----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ

Tuesday, July 24, 2012


ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ

-සම්පත් ජයවීර
වේදිකාව හරහා පුංචි තිරයටත් සිනමාවටත් එක්වුණු මෑත කාලීන රංගන ශිල්පියකු විදිහටයි ’සම්පත් චානක ජයවීර’ අපට මුණ ගැහෙන්නේ. හුදු නළුවා කියන ප්‍රතිරූපයෙන් බැහැරව පොළවේ පයගසා ජීවත්වන රංගන ශිල්පියෙකු ලෙස ද සම්පත් හඳුනාගන්න පුළුවන්. පසුගිය දිනවල තිරගතවුණු ‘ගාමණි’ චිත්‍රපටයෙන් සිනමාවට එක්වුණු සම්පත් මේ දිනවල පුංචි තිරේ ටෙලිනාට්‍ය කිහිපයකින්ම ඔබව මුණ ගැහෙනවා. පසුගිය දවසක සම්පත් හා කළ පිළිසඳර මෙවර ‘යෞවනයේ අපි’ විශේෂාංගයට එක්කරන්න අපි හිතුවා.
සම්පත් මේ ගෙන්දගම් පොළවට ආගන්තුකයෙක් වෙන්න ඕන.
පැහැදිලිවම ඔව්. මගේ ගම්පළාත අවිස්සාවේල්ලෙන් එහා අමිතිරිගල මහදෙණිය. එතැනින් ආව ගමන තමයි අද මම රංගන ශිල්පියෙක් කළේ.
කොහොමද මේ ගමන ඔබ පටන් ගත්තේ?
මෙහෙමයි 1998 අවුරුද්දේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා පාඨමාලාව හදාරන්න මට පුළුවන් වුණා. ඒ තමයි මගේ ආරම්භයට පන්නරය ලැබුණු තැන. මාත් සමඟ රොෂාන් රවින්ද්‍ර, සුමිත් රත්නායක ඇතුළු සමකාලීනයින් හිටියේ. ඊට පසුව මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාඨමාලාවටත් සම්බන්ධ වෙලා රංගනය පිළිබඳ වැඩිදුර හදාරන්න පුළුවන් වුණා.
ඒ කියන්නේ කුඩා කාලයේ තිබුණු ආශාවක් ද මේ ඉටුකරගත්තේ?
ඔව්. මට තේරෙන අවධියේ ඉඳලම ලොකු කැමැත්තක් තිබුණේ නළුවෙක් වෙන්න.
වෙන රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
නැහැ පුළුවන්තාක් කල් රඟපාන එක කරනවා. ඇත්ත. මේ දෙයින්ම යැපෙන්න අමාරු තමයි. ඒත් කොහොමහරි කරගෙන යනවා.
ඒ කියන්නේ රංගනයෙන් ජීවත්වෙන්න පුළුවන් පසුබිමක් අද නිර්මාණය වෙලා තියෙනවා කියලද කියන්නේ?
අර්බුද නැතුවාම නෙමෙයි. එහෙමයි කියලා ඒ ගැන හිත හිතා ඉන්න එක හරිද? මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න අර්බුද තියෙනවා. නමුත් ඉතිං ඒවට විසඳුම් තියෙන්නේ වෙන අය ළඟ.
සම්පත් රංගනයට එන්නේ වේදිකාව හරහාද?
ඔව්. වේදිකාව තමයි මගේ ආරම්භය.
වේදිකාවෙන් එන රංගන ශිල්පීන්ට අද පැවැත්මක් තියෙනවා කියලා මතයක් තියෙනවා.
ඔව්. ඒක මටත් අහන්න ලැබුණු දෙයක්. වේදිකාවෙන් හොඳ රංගන ශිල්පීන් බිහිවෙනවා කියලා කියනවා. ඒක වේදිකාවේ ඉන්න අයත් කියන දෙයක්. අද සියලු දෙනාම කාලයක් තිස්සේ ඉල්ලන්නේ රංග කලා පාසලක්. සිනමා පාසලක්. නමුත් ටෙලිනාට්‍යයක් ගත්තොත් රංගනය ගැන ඉගෙනගන්න අභ්‍යාසයක් කරන්න කාලයක් නැහැ. රංගන ශිල්පීන් කෘත්‍රිම වෙලා. සිනමාවේ වුණත් එහෙමයි. අභ්‍යාස ගතවෙන්න තියෙන තැන වේදිකාව. රංගන ශිල්පියෙකුට වේදිකාව හොඳ අභ්‍යාසයක්.
අද නළුවා, නිළිය කියන ප්‍රතිරූපය ගැන මොකද හිතන්නේ?
මම හිතන්නේ අද පවතින සමාජ මතය දේශපාලනිකයි. ඔය ඛේදවාචකය නළු නිළියන්ට පමණක් නෙමෙයි ටෙලිනාට්‍යයටත් වෙලා තියෙන්නේ.
මොකක්ද ඔබ එයින් අදහස් කරන්නේ?
මෙහෙමයි. අද නළුවා නිළියට යම් ප්‍රතිරූප ගත හානියක් තියෙනවා. ඒකට මූලික හේතුව මේ සඳහා වෘත්තීය මට්ටමක් නොමැතිකම. පාරක් පාරක් ගානේ ටෙලිනාට්‍ය හදනවා. මේ සියලු දේ ප්‍රමිතියක් ඇතුව කෙරෙනවා නම් එවැනි ප්‍රශ්න සමාජයෙන් එන්නේ නැතිවෙයි.
අද සමහරු කියන්නේ විනෝදාංශයට රඟපානවා කියලනේ?
අන්න ඕක තමයි මේ ඛේදවාචකය. දොස්තර කෙනෙක් විනෝදාංශයට බෙහෙත් කරන්නේ නැහැනේ. ඩ්‍රයිවර් කෙනෙක් විනෝදාංශයට ඩ්‍රයිව් කරනවද? ඔය වගේ දේවල් තමයි මේ ක්ෂේත්‍රයට හානියක් වෙලා තියෙන්නේ. රංගනය කියන්නේ විනෝදාංශයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ගැඹුරු විෂයයක්. අධ්‍යනය කරන්න ඕන විෂයයක්. ලෝකයේ හැමදේම අප්ඩේට් වෙනවා වගේ මේ විෂයයත් අප්ඩේට් වෙනවා. ඒක හදාරන්නයි ඕන.
සම්පත් ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන ශිල්පියෙක්ද?
අනිවාර්යයෙන්ම. රංගනයේ මට හදාගන්න සීමා බාධක කිසිම දෙයක් නැහැ. මේ මගේ වෘත්තිය. එතැනදි ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ. එතැනදි මට රංගනයෙන් යමක් කරන්න පුළුවන්ද කියන දේ විතරයි වැදගත්.
හොඳයි සම්පත් අපි පවුලේ තොරතුරු ටිකක් කතා කරමු.
ඔව් මට මගේ අම්මයි තාත්තයි මල්ලියි ඉන්නේ. තාත්තා නම් විදේශ ගතවෙලා. ඒ වගේම මම විවාහ ගිවිසගෙන ඉන්නේ. නොබෝ දිනකින්ම විවාහ මංගල කටයුතු සිදුකරන්නයි බලාපොරොත්තුව. තවත් දෙයක් අද මම කලාවට ආවාට මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ.
අවසන් වශයෙන් මේ දිනවල ඔබේ කාලය ගෙවෙන විදිහ ගැන දැනගන්න කැමැතියි.
මේ දවස්වල වේදිකා නාට්‍ය කිහිපයකටම මම දායක වෙලා ඉන්නවා. රාජිත දිසානායකගේ ‘බකමූණා වීදි බසී’, ‘වීරයා මැරිලා’, වේදිකා නාට්‍ය වගේම ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘පිනි වැස්සත්’ ටෙලිනාට්‍යයටත් සාරංග මෙන්ඩිස්ගේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

0 comments:

Post a Comment