----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ධවල භීෂණ

Friday, September 7, 2012


ධවල භීෂණ
රටේ අද තත්ත්වය ගැන හිතන්න ආධාරයක්‌ වේවි
ධර්මසිරි බණ්‌ඩාරනායක


අනූව වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලින් හොඳම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වූවා පමණක්‌ද... නැත හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම වේදිකා නිර්මාණය, හොඳම වේදිකා ආලෝකය, හොඳම වේදිකා පරිපාලනය ඇතුළු සම්මාන නවයක්‌ හිමිකර ගත් "ධවල භීෂණ" අසූ අට අසූ නවය භීෂණය නිසා ප්‍රදර්ශනය අත්හිටුවනු ලැබීය. අනූඑක සිට දෙදහස්‌ දෙක දක්‌වා යළි දර්ශන වාර ඇරඹූ "ධවල භීෂණ" දැන් නැවතත් වේදිකාවට ගෙන එන්නට ධර්මසිරි බණ්‌ඩාරනායක ප්‍රවීණ නාට්‍යකරුවා සමත්ව සිටී.

"ධවල භීෂණ" ඊයේ (01 දා) මෙන්ම අදත් (02 දා) ලයනල් වෙන්ඩ්ට්‌ රංග ශාලාවේ රඟ දැක්‌වෙන්නේ අසූ අටේදී ඊට දායක වූ සියලු රංග ශිල්පීන්ටද ප්‍රණාම දක්‌වමින්... මේ "ධවල භීෂණ" සමග ධර්මසිරි බණ්‌ඩාරනායක රඟහල දොරකඩදී කී කතාවය.

"ධවල භීෂණ" යළි රංග ගත කරන්න හේතුව?

මම මෙතෙක්‌ කළ නාට්‍ය සියල්ල නැවත අලුතින් කරන්න හිතුවේ 2009 දී. 2009 දී "ඒකාධිපති" කළා. 2010 දී "මකරාක්‍ෂයා" කළා. හැට හැත්තෑව දශකවල වගේ නොවේ අද නාට්‍ය කලාව විෂයයක්‌ ලෙස විශ්වවිද්‍යාල මට්‌ටමින් හදාරනවා. මේ විද්‍යාර්ථêන් විටින් විට අප සොයාගෙන එනවා. ඒ නිබන්ධනවලට කරුණු එකතු කරන්න. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ, දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය දැක ගන්නට හැකි වුණත් සුගතපාලද සිල්වා, හෙන්රි ජයසේන වගේ අයගේ නාට්‍ය මේ විද්‍යාර්ථêන්ට දැක ගන්න අවස්‌ථාව නෑ. එලෙසමයි මගේ නාට්‍යයත්. මේ විද්‍යාර්ථින් මගෙන් නාට්‍යවල ඡායාරූප, විචාර පිටපත් ගැන විමසනවා. ඒත් නාට්‍යයක්‌ ප්‍රේක්‍ෂකාගාරයේ රඟ දක්‌වනවා නොදැක ඡායාරූපවලින් විචාරවලින් අදහසක්‌ ගන්න බෑ. මගේ පැරැණි නාට්‍ය යළි රඟ දක්‌වන්න මේ කරුණ දායක වුණා.

ඔබ හිතනවද ධවල භීෂණ අදටත් ගැළපෙනවා කියා?

දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසුව ප්‍රංශය බේරා ගැනීමට කටයුතු කරන තරුණ පිරිසක්‌ ගැනයි මේ නාට්‍යයෙන් කියන්නේ. හිට්‌ලර්ගේ රූකඩ හමුදා ඔවුන්ව අල්ලා ඝාතනය කිරීම තමයි මේ නාට්‍යයේ තේමාව. ගැඹුරු අත්දැකීමකට ප්‍රේක්‍ෂක මනස ගෙන යැමට දරන ප්‍රයත්නයක්‌ ලෙසයි ධවල භීෂණ නිෂ්පාදනය කළේ.

ඇයි අලුත් නාට්‍යයක්‌ නොකරන්නේ?

මම හුඟාක්‌ දුරට තල්ලු වී ඉන්නේ සම්භාව්‍ය නාට්‍යවලට. එක හේතුවක්‌ තමයි ඉන් මම දැනුවත් වෙනවා. අනුන් දැනුවත් කරන්න කලින් මා දැනුවත් විය යුතුයි නේ. ඒ දැනුම යළි සමාජයට ලබාදෙන්න හැකි වෙනවා. මම ඔක්‌තෝබර් මාසයේ මගේ "යක්‍ෂාගමනය" නාට්‍යය යළි කරනවා. ඉන්පසුව "ඇන්ටිගනී" ඇගමෙටනන්ටි කියන ගී්‍රක නාට්‍ය දෙක නිර්මාණය කරන්න සූදානම් වෙනවා. ඒ නාට්‍ය දෙක පරිවර්තන කටයුතු සඳහා භාරදී තිබෙනවා.

නාට්‍යකරුවකු ලෙස අද ඔබ ඉදිරියේ තිබෙන බාධාවන් මොනවද

මූල්‍යමය වශයෙන් නාට්‍යයක්‌ කරන්න රුපියල් ලක්‍ෂ විස්‌සක විසිපහකවත් පිරිවැයක්‌ අවශ්‍යයි. ඒත් චිත්‍රපටවලට, ටෙලි නාට්‍යවලට වගේ වේදිකාවට මුදල් දෙන්න කිසිම කෙනෙක්‌ කැමති නෑ. එදා සිටි ප්‍රේක්‍ෂකාගාරයත් අද නැහැ. එදා රජයේ ලිපිකරුවන්, හමුදා සහ පොලිස්‌ නිලධාරීන්, පාසල් සිසුන්, සරසවි සිසුන්, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් නාට්‍ය ශාලා පිරී ඉතිරී ගියා. ඒත් අද හැම කෙනෙක්‌ම තෝරාගෙන ඉන්නේ නාට්‍යාගාරය වෙනුවට පන්සල. නාට්‍යයක්‌ බලන්න වියදම් කරනවාට වඩා බණ කියන්න, බණ අහන්න වියදම් කරනවා. ඉන් ලෝකෝත්තර සුවයක්‌ ලැබිය හැකි වුණත් වින්දන ශක්‌තිය තීව්‍ර කරගන්න බැහැ.

යමෙක්‌ ඔබේ පැරැණි ධවල භීෂණත්, හෙට අනිද්දා රංගගත වන ධවල භීෂණත් සංසන්දනය කළොත්?

නෑ... එදා ශාලාවෙන් පිටත මේ හා සිදුවීම් පෙළක්‌ තිබුණා. අද ඒ සිදුවීම් එදා ස්‌වරූපයෙන් සිද්ධ වෙන්නෙ නෑ. එම නිසා විවේක සුවයෙන් නාට්‍යය නරඹා අද පවත්නා තත්ත්වය ගැන සොයා බලන්නට නාට්‍යය ආධාර කරගත හැකියි. එදා ඉන්දීය සාම සාධක හමුදාවට එරෙහි දේශප්‍රේමි ව්‍යාපාර තිබුණා. අද ඒ සාම සාධක හමුදාව ගිහින් දේශප්‍රේමි කණ්‌ඩායමත් අහෝසි වෙලා.

පිටපත එදාට වඩා අද වෙනස්‌ද?

නැහැ... නීතිමය තත්ත්වය තුළ රැඟුම් පාලක මණ්‌ඩලයේ අවසර ගත් නාට්‍යයක්‌. කිසිදාක පිටපතට පිටින් අතින් කොටස්‌ දමලා පවත්නා දේශපාලනයේ පල් හෑලි එකතු කරලා ප්‍රදර්ශනය කිරීමේ පුරුද්දක්‌ මට නැහැ. අප සතු වගකීම ඉටුකිරීමක්‌ මේ කරන්නේ. මේ නාට්‍යයේ අලුත් ශිල්පීන්ට මගේ අත්දැකීම්වලින් ආලෝකයක්‌ දෙන්න හැකි වුණා. එය මට විශාල ආත්ම තෘප්තියක්‌. අසූ අටේ "ධවල භීෂණ" සමග සසඳද්දී එදා නළු නිළියන්ගේ මට්‌ටමටම අද නැති වුණත් මේ අයගේ උෙද්‍යාaගය, කැපවීම එදා ශිල්පීන් හා සමාන මට්‌ටමට ගෙන එන්න හැකිවුණා. ඒක සතුටක්‌.

අවසාන වශයෙන් කියන්න කවුද එදා ශිල්පීන් සහ අද ශිල්පීන් කියලා.

එදා ජැක්‌සන් ඇන්තනි, ඩබ්ලිව්. ජයසිරි, කෞෂල්‍යා ප්‍රනාන්දු රඟපෑවා. ඒත් අද ඔවුන් කාර්ය බහුලයි. ඩබ්ලිව්. ජයසිරි පමණයි එදා රඟපෑ අයගෙන් මෙවර නිෂ්පාදනයට ඒ ලැන්ඩියෝ චරිතයට රඟමින් එක්‌වන්නේ. ඊට අමතරව ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි, අමිල් ගල්අංග, ඕෂදි ගුණසේකර, ඉෂාර පුමුදිත වික්‍රමසිංහ, සුසංග කහඳවලආරච්චි, ජගත් චන්ද්‍රලාල්, නයිජල් රේමන්ඩ්, අරුනෝද් විඡේසිංහ, වර්ණතුංග සේනානායක, සුනිමල් පෙරේරා, සමිත අමරසිංහ, කෝසල ලක්‍ෂිත රඟපානවා.


අජිත් අලහකෝන්
ඡායා - නිශාන් එස්‌ ප්‍රියන්ත

Divayina

0 comments:

Post a Comment