----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

'ජය ශ්‍රී රේඩියෝව'

Friday, August 10, 2012


අන්තර්ජාලයේ නිදහස වල්බූරු නිදහසක් නොවිය යුතුයි

- ශ්‍රී නිමල් පද්මකුමාර
මව් රටෙන් ඈත රටක වෙසෙන ශ්‍රාවකයෙකුගේ සවනට සිය මව් භාෂාව, සංගීතය හෝ සිය රටේ පුවතක් අසන්නට ලැබීම සංවේදී අත්දැකීමකි. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයෙකුගේ එම සංවේදීතාව තවත් ඉහළය. හේතුව, බොහෝ රටවල සිංහල භාෂාව භාවිතය අල්ප වීමයි. ශ්‍රව්‍ය හා දෘශ්‍ය විදත් මාධ්‍යයේ හෝ මුද්‍රිත මාධ්‍යක් භාවිතා කිරීමට නම් අන්තර්ජාලයට යොමු විය යුතුය. ලොව පුරා වෙසෙන හෙළයන්ගේ එම සංවේදීතාව හඳුනාගත් ප්‍රවීන මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වන ශ්‍රී නිමල් පද්මකුමාර මහතා එතෙර සිටින ශ්‍රී ලාංකික ශ්‍රාවකයන් වෙනුවෙන් අන්තර්ජාල රේඩියෝවක් ආරම්භ කළේය.
'ජය ශ්‍රී රේඩියෝව' විදෙස්ගත සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට දැනුම හා රසවින්දනය ලබා දෙමින්, පාළුව හා කාන්සිය දුරලමින් ජාත්‍යාලය වඩවමින අන්තර්ජාල රේඩියෝවක් බවට සිව් වසරක් ඇවෑමෙන් පත්ව ඇත. පිළියන්දල, මාවිත්තර පිහිටි මැදිරියක සිට විසුරුවා හැරෙන ජයශ්‍රී රේඩියෝව සිංහල වෙබ් රේඩියෝ අතර ප්‍රමුඛස්ථානයක් දිනාගන්නට සමත් වී ඇති අතර ශ්‍රාවකයන් සමඟ දවස මුළුල්ලේම රැඳී සිටී.
ලොව කොතැනක හෝ සිටින ශ්‍රී ලාංකික ශ්‍රාවකයන් වැඩිම පිරිසක් අතර ලැබූ ජනප්‍රියත්වය පද්මකුමාර මහතා ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. ශ්‍රී නිමල් පද්ම කුමාර මහතා වසර තිස්පහක් පුරා සිය මාධ්‍ය අත්දැකීම් මේ සුවිශේෂී කර්තව්‍ය සඳහා පාදක කොට ගත්තේය. ඔහු මෙහෙය වූ 'කුමර කුමරියෝ' වැඩසටහන කලක් මෙරට නරඹන්නන් අතර ජනප්‍රිය වැඩසටහනක් විය. මුවන් පැලැස්ස ගුවන්විදුලි නාට්‍යය පහළොස් වසරක් තිස්සේ රචනා කළ ඔහු දැන් “කෝරලේ මහත්තයා“ටෙලිනාට්‍යය ද රචනා කරයි.
* ජය ශ්‍රී රේඩියෝවේ ආරම්භය, ස්වභාවය ගැන සඳහන් කළහොත්?
2009 වසරේ මැද ඇරඹුණු ජය ශ්‍රී රේඩියෝව කෙටි කළකින්ම ලොව වඩාත් ප්‍රියතම අන්තර්ජාල රේඩියෝව බවට පත්වන්න බලපෑ ප්‍රධානම හේතුව තමයි එහි අන්තර්ගත වන නව වැඩ සටහන් හා ගීත පෙළගැස්ම. වසර 60 කට වඩා පැරණි ග්‍රැමෆෝන් ගීත වගේම මෑතක ජනප්‍රිය වූ සුපිරි තරුවල ගීතත් අප සතුව තිබෙනවා. ඒ වගේමයි 70- 80 දශක වල ඉතාම ජනප්‍රිය වූ ගීත දහස් ගණනකුත් , “කඩවුණු පොරොන්දුවේ“ සිට තිරගත වූ පැරණි සිංහල චිත්‍රපට රැසක මුල් ගීතත් අපි සංරක්ෂණය කරලා තියෙනවා. එතෙර අසන්නෙක් ගීතයක් ඉල්ලූ සැණින් එය වාදනය කරන්නට අපි තාක්ෂණ පහසුකම් සකස් කරලයි තියෙන්නෙ.
* ජය ශ්‍රී රේඩියොවට එතෙර අසන්නන් සම්බන්ධ කර ගන්නෙ කොහොමද?
මේක අන්තර්ජාල රේඩියෝවක්නෙ. ඒ නිසා ජය ශ්‍රී අහන හැමෝම ඉන්නෙ පරිගණකයක් ඉස්සරහා.. ඒ අය තමන්ගෙ නිවෙස් වලට අමතන්න යොදා ගෙන තියෙන ස්කයිප් පහසුකම අපි ඔවුන් වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. ඔවුන් විශාල පිරිසක් “ජය ශ්‍රී “ යන ස්කයිප් නාමයෙන් අපට සම්බන්ධ වෙනවා.
* වැඩි වශයෙන් ලෝකයේ කුමන රටවල්වල සිටින අසන්නන් ද ඔබේ රේඩියෝව සමඟ සම්බන්ධ වෙන්නේ.
ලෝක සිතියමේ කැනඩාවේ සිට නවසීලන්තය දක්වා සියලුම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් අපේ ස්කයිප් කණ්ඩායම තුළ ඉන්නවා. ඇත්තෙන්ම ඔබට විශ්වාස කරන්න අපහසු වේවි. ඇෆ්ගනිස්ථානයේ අ‍මෙරිකානු කඳවුරු වල සේවය කරන ශ්‍රී ලාංකිකයන් වගේම හයිටි රජ්‍යයේ සිටින අපේ රණවිරු කොල්ලෝ ටිකත් සිංදු ඉල්ලන්නෙ අපෙන්... නෝර්වේ, ස්වීඩන්, අයිස්ලන්තය, ඩෙන්මාර්කය විතරක් නෙවෙයි සයිප්‍රසය, ඊශ්‍රාලය, ඉතාලිය වැනි යුරෝපා රටවලත් , අ‍ෙමරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය ආදී බටහිර රටවලත් , කොරියාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, හොංකොං ආදී ආසියා රටවලත් සමස්ත මැද පෙරදිග සියලුම රටවලත් ඉන්න අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියෝ ඉන්නේ එක්කයි..
ජය ශ්‍රී රේඩියෝවේ කට්ටිය
* මේ අසන්නන්ව ජය ශ්‍රී එක්ක බැඳතබා ගන්න මොනවද ඔබ රේඩියෝවේ තිබෙන විශේෂ වැඩ සටහන් ?
සතියේ දින කිහිපයක්ම විවිධ රසවත් නව වැඩ සටහන් ගෙන එන්නට ජය ශ්‍රී රේඩියෝව දැනටමත් කටයුතු කරලා තියෙනවා. අපේ වැඩ සටහන් අතර වඩාත් ජනප්‍රිය එකක් තමයි විවිධාකාරයේ ගීත වැඩසටහන්... ඉරිදා හැර දින හයේම දවල් දෙකේ ඉඳන් පහ වෙනකම් පැය තුනක් සජීව ලෙසින් ගෙන එන ජය ශ්‍රී හැන්දෑව ගීත ඉල්ලීම් වැඩ සටහන. එයටම සම්බන්ධ වෙනවා නැවත රාත්‍රි අටේ ඉඳන් දහය දක්වා ජය ශ්‍රී තරු පොකුර ගීත ඉල්ලීම් වැඩසටහන. රාත්‍රී දහයේ සිට දොලහ වෙනකම් ජය ශ්‍රී වින්දනීය ගී. අපේ රේඩියෝව උදේ නවයේ ඉඳන් රෑ දොළහ වෙනකම් සජීවී මැදිරියක් ද පවත්වාගෙන යනවා.
* හතරවන වසරට පා තබන වෙලාවෙ ගෙවුනු වසර තුන ගැන මොනවද හිතෙන්නෙ.?
ඉතාම අඩු පහසුකම් යටතේ ලෝකයේ වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් සතුටු කරන්න ලැබීම අප ලැබූ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම 2010 වසරේ “ස්වාභිමානි සම්මාන උළෙලේ“ දී ජූරියේ විශිෂ්ඨ සම්මානයක් පිරිනැමීම අප ලද මහත් ජයග්‍රහනයක්. එය විනිශ්චය කළ ජාත්‍යන්තර ජූරිය තම සටහනේ සඳහන් කළා , එතෙර ශ්‍රී ලාංකිකයනගේ විනෝදාත්මක හා සංස්කෘතික හිඩැස පුරවන්නට ජය ශ්‍රී රේඩියෝව කරන සේවය අගයමින් එම සම්මානය පුදකරන බව.
එය අපට ගෞරවයක්. මීට අමතරව, 2011 වසරේ අප රේඩියෝව මගින් නිර්මාණය කළ “ප්‍රස්ථා පිරුළු වෙබ් අඩවිය“ට, සංස්කෘතිය හා උරුමය අංශයෙන් ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවියට හිමි “ස්වාභිමානි සම්මානය“ ත්, දකුණු ආසියාවේ හොඳම වෙබ් අඩවියට හිමි “මන්තන් සම්මානය“ත් හිමි වුනා. එය අප කාර්ය මණ්ඩලයට මහත් අභිමානයක්.
* සංස්කෘතික හා ආගමික වැඩ සටහන් ගැන යමක් කිවුවොත් ?
සෑම දවසකම සවස හයේ සිට අට දක්වා පැය දෙකක් බෝධි පූජා, පිරිත් හා භාවනා සඳහා වෙන්වෙනවා. ඒ අතරම සර්ව රාත්‍රික පිරිත් දේශණ සහ ධජග්ග , අංගුලිමාල , ධම්මචක්ක , ගිරිමානන්ද , ජලනන්දන වගේ සුවිශේෂි පිරිත් ප්‍රචාරය කරන්නටත් කටයුතු යොදලා තිවෙනවා. සතිපතා සදහම් මලුව , තුරුණු අසපුව , කාලේන ධම්ම සාකච්ඡා වැනි විශේෂ සාකච්ඡාමය වැඩ සටහන් ද අප ප්‍රචාරය කරනවා. පසලොස්වක පෝය දිනවල විවිධ විහාරස්ථාන වල සිට විශේෂ සජීවී වැඩ සටහන් ප්‍රචාරය කිරීමත් සිදුවෙනවා.
* වෙබ් අඩවි පිළිබඳ මේ දිනවල මතුවී ඇති ආන්දෝලනය ගැන ඔබගේ අදහස මොකද්ද ?
අන්තර්ජාලයට සීමා පනවන්න කාටවත් බෑ. එය අසීමිත නිදහසක් ඇති තැනක්. වෙබ් අඩවි වලට සීමා පැනවුවාම, නැත්නම් තහනම් කළාම ඒවාට පිවිසෙන පිරිස දහස් ගණනින් වැඩි වෙනවා. මොකද වැහිලා තියෙන දේවල් හොරෙන් බලන්න මිනිස් සිත යොමු වෙනවා වැඩියි. හැබැයි අන්තර්ජාලයේ නිදහස කියන්නෙ වල්බූරු නිදහසක් නෙවෙයි.
අපේ මනස උස් නිසයි අපිට මනුස්සයා කියලා කියන්නෙ. නැත්නම් අපියි, තිරිසනුයි අතර වෙනසක් නෑනෙ. ඒ හින්දා අපි මනස ප්‍රයෝජනයට ගන්න ඕනෙ. වෙබ් අඩවියක් කරනවා කියලා යම් පුද්ගලයන්ටයි, ආයතන වලටයි පුද්ගලික අපහාස සිදුවන දේවල් පළකරන එක වැරදියි. හැබැයි කවුරු හරි කෙනෙක් වැරැද්දක් කරලා තියෙනව නම්, ඒ ගැන ඔප්පු කරන්න සාධක තියෙනවනම් පුද්ගලයාගේ තරාතිරම නොබලා එය ලෝකයට හෙළි කරන්නත් නිදහස තියෙන්න ඕනෙ.

0 comments:

Post a Comment