----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ගුණදාස අමරෙ, ලියනගෙ අමරෙ සහ ජූලම්පිටියෙ අමරෙ !

Thursday, July 5, 2012

ගුණදාස අමරෙ, ලියනගෙ අමරෙ සහ ජූලම්පිටියෙ අමරෙ !

සාහිත්‍යවේදී ගුණදාස අමරසේකරයන්ගේ අලුත්ම නිර්මාණය, "රූපාන්තරණය" නවකතාව එළිදැක්‌වීමේ උත්සවය පෙරේදා (19 වැනිදා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. පොත් දොරට වැඩීමේ උත්සව ගැන ඉතා අමිහිරි අත්දැකීම් ඇති නිරෝධ මෙතැනට සහභාගි වුණේ ද විචිකිච්චාවක්‌ ඇතුවය. බුද්ධදාස ගලප්පත්තිගේ කෙටිකතා පොත එළිදැක්‌වීමේ උත්සවයේදී ප්‍රධාන දේශන පැවැත්වූ මහාචාර්ය ගංගානාත් සහ පියල් කාරියවසම් කියා සිටියේ දොරට වඩින පොත ගැන කතා නොකොට වෙන ඕනෑ දෙයක්‌ කතා කරන්නැයි ලේඛකයා තමන්ගෙන් ඉල්ලා සිටි බවයි. එහෙත් උත්සවයට සහභාගි වී සිටි පිරිස එම කාලය වෙන් කළේ දොරට වඩින පොතෙන් නැතත් දේශකයන්ගෙන් හෝ ලැබෙන යමකින් ඔළු පුරවාගන්නටය. ඒ බව තේරුම් ගන්නට තරම් ඔළුවක්‌ තිබූ පියල් කාරියවසම් අද දවසේ සාහිත්‍ය කරුවාගේ සමාජ වගකීම ගැන වැදගත් යමක්‌ කතා කළේය. ප්‍රවීණ කිවිවර පරාක්‍රම කොඩිතුවක්‌කුගේ ප්‍රථම නවකතාව "නුඹ සමඟ" එළිදුටු උත්සවයද ඊට දෙවැනි නැත. අනෙකුත් දේශකයන්ට සාපේක්‌ෂව වැඩි කාලයක්‌ ගත් සේන තෝරදෙනිය වෙනත් සාහිත්‍ය දේශකයකු වෙනත් තැන්වලදී පළකළ අදහස්‌ විවේචනය කරන්නටත්, තමන්ගේ දෘෂ්ටිවාදයට පටහැනිව ලියන ලේඛකයන්ගේ නුගුණ විමසන්නටත් විය. එතැනට පැමිණිය වුන්ටද සිදුවූයේ හිස්‌ අතින් පිටව යැමට ය. මේ අතර පසුගිය 18 වැනිදා පැවැති මහාචාර්ය ගංගානාත්ගේ පොත් දොරට වැඩුමට සහභාගි වූවන්ට කිසිවක්‌ ඔළුවලට ලැබුණේ නැතත් බඩ පුරා පැණි වළලු කන්නට ලැබුණු බව නම් නිරෝධට ආරංචිවිණි.

නිරෝධට ඇති කනගාටුව නම් මෙබඳු දොරට වැඩීමේ උත්සවවල න්‍යාය පත්‍රයට අනුව සංවාදයක්‌ ඇති බව සඳහන් වුවත් එබඳු සංවාද ඇති නොවීමයි. ගුණදාස අමරසේකරයන්ගේ උත්සවයේදී ද ඒ අඩුව එසේම වුණි. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අමරසේකරගේ එදා නිර්මාණ හා අද නිර්මාණ අතර යම් මතයක්‌ ගොඩනඟන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නට වුවද ඔහුගේ දිගු දේශනය තුළ ඒ අමුද්‍රව්‍යය කිසිවක්‌ නිමි ද්‍රව්‍ය බවට පත්වුණේ නැත. තේරෙන්නටම කියන්නේ නම් ලේඛකයකු ලෙසත්, සමාජ ක්‍රියාකාරිකයකු ලෙසත් අමරසේකර දැරූ දේශපාලන මත, ගොඩනැගී දේශපාලනික චින්තනය අද දවසේ දේශපාලන යථාර්ථය තුළ ස්‌ථානගත වන්නේ "ජුලම්පිටියේ අමරේ" බඳු දේශපාලනික අවිඥානිකයන් මත බවට නිර්මාල් ගොඩනැඟි ප්‍රබල තර්කය ඔහුගේ කතාව පුරා දියාරුවී ගොස්‌ තිබිණි. "ගමනක මුල් සිට ජුලම්පිටියේ අමරේ" දක්‌වා අමරසේකරයන්ගේ සාහිත්‍ය භාවිතාව පිළිබඳ යම් සංවාදයකට ඉඩ විවර කළ නිර්මාල් විසින්ම ඒ ඉඩ අහුරා දැමුයේ ඇයිද යන්න නිරෝධට තේරුම්ගත නොහැක.

"රූපාන්තරණය" කෘතිය සම්පූර්ණයෙන් කියෑවීමට ඉඩක්‌ නොලැබුණත් එහි අන්තර්ගතය පිළිබඳ යම් වැටහීමක්‌ ලැබූ නිරෝධ විග්‍රහ කරගන්නේ මෙය "ගමනක මුල" පටන් ගමනක අග දක්‌වා වූ නවකතා මාලාවේ දිඟුවක්‌ ලෙසය. නිර්මාල් ඒ පිළිබඳ ඉතා වැදගත් අදහසක්‌ පළ කළේය. අමරසේකරගේ විශිෂ්ටතම නවකතා බවට පත් වන්නේ මුල් කාලීන නවකතා බවත් අද ඔහු වෙනත් මඟක්‌ තෝරාගෙන ලේඛනයේ නිරත වන බවත් නිර්මාල් කියා සිටියේය. කෙසේ වෙතත් නිර්මාල් සෘජුව කිසිවක්‌ කීවේ නැත. කීවේ නැතිද නොකියන්නට පරෙස්‌සම් වුණා දැයි දන්නේ නැත. පැහැදිලිව හෝ අපැහැදිලිව නිර්මාල් කියන්නට උත්සාහ කළ දේ නිරෝධට දැනුණේ මෙසේය.

1984 දී ගමනක මුල ලිවීමේ පටන් 2012 රූපාන්තරණය දක්‌වා විටින් විට ප්‍රබන්ධ 9 ක්‌ ඔස්‌සේ මෙරට සිංහල මැද පංතියේ පරිණාමය පිළිබඳ ආචාර්ය ගුණදාස අමරසේකරයන් කළ රචනා පෙළ ඔස්‌සේ ගොඩනැඟි ජාතික මතවාදය අද වනවිට අවරගණයේ දේශපාලනික භාවිතාවකට කිසියම් තල්ලුවක්‌ දී ඇත. ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන රැස්‌වීමකට පහරදී දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීම ගැන විමසා බලතොත් විරුද්ධ දේශපාලන මතවාදයන් නොඉවසන තැනකට ජාතික චින්තනයෙන් ආඪ්‍ය වූ අද දවසේ දේශපාලන බලාධිකාරිය විතැන් වී ඇත.

මේ අදහස තහවුරු කිරීම සඳහා නිර්මාල් විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ "ධර්මිෂ්ඨ සමාජය" කෘතියත් සී. ඒ. චන්ද්‍රප්‍රේමගේ "කොළපාට සමාජය" කෘතියත් ගෙනහැර පෑවේය. 1977 ඡේ. ආර්. ජයවර්ධන ගේ ධර්මිෂ්ඨ සමාජය සංකල්පයට එරෙහිව සරච්චන්ද්‍රයන් එදා සිය මතය පළ කළ අයුරුත්, සරච්චන්ද්‍රගේ මතවාදය නිශේධනය කිරීමේ අරමුණින් "කොළපාට සමාජය" ලියෑවුණු අයුරුත් පැහැදිලි කළ ඔහු සියල්ල අවසානයේ අද අප යළිත් "කොළපාට සමාජයම" පිළිගෙන තිබෙන අයුරුත් පිළිබඳ කළ විග්‍රහය අමරසේකරගේ අලුත් සාහිත්‍ය ප්‍රවණතාව අරබයා කළ හොඳම විග්‍රහය යෑයි නිරෝධට සිතෙයි.

මෙහිදී "නේෂන්" පුවත්පෙත් කර්තෘ මාලින්ද සෙනෙවිරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලියනගේ අමරකීර්ති ගැන පළ කළ අදහසද නිරෝධගේ අවධානය දිනා ගති. 56 දරුවන් මේ රටට කළේ විනාශයකැයි අමරකීර්ති කියන කතාව තාර්කික නැතැයි කී මාලින්ද අද අප යහපතට ම ගොස්‌ නැතත් අයහපතටම ගොස්‌ නැත්තේද 56 පෙරළිය නිසා බව කියා සිටියේය.

අමරකීර්තිගේ සාහිත්‍ය අමරසේකරට දිරවන්නේ නැතිවා මෙන්ම, අමරසේකරගේ සාහිත්‍ය අමරකීර්තිට දිරවන්නේ නැති බව ද කවුරුත් දනී. එහෙත් මේ නොදිරවීම් අතරින් පොදුවේ සිංහල සාහිත්‍ය සමාජයට යම් දැනුමක්‌ විවර කෙරෙන බව නිරෝධ දකී. සාහිත්‍ය ක්‌ෂේත්‍රයේ පරිණතභාවය අතින් අමරසේකරයන් සතු වටිනාකමත්, සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ ඇකඩමිකභාවය අතින් අමරකීර්ති සතු වටිනාකමත් මීට වඩා අද දවසේ සිංහල සාහිත්‍යයේ උන්නතියට අවශ්‍ය වන බව නිරෝධ කල්පනා කරයි. අමරසේකර "යළි උපන්නෙමි" බඳුවක්‌ යළි ලිවිය යුතු යෑයි නිරෝධ කියන්නේ නැත. අමරකීර්තිගෙන් මේ දේශපාලන භාවිතාවට ප්‍රශස්‌ති ගායනා ලැබිය යුතු බව නිරෝධ කියන්නේ නැත. එහතේ මේ මොහොතේ මෙන්ම අප රට පසුවන අනතුර මීට වඩා විදග්ධභාවයකින්, විශ්වාසනීයත්වයකින් යුතුව අමරසේකරගෙන් මෙන්ම අමරකීර්තිගෙන්ද විග්‍රහ විය යතු බව නිරෝධ කල්පනා කරයි.

දැන් මේ සටහන අවසන් කළ යුතුය. එහෙත් ඊට පෙර "රූපාන්තරණය" දොරට වැඩුම් උළෙල අතරමැද දී පුවත්පත්වල ප්‍රවෘත්ති පළ කළ යුතු ආකාරය ගැන හැඟීම්බරව කතා කළ ගෙවිඳු කුමාරතුංග ගේ චෝදනාවට පිළිතුරක්‌ නොදුන්නොත් අඩුවකැයි හැඟේ.

ඔහු සියලු පුවත්පත්වලට චෝදනාත්මකව කියා සිටියේ ජුලම්පිටියේ අමරෙගේ ප්‍රවෘත්තිය මුල් පිටුවේ දමන පත්තරවලට ගුණදාස අමරසේකරයන්ගේ අලුත් නවකතාව එළිදැක්‌වීම මුල්පිටුවේ ප්‍රවෘත්තියක්‌ නොවීම ජාතියේම අභාග්‍යයක්‌ බවයි. ඔහු මේ අදහස්‌ පළ කළ ආකාරය හා එහිදී එතැන සිටි ජාතික පුවත්පත් හි ප්‍රධාන කර්තෘවරුන් කීප දෙනකුගේ නම් සඳහන් කළේ ඇයිද යන්න දන්නේ ඔහුම පමණි. නිරෝධට නම් පෙනුණේ පුවත්පත් ප්‍රකාශනය හා පොත් ප්‍රකාශනය ගෙවිඳුට පටලැවී තිබූ බවයි. අනෙක ගුණදාස අමරසේකරයන් බඳු කෘතහස්‌ත ලේඛකයකුට පුවත්පතක ඉඩ වෙන් කළ යුතු ආකාරය ගැන පොත් මුදලාලි කෙනකුට තීරණයක්‌ දිය හැකි යෑයි නිරෝධ කියන්නේ නැත. ඕනෑම පුවත්පතක සියලුම පිටුවල කොලම් සෙන්ටිමීටරයකට මිලක්‌ ඇත. මුල් පිටුවේදී ඒ මිල වටිනාකමින් තවත් ඉහළ යයි. එබඳු පසුබිමක්‌ තුළ වුවද බොහෝ පුවත්පත් සාහිත්‍ය බඳු විෂයකට වර්ණ පිටු හතරක්‌ වෙන් කිරීම යනු ඉමහත් සේවයකි. එනිසා ගෙවිඳුගෙන් ප්‍රශ්න කිහිපයක්‌ අසන්නට නිරෝධට හිතෙයි.

1. ඔබේ ප්‍රකාශන ආයතනය මුද්‍රණය කරනු ලබන පොත් ප්‍රකාශයට පත් කරන්නේ නොමිලේ බෙදා හැරීමටද?

2. පොතක්‌ එළිදක්‌වන ප්‍රවෘත්තියක්‌ පුවත්පත්වල සාහිත්‍යටම අදාළ පිටුවේ පළවීම ප්‍රමාණවත් නැතිද?

3. පොතක්‌ ප්‍රකාශයට පත් කර අලෙවියෙන් ආදායමක්‌ ලබන හෙයින්, අමරසේකරයන් බඳු ලේඛකයකුගේ කෘතියක්‌ හෝ එළිදකින අවස්‌ථාවක පුවත්පතක මුල්පිටුවේ දැන්වීමක්‌ පළ කිරීමට තරම් ප්‍රකාශකයකුට මැදිහත්වීමක්‌ කළ නොහැකිද?


නිරෝධ

1 comments:

Anonymous said...

me thun denama ekama wagei

Post a Comment