----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඒ පෝරිසාදයා නාට්‍යය කෑවා

Thursday, September 6, 2012


ඒ පෝරිසාදයා නාට්‍යය කෑවා

ආර්.ආර්. සමරකෝන්
ආර්.ආර්. සමරකෝන් පුරා දශක 5 ක් ඉක්මවා සිංහල වේදිකාවේ අඛණ්ඩව වැජඹුණු අපූරු රසවතෙකි. ඔහු මුලින්ම ගැඹුරු හාස්‍යයක් සිංහල වේදිකාවට දායාද කරන්නේ 1971 දී ඔහුගේ ‘අහසින් වැටුණු මිනිස්සු’ නාට්‍යයෙනි. එහි ප්‍රධාන භූමිකාව රඟපෑ රංජිත් යාදුන්න, මිල්ටන් නම් වූ අයි.ආර්.සී. කාරයෙකුගේ චරිතය රඟමින් මුලින්ම වේදිකාවට පිවිසෙන්නේ ප්‍රේක්‍ෂකයන් ඔහු දකින්නටත් පෙර වේදිකාවෙන් පිටත සිට උස් හඬින් දෙබසක් පවසමිනි. එය අසන ඔහුගේ නැඟණියගේ නෝන්ජල් පෙම්වතා බියෙන් තැති ගනියි. එය දකින මිල්ටන්ගේ නැඟණියගේ චරිතය රඟපෑ ප්‍රේමා ගනේගොඩ උස් හඬින් සිනාසී මෙසේ කියයි. ‘ඔයා බය වෙන්න එපා. ඒ අපේ අයියා.’ ‘ඉතින් ඇයි එයා කෑ ගහ ගහා එන්නෙ.’ පෙම්වතා පහ නොවුණු බියෙන්ම අසයි. ‘එයා එහෙම තමයි. ඇතා එන්ඩ ඉස්සර මිණිගෙඩි සද්දෙ ඇහෙනවනෙ.’ ප්‍රේමා සැහැල්ලුවෙන් පිළිතුරු දෙයි.
’යකෝ මුන් හරියට කන්ඩ දීලා ඇති කළා වගෙනෙ මේවට ගණන් කියන්නෙ.’ මාළු ගොටුවක් අතින් ගෙන වේදිකාවට පිවිසෙන ‘කැලණි පාලමේ’ සරණපාලගේ භූමිකාව රඟපෑ රත්නසිරි ලියනගොඩ කියයි. එහිම මැම්බර් ගේ චරිතය රඟපාන ජේ.එච්. ජයවර්ධන බීමත්ව සරණපාලට වාරුවී මෙසේ කියයි. “සරණපාල උඹ මේ සල්ලි අරගෙන, උඹේ ගෑනිත් එක්ක ගිහින් බලාපන් හොඳ බයිස්කෝප් එකක්. මම ගිය සුමානෙ බැලුවා අපූරු බයිස්කෝප් දෙකක්. ‘සැනසුම කොතනද, අල්ලපු ගෙදර’.”
’කැලණි පාලමේ’ එන සරණපාල එම භූමිකාවට අනුව කාස රෝගයෙන් පීඩා විඳි දිගුකලක් වැලිසර රෝහලේදී ප්‍රතිකාර ලැබ සුවවී පැමිණි දිරාගිය සිරුරකින් යුත් පුද්ගලයෙකි. ඔහු එම ස්වභාවය තීව්‍රව නිරූපණය කරනු පිණිස වේදිකාවේදී නිතර කහියි. එම භූමිකාව සාර්ථකව නිරූපණය කළ රත්නසිරි සැබෙවින්ම හෘද රෝගියෙකි. එහෙයින් ම හේ ඉතා කෘශ ශරීරයක් ඇත්තෙකි. පසුකලෙක ඔහු මිය ගියේද එම රෝගය උත්සන්න වීමෙනි. ‘කැලණි පාලමේ’ චුට්ටේ කිසිවෙකුට නොනැමෙන, ජවසම්පන්න පුද්ගලයෙකි. එය රඟපෑවේ ප්‍රවීණ නළුවකු වන නීල් අලස්ය.
මංගල දැක්ම අවසානයේ වේදිකාවට ගොඩ වී ඉතා උණුසුම් ලෙස සමරකෝන් වැලඳ ඔහුට සුබ පැතූ කලා ලෝකයේ ප්‍රකට විචාරකයෙක් මෙසේ කීවේය.
’කවුද සමරකෝන් අර සරණපාලගෙ කැරැක්ටර් එක කරපු නළුවා. මිනිහා මීට කලින් රඟපානවා මම නං දැකලා නැහැ. බලනවකො ඒ මනුස්සයා නාට්‍යය පුරාම කහින අපූරුව. මුළු නාට්‍යයම හුඟාක් හොඳයි. සරණපාලගෙ චරිතෙ විශිෂ්ටයි. පුන පුනා සරණපාල චරිතය වර්ණනා කළ විචාරකයා සමරකෝන් ගෙන් සමුගෙන වේදිකාවෙන් බැස යද්දී කට කොනකට සිනාවක් නඟාගත් සමරකෝන් ඒ අසල සිටි මා හට රහසින් මෙන් මෙසේ කීවේය.
’රත්නසිරි කොහොමත් ලෙඩානෙ එඩ්වඩ්. කහින්නෙ ඒකයි. මිනිහට නීල් කරපු චුට්ටෙගෙ චරිතෙ දුන්නත් මිනිහා කහිනවා. ඒක දන්නෙ නෑනෙ මේගොල්ලො.’ කැලණි පාලමේ ශිල්පීන් ගේ එකිනෙකා පරයන අපූර්ව රංගනයන්ගෙන් අමන්දානන්දයට පත්ව සිටි මම සමරකෝන්ගේ ඒ කතාවෙන් ඊටත් එහා ගිය තෘප්තියක් ලදිමි.
දිනක් මගේ ආරාධනයෙන් සමරකෝන් මහතා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ඊ.එම්.ඩී. උපාලිගේ ‘පියාඹන අස්සයා’ නාට්‍යය නැරඹුවේ මා සමඟිනි. එම නාට්‍යය නරඹා සතියක් යන්නටත් පෙර දිනෙක දී මගේ නිවෙසේදී සමරකෝන් හට උපාලි මුණගැසුණි. මගේ හඳුන්වා දීමෙන් පසු උපාලි දෙස බලා සුහදව සිනාසුණු ඔහු මෙසේ කීවේය.
’ඉළන්දාරියා මම බැලුවා ඔයාගෙ නාට්‍යය. ඒකෙ තේමාව, ඉදිරිපත් කරලා තිබුණු ආකාරය, ප්‍රධාන නළු නිළියන් ගෙ රංගනයන් බොහොම අපූරුයි. හැබැයි පුතෝ ඒකෙ අර වැඩකාරයගෙ චරිතය රඟපාපු හාදයව තෝරගත්ත එකටනං ඔහේට කිසිම සමාවක් දෙන්ඩ බැහැ. ඒ යකා නාට්‍යය කෑවනෙ. කැපිච්ච පණුවෙක් වගෙ දැඟලුවා මිසක් ඒ පෝරිසාදයා රඟපෑවයැ.’
සමරකෝන් මහතාගේ තියුණු ප්‍රතිචාරය හමුවේ උපාලි ලජ්ජාවෙන් රතුවී ඇඹරෙන්නට විය.
’නෑ මිස්ටර් සමරකෝන් එදා ඒ චරිතෙට නියමිත නළුවා ඇවිල්ලා නැතුව, ඒක රඟපාන්න වුණෙත් මේ උපාලිටමයි.’ මගේ කරුණු පැහැදිලි කිරීමෙන් උපාලිටත් වඩා අපහසුතාවයට පත්වූයේ සමරකෝන්ය.


Silumina

0 comments:

Post a Comment