----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කලුමාලි

Thursday, September 6, 2012


කලුමාලි - සුරංගනා කතාවක් ගැන වැඩිහිටි නළු-නිළි දෙනෙතින්
2012 සැප්තැම්බර් මස 03 11:20:15 | . , රුවන්ති ද චිකේරා
නොයෙක් බාධක ජයගන්නා වීරයන් සහ වීරවරියන් සුරංගනා කතා වලදී අපට හැම විටම හමු වෙනවා. නපුර පරාජය කර යහපත හා සත්‍යය ජයගන්නා මේ බොහෝ කතා අවසානයේදී හෝ කතා නායකයින්ගේ ගමනාන්තයෙදී ඔවුන් ඔවුන්වම සොයා ගැනීමත් මේ කතා වල වැදගත් අංගයක්. යතාර්ථයෙන් දුරස්ව වුවද ජීවිතය පිලිබඳ සියුම් විදසුන් කියා දෙන්නට මේ සුරංගනා කතා වලට පුළුවන්.
රුවන්ති ද චිකේරා අධ්‍යක්ෂණය කරන ‘කලුමාලි - වැඩිහිටියන්ට සුරංගනා කතාවක්’ නූතන සමාජය තුළ දෙමව්පියන්ගේ භූමිකාව ආලෝකමත් කරනවා. මෙයට සම්බන්ධ වන නළු-නිළි කැළ රංග කලාවේ ප්‍රවීණයන් - ප්‍රේක්ෂක ගෞරවයට අනේකවත් බඳුන් වන අයිරාංගනී සේරසිංහ, පීටර් ද අල්මේදා, කෞශල්‍යා ප්‍රනාන්දු සමග නදී කම්මැල්ලවීර, ලක්මිණි සෙනෙවිරත්න, ගිහාන් ද චිකේරා සහ ධනුෂ්ක ඩයස් ද මේ රංගය හා සම්බන්ධ වෙනවා. ආලෝකකරණයෙන් ජෙරෝම් එල්. ද සිල්වා ද මේ හා එක් වෙනවා.

පීටර් ද අල්මේදා


කලකට පසු වේදිකාවට නැවත පැමිණෙන පීටර් ද අල්මේදා පවසන්නේ රංගයේ ක්‍රියාශීලී, නිතරම අලුත් වන රංග වින්‍යාසය චරිත නිරූපණයට අවශ්‍ය නව පණ ලබා දෙන බවයි. තමා අවට ඇති බොහෝ දේ එසේම විය යුතු යයි නිතරම සිතන කතාවේ සැමියා හෙවත් කලණ තුලින් පීටර් දකිනවා. පීටර්ට අනුව “ඒක කාලය තරම්ම පරණයි. පිරිමි මනස සැදී තියෙන්නේ එහෙමයි.”

ලක්මිණි සෙනෙවිරත්න


ලක්මිණි සෙනෙවිරත්න වේදිකාවට අවතීර්ණ වුනේ අවුරුදු 15 කට පෙර වුවත් මේ ඇය ඉංග්‍රීසි වේදිකාවට පය තබනා පළමු වාරයයි. අළුත් භාෂා මාධ්‍යකින් මෙන්ම අයිරාංගනී සේරසිංහයන්, පීටර් ද අල්මේදා, කෞශල්‍යා ප්‍රනාන්දු සහ නදී කම්මැල්ලවීර වැනි ප්‍රවීණයන් සමග රඟ පෑමද ඇයට සුවිශේෂී අත්දැකීමක්. “රුවන්තිට නාට්‍ය පිලිබඳ පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ නිසා දෙබස් නිර්මාණයේදී ඇය අපිවත් සම්බන්ධ කර ගන්නවා. රංග ශිල්පිනියක් ලෙස මම එයට ගරු කරනවා.” ලක්මිණි පණ පොවන්නේ දිල් ගේ චරිතයටයි.

නදී කම්මැල්ලවීර


දිල් ගේ චරිතයට ම පණ පොවන නදී මේ නාට්‍යයෙන් ප්‍රකාශිත දැක්ම තදින් විශ්වාස කරනවා. දැනට පවතින අධ්‍යාපන, මාධ්‍ය හා සමාජ සංස්ථා විසින් දෙමව්පියන් හා දරුවන් මත පටවන විශාල පීඩනය පිලිබඳ විවිධ මත නිරූපිත කතිකාවක් අවශ්‍ය බවයි ඇගේ හැඟීම.

කෞශල්‍යා ප්‍රනාන්දු


ගෙදර ආච්චි ගේ චරිතය රඟන කෞශල්‍යා අගයන්නේ නාට්‍යය පිටුපස ඇති රචනා ක්‍රියාවලියයි. සමාජය පිළිගැනීමට මැලි වන සමහර සත්‍යයන් ප්‍රකාශ කිරීමට මේ ක්‍රියාවලිය ඉඩ සැලසුවා. “ඒ වගේ අභියෝගාත්මක රචනාවලියක් ක්‍රියාශීලී ප්‍රකාශන මාධ්‍යක් වන නාට්‍යක් බවට පරිවර්තනය කිරීම හරිම සුවිශේෂී අත්දැකීමක්.”

අයිරාංගනී සේරසිංහ


මේ නාට්‍යයේ තවත් එක් සැමරුමක් නම් කලකට පසු අයිරාංගනී සේරසිංහයන් නැවත වේදිකාවට කැඳවීමයි. මවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස සම්ප්‍රදායෙන් බැහැරව අත්දැකීම් බහුල පරිපූර්ණ ජීවිතයක් ගත කර ඒ දෙස නැවත හැරී බලන ෆිල්ම් ආච්චා ගේ චරිතයට ඇය පණ පොවයි.
ස්ටේජස් නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන ‘කලුමාලි: වැඩිහිටියන්ට සුරංගනා කතාවක්’ සැප්තැම්බර් 13 වැනිදා සිට 16 වැනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගත වීමට නියමිතයි. සිංහල දර්ශන වාරයන් 14වන සිකුරාදා සහ 15වන සෙනසුරාදා ප.ව. 7.15ට. ප්‍රවේශ පත්‍ර සැප්තැම්බර් 1වැනිදා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් ලබා ගත හැක.
සහයෝගය- සුනේත්‍රා බණ්ඩාරනායක භාරය,
සම අනුග්‍රහය - පොන්ඩ්ස්, ඩව් හා ජෝන් කීල්ස් සමාගම,
මාධ්‍ය අනුග්‍රහය- විජය ප්‍රකාෂන, සංගීතය හේලියන්


0 comments:

Post a Comment