දැකීම් එක්ක ඉදිරියේදී මීටත් වඩා හොඳ රංගනයන් ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙයි කියල මම හිතනවා.
දැන් ඉතින් කළ වයසත් හරි නේද?
ඒක නම් ඉතින් එහෙම තමා. මම තාම විවාහය ගැන හිතල නෑ. තාම සුදුසු කෙනෙක් සොයාගෙන නෑ.

Silumina

0 comments:

Post a Comment