----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මම හොඳ පර්යේෂණ කරන්නියක්

Thursday, September 6, 2012


මම හොඳ පර්යේෂණ කරන්නියක්

භාෂිණි සමරසිංහ
ගුවන් විදුලි මැදිරිය කවදත් ඇයට නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. ඇය හැදුණෙ වැඩුණෙ ගුවන් විදුලි සංස්ථාවේ. සෙල්ලම් කළෙත්, පාඩම් කළෙත් එහිදීමයි. ඇත්තෙන්ම ඇය නිවේදිකාවක් බවට පත් වෙන්නේ බහ තෝරන පුංචි සන්දියේදීමයි.
ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ සංවිධායකවරියක්, ප්‍රවීණ නිවේදිකාවක් වගේම නිෂ්පාදකවරියක් වන රත්නා සමරසිංහ තමයි ඇයගේ මව. ඇගේ පියාත් ජනප්‍රිය නිවේදකයෙක් වන පාලිත සමරසිංහ. මේ හේතු නිසාම පුංචි කාලෙදි වැඩි කාලයක් ගත කළේ ගුවන් විදුලි සංස්ථාවේ. ගුවන් විදුලි සංස්ථාවේ හොඳම ළමා නාට්‍ය නිළිය ලෙස සම්මාන ලැබූ ඇය පසුකාලීනව 2006, 2007 සහ 2008 වසරවලදී හොඳම නිවේදිකාව ලෙසත්, 2008 වසරේදී විශිෂ්ටතම මාධ්‍යවේදිනිය ලෙසත් සම්මාන දිනා ගන්නට සමත් වුණා. දැන් ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ කළමනාකරණයේ වගකිවයුතු නිලයක් ද දරමින් නිවේදන කටයුතුවල නිරතවන ඇය භාෂිණි සමරසිංහ. මේ ඇයත් සමඟ කළ කතාබහකි.
ඉතිං භාෂිණි බහ තෝරන වියේදී ඉදිරිපත් කළ වැඩසටහන් ගැන මතකය අවදි කළොත්?
මගේ පළමු ගුවන් විදුලි වැඩසටහන තමයි බිංදුගේ දින පොත. එහිදී පුංචි බබකුට දැනෙන දේවල් කතා කරන දේ තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මට වයස අවුරුදු හතරක්වත් නැහැ. අම්මා කියන දේ අහගෙන මමත් ඒ විදියටම කිව්වාලු. ඊට පස්සේ සුගතපාල ද සිල්වා මහතාගේ ගුවන් විදුලි නාට්‍යවලටත්, ළමා පිටිය, සරස්වතී මණ්ඩපය වගේ වැඩසටහන් සඳහා සහභාගි වුණා. ඒ කාලේ ගුවන් විදුලි මැදිරි දැන් වගේ නෙවෙයි. මම පුංචි නිසා මයික් එකට උස මදි. මේසය උඩ පුටුවක් තියල ඒකේ වාඩි වෙලා තමයි නිවේදන කටයුතු කළේ.
ළමා නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් ගෙවු දඟකාර පාසල් කාලය ගැනත් කියමු නේද?
මම ඉගෙන ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. පාසල ඇරිල කෙළින්ම එන්නේ ගුවන් විදුලි සංස්ථාවට. සමහරදාට පාසල් යන්න කලින් උදෙන්මත් එන්න වෙනවා. පාසල් කාලයේදීම මම ‘ඒ’ ශ්‍රේණියේ ළමා ශිල්පිනියක් වුණා. සාමාන්‍ය පෙළ කරද්දී සහන නිවේදිකාවක් වෙන්නට පුළුවන් වුණා. පාසල් කාලයේදී පිහිනුම්, වොලිබෝල්, නෙට්බෝල් වැනි ක්‍රීඩාවලටත් යොමු වුණා. දවසක් පාසල ඇරිලා තාත්තා එක්ක මගේ කොණ්ඩය කපන්න යන ගමන් ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතා හමු වෙලා කිව්වා ගුවන් විදුලි නාලිකාවට නිවේදිකාවෝ ගන්නවා සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා. ඒ ගමන්ම පාසල් නිල ඇඳුමෙන්ම තමයි ඒ සඳහා සහභාගි වුණේ. එදා මම සවන ගුවන් විදුලි නාලිකාවේ නිවේදිකාවක් විදියට තේරුණා. ඒ අවස්ථාවේදී ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ සවන ගුවන් විදුලිය යන දෙකෙන් එකක් තෝරා ගත යුතු වුණා. ඉතිං මම සවන තෝරා ගත්තා.
ඒකට විශේෂ හේතුවක් තිබුණාද?
ඔව්. එදා ගුවන් විදුලි සංස්ථාවට වඩා එහි තාක්ෂණය වෙනස්. සවන නාලිකාවේ තිබුණේ නවීනතම තාක්ෂණය. මම ඒ ගැන හිතලා තමයි සවන තෝරා ගත්තේ. ඊට පසුව සවන ශ්‍රී බවට පත්වුණා. මම දිගටම එහි රැඳී සිටිනවා.
නිවේදිකාවක් විදියට ඔබ කොහොමද වැඩසටහනකට සූදානම් වන්නේ?
හැම වැඩසටහනකටම මම පෙර සූදානම් වෙනවා. තොරතුරු රැස් කරනවා. ඒ පිළිබඳ වෙනමම අධ්‍යයනයේ යෙදෙනවා. ගවේෂණය කරනවා. වැඩසටහන් සමීක්ෂණ වාර්තාවල ඉහළට එන්න ඒවා ගුණාත්මක වෙන්න ඕනෑ. මම හැම විටම වැඩ සටහන් ගුණණාත්මක භාවයෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. නිවේදිකාවක් වගේම මම හොඳ පර්යේෂණ කරන්නියක්. හැම දේ ගැනම තොරතුරු හොයන්න මට පුදුම උනන්දුවක් තියෙන්නේ. විවිධ මාතෘකා ඔස්සේ තොරතුරු රැස්
කිරීම ඒ පිළිබඳ ගවේෂණය කිරීම මගේ විනෝදාංශය. ඒ මගින් දැනුම දියුණු වෙනවා. එය නිවේදන වෘත්තියට හරිම වැදගත්.
පුංචි කාලෙ පටන් මේ දක්වා කරන්නට ලැබුණ වැඩසටහන් ගැනත් කියමු?
ඇත්තෙන්ම මම ගොඩක් වාසනාවන්තයි. මුල්ම වැඩසටහන බිංදුගේ දින පොත. ඊට පසුව ළමා පිටිය, සරස්වති මණ්ඩපය වැනි වැඩසටහන් වගේම ගුවන් විදුලි නාට්‍ය සඳහා සහභාගි වුණා. පසුව සංගීතමය වැඩසටහන්, හින්දි භාෂාමය වැඩසටහන් වගේම දේශපාලන වැඩසටහන් ද ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. මේ දිනවල මිස්ටර් ඇන්ඩ් මිසිස් ශ්‍රීී එෆ්. එම් වැඩසටහන ගොඩක් ජනප්‍රියයි. ඒ වගේමයි ටොප් චාර්ට්. ඒකට අවුරුදු 12 ක් වෙනවා. එය සමීක්ෂණ වාර්තාවල ඉහළින්ම ඉන්නෙත් ඒ ජනප්‍රියත්වය නිසාමයි.
ඔබ හින්දි භාෂාව පිළිබඳ උපාධිධාරිණියක්. දැන් හින්දි වැඩසටහන් ඉදිරිපත් කරන්නේ නැද්ද?
මම හින්දි භාෂාවට ගොඩක් ආසයි. ඒ නිසා මම ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගත්තා. ඉස්සර නම් හින්දි වැඩසටහන් ඉදිරිපත් කළා. ඒත් දැන් නැහැ. ඊට අමතරව මම ජර්මන් භාෂාවත් ඉගෙන ගත්තා.
බී බී සී ශිෂ්‍යත්වයකුත් ලැබුණලු නේද?
ඔව්, අන්තර් ජාලයේ පැවැති විභාගයකින් මට පංති සාමාර්ථයක් සමඟ පාස්වෙලා බී බී සී එකේ ශිෂ්‍යත්වයක් ලැබුණා. ගොඩක් මහන්සි වෙලා පාඩම් කරලා තමයි ඒක පාස් වුණේ. ඒත් ඒ කාලේ පුතා ලැබෙන්න හිටපු නිසා ඒ අවස්ථාව ගිලිහී ගියා.
භාෂිණි නිවේදන ක්ෂේත්‍රයට ඇවිත් සෑහෙන කාලයක් ගත වෙලා නේද? අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?
ගොඩක් අමතක නොවන සිදුවීම් අතරේ බය හිතුණ එකකුත් තිබුණා. සවනට ආ දවස්වල තමයි ඒ ප්‍රශ්නය ඇති වුණේ. එක අසන්නෙක් හැමදාම මට ලොකු මල් පොකුරු වැනි විවිධ දේ එවන්නට පුරුදු වෙලා හිටියා. පසුව ඔහුගේ මේ ප්‍රතිචාර මට කරදරයක් වෙන තරමටම වැඩි වුණා. ඔහු මට ආදරය ප්‍රකාශ කරල ලේ වලින් පවා ලියුම් එව්වා. එක දවසක් ඔහු ඔහුගේ ගෙදර ඔප්පුව මගේ නමට ලියල එවල තිබුණා. පසුව ඔහුට ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියලා අවවාද ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතා මට ආරක්ෂාව ලබා දෙන්නට පවා කටයුතු කළා. පසුව ඔහු රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබා ගත්තා කියලත් ආරංචි වුණා. අද වුණත් ඉඳල හිටල මට ඔහුගෙන් ලියුමක් ලැබෙනවා. නමුත් අද වෙනකල් ඒ කවුද කියල මම දැකල නම් නැහැ.
මේ තරම් දුරක් ඔබ පැමිණි ගමනේදී ලැබුණු යෝධ ශක්තිය ගැනත් කියමු නේද?
අම්මා රත්නා සමරසිංහ, තාත්තා පාලිත සමරසිංහ. දෙදෙනාම ජ්‍යෙෂ්ඨ නිවේදකයන්. ඇත්තටම අම්මයි තාත්තයි නැතිනම් මම අද මේ තත්ත්වයේ නැහැ. ඔවුන් හම්බ කළ දැනුම තමයි මට මේ සඳහා උපකාර වුණේ. අම්මා ඒ වෙනුවෙන් බොහෝ මහන්සි වුණා. ඒ වගේමයි තාත්තා. ඔහු සතුව වටිනා පුස්තකාලයක් තියෙනවා. එහි වටිනා පොත් වගේම ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් රාශියකගේ හඬපට පවා තියෙනවා. තාත්තා ඒ පුස්තකාලය මට භාර දුන් දවසේ මට ලොකු සතුටක් දැනුණා.
ගුවන් විදුලියේ හොඳම ළමා නාට්‍ය නිළිය ලෙස සම්මාන ලැබූ ඔබට රංගනයට යොමු වන්නට හිතුණේ නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. ඒ පිළිබඳ මගේ කැමැත්තක් නැහැ. ඒ වගේම රූපවාහිනි නිවේදනයටත් ආරාධනා ලැබුණා. ටික කාලයක් ස්වර්ණවාහිනි නාලිකාවේ ගීත් නමින් හින්දි වැඩසටහනක් ඉදිරිපත් කළා. අම්මයි තාත්තයි නිසා වගේම පුංචි කාලේ පටන්ම තියෙන පුරුද්ද නිසාදෝ කොහෙද මම වැඩියෙන්ම කැමැති ගුවන් විදුලි නිවේදිකාව කියන භූමිකාවට. මෙය දියුණු කර ගන්න තමයි උත්සාහ කරන්නේ.
පෞද්ගලික ජීවිතයේ තොරතුරු කියන්න තමයි මේ වෙලාව?
මගේ සැමියා රසික අධිකාරී. එයා පරිගණක ඉංජිනේරුවෙක්. මුලින්ම අපි හමුවුණේ ළදරු පාසලේදී. ඊට පසුව නැවත අපි මුණ ගැසුණේ ශ්‍රී එෆ්. එම්. එකේදී. අපට අවුරුදු හතරක පුංචි පුතෙක් ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි දැන් ජීවිතයේ වගකීම් වැඩියි. රාජකාරි කටයුතු වගේම පෞද්ගලික ජීවිතය සාර්ථකව සමබරව ගෙන යන්න උත්සාහ කරනවා. ඒ වගේම පුංචි පුතාට යහපත් අනාගතයක් උදා කර දෙන්නට තමයි මේ හැම දේම.
භාෂිණි අවසන් වශයෙන් කියන්නේ?
මගේ අම්මයි තාත්තයි තමයි මගේ මුල් ගුරුවරුන්. ඒ දෙන්නා තමයි මගේ නිවේදන ලෝකයේ ශූරයන්. ඒ වගේම විධායක අධ්‍යක්ෂ රයන් හොන්ටර්, චාරුක සුරවීර, ජැක්සන් ඇන්තනි, ස්ටැන්ලි එම්.ප්‍රනාන්දු යන මහත්වරුන්ට විශේෂයෙන් ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම මගේ සැමියාගෙන් ලැබෙන සහාය මා දිරිමත් කරනවා. මගේ හොඳම මිතුරු මිතුරියන් වගේම මගේ ආදරණීය අසන්නන්වත් මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා.

0 comments:

Post a Comment