----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අලුත් අලුත් දේ අත්හදා බැලීමෙන් නාට්‍යකරුවා විශාල ආශ්වාදයක්‌ ලබනවා

Thursday, August 23, 2012


අලුත් අලුත් දේ අත්හදා බැලීමෙන්
නාට්‍යකරුවා විශාල ආශ්වාදයක්‌ ලබනවා

- "සුද්දෙක්‌ ඔබ අමතයි" ගැන ප්‍රවීණ නළු
ජයලත් මනෝරත්න කතා කරයි

නිහඬ සමාජය සංවාදයකට යොමු කරනවා
- අධ්‍යක්‌ෂ උදයසිරි වික්‍රමරත්න


 

නලීන්- "සුද්දෙක්‌ ඔබ අමතයි"

මාදිනී - "සුද්දෙක්‌ ඔබ අමතයි"
සුද්දෙක්‌ ඔබ අමතයි අධ්‍යක්‍ෂවරයා උදයසිරි වික්‍රමරත්නය අලුත්ම ආකෘතියක්‌ ඔස්‌සේ ප්‍රේක්‍ෂකයාට නැවුම් අත්දැකීමක්‌ ලබා දෙන "සුද්දෙක්‌ ඔබ අමතයි" අන්තර්ගතය පිළිබඳ උදයසිරි වික්‍රමරත්න සමඟ කළ සාකච්ඡාවක සටහන් මතු දැක්‌වේ.

සුද්දෙක්‌ ඔබ අමතයි අවුරුදු දෙකකට වැඩියි. මෙතරම් කාලයක්‌ මේ නාට්‍යය ගෙන එන්න තරම් එහි ඇති වැදගත්කම මොකක්‌ද?

ප්‍රධාන ලෙසම කිව්වොත් නාට්‍ය කණ්‌ඩායමට ආසා හිතෙනා හැමදාම නාට්‍යය සමඟ රැඳී ඉන්න තරම් වටිනාකමක්‌ මෙහි තිබිය යුතුයි. "සුද්දෙක්‌ ඔබ අමතයි" නාට්‍ය කණ්‌ඩායමේ හැම දෙනාම මේ නාට්‍යය සමඟ බැඳීමකින් ඉන්නේ.. ලැදියාවක්‌ දක්‌වනවා. එය දවසින් දවස වැඩි වෙනවා. නාට්‍ය බැලූ ප්‍රේක්‍ෂකයන්ගෙන් වැඩි පිරිසක්‌ තවත් අයට මේ නාට්‍ය බලන්න කියලා නිර්දේශ කරනවා. ඒ ප්‍රේක්‍ෂකයන් අතර තියෙන සන්නිවේදනය හරහා නාට්‍ය හා කණ්‌ඩායම අතර ඇති බැඳීම, නාට්‍ය හා ප්‍රේක්‍ෂකයා අතර ඇති බැඳීම මත තමයි එම නාට්‍යයේ පැවැත්ම සිද්ධවෙන්න.

එකම නළු නිළි පිරිසක්‌ අවුරුදු දෙකකට අධික කාලයක්‌ නාට්‍යය තුළ රඳවා ගැනීම ගැටළුවක්‌ නොවෙයිද?

සැළලිහිණිය කොයිතරම් කියෑවූවත් එපා වෙන්නේ නැහැනේ. සුද්දෙක්‌ ඔබ අමතයි සැළළිහිණියට සමාන කරන්න බැහැ. ඒත් වසර ගණනාවක්‌ යනතුරු එපා වෙන එකක්‌ නැහැ. නාට්‍යයට සංගීතය සපයන්නේ තරුණ ශිල්පීන්. ඔවුන්ට පවා හැමදාම මේ නාට්‍යය බලන්න සිද්ධවෙනවා. ඔවුන් පවා ආකෘතිය තුළ නාට්‍යයට එකතු විය යුතු යම් යම් දේ යෝජනා කරනවා. හැම ශිල්පියෙක්‌ම අප සමඟ සිටිනවා. නළු නිළියන්ට මේ නාට්‍යය එපා නොවන්නේ රසවිඳින්න තරම් අන්තර්ගතයක්‌ හිතල ඉවර කරන්න බැරි දෙයක්‌ මේ තුළ නිර්මාණය වී තිබීමයි. මේ පිටපත නළුවාට හෝ නිළියට බලහත්කාරයෙන් පැටවූ, නළුවා පිටපතට යටත් වී රංගනයක්‌ ඉදිරිපත් කළ යුතු නැහැ. රංගන ශිල්පියාගේ රංග කාර්යයට ඉහළම ඉඩක්‌ නිදහසක්‌ දී තිබෙනවා. නාට්‍යයේ පෙළ හඳුනාගත්තාම යම් යම් දේ නළුවා විසින් යොදා ගන්නවා.

ඒ කියන්නේ පිටපත දර්ශනයෙන් දර්ශනයට අලුත්වෙනවා කියන එකද?

නැහැ... පිටපත අලුත් වෙන්නේ නැහැ. මේ නාට්‍යයේ තියෙන්නේ සංවාදයක්‌.... ඇමතීමක්‌.... ඉතින් පිටපතේම ඇති දින වකවානු වෙනස්‌ වෙනවා. එය දර්ශනය රංගගත කරන අවස්‌ථාව වෙත ගෙන ඒම සිදු කෙරෙනවා. කාලීන සිද්ධියක්‌ සමඟ නාට්‍යය වර්තමානයට ගෙන ඒමයි සිදු කරන්නේ. එකම නාට්‍යයක්‌ දෙසැරයක්‌ බලන්න බැහැ කියා කියමනක්‌ තියෙනවා. හරියට ගලාගෙන යන ගඟක්‌ අලුත් වෙනවා වාගේ නාට්‍යයක්‌ පවා දර්ශනයෙන් දර්ශනය වෙනස්‌ වෙනවා. අපේ නාට්‍යයේ උපත තුළදීම එදා දවසට අනුකූලවීම සඳහා පිටපතෙන් ඉඩකඩ විවර වී තිබුණා. ඒ තුළ හැමදාම යම්කිසි අලුත්වීමක්‌ තියෙනවා. එය මේ නාට්‍ය ක්‍රමයේ ස්‌වභාවයක්‌.

ඔබ නිතර කියනවා නාට්‍ය ආකෘතිය ගැන.. නාට්‍ය ක්‍රමය ගැන.. මොකක්‌ද මේ නාට්‍ය ක්‍රමය?

දහඅටසන්නිය, කෝළම්, සොකරි ගත්තත් මුල මැද අග කතා පුවතක්‌ නැහැ. සංදර්ශනාත්මක සංවාදයක්‌ තියෙන්නේ. කතා පුවතක්‌ නැති වුණත් මේ සමාජයට දැඩි ලෙස ඒවා අදාළයි. දහඅට සන්නිය පවා මොහොතින් මොහොත වෙනස්‌ වෙනවානේ. මගෙත් මූලිකම දේ වුණේ පවතින නාට්‍ය ආකෘතීන් නිසා ගිලිහි තිබෙන සමාජ අදාළත්වය නාට්‍ය තුළට ගෙන ඒමයි. "සුද්දෙක්‌ ඔබ අමතයි" සමාජය සමඟ කෙලින්ම සංවාදයකට එනවා. ඒක දහඅට සන්නියේත් තියෙනවා.

ඒ කියන්නේ "සුද්දෙක්‌ ඔබ අමතයි" රංගන ශිල්පීන් කරන්නේ ප්‍රේක්‍ෂකයා සමග සංවාදයක්‌?

ඔව්. ලොකුම ප්‍රශ්නයක්‌නේ අද සංවාදයකට ඉඩ නැතිකම. හැම තැනකදීම අපිට එය දකින්න ලැබෙනවා. තිබෙන ආකෘතීන්වල අපි විසින්ම සංවාදයට ඇති ඉඩකඩ නැති කරගෙන ඉන්නේ. අද තියෙන්නේ ගල් වුණ සමාජයක්‌. නිහඬ සමාජයක්‌. "සුද්දෙක්‌ ඔබ අමතයි" නාට්‍යයෙන් කළේ කතා කරන්න පටන්ගන්නා එකයි. නාට්‍යයට තිබෙන ඉල්ලුමත් සංවාදයකට ජනතාව විවෘත කිරීම නිසායි. ජයලත් මනෝරත්නයන්ගේ, මාදනී මල්වත්තගේ, නලින් ප්‍රදීප් උඩවෙලගේ අනෙක්‌ නළුවා වන්නේ ප්‍රේක්‍ෂකයා. මෙය කෙළින්ම ප්‍රේක්‍ෂකයා සහ නළුවා අතර කෙරෙන සංවාදයක්‌.

විටින් විට නළු නිළියන් තුන්දෙනෙක්‌ ඇවිත් ඉදිරිපත් කරන ඇමතීම බලා සිටීම ප්‍රේක්‍ෂකයාට නීරසයක්‌ ගෙන දෙන්නේ නැද්ද?

අපේ නාට්‍යය හතර පස්‌ වතාවක්‌ බලන අයත් ඉන්නවා.

මම සලකන්නේ ඔවුන් පොදු සමාජය ලෙස නාට්‍ය බැලීමේ පුරුද්ද ඇති අය කියලා. අපිට මහා විශාල ප්‍රචාරක හයියක්‌ තිබුණේ නැතත් ප්‍රේක්‍ෂකයා දෙවැනි තුන්වැනි වතාවටත් "සුද්දෙක්‌ ඔබ අමතයි" නරඹනවාද නීරසනම්. සමහර සංවිධායකවරු පවා අපේ නාට්‍යය හතර පස්‌වතාවකත් සංවිධානය කරනවා. නීරසනම් එහෙම කරයිද? මේ රංගන ශිල්පීන් තිදෙනාගේ රංගනයක්‌ නිසා ප්‍රේක්‍ෂකයාට නීරසයක්‌ නොවේ. රසයක්‌ ආකර්ශනයක්‌ ලබා දෙනවා. අනෙක මේ ශෛලිය ප්‍රේක්‍ෂකයාට අමුතු දෙයක්‌ නොවේ. දේශපාලකයන්ගේ කතා පැය ගනන් අහගෙන ඉන්නේ. බණ අහන්නේ පැයගණන්.... මේවායේ කතා කරන්නේ තම තමන්ට අදාළ දේනේ. එනිසා කාලය ගතවෙනවා. තේරෙන්නේ නැහැ.

අජිත් අලහකෝන්

- Divayina

0 comments:

Post a Comment