----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

වතුර යට ඔබාගෙන ඉන්න බෑ - ඒක කමල්ට අටවපු උගුලක්?

Thursday, September 6, 2012


නිහැඬියාව බිඳිමින් ‘COLOUR’ සමඟ කමල් යළි සිනමා රංගනයට

එදාට මට මීට වඩා ‍‍හොඳ හෙඩ් ලයින්ස් දාන්න වෙයි

* ඔය සම්මාන ගත්ත කිසි කෙනෙක් මම තරම් ජනප්‍රිය නැහැ
වසර අටක නිහැඬියාවකින් පසු කමල් අද්දරආරච්චි යළි රිදී තිරයේ ජීවමාන වේ. ඒ ඉසුරු වීරසිංහ මුදලි අධ්‍යක්ෂණය කළ ‘COLOUR’ චිත්‍රපටයේ චිත්‍ර ශිල්පියකුගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කරමිනි. රංගන පෞරුෂය සිය නිරෑපණ දිවියේ මහා පොදු සාධකය බවට පත් කරගත් කමල්, මෙකී චරිතය හරහා ද අපට එය තහවුරු කර තිබේ.මේ කමල්, කලෙකට පසු ඔහු පිළිබඳ මෙන්ම ඔහුගේ කලා දිවිය පිළිබඳව ද අප සමඟ විවෘතව සිය මතවාදී අදහස් ගෙනහැර දැක් වූ අවස්ථාවකි.
* මම . . .
ඔබ මේ චිත්‍රපටයක රඟපාන්නේ වසර අටකට පසුව. ඇයි මෙතෙක් කලක් නිහඬව සිටියේ?
_ කමල් . . .
වසර අටක් නෙවේ, ඊටත් වැඩි කාලයක් නිහඬව සිටියත් මගේ නම හැමදාම මිනිසුන්ට මතකයි. මම චිත්‍රපටයක රඟපෑවත්, නැතත් මගේ නම බොහොම දෙනෙක් පාවිච්චි කරනවා. අඩුම තරමින් ඔවුන් මගේ නම විතරක් හරි අහන්න සලස්වනවා. මම නිහඬව ඉන්නවට එයාලා කැමැති නෑ වගේ. මම කතා නොකළත් ඒ අය මම ගැන කතා කරනවා.
* මම . . .
කමල්, මම ඇහුවේ සිනමාවේ ඔබේ නිහැඬියාව ගැන?
_ කමල් . . .
මම මේ කියන දේවල් ඔබට ලියන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ. සිනමාව අද අනාථ වූ දරුවෙක්. හිටපු ගමන් කවුරු හරි ඇවිත් දානයක් දීලා පිං අනුමෝදන් කරලා යනවා. මේ දරුවා නිර්මාණශීලී වෙන අවස්ථා නැතුවා නෙවෙයි. මේ දරුවාට කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. ඒත් කවුරුවත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ. කොයි තරම් හොඳ දෙයක් කළත් ඒ වටිනාකම් එළි දක්වන්න විදිහක් නෑ.
* මම . . .
ඇයි ඒ . . .?
_ කමල් . . .
අද අපේ සිනමාව හරියට යට පැත්ත කාපු බනිස් ගෙඩියක් වගේ. ඇතුල හිස්. නිකං ඇඟිල්ලෙන් ඇන්නත් කඩා වැටෙන සයිස් එකට දිරාපත් වෙලා. නිකං බලන්න, අද ප්‍රධාන පෙලේ සිනමා ශාලාවක හැර ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටයක් නරඹන්න අවම පහසුකම්වත් තියෙන සිනමාහල් තියෙන්නේ කීයද? බොහෝ සිනමා ශාලාවල වහල තෙමෙනවා. පුටු කැඩිලා. වවුලෝ ලගින තැනක් බවට පත්වෙලා. වැසිකිලියට ගියාම ජීවිතේ එපා වෙනවා. හරිනම් ප්‍රේක්ෂකයෝ මුදල් දීලා චිත්‍රපට බලනවා වෙනුවට අපිම අතින් කීයක් හරි දීලා ඔවුන් සිනමාහල්වලට ගෙන්න ගන්න ඕනෑ. මෙහෙම ගියොත් ඒ දිනය වැඩි ඈතක වෙන්නත් බෑ.
* මම . . .
එතකොට මේ අර්බුදය ඔබගේ රංගන දිවියටත් බලපානවා. එහෙමද කියන්නේ . . .?
_ කමල් . . .
ඔව්නේ. මේ වගේ වාතාවරණයක් උඩ නිෂ්පාදනය වෙන්නේ චිත්‍රපට අතලොස්සයි. ඒවත් එක් එක්කෙනා අතරේ බෙදිලා යනවා. හැමෝටම හැම චිත්‍රපටයම ලැබෙන්නෙත් නැහැනේ. ඒ වගේම සමහර නිෂ්පාදක, අධ්‍යක්ෂවරු කමල් අද්දරආරච්චි කියපුවම වැරදි ප්‍රතිරූපයක් මවාගෙන ඉන්නේ. ඔවුන් හුඹස් බියක් ඇති කරගෙන තියෙනවා මම රඟපාන්න ලොකු මුදලක් අය කරන නළුවෙක් කියලා.
* මම . . .
එතකොට ඒක බොරුවක්?
_ කමල් . . .
ඇත්තම කිව්වොත් මම නිකං හරි ඇවිත් රඟපානවා ඒ නිර්මාණයෙන් ජනතාවට හොඳ දෙයක් දෙනවානම්. එතනදි මට මුදල ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි.
* මම . . .
ඔබ චිත්‍රපට ලැබෙන ප්‍රමාණයටම බාර ගන්න නළුවෙකුත් නෙවෙයිනේ . . .?
_ කමල් . . .
ඕනෑ තරම් චිත්‍රපට ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. ඒත් පහුගිය කාලේ නම් කියන්න තරම් මහ ලොකුª දේවල් ලැබුණෙත් නැහැ. හැබැයි මෙහෙම අර්බුදයක් නම් තිබුණා. සමහරක් මාධ්‍යවල රඟපෑමේ අවස්ථා මට මග හැරුණා. මට නොයෙක් බාධක, බලපෑම් තියෙන වග පේන්න තියෙනවා. මට මෙගා නාට්‍යවල රඟපාන්න බෑ. එහෙම බලනකොට මට රඟපෑම පැත්තෙන් යම් යම් දේ අහිමි වී තිබෙනවා. අසාධාරණයක් සිදුව තිබෙනවා. කොහොම වුණත් මේ සියල්ල දිහා මම බලන්නේ උපේක්ෂාවෙන්.
* මම . . .
‘ COLOUR’ චිත්‍රපටයේ චිත්‍ර ශිල්පියාගේ චරිතය ඔබ ඉතා මැනවින් නිරූපණය කර තිබෙන බවයි මගේ හැඟීම. මෙය තරමක සංකීර්ණ චරිතයක්. නමුත් ඔබ එම චරිතයේ අධ්‍යාත්මය අපට ආයාසයකින් තොරව විවරණය කර දෙනවා?
_ කමල් . . .
කිසියම් චරිතයක් රඟපාන කොට ඒ චරිතය මගේ කරගන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. කතාව තුළ මා ඒ චරිතය දකින විදිහ තමයි රංගනයේදී මම ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නේ. සමහර විට මම හිට්ලර්ගේ චරිතය රඟපානවා කියලා හිතමුකෝ. මම හිට්ලර් වගේ මිනිහෙක් නොවුණට ඒ වගේ රඟපාන්න ඕනෑ. එහෙම නම් එතන කමල් අද්දරආරච්චි ඉඳලා හරියන්නේ නෑනේ. ඒ චරිතය සඳහා මම කැපවෙන්න ඕනෑ. එතකොට තමයි අපේ රංගනයත් සාර්ථක වෙන්නේ.
* මම . . .
මේ චිත්‍ර ශිල්පියා අසාමාන්‍ය ගති, පැවතුම් ඇති අයෙක්. සියල්ල මුදලට විකිණෙන සමාජයක ඔහු කලාව මුදලට පාවා දෙන්නේ නෑ. ඒ විතරක් නෙවේ ඔහු කලාවට ඇති භක්තිය නිසා ආදරය, විවාහය වගේ දේවලුත් ප්‍රතික්ෂේප කරන අයෙක්. මෙවැනි චරිත අද සමාජයේ ඉන්නවාද?
_ කමල් . . .
ඔහු දැඩි මතධාරියෙක්. රැඩිකල් විදිහට සිතන, මතන කෙනෙක්. ඒ වගේම ඔහු කලාව අදහන්නේ දේවත්වයෙන්.
ඇත්තටම ඔහු එක පැත්තකින් බලනකොට අන්තවාදී චරිතයක් කියලත් හිතෙනවා. ඔහු තමන් සිතන, පතන විදිහට සමාජයත් පැවැතිය යුතුයි කියා මතයේ ඉන්න කෙනෙක්. එවැනි චරිත මේ සමාජයේ අප අතර නැතුවාම නෙවෙයි. මේ සියලු කාරණාත් එක්ක අධ්‍යක්ෂවරයාගේ සිතැඟිවලට ගැළපෙන විදිහට මම මේ චරිතය ඉදිරිපත් කළා.
* මම . . .
ඒ චිත්‍ර ශිල්පියා ඔබ වුණා නම් අර වගේ තීරණාත්මක අවස්ථාවකදී මොකද කරන්නේ?
_ කමල් . . .
ඒ මම වුණා නම් කොහොම හරි අර යුවතියගේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඈ හා විවාහ වෙනවා. ඊට පස්සේ ෂේප් එකේ මව්පියන් හමු වෙන්න යනවා. ඒ ගිහින් ඕනෑ ම¼ගුලක්.
* මම . . .
මෙය ඔබේ සිනමා රංගන දිවියේ තවත් සම්මානනීය චරිතයක් වෙයිද?
_ කමල් . . .
මම ඒක ඒ විදිහට හිතට ගන්නේ නෑ. කවුද දන්නේ මොනවා වෙයි ද කියලා. බොහෝ විට ඔය සම්මාන කතන්දරේ ලංකාවේ වාසනාවත් එක්ක යන ෙ දයක්. ඒ කියන්නේ දක්ෂතාවයටම හැම විටම සම්මාන ලැබිලා නැහැ. සම්මාන හිමි විය යුතු අවස්ථාවල පවා මට සම්මාන නොලැබී ගියා. ඒ නිසා වාසනාවත් අවශ්‍යයි.
* මම . . .
ඔබ අවාසනාවන්තයෙක් ද?
_ කමල් . . .
නැහැ, මම අවාසනාවන්ත නැහැ. මොකද ඔය සම්මාන ගත්ත කිසි කෙනෙක් මම තරම් ජනප්‍රිය නැහැ. මට වඩා සම්මාන ගත්ත අයව අද රසිකයන්ට සමහර විට මතකත් නැහැ. ඒත් තාමත් මම ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැඳී ඉන්න නළුවෙක්.
* මම . . .
‘ COLOUR’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නවකයෙක්. රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ඔබට මේ සහසම්බන්ධතාවය පවත්වාගෙන යෑම ගැටලුවක් වුණේ නැතිද?
_ කමල් . . .
ඇත්තෙන්ම මම කිසිම අන්දමකින් අධ්‍යක්ෂවරයා අවතක්සේරුවට ලක් කරන්නේ නෑ. මම මුලින්ම දැක්කෙ ස්ක්‍රිප්ට් එක. මේ චරිතය තුළ යමක් කළ හැකියි කියන ගුණය මම දැක්කේ ස්ක්‍රිප්ට් එක හරහා. මට කරන්න පුළුවන් උපරිමය කරනවා කියන තැන ඉඳන් තමයි මේ ගනුදෙනුව පටන් ගත්තේ. අධ්‍යක්ෂවරයාගෙන් ඇහුවොත් ඔහු කියයි ඔහුගේ විධානයන්ට මම කොතෙක් ගරු කළා ද, ඒවා පිළිගත්ත ද කියලා. එතනදි අධ්‍යක්ෂවරයා නවක ද, ප්‍රවීණ ද කියන එක මට අදාල වෙන්නේ නෑ. අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂවරයාමයි. ඒත් සමහරු මම මහ දඩබ්බර, වෙලාවට වැඩ නොකරන නළුවෙක් කියලා ප්‍රචාරයකුත් ඇරලා තියෙනවා. හැබැයි මම සහය අධ්‍යක්ෂවරු කියන කියන එක කරන ජාතියේ නළුවෙක් නෙවේ. මොකද එයාලා හරියට දන්නේ නෑ ජොබ් එක මොකක්ද කියලා.
* මම . . .
නමුත් සහය අධ්‍යක්ෂවරුන් පවා අධ්‍යක්ෂවරුන් වූ අවස්ථාවන් තියෙනවානේ?
_ කමල් . . .
ඔව්, ඒ ගැන තියෙන ආසන්නම උදාහරණය නිලේන්ද්‍ර දේශප්‍රිය. ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘තන්හා, රතී, රඟා’ චිත්‍රපටයේ මමත් චරිතයක් නිරූපණය කළා. ඔහු වෙනම චරිතයක්. ඔහු සමඟ වැඩ කරද්දී නියමෙට වැඩේ කෙරනවා. මොකද ඔහු බොහෝ දේවල් ඉගෙන ගෙන අධ්‍යක්ෂණයට බැහැපු කෙනෙක්.
* මම . . .
සහය අධ්‍යක්ෂවරයකු වීම පමණක්ම අධ්‍යක්ෂවරයකු වීමට සුදුසුකමක් නෙවෙයි කියලනේ ඔබ කියන්නේ?
_ කමල් . . .
සහය අධ්‍යක්ෂවරයා කියන කෙනා ඇත්තටම අධ්‍යක්ෂවරයාටත් වඩා ඕල්රවුන්ඩර් කෙනෙක් විය යුතුයි. හරි විදිහට නම් ඔහුට කැමරා කෝණ ගැන පවා අවබෝධයක් තියෙන්න ඕනෑ. කොටින්ම කිව්වොත් ඔහු අධ්‍යක්ෂවරයා පවා මෙහෙයවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ. නිලේන්ද්‍ර මෙතනට ආවේ මේ හැම දේම දැනගෙන. චිත්‍රපටයක් කිරීමේදී මේක ටීම් වර්ක් එකක් කියා හඳුනාගෙන අවසානය දක්වාම ඒක මෙහෙයවන්න පුළුවන් හොඳම අධ්‍යක්ෂවරයා විදිහට මම දැක්කේ නිලේන්ද්‍රව. ඇත්තටම නවක අධ්‍යක්ෂවරුන්ට ඔහුගෙන් ඉගෙන ගත හැකි පාඩම් රැසක් තියෙනවා.
* මම . . .
‘තන්හා, රතී, රඟා’ වගේම ‘දෝණි’ චිත්‍රපටයටත් ඔබ පසුගිය කාලේ රංගනයෙන් දායක වුණා. මේවා කොයි විදිහේ චරිතද?
_ කමල් . . .
බොහොම නාගරික ඒ කියන්නේ පිටකොටුව, මරදාන වගේ ජනාකීර්ණ ප්‍රදේශයක වෙසෙන චන්දරේ කියලා චරිතයක් මම ‘තන්හා, රති, රඟා’ චිත්‍රපටයේ රඟපෑවේ. මට රඟපාන්න තිබුණේ දර්ශන කිහිපයක් වුණත් මේක ටිකක් සංකීර්ණ චරිතයක් කියලා මට හිතෙනවා. දාමරික, චණ්ඩි පහේ චරිතයක්.
‘දෝණි’ චිත්‍රපටයේ මම රඟපාන්නේ පියකුගේ චරිතය. ඒක වෙනස්ම විදිහේ චරිතයක්. මේක ළමා චිත්‍රපටයක් වගේ පෙනුණාට මම හිතන්නේ ඊටත් වඩා ඔබ්බට ගිය පවුලේ කතාවක්. ආබාධිත දරුවෙක් නිසා එක්තරා පවුල් සංස්ථාවක සිදුවෙන හැල හැප්පීම් තමයි මේ චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ. එය අනුවේදනීය කතාවක් රැගත් චිත්‍රපටයක්.
* මම . . .
පහුගිය දිනවල ඔබේ මේ කලා කටයුතුවලට වඩා මාධ්‍යය මගින් ප්‍රචාරය වුණේ එක්තරා ආන්දෝලනාත්මක සිදුවීමක් ගැන?
_ කමල් . . .
ඔව්, ඒක මුළු රටම දන්නවා.
* මම . . .
ඇයි එහෙම පුවත් මවන්නෙක් වුණේ?
_ කමල් . . .
මම එහෙම පුවත් මවන්නෙක් නෙවෙයි. ඒ වෙලාවේ සමහරු මාව පාවිච්චි කරලා තමන්ගේ අසහනය පිටකර ගත්තා. මම හොඳ සනීපෙට ඉන්නවා දකිනකොට ඒ අයට ඒක දිරවන්නේ නෑ. පවුල් ජීවිතයේ නොයෙක් ප්‍රශ්න තියෙන, සමහර විට කාන්තාවන්ගේ ආකර්ෂණය නැති, මොනවා හරි බෙලහීනකමක් තියෙන පිරිසක් තමයි මේ වැඩේ කළේ.
* මම . . .
ඔවුන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් ද?
_ කමල් . . .
නෑ . . . මම හිතන්නේ ඔවුන් කලා ක්ෂේත්‍රයේ අය වෙන්න බෑ. ඒ අය වෙනම ස්පිරිතාලෙක ඉන්න ඕනෑ පිරිසක්. ඒත් ඔවුන් නිදැල්ලේ ඉඳගෙන මෙවැනි විකාර වැඩ කරනවා. නමුත් මොලේ තියෙන අයට තේරෙනවා හරි, වැරැද්ද මොකක් ද කියලා. මට දුක සමහර මාධ්‍යයත් මේවට අහුවුණ එක සහ අනුබල දුන්න එකයි.
* මම . . .
ඒත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියනවනේ . . .?
_ කමල් . . .
පොතේ එහෙම තිබුණට දුමක් නැතුවත් ගින්නක් ඇති වෙන්න පුළුවන්නේ. දැන් ලයිටර් එකක් පත්තුª කරලා බලන්න. දුමක් තියනවද . . . නෑ . . . හැබැයි ගින්දර තියෙනවා. මේකත් එහෙම දුමක් නොදාම ආපු ගින්දරක්. ඒකට මම මොනවා කරන්නද? කොටින්ම මම වරදක් කළා නම් ඒකට දඬුවම් ලැබෙන්න ඕනෑ නීතියෙන්නේ. ඒත් මේ වෙනතුරු කිසිම පොලීසියකින් අඩුම තරමේ මගේ කට උත්තරයක්වත් අරගෙන නෑ. ඉතින් නැති ප්‍රශ්නයක් පස්සේ මම එලවන්නේ මොකටද?
* මම . . .
එහෙනම් ඒක කමල්ට අටවපු උගුලක්?
_ කමල් . . .
උගුලක් නෙවේ, මර උගුලක්.
* මම . . .
උගුල අටවපු අයට මොනවද කියන්න තියෙන්නේ?
_ කමල් . . .
කොච්චර උත්සාහ කළත් රබර් බෝලයක් මුළු ජීවිත කාලය පුරාම වතුර යට ඔබාගෙන ඉන්න බෑ. කවුරු හරි එහෙම කරනවා නම් ජීවිත කාලෙම බෝලෙ අල්ලගෙන ඉන්න වෙයි. හැබැයි ඉතින් එයාලා මේ ඇල්ලුවේ වෙනින් බෝලයක්.
* මම . . .
මේ ප්‍රශ්නය නිසා ඔබේ පවුලේ සමීපතමයන්, හිතවතුන් පවා කනස්සල්ලට, අපහසුතාවයට පත්වුණා?
_ කමල් . . .
ඔවුන්ට යම් මානසක තැවුලක් වුණා තමයි. ඒත් ඒ අය දන්නවා මට එහෙම දෙයක් කරන්න ඕනෑ නෑ කියලා. එහෙම සල්ලි හොයන්න ඕනෑකම තිබුණා නම් මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල ඒ කාලේම රඟපානවා. මගේ බිරිය අනුරානි, මව, සොයුරිය මේ හැමෝම දන්නවා මම නිදොස් බව. ඒ ඇති . . .
* මම . . .
කමල්, චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අදහසක් නෑ?
_ කමල් . . .
අධ්‍යක්ෂණය පැත්තට නුදුරු දිනයකම පිවිසෙනවා. එතකොට මා ගැන මීට වඩා හොඳ හෙඩ් ලයින්ස් දාන්න වෙයි.

0 comments:

Post a Comment