----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය

Thursday, July 5, 2012

 


ගෙවිඳුගෙන් පැහැදිලි කිරීමක්‌

අකුරට බුහුමන් කරන්න

පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය

ගුණදාස අමරසේකරයන් ගේ අලුත් ම නවකතාව, රූපාන්තරණය හෙවත් සෝමදේව ගේ සංක්‍රාන්තිය නවකතාව දොරට වැඩි උලෙළේදී§ මා පොදුවේ ජනමාධ්‍යයන් ගෙන් ද විශේෂයෙන් පුවත්පත්වලින් ද කළ ඉල්ලීම ගැන 'වටමඬල' සාහිත්‍ය අතිරේකයේ නිරෝධ දැක තිබුණේ සම්පූර්ණයෙන් ම නිෂේධාත්මක ලෙස ය. පුවත්පත් කතුවරුන් ගේ, පුවත්පත් කලාවේදීන්ගේ ශුද්ධ වූ කටයුත්තට මුදලාලි කෙනකු ගේ අවිනීත මැදිහත්වීමක්‌ ලෙස ය. නිරෝධ සිය -චින්තාවලී තීරුවෙහි මගෙන් පිළිතුරු ඉල්ලා කළු අකුරෙන් මුද්‍රණය කර තිබූ ප්‍රශ්නවල හරයෙන් මෙන් ම ඊට පෙර ''... පුවත්පත් කතුවරුන්ට උපදෙස්‌ දීමට තරම් පොත් මුදලාලි කෙනකුට සදාචාරාත්මක අයිතියක්‌ ඇත්දැයි නිරෝධ කල්පනා කරයි'' ආදි ලෙස එන වැකිවලින් ද ගම්‍ය කරන්නේ එ බව ය. එ දින උත්සවයට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයට දරාගැනීමට අපහසු තරම් පිරිසක්‌ එක්‌ රොක්‌ වුව ද දිවයින පාඨකයන් හා සලකන විට එ ඉතා සීමිත පිරිසක්‌ බැවින් මා කළ ඉල්ලීම කුමක්‌ දැ යි නොදන්නා පාඨකයන් හමුවේ ප්‍රශ්න කරනු ලැබීමත් පිළිතුරු බැඳීමත් සදාචාරාත්මක නොවන හෙයින් එ දින මා කළ ඉල්ලීමෙහි, ප්‍රකාශයෙහි හරය ඔබ පාඨකයන් ඉදිරියේ පළමු ව තැබිය යුතු ය යි සිතමි.

මා එම සභාව හමුවේ තැබූ ප්‍රශ්නය වූයේ කිසියම් අත්වැරැද්දක්‌ නිසා රිය අනතුරක්‌ වූ විට එය මුල් පිටුවේ වාර්තා කරන පුවත්පත්, අපරාධකරුවන් ගේ ක්‍රියාකාරකම් මුල් පිටුවේ පළ කරන පුවත්පත්, ක්‍රීඩකන් ගේ දක්‌ෂතාවන් මුල් පිටුවේ පළ කරන පුවත්පත්, ලේඛකයන් සම්බන්ධයෙන් උදාසීන වන්නේ මන්ද කියා ය. විශේෂයෙන් ම ලේඛකයා මත රඳා පවතින පුවත්පත් සිය ජීවිත කාලය ම ලේඛන කලාවට කැප කොට එහි විශිෂ්ටතා අත්පත් කරගත් අමරසේකරයන් වැනි විශිෂ්ටයකු ගේ සාහිත්‍යමය ක්‍රියාකාරකම් සඳහා මුල් පිටුවේ ඉඩ විවර කළ යුතු නො වේ ද කියා ය. එහිදී අපට පුවත්පත් ඇතුළු සියලු ජනමාධ්‍යවලින් ඇති තරම් ප්‍රචාරය ලැබුණු බවත් එ දින උත්සව ශාලාව පිරී ඉතිරී යැමට තරම් සහෘදයන් සහභාගී වීමට එය ද හේතු වී ඇති බවත් ඊට අදාළ ප්‍රචාරය ලබාදුන් සැමට කෘතඥ වන බවත් ස`දහන් කළ මා කියා සිටියේ ප්‍රශ්නය ප්‍රචාරය පිළිබඳ ව නො ව ප්‍රමුඛතා පිළිබඳ ව බව ය. අවසාන වශයෙන් මා සභාව හමුවේ තැබුවේ විශිෂ්ටතා දක්‌වන ක්‍රීඩකයන්ට මුල් පිටුව හිමි වන විට විශිෂ්ටතා දක්‌වන ලේඛකයන්ට එ තැන නොලැබේ නම් අපේ ළමා පරපුර ලේඛනයට යොමු වේ ද යන ප්‍රශ්නය ය" රටේ අනාගතය වෙනුවෙන් මේ තත්ත්වය නිවැරැදි විය යුතු නො වේ ද යන්න ය.

දැන් අපි නිරෝධ ගේ ප්‍රශ්නවලට යොමු වෙමු.

1. ඔබේ ප්‍රකාශන ආයතනය මුද්‍රණය කරනු ලබන පොත් ප්‍රකාශයට පත් කරන්නේ නොමිලේ බෙදාහැරීමට ද?

නිරෝධ මගෙන් මෙසේ අසන්නේ මුල් පිටුවේ පළ කරන්නේ මොන ම ආර්ථික වටිනාකමක්‌වත් නැති දේවල් නිසා ද? මුල් පිටුවේ පළ වන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මිල මුදල් අය කිරීමෙන් තොර ව යෘ අපරාධකරුවන් මිනී මරන්නේ මුදලට නොවේෘ ප්‍රතිපත්ති ගරුකව යෘ පසුගිය දා සනත් ජයසූරිය හින්දි නිළියක හා රඟනු මුල් පිටුවේ ම පළ කර තිබුණේ ඔහු එ ස`දහා මුදල් අයකර නොතිබුණු නිසා යෘ එ රංගනය මාතර ඡන්ද දායකයන් පිනවීම ම අරමුණු කර ගත්තක්‌ නිසා යෘ

හිතවත් නිරෝධ, ක්‍රීඩකයකු ගේ පින්තූරයක්‌ පළ වන විට එය ඔහු ගේ, ඔහු වෙනුවෙන් කටයුතු කරන එජන්ත ගේ, ඔහු ඇඳ සිටින සපත්තුවේ නැති නම් අතේ ඇති පිත්තේ ආදි වූ සියල්ලෙහි වෙළෙඳ වටනාකම වැඩි කිරීමට හේතු වේ. ලේඛකයකු ගේ සුවිශේෂතා ඇගයීමේ දී ද එ ආකාරයට ම ඔහු ගේ

පොත්, එවා ප්‍රකාශයට පත් කරන ආයතන ආදි සියල්ලට යම් වෙළෙඳ අගයක්‌ ද එකතු වන බව පැහැදිලි ය. ලක්‌ෂ ගණන් උපයන දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට, ක්‍රීඩකයන්ට මුල් පිටුව විවෘත වෙද්දි ඔවුන් උපයන දෙයින් සොච්චමක්‌වත් නොඋපයන ලේඛකයන්ට මේ ආර්ථික ක්‍රියාවලිය පෙන්වා එ දොර වැසීම යුක්‌ති සහගත වන්නේ කෙසේ ද?

මෙයට අමතර ව අප නොමිලේ බෙදා හැරීමටත් පොත් මුද්‍රණය කරන බව නිරෝධට මතක්‌ කිරීමට සිදු ව තිබීම කණගාටුවට කරුණකි. වටමඬලට මේ තාක්‌ අප එවූ පොත් නොමිලේ මිස බිල්පත් සමඟ එවූයේ නෑ නො වේ ද? අප ප්‍රකාශයට පත් කරන සෑම පොතකින් ම මුද්‍රණය කරනු ලබන පිටපත් සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක්‌ මුද්‍රණය කරනු ලබන්නේ නොමිලේ බෙදා දීමට ය" පුවත්පත් කතුවරුන්ට, සාහිත්‍ය පිටු සංස්‌කාරකවරුන්ට, විචාරකයන්ට හා විද්වතුන්ට ලබා දීමට ය. එ ක්‍රියාවලිය ද පොතේ අලෙවියට බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අප එ කාර්යයෙහි නියෑළෙන්නේ ප්‍රචාරයට වඩා බුද්ධිමය දායකත්වයක්‌, සමාජ කාර්යභාරයක්‌ අපේක්‌ෂාවෙන් ය.

දෙ වන ප්‍රශ්නය සළකමු.

2. පොතක්‌ එළිදක්‌වන ප්‍රවෘත්තියක්‌ පුවත්පත්වල සාහිත්‍යයට ම අදාළ පිටුවේ පළ වීම ප්‍රමාණවත් නැති ද?

සාහිත්‍යය ප්‍රවෘත්ති සාහිත්‍යය පිටුවට ක්‍රීඩා ප්‍රවෘත්ති ක්‍රීඩා පිටුවට ආදි ලෙස එ එ ප්‍රවෘත්ති එ එ පිටුවට සීමා වේ නම් මුල් පිටුව තිබෙන්නේ කුමක්‌ වෙනුවෙන් ද? රටේ ජාතියේ අවධානය යොමු විය යුතු ප්‍රමුඛ කාරණ වෙනුවෙන් බව අප ගේ හැඟීම යි. එහිදී දේශපාලනඥයකු, ක්‍රීඩකයකු විශිෂ්ටතා දක්‌වන විට ඔහුට විවර වන මුල් පිටුව ලේඛකයකු, රංගධරයකු, චිත්‍ර ශිල්පියකු, සංගීතඥයකු විශිෂ්ටතා අත්පත් කරගන්නා විට ඔවුන්ට ද විවර විය යුතු ය. එය ඔවුන් වෙනුවෙන් කරන දෙයකටත් වඩා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් වූ කරුණක්‌ ලෙස ය අප දකිනුයේ. ආසියාවේ සංස්‌කෘතියට ලබා දුන් දායකත්වය වෙනුවෙන් ජපානයේ ප්‍රමුඛතම පුවත්පත් ආයතනයකින් පිරිනමනු ලබන සම්මානය මේ වසරේදී සිබිල් වෙත්තසිංහ මහත්මියට හිමිවීම සම්බන්ධයෙන් අප ගේ පුවත්පත් ලබා දුන් ප්‍රමුඛතාව කුමක්‌ ද යන්න මේ ප්‍රශ්නයෙහි අදාළත්වය මොනවට කියාපායි.

තුන් වන ප්‍රශ්නයට යොමු වෙමු.

3. පොත් ප්‍රකාශයට පත් කරන ප්‍රකාශයකයා අලෙවියෙන් ආදායමක්‌ ලබන හෙයින් අමරසේකරයන් බඳු ලේඛකයකු ගේ කෘතියක්‌ හෝ එළිදකින අවස්‌ථාවක පුවත්පතක මුල් පිටුවේ දැන්වීමක්‌ පළ කිරීමට තරම් පොත් ප්‍රකාශකයකුට මැදිහත්මක්‌ කළ නොහැකි ද?

මෙලෙස වෙළෙඳ දැන්වීම් ගැනත් කොලම් සෙන්ටි මීටරයේ රුපියල් සත මිල ගැනත් කතා කරමින් නිරෝධ ඉටු කරන්නේ පුවත්පත් කලාවේදියකු ගේ කාර්යභාරය ද? වෙළෙඳ කළමනාකරුවකු ගේ කාර්යභාරය ද? ඔබ කියන්නේ පොතක වටිනාකම, ලේඛකයකු ගේ වටිනාකම පුවත්පතක කතු මඬුල්ල තීරණය කරනවාට වඩා පොත් ප්‍රකාශකයකු ගේ මුදල් වැය කිරීමේ හැකියාව මත තීරණය වීම සුදුසු බව ද? නිරෝධ ඔබ පෙනී සිටිය යුත්තේ පොත් ප්‍රකාශනය මුදලාලිකරණය වීම වෙනුවෙන් ද? ඉන් මුදාගැනීම වෙනුවෙන් ද?

හිතවත් නිරෝධ, රූපාන්තරණය කෘතිය එළිදැක්‌වූ උත්සව සභාවේදී මා කළ ආයාචනයේ හරය වන්නේ අකුරට බුහුමන් කරන්න යන්න ය. කුමාරතුංග මුනිදාසයන් දරුවන්ට ලියූ ඒ කවි පදයේ අරුත ජාතියක්‌ ලෙස ක්‍රියාවට නැගීSමේ අවශ්‍යතාවය ය. ලේඛනය මත රඳා පවතින පුවත්පත්වලට එහිදී ප්‍රමුඛතම වගකීමක්‌ හිමිවන බව ජනමාධ්‍ය විෂයෙහි ප්‍රවීණයන්, පුවත්පත් කතුවරුන් හා කලාවේදීන් හමුවෙහි සිහිපත් කරලීම ය. මා මුදලාලියකු වේ වා, නො වේ වා, එ ආයාචනය ගැන මැදිහත් ව සිතනු මැනවි.

ගෙවිඳු කුමාරතුංග


0 comments:

Post a Comment